Divaina - සිනමා කලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

draa2  
'කාහල නාදය', විශ්වාන්තර', 'ජීවන අන්දර' සමඟ 'දූලි පින්තාරු' ඔස්‌සේ 'භාව තීර්ථ' රූපවාහිනියට කැඳවාගෙන ආ ඔහු සිය නිර්මාණ හැකියාව මතින් ප්‍රේක්‍ෂක රස ඥානය කුළු ගැන්වූයේ ඔවුන් අමන්දානන්දයට පත් කරමිනි. කවදත් හොඳ දේ ජාතියට දායාද කළ ජාතික රූපවාහිනි නාට්‍ය ඒකකයේ වැඩසටහන් නිෂ්පාදක ධුරයේ කටයුතු කරන මේ සම්මානනීය සොඳුරු නිර්මාණවේදියා සන්තුස ලියනගේ නම් වන්නේය. මේ...කලකට පසු 'දිවයින සිනමා කලා' සමඟින් එක්‌ව ඔහු පැවසූ තොරතුරු බිඳකි.
 
 ඔබේ ගමනේ ආරම්භයත් ජාතික තරුණ සේවා සභාව. අපි එතනින් මේ කතාව ආරම්භ කළොත්...
 
 මම ජාතික තරුණ සේවා සභාවට එකතු වෙන්නේ වීඩියෝ අංශයෙන්. ඊට පස්‌සෙ 1990 ජාතික රූපවාහිනි නාට්‍ය ඒකකයට එන්නේ පුහුණු සහාය නිෂ්පාදකවරයෙකු විදිහට. දැන් මෙහි ගත කළ කාලය වසර 27 ක්‌. අපි කරන නිර්මාණයෙහි මුල් ලිපි ගොනුවේ සිට අවසානය දක්‌වාම රැඳී සිටින්නේ ජාතික රූපවාහිනිය. පරිපාලනය අය තමයි අධ්‍යක්‍ෂණය කරන්නේ. මම වසර 6 ක්‌ සහාය නිෂ්පාදක ලෙස සිට පසුව නිෂ්පාදනයට ආවා. මගේම කියලා නිර්මාණයක්‌ මුල්වරට නිෂ්පාදනය කළේ රසවිත කියන සඟරාමය වැඩසටහන.
 
 ඔබේ කලා භාවිතය ඒකාංගික නාට්‍ය නිෂ්පාදනය කෙරෙහි නැඹුරු වූවක්‌....

dramaඔව්. ඒ නිසාම තමයි 2000 දී 'කාහල නාදය' ගෙන ආවේ. ඊට පසුව ජාත්‍යන්තර සම්මාන දිනූ ලෝ ප්‍රකට කතා මාලාවන් රූපවාහිනි මාධ්‍යයට කැඳවමින් 'විශ්වාන්තර' නිර්මාණය කළා. පසුව අපේ රටේ සම්මානනීය කෙටි කතා එකතුවක්‌ වූ 'ජීවන අන්දර' පුංචි තිරයට අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදනය සිදුÊකළා. මේ අතර කොටස්‌ 35 කින් සමන්විත වූ 'දූලි පින්තාරු' ගෙන ආවා. මෙය ලෝ ප්‍රකට වූ නවකතාවක්‌ අනුසාරයෙන් තමයි මම අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදනය සිදු කළේ. මම කරපු මනුෂ්‍යයා, නැවතුම්පල, තොටිල්ල, විජයාගාරය සහ සැඳෑ සමය ප්‍රේක්‍ෂක අවධානය දිනා ගත් නිර්මාණ.
 
 ඒකකාරී ආකෘතියකට හැඩ ගැසුණු ප්‍රේක්‍ෂකයා ඔබේ ඒකාංගික නාට්‍ය නිර්මාණ සමඟ දැහැන්ගත වෙනවා....
 
 ඔව්. මට අවශ්‍යව තිබුණේ ඒ දේ කරන්න තමයි. 'භාව තීර්ථ' ඒකට හොඳ තෝතැන්නක්‌ වුණා. පසුව ඒ වගේ කෙටි කතාංග කිහිපයක්‌ම මා නිර්මාණය කළා. මම හිතන්නේ නිර්මාණ 30 කට අධිකයි.
 
 අද රූපවාහිනිය යහපත් නිර්මාණකරණයට තිත තැබූ බවක්‌ නේද පෙනෙන්නට තිබෙන්නේ...
 
 ඔව්. එහි යම් ඇත්තක්‌ තිබෙනවා. අපි නිර්මාණ කරන්න පෙළඹෙන්නේ ආයතනය කරන උසිගැන්වීම අනුව. අපිට තනිවෙලා, හුදකලා වෙලා, මේ කලාව කරන්න බැහැ. ඒ ඉල්ලීම එන්න ඕනේ ආයතනයේ පරිපාලනය හරහා.. එහෙම වෙන්නේ නැති වුණාම අපි නිර්මාණකරණයෙන් ඈත් වෙනවා. අපි විතරක්‌ නෙවී, ප්‍රේක්‍ෂකයාත් ටෙලි නාට්‍ය කලාවෙන් ඈතට යනවා. කොහොමටත් අද තිබෙන 'වල්පල් ටෙලි කතා' නිසා බුද්ධිමත් ප්‍රේක්‍ෂකයා රූපවාහිනියෙන් ඈත් වෙලා තමයි ඉන්නේ.
 
 ඉතිං, ප්‍රේක්‍ෂකයා රූපවාහිනිය ළඟට කැඳවීම ඔබලාගේ කාර්යයක්‌ නේද..?
 
 ඔව්. ඇත්ත. ඒ වුණාට අපිට ජරා වැඩ කරන්න බැහැ. මට කොහොමටත් බැහැ. මට වෙන්වුණු ප්‍රේක්‍ෂකයෝ පිරිසක්‌ මේ රටේ ඉන්නවා. ඔවුන් මාව අගයනවා. ඉතිං, ලාභදායී නිර්මාණ කරලා ඒ අයගේ ඉදිරියට යන්න මට ශක්‌තියක්‌ නැහැ. ඒක මට ගෝචර නැහැ. මම මගේ ජීවිතයේ ගොඩනඟාගත් හැකියාව සහ නම නැතිවෙන විදිහේ අවර ගණයේ නිර්මාණ කරනවා කියන්නේ සියතින් ගෙල සිඳ ගැනීමක්‌. මට ආයතනය හොඳ දෙයක්‌ වෙනුවෙන් හොඳ අවස්‌ථාවක්‌ නැවත ලබා දෙනවා නම් හොඳ විදිහේ නිර්මාණ කරන්න හැකියාව පවතිනවා.
 
 නිර්මාණකරුවා ප්‍රේක්‍ෂකයාට වඩා ගව් ගණනක්‌ ඉහළින් සිටින්නෙක්‌ කීවට අද නිර්මාණකරුවා සිටින්නේ ප්‍රේක්‍ෂකයාට වඩා බොහෝ පහතිsන් කියලයි වැඩිපුර ඇසෙන්නේ...
 
 ඔව්. සත්‍යය ඒක තමයි. නමුත් නිර්මාණකරුවා කියන්නේ ප්‍රේක්‍ෂකයාට වඩා ස්‌ටෙප්ස්‌ ගණනාවක්‌ උඩ ඉන්න පුද්ගලයකුට. ප්‍රේක්‍ෂක බුද්ධිය වැඩිය යුත්තේ නිර්මාණකරුවා. ප්‍රේක්‍ෂකයා ඉල්ලනවැයි කියන දේ දීම නිර්මාණකරුවකුගේ කාර්යය නෙවී. අවාසනාවට අපේ රටේ නිර්මාණකරුවා ඉන්නේ ප්‍රේක්‍ෂකයාට පහළ. ඒ නිසාම තමයි බුද්ධිමත් ප්‍රේක්‍ෂකයා අතරමංව සිටින්නේ.
 
 ඔබ කියන්නේ අවරගණයේ නිර්මාණ නරඹා අද අපේ රූපවාහිනි ප්‍රේක්‍ෂකයා වල්මත් වෙලා කියලද...?
 
 එහෙමත් වෙලා තියෙනවා. හැබැයි 'ඔෂින්' සහ 'මල්ගුඩි දවස්‌' නැරඹූ ප්‍රේක්‍ෂකයාට එහෙම අවුලක්‌ ඇති වුණේ නැහැ. මොකද මේ නිර්මාණ අවරගණයේ නොවුණු නිසා. මේ පවතින අවරගණයේ නාට්‍ය රැල්ලට ඇබ්බැහිවීම තුළ ප්‍රේක්‍ෂකයාගේ චින්තනය බාලවෙලා මොට වෙලා. විචාරශීලී බව නැති වෙලා. ඒ නිසාම ඔහුට හරි නිර්මාණ තේරෙන්නේ නැහැ. ඔළුවත් මාරුවෙලා. මේ විදේශීය නිර්මාණ හරහා අවරගණයේ බොහොම ලාභ නිර්මාණ පෙන්වමින් සිදු කරන්නේ ඒක.
 
 කාටද මෙතනදී වගකීම තිබෙන්නේ...?
 
 මූලිකව රජයක්‌ වශයෙන් මැදිහත්වීම කළ යුතුයි. අපි වාරණයට ගියාට හැම නාලිකාවකටම ඒක කරන්න බැහැ. ඒ අය උත්සාහ ගන්නේ කොහොම හරි මුදල් හම්බ කරන්න. සල්ලි දීලා හරි රේටින්ග්ස්‌ ඉහළ දා ගන්න. අවර ගණයේ නාට්‍ය නිර්මාණ ගෙන්වීම සීමා කරන්න බදු වැඩි කිරීම කළ හැකියි. ඒක එක විකල්පයක්‌. එහෙම නැත්නම් යම් වාරණයක්‌ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතුයි. දැන් නැවතත් රූපවාහිනිය හරහා රටට හොඳ දෙයක්‌ ලබා දීමේ අරමුණින් අපි පාලනාධිකාරියට යෝජනා පත්‍රයක්‌ ලබාදී තිබෙනවා. ඒකට ලැබෙන ප්‍රතිචාර අනුව අලුත් වැඩ පටන් ගන්නවා.
 
 ඔබ පුද්ගලිකව කැමති ඒකාංගික නාට්‍ය කලාවට කියා පැවසුවත්, සැබෑ කර ගත යුතු ලොකු හීනයක්‌ තිබෙන බවත් මේ කතාවේදී කියවුණා...
 
 ඔව්. චිත්‍රපටයක්‌ කරන්න සුදුසු අවශ්‍ය වටපිටාව දැන් මම ලෑස්‌ති කරගෙන ඉන්නවා. බොහෝ විට මේ චිත්‍රපටයේ පිටපත ප්‍රියංකර රත්නායකගේ අතින් ලියෑවෙයි. වාණිජමය අගයක්‌ ගත් කැලැසික්‌ චිත්‍රපටයක්‌ මා අතින් නිපදවෙයි කියලා උපකල්පනය කරනවා. ඒකාංගික නාට්‍යකරණය ඔස්‌සේ දමපු කැටයම් මේකට හොඳ පරිචයක්‌ වෙයි කියලත් හිතනවා. ඒකාංගික නාට්‍යයන් කිරීම එක්‌තරා විදිහක අභියෝගයක්‌. විනාඩි 25 කින් වගේ සියල්ල කිව යුතුයි. ඒ වගේම ඒ නිර්මාණය තුළ ප්‍රේක්‍ෂකයා රඳවා තබා ගැනීමට නිර්මාණකරුවා දක්‍ෂ විය යුතුයි. ඉතිං එයට හරියන ලෙස කැටයම් දැමීම නිර්මාණකරුවාගේ හැකියාව සහ පරිචය. හැබැයි මේක පිටපතේ සිට නිසියාකාරව කළ යුත්තක්‌. එවිට නිර්මාණය උසස්‌. ඉතිං මේ වගේ අභ්‍යාස කරලා තමයි මම චිත්‍රපටයකට අත ගසන්න හිතන්නේ. ලබන වසරේ වැඩ පටන් ගන්න තමයි අදහස. හැබැයි වැඩ ඉවර කරලා ප්‍රදර්ශනය කිරීම තමයි ලොකුම අභියෝගය.
 
 ඔබේ නිර්මාණ දිවිය සම්මාන බොහොමයකින් හැඩ වූවක්‌....
 
 ඔව්. මට සම්මාන 13ක්‌ ලැබී තිබෙනවා. ගිය වසරේ මගේ 'නැවතුම්පලට' සුමති සහ රාජ්‍ය සම්මාන ලැබුණා. ඊට ප්‍රථම 'භාවතීර්ථ' වෙනුවෙන් සම්මාන 6ක්‌ ලැබුණා. රාජ්‍ය සම්මාන උළෙලේදී එය අගයමින් ජාතික රූපවාහිනියට සම්මාන පිරිනැමුවා. හැබැයි ඊට පසු අපේ ආයතනය විසින් නිර්මාණ නොකිරීම මට දුක්‌බර කතාවක්‌ වුණා. එවකට රූපවාහිනියේ වැඩසටහන් අංශයේ මුල් පුටුවේ සිටි නිලධාරීයකුගේ නිර්මාණ කුහකකම නිසා ආයතනයට එදා ලැබුණු ගෞරවය දිගටම පවත්වාගෙන යන්න බැරි වුණා.
 
 වර්තමාන සභාපතිතුමා ඇතුළු පාලනාධිකාරියට විශාල උවමනාවක්‌ තියනවා රූපවාහිනියේ උන්නතිය වෙනුවෙන් අපෙන් වැඩ ගන්න. ඒක හොඳ ප්‍රවණතාවක්‌. එහෙම වුණොත් මටත් නැවත වැඩ පටන් ගත හැකියි. මගේ ගුරු පියා හැටියට සලකන දයාරත්න රටගෙදර මහතාව සිහිපත් කිරීම වටිනවා. ඔහු මට කිසි දිනක වෙනස්‌කමක්‌ ප්‍රදර්ශනය කළේ නැහැ. මම මුල් කාලයේ ඔහුගේ සහායකයා ලෙස කටයුතු කළා. ඔහු ඉතාමත් දක්‍ෂයෙක්‌. නමුත් වැඩවලට අදක්‍ෂ පුද්ගලයෝ දක්‍ෂයාගේ කකුලෙන් අදිනවා. අකුල් හෙළනවා. ඒත් ඉතිං ඒක මේ කලාවට විතරක්‌ පොදු දේකුත් නෙවීනේ.
 
 ඔබේ පවුලේ තොරතුරු....
 
 මගේ බිරිඳ මනුජා කුමාරි කළුගම්පිටිය. ඇය හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ සංගීත ගුරුවරිය. අපේ එකම පුතා රන්සික ලියනගේ. ඔහු චීනයේ අධ්‍යාපනය හදාරනවා. සංගීතයට කැමතියි. ගීත ගායනයට හැකියාව තිබෙනවා.
 
 සුජීව තත්සර

itn
 
 ITN FM ගුවන් විදුලිය මෙම බදාදා (10 දා) සිට යාවත්කාලීන කෙරෙන බව පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය විය.
 
 එහිදී ස්‌වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්‌ටි මහතා අදහස්‌ දක්‌වමින් මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව අලුයම 4.00 සිට 6.00 දක්‌වා 'අරුණට පෙර' විකාශය වේ. සුපුෂ්පිත අදහස්‌ මුතුකැට මතුවන නිදහස්‌ පිණි ඵලස ලෙස එය හඳුන්වයි. 6.00 සිට 7.00 දක්‌වා සත් දින පුවත් සටහන 'ගිරි මුදුනය' ජනතාවාදී මාධ්‍යකරණයේ ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසකරණය නමින් එය සිදුකෙරේ. 7.00 සිට පෙරවරු 10.00 දක්‌වා 'ඉර ඇහැරුණු නිමේෂයේ සිතු සරසන තතු මිහිර', 'අලුත් උදැසන' විකාශය කෙරේ. 10.00 සිට දහවල් 12.00 දක්‌වා ශ්‍රාවකයන් ඉල්ලන ගී ප්‍රචාරය කරන 'වර්ණ'ය 12.00 සිට සවස 2.00 දක්‌වා රැකියා සොයන්නන්ට මඟ පෙන්වන 'සිහින සාගරේ'ය. 2.00 සිට 4.00 දක්‌වා නමගිය චරිත ගෙන්වන 'හෙවණට එන්න' විකාශය කෙරේ. සවස 4.00 සිට 6.00 දක්‌වා 'ITN හැන්දෑව' එමඟින් ශ්‍රාවක සිත් සැහැල්ලු කරයි. 6.00 සිට 8.00 දක්‌වා 'Six Eight' ය. කනට මිහිරි ශ්‍රාවකයා මුමුණන වේග රිද්ම ගී පොකුරක්‌, 8.00 සිට 10.00 දක්‌වා 'නොනිමි චාරිකය' එය අපූර්ව අත්දැකීමකි. මීට අමතරව සති අන්තයේ පස්‌වරු 2.00 සිට 4.00 දක්‌වා 'නින්නාද' විකාශය කෙරේ. එමඟින් ශ්‍රාවකයා Rජුව ගුවන්විදුලි මැදිරිය හා සම්බන්ධ කරගනී. සෙනසුරාදා සවස 6.00 සිට 8.00 දක්‌වා 'හැඟුම් වරුසාව' සමඟින් සංගීතය පිළිබඳ නව මානයක්‌ සොයා ගමන් කරයි. ITN FM හි මෙම වෙනස පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට සභාපති සමන් අතාවුදහෙට්‌ටි මෙන්ම ප්‍රධාන විධායක නිලධාරි චන්දන තිලකරත්න, ක්‍රියාකාරී අධ්‍යක්‌ෂ විමල් කැටපෙආරච්චි යන අය ද එක්‌වූහ.

sanakසිංහල සංගීතයේ සනත් නන්දසිරි සනාතන ගී මියෑසි කෘතිය 12 වැනි බ්‍රහස්‌පතින්දා සවස 4.15 ට කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී එළිදැක්‌වේ.
 
 සිංහල සංගීතයේ සනත් නන්දසිරි සනාතන ගී මියෑසි ගේය කාව්‍ය රචක මාධ්‍යවේදී යාපා බණ්‌ඩාර සෙනෙවිරත්න විසින් රචනා කරන ලද ගී විමර්ශනාත්මක හා සෞන්දර්යාත්මක නවතම ග්‍රන්ථය වෙයි.
 
 උත්තර භාරතීය සංගීතයේ මනා ශික්‍ෂණය ලද ස්‌වතන්ත්‍ර නිර්මාණවාදී සංගීතවේදියකු සහ විපුල අභ්‍යාසලාභී ගායනවේදියකු ලෙස දෙස්‌ විදෙස්‌ සුපතල, වත්මන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අඩසියවසක්‌ පුරා සිංහල සංගීතයේ පෝෂණය, භූෂණය, ව්‍යාප්තිය හා රස ජනනය උදෙසා ලබාදුන් අමිල අද්විතීය දායකත්වය සහ රසික ශ්‍රාවක ආනන්දය ප්‍රඥව අවදිකිරීමේලා කළ පෘථුල මෙහෙවර පිළිබඳ විමර්ශනාත්මකව රචිත මෙම ග්‍රන්ථය කොළඹ මරදානේ µdස්‌ට්‌ පබ්ලිෂිං සමාගමේ ප්‍රකාශිත සුසර පොතක්‌ ලෙස පාඨක ලොවට එක්‌වෙයි.
 
 ගුවන්විදුලි මාධ්‍යයේ ද සිනමා හා ටෙලි නාට්‍ය කලාවේද, ගේය කාව්‍ය රචකයකු මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවේදියකු මෙන්ම වෙළෙඳ ප්‍රචාරණ නිර්මාණ ශිල්පියකු වශයෙන් දිගු කලක්‌ පුරා කටයුතු කරන යාපා බණ්‌ඩාර සෙනෙවිරත්න විසින් රචනා කරන ලද සිංහල සංගීතයේ සනත් නන්දසිරි සනාතන ගී මියෑසි ප්‍රසංගාත්මකව එළිදැක්‌වෙයි. සනාතන ගී මියෑසිය දේශන මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, මහාචාර්ය කෝලිතභානු දිසානායක සහ ආචාර්ය නුවන් නයනජිත් කුමාර යන මහත්වරුන් විසින් පවත්වනු ලබති.
 
 සනාතන සහයෝගිතා මඩුල්ල වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්‍ෂ සුනිල් අරුණ වීරසිරි, විශාරද අනුරාධා නන්දසිරි, හස්‌තලේඛ චිත්‍රශිල්පී වසන්ත සනත්, විශාරද සුනිල් අමරසිංහ, ලේඛක ඩොනල්ඩ් මැක්‌ස්‌වත් යන ශිල්පීහු සනාතන ගී මියෑසි උළෙල සංවිධාන කරති. ගුවන් විදුලියේ සංගීතවේදී විශාරද සිදත් සෝමසුන්දර සනාතන ගී මියෑසි සංගීතය මෙහෙයවයි. පූරක හඬ සුජීව හරිස්‌චJද්‍ර සහ දිනූෂා වෙත්තසිංහය. සිංහල සංගීතයේ සනත් නන්දසිරි සනාතන ගී මියෑසි සැඳෑව රසික සැමට විවෘත ප්‍රසංගාත්මක ඉදිරිපත් කිරීමකි.
 

sirasa1
 
 'සිරස ෆිල්ම් ස්‌ටාර්' යනු ශ්‍රී ලාංකේය0 සිනමාවට පිවිස සිහින දකින, සිහින හඹායන, තාරකා පරපුරක ආගමනයට පාර කියන අලුත්මක රියෑලිටි වැඩසටහනයි. මෙතෙක්‌ දේශීය ටෙලිවිෂන් ප්‍රේක්‌ෂකයා අත් නොවිඳි නැවුම් ආකෘතියක්‌ උපයෝගි කරගනිමින් තාරුණ්‍යයේ සිහිනය සොයා යන සිනමාත්මක අත්දැකීමක්‌ වෙනුවෙන් සිනෙ තරු පිරිවරා ගනිමින් 'සිරස ෆිල්ම් ස්‌ටාර්' වේදිකාව ඒකාලෝකමත් කරයි.
 
 දහස්‌ සංඛ්‍යාත අයෑදුම්කරුවන් අතරින් සහජයෙන් උරුම වූ රංග ප්‍රතිභාව හැකියාවෙන් අතික්‍රමණය කළ අතිශය නිර්මාණශීලී තාරුණ්‍යයේ හැඩකාර බව රැගත් සුපිරිතමයන් 24 දෙනකුගේ තියුණු තරගාවලිය සමඟින් 'සිරස ෆිල්ම් ස්‌ටාර්' හෙට (සෙනසුරාදා) සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 9 සිට සිරස නාළිකාව ඔස්‌සේ විකාශය වීමට නියමිතය.
 
 මෙම තරගාවලියේ විනිශ්චය මණ්‌ඩලය ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ පීඨාධිපති මහාචාර්ය පැටි්‍රක්‌ රත්නායක, ප්‍රවීණ රංගන ශිල්පිනී නදීකා ගුණසේකර, සම්මානනීය සිනමා අධ්‍යක්‌ෂ අනුරුද්ධ ජයසිංහ නර්තනාචාරිනී ප්‍රසාදි රණසිංහ කටයුතු කරනු ලබති.
 
 සුජාතා ජයරත්න

mangala  
 උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම සිනමා නිර්මාණය වන 'වස්‌සානයේ සඳ' චිත්‍රපටයේ ප්‍රථම විදේශීය මංගල දැක්‌ම 08 වැනිදා (ඉරිදා) සවස 6.15 ට ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ රවුස්‌ හිල්හි රීඩින්  සිනමා ශාලාවේදී පැවැත්වේ. එමෙන්ම ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයේදී 14 වැනි (සෙනසුරාදා) සවස 3.15 ට ඩැන්ඩිනෝන්හි රීඩින් සිනමා ශාලාවේදී ද 15 වැනි ඉරිදා සවස 6.00 ට එපින්හි රීඩින් සිනමා ශාලාවේදී ද අමතර දර්ශන පැවැත්වේ.
 
 පියුමි හංසමාලි, ඕෂධී හිමාෂා හා ඇන්ජලෝ සන්ජිව් සිනමාවට හඳුන්වාදෙන මෙම චිත්‍රපටයේ අනුඡ් රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රීනාත් මද්දුමගේ, සුවිනීතා වීරසිංහ, අනුලා කරුණාතිලක අනෙකුත් ප්‍රධාන චරිත නිරූපණය කරති. මෙම චිත්‍රපටයේ අඩක්‌ පමණ ඔස්‌ටේ්‍රලියාවේ දර්ශනීය ස්‌ථානවල රූපගත කර ඇති අතර කැමරා අධ්‍යක්‌ෂණය අයෙෂ්මන්ත හෙට්‌ටිආරච්චිගෙනි. රෝහණ වීරසිංහ සංගීතය මෙහෙයවා ඇති අතර සංස්‌කරණය ප්‍රවීන් ජයරත්නගෙනි. ඩොනල්ඩ් ජයන්ත අධ්‍යක්‌ෂණයට සහාය වී ඇති අතර වේෂ නිරූපණය ඉන්දික උදාරලංකාගෙනි. මහාචාර්ය සුනිල් ආරියරත්න, බණ්‌ඩාර ඇහැලියගොඩ, කුලරත්න ආරියවංශ, සුනිල් විමලවීර හා ආරියසිංහ පෙරේරාගේ ගී රචනා සඳහා සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්‌, උරේෂා රවිහාරි, ශෂිකා නිසංසලා, අමල් පෙරේරා, අභිෂේකා විමලවීර හා දුමාල් වර්ණකුලසූරිය ගීත ගායනා කර ඇත.
 
 සැමට නැරඹිය හැකි සුන්දර පවුලේ කතාවක්‌ රැගත් වස්‌සානයේ සඳ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ එච්. ඩී. ප්‍රේමසිරි, මහේෂ් කේ. බණ්‌ඩාර හා උදයකාන්ත වර්ණසූරිය විසිනි.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles