Divaina - මා රඟපෑවේ විනෝදය හා ආත්ම තෘප්තිය සඳහායි - ප‍්‍රවීණ රංගන ශිල්පී අශෝක හේවාවිතාරණ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

asoka21960 දශකයේ මැද භාගයේ සිනමාවට පිවිසි රංගනයෙන් දායකවී ප‍්‍රධාන චරිත තුළින් පසු කලෙක දුෂ්ට චරිත නිරූපණයට එක්වූ ප‍්‍රකට සිනමා රංගන ශිල්පී අශෝක හේවාවිතාරණ ඔබට මතකද? දැනට සිනමා දිවියෙන් ඈත්ව විවේක සුවයෙන් යක්කල, වැරැුල්ලවත්ත ප‍්‍රදේශයේ තම නිවසේ ගත කරමින් සිටියදී පසුගිය දිනෙක ඔහු සමගින් ”දිවයින සිනමා කලා” පිටුවට සුහද සංවාදයක යෙදීමට හැකිවිය.
 
 දුෂ්ට චරිත රංගනයෙන් සිනමා ක්‍ෂේත‍්‍රයට පිවිස පසුව ප‍්‍රධාන චරිත නිරූපණයට එක්වන සිනමා රංගන ශිල්පීන් සිටිය ද ප‍්‍රධාන චරිත නිරූපණයෙන් දුෂ්ට චරිත රංගනයට එක්වූ සිංහල සිනමාවේ ජයකෙහෙළි නැංවූ අශෝක හේවාවිතාරණ සිනමාවට තමන් එක්වීම අහඹු ලෙස සිදුවූ සිද්ධියක් බැව් සඳහන් කළේය.
 
 ඔබගේ ජීවිතය පිළිබඳව කෙටියෙන් සඳහන් කළොත්....මා උපන්නේ 1941 වර්ෂයේ මැයි මස 06 වැනිදා, අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විදුහලෙන්. පාසල් සමයේදී අධ්‍යාපන කටයුතුවලට වගේම කී‍්‍රඩාවටත් සම්බන්ධ වුණා. විශේෂයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදුණා. ඒ වගේම පිහිනුම් කළා.
 
 මං රංගන කලාව වෘත්තියක් ලෙස කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මං වෙනත් වෘත්තියක නියැළී සිටියා. කලක් නිව් ඉම්පීරියල් සිනමා ශාලාවේ කළමනාකරු ලෙස සේවය කළා. නමුත් සිනමා රංග කලාවට හෝ සිනමාවේ වෙනත් ක්‍ෂේත‍්‍රයකට සම්බන්ධයක් තිබුණේ නැහැ.
 
 ඔබ සිනමා රංගනයට යොමු වුණේ කොහොමද?
 
 මගේ ඥාතියකු වන රන්ජිත් හේවාවිතාරණ දැක තිබෙනවා පුවත්පතක පළවී තිබුණු දැන්වීමක්. විමලනාත් දිසානායකගේ කළ
 
 ‘මාතෘ භූමි’ නම් චිත‍්‍රපටය සඳහා ප‍්‍රධාන නළුවකු අවශ්‍ය බව සඳහන් කරමින්. මාගේ මෙම ඥාතී සහෝදරයා විමලනාත් දිසානායක බොහොම ළඟින් ඇසුරු කළ අයෙක්. ඔහු මාව දිසානායක ළඟට එක්කර ගෙන ගියා. මා පාසල් සමයේ සිට කී‍්‍රඩාවේ නියැළුණු නිසා පෘෂ්ටිමත් සහ කඩවසම් පෙනුමක් මට තිබුණා. මගේ ඥාති සහෝදරයා මං රංගන ශිල්පියකු වෙනවා දකින්න බොහෝම කැමැත්තෙන් සිටි කෙනෙක්.

asoka1
 
 මුලින්ම රංගනයේ යෙදුණු චරිතය සහ චිත‍්‍රපටය කුමක්ද?
 
 මාගේ මුල්ම රංගනය ‘මාතෘ භූමි’ චිත‍්‍රපටයයි. ඒ වර්ෂ 1964 දී. මාගේ ප‍්‍රධාන චරිතය උතුරු පළාතේ වෙරළාරක්‍ෂක කඳවුරක් භාරව රාජකාරි කළ හමුදා කපිතාන්වරයකුගේ චරිතයයි. එහි චන්ද්‍ර කලා නමින් හැඳින්වෙන නිළිය කල්ලතෝනි චරිතයක් නිරූපණය කළා. හමුදා කපිතාන්වරයකු ලෙස රාජකාරි කළ මා ඇයව අල්ලා පොලිසියට භාර දෙනවා. ඇය සියදිවි නසා ගන්නා රංගනයක් ඉදිරිපත් කරනවා. මාගේ මුල්ම චිත‍්‍රපටය ‘මාතෘ භූමි’ වුණත් ඊට පසුව රූගත කළ ‘ඉවසන දනා’ චිත‍්‍රපටය මුලින් තිරගත වුණා. එහි අධ්‍යක්‍ෂණය ආනන්ද ජයසිංහ විසින් සිදුකළා.
 
 ‘ඉවසන දනා’ චිත‍්‍රපටය තිරගත වූ ඔබගේ මුල්ම චිත‍්‍රපටයයි. ඒ ගැන සඳහන් කළොත්....?
 
 ප‍්‍රකට රංගන ශිල්පිනියක වූ ක්ලැරිස් ද සිල්වා මගේ පෙම්වතිය ලෙස ‘ඉවසන දනා’ චිත‍්‍රපටයේ රඟපෑවා.
 
 රඟපෑ සෙසු චිත‍්‍රපට ගැන සඳහනක් කළොත්...?
 
 මාතෘ භූමි චිත‍්‍රපටයෙන් පසුව රඟපෑවේ ‘ඉවසන දනා’ චිත‍්‍රපටයේ. එම චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ ඞී. එස්. ජයසිංහ විසින්. ප‍්‍රධාන චරිත රඟපෑවේ එඞී යාපා සහ ස්ටැන්ලි පෙරේරා. ක්ලැරිස් ද සිල්වා එහි ප‍්‍රධාන නිළිය ලෙස රඟපෑවා. සබීතා පෙරේරා සමගින් ඇගේ පියා ස්ටැන්ලි පෙරේරා, මව ගර්ලි ගුණවර්ධනත් රඟපෑම විශේෂත්වයක් වෙනවා. පතිරාජ එල්.එස්. දයානන්ද අධ්‍යක්‍ෂණය කළ විජය හා මාලනී රඟපෑ ‘ගංගා’, සිරිකුලරත්න අධ්‍යක්‍ෂණය කළ ‘රිදී තැල්ල’, ජෝ අබේවික‍්‍රම සහ ස්වර්ණා මල්ලවාරච්චි රඟපෑ ‘සිංහබාහු’ එය අධ්‍යක්‍ෂණය කළේ පතිරාජ. ඒ වගේම පති අධ්‍යක්‍ෂණය කළ ‘ජෝඩු වළලූ’ විජය හා මාලනී ප‍්‍රධාන චරිත නිරූපණය කළ පතිරාජ එල්.එස්. දයානන්දගේ ‘සෙලිනාගේ වළව්ව’, වොලී නානායක්කාර, ඔස්වල්ඞ් ජයසිංහ සහ ශි‍්‍රයානි අමරසේන රංගනයෙන් දායකත්වය දුන් ‘සිකුරු දසාව’, මගේ සොයුරු තිස්ස හේවාවිතාරණ අධ්‍යක්‍ෂණය කළ ටෝනි රණසිංහ, ශිරානි කුරුකුලසූරිය සමග නීටා ප‍්‍රනාන්දු රංගනයේ යෙදුණු ‘කෝකිලයෝ’, සිරි කුලරත්න අධ්‍යක්‍ෂණය කළ ‘පෙතිගෝමර’ ශාන්ති අබේසේකර අධ්‍යක්‍ෂණය කළ රැුල්ෆ් විජේසේකර සමගින් ශාන්ති අබේසේකර, ප‍්‍රධාන චරිත නිරූපණය කළ ‘සිදාදියෙන් හයක්’, මෙරිල් ඇල්බට් අධ්‍යක්‍ෂණය කළ විජය-මාලනී ප‍්‍රධාන චරිත පණ පොවා ‘දහකින් එකෙක්’, සිරිකුලරත්න අධ්‍යක්‍ෂණය කළ ‘වස්තුවක’ පතිරාජ එල්. එස්. ගේ අධ්‍යක්‍ෂණය විජය හා මාලනී ප‍්‍රධාන චරිත රැුගත් ‘හත්දින්නත් තරු’, පතිරාජ එල්. එස්. දයානන්ද විසින්ම අධ්‍යක්‍ෂණය කළ ‘කිවුලේ ගෙදර මොහොට්ටාල’ සහ කලා සූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදනය කළ ජෝ අබේවික‍්‍රම සහ මාලනී ෆොන්සේකා ප‍්‍රධාන චරිත නිරූපණය කළ ‘මාතර ආච්චි’ වගේ චිත‍්‍රපට ගණනාවක මා රංගනයේ යෙදුණා. මුළු චිත‍්‍රපට සංඛ්‍යාව හතළිහකට වැඩියි.
 
 ඔබ සිනමාවට සම්බන්ධ වීමට පෙර වෙනත් ක්‍ෂේත‍්‍රයක වෘත්තීයක නියැළී සිටි බව සඳහන් එය ඇත්තක්ද?
 
 මම සංචාරක කර්මාන්තයට සම්බන්ධව සංචාරක මාර්ග උපදේශකයකු ලෙස කි‍්‍රයා කළා. 1974 දී පමණ පුත්තලම ප‍්‍රදේශයේ අක්කර 50 ක පමණ කජු, අඹ, මිරිස්, එළවළු වර්ග වැව්වා. ඒ කාලයේදී ඒ පළාතේ තදින්ම මැලේරියාව තිබුණා. මා විවාහ වුණේ 1968 නොවැ. 22 වැනිදා. මාගේ බිරිඳ නාලනී රාජපක්‍ෂයි. අප පවුලක් ලෙස දරුවන් හා බිරිඳ සමගින් පුත්තලමේ පදිංචිවෙලා ඉඳලයි ගොවිතැන් කළේ. දරුවන් ලොකු වෙද්දී ඒ අයට පාසල්වලට ඇතුළත් කරගන්න ඕනෑ නිසා යළිත් කොළඹට ආවා. 1979 දී යළිත් සංචාරක ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වුණා. ඒ කාලයේ හොඳට ආර්ථික ශක්තිය ඇති වුණා.
 
 සිනමා ක්‍ෂේත‍්‍රය හා සංචාරක කර්මාන්ත ක්‍ෂේත‍්‍රය අතර දකින වෘත්තීමය වෙනස කුමක්ද?
 
 සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෘත්තීය තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න හොඳයි. 1960-1970 දශකයේ එම කර්මාන්තය හොඳ තත්ත්වයක තිබුණා. නමුත් චිත‍්‍රපට රංගන කලාවේ යෙදුණේ මාගේ විනෝදය හා ආත්ම තෘප්තිය සඳහායි. විජය - මාලනී, ටෝනි, ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු, නීටා, ජෝ, කාන්ති ලංකා, ක්ලැරිස් ද සිල්වා, රවීන්ද්‍ර රන්දෙණිය, වොලි නානායක්කාර, ශිරාණි කුරුකුලසූරිය වැනි ප‍්‍රකට දක්‍ෂ රංගන ශිල්පීන් සමග එකට රඟපෑමට ලැබීම මාගේ ජීවිතයේ එක් ජයග‍්‍රහණයක් ලෙසයි මා දකින්නේ. ඒ කාලයේ රඟපෑමට ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට ගියා. දින ගණන් නැවතිලා සිටියා. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා වගේ ගායකයන් ගීත පටිගත කිරීම් බලන්න එනවා. එවැනි දවස්වල ඔවුන් අප සමඟ ?ට නවතිනවා. සින්දු කියනවා. පැදුරු සාජ්ජ දමනවා. ඒක හරිම විනෝදයි.
 
 ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රයතම නිළියන් ගණනාවක් සමගින් ඔවුන්ගේ පෙම්වතා ලෙස රඟපෑවා නේද?
 
 මා මාලනී ෆොන්සේකා, ක්ලැරිස් ද සිල්වා, චන්ද්‍රකලා, ශිරානි කුරුකුලසූරිය ඇතුළු නිළියන් කීප දෙනෙකුගේ පෙම්වතා ලෙස රඟපෑවා. ඇත්තෙන්ම ඒ සියල්ල කැමරාව ඉදිරියේ පමණයි. මා මාගේ විවාහ දිවියට පවුල් දිවියට ඒවායින් බලපෑම් ඇති වුණේ නෑ. මම මගේ සිනමාවේ රංගනයයි පවුල් ජීවිතයයි පටලවා ගත්තේ නැහැ.
 
 ඔබට විදෙස් චිත‍්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබුණා අපට මතකයි....
 
 මට ලෝක ප‍්‍රකට දයා ¥තිකාවක් ලෙස පිළිගන්නා ‘මදර් තෙරේසා’ ගැන නිර්මාණය කළ ‘මදර් තෙරේසා’ ඉංගී‍්‍රසි චිත‍්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. මං සංචාරක ක්‍ෂේත‍්‍රයේ මාර්ග උපදේශකයකුව සිටි නිසා ඉංගී‍්‍රසි භාෂාව මැනවින් කළමනාකරණය කරන්න හැකියාව තිබුණා. ඒ සඳහා මා තෝරා ගැනීමට එය මූලික සුදුසුකමක් වෙන්න ඇති. ලෝක ප‍්‍රකට නළු චාලි චැප්ලින්ගේ දියණිය ජෙරල්ඞීන් චැප්ලින් සමග රඟපාන්න අවස්ථාව ලැබුණා. චාලි චැප්ලින්ගේ දුව තෙරේසා මව්තුමියගේ චරිතය නිරූපණය කළා. මා නිරූපණය කළේ විනිශ්චයකරුවකුගේ චරිතයයි.
 
 මෑතකදී රංගන දායකත්වයකට ඔබට අවස්ථාව ලැබී තිබෙනවාද?
 
 උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්‍ෂණය කළ ‘මධුර චාරිකා’ චිත‍්‍රපටයේ මා රංගන දායකත්වය දැක්වූවා. ජ්‍යෙෂ්ඨ හා ප‍්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් මෙයට දායකත්වය ලබාදුන්නා.
 
 ඔබට ලැබුණු සුවිශේෂී සම්මාන පිළිබඳව සඳහන් කළොත්.....
 
 මට 2012 කාලභූෂණ රාජ්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයේx සම්මානයක් ලැබුණා. ඒ වගේම මා සිනමා කලා ක්‍ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා ඉටුකළ නිර්මාණශීලී මෙහෙවර ඇගයුම් වස් කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සංස්කෘතික පදනම මගින් සුවඳ පද්ම 2014 සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ හැර වෙනත් සම්මාන ලැබී නැහැ. මා රසික ජනතාවගේ හදවතේ තදින් සනිටුහන් වෙලා තිබෙනවා.
 
 මෙරට සිනමා ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් ප‍්‍රවීණ රංගන ශිල්පී අශෝක හේවාවිතාරණ මහතා සිය බීරිඳ නාලිනී දරුවන්, මුණුබුරු මිණිබිරියන් විවේක සුවයෙන් ගත කරති. ඔහුගේ ලිපිනය අංක 253, පළමුවැනි පටුමග, වැරැුල්ලවත්ත, යක්කල. ජංගම දුරකථනය 0716296029.
 
 සටහන හා ඡුායරූප
 ජූඞ් ඩෙන්සිල් පතිරාජ

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles