Divaina - ගැයූ කුළුඳුල් පේ‍්‍රම ගීතය විරහ ගීයක් නොවේවා...! "ඔබේ අත ගෙන පෙර සැඳෑවක’’ මහරගමදී...!!

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

සුභාවිත ගීයට කිසිම අනුග‍්‍රහයක් නෑ - රෝහණ සිරිවර්ධන

 

roha2

මවුගුණ ගීයක් තම පළමු සරල ගීය ලෙස ගයන ශිල්පියෙක්,
ඒ මහිමය නිසාම පසු කලෙක ජනපි‍්‍රය වීම, ප‍්‍රසිද්ධ වීම අරුමයක් නොවේ.
 
 කරුණා සීතල හද විල
 ප‍්‍රාර්ථනා මල් පිපුණා
 අරුණා ලෝකයෙ ලස්සන
 ශාන්ත හදවත පිරිලා...
 
 හැත්තෑපහේ දී සරල ගී පරීක්‍ෂණයෙන් සමත්ව ගැයූ පළමු ගීය. ඔහුට රචනා කර දෙන්නේ කරුණාරත්න අබේසේකර. අද මහාචාර්යවරයකුව සිටින සංගීත් නිපුන් සනත් නන්දසිරි ඒ ගීයට සංගීතය නිර්මාණය කරයි. මේ ගීය ඔහු ගයන්නේ කලා ලොවට පිවිස වසර පහළොවක් ගිය පසුවයි.
 
 රෝහණ සිරිවර්ධන, කොළඹ ආනන්ද විදුහලේ ඉගෙන ගන්නා සමයේ දී දක්‍ෂ චිත‍්‍ර ශිල්පියෙක්. ජෝ දඹුලූගල ඔහුගේ චිත‍්‍ර ගුරුවරයා. ඒත් පාසලේ විෂයයක් ලෙස රෝහණ ඉගෙනුම ලැබුවේ ජීව විiා අංශයෙන්. අමතර විෂයයක් ලෙස පේ‍්‍රමවංශ හපුවලාන සහ අනිල් මිහිරිපැන්න ගුරුවරුන් දෙදෙනාගෙන් සංගීතය පිළිබඳ අත්පොත් තැබුවේය.
 
 පදිංචිව සිටියේ කොළඹ මරදාන ආශි‍්‍රතව. අයියා පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ මරදානේ සංගීත මංජරියේ සිසුවෙක්. අක්කලා දෙදෙනෙක් බී. ගුණපාල පෙරේරා මාස්ටර්ගෙන් වයලීන වාදනය ඉගෙනගනී. අහල පහල කලාකරුවන් රැුසක් පදිංචිව සිටී. මොහොමඞ් සාලි, කරුණාරත්න අබේසේකර, පේ‍්‍රමකීර්ති ද අල්විස්, මොහිදීන් බෙග්, පියදාස ගුණසේකර, ජයතිස්ස අලහකෝන්, සාදින් මාස්ටර්, කුවින්ටස් වීරකෝන් මේ අය වගේම ඔවුන්ගේ දරුවන් රෝහණගේත් පවුලේ සොයුරු සොයුරියන්ගේත් මිතුරන්.
 
 එපමණක් නොවේ මරදාන, මාළිගාකන්ද අවට වැඩ විසූ කළුකොඳයාවේ පඤ්ඤාසේකර, අකුරටියේ නන්ද, පානදුරේ අරියධම්ම, රජවත්තේ වප්ප යන සංඝ පීතෘවරුන්ගේ ඇසුර ලබන්නට තරම් රෝහණ පින් කළේය.
 
 රෝහණ හැටේ දශකයේ දී කරුණාරත්න අබේසේකරගේ ළමා පිටියට පැමිණේ. රූපා ඉන්දුමතී, මල්කාන්ති නන්දසිරි, පුන්සිරි සොයිසා, නිර්මලා රණතුංග, යසපාල පෙරේරා, චන්ද්‍රාණි ගුණවර්ධන, සමන් අතාවුදහෙට්ටි එකළ ළමා පිටියේ ඔහුගේ සමකාලීනයෝය.
 
 යෞවනයකු වෙද්දී රෝහණ ළමා පිටියට සමු දෙන්නට විය. ඔහු ගුවන් විදුලියේ නිවේදන කටයුතුවලට එක් වූ අතර වැඩසටහන් සම්පාදනය කිරීමද කළේය. පසුව නිෂ්පාදක ධුරය දක්වා පැමිණි රෝහණ මහාචාර්ය විමල් අභයසුන්දරයන් සමග ගුවන්විදුලි ගීත නාටක නිර්මාණය කළේය. එකළ ඔහු ආනන්ද සිරිසේන ලියූ ’’වජිරා’‘, ගුවන් විදුලි නාට්‍යයේ ’’නිමල්’’ විය. කුසුම් පීරිස්ගේ ’’පහන් සිළුව’’ නාට්‍යයේ ‘‘නිශ්ශංක අයියා’’ විය.
 
 ඔබේ අතගෙන පෙර සැඳෑවක
 උයන් තෙර හිඳ ආදරෙන්
 ගැයූ කුළුඳුල් පේ‍්‍රම ගීතය
 විරහ ගීයක් නොවේවා...
 
 රෝහණ සිරිවර්ධන තම පළමු සරල ගී වැඩසටහනට ගැයූ ගීය අතිශයින් ජනපි‍්‍රය වන්නට විය.
 
 ‘‘ඒ කාලේ අපි හරිම තරුණයි. කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ, කැමිලස් පෙරේරා නිතර ගුවන්විදුලියේ දී හමු වෙනවා. අපි සතුටු සාමීචියේ යෙදෙනවා. සාමාන්‍යයෙන් ගුවන් විදුලියේ රාජකාරිය කළ නිසා මම මගේ සරල ගී වැඩසටහනට ලෑස්ති වෙන්නේ අන්තිම මෙහොතේ. පළමු සරල ගීය අන්තිම මොහොතේ මම කුලරත්න ආරියවංශට කිව්වා ගීතයක් ඕනේ කියලා. එයා මුල් පේළි හතර ලියුවා. පසුව ඒකත් අරගෙන ලක්‍ෂ්මන් විජේසේකර හමුවෙන්න ගියා බම්බලපිටිය ෆ්ලැට් එකට. එතැනට රෝහණ වීරසිංහත් ආවා. පැදුරක් එළාගෙන හතර දෙනාම ඉඳගත්තා. වචනවලට කලින් තනුව හැදුවා. ඉතිරි පද ටික කුලරත්න ලියලා තනුවට පිරෙව්වා. වෙද්දී ගීය ලියැවුණා...’’ රෝහණ සිරිවර්ධන අතීතය ආවර්ජනය කළේය.
 
 හැත්තෑව දශකයේ දී සංස්කෘතික වැඩ සටහනකට සහභාගි වෙන්න ජෝතිපාල, එම්.එස්. ප‍්‍රනාන්දු, සී.ඞී. ෆොන්සේකා, කි‍්‍රස්ටෝපල් පෝල් නුවරඑළියට ගියා. දින හතරක් පහක් එහි සිටියා. එක්තරා යෞවනියක් අපව දැන හඳුන ගත්තා. ඇය මා කෙරෙහි විශේෂත්වයක් දැක්වූවා. අපි ආයෙත් කොළඹ එද්දී මේ යුවතිය කන්දක් උඩ ඉඳලා ලේන්සුවක් වනමින් අපට සමුදෙනවා දැක්කා. මට ඇය ගැන අනුකම්පාවක් ඇතිවුණා. මේ මිහිරියාව නිසා කොළඹට එද්දී මගේ හිතේ තනුවක් නිර්මාණය වුණා. කොළඹ ආ හැටියේ මම කරුණාරත්න අබේසේකර හමුවෙලා මේ කතාව කිව්වා. මල්ලී තනුව මුමුණන්න කියලා ඔහු මට කිව්වා. ඔහු විනාඩි දහයෙන් සිංදුව ලියුවා.
 
 සීත කඳුරැල්ලේ සිසිලේ කුසුම් සලා
 හිනැහේ... දුර පාවේවි රුවන් වලා...
 
 මෙම ගීය නිර්මාණය වුණේ ඒ විදිහටයි.
 
 කිත්සිරි නිමල් ශාන්ත දැවැන්ත මාධ්‍යවේදියෙක් වෙන්න කලින් මගේ ගුවන්විදුලි වැඩසටහන්වලට ඈතක ඉඳල ලියපු කෙනෙක්. මම දවසක් ඔහුව කොළඹට ගෙන්නුවා. අපි මිත‍්‍ර වුණා. හරිම නිහඬ සංවේදී කෙනෙක්. කිත්සිරි මට ගීතයක් ලියල දුන්නා. ඩයමන්ඞ් පෙරේරා තනුව නිර්මාණය කළා.
 
 ලොවේ කොයි කාටත් හොරෙන්
 ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
 ඔබේ සිත් යහනේ....
 
 කැමිලස් පෙරේරාට කන්‍යා සොහොයුරියක් සමග මිත‍්‍රකමක් තිබුණා. ඒ කලේ මටත් කතෝලික යුවතියක් සමග ආදර සබඳතාවක් තිබුණා. මේ අත්දැකීම් අලලා කැමිලස් මට ගීයක් ලියන්න තීරණය කළා. පළමු පද පෙළ ලියැවුණා. ඒ වෙලාවෙම එච්.එම්. ජයවර්ධන ගුවන්විදුලියේ කොරිඩෝව දිගේ ඇවිද යනවා. හීනියට පදම්වෙලා ඔහු හිටියේ. මමත්, කැමිලසුත් ඔහු අසලට ගිහින් ගීය ගැන කිව්වා. පද මාලාව පල්ලියට සම්බන්ධ නිසා කන්තාරු සංගීතය යොදා ගනිමු කියලා ඔහු කිව්වා. කෝරස් එකට ගීතිකා නාද රටාව යොදා ගත්තා. ඒ අනුව කැමිලස් ඉතිරි පද ටිකත් ලියුවා.
 
 දේව මන්දීරේ...
 වැතිරී බැතියෙන් පුදසුන අබියස...
 ආයාචනා... කරම්....
 දැවෙන සිතේ... සංකා සෝ දුක්
 නිවන ලෙසේ....
 
 ගීතය සෑහෙන්න ජනපි‍්‍රය වුණා. මගේ දෙවැනි සරල ගී වැඩසටහනට තමයි මේ ගීතය නිර්මාණය කළේ.
 
 හමුවේවා අපි මතු අත් භවයක
 මිනිස් හඬින් තොර පාළු දූපතේ...
 කාත් කවුරුවත් මුණ
 නොගැසෙන්නට
 අපේ අහිංසක පෙම් පාරා දීසේ...
 
 මේ ගීය මට ලියා දුන්නේ කුලරත්න ආරියවංශ. සංගීතය රෝහණ වීරසිංහගේ. දමයන්ති ජයසූරියගේ ප‍්‍රථම යුග ගීයත් මම හිතන්නේ මේකයි.
 
 කරුණාරත්න අබේසේකරයන් එරානි අක්කට පෙම් කරන කාලේ පවුල්වලින් තහංචි ආ බව මට පවසා තිබුණා. ඇය හමුවෙන්න බැරි පරිසරයක් පවුලේ අය විසින් නිර්මාණය කරලා තිබුණලූ. කරු අයියා දවසක් ගුවන්විදුලියේ දහවැනි මැදිරියේ පියානෝව ළඟට වෙලා තමන්ගේ දුක ලියනවලූ. ඔහු සුළඟට තමයි මේ දුක කියන්නේ.
 
 එන්න මඳනලේ ගොස් පවසන්න දුක මගේ...
 යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ...
 දිවා රැුයේ වැලපිලා දෑස ඈගෙ රතුවෙලා
 කියන්නකෝ මගේ දුක ඇගෙ කණට කොඳුරලා...
 
 කරු අයියා මේ ගීය ලියද්දී තිලකසිරි ප‍්‍රනාන්දු ඒ අසලට ආවාලූ. ගීය දුන්නලූ තිලකසිරිට ගායනා කරන්න. පස්සෙ කාලෙක මම ‘‘වජිරා’’ නාට්‍යයේ නිමල්ගේ චරිතය කළා. නිමල්ටත් මේ ආකාරයේම අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. නිමල් ’’වජිරාට’’ දුක කියන්නේ මේ ගීයෙන්. ගීය මටම ගයන්න ලැබෙනවා. ඒ වෙද්දි තිලකසිරි මියගිහින්. කරු අයියා ගීය අහලා සතුටුවෙලා මට ගීය දිගටම ගායනා කරන්න අවසර දුන්නා.
 
 හැත්තෑ නවයේදී කැසට්පට යුගය ආරම්භ වෙනවා. ආනන්ද ගනේගොඩ මහතා සිංග්ලංකා ඔස්සේ සුභාවිත ගී කැසට්පට නිකුත් කළා. ශිල්පීන් දසදෙනකුගේ කැසට්පට දහයක් එකවර නිකුත් කළා. මමත් කැසට් පටයක් නිකුත් කළා.
 
 ’’මටත් හොරෙන් මගේ සිතින්
 බිඳෙන් බිඳ ආදරය සොරාගෙන
 මගේ සිතම ඔබ රැගෙන ගිහින්...’’
 
 කැසට්පටයට නම දැම්මේ ‘‘මටත් හොරෙන්’’ කියලා. ඒ ගීය ලියුවේ කුලරත්න ආරියවංශයි. සංගීතය රෝහණ වීරසිංහ ගෙනි.
 
 මගේ සංගීත ජීවිතේ දශක හතරක් පසුකළා. කුසුම් පීරිස්, සුමනා නෙල්ලම්පිටිය, තිලකා රණසිංහ, නිරංජලා සරෝජිනී ඇතුළු බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා ප‍්‍රසංගයක් කරන්න කියලා. මම කැමැති වුණා. ඉන්පසු ජයම්පති අල්ගමගේ සභාපතිත්වයෙන් ’’සඳල කලා සංසදය’’ ආරම්භ කරනවා. ඔවුන් ‘‘ඔබේ අතගෙන පෙර සැඳෑවක’’ නමින් මගේ ප‍්‍රසංගය සංවිධානය කරනවා. මෙම 28 වැනිදා සවස 6.00 ට මහරගම යොවුන් රඟහලේ දී නර්තන අංග සමඟ පේ‍්‍රමණීය ගී ප‍්‍රසංගයක්. නිර්මලා රණතුංග, දමයන්ති ජයසූරිය, සෙව්වන්දි රණතුංග, අනුරාධා නන්දසිරි, සන්ධ්‍යා බුලත්සිංහල
 
 ගායනයෙන් සහාය වෙනවා. මනෝජ් පීරිස් ප‍්‍රමුඛ වාදක මණ්ඩලය සහ ප‍්‍රවීණ නිවේදක වසන්ත රෝහණ ප‍්‍රසංගය හැඩ ගන්වනවා. නිමල් සුපර් ලයිට් ඩිජිටල් වේදිකා ආලෝකය සපයනවා. මගේ මේ පේ‍්‍රමණීය ගී සැඳෑවෙන් ලැබෙන ආදයම රාජගිරිය ජයශේඛරාරාම සංඝාවාසය ගොඩනැඟීමටත්, මහරගම අපේක්‍ෂා රෝහලේ ළමා වාට්ටුව සඳහාත් ප‍්‍රදානය කරනවා.
 
 වරදින්නේ නැත මට හිමි බත්පත
 ඔබගේ මුළුතැන්ගෙයි අම්මේ...
 
 මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මට ලියූ ගීයක්. සංගීතය එච්.එම්. ජයවර්ධන. මේ ප‍්‍රසංගයේ අනුග‍්‍රහය ඉල්ලාගෙන මම ආයතන කිහිපයකට ගියා. ඒත් ඉතිං සුභාවිත ගීයට අනුග‍්‍රහය දෙන්නෙ නෑනේ. ඒ ගැන මට දුකයි. මම හම්බ කරගන්න නොවේ මේ ප‍්‍රසංගය කරන්නේ පුණ්‍ය කටයුත්තකට. මැරෙන්න කලින් මගේ හැකියාවෙන් යමක් කළ යුතු නිසයි මේ ප‍්‍රසංගය කරන්නේ...
 
 අජිත් අලහකෝන්
 ඡායාරූපය - දයාන් විතාරණ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles