Divaina - 41 වැනි වරටත් කලාකරුවන්ට උත්තමාචාර පුදන ඕසීඅයිසී / සිග්නිස්‌ ශ්‍රී ලංකා පර්ෂදයේ ආරම්භය හා වර්ධනය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

සම්මාන උළෙල හෙට

ඈෂ්ලි රත්නවිභූෂණ

sig134

කතෝලික සභාව සිනමාව පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන්නට වූයේ දහනව වන සියවසේ මුල් යුගයේ සිටය. එයට හේතු වන්නට ඇත්තේ ක්‍රිස්‌තු ධර්මය ජනතාව අතරට ගෙන යැමට භාවිතා කළ හැකි සන්නිවේදන උපකරණයක්‌ ලෙස සිනමාව සැලකීම වන්නට ඇත. එහි ප්‍රතිඵලය වූයේ 1928 දී හේග් නගරයේ දී අන්තර්ජාතික කතෝලික චිත්‍රපට කාර්යාලය (Office Catholique Internationale
du Cinema - OCIC) නමැති සංවිධානය බිහිවීමයි. මෙහිදී ගන්නා ලද තීරණයක්‌ පරිදි මෙහි ප්‍රථම නිල රැස්‌වීම ජර්මනියේ මියුනික්‌ නගරයේ දී 1929 ජූනි 17 - 20 දක්‌වා පවත්වන ලදී. මෙම සංවිධානය සඳහා 1934 දී ශුද්ධාසනයේ අනුමැතිය ලැබිණ. ශ්‍රී ලංකා කතෝලික සභාව පසු කලකදී මෙම ජාත්‍යන්තර සංවිධානය සමඟ කටයුතු කිරීමට කතෝලික පියවරුන් කීප දෙනෙකු වරින් වර පත් කරනු ලැබුව ද අන්තර්ජාතික කතෝලික චිත්‍රපට කාර්යාලයේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය 1971 දී ස්‌ථාපිත කරන ලද අතර එවකට කැලණිය මීසම් සේවක වශයෙන් කටයුතු කළ අර්නස්‌ට්‌ පෝරුතොට පියතුමාගේ නායකත්වයෙන් හා මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක විය.

1972 වර්ෂයේ දී ලාංකේය සිනමාවට 25 වසරක්‌ සම්පූර්ණ විය. ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (මින් ඉදිරියේදී මෙය OCIC ශ්‍රී ලංකා යනුවෙන් හෝ කතෝලික සිනමා පර්ෂදය යනුවෙන් හැඳින්වේ.) පළමු කාර්යභාරය ලෙස පසුගිය විසි පස්‌ වසර තුළ ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට දායක වූ කතෝලික කලා හා කාර්මික ශිල්පීන් අගය කරනු වස්‌ එවකට කොළඹ අගරදගුරුව සිටි තෝමස්‌ කාදිනල් කුරේ හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් උපහාර පිදීමේ උත්සවයක්‌ හා සම්භාෂණයක්‌ පවත්වන ලදී. එය ඕසීඅයිසීS / ශ්‍රී ලංකා ශාඛාව ශ්‍රී ලාංකේය සිනමාකරුවන් වෙනුවෙන් පවත්වන ලද ප්‍රථම උත්තමචාර උත්සවය වශයෙන් සැලකේ.

දෙවැනි සිනමා උත්තමාචාර උළෙල සඳහා වේදිකාවක්‌ කර ගනු ලැබුවේ එවකට පැවැති ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය මගින් 1973 දී සංවිධානය කරන ලද ජාත්‍යන්තර සිනමා උළෙල අවසානයේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයයි. එම උළෙල සඳහා චෙකොස්‌ලොවැකියාවෙන් ඉදිරිපත් කරන ලද යෑරොමිල් අයර්ස්‌ අධ්‍යක්‌ෂණය කළ And My Love to the Swallows චිත්‍රපටය වෙනුවෙන් ඕසීඅයිසී සම්මානය පිරිනමන ලදී. 1975 දී පවත්වන ලද දෙවන උත්තමාචාර උළෙලේ දී ධර්මසේන පතිරාජට ''අහස්‌ ගව්ව'' චිත්‍රපටය සඳහා සම්මානයක්‌ ප්‍රදානය කෙරිණ. මෙම සම්මාන දෙක සඳහාම තීරණය ගන්නා ලද්දේ කතෝලික සිනමා පර්ෂදයේ විධායක කමිටුවයි.

ජූරි සභාවක්‌ පත් කොට සිනමා උත්තමාචාර පිදීම ජාතික මට්‌ටමෙන් ප්‍රථම වරට පවත්වන ලද්දේ 1977 පෙබරවාරි මස 05 වනදාය. ඕසීඅයිසී ශ්‍රී ලංකා පර්ෂදය ''සිනමා සම්මාන ප්‍රදානය'' වෙනුවට භාවිතා කරන ලද්දේ ''සිනමා උත්තමාචාර ප්‍රදානය'' යන්නයි. එය හුදෙක්‌ සම්මාන ප්‍රදානයක්‌ නොව සිනමා ශිල්පීsන්ට අපගේ ''උත්තමාචාරය'' පිදීමය. 1977 පැවැත්වූ සිනමා උත්තමාචාර උළෙලේ දී අප විසින් පහත සඳහන් අංග හඳුන්වා දෙන ලදී.

* මුඛ්‍ය දේශනය (තිස්‌ වසරක සිංහල සිනමාව යන මැයෙන් මෙම දේශනය පවත්වන ලද්දේ එඩ්වින් ආරියදාස විසිනි.)

* හේතු පාඨ ඉදිරිපත් කිරීම (සෑම උත්තමචාරයක්‌ සඳහාම හේතු පාඨයක්‌ ඉදිරිපත් කරන ලදී. මෙය ප්‍රථමයෙන් ආරම්භ කරන ලද්දේ ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයයි.)

* උත්සවය නිමාවූ විගස රසිකයන් වෙත හේතු පාඨ සඳහන් පොත් පිංච බෙදාදීම.

මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ කිසිදු සිනමා සම්මාන ප්‍රදානෝත්සව ජූරි සභාවක්‌ ජූරි ප්‍රඥප්තියක්‌ ඉදිරිපත් කර නැත.

ඕසීඅයිසී ශ්‍රී ලංකා පර්ෂදය විසින් 1978 වර්ෂය වෙනුවෙන් පත් කරන ලද ජූරි සභාව සිංහල සිනමාව හා ලාංකේය සිනමාව පිළිබඳ ජූරි ප්‍රඥප්තියක්‌ ද, 1979 වර්ෂ වෙනුවෙන් පත් කරන ලද ජූරි සභාව කෙටි චිත්‍රපට පිළිබඳ ප්‍රඥප්තියක්‌ ද ඉදිරිපත් කරන ලදී. ඒ ප්‍රඥප්ති ද්වය මෙසේය.

''සිංහල සිනමාව වශයෙන් අප විසින් මෙහිදී වර්ග කොට සහ විශේෂ කොට දැක්‌වෙන්නේ ලාංකේය අධ්‍යක්‌ෂකවරයෙකු විසින් ලංකා ද්වීපයේදී හෝ ඉන් බැහැරදී හෝ නිර්මාණය කරනු ලැබූ සිනමා කෘතියක එක්‌ පිටපතක්‌ හෝ සිංහල සංවාද සහිතව (සිංහල උප ශීර්ෂ පාඨ නොසැළකේ.) ඉදිරිපත් කෙරුණු සිනමා නිර්මාණයකි. තවද, ලාංකේය අධ්‍යක්‌ෂකවරයෙකු විසින් සිංහල නොවන වෙනත් භාෂාවකින් සිනමා කෘතියක්‌ නිර්මාණය කරන ලද්දේ නම් එයද ලාංකේය සිනමා කෘතියක්‌ ලෙස වර්ගීකරණය වෙයි.''

''ලාංකේය අධ්‍යක්‌ෂකවරයෙකු විසින් ලංකා ද්වීපයේ දී හෝ ඉන් බැහැරදී නිර්මාණය කරනු ලැබූ, මිනිත්තු 30 කට නොවැඩි ධාවන කාලයකින් යුක්‌ත ප්‍රවෘත්ති චිත්‍රපටයක්‌ නොවූ, එමෙන්ම වාණිජ ප්‍රචාරක කටයුතු පරමාර්ථ කොට නොගත් සිනමා කෘතියක්‌ කෙටි චිත්‍රපටයක්‌ ලෙස වර්ගීකරණය වෙයි.''

1979 වර්ෂය මෙරට සිනමා සම්මාන ප්‍රදානය විප්ලවීය වෙනසකට යොමු කළ වර්ෂයකි. ඕසීඅයිසි ශ්‍රී ලංකා පර්ෂදය සිංහල වෘතාන්ත සහ ලාංකේය ඉංග්‍රීසි චිත්‍රපට සඳහා ද, ලාංකේය ද්‍රවිඩ චිත්‍රපට සඳහා ද, කෙටි චිත්‍රපට සඳහා ද වෙනම ජූරි සභා තුනක්‌ පිහිටුවන ලදී.

ලාංකේය - ද්‍රවිඩ චිත්‍රපට සඳහා පත් කරන ලද ජූරියට ද්‍රවිඩ සිනමාව හා භාෂාව පිළිබඳ හසල දැනුමක්‌ ඇති පුද්ගලයන් තිදෙනෙකු ඇතුළත් විය. කේ. එස්‌. සිවකුමාරන්, ඩේවිඩ් රාජදොරේ සහ ෙ-ම්ස්‌ එන්. බෙනඩික්‌ට්‌ එම සාමාජිකයන් තිදෙනා විය. මෙහිලා සඳහන් කළ යුතු විශේෂ කාරණාවක්‌ වන්නේ 1978 වර්ෂයේ තිරගත වූ ලාංකේය - ද්‍රවිඩ වෘතාන්ත චිත්‍රපට 07 ක්‌ ජූරියේ සැළකිල්ලට භාජනය වීමයි. තවද වාර්තා, අර්ධ වෘතාන්ත සහ සජීව කෘත චිත්‍රපට ද කෙටි චිත්‍රපට සඳහා පත් කරන ලද ජූරියේ සැලකීමට භාජනය විය. 1980 වර්ෂයේ සිට කෙටි චිත්‍රපට පෞද්ගලික අංශය සහ රජයේ චිත්‍රපට අංශය යනුවෙන් කොටස්‌ දෙකකට වර්ග කරන ලදී.

ඕසීඅයිසී සිනමා උත්තමාචාර ප්‍රදානයේ දී තවත් සඳහන් කළ යුතු විශේෂ කාරණාවක්‌ වන්නේ ආරම්භයේ සිටම ''හොඳම'' යන වචනය වෙනුවට ''නිර්මාණශීලී'' යන වචනය භාවිතා කිරීමයි. නිදසුනක්‌ ලෙස ''හොඳම අධ්‍යක්‌ෂණය'' වෙනුවට ''නිර්මාණශීලී අධ්‍යක්‌ෂණය'' යනුවෙන් සිංහල බසින් ද ඉංග්‍රීසියෙන් Best වෙනුවට Outstanding යන වචනය ද භාවිතා කරන ලදී.

කතෝලික සිනමා පර්ෂදය සිනමා ප්‍රකාශක ක්‌ෂේත්‍රයට අවතීර්ණ වූයේ 1974 වර්ෂයේ දී ''26 වන චිත්‍රපට වාර්ෂිකය'' පළ කිරීමෙනි. දේශීය සිනමාව වසර 26 ක්‌ සම්පූර්ණ කළ 1973 වර්ෂයේ පළවු සියලුම චිත්‍රපටවල කාර්මික තොරතුරු, තේමාව, කතා වස්‌තුව හා ඒ පිළිබඳව පළවූ විචාරයන් ද එම කෘතියට ඇතුළත් විය. මේ ආකාරයට පිළිවෙලින් 1974 චිත්‍රපට ගැන 27 වන චිත්‍රපට වාර්ෂිකය, 1975 චිත්‍රපට ගැන 28 වන වාර්ෂිකය, 1976 /1977 චිත්‍රපට ගැන 29 සහ 30 ද්විත්ව වාර්ෂිකය ද, 1978/79/80 චිත්‍රපට ගැන 31/32/33 ත්‍රිත්ව වාර්ෂිකය ද, (එහි සංස්‌කාරක වූයේ අජිත් ගලප්පත්තිය) පළ විය. පසුව 1947 සිට 1951 දක්‌වා වසර පහ වෙනුවෙන් එක්‌ වාර්ෂිකයක්‌ පළ කරන ලදී. 1993 සිට 1998 දක්‌වා වූ වාර්ෂික ග්‍රන්ථ පෙළ ආසියානු සිනමා කේන්ද්‍රයේ ප්‍රකාශනයක්‌ ලෙස රංජනී රත්නවිභූෂණ ගේ සංස්‌කාරකත්වයෙන් පළ විය. 1983 සිට 1992 දක්‌වා වූ හිදැස මෙතෙක්‌ පියවී නොමැත. 1975 වර්ෂයේ දී මෙම ආයතනයේ ජාතික අධ්‍යක්‌ෂවරයා වූ අර්නස්‌ට්‌ පෝරුතොට පියතුමාගේ අදහසක්‌ පරිදි ''සිනමාවේ කාර්මික රටාව'' කෘතිය බිහි විය. එහි සම කර්තෘවරුන් වූයේ ඈෂ්ලි රත්නවිභූෂණ හා ලක්‌ෂ්මන් වැලිකලය.

මෙය එම විෂය පිළිබඳව ලියෑවුණු ප්‍රථම හා එකම කෘතිය වේ. රාණි සවරිමුත්තු කැලිෙµdaනියාවේ ලොස්‌ ඇන්ජලිස්‌ විශ්වවිද්‍යාලයේ සිනමා විෂය හදාරා එහිදී එම්. ඒ උපාධිය සඳහා ලියූ පර්යේෂණාත්මක නිබන්ධය කතෝලික සිනමා පර්ෂදය මගින් 1977 වර්ෂයේ දී Development of the Sinhala Cinema (1947 - 1967) යනුවෙන් පළ කරන ලදි. පෝරුතොට පියතුමාගෙන් පසු ජාතික අධ්‍යක්‌ෂ ධුරය හෙබවූ බෙනඩින්ට්‌ ජෝසප් පියතුමා විසින් ඈෂ්ලි රත්නවිභූෂණ ගේ සංස්‌කාරකත්වය යටතේ ''සිනෙසිත්'' සඟරාව ආරම්භ කරන ලදී. අංක 22 දක්‌වා එය කතෝලික සිනමා පර්ෂදයේ ප්‍රකාශනයක්‌ වූ අතර අංක 23 කලාපයේ සිට එය ආසියානු සිනමා කේන්ද්‍රයේ ප්‍රකාශනයක්‌ විය. එය ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ බිහිවූ ශාස්‌ත්‍රීයතම සිනමා සංග්‍රහය වශයෙන් සැලකේ.

මිමී 35 ප්‍රක්‌ෂේපණ යන්ත්‍ර අප සතුව තිබුණු බැවින් සෑම පසළොස්‌වක පොහොය දිනකම ඉදිරියට තිරගත වන්නට නියමිතව තිබූ චිත්‍රපටයක්‌ තෝරා ගෙන එහි අධ්‍යක්‌ෂවරයාට ද ආරාධනා කර චිත්‍රපටය පෙන්වා ඉන් පසු සාකච්ඡාවක්‌ පවත්වන ලදී. මෙය අතිශයින්ම ජනප්‍රිය විය. මෙම වෑන් රථයත්, ප්‍රක්‌ෂේපණ උපකරණත් උපයෝගී කරගෙන දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිනමා දර්ශන සහ ඊට සමගාමීව සිනමා සම්මන්ත්‍රණ සංවිධානය කරන ලදී. මෙවැනි පහසුකම් රජයේ චිත්‍රපට අංශය හැරුණු කොට වෙනත් කිසිම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට නොතිබුණි. මෙයට අමතරව සතියේ සෑම සිකුරාදා දිනකම සවස ප්‍රංශ හා ජර්මන්

තානාපති කාර්යාලවලින් චිත්‍රපට ලබා ගෙන ඒවා මාටින් ටිකිරි සිනමා හලේ තිරගත කරන ලදී.

අපට සිටි ඉතාමත් පළපුරුදු හා කෘතහස්‌ත සිනමා ඡායාරූප ශිල්පියෙකු වූ ඇන්ඩෲ ජයමාන්නගේ මෙහෙය වීම යටතේ පවත්වාගෙන යන ලද සිනමාකරණ හා රූපවාහිනී පාඨමාලාව ඉතාමත් ජනප්‍රිය වු අතර වර්තමානයේ සිනමා හා රූපවාහිනී ක්‌ෂේත්‍රයන්ට අනුයුක්‌තව සිටින බොහෝ ශිල්පීන් මෙම පාඨමාලාවන් හැදෑරූ අය වෙති. මෙම සිසුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් සුපර් 8 කැමරා සහ ප්‍රක්‌ෂේපණ යන්ත්‍ර ආයතනය සතුව පැවතිණ. සහභාගීත්ව සහතිකය ලබාගැනීම සඳහා ඔවුන් විසින් සුපර් 8 චිත්‍රපටයක්‌ හෝ Sound Slides ඉදිරිපත් කළ යුතුව තිබුණි.

මෙරට සිනමා කර්මාන්තයට සම්බන්ධ ශිල්පීන්ට හා රසිකයන්ට තවමත් හුරුව ඇත්තේ OCIC යන නමයි. SIGNIS ආයතනය මහාද්වීප 6 ක රටවල් 94 ක ව්‍යාප්තව ඇත. සාමාජික රටවල් 113 කි. එහි වර්තමාන සභාපතිනිය වූ ඇමෙරිකානු ජාතික හෙලෙන් ඔස්‌මාන් මහත්මිය මෙවර උත්තමාචාර උළෙලට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වීමට නියමිතය.

අර්නස්‌ට්‌ පෝරුතොට පියතුමා (1972 - 82), බෙනඩික්‌ට්‌ ජෝසප් පියතුමා (1982 - 92), පෝල් ප්‍රනාන්දු පියතුමා (1994 - 2015) යන අය මෙම ආයතනයේ ජාතික අධ්‍යක්‌ෂවරු වශයෙන් කටයුතු කර ඇත. 2015 සිට මේ දක්‌වා ජාතික අධ්‍යක්‌ෂක පදවිය දරන්නේ ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු (නි.ම.නි) පියතුමාය.


ඈෂ්ලි රත්නවිභූෂණ
සභාපති/ආසියානු සිනමා කේන්ද්‍රය

ඈෂ්ලි රත්නවිභූෂණ මහතා 1971 දී ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය (OCIC) ආරම්භ කිරීමෙහි ලා පුරෝගාමී වූ අතර එහි පළමු ජාතික ලේකම්වරයා විය. ඔහු 1977 සිට 1984 දක්‌වා ද, 1986 සිට 1992 දක්‌වා ද, 2017 වර්ෂයේ ද OCIC / SIGNIS ජූරි සභාවල ද ඊට අමතරව වෙනත් ජාතික හා ජාත්‍යන්තර සිනමා උත්සව රාශියකම ජූරි සභිකයෙකු ලෙස කටයුතු කර ඇත.

එදා මර්සලින් ජයකොඩි පියතුමා විසින් ඕසීඅයිසී උත්තමචාර උළෙල සඳහා හැදූ තේමා ගීය උන්වහන්සේගේම අත්අකුරින්.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles