Divaina - තව්හිද් ජමාත්ට එරෙහිව මාතලේ මුස්ලිම් ජනතාව සටනට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali



 

matale

දඹුල්ල - සරත් එරමිනිගම්මන 


ඉස්ලාම් ආගම අදහන බැතිමතුන්ගේ එක් සුවිශේෂී ආගමික වතාවත් සිදුකෙරෙන සමයකි රාමසාන් කාලය. අරාබි දින දර්ශනය අනුව මැයි මස 07 දින අලූයම 4.30 ට රාමසාන් කාලය ආරම්භ කෙරිණි. ඒ අනුව එදින 4.30 ට පෙර මුස්ලිම්වරුන් සියලූම ආහාරපාන ගැනීම් කටයුතු නිමාකර ආගමික වතාවත්වල යෙදී මෙම උපවාසය ආරම්භ කරයි. නෝබි ඇල්ලීම යනුවෙන් මෙය හඳුන්වනු ලබයි.

කෑමට බීමට යමක් සොයා ගත නොහැකි මිනිසුන් විඳින දුෂ්කරතාව පිළිබඳව අත්දැකීම් ලබාගැනීම හා හුවමරු කරගැනීම, දවසේ පස් වතාවක් දෙවියන් වැඳීම මෙම කාලය තුළ සිදුකරයි. ඉන්පසු නැවත ආහාර ගනු ලබන්නේ පස්වරු 6.15 ට පමණ යෙදෙන විශේෂ වේලාවකදීය. එය නෝබි හැරීම වශයෙන් හඳුන්වනු ලබයි. මේ අතරතුර කාලය කිසිම ආහාරයක් ජලය පානය නොකිරීමට බැතිමතුන් වගබලා ගනිති. ඊට අමතරව මෙම කාලය තුළ පරුෂ වචන කීම ඉන්ද්‍රියයන් පිනවීම වැනි කටයුතුවලින් වැළකී සිටීමටද වගබලා ගනිති.

ඉකුත් 07 දින රාත‍්‍රිය නෝබි කාලය කෙමෙන් ගෙවීයමින් පැවතිනි. මාතලේ - උකුවෙල, වරකාමුර ප‍්‍රදේශය මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන පෙදෙසකි. එහි මුස්ලිම් බැතිමතුන්ද සිය ආගමික කටයුතු සඳහා යන්නේ තබ්ලික් ජමාත් මුස්ලිම් පල්ලිය වෙතය. ඔවුන්ගේ දවසේ අවසන් දෙවියන් ඇදහීම යෙදී තිබුණේ රාත‍්‍රී 7.45ටය. සිය ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව මුස්ලිම් තරුණ පිරිස් අතර කිසියම් බරපතළ කතාබහක් ආරම්භවී තිබුණි. ඒ තම ප‍්‍රදේශයේ සාමකාමී තත්ත්වයට හා සමගියට බාධාවන අයුරින් ක‍්‍රියාත්මකවන අන්තවාදී මුස්ලිම් සංවිධානයක ක‍්‍රියාකාරිත්වයයි.

තබ්ලික් ජමාත් මුස්ලිම් පල්ලිය ආසන්නයේම ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයට අයත් යාඥා මධ්‍යස්ථානයක් 2014 වසරේ ෆාහිම්ගේ නිවසේ උඩුමහලේ ආරම්භ වන්නේ තබ්ලික් ජමාත් මුස්ලිම් ජනතාවගේ විරෝධය මධ්‍යයේය. ෆාහිම්ගේ පවුලේ සාමාජිකයන්ට පමණක් මුල්කාලයේ සීමාවුණු මෙහි ප‍්‍රසිද්ධියේ නාම පුවරුවක්ද සවිකර පුළුල් ප‍්‍රචාරක කටයුතු සමගින් එහි ක‍්‍රියාකාරිත්වය පුළුල්වීමත් සමග තබ්ලික් ජමාත් මුස්ලිම්වරුන් අතර වූ විරසකය අළුයට ගිනිමෙන් විය.

ඉකුත් පාස්කු ඉරිදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයත් සමග රටේ ආරක්ෂාවට ගනු ලැබූ පියවරයන් සමග අන්තවාදී මුස්ලිම් ආගමික සංවිධානවලට එල්ලවූයේ බරපතළ විරෝධයකි, විවේචනයකි. ඒ සමග වරකාමුර තව්හිද් ජමාත් සංවිධාන කාර්යාලයේ නාම පුවරුවද ගලවා දැමුණු අතර ඉකුත් 07 දින රාත‍්‍රියේ තබ්ලික් ජමාත් මුස්ලිම් පල්ලියේ දෙවියන් වැඳීම් අවසානයේ මුස්ලිම් තරුණයන් එකාවන්ව ෆාහිම්ගේ නිවෙස වටලනු ලැබුහ.

ෆාහිම්ගේ නිවසේ සවිකර තිබූ නාමපුවරුව ගලවා දැමුහ. සීසීටීවී කැමරා පද්ධතිය ගලවා දමා ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල කළහ. ෆාහිම් වහාම ආරක්ෂාව පතා සිද්ධිය පොලිසියට දැනුම්දුන්හ.

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනය ලක්ෂ 20කට ආසන්න වේ. එම මුස්ලිම් ජනගහනයෙන් 98%ක් පමණ අරාබි සම්භවයක් ඇති සුන්නි මුස්ලිම්වරුන්ය. ඉන්දියානු හා ඉරාන සම්භයක් සහිත මුලිම්වරුන් 1.9 %කි. බහුතරක් වන සුන්නි මුස්ලිම්වරුන්ගෙන් 96%ක් යෝනක හා 2%ක් මැලේ මුස්ලිම්වරුන්ය. සුන්නි මුස්ලිම්වරුන්ගෙන් 50% ක් පමණ තබ්ලික් ජමාත් ආගමික නිකායටද, 40%ක් අරාබි තරිෂා, ජමාතෙයි ඉස්ලාමිය, ජමාතල් හා එහෙවානු මුස්ලිම්වරුන් ලෙස විවිධ නිකායන්වලට විකාශනය වී ඇත.

ලෝකයේ අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය විසින් කරගෙන යනු ලබන අන්තවාදී ප‍්‍රචාරක ක‍්‍රියාවලිය මත ශ‍්‍රී ලංකාව තුළ මුස්ලිම් ජන කොටස් තවත් විවිධ නිකායන්වලට බෙදීම දෘශ්‍යමානවන්නේ 2105 වසරේදීය.

ඒ අනුව ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජාතික තව්හිද් ජමාත්, ජමාතෙයි මිල්ලකු, ඉබ‍්‍රහිම් සෙයිලානි ලෙස නිකායන්වලට බෙදී ඇත. මෙම කණ්ඩායම් මධ්‍යස්ථ, මූලධර්මවාදී හා අන්තවාදී මත දරන්නන් ලෙසද යළි නිකායන්වලට වර්ගිකරනය වී ඇත.

මාතලේ නගරය හා අවට මුස්ලිම් ජනපද කේන්ද්‍ර කරගෙන මධ්‍යස්ථ මත දරන සම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් බහුතරයක් තබ්ලික් ජමාත් ආගමික සංවිධානය වටා තම ආගමික කටයුතු සිදුකරනු ලැබූහ.

2014 වසරේදී මාතලේ තිබූ සම්ප‍්‍රදායික ආගමික සංවිධානයට විරුද්ධ මත දරමින් හා පළමු අවස්ථාවේම අහියෝගයක් වන පරිදි ශ‍්‍රී ලංකා තව්පික් ජමාත් සංවිධානයට පිරිස් එක්රැස් කිරීම ආරම්භ කෙරිණි. කොළඹ මාලිගාවත්ත කේන්ද්‍ර කරගනිමින් එහි ලේකම් ලෙස අබ්දුල් රෂික් කටයුතු කරමින් මුස්ලිම් ජනතාවගේ සිත්සතන් ආකර්ශනය කරමින් වැඩමුළු පවත්වමින් ආරම්භ වූ ශ‍්‍රී ලංකා තව්පික් ජමාත් සංවිධානය සිය මාතලේ දිස්ත‍්‍රික් කාර්යාලය උකුවෙල - වරකාමුර ෆාහිම්ගේ නිවසේ උඩු මහලේ ආරම්භ කෙරිණි.

ෆාහිම්ගේ පවුල වටා ආරම්භ වූ මෙම සංවිධානයට මේ වනවිට සාමාජිකයන් 60 ක් පමණ සිටින බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. පසුව ෆාහිම් උකුවෙල මාබෙරිය ප‍්‍රදේශයේද තවත් කාර්යාලයක් ආරම්භ කළේය. ෆාහිම් ගේ පවුලේ කීපදෙනකුගේ වෘත්තිය වන්නේ ගවමස් වෙළෙඳාමය.. ෆාහිම් යතුරුපැදි අලෙවියද සිදුකරයි.

තම නිවසේ උඩුමහලේ ආරම්භ කළ ආගමික මධ්‍යස්ථානයට නාම පුවරුවක්ද සවිකර ගත්තේය. එය සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් තවත් කෝප ගන්වන ක‍්‍රියාවක් විය. මෙම මධ්‍යස්ථානය මගින් විවිධ අවස්ථාවල ආගමික ප‍්‍රචාරක කටයුතු සිදුකරනු ලැබූ අතර එම අවස්ථාවන්හි වරින්වර මුස්ලිම් තරුණයන් අතර ගැටුම්කාරී තත්ත්වයන්ද මතුව තිබුණි. නියම කුරාණය පිළිබඳව හා ඔවුන් පිළිපැදියයුතු වත් පිළිවෙත් අතර පරස්පර මත දිගින් දිගටම වර්ධනය වෙමින් තිබී ඇත. එක් අවස්ථාවක පැනයට පිළිතුරු මැයෙන් තිබූ සම්මන්ත‍්‍රණයක් කෙලවර වූයේ පස්දෙනකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙනි.

මේ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව තබ්ලික් ජමාත් සංවිධානය මගින් අවස්ථා කීපයකදී අගමැතිවරයා ප‍්‍රමුඛ වගකිවයුත්ත්නට ලිඛිත කරුණු දැක්වීම් සිදුකර ඇත්තේ තව්හිද් ජමාත් සංවිධානයේ ක‍්‍රියාකාරිත්වය මධ්‍යස්ථ මුස්ලිම් ජනතාවට හිරිහැරයක් වීම නිසාවෙනි.

මේ පිළිබඳව මාතලේ පොලිසියටද ඔවුන් පැමිණිලි කර ඇත. මාතලේ මූලස්ථාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා මහතා ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි. එම පැමිණිලි ලැබුණු වකවානුවේ තව්හිද් ජමාත් සංවිධානය තහනම් සංවිධානයක් නොවේ. නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී පවතින නීතිමය ප‍්‍රතිපාදන සලකා බැලිය යුතු වෙනවා. එසේ නීති ප‍්‍රතිපාදන වලින් ආවරණය කරගත හැකි පැමිණිලි සම්බන්ධයෙන් නීතිය බලාත්මක කර තිබෙනවා.

ඉකුත් 07 දින රාත‍්‍රී 8.15 ට පමණ දුරකථන ඇමතුමකින් වරකාමුර ප‍්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක් අසල කලහකාරී ලෙස පිරිසක් හැසිරෙන බවට දැනගන්න ලැබුණා. ඒ අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත්කර හැරියා. 200-300 ක් අතර පිරිසක් කෑකෝ ගසමින් සිටියා, වසර දෙක තුනක කාලයක් සිට තව්හිද් ජමාත් සංවිධානයේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වා ගෙනයනවා. එම ස්ථානය වටකර ගෙන තමා ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින් සිටියේ. දෙපාර්ශ්යේම නායකයන් සමග සාකච්ඡුා කළා. ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් නතර කරන ලෙස උපදෙස් දුන්නා. පවතින තත්ත්වය පිළිබඳව හා ජාතීන් අතර විරසකයන් ඇතිවීම් වළක්වාලීමට මුස්ලිම් නායකයන්ට ඇති කාර්ය භාරය පිළිබඳව දැනුවත් කිරීම සිදුකළා. ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වූයේ ප‍්‍රදේශයේ සමගියට හා මුස්ලිම්වරුන් අතර විරසකය වර්ධනය වන අයුරින් හා වෛරය අවුළුවන අයුරින් ෆාහිම් ඇතුළු පිරිස කරගෙන ක‍්‍රියාකාරකම් පාලනය කරන්න කියලා.

ඒ අනුව ත‍්‍රස්ත ක‍්‍රියාවන් සිදුවීමට මෙන්ම සාමය කඩවීමට මෙම තත්ත්වය හේතුවිය හැකි බැවින් තව්හිද් ජමාත් සංවිධානයේ සංවිධායකවරයා ලෙස සැලකෙන ෆාහිම් ඔහුගේ සොහොයුරා, පුතා හා මස්සිනා ද අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන්ගේ මෙම ආගමික සංවිධානය මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ 2011 වසරේදී ලියාපදිංචි කර තිබෙනවා.

මෙම සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ කරමින් සිටි තරුණයෙකුද අත්අඩංගුවට ගත්තා. එම අත්අඩංගුවට ගැනීමෙන් පසු පිරිස් සාමකාමිව විසිර ගියා යැයි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ එලෙසිනි.

එසේ අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් මාතලේ දිසා මහෙස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles