Divaina - තමිලිනීගේ හෘද සාක්ෂිය සෙවීම; හදවතේ කකියමින් තිබූ ගින්නක් යම් තරමින් හෝ පලවා හැරියෙමි....!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

 චතුර පමුණුව

n3 1සාමයේ මාර්ගය යුද්ධයේ මාර්ගයට වඩා දුෂ්කර මෙන්ම අසීරු බව කොටි සංවිධානයේ කාන්තා අංශයේ දේශපාලන නායිකා තමිලිණීට තේරුම් ගියේ 2009 මැයි මාසයෙන් පසුවය. සාමයේ මාර්ගයේ යම් ගමනක් යෑමට ඇය සිතා සිටියද පිළිකා රෝගයට ගොදුරුව ඇය 2015 දී අවසන් ගමන් ගියාය. කෙසේ නමුත් මේ මියගිය කොටි නායිකාවගේ ආත්මය ඇගේ හෘද සාක්කිය කියවීම ඇති හොඳම සාධකය වන්නේ ඇය දෙමළ බසින් ලියන ලද ඔරු කූර්වාලින් නිලල් ග‍්‍රන්ථයයි. එය සිංහල පරිවර්තනය වී ඇත්තේ තියුණු අසිපතක සෙවන යට මැයෙනි මෙහි පරිවර්තනය සාමිනාදන් විමල් විසින් සිදුකර ඇති අතර ප‍්‍රකාශනය ධර්මසිරි බණ්ඩාරනායක මහතාය. මෙරට තිස් වසරක් පුරා පැවැති යුද්ධය අවසන්ව දස වසරක් සම්පූර්ණවෙද්දී තමිලිණීගේ ස්වං චරිතාපදානය යළි මෙනෙහි කිරීම වැදගත්ය. මන්ද ඇය යුද්ධයෙන් පසුව සිංහල සමාජය සමග එක්ව සහජීවනයෙන් විසීමේ අගය දැක්කාය. එසේම කොටි සංවිධානය විසින් සිදුකළ අකටයුතුකම් නොපැකිලිව හෙළි කළාය. තමිලිණීගේ ග‍්‍රන්ථය සමහර කොටි හිතවාදීන් කුප්පනසුළු වූවත් එය සිංහල පාඨක ප‍්‍රජාව අතර බෙහෙවින්ම ජනප‍්‍රිය විය.
 
 සිය ස්වයං ආත්ම කථනය පිළිබඳව 2015 අගෝස්තු මස 30 වැනිදා සටහන් තබන ඇය මෙසේ සඳහන් කර ඇත.
 
 ලංකාද්වීපයේ දෙමළ ජනයාගේ අරගල යෙහි වැදගත් අදියරකදී මගේ දායකත්වයෙහි මතකයන් සහ එය විසින් මාවෙත ලබාදුන් අත්දැකීම් මේ ග‍්‍රන්ථය තුළ සටහන් කිරීමට උත්සාහ කළෙමි. මෙය අපේ අරගලයේ සම්පූර්ණ ඉතිහාසය නොවේ. මගේ මතකයේ පවතින කාලයෙහි සිට ඉවුරු කඩාගෙන ගලාගිය ගංවතුරක් සේ යුද්ධයට හසු වී ගසාගෙන ගිය මගේ ජීවන සැමරුම් සටහන් කිරීම ලෙහෙසි පහසු කාරණයක් සේ මට නොදැනෙයි. නමුත් මගේ මතකයෙන් ගිලිහී නොගිය සටහන් ලෙස හදවතේ කකියමින් තිබූ ගින්නක් යම් තරමින් හෝ පලවා හැරියෙමි යැයි කිව හැකිය.
 
 හදවතේ ගින්න පලවා හැරීම වෙනුවෙන් මේ පොත රචනා කෙරුණේ් තමිලිණී පිළිකා රෝගයෙන් පීඩාවිඳිමින් සිටියදීය. ඇගේ අතීත සැමරුම් විටක රකුසන් මෙන් පැමිණ ඇයට පීඩා කරන්නට ද ඇත. සවස පන්තියට යන බව අම්මාට බොරුවක් කියා සිය පාපැදියෙන්ම කිළිනොච්චියේ කනකපුර පිහිටා ඇති කොටි කඳවුරට ගිය තමිලිණී තමාව සංවිධානයට එක්කර ගන්නැයි ඉල්ලා සිටියාය. කෙටි ලිපියක්ද ලියා අම්මා වෙත යැව්වාය.
 
 ඒ අනුව 1991 ජුලි 29 වැනි දින මම විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකාවක් බවට පත්වුවෙමි. එවක පැවැති වාතාවරණය තුළ වෙනත්් විකල්ප තේරීමක් තිබුණු බවත් මා දැන සිටියේ නැත. මගේ ජීවිතයේ නිවැරදිම තීරණයක් ගත්තෙමි. යැයි මම විශ්වාස කළෙමි. අපේ වැඩිහිටි දේශපාලන නායකයින් වේදිකාවේදී සිදු කළ යුද්ධය ප‍්‍රකාශයන්ට තරුණ පරම්පරාවේ ජීවිත යුද්ධය නම් යාග ගින්නට බිලිවෙමින් තිබිණි. දහස් ගණනක තරුණ පරපුරක් එම ගින්දර තුළ ආවේශයකින් ගමන් කරමින් සිටියෝය. (පිටුව 61)
 
  n3 3දෙමළ තරුණ ජීවිත මේ ජාතිවාදී ගින්නට පසුවී ගිනිගෙන පිළිස්සී විනාශ වන ආකාරය ඇය ඉතා හොඳින් දැක්කාය. එනිසාම අතීතය ස්මරණය කරනුයේ කලකිරීමෙනි. සිය ප‍්‍රාණ සම මිතුරියක වූ සාම්බවීගේ මරණය ගැන තමිලිණී විස්තර කරන අයුරු බලන්න.
 
 වෙල්යායවල් අතරින් මම සහ සාම්බවි බඩ ගාමින් ඉදිරියට ඇදෙමින් ගියෙමි. දිගටම වැසි වසින හෙයින් ජලය පිරී තිබිණි. දුරින් උස් ස්ථානයක සිට ප‍්‍රහාර එල්ල කරමින් සිටි හමුදාවේ ඉලක්කයෙන් එන උණ්ඩ එම වෙල්යායේ සටන්කාමීන්ගේ ප‍්‍රාණය පැහැර ගමින් තිබුණි. මදක් ඔසවා බැලිය නොහැකි තත්ත්වයක් තුළ මඩ වගුරු සහිත වෙල් යායේ අපි බඩගාමින් උන්නෙමු. මගෙ පසෙකින් එසේ බඩගාමින් ඉදිරියට ගමන් කරමින් සිටි සාම්බාවීගෙන් ආක් යැයි අමුතු ශබ්දයක නැ`ගුණි. මම හැරි බැලූවෙමි. ඇයගේ මුුහුණ මඬේ ගිලී තිබිණි. මම ඇයගේ හිස ඉහළට ඔසවා බැලූවෙමි. දෙතොල් කෙළවරින් ලේ ගලමින් තිබේ. එකම එක වෙඩි උණ්ඩයක් සාම්බාවිගේ පපුව සිදුරු කර ගෙන ඇතුළු වී එළියට නොගොස් සිරවී ඇත. ශීතල වීමට පටන්ගෙන තිබූ ඇයගේ සිරුරේ රැඳී තිබුණු ප‍්‍රාණ උණුසුම මම අවසන් වනතුරු මගේ දැස්වලින් විඳ ගත්තෙමි.
 
  (පිටුව 91)
 
 යුද්ධයකදි කෙතරම් දේ අහිමි වන්නේද? සිය මිතුරිය සාම්බාවි මියයන්නේ 1993 පුනරීන් ප‍්‍රහාරයට සම්බන්ධ වීමෙනි. ඒ මරණය සජිවී අයුරින් 2015 දීත් ඇගේ හදවත පාරයි. ගින්නෙන් දැවුුණේ කවරකුද?
 
  බෙදී වෙන්ව සටන් කළ ද සියලූ මනුෂ්‍යයන්ගේ සිරුරෙන් ගලනුයේ රතු ලේ පමණි. පුනරීන් සටනේදී ලංකා හමුදාවට විශාල හානියක් සිදුවිය. ඒ සටනේදී තම සිතේ තදින් ගිලා බැස ඇති දර්ශනයක් ගැන ඇය මෙනෙහි කරයි. එය හද කම්පනය කරන්නකි.
 
  හමුදාවේ හා කොටින්ගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුරු වැසි ජලයෙන් තෙත බරිතව තැනින් තැන ගල් ගැසී තිබිණි. රත් පැහැ රුහිරු වැසි ජලයත් සමග එක්ව ගලායමින් තිබිණි. සුළු වේලාවකට පෙර සතුරු හැඟීමෙන් යුතුව පිල් බෙදී සටන් කළ අය මහ පොළොවේ මළ සිරුරු බවට පත්ව වැටී තිබුණු දර්ශනය මවගේ ඇකයෙහි නිදාගෙන සිටින ළදරුවන් සිහිපත් කරන්නට සමත් විය. සියලූ වෙනස්කම් ගැටුම්, එදිරිවාදිකම් අර්ථ ශූන්‍ය වී යන තැන යුද බිමයි යන්න මුළුමනින් ම අවබෝධ කර ගැනීමට අවශ්‍ය බුද්ධිය ඇත්තෙන්ම ඒ වන විට මා තුළ තිබුණේ නැත.
 
 (පිටුව 93)
 
 කොටි නායක ප‍්‍රභාකරන් කිිසිමවිටෙක සාමයට කැප වූ හෝ කැමැති පුද්ගලයකු නොවීය. ඔහු 2002 දී සටන් විරාම ගිවිසුමට එළඹෙන්නේ ද අවංක චේතනාවෙන් නම් නොවේ. බැංකොක්, ජිනීවා, ටෝකියෝ ආදී නගරවල පැවැත්වූ සාම සාකච්ඡුා සැබවින් ම කොටි නායකයන්ට පුර සිරි නැරඹීම ලැබුණු අවස්ථා පමණක් විය. සටන් විරාමය ගැන ප‍්‍රභාකරන්ගේ අදහස කුමක් ද යන්න මේ උපුටුනයෙන් ඉතා හොඳින් පැහැදිලි වේ.
 
 2002 වසරේදී සටන් විරාම ගිවිසුම අත්සන් කළ ප‍්‍රභාකරන් නායකතුමා දේශපාලන අංශයෙහි භාරකරු තමිල් චෙල්වන් සමඟ පැවසූ කරුණ ඔහු අනෙකුත් භාරකරුවන් සමඟත් පවසා ඇත. ‘‘අත්සන් කළා. දැන් තමයි ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නට ඕනෑ. සංවිධානෙ පිරිස් බලය වැඩි කරන්ඩ ඕනෑ රජයේ පාලන ප‍්‍රදේශවල ඉන්න ජනතාව කොටි සංවිධානේ හමුදාමය ශක්තිය, වැදගත්කම පැහැදිලි කර දීල තරුණ තරුණියන්ව අරගලයට එක්රැුස් කර ගන්ඩ ඕනෑ’’ කියල නායකතුමා කිව්වා. අපි මේ විරාමය ප‍්‍රයෝජනයට අරගෙන දැඩි ලෙසින් බලය වැඩි කර ගන්ඩ ඕනෑ. පටන් ගත්ත කාලෙදී අපි ළඟ පිරිස් බලය තිබුණා. ආයුධයි අඩුපාඩුවක්ව තිබුණේ. දැන් අපිට අවශ්‍ය තරමට ආයුධ තියෙනවා. පිරිස් බලය මදි. අපි තමයි ඒ පිරිස් බලය රැුස් කරල දෙන්ඩ ඕනෑ. සාම සාකච්ඡුා තියෙන්නෙ බාහිර ලෝකෙට මිසක් අපිට නොවෙයි කියන එක තේරුම් අරගෙන ඔයාලා වැඩ කරන්ඩ ඕනෑ. යැයි ඔහු කීවේය.
 
 (පිටුව 142)
 
 ප‍්‍රභාකරන්ගේ සටකපටකම් ලංකා ආණ්ඩු නිසි ලෙස තේරුම් ගෙන සිටියා නම්, 2009 පෙරදීම මෙහි අවසානය දකින්නට හැකිව තිබිණි. නමුත් මේවා අතුරු කතාය. යළිත් තමිළිනීගේ කතාව දෙසට හැරිය යුතුය. සෙන්පති විදුෂා වඩමාරච්චියේ හින්දු බ‍්‍රාහ්මණ පවුලක වැඩිමහල් දියණිය විය. ඇය තමිළිනී සමග හොද මිතුදමක වෙලී සිටි තැනැත්තියකි. ප‍්‍රභාකරන්ගේ වැඩිමහල් පුතුගේ මෝඩ අමන ක‍්‍රියා ගැන හෙළිදරව් කළේ ද විදුෂා විසිනි. යුද්ධයට අනිවාර්යයෙන් ම පිරිස් බඳවා ගත යුතු යැයි යෝජනා කළේ ද චාල්ස් ඇන්තනී විසිනි. ප‍්‍රභාකරන්ගේ බුද්ධි හීන වැඩිමහළු පුතු ගැන සඳහන් කරන මේ උපුටනය බලන්න.
 
 චාල්ස් ඇන්තනී විසින් ගනු ලබන ක්‍ෂණික තීරණ සමහර අවස්ථාවල ඔහුව ළදරුවකුව සිටි සමයේ වඩාගෙන හුරතල් කළ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සෙන්පතියන්ගේ පවා සිත් බිඳෙන සිදුවීම් බවට පත් වූ බව දැන ගන්නට ලැබිණි. ප‍්‍රහාරක සෙන්පතිවරුන්ගේ රැුස්වීම්වලදී චාල්ස් ඇන්තනී අත්දැකීම් බහුල සෙන්පතිවරුන් අවමානයට ලක් කෙරෙන අන්දමින් අදහස් ඉදිරිපත් කරන බවත්, එය දරාගෙන සිටිය නොහැකි විපිළිසරබවක් ඇති කරන බවත් සෙන්පති විදුෂා බොහෝ අවස්ථාවලදී මා සමඟ පවසා ඇත. (පිටුව 121)
 
 ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දුරදිග මෙහෙයුම් බළකාය සිදුකළ මෙහෙයුමෙන් කොටි සංවිධානයේ ගුවන් හමුදා බළඇණියේ ප‍්‍රධානි ශංඛරප්පා හෙවත් ශංකර් මරුමුවට පත්විය. ඒ අත්දැකීම දෑසින්ම දුටු තැනැත්තියක් වන්නේ අපේ කතා නායිකාවයි. මේ උපුටනය බලන්න.
 
 ‘‘මගේ දෑසින් පළමු වතාවට ක්ලේමෝර් ප‍්‍රහාරයක් දුටුවේ පුදුකුඩුයිරුප්පුවල සිට ඔඞ්ඩුසුඩාන් කරා යන මාර්ගයේය. වලගොඩැලි සහිත බොරලූ පාරේ භූමිතෙල් බලයෙන් ධාවනය වන අපේ යතුරු පැදිය මුහුදු යාත‍්‍රාවක් මෙන් ඉහළ පහළ යමින් ගමන් කරන්නට විය. ඒ වන විට උදේ අට පසු වී තිබිණි. පාරේ ජනයාගේ ගැවසීමක් නොවීය. යතුරුපැදියේ ඇන්ජින් හඬ පරයා යන ලෙසින් දෙදෙනා කතාබස් කරමින් ගමන් කරන්නට වූවෙමු. පිටුපස අසුනේ සිටි මාගේ පිටුපසින් ඇති වූ මහත් කම්පනය හේතුවෙන් පාර අයිනට විසි වුණි. එහි මහත් බියකරු විපතක් සිදු වී ඇති බව සිතමින් නැවතත් යතුරු පැදිය හරවා ගෙන සිද්ධියවූ ස්ථානයට පැමිණියෙමු. නායකතුමාගේ ශරීරාරක්‍ෂකයෝ මහත් කැළඹීමට පත්ව සෝදිසි කටයුතුවල යෙදී උන්හ.
 
 (පිටුව 181)
 
 කොටි සංවිධානයෙහි ඉතා වැදගත් ස්ථාන පිළිබඳ සියලූ තොරතුරු ඉතා තීක්‍ෂණ අයුරින් හමුදාවේ දුරදිග විහිදුම් බළකාය සතුව පවතින බව මේ ප‍්‍රහාරය නිසා කොටි සංවිධානයට හොඳින්ම අවබෝධ විය. එහෙත් විහිදුම් බළකායේ මෙහෙයුම් පාලනය කිරීමට කොටි සංවිධානයට නොහැකි වූ බව තමිලිනී පැහැදිලිව සටහන් කර ඇත. එසේම ඇය ගණන් කළ නොහැකි තරමේ ක්ලේමෝ ප‍්‍රහාරවලට මෙන්ම ගුවන් ප‍්‍රහාරවලටද හසුවී ඇති නමුත් ඒ සෑම අවස්ථාවකදීම මරණයෙන් බේරීමට සමත් විය. එසේම කොටි ඉලක්කය වෙත එල්ලවූ ගුවන් ප‍්‍රහාර ගැන ඇය සිදු කරන හෙළිදරව්ව බලන්න.
 
 සංවිධානයේ බොහෝ වැදගත් ස්ථාන එකවතාවකට වඩා හමුදාවේ ගුවන් ප‍්‍රහාරවලට ලක්විය. මුහුදු කොටින්ගේ ස්ථාන කිට්ටුවට යා නොහැකි තරමට ගුවන් ප‍්‍රහාර තර්ජනාත්මක විය. විශ්වමඩු ප‍්‍රදේශයේ පිහිටා තිබූ මාලතීී බළකායේ පරිපාලන කාර්යාලය ගුවන් ප‍්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම විනාශ විය. එයට පසු එම ප‍්‍රදේශයේ නායකතුමාගේ හමුවීම්වලට විශේෂ ආරක්ෂක විධි විධාන සමඟ සකස්කර තිබූ නිවසක් මාලතී බළඇණියේ පරිපාලන ලේකම් කාර්යාලය ලෙස භාවිතා කිරීමට ලබාදී තිබිණි. එම ස්ථානයට සෙන්පානි විදුෂා, මාවත් තවත් වගකීම් භාර කිහිප දෙනෙකුත් හදිසියේම කැඳවා කතා බහකර පිටව ගියාය. පසු දින උදෑසන එම නිවස ද ඉතාමත් තියුණු ලෙසින් ප‍්‍රහාරයට ලක්විය.
 
 (පිටුව 186)
 
 දෙදහස් අට වසරේ නොවැම්බර් 23 වැනිදා හමුදාව කිලිනොච්චියට ප‍්‍රහාර එල්ලකිරීම ආරම්භ කළේය. 2009 වසරේ ජනවාරි දෙවැනිදා කිලිනොච්චි නගරයත් ඒ අවට ප‍්‍රදේශයත් හමුදාව සතු විය. කොටි සාමාජිකයින් සිතා සිටියේ අවසන් මොහොතේ හෝ නායකතුමා විශේෂ සැලසුමකින් හමුදාව පරාජය කරනු ඇති බවයි. එය ප‍්‍රාර්ථනාවක් පමණක් විය. එහෙත් කිලිනොච්චිය පරාජය වූ විට ප‍්‍රභාකරන් පැවැසුවේ කුමක්ද යන්න ඊළප්පිරියන් තමිලිනී සමඟ හෙළිකර ඇත.
 
 සේරම හිතාගෙන ඉන්නේ මගේ අතේ තමයි සේරම තියෙන්නේ කියලා. නමුත් මගේ අතේ කිසිම දෙයක් නෑ. මගේ අත් හිස් යැයි කියමින් නායකතුමා තම අත දිග හැර දැක්වූ බව කියමින් ඊළප්පිරියන් තම අත දිග හැර පෙන්වමින් පැවැසුවේය. නායකතුමා එහෙම කියද්දී අපට කරන්න පුළුවන් දේ මොකක්ද?
 
 (පිටුව 189)
 
 හමුදා ප‍්‍රහාර හමුවේ ප‍්‍රභාකරන් පැහැදිලිිව දුර්මුඛ විය. සිය ජීවිතාරක්ෂාව සලසා ගන්නේ කෙසේද යන්න උභතෝකෝටිකයට මේ ත‍්‍රස්ත නායකයා මුහුණ පෑවේය.
 
 දෙදහස් නමයේ මාර්තු මාසයේ පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශයේ පිහිටි කඳවුරක පැවැති රැුස්වීමකට කොටි සංවිධානයේ වගකීම් භාර සියලූම නායකයන් කැඳවනු ලැබීය. අපේ කතානායිකාවද එයට සහභාගි වූවාය. එම හමුවේදී පොට්ටු අම්මාන් විසින් සිදුකළ ප‍්‍රකාශය ඇය මෙසේ දක්වා ඇත.
 
 ‘‘මොකක් හරි ප‍්‍රාතිහාර්යක් සිද්ධ වුණොත් මිස සංවිධානය ජයග‍්‍රහණය කරන කියන එක තවදුරටත් වලංගු දෙයක් නොවෙයි. සංවිධානයේ ලිපි ලේඛන තියාගෙන ඉන්න අය ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරන්ඩ. මිනිස්සු හමුදාව ළඟට යන්ඩ පටන් ගන්නවා. අන්තිම අදියරේදී සටන්කාමීන්ටත් මිනිස්සු එක්ක එකතුවෙලා හමුදාව ළඟට යන්ඩ වෙනවා. එතකොට ‘‘ඔතැන කොටි ඉන්නවා නම් නැඟිට වරෙල්ලා’’ කියලා කියයි. ‘‘මං කොටි කියලා නැඟිටින කොට වෙඩි තියලා මරලා දායි.’’ ඒක තමයි සිද්ධ වෙන්නේ. මේ යුද්දේ හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කරන්ඩ නායකත්වය මුළු උත්සාහයම දරනවා. එහෙත් නැවතත් මේ කාරණය පැහැදිලිව තේරුම් ගන්ඩ ඕනෑ. ඒක තමයි ප‍්‍රාතිහාර්යයක් සිද්ධ වුණොත් මිස අපි දිනන එක බොරු. ඔබලාව කලබලයට පත් කරන්ඩ මම මේක කියන්නේ නෑ. ඇත්ත ස්ථාවරය ඒකයි. ඇත්තෙන්ම අද දිනයේ ඔබලාව කැඳෙව්වෙ ඔබලා සතුව තියෙන ලිපි ලේඛන විනාශ කරන්ඩ කියලා කියන්ඩයි.’’
 
 (පිටුව 198)
 
 යුද ගැටුම් ඉතා උණුසුම්ව පවතිද්දී මාලතීී බළඇණියේ සාමාජිකාවන් සමඟ සිටි එහි නායිකා විදුපා, තමිලිිනීට හමුවෙයි. එතැනදී සිදුවන්නේ කුමක්ද?
 
 ඉතා දැඩි ලෙසින් චිත්ත පීඩාවට පත්ව සිටි වි¥ෂා අක්කා මා දුටු වහාම හඬා වැළපෙන්නට වූවාය. ‘‘සංවිධානය ගැන හිතනකොටත් ලැජ්ජයි. මේ නංගිලා අහන ප‍්‍රශ්නවලට මගේ ළඟ පිළිතුරු නෑ’’ යනුවෙන් ඇය වෙන කිසිදා නොවන අයුරින් සිත් බිඳුනු කලකිරීමෙන් පැවැසුවාය. ‘‘මිනිස්සු දැන් වෙන කරන්ඩ දෙයක් නැති නිසා ආමි එක ඉන්න පැත්තට යනවා. එහෙම යන මිනිසුන්ගේ දණහිසෙන් පහළට වෙඩි තියන්න කියලා සංවිධානේ කියනවා. අනේ දෙවියනේ, මිනිසුන්ට වෙඩි තියපන් කියලා මම මොන හිතකින්ද අණ දෙන්නේ. එහෙම තිබිලත් මම කීප දෙනෙකුට කිව්වා සංවිධානේ මෙහෙමයි කියන්නේ කියල. එතකොට ඒ අය අහනවා ‘‘කොහොමද අක්කේ, අපි අපේ අම්මා, තාත්තාට, අක්කලා මල්ලිලාට වෙඩි තියන්නේ’’ කියලා. මීට වැඩිය හොඳයි අපි අපිට වෙඩි තියාගෙන මැරෙන එක කියලා අඬනවා. ඒක ඇත්තනේ බං මේ වගේ නින්දිත වැඩක් කරන්ඩ වෙන තත්ත්වෙට සංවිධානේ පත්වුණානේ්’’ යැයි පවසා හැඬුවාය. එදින ඇයගේ චිත්ත පීඩාවෙන් යුතු දර්ශනය තවමත් මගේ දෑස් ඉදිරිපිට වෙයි. මම ඇය සමග කතාබහ කර පිටව එද්දී සිත ගත දෙකම හිරිවැටීමට ලක්ව තිබිණි.
 
 (පිටුව 194)
 
 යුද්ධය අවසන් සමයේ කොටි සංවිධානය කොතරම් නින්දිත තත්ත්වයට පත්ව සිටිනවාද යන්න ඉහත උපුටනයෙන්ම හොඳින්ම පැහැදිලිි වෙයි. මෙය 2019 අපේ‍්‍රල් මාසය උදාවීමට පෙර තිබූ තත්ත්වයකි. මන්ද විදුෂා අපේ‍්‍රල් මුල් සතියේදී ආනන්දපුරම් සටනේදී මරණයට පත්වූවාය. කොටි සංවිධානයේ නායකත්වය තම සහෝදර දෙමළ වැසියන්ටම වෙඩි තබන ලෙසට දුන් අණ විදුෂාගේ හද දෙදරවීමට සමත් විය. මේවා තමිලිනී විසින්ම හෙළිකර තිබීම වැදගත්ය. ඒ ඇගේ හෘද සාක්ෂියයි.
 
 නායකතුමා විසින් කිසිදු ප‍්‍රාතිහාර්යක් නොපානු ඇති බවත් ඉතා ඉක්මනිම යුද්ධය අවසන් යනු ඇති බවත් තමිලිනීට තේරුම් ගියේ. මුල්ලි වයිකාල් වෙරළ තීරයේදීය. ඒ අවස්ථාවේ ඇයට සිය දිවිනසා ගැනීමට සිතුනද එය ඵල රහිත බවත් ඉදිරියට වඩා ශක්තිවන්තව මුහුණු දිය යුතු බවත් ඇගේ යටි සිත විසින්ම දන්වනු ලැබීය. එනිසාම මැයි 16 වැනිදා සෙසු ජනතාව සමඟ එක්වී හමුදා ප‍්‍රදේශයට යෑමට ඇය තීරණය කළාය. පරණ සල්වාර් ඇඳුමක් ඇඳගෙන වචනවලින් විස්තර කළ නොහැකි හදවත කීතු කරන වේදනාව දරාගෙන ඒ මහත් ජන රළ සමඟ එක්වූවාය. 18 වසරක අරගල ජීවිතයක නිමාව සටහන් විය. ඒ මහත් ජන රළ ගැන ඇය කියන කතාව අසන්න. මේ 209 පිටුවෙනි.
 
 1991 හත්වෙනි මස 29 වන දින විමුක්ති කොටි සංවිධානයට බැඳී 2009 වසරේ මැයි මස 16 වන දින තෙක් 18 වසරක් වූ අරගල ජීවිතය එයින් අවසන් විය. ඊළඟට සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව සිතා බැලීම පවා බියකරු විය. අපට පිටුපසින් තවත් වෙඩි පුපුරන හඬ සහ කම්පනයන් ඇසේ. කාල වර්ණ දුම් කඳු අහස උසට නැගෙමින් තිබිණි. සටන් බිමේදී එකට ජීවිතය බෙදාගත් ඥාතීන්ගේ ප‍්‍රාණ වේදනාව පිරුණු වේදනාත්මක ඇස්වල අවසන් හුස්ම බෙංගාල මුහුදේ විශාල රළ සේ මගේ හදවත තුළ නැෙඟන්නට විය. ප‍්‍රාණය නිරුද්ධ සිරුරක් සේ මාව දරා ගැනීම මට මහත් බරක් විය. ජනයාගෙන් පිරී ඉතිරී ගොස් තිබුණ මුලතිව් පිට්ටනියේ විදුලි බුබුළු දහවල මෙන් ආලෝකය සපයමින් තිබිණි. හමුදාව පිට්ටනිය වටා රැුකවලේ උන්නේය. සිත තුළ ගැඹුරු අඳුරු අගාධයක් ලෙසින් දර්ශනය වූ ඊළඟ අදියරට මමත් ප‍්‍රවේශ වූයෙමි.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles