Divaina - කොල්ලකෑ කෝටි දෙකහමාරේ පසිංගලය ඇල්ලූවේ මෙහෙමයි!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

රුවන් ජයවර්ධන


menikඉකුත් මාර්තු මස 24 වන දින කිසියම් පුද්ගලයන් කණ්ඩායමක් විසින් ව්‍යාපාරිකයකු සතුව පැවති අධික වටිනාකමකින් යුතු මැණිකක් පැහැර ගනු ලබන්නේය. පසිංගල් නමැති මැණික් විශේෂයට අයත් එම මැණික මීගමුව ප‍්‍රදේශයේදී පැහැර ගනු ලබන්නේ එය විදේශීය ජාතිකයකුට අලෙවි කිරීමේ මුවාවෙන් මීගමුවට ගෙන්වා ගැනීමෙන් අනතුරුවය. මැණික් ගල පැහැර ගන්නා කණ්ඩායම විසින් අතරමැදියන් කීප දෙනකුව ඒ සඳහා යොදවා ගන්නා අතර සිදුවීම නිමාවට පත් වන්නේ රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න අගයකින් යුත් දුර්ලභ ගණයේ මැණික එහි හිමිකරුගෙන් පැහැර ගැනීමත් සමගය. වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසක් ලෙස ව්‍යාජ රංගනයක යෙදෙන කොල්ලකරුවන් පිරිසක් විසින් මැණික් ගල හිමි ව්‍යාපාරිකයා හට මරණීය තර්ජනයන් පවා සිදු කරමින් මෙම කොල්ලය සිදු කරන අතර අවසානයේදී මැණික් ව්‍යාපාරිකයා සතු රු. 50000 ක මුදලක් ද කොල්ලකරුවන් විසින් පැහැර ගනු ලබන්නේය.

පැය කීපයක් පුරා කොල්ලකරුවන් ග‍්‍රහණයේ ජීවිතයත් මරණයත් අතර සංක‍්‍රාන්ති සමයක් ගත කරන මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ ආරක්ෂාව පිණිස ගිය තවත් පුද්ගලයෙක් අවසානයේදී දිවි බේරා ගැනීමට සමත් වන අතර පසුව ඒ සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලබන්නේය. සිද්ධියෙන් මඳ වෙලාවකට පසුව එම පැමිණිල්ල සිදු කරනු ලබන්නේ ඉකුත් මාර්තු 24 වැනිදාය.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් මැණික් ව්‍යාපාරිකයා විසින් පොලිසිය හමුවේ සියල්ල හෙළි කිරීමෙන් අනතුරුව වහාම පරීක්ෂණ ආරම්භ කරන මීගමුව පොලිසිය සිය විමර්ශන කටයුතු පැති කීපයක් ඔස්සේ සිදු කරන්නේය. ඒ අනුව සිද්ධියට සම්බන්ධ කීප දෙනකුගේ තොරතුරු සොයා ගන්නා පොලිසිය ඒ ඔස්සේ යමින් මෙම කොල්ලයට සම්බන්ධ තවත් පුද්ගලයන් කීප දෙනකුගේම වගතුග සොයා ගැනීමට සමත් වන්නේය. කෙසේ වෙතත් ඉතාමත් සූක්ෂම ආකාරයෙන් සිදු කර තිබූ මෙම මැණික් කොල්ලයේ ප‍්‍රධාන සැකකරු පිළිබඳ නිවැරදි තොරතුරක් සොයා ගැනීම තරමක් දුෂ්කර කාරියක් බවට පත් වන්නේය. ඊට හේතුව බවට පත් වන්නේ තැරැව්කරුවන් පවා නොමඟ යන ආකාරයට මෙම පැහැර ගැනීම සැලසුම් කර තිබීමත් ඒ සඳහා නමගිය කොල්ලකරුවන් කීප දෙනෙක් සහභාගි වී තිබීමත්ය. ඒ සම්බන්ධව විමසිලිමත් වන ප‍්‍රදේශය භාර ඉහළ පොලිස් නිලධාරීන් පසුව මේ සම්බන්ධ විමර්ශන කටයුතු බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසය වෙත පවරන අතර රුපියල් කෝටි දෙකහමාරක වටිනාකමින් යුත් මැණික් ගල පැහැර ගෙන යෑම පිළිබඳ බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ අරඹන්නේ ඉන් අනතුරුවය.

menik2බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි මහේෂ් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් එම විමර්ශන කටයුතු අරඹන අපරාධ කොට්ඨාසය පළමුව සිදු කරනු ලබන්නේ පැහැර ගන්නා ලද මැණික් ගල පිළිබඳ සැබෑ තොරතුරු රැසක් මැණික් ව්‍යාපාරික ක්ෂේත‍්‍රය වෙත ලබා දීමය. එම තොරතුරුවලට සමාන මැණික් ගලක් කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් අලෙවිය පිණිස රැගෙන ඒ නම් ඒ පිළිබඳ තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස පවසන අපරාධ කොට්ඨාසය දින ගණනාවක් තිස්සේ ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වී ඇත. තවත් පොලිස් නිලධාරීන් පිරිසක් උපාය දූතයන් හරහා තොරතුරු ලබා ගනිමින් පැහැර ගත් මැණික් ගල පිළිබඳ තොරතුරක් ලබා ගැනීමේ අටියෙන් පසු වී ඇති අතර එහිදී අපරාධ කොට්ඨාස නිලධාරීන් පෙනී සිට ඇත්තේ ප‍්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයන් පිරිසක් ලෙසින්ය.

මේ අතර ඉකුත් 14 වැනි දින තැරැව්කරුවෙකු හරහා අපරාධ කොට්ඨාස පොලිස් නිලධාරියෙක් වෙත වැදගත් තොරතුරක් වාර්තා වන්නේය. එහිදී තැරැව්කරු විසින් පවසා සිටින්නේ පසිංගල් වර්ගයට අයත් වටිනා මැණික් ගලක් එක්තරා පුද්ගලයෙක් සතුව පවතින බවක්ය. තැරැව්කරු විසින් ලබා දුන් තොරතුරුවලට අනුව එම මැණික ඉකුත් මාර්තු 24 වන දින මීගමුව ප‍්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගත් මැණිකට බොහෝ සෙයින් සමාන වූවක්ය. තමන් වෙත ලද තොරතුරු පිළිබඳ දෙවරක් කල්පනා නොකරන අපරාධ කොට්ඨාස නිලධාරීන් නැවතත් තැරැව්කරු අමතමින් ප‍්‍රකාශ කර සිටින්නේ එම මැණික මිලදී ගැනීමට තමන් සූදානම් බවත් ඒ සඳහා වෙලාවක් සහ ස්ථානයක් තීරණය කොට තමන් වෙත දැනුම් දෙන ලෙසත්ය.

ඒ අනුව තැරැව්කරු විසින් එදිනම වෙලාවක් සහ ස්ථානයක් ලබා දෙන්නේය. එම තොරතුරුවලට අනුව මැණික් ව්‍යාපාරිකයන් ලෙස වෙස්වලා ගන්නා අපරාධ කොට්ඨාස නිලධාරීන් පිරිසක් තැරැව්කරු විසින් සඳහන් කළ ස්ථානයට වහාම පිටත්ව ගොස් ඇත. කොළඹ පිහිටි ප‍්‍රසිද්ධ හෝටලයක් අසලදී මැණික් ගනුදෙනුව සිදු කිරීමට කතිකා කරගත් දෙපිරිස නියමිත වේලාවට එම ස්ථානයට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය. එහිදී දෙපිරිස මුණගැසෙන අතර වෙස්වලා ගත් අපරාධ කොට්ඨාස නිලධාරීන් පළමුව පවසා ඇත්තේ තමන්ට මැණික් ගල පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බවක්ය. එහිදී අනෙක් පාර්ශ්වයෙන් පැමිණි පුද්ගලයා පවසා සිටින්නේ තමන් අතරමැදියෙකු පමණක් බවත් මැණික් ගලේ හිමිකරු මුණගැසීම සහ මැණික පරීක්ෂා කිරීමට නම් වෙනත් ස්ථානයක් වෙත යා යුතු බවත්ය.

තමන් සමීපයට පැමිණි ගොදුර කෙසේවත් ඉවත නොදැමිය යුතු යැයි තීරණය කරන අපරාධ කොට්ඨාස නිලධාරීන් ඉන් අනතුරුව එම ඉල්ලීමට එකඟ වී ඇත. ඒ අනුව තැරැව්කරුගේ මඟ පෙන්වීම මත ඔවුන් හෝමාගම ප‍්‍රදේශයේ පිහිටි එක්තරා නිවසක් වෙත පිටත්ව ගොස් ඇත. වෙස්වලා ගත් අපරාධ කොට්ඨාස නිලධාරීන් එම නිවස වෙත ගොඩ වන අවස්ථාවේ මැණික් ගලේ හිමිකරු යැයි කියා ගන්නා පුද්ගලයා ද නිවසෙහි සිට ඇත. මැණික පැහැර ගන්නා ලද අවස්ථාවේ වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස ව්‍යාජ රංගනයක යෙදී ඇත්තේ එම තැනැත්තාය. මැණික පරීක්ෂා කර බැලීමේ මුවාවෙන් හෝමාගමට යන අපරාධ කොට්ඨාස නිලධාරීන් පළමුව එම තැනැත්තාව අත්අඩංගුවට ගන්නා අතර පැහැර ගන්නා ලද මැණික් ගල පිළිබඳ ප‍්‍රශ්න කිරීම ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

තමන් පලා යා නොහැකි උගුලක සිරවී ඇති බව තේරුම් ගන්නා සැකකරු ඉන් අනතුරුව ඔවුන් විසින් පැහැර ගත් මැණික අපරාධ කොට්ඨාස නිලධාරීන් වෙත ලබා දෙමින් සිද්ධිය සම්බන්ධ සියලූ තොරතුරු හෙළි කර ඇත. ඒ අනුව පැහැර ගත් මැණික පිළිබඳ තොරතුරු තැරැව්කරුවකුගේ මාර්ගයෙන් ලබා ගත් අයුරුත් ඉන් අනතුරුව මැණික් ව්‍යාපාරිකයා මීගමුව ප‍්‍රදේශයට ගෙන්වා ගනිමින් එය පැහැරගත් අයුරුත් හෙළි කර ඇති සැකකරු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ එම කොල්ලය පිණිස රටේ නමගිය අපරාධකරුවන් කීප දෙනෙක්වත් සහභාගි කරවූ බවය. ඔවුන්ව වෙන්නප්පුව වයික්කාල ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයකට කැඳවා ප‍්‍රධාන සැකකරු විසින් මෙම පැහැර ගැනීම සැලසුම් කර ඇත. සිද්ධිය සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

අපරාධයක් සිදු කොට සදාකල් සැඟව සිටිය නොහැකිය. කුමන ආකාරයෙන් හෝ ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වන අතර ඉහත සඳහන් සිදුවීම ද හෙළිදරව් වන්නේ ඒ ආකාරයටය. ඒ අනුව රුපියල් කෝටි දෙක හමාරක වටිනාකමින් යුත් මැණික පැහැර ගැනීමෙන් අනතුරුව මාසයක් ගත වීමට මත්තෙන් එහි සියලූ තොරතුරු සොයා ගැනීමට පොලිසිය සමත් වන අතර එම පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන්නේය. බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් මේ පිළිබඳ තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන අතර නුදුරේ දිනක මෙම මැණික් කොල්ලයට සම්බන්ධ අනිකුත් සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට නියමිතය. බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත දහනක, උප පොලිස් පරීක්ෂක පියසිරි, කොස්තාපල්වරුන් වන සම්පත් (46671), අබේකෝන් (81534) යන නිලධාරි මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles