Divaina - අංක 67 දරණ අසහාය පරාජිතයා.. 'අප පැමිණියේ ජයග‍්‍රහණයටම නෙවෙයි... අවසාන කිරීමටයි...'

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali


parajitha1සමස්ත ඔලිම්පික් ඉතිහාසයේ අපේ රට වෙනුවෙන් වෙන්වී ඇත්තේ රිදී පදක්කම් දෙකක් පමණයි. ඒ ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ නිසා. ඒ වගේම උසේන් බෝල්ට්, කාල් ලූවිස්, මයිකල් පෙල්ප්ස් ආදී අග‍්‍රගන්‍ය ක‍්‍රීඩකයන් ගැන ලෝකයම දන්නවා. නමුත් ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකුටත් වඩා අතිශය ගෞරවාදරයට පත්වූ ක‍්‍රීඩකයෙක් අපේ රටෙන් බිහිවූ බව බොහෝ දෙනා දන්නේත් නැහැ. ඒ රණතුංග කරුණානන්ද නම් පුංචි මිනිසෙක්.

 
 
1964 ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වූ ඔලිම්පික් ක‍්‍රීඩා සැණකෙළිය දෙවන ලෝක යුද්ධයේ පරාජිතයන් වී හෙම්බත්ව වැටී සිටි ජපානයට නැවුම් බලාපොරොත්තුවක් ගෙන දුන්නා. ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට ලෝකයේ නන්දෙසින් ක‍්‍රීඩකයන් පැමිණ සිටියා. ශ‍්‍රී ලංකාවෙනුත් මේ සඳහා ක‍්‍රීඩකයන් සය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වුණා. ඒ කණ්ඩායමට කරුණානන්ද ඇතුළත්ව සිටියේ මීටර් 5000 හා 10000 දිගුදුර ධාවකයකු වශයෙන්.
 
 
මලල ක‍්‍රීඩා ඉසව් පවත්වන්නේ ඔලිම්පික් උළෙලේ උච්චතම අවස්ථාව ලෙසයි. ඒ අනුව හත්වැනි දිනයේ මීටර් 10000 ධාවන තරගය ආරම්භ වුණා. තරගයේ මුළු වට ප‍්‍රමාණය 25ක්. කරුණානන්දගේ බැනියමේ 67 අංකය පැහැදිලිව පෙනෙන්නට තිබුණ අතර ඔහු පළමු වටයෙන්ම බොහෝ සෙයින් පසුබා සිටියා. පළමු වටයේ ඔහු සිටියේ ප‍්‍රථමයාට වඩා මීටර් 200 ක් පිටුපසින්. එම පරතරය වටයෙන් වටය තවත් දීර්ඝ වුණා. තරගයේ 20 වන වටය වන විට ඔහු අන්තිමයා ලෙස දුවමින් සිටියා. කෙසේ නමුත් අවසාන වටය වන විට ඔහු සිටියේ පළමු වැන්නාට වඩා වට හතරක් එනම් මීටර් 1600 ක් පිටුපසින්. සරලව කිවහොත් බොහෝ ධාවකයන් කරුණානන්දව සිව් වතාවකට වඩා පසු කරමින් ගොස් තිබුණා.
 
 
ජයග‍්‍රහණය සඳහා ඇමෙරිකාව, ටියුනීසියාව හා ජපානය තරග වදිමින් සිටියා. ක‍්‍රීඩාලෝලීන් ඔල්වරසන් දෙමින් ඔවුන්ව දිරිමත් කරමින් සිටියා. ඇමෙරිකාවේ විලියම් මිලාස් රන් පදක්කම දිනාගනිමින් තරගය නිමාකළා. ඒත් එක්කම ටියුනීසියානු හා ජපාන ක‍්‍රීඩකයන් දෙදෙනාත් පිළිවෙළින් රිදී හා ලෝකඩ පදක්කම් වලට අයිතිවාසිකම් කියමින් තම ධාවනය නිමා කළා. අනෙකුත් බොහෝ ක‍්‍රීඩකයන් ප‍්‍රතිඵලය දැක අතරමගින් ධාවන පථයෙන් ඉවත් වුණා.ඒ අතරම ඊළඟ තරගය සඳහා ලහි ලහියේ පිටිය සූදානම් වුණා.
 
 
නමුත් සංවිධායකයන්ට ඊට අවස්ථාවක් ලැබුණේ නැහැ. යම් අමුතු සිදුවීමක් ධාවන පථයේ සිදුවෙමින් තිබුණා. අංක 67 දරන කෙසඟ හා කුඩා ක‍්‍රීඩකයෙක් පිටියේ තනිවම දුවමින් සිටියා. ඒ ලාංකික (සිලෝන්) ක‍්‍රීඩක කරුණානන්ද. ඔහු කුමන රටකට අයත්දැයි ඒ වන විටත් කිසිවෙකු දැන සිටියේ නැහැ. ලක්ෂයකට අධික පේ‍්‍රක්ෂකයන් අවඥාවෙන් සිනාසෙන්නට පටන් ගත්තා. උසුළු විසුළු කරන්නට ගත්තා. සමහරු ඔහු වෙත දමා ගසන්නට හිස් බෝතල් සොයන්නට ගත්තා. කරුණානන්ද තවදුරටත් දුවමින් සිටියා. මුළු පේ‍්‍රක්ෂකාගාරයම දැන් මේ විහිළු සහගත ඉසව්ව දෙස නෙත් යොමා සිටිනවා. 
 
 
ඔහු කිසිම දෙයක් සිදු නොවූ අයුරින් ඊළඟ වටයටත් අවතීර්ණ වූවා. මුළු පේ‍්‍රක්ෂකාගාරම එක වරම මහා නිහඬතාවක ගිලී ගියා. කරුණානන්ද බිම බලාගෙන දුවමින් සිටිනවා. අනෙකුත් සියල්ලෝ ඔහු දෙස තුෂ්ණිම්භූතව බලා සිටිනවා. ඔලිම්පික් ඉතිහාසයේ හෝ වෙනත් ජාත්‍යන්තර ක‍්‍රීඩා ඉසව්වක එවැනි දෙයක් ඊට පෙර සිදුවී තිබුණේ නැහැ. එක් අයෙකු හෝ දෙදෙනකු අත්පුඩි ගසන්නට ගත්තා. කෙමෙන් කෙමෙන් අත්පොළසන් නාදය වැඩි වන්නට ගත්තා. පසුව මුළු පේ‍්‍රක්ෂකාගාරයම ගිගුම් දෙමින් ප‍්‍රීතිඝෝෂා රැව්දෙන්නට ගත්තා. අවසාන වටය වන විට ලක්ෂ සංඛ්‍යාත නරඹන්නන් තම අසුන් වලින් නැගී සිට මේ ධෛර්යවන්ත තරුණයාට ගෞරවය පුදකර සිටියා. බොහෝ අය හඬන්නට ගත්තා. ඔවුන් මේ තරුණයාගෙන් සමාව යදින්නට මෙන් තෙත් වූ දෙනෙත් වසා ගත්තා. මිනිත්තු හතරකට කලින් ලෝකයේම නින්දාවට ලක්වූ මේ පරාජිත ක‍්‍රීඩකයා ලෝකයටම අලූත් ආදර්ශයක් සපයමින් අපරාජිත වීරයෙකු මෙන් තරගය නිමා කර සිටියා.
 
 
මුළු ලෝකයේම ක‍්‍රීඩාලෝලීන්ට මෙය අමුතුම ආශ්වාදනීය අත්දැකීමක් වූවා. තමන් රන් පදක්කම දිනාගත්තද තරගයේ ඇත්ත ජයග‍්‍රාහකයා කරුණානන්ද බව ඇමෙරිකානු ක‍්‍රීඩක මිලාස් පසුව පවසා සිටියා. ඩොලර් මිලියන ගණන් වියදම් කරවත් ලබාගත නොහැකි රාජ්‍යතාන්ත‍්‍රික ජයග‍්‍රහණයක් අප දිනාගෙන ඇති බව පැවසුවේ එවකට ජපානයේ ලංකා තානාපතිවරයා විසින්. වැරදීම් වලින් බිමට සමතලා වී සිටි ජපානයටත් මෙය මහාර්ඝ ආදර්ශයක් වුණා. ඔවුන් තමන්ට වටිනාකමක් ඇති කිසිවක් නිකරුණේ ඉවත දමන්නේ නැහැ. ඔවුන් මේ දිරිය ක‍්‍රීඩකයාගේ කතාව පාසල් පෙළපොත් වලට පවා ඇතුළත් කළා. ඒ එරට පාසල් වල පස් වැනි පන්තියේ විෂය නිර්දේශයේ පළමු පාඩම වන ”ධෛර්යවන්ත මිනිසා” ලෙසින්.
 
 
”අප පැමිණෙන්නේ ජයග‍්‍රහණයටම නෙවෙයි. අවසාන කිරීමටයි.” අදත් ක‍්‍රීඩාවට ජීවය සපයන ඒ වදන් පෙළ එදා ඔහුගේ මුවින් පිටවූවක්. ජපානයේ පාසල් දරුවකු වුවද දන්නා මේ ශ‍්‍රී ලාංකිකයා පිළිබඳව අපේ රටේ බොහෝ වැඩිහිටියන්වත් දන්නවාදැයි සැකයි.
 
 
ලෝකයට මහා පාඩමක් කියාදුන් මේ ක‍්‍රීඩකයාට 1974 දී ජපානයට පැමිණෙන ලෙස ආරාධනා ලැබෙනවා. නමුත් ඊට සති දෙකකට පමණ පෙර ඔහු නාමල් වැව ජලාශයේ ගිලී අවාසනාවන්ත ලෙස මියයනවා. ඔහුගේ මරණය අදටත් අභිරහසක් ලෙස පවතිනවා. ඒත් එක්කම ඔහුගේ කතාව අපේ ඉතිහාසයෙන් මැකී යනවා. ඒත් ලෝක ක‍්‍රීඩා වංශකතාවේ කරුණානන්ද නාමය රන් අකුරින් අදටත් ලියැවී තිබෙනවා. ඒ ක‍්‍රීඩාවෙහි එතෙක් මෙතෙක් බිහිවූ ගෞරවනීයම පරාජිතයා ලෙසින්.
 
* ශානක ලියනගම

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles