Divaina - 'සර් අපි මංකොල්ලකාරයෝ වුණාට මිනීමරුවෝ නෙවෙයි.....' කොණ්ඬේ බැදපු ”චීනා” නොවෙයි, මේ රටම හොල්ලපු චණ්ඩියෙක්;

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

konde2

 

ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි

දොම්පේ, කෑරගල ප‍්‍රදේශයේ පදිංචි වෙලා හිටපු ජයලත්ගේ සිරිසේන අපරාධ ලෝකයේ බෞතිස්ම වෙලා තිබුණේ ”චීනා” නමින්. සිරිසේනට ”චීනා” කියන නම පටබැඳුනේ ඔහුගේ ඇති චීන පෙනුම නිසාද එහෙම නැත්තම් හොඳම ”චීනා අඩිකාරයෙකු” නිසා ද කියලා හරියටම කියන්න දන්න කෙනෙක් නැහැ. කොහොම නමුත් සිරිසේන මුළු ලංකාවෙම ප‍්‍රසිද්ධ වෙලා හිටියේ ”චීනා” නමින්.
 

  ”චීනාගේ” නමට 60 සහ 70 දශක තුළ පොලිස් වාර්තාවල ලියවුණු අපරාධ රාශියකි. ඒ හැම එකක්ම බැංකු, ධනවත් ස්වර්ණාභරණ සාප්පු කොල්ලකෑම් වැනි දරුණු ගණයේ අපරාධයි. ඒ අතරින් 1967 වර්ෂයේ නව කැලණි පාලම උඩදී සිදු කළ ”නව ලක්ෂයේ මංකොල්ලය” චීනාගේ අපරාධ චාරිකාවේ උච්චතම අපරාධය ලෙස සටහන් වෙනවා. අපරාධයන්ට අමතරව චීනා ප‍්‍රසිද්ධ වෙලා සිටියේ හිරෙන් පැනීමට හපනෙකු ලෙසයි. ඔහුම මට කියපු විදියට ලංකාවේ ආරක්ෂිතම බන්ධනාගාර හතරක් වන වැලිකඩ, මහර, බෝගම්බර සහ යාපනය යන හිරගෙවල් වලින් පස් වතාවක් චීනා පැනලා ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ හැම වෙලාවකදීම ඉතා කෙටි කාලයකින් ඔහුව කොටු කරගන්න පොලීසියට හැකි වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ”Gang Robbery Bureau” ලෙස හැඳින්වෙන සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක සේදිරිස් මහතා තමයි චීනාව වැඩිපුරම අත්අඩංගුවට අරන් තියෙන්නේ. පොලිස් පරීක්ෂක සේදිරිස් කියන්නේ මෑතකදී විශ‍්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහත්තයාගේ තාත්ත. 
 
 
”චීනා” ඔහුගේ මවට පුදුම ලෙස ආදරය දැක්වූවා. මොන හිරෙන් කොහොම පැන්නත් චීනා අම්මව බලන්න කෑරගලට එනවා. එහෙම kondeනැත්තම් මොන ගැටයක් හරි ගහලා අම්මව කොහෙට හරි ගෙන්න ගන්නවා. පොලිස් පරීක්ෂක සේදිරිස් මේ මන්තරේ හොඳ හැටියට දැනගෙන හිටියා. ඒ අනුව තමයි ඔහු හැමවිටම ”චීනාව” අත්අඩංගුවට ගත්තේ. 
 
 
මට ”චීනාව” හම්බවුණේ 1983 වර්ෂයේ රාගම පොලිස් ස්ථානයේදී. එතකොට ඔහු ජනාධිපති සමාව ලැබිලා 99 අවුරුද්දකට නියමව තිබුණු සිර දඬුවමෙන් නිදහස් වෙලා, හිරේදීම ඔහුගේ පෙම්වතිය වූ තරුණිය සමඟ විවාහ වී වැලිවේරිය ප‍්‍රදේශයේ ටේලර් සාප්පුවක් කරගෙන ගිය කාලේ. ඔහු වෙනත් වැඩකට පොලිස් ස්ථානයට ආපු වෙලාවක තමයි මට හම්බවුණේ. 
 
 
හිරේදී විවාහ වුණ චීනාට ඔහුගේ පැත්තෙන් සාක්ෂියට අත්සන් කරේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතායි. රාගමදී චීනා මට අපූරු කතාවක් කිව්වා. 
 
 
”සර් සතොසේ නව ලක්ෂේ මංකොල්ලේ ප්ලෑන් කරේ කියුටෙක්ස් පියදාස. පියදාස අයියා ඒ කාලේ හොඳ වැඩකාරයා. එයාට කියුටෙක්ස් පියදාස කියලා නම හැදුනේ, එයා බන්ධනාගාර ගතවුණු පළවෙනි නඩුව වුණු හාබර් එකේ ගැන්ග් එකක් කඩලා කියුටෙක්ස් සොරකම කරපු නිසයි. පියදාස අයියා නව ලක්ෂේ වැඬේට තෝරා ගත්තේ උසාවිවල වරෙන්තු තියෙන හොඳම වැඩකාරයෝ පස් දෙනෙක්. ප්ලෑනේ තිබුණේ වැඬේ ඉවර වෙලා තියෙන වරෙන්තුවලට උසාවියට භාර වෙන්න. එතකොට හිරගෙදර ඉද්දි පොලිසියට නෝට් වෙන්නෙත් නැහැ, අත්අඩංගුවට ගන්නත් බැහැ. පස්සේ කාලෙක සල්ලි බෙදා ගන්න තමයි ප්ලෑන් කරේ.

රොබරියට කණ්ඩායම තෝරලා අන්තිමට තමයි මට මේ ගැන කිවුවේ. පියදාස අයියා මොරාල් එකට මාව එකතු කරලා තිබුණේ. කණ්ඩායමේ නම් පහ ගැන කිව්වහම මම මේ වැඬේට බෑ කිව්වා. ඒකට හේතුව වුණේ එතන හිටියා ”පහමාරේ ධර්මේ” කියලා කොටහේන පැත්තේ මිනිහෙක්. ඒකා මහා මෘගයෙක්. හතර අතේ වෙඩි තියනවා. පියදාස අයියට මම කිව්වා ධර්මේ එනව නම් මට බැහැ කියලා. ඒ වෙනකොටත් ධර්මෙට රොබරිය ගැන කියලා තිබුණ නිසා එයාව ඩ්‍රොප් කරන්නත් බැහැ. පියදාස අයියා මගේ බුදු බොක්ක නිසා එයාව ඩිසපොයින්ට් කරන්නත් බැහැ. පස්සේ මම වැඬේට කැමති වුණා. හැබැයි එක පොරොන්දුවක් උඩ. අපි ප්ලෑන් කරපු විදියටම වැඬේ දුන්නා. සල්ලි මල්ලත් ගත්තා. එතන නම ලක්ෂයක් කිව්වට සල්ලිවලින් තිබුණේ ලක්ෂ හයක් විතරයි. ඉතිරිවා තිබුණේ චෙක් වලින්. පහුවදා උසාවිවලට භාර වෙන්න යද්දි CID‍ එකෙන් උසාවි ළඟදිම අපිව අල්ල ගත්තා. කොහෙන් හරි Information එක ලීක් වෙලා. ඒ නඩුවට මට අවුරුදු 40 ක් අච්චු කරා. හැබැයි රොබරිය වෙලාවේදී මම හිතපු විදියටම පහමාරේ ධර්මේ හතර අතේ වෙඩි තිබ්බා. ඒත් ඒකෙන් කාටවත් කිසි අනතුරක් වුණේ නැහැ. පියදාස අයියත් මට වෙච්ච පොරොන්දුව හරියටම ඉෂ්ට කරලා තිබුණා. ඒ තමයි ධර්මෙට දුන්න පිස්තෝලේට දාලා තිබුණේ ”පුහු උණ්ඩ” (ක‍්‍රීඩා ආරම්භ කිරීම සඳහා භාවිතා කරන ශබ්දය පමණක් පිට කරන උණ්ඩ). 
 
 
චීනා ඉතා සැහැල්ලූවෙන් සිනාසෙමින් නැවත සිගරට්ටු දුමක් ගුවන් තලයට පිට කළේ ”සර් අපි මංකොල්ලකාරයෝ වුණාට මිනීමරුවෝ නෙවෙයි. මගේ නමට පොලිසියේ 314 වගන්තිය යටතේ එක පැමිණිල්ලක්වත් නැහැ” කියමිනි. (ලංකා දණ්ඩ නිතී සංග‍්‍රහයේ 314 වගන්තිය යනු ඉතා සුළු තුවාල සිදු කිරීමයි)
 
 
මෙම සිද්ධියෙන් මාස 06 ට විතර පස්සේ පොලිසිය සමග චීනා ඇති කර ගත් ගැටුමකින් වැලිවේරියේදී චීනා මියගියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන සඳහා සහාය වීමට මටත් හැකිවුණා. ඒක හරිම දෛවෝපගත සිද්ධියක්.
 

 


 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles