The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

bengaa1ඔටා බෙන්ගා, එය අපූරු නමකි. කාව්‍යමය රිද්මයක් කැටිවුණු නමක් යැයි සිතෙන තරමට අපූූූරුය. එහෙත් එය ලෝකය හැඩවූ නමකි. විසිවෙනි සියවසේදී ඇමරිකාවට වහලෙකු ලෙස ගෙන එන ලද අප‍්‍රිකානු පිග්මියෙකුගේ නමකි. ශිෂ්ඨ යැයි කියාගන්නා මිනිසුන්ගේ ලෝකය කොතරම් කුරිරුදැයි ඔටා බෙන්ගා අතීතයේ හිද තවමත් කියාදෙයි. මේ ඔහුගේ කතාවය.
 
 ඔටා බෙන්ගා ඉපදුණේ 1883 කාලය තුළ කොන්ගෝවේය. ඔහු කොන්ගෝවේ පිග්මි ගෝත‍්‍රයක් වූ ම්බුටි ගෝත‍්‍රයේ මිනිසෙකි. එකල විසූ හැම අප‍්‍රිකානු ගෝත‍්‍රිකයෙකු මෙන්ම ඔටා බෙන්ගාද ගෙව්වේ අසීරු දිවියකි. රටේම මිනිසුන් අතර සිවිල් යුද්ධ බහුල විය. ඒ අතර අප‍්‍රිකානු මිනිසුන්ව අල්ලාගෙන වහල් සේවයට විකුණන අයද දුලබ නොවීය. ඒ මදිවාට අප‍්‍රිකානු මහද්වීපය යුරෝපීයන් විසින් ආක‍්‍රමණය කිරීමෙන් අප‍්‍රිකානු මිනිසුන්ගේ ජීවිත තුළ අර්බුධ රැසක් නිර්මාණය කොට තිබිණ.
 
 සුදු මිනිසුන් විසින් නිර්මාණය කර දුන් ඒ් අසීරුතාවන් හා වනගත ගෝත‍්‍රික දිවියේ දුෂ්කරතාවන් දරා ගනිමින් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්නට අනෙකුත් අප‍්‍රිකානු ගෝත‍්‍රිකයන් මෙන් ඔටා බෙන්ගාද උත්සාහ දැරුවේය.
 
 අනෙක් ගෝත‍්‍රිකයන් මෙන්ම ඔහුද අඩු වයසින්ම විවාහ වූයේය. දරුවන් දෙදෙනකුගේ පියෙකුද වූයේය. ඔටා බෙන්ගා තම පවුලේ අය සමග ජීවත් වූයේ කසායි ගංගාව අසබඩ වනාන්තරයේය.
 
 ඒ වන විට කොංගෝව පැවතියේ බෙල්ජියමේ පාලනය යටතේය. එවකට උන් බෙල්ජියානු රජු, දෙවන ලියෝපෝල්ඞ් විසින් ම්බුටි ගෝත‍්‍රිකයන් විසූ පෙදෙසට බෙල්ජියානු හමුදාව එවුයේය. ඒ බෙල්ජියානු හමුදා කඳවුරක් පිහිටුවීම සඳහා භූමියක් අල්ලා ගැනීම පිණිසය. බෙල්ජියානු හමුදා භටයෝ ඔවුන් තෝරාගත් භූමියේ පදිංචිව උන් ස්වදේශික ජනතාව මරා දැමූහ. කාන්තාවන් දූෂණය කර ගෙල සිඳ දැමූහ. මේ මහා ඝාතනය සිදුවන විටදී ඔටා බෙන්ගා උන්නේ දඩයමක් කරගනු පිණිස වනාන්තරය තුළට පිටව ගොසිනි. ඔටා බෙන්ගාගේ බිරිඳත් දරුවන් දෙදෙනාත්, ගෝත‍්‍රයේ මිනිසුන් බොහොමයකුත් බෙල්ජියානු හමුදාව අතින් නිරපරාදේ මැරුම් කෑහ.
 
  ම්බුටි ගෝත‍්‍රිකයන්ව මරා දැමූ බෙල්ජියානු හමුදාව, ගෝත‍්‍රිකයන්ගේ පාරම්පරික ඉඩකඩම් අත්පත් කර ගත්හ.
 
 ඔටා බෙන්ගාද ඇතුළුව දිවි ගලවා ගත් ගෝත‍්‍රිකයන්ව වහල් වෙළෙඳුන් විසින්, වහලූන් ලෙස විකුණා දමන්නට අල්ලා ගනු ලැබිණ.
 
 බෙන්ගා උපන්දා සිට දැන සිටි ඔහුගේ එකම නිවහන වූ වනාන්තරයද මේ වහල් වෙළෙන්දෝ ඔහුගෙන් උදුරා ගත්හ.
 
 ඉතින් ඔටා බෙන්ගාවද සතෙකු මෙන් කූඩුවක දමා වහල් වෙළෙඳ පොල වෙත ගෙනයනු ලැබිණ.
 
 බෙන්ගා වැනිම තවත් කළු ජාතිකයන් රැසක් ඒ වහල් වෙළෙඳපොළට ගෙනැවිත් තිබිණ. හරකුන් එළුවන් මෙන් දෑත් දෙපා වලට දම්වැල් දමා බැඳ දැමූ කළු මිනිසුන් රංචු පිටින් තැන් තැන් වල රැස් කර තිබුණු මිනිස් පොළේ සුදු ජාතික මිනිස්සු ඒ මේ අත ඇවිදිමින් තමන්ට මිලදී ගන්නට සුදුසු වහලූන් තේරූහ.
 
 
kalu minisek3ඔටා බෙන්ගාව මෙසේ ඇවිදිමින් සිටි එක් සුදු මිනිසෙකුගේ නෙත ගැටිණ. ඒ සුදු මිනිසා එස්. පී වර්නර් නම් ඇමරිකානු මිෂනාරි වරයෙකි. ඔහු මේ මිනිස් වහල් වෙළෙඳ පොළට පැමිණ තිබුණේ විශේෂ අරමුණක් ඇතිවය. ඒ 1904 අවුරුද්දේදී, මිසූරියේ සෙන්ට් ලූවිස් හිදී පැවැත්වෙන ලෝක සල්පිලේදී මිනිසුන්ට ප‍්‍රදර්ශනය කිරීම සඳහා විශේෂ යමක් හොයා ගන්නටය.
 
 
තමා සෙවූ ”විශේෂ දෙය” හමුවූ බව ඔටා බෙන්ගාව නෙත ගැටුණු විගස වර්නර්ට හැගී ගියේය. ඇත්තටම බෙන්ගාට තිබුණේ විශේෂ පෙනුමකි. තද කළු පැහැ සමක් ඇති ඔහු අඩි පහක්වත් උස නැත. ඔහුගේ දත් දෙපෙලම සියුම් පීරකින් ගා තියුණු ලෙස උල් කර තිබිණ. දත් එලෙසින් උල් කිරීම බෙන්ගාගේ ගෝත‍්‍රයේ චාරිත‍්‍රයකි. මේ ලක්ෂණ දුටු වර්නර්, බෙන්ගාව මිලදී ගත්තේය. ඔහු බෙන්ගාව මිලදී ගත්තේ ලූණු රාත්තලක් හා රෙදි යාර කිහිපයකට හුවමාරු කරගනිමිනි.
 
 ඉන්පසු ඔහු බෙන්ගාට ව්‍යාජ ”නිදහස”ක් ලබා දුන්නේය. දැන් බෙන්ගා තවදුරටත් වහලෙකු නොවේ. එහෙත් තවමත් ඔහුගේ හිමිකරු වර්නර්ය. වර්නර් ඔහුව ඇමරිකාවේ විසිතුරු දකින්නට කැඳවාගෙන ගියේය. ඒ සෙන්ට් ලූවිස් ලෝක සල්පිලේ මානව විද්‍යා ප‍්‍රදර්ශන භූමියටයි. ඇමරිකාව බලන්නට නොඉවසිල්ලෙන් උන් ඔටා බෙන්ගාට, ඇමරිකානු මිනිසුන්ට බලා විනෝද වෙන්නට ”ප‍්‍රදර්ශන භාණ්ඩයක්” වෙන්නට සිදු විය. ඒ මානව විද්‍යා ප‍්‍රදර්ශනයේදී ඔටා බෙන්ගාව ”අර්ධ සත්වයෙකු” ලෙසින් ප‍්‍රදර්ශනය කෙරිණ.
 
 මෙලෙසින් ඒ සුදු මිනිස්සු මේ කළු මිනිසාගේ අවසන් අයිතිය වූ ”මිනිස් බව”ත් උදුරාගෙන ඔහුව සත්වයෙකු බවට පත් කළහ.
 
  අවුරුද්දකට වැඩි කාලයක් මානව විද්‍යා ප‍්‍රදර්ශනයේ ”ප‍්‍රදර්ශන සත්වයෙකු” බවට පත්වී මිනිසුන් පිනවූ ඔටා බෙන්ගාව ප‍්‍රදර්ශනය නිම වූ විට සැමුවෙල් වර්නර් විසින් යළිත් අප‍්‍රිකාවට ගෙන ගියේය. බෙන්ගාට අප‍්‍රිකාවේදී යළිත් නිදහස ලැබුණ මුත් නිදහස ලබා ජීවත් වෙන්නට ඔහුට හුරු පුරුදු පරිසරය එහි නොතිබිණ.
 
 ඔහුගේ ගෝත‍්‍රයට අයිතිව තිබුණු ගම් බිම් වලට පය තියන්නටවත් ඔවුන්ට අයිතියක් නැත. ඉන්න හිටින්නට තැනක් නැත. ඔහුගේ ගෝත‍්‍රයේ මිනිසුන් සියල්ලන්ම පාහේ සමූල ඝාතනය කොට තිබුණු බැවින් බෙන්ගාට කිසිම නෑදෑ මිත‍්‍රයෙකු හිටියේද නැත. ඔහු දැන් අනාථයෙකි. සරණාගතයෙකි. බෙන්ගා පිහිට පතා බට්වා ගෝත‍්‍රය වෙත ගියේය. බට්වා ගෝත‍්‍රයෙන් ඔහුව පිළිගත් නමුත් ඔහුට ඒ ගෝත‍්‍රය තුළ ජීවිතය හිතට ඇල්ලූවේ නැත.
 
 අසරණ වූ බෙන්ගා නැවතත් සැමුවෙල් වර්නර් සොයා ගියේය.
 
 ”මහත්තයා, මට රස්සාවක් හොයලා දෙන්න..” ඔහු වර්නර්ගෙන් ඉල්ලා සිටියේය. සැමුවෙල් මේ වන විට උන්නේ ආර්ථික අහේනියකිනි. ඔහු ඒ මොහොතේම American Museum of Natural History කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයාට කතා කළේය. බෙන්ගාව ඒ කෞතුකාගාරයේ ප‍්‍රදර්ශන භාණ්ඩයක් ලෙසින් විකුණා දැමුවේය. මිනිසෙකු ලෙසින් ජීවත් වීමේ අයිතිය අහිමිව ප‍්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් වූ ඔටා බෙන්ගා දිනෙන් දින නොසන්සුන් විය. ඇතැම් විටෙක තමාව නරඹන්නට ආ නරඹන්නන්ට පහර දෙන්න පවා පෙළඹිණ.
 
 එනිසාම ඒ කෞතුකාගාරයෙන් ඔටා බෙන්ගාට පිටමං වෙන්නට සිදු විය.
 
 යළිත් වරක් ඔටා බෙන්ගාට රැකියාව අහිමි විය. ඔහු සත්වෝද්‍යානයක වැඩ කරන්නට කැමතිදැයි සැමුවෙල් වර්නර් බෙන්ගාගෙන් ඇසුවේය. බෙන්ගා සත්වෝද්‍යානයක් දැක ඇත්තේ එක් වරකි. එහෙත් එහි ඔහුගේ උපන් බිමේ, ඔහු දැක පුරුදු සතුන් සිටිති.
 
 බෙන්ගාට සත්වෝද්‍යානයේදී සතුන්ට කෑම බීම දෙමින්, අප‍්‍රිකානු අලි ඇතුන් බලා ගනිමින් ඉන්නට හැකි වෙනු ඇතැයි වර්නර් කීවේය. සත්වෝද්‍යානයක සතුන් බලා ගන්නා රැකියාවත් නරක නැත. ඔටා බෙන්ගා සැමුවෙල් වර්නර්ගේ යෝජනාවට කැමති වූයේය.
 
 ඉන්පසු සැමුවෙල් වර්නර්, ඔටා බෙන්ගාව ”බ‍්‍රන්ක්ස් සත්වෝද්‍යානය” වෙත කැඳවාගෙන ගියේය. දින දෙක තුනක් බෙන්ගාට සත්වෝද්‍යානයේ නිදහසේ හැසිරෙන්නට අවසර ලැබිණ. එහි උන් සතුන් අතරින් බෙන්ගා වැඩියෙන්ම කැමති වූයේ ”ඩොහොන්ග්” නම් වූ ඔරං ඔටං ටය.
 
 එයින් පසුව බෙන්ගාට ඔරං ඔටං කූඩුවට යාබදව ඔහුටම වෙන් කළ කොටසක් ලැබිණ.
 
 බෙන්ගාට වෙන් කළ කූඩුව ඉදිරිපිට අනෙක් සතුන් උන් කූඩු වල ඉදිරිපිට වාගේම විස්තර පුවරුවක්ද සවි විය.
 
 ”අප‍්‍රිකානු පිග්මි - ඔටා බෙන්ගා
 වයස - 23
 උස - අඩි 4 අගල් 11
 බර - රාත්තල් 103
 
 දකුණු මධ්‍යම අප‍්‍රිකාවේ, කොන්ගෝ නිදහස් රාජ්‍යයේ කසායි ගංගා නිම්නය අසල වනාන්තරයෙන් සොයා ගන්නා ලදුව, ආචාර්ය සැමුවෙල් පී වර්නර් විසින් මෙම සත්වෝද්‍යානයට ගෙන එන ලදී.
 
 සැප්තැම්බර් මාසයේ සිට සෑම දිනකම සවස් භාගයේදී මහජන ප‍්‍රදර්ශනයට තැබේ.”
 
 සත්වෝද්‍යානයේ සතෙකුට වඩා වැඩි වෙනසක් නැතිව බෙන්ගා එහි කූඩු වූයේය. සත්වෝද්‍යානයට එන මිනිසුන් මේ මිනිස් සත්වයා දෙස බලමින් සතුටු වූහ. මේ අමානුෂික ක‍්‍රියාවට විරෝධය පාන්නට තරම් මිනිසත් කමක් තිබුණේ එක් අයෙකු ළඟ පමණකි.
 
 ඔහු අප‍්‍රිකානු - ඇමරිකානු පූජකයෙකු වූ ජේම්ස් ගෝර්ඩන්ය.
 
 ”අපගේ ජාතියේම තවත් එක් මිනිසෙකු වානරයන් සමග ප‍්‍රදර්ශනයට තබා තිබීම ගැන අපේ ජාතිය මේ වන විට බෙහෙවින්ම කලකිරීමට පත්ව සිටී. කළු ජාතිකයන් වන අපද, මනුෂ්‍ය ආත්මයක් හා හදවතක් ඇති මිනිසුන් ලෙස සැලකීමට තරම් වටිනාකමක් ඇති අය බව මතක් කරදීමට කැමැත්තෙමු.” යනුවෙන් ජේම්ස් ගෝර්ඩන් සත්වෝද්‍යාන පාලකයින්ගේ මේ ක‍්‍රියාවට විරෝධය පෑවේය.
 
 ගොර්ඩන් පියතුමාගේ මේ විරෝධයට ඉක්මනින්ම තවත් පූජකවරුන් සෑහෙන සංඛ්‍යාවක් සහාය දක්වන්නට පටන් ගත්හ.
 
 ඒ විරෝධය කෙමෙන් වැඞී විශාල සමාජ ආන්දෝලනයක් ඇති කරවන්නට සමත් වීය. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් බෙන්ගාව සත්වෝද්‍යානයෙන් නිදහස් කොට ගෝර්ඩන් පියතුමාගේ භාරයට පත් කරනු ලැබිණ. ගෝර්ඩන් පියතුමාගේ භාරයට පත් කෙරුණු ඔටා බෙන්ගාට කාරුණික පවුලක රැකවරණය ලබමින් ඉංග‍්‍රීසි ඉගෙන ගන්නට අවස්ථාව ලැබිණ.
 
 යාන්තමින් ඉංග‍්‍රීසි භාෂාවට හුරු වන විට බෙන්ගා ඉගෙන ගැනීම අත්හැර දැමුවේය. ඔහු දුම්කොල කම්හලක වැඩ කරන්නට පටන් ගත්තේය. බෙන්ගාට වුවමනා වී තිබුණේ ඉක්මනින්ම මුදල් හොයාගෙන තමන්ගේ මව් රටට, තමන්ට හුරු පුරුදු වනාන්තරයට ආපසු යන්නටය. එහෙත් ඔහු අප‍්‍රිකාවට යන්නට සෑහෙන මුදලක් ඉතිරිකරගන්නට පෙර පළමු ලෝක යුද්ධය ඇරඹී තිබිණ. මව්බිමට යෑමේ ඔහුගේ බලාපොරොත්තුව සැබෑ නොවන සිහිනයක්ම බවට පත් විය. මේ බව වටහා ගත් බෙන්ගා බෙහෙවින් සිත් තැවුලට පත් විය. තමන්ගේ මව්බිමට යන්නට හැකියාවක් නැතත් කෙසේ හෝ ඇමරිකානු ජීවිතය හමාර කරන්නට ඉටා ගත්තේය. 1916 මාර්තු 20 වන දින, ඔහු තම ගෝත‍්‍රයේ චාරිත‍්‍රානුකූලව ගිනි මැලයක් ගැසුවේය. ඔහුට ඇමරිකානු පරිසරයට ගැළපෙන්නට ලබා දීි තිබුණු ඇඳුම් පැලඳුම්, හා ඔහුගේ උල් දත් වසන්නට ලබා දී තිබුණු දත් ආවරණ ඒ ගින්නට දමා පිළිස්සුවේය. ඉන්පසු ඔහු විසින් හොරකම් කර සඟවාගෙන උන් පිස්තෝලයකින් පපුවට වෙඩි තබා ගෙන සුදු මිනිසුන්ගේ ලෝකයෙන් සදහටම සමු ගත්තේය.
 
  නිම්මි මුදිතා හේරත්

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles