Divaina - ඩඞ්ලි හාමු බෝතලේ ඉඩම් විකුණා ගම්මුන් සමඟ අවුරුදු කෑ හැටි;

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

dugly444

මහාත්ම දේශපාලනයේ පූර්වාදර්ශයක් වශයෙන් ගණන් ගැනෙමින් සිට සිංහල අවුරුදු දිනයකදී ම අපෙන් වෙන්වූ ඩඞ්ලි සේනානායක මැතිතුමාගේ ජීවිතය රසබර අරුත්බර සිද්ධීන්ගෙන් ගහනය. ඒ හැමෙකකින් ම හෙළිවන්නේ එතුමන් තුළ ජන්මයෙන් ම පිහිටා තිබුණු උදාර මිනිස් ගතිගුණය විය. කිසිදු විටෙකදී හොරකමකට, අධම කි‍්‍රයාවකට හෝ අවනීතියට දිරිනොදුන් එතුමෝ හැම විටෙක ම සාධාරණය, නීතිගරුකකම, සත්‍යය යුක්තිය වෙනුවෙන් ම පෙනී සිටියහ. එහෙයින් ම ගිය ගිය හැම තැනකදී ම පාහේ එතුමෝ ජනප‍්‍රසාදයට පත් වූහ.
 
 එතුමන් බලයේ සිටි කිසිවිටෙක රජයේ දේපළවලින් ගසා කෑවේ නැත. නීතියට විරුද්ධව කටයුතු කරන්න අඥාන කම්කරුවන්, ගොවීන් හෝ වෙනත් කෙනකු පෙළැඹුවේ ද නැත. එතුමන් තුළ පවතින එම සත්‍යතාව පිළිබඳව අධ්‍යයනය කළ වැදගත් දේශපාලනඥයෝ තම අනුගාමිකයන්ට පවා ‘ඩඞ්ලි සේනානායක මහත්මයා ලෙස දේශපාලනය කරල්ලා’ යැයි උපදෙස් දුන්හ. කිසි විටෙක රජයේ ඉඩම් බලයෙන් අල්ලා ගැනීමකට හෝ රජයෙන් අයුතු ලාබ සත්කාර ගැනීමකට හෝ ඉඩ නුදුන්හ. එහෙයින් සමහරුන් එතුමන් සමග අමනාප වූ අවස්ථා ද නැත්තේ නොවේ. තමන්ට පාරම්පරිකව ලැබුණු දේපළවලින් පවා අසරණ දුප්පත් මහජනතාව සුවපත් කරවීම උදෙසා යෙදවූවා මිසක කිසිවිටෙක රජයේ හෝ අනුන්ගේ දේපළවලින් කුට්ටි කඩාගැනීමට එතුමෝ නොපෙළැඹුණහ.
 
 මෙසේ වූ තත්ත්වයක් ඇතිව විසූ ඩඞ්ලි සේනානායක මැතිතුමන් ගැන හොඳහැටි දන්නා අය මා විසින් මෙසේ වූ මෙම ලිපියේ සිරස්තලයට යෙදූ ‘ඩඞ්ලි හාමු බෝතලේ ඉඩම් විකුණා ගම්මුන් සමඟ අවුරුදු කෑ අන්දම’ යන්න ගැන තරමක් කෝපයට ද පත්වීමට ද පුළුවන.
 
 එහෙත් පාඨකය, ඔබේ සිතේ එසේ වූ කෝපයක් නැඟුණත් ඒ ගැන නොසලකා මෙම ලිපිය දිගින් දිගටම කියවා ගෙන යන ලෙස ආරාධනය කරන්නෙමි.
 
 කාරණාව සිදුවූයේ මෙසේය.
 
 ඩඞ්ලි සේනානායක මැතිතුමා වැඩි දේශපාලක කටයුතුවලින් ඉවත්ව චිත්ත සුවයෙන් යුතුව සිටින යුගයක එක් පෙබරවාරි මාසයක දිනයක බෝතලේ වලව්වේ සිට සේනානායක සහෝදරයකු කොළඹ ආ ගමන් ඩඞ්ලි අයියා ද බලා ගමේ තොරතුරු කියා යන සිරිතක් ද පැවතියේය. එහෙයින් ඔහු වුඞ්ලන්ඞ්ස් නිවෙස කරාද පැමිණියේය.
 
  වෙනදා මෙන් ම රටේ තොටේ තොරතුරු මෙන් ම බෝතලේ වලව්වේ තොරතුරු ද කියන ගමන් ඔහු ඩඞ්ලි අයියා වෙත කියා සිටියේ එක්තරා අන්දමක ශෝකාලාපයකි.
 
 ‘‘ඩඞ්ලි අයියේ, .... බෝතලේ වලව්වට අයිති හුඟක් ඉඩකඩම්වලින් එක සතේක ආදායමක් වලව්වට ලැබෙන්නෙ නෑ. ඉන්න අයම භුක්ති විඳිනවා විතරයි. ඒ මිනිස්සුන්ගේ සීයලාගෙන් අපේ සීයලාගේ කාලේ වලව්වට ගත්ත ඉඩම්වල ඒ මිනිස්සුම පදිංචිව ඉන්නවා. තියෙන ගහකොලවල ඒවත්, කුඹුරුවල ඒවත් ඔවුන් ම භුක්ති විඳිනවා. මේකට අපි මොකක්ද කරන්න ඕනෑ,! යි එම ශෝකාලාපයයි.
 
 ‘‘අපි ඒ ඉඩම් ඒ මිනිස්සුන්ටම දීලා දාමු!’’ ඩඞ්ලි කීවේය.
 
 ‘‘ඔව් ඒක හොඳයි.! යනුවෙන් සේනානායක සහෝදරයා සතුටින් යුතුව කියා සිටියේය.
 
 ‘‘හැබැයි ඒ ඉඩම් ඒ මිනිසුන්ට දෙන්නෙ නිකම් නෙමෙයි. මුදලට අපි ඒ ඉඩම් ඒ ගොල්ලන්ටම විකුණලා දමමු! යි එවර ඩඞ්ලි කියා සිටියේය.
 
 ‘‘ඉතින් ඩඞ්ලි අයියෙ එහෙම හොඳද ?’’
 
 ‘‘මොකද හොඳ නැත්තෙ. මං කිව්වෙ ඒ ගොල්ලන්ට පරණ ඔප්පු තිරප්පු හොයා ගන්න කියමු. අපේ සීයට ඒ ඉඩම ඒ කාලෙ දීල තියෙන්නේ පවුම් දහයකට නම් ඒ මුදල අපට දෙන්න ඕන. එදා පවුම් දහස කියන්නේ රුපියල් සියයයි. ඒ මුදල අද අපට දෙන්න ඕනෑ. එතකොට ඔප්පු ලියලා ඒ ගොල්ලන්ටම ඔප්පු ගාස්තු දරන්න ඕනෑ. එතකොට අපිටත් ලාභයි. ඒ ගොල්ලන්ටත් ලාභයි. එදා පවුම් දහයට විකුණූ ඉඩම අද ඒ වගේ සියදහස් ගණනක් වටිනවනේ. ඉතින් අපි එහෙම කරමු’’ යි ඩඞ්ලි අයියා තම ති සහෝදරයාට යෝජනා කළේය.
 
 ‘‘ඔව් ඩඞ්ලි අයියෙ. ඒක එහෙම හොඳයි. මම ඒගොල්ලන්ට කියන්නම් පරණ ඔප්පු තිරප්පු හොයාගන්න කියලා. අපි එක්කෝ මේ කටයුත්ත මේ අවුරුදු කාලෙ බෝතලේ වලව්වේ උත්සවයක් ලෙස කරන්න ගම්මු. මේකට මට හොඳ සිද්ධියකුත් දෙන්න පුළුවන්.’’ යැයි තම සහෝදරයාගේ කීම පිළිබඳව උද්දාමයට පත් සේනානායක සහෝදරයා කියා සිටියේය.
 
 ‘‘මේකට ප‍්‍රසිද්ධියක් දෙන්න ඕනෑ නෑ. ඒ අයට කිව්වම ඇති. එතකොට ඔවුන්ට කියන්න පුළුවන් අපි බෝතලේ වලව්වෙන් නිකම් ඉඩම් ගත්තේ නැහැ. සල්ලි දීලයි ගත්තෙ කියලා. එතකොට ඒ ගොල්ලන්ටත් නම්බුයි. අපිටත් නම්බුයි.!’’ යනුවෙන් ඩඞ්ලි සහෝදරයා ඔහුව නුදුටු පැත්තක්ද පෙන්වා දුන්නේය.
 
 එදා සිංහල අවුරුදු උත්සවය බෝතලේ වලව්වට අවුරුදු උත්සවයක් පමණක් ද කොට සුවිශේෂ උත්සවයක් ද වූයේය. එනම් මෙතෙක් තමන් පදිංචිව සිටි අත්තා, මුත්තා කාලේ බෝතලේ වලව්වට විකුනා දැමූ ඉඩම්වල සැබෑ උරුමක්කාරයෝ වීමේ අවස්ථාව ඔප්පු තිරප්පු මගින් ද තමනට ආපසු හිමිවූ හෙයිනි.
 
 මුළු ගමේ ඇත්තන්ට බෝතලේ වලව්වේ රිසි සේ හැසිරෙමින් කැවුම්, කිරිබත්, කෙසෙල්ගෙඩි ආදී අවුරුදු සිරිය වඩවන කෑමෙන් බීමෙන් හිතේ හැටියට සැනසෙන්නට අවස්ථාවක් ද උදා විය.
 
 අහල පහළ වැදගතුන් ද බුලත්හුරුළු අරගෙන විත් ඩඞ්ලි හාමුට සිය දරුවන්ට ද කියා වන්දවා එතුමන්ගේ ආශිර්වාදය ද ලබන්නට සැලසූහ. බුෂ් ෂර්ටයකින් ද සහ කලිසමකින් සැරසී වෙනදා මෙන්ම පයිප්පය උරමින් ද සිය පළාතේ ඇත්තන් සමඟ සුහද කතාවක යෙදෙමින් සිටි ඩඞ්ලි සේනානායක මැතිතුමා අතින් එතැන සිටි නොතාරිස්මහතුන් කිහිපදෙනකු විසින් සකස් කරන ලද නව ඔප්පු පිරිනැමීම ද සිදු කෙරිණ.
 
 එදා රුපියල් සියයකට බෝතලේ වලව්වට විකුණූ ඉඩම අද රුපියල් ලක්‍ෂයක් වටිනා වුවද ඔප්පු ගාස්තුත් සමඟ රුපියල් සීයක් දුන් විට අද ඔවුනට හිමිකම් ලැබීම අදහා ගන්නටත් තරම් බැරි දෙයකි.
 
 මෙහෙමත් දෙයක් කරන එක නායකයෙක් මේ කාලයේ සිටී ද යන්නට ද මෙවේලේ ඔවුන් හමුවේ පැනනැඟුණු ප‍්‍රශ්නයයි.
 
 ඩඞ්ලි සේනානායක මැතිතුමෝ බලවත් හැඟීමෙන් යුතුව මේ පළාතේ ජනතාවට - තමන් උපන් බෝතලේ වලව්වේ සිට යළි ඔවුන්ගේ ඉඩම්වල භුක්තිය පවරා දුන්නේ ඔවුනට තවත් අවුරුදු කුමාරයකු බවට පත්වෙමිනි.
 
 සෝමසිරි කස්තුරිආරච්චි
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles