The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

sangitha main

විශිෂ්ට සංගීතවේදී එච්. එම්. ජයවර්ධනයන් පසුගිය 08 වැනිදා අප අතරින් සදහටම නික්ම ගියා. ඔහු මෙරට සංගීත ක්‍ෂේත‍්‍රය උදෙසා කළ මෙහෙවර අතිමහත්ය. ඔහු මියගියත් ඔහුගේ නිර්මාණ සදා නොමියෙනු ඇත. මෙම සටහන තබන්නේ ඒ විශිෂ්ට කලාකරුවාගේ අමරණීය සේවයට උපහාරයක් වශයෙනි
 
 විශ්වීය භාෂාවක් යනුවෙන් අරුත් ගැන්වෙන සංගීතය සියලූ ලෝ වැසියා නිවා සනහාලනු පිණිස දෙවියන් විසින් දුන් තුටු පඬුරකි. සංගීතවේදයේදී ටෝනල් ටයිප්” ගුණාත්මක” ටොන් ටෙම්පල් ටයිප්” ඩයිනමික් ටයිප් ලෙස සංගීතවේදීන් සිවුදෙනකු පිළිබඳ විග‍්‍රහ කෙරේ. මේ අතරින් අපට වඩාත් සමීප ඩයිනමික් ටයිප් (ගතික වර්ගයේ) සංගීතවේදියා පිළිබඳ කතා කිරීමේදී නාදයේ ඇති විස්තාරණය හා හැකිළීම මෙන්ම උග‍්‍ර නිහැඬියාව මනාකොට උපයෝගී කර ගනිමින් භාව ප‍්‍රකාශනයට යොදා ගැනීම මොහු තුළ ඇති විශේෂත්වයයි. ශ‍්‍රී ලංකා සංගීත ක්ෂේත‍්‍රය තුළ අපට හමුවන ඩයිනමික් ටයිප් වර්ගයේ ඉහළම සංගීතවේදියා ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ය"
 
 විලියම් ෂේක්ස්පියර්ට පසු එසේ විය හැකි අයෙක් සිටියේය. නමුත් ඔහු එසේ වූයේ නැත. ඔහුගේ නම ක‍්‍රිස්ටෝපර් මාලෝය. කාලිදාසයන්ට පසු එසේ විය හැකි අයෙක් සිටියේය. නමුත් ඔහු එසේ වූයේ නැත. ඔහුගේ නම භාරා ය. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් සමඟ එසේ විය යුතු අයෙකු සිටියේය. නමුත් ඔහු එසේ වූයේ නැත. ඔහුගේ නම සිංහල සංගීත වංශ කතාවට නව පරිච්ෙඡ්දයක් එක්කළ විශිෂ්ට සංගීතවේදී එච්. එම්. ජයවර්ධනයන්ය. මේ සංක්‍ෂිප්ත සටහන ඔහු වෙනුවෙනි.
 
 
 කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ
 නැවතී බලනවා මොහොතක් කොහොම හරී
 කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
 දාහක් දේ තියේ කීමට බැරුව වැසී
 
sangitha1 1950 මාර්තු 17 වැනි දින ඌව වෙල්ලස්ස සියඹලාණ්ඩුව ග‍්‍රාමයේදී පාරම්පරික ගොවි පවුලක් වූ එච්. එම්. ජයසුන්දර හා දිසානායක මුදියන්සේලාගේ රන් මැණිකාට දාව සිවු දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස උපත ලබන එච්. එම්. ජයවර්ධනයන් දුෂ්කර කටුක ජීවිතයකට උරුමකම් කීවද ගැමි පරිසරයට බෙහෙවින් ඇලූම් කළ පුද්ගලයෙක් විය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන ජයවර්ධනයන් පහේ ශිෂ්‍යත්වය සමත්ව ද්විතීයික අධ්‍යාපනය සඳහා පස්සර මහා විද්‍යාලයට ඇතුළත් විය. සරල ගැමි ජීවන රටාවකට හිමිකම් කියූ එච්. එම්. ජයවර්ධනයන්ට නේවාසිකාගාරය තුළ නැවතී ගෙවන පාසල් ජීවිතය බෙහෙවින් නීරස වන්නට විය. එයට පිළියම් සොයා ගිය එච්. එම්. බටනලා වාදනයට යොමුවන්නේ ජන්මයෙන් රැගෙන ආ සංගීත කුසලතාවන්ට නිරායාසයෙන් මතුවන්නට ඉඩහසර උදාකර දෙමිනි. එසේ ලද අවකාශය තවදුරටත් පුළුල් කරමින් ඞී. ඒ. සුබසිංහ නම් සංගීත ගුරුවරයා යටතේ බටනලා වාදනය ප‍්‍රගුණ කිරීමට එච්. එම්. ජයවර්ධනයන් සමත් විය.
 
 1965 දී සාමාන්‍ය පෙළ විභාගය අවසන යළිත් තම ගම්බිම් බලා යන එච්. එම්. ජයවර්ධනයන් තම පළමු රැකියාව වශයෙන් ගමේ කන්තෝරුවේ ලියුම් බෙදීමේ කාර්යයේ නිරත විය. අනතුරුව ගොවි හමුදාවට බැඳෙන ජයවර්ධනයන් එහි ක‍්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන අතරතුර තම බාප්පා කෙනකුගේ උපකාරයෙන් පලංචි යොදා ලී ඉරීමේ රැකියාවට යොමුවන්නේ එකල ග‍්‍රාමීය ආර්ථිකය වෙලාගෙන තිබූ දරිද්‍රතාවයේ බලපෑමට එච්. එම්. ජයවර්ධනයන් ද හසුව සිටීම හේතුවෙනි. එසේ ලී ඉරීමේ නිරතවන අතරතුර අහම්බයෙන් මෙන් පුවත්පතක පළකර තිබූ රැකියා පුරප්පාඩුවක් කෙරේ එච්. එම්. ජයවර්ධනයන්ගේ අවධානය යොමුවන්නට විය. ඉන් කියැවුණේ ගුවන්විදුලියේ ”බටනලා වාදකයෙකුට ඇබෑර්තුවක්” යන්නයි. එය තම ජීවිතය විසල් පරිවර්තනයකට ලක්කිරීමට සමත් ඇබෑර්තුවක් වනු ඇතැයි එච්. එම්. කිසිදා නොසිතන්නට ඇත. ඒ අනුව ඒ සඳහා අයැදුම්කරන ජයවර්ධනයන් පසුදින උදෑසන ගොඩවන්නේ ගුවන්විදුලි සංස්ථාවේ පැවැත්වූ සම්මුඛ පරීක්‍ෂණය සඳහාය. එහෙත් නොසිතූ ලෙස සම්මුඛ පරීක්‍ෂණයෙන් අසමත් වන්නට සිදුවීම එච්. එම්. ගේ ජීවිතයේ කටුකභාවය තවත් තීව‍්‍ර කරන්නක් විය. සියල්ල එසේ සිදුවුණ ද තම උත්සාහය අත් නොහැරි එච්. එම්. පණ්ඩිත් අමරදේවයන්ගේ සහ එකල පාසල් අවදියේ ඉතිහාසය විෂය ඉගැන්වූ වසන්ත ඔබේසේකරයන්ගේ උපකාරයෙන් ගුවන්විදුලියේ අනියම් බටනලා වාදක තනතුර හිමිකර ගැනීමට සමත් විය.
 
 මේ ගඟ මේ දුරු කතර ගෙවා
 ඇයි මෙතැනින් සයුරේ වැටුණේ
 මේ හැටි දුර පියමං කරලා
 ඇයි මම ඔබ ළඟ නතර වුණේ...
 
sangitha2 ගුවන්විදුලියට සම්බන්ධ වීමත් සමඟ එච්. එම්. ගේ ජීවිතය විවිධ පරිවර්තනයන්ට ලක්වන්නට විය. කටුක පරිසරයෙන් ලැබූ අත්දැකීම් සහ පන්නරය එච්. එම්. ජයවර්ධනයන්ගේ කලාත්මක ජීවිතයේ හැඩතල වෙනස් කරමින් සංගීත දිවියේ පදනම සකස් කර ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් විය. වික්ටර් රත්නායක” කරුණාරත්න දිවුල්ග නේ” රෝහණ වීරසිංහ” බන්දුල විජේවීර” ලක්‍ෂ්මන් විජේසේකර වැන්නවුන් එකල ගුවන්විදුලියේ එච්. එම්. ගේ සමකාලීනයෝ වූහ. සරල ගීතයට පමණක් සීමා වී සිටි එච්. එම්. 1981 වසර වන විට සියලූ සීමා මායිම් බිඳ දමමින් විජය ධර්ම ශ‍්‍රී ගේ ‘ආරාධනා. චිත‍්‍රපටයට රෝහණ වීරසිංහයන් සමගින් එක්ව සංගීත නිර්මාණය කරමින් සිනමාවද අතික‍්‍රමණය කළේය.
 
 අනතුරුව කැලෑමල් (1982 - සුනිල් ආරියරත්න) සහ මංගල තෑග්ග (1987 - එච්. ඞී. පේ‍්‍රමරත්න) චිත‍්‍රපටවල සංගීත අධ්‍යක්‍ෂණය කරමින් සංගීත ක්ෂේත‍්‍රය තුළ වැඩි අවධානයක් දිනා ගැනීමට එච්. එම්. ජයවර්ධනයන් එකල සමත් විය. එච්. එම්. ඉඩකඩ ලද සෑම අවස්ථාවකම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගොඩවන්නට වූයේ තම සමකාලීන මිතුරන් හා දොඩමළු වීමට අමතරව තම හදවතේ වැඩි අවකාශයක් දිනා සිටි මාලිනී බුලත්සිංහලයන් මුණගැසීමටය. මෙසේ ගොඩනැෙඟන මිත‍්‍රත්වය පේ‍්‍රම ප‍්‍රකාශනයක් ලෙසින් ඔවුන් සොයා එන්නට වැඩි කලක් ගතනොවීය. එහි ප‍්‍රතිඵලය වශයෙන් 1979 වසරේදී එච්. එම්. හා මාලිනී බුලත්සිංහලයන් විවාහ දිවියට පත්විය. අනතුරුව ඔවුන්ගේ කැදැල්ල සම්පූර්ණ කරමින් කසුන් කල්හාර සහ නිර්මාණි චායා යන දරුවන් දෙපළ පවුලට එකතු විය. එච්. එම්. මාලිනී සුසංයෝගය හරහා විශිෂ්ට සංගීත නිර්මාණයන් බිහිවීම තුළින් සිංහල සංගීත ක්ෂේත‍්‍රය නව දිශානතියකට යොමු වීම ආරම්භ විය.
 
 සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
 මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
 යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
 යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
 
 විශිෂ්ට නිර්මාණකරුවන් අගයා 1982 වර්ෂයේ පැවැත්වූ ජනාධිපති සම්මාන උළෙලේදී සහ 1981 සරසවි සම්මාන උළෙලේදී ‘මුහුදු ලිහිණි. චිත‍්‍රපටයට සහ ‘ආරාධනා. චිත‍්‍රපටය වෙනුවෙන් හොඳම පසුබිම් සංගීතයට සහ හොඳම ගී තනු නිර්මාණය උදෙසා පිදෙන සම්මාන ද්විත්වයෙන් එච්. එම්. පිදුම් ලැබීය. නමුත් සම්පූර්ණ වශයෙන් හෘද සාක්‍ෂියට එකඟව එච්. එම්. එම සම්මානයන් එක හෙළා ප‍්‍රතික්ෂේප කිරීම එකල සියලූ සිනමා විචාරකයන් මවිතයට පත්කළ සිදුවීමක් විය. එම චිත‍්‍රපට උළෙල සඳහා නිර්දේශයට ලක්ව තිබූ ‘තුන්වැනි යාමය. චිත‍්‍රපටයේ ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීතය වඩා උසස් යැයි එච්. එම්. ජයවර්ධනයන් තීරණය කිරීම එයට හේතුව විය. විශාරද මාලිනී බුලත්සිංහලයන් ගයන ‘රජ මැඳුරක ඉපදී සිටියා නම්. ගීතය හරහා ගී තනු නිර්මාණය අරඹන ජයවර්ධනයන් 80 දශකයේ අග භාගය වනවිට ශ‍්‍රී ලාංකීය සංගීත ක්ෂේත‍්‍රය තුළ එච්. එම්. අනන්‍යතාව සලකුණු කරමින් සංගීතඥයකු ලෙස තමන්ටම ස්වීය වූ අනන්‍යතාවකින් නැඟී සිටීමට සමත් විය. එමෙන්ම එකල බොහෝ ගායක ග ායිකාවන් ජනප‍්‍රිය තලයට ඔසවා තැබීමට එච්. එම්. අතින් හැඩවැඩ වූ තනු නිර්මාණ මහත් පිටිවහලක් සැපයීය.
 
 දෙවොලේ නොකැලැල් පිදු ආදර මල්
 සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්
 
 sangitha3එහෙත් කිසිදු අවස්ථාවක එච්. එම්. ගේ ජීවිතයට හැල්මෙන් ගලා යන්නට ඉඩ ලැබුණේ නැත. ජීවිතයේ අනියත බව පසක් කරමින් තම ප‍්‍රාණ සම දියණිය අකාලයේ ඩෙංගු රකුසාට බිලිවීම එච්. එම්. ගේ පවුලට දැඩි ශෝකය ගෙනදෙන්නක් විය. ඒ හේතුවෙන් එච්. එම්. - මාලිනීගේ සංගීත දිවියට යම් යම් බාධා මතුවන්නට විය. සියල්ල එසේ සිදුවන අතරතුර එච්. එම්. ගේ සංගීත දිවියේ සහකාරිය වූ මාලිනී බුලත්සිංහලයන් ජීවන රඟ මඬලින් නික්ම යන්නේ එච්. එම්. ජයවර්ධනයන් කබලෙන් ළිපට ඇද දමමිනි. මාලිනීගේ සමුගැනීම එච්. එම්. ගේ සංගීත ගමන්මඟ අඩපණ කිරීමට සමත් කාරණයක්ම විය.
 
 ඔබයි රම්‍ය සඳ කිරණ ගණ අන්ධකාරේ
 ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ
 
 එච්. එම්. ජයවර්ධනයන් නිර්මාණය කළ බොහෝ ගී තනු තුළ ඔහුටම ආවේණික වූ මුද්‍රාව තැබීමට ඔහු සෑම විටම සමත් විය. ඔහු සැබෑ ජීවිතයට වඩා පහසුවෙන් සංගීත ඛණ්ඩ අතර ඇවිද ගියේය. මනුෂ්‍යත්වයෙන් හද පුරවාගත් එච්. එම්. ට ආඪ්‍ය භෞතික සම්පත් නොවීය. ඔහු කිසිවිටෙකත් වාණිජ සුළං ධාරාවට හසු නොවී නිර්මාණකරණයේ යෙදුණේය. ඔහු විසින් විශද කරන ලද සංගීත ප‍්‍රතිභාව විමසා බැලීමේදී එච්. එම්. සිටිය යුත්තේ අද සිටින තැනට වඩා බෙහෙවින් උස් තැනකය. සංගීත චාරිකාවේ ඔහුට යා හැකි දුර හෝ තවම ඔහු ගොස් නැත. දුලබ සංගීත ප‍්‍රතිභාවකින් සපිරුණු අදීන සංගීතඥයකු ලෙස ඔහු සිය දහසක් සහෘද ජන ප‍්‍රණාමයන්ට ලක්වන්නේ එබැවිනි. එච්. එම්. ගේ සංගීත වපසරිය කොතෙක්දැයි යන්න අදට වඩා හෙට දවසේ සංගීත කලාව පිළිබඳ ප‍්‍රාමාණිකයෝ අතර නිරන්තර කතාබහට බඳුන්වනු ඇත.
 
 තිළිණ ලක්මාල් අභයරාජ
 ඡායා - සංඛ ගාල්ලගේ

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles