Divaina - හිරකාර කොල්ලනේ ආයු බෝවන්! - එදා සිට තාන්යා ද අප බැලීමට නොපැමිණියාය!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

 චතුර පමුණුව

 n3 1ඇලෙක්සේයි මැක්සිමොවිච් පෙෂ්කොව් වයස අවුරුදු 24 දී පොතක් ලියා පළ කළේය. ඒ ‘මක්සිම් ගොර්කි’ යන ව්‍යාජ නාමයෙනි. ඒ කාලයේ ඔහු රුසියාවේ නිෂ්නි නොව්ගොරොද්වල කම්කරුවකු ලෙස සේවය කළේය. අනන්ත පීඩා දුක් කම්කටොලූවලට මුහුණ දෙමින් පොහොසත් ජීවන අත්දැකීමක් ලබා ගත්තේය. ඒ අත්දැකීම් පසුව සමස්ත ලෝ වැසි ජනතාවගේම අධ්‍යාත්මයට ශාන්තිය ගෙන දෙන පොත් බවට පෙරළිණ. ජීවිතයේ පාතාලයේ සිට ජගත් සංස්කෘතියේ උච්ච ස්ථානය දක්වා මෙතරම් ඉක්මනින් ඉහළ නැඟීමට සමත්වූ අන් ලේඛකයෙක් සිටීද යන්න ප‍්‍රශ්නයකි. ගොර්කි මඟට අවසානයක් නොමැති බව පවසන්නේ දර්ශනවාදය පිළිබඳ ආචාර්ය බරිස් බියලික් ය. විශ්ව කීර්තිය දිනාගත් ගොර්කි, රුසියාවේ සහ ලෝකයේ විවිධ රටවල සැරිසරමින් කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ හදවත්වලට මෙන්ම අධ්‍යාත්මයට උණුසුම ලබා දෙන බව කිවහොත් එය කිසිවකුට බැහැර කිරීමට නොහැකිය.
 
 සාහිත්‍ය ජීවිතය පටන් ගැනීමට අවුරුදු කීපයකට පෙර ඔහු කසාන් නගරයේ පාන් බේකරියක බක්කරේ කෙනකුගේ අත්උදව්කාරයකු ලෙස සේවය කළේය. හිරකූඩුවක් වැනි දුගඳින් පිරි බිම් ගෙයක සේවය කිරීම මේ තරුණයාට ඉතා අපහසු විය. ඒ නිසාම 19 හැවිරිදි පෙෂ්කොව් සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බව ප‍්‍රකට කරුණකි.
 
 බේකරියේ ජීවිතය පදනම් කරගෙන ලියැවුණු ‘‘ විසි හයදෙනෙක් සහ තරුණියක්’’ ලෝක සම්භාවනාවට පාත‍්‍ර වූ කෙටි කතාවකි. එය රචනා වූයේ 1899 දීය. එය සිංහලයට පරිවර්තනය කළේ දැදිගම වී. රුද්‍රීගු විසිනි. බිම් ගෙයක සිරවී උදේ සිට රෑ වෙනතුරුම ගොර්කි ඇතුළු විසි හය දෙනාම පාන් සහ විස්කෝතු පුච්චති. මොවුන්ගේ සේවා ස්ථානයට හිරුඑළිය නොවැටේ. වාතය අපිරිසිදුය. ජීවත්වීම අසිීරුය. කුණු සහ පෙඳ පාසි තැවරුණු මේ බිත්තිවලට මැදිවී ජීවත්වීම සිතා ගැනීමටත් අපහසුය. මේසය වටා වාඩිවී මොවුන් සාදන්නේ ක්‍රෙන්ඬේල් නමැති පාන් විස්කෝතු වර්ගයයි.
 
 අපි මිනිස්සු විසිහය දෙනෙක් එනම් ජීවමාන යන්ත‍්‍ර විසිහයක්, තෙතමන සහිත බිම් ගෙයක සිරවි උදේ සිට රෑ වනතුරු පිටි අනමින් පාන් සහ විස්කෝතු පිච්චුවෙමු. අපේ බිම්ගෙයි තිබුණු එකම කවුළුව ගඩොල් කැට සහිත කොළ පැහැති පෙඳපාසි බැඳුණු වළක බිත්තියකට මුහුණලා පිහිටියේය. පිටත කවුළු සියල්ලම දැල් ගසා වසා තිබුණෙන්, ඒවායේ සිදුරු පාන් පිටි සහිත දූලිවලින් වැසී තිබිණී, මේ නිසා අපට හිරු එළිය දක්නට නොලැබිණි. බේකරි හිමියා අවට කවුළුවලට මෙලෙස දැල් ගසා වසා දමා තිබුණේ, රැුකියා විරහිතව කුසගින්නේ ජීවත්වන අපේ සගයින් වන හිඟන්නන්ට ඔහු සතු පාන් කෑල්ලක් අප විසින් දීම වැළැක්වීම පිණිසය. බේකරි හිමියා අප හැඳින්වූයේ කෛරාටිකයන් කණ්ඩායමක් හැටියටය. දහවල් ආහාරය සඳහා ඔහු අපට මස් වෙනුවට කුණු වූ බොකු උයා දුන්නේය.

maxim1
රැකියාව සමඟ බද්ධ වෛරයෙන් හා කලකිරීමෙන් මොවුහු සේවයේ යෙදෙති. කොතරම් පාන් විස්කෝතු සෑදුව ද ඒ කිසිවක් මේ විසිහය දෙනා ආහාරයට නොගනි. දහදියෙන් ගත තෙමෙද්දී පිටිමතට දහදිය වැක්කෙරෙද්දී පවා මොවුන් කරන්නේ ක්‍රෙන්ඬේල් සෑදීම පමණකි. පාන් පෝරණුව රාක්‍ෂයකු හා සමානය. මේ උපුටනය බලන්න.
 
  ගිනිසිළුවල සේයා බිත්තියට වැදී නැටීය. පෝරණුව සුරංගනා කතාවල එන රාක්‍ෂයකුගේ බියජනක හිසකට සමාන විය. මහ පොළොවෙන් මතුවුණු ඒ හිස, විශාල කට හැර, එහි තුළ වූ නපුරු ගිනි දැල් නටවමින්, අප දෙසට උණුසුම් වාතය පිඹිමින්, එහි නළල මත වූ සුළං සිදුරු දෙක නමැති ඇස්වලින් අපේ වැඩ දෙස බලන්නාක් මෙන් විය. ඒ
 
 ගැඹුරු සිදුරු දෙක රාක්‍ෂයාගේ අනුකම්පා විරහිත, බියජනක ඇස්වලට සමාන විය. කිසිදු මිනිස් ගතියක් බලාපොරොත්තු වහලූන් දෙස බලන්නාක් මෙන් ඒ ඇස් හැමදාම ඒකාකාර දැඩි බැල්මකින් යුතුව, නපුරු බුද්ධිමත් පිළිකුලක් සහිතව අපට වෛර කළේය.
 
 තදබදයක් සහිත වළක් වැනි මේ බිම්ගෙයි අපිරිසිදු වාතය බිඳගෙන ගායකයන් දෙදෙනකුගේ කටහඬ මතුවේ. මොවුන් තම කාන්සිය මඟ හැරවීමට ගීත ගයයි. විසි හය දෙනාම ගායනය අරඹයි. මිනිසුන්ගේ දැඩි දුකද වහලූන්ගේ දුක්මුසු බවද වචනවලින් ගීතයට නැෙඟ්. ජීවිතය දැඩි පීඩාකාරී ය. මොවුන්ට දැනෙන්නේ මේ ගොඩනැඟිල්ල ද ඔවුනගේ කරපිට තබා ඇති සෙයකි. මේ හැර ඔවුනගේ ආත්මය සනසන්නට පැමිණෙන්නේ කවරෙක්ද? සුන්දර තරුණියකි. ඇය දැකීම ආශ්චර්යය. ඒ සිනහව දැකීම මේ පීඩිත ආත්මවලට ශාන්තියකි. ඇය තාන්යා ය. පියකරු දයාබරිත හඬින් ඇය මේ කොලූ පිරිස අමතයි. මොවුන් සැමවිටම ඇගේ පැමිණීම බලාපොරොත්තු වෙයි. බේකරිය නමැති කාන්තාරයට වැටෙන දිය පොද ඇය ය.
 
 ගී සින්දු හැරුණු විට අපගේ සිත්ගත්, අපගේ ආදරයට පාත‍්‍ර වූ, සමහර විට අපට සූරියාලෝකයට සමාන වූ දෙයක් ද තිබිණි. අපේ ගොඩනැඟිල්ලේ පළමුවැනි තට්ටුවේ රන් නූලෙන් ගෙත්තම් කරන මැහුම් වැඩපළක් විය. එහි වැඩ කරන කතුන් බොහෝ වූ අතර, ගෘහ මෙහෙකරු දහසය හැවිරිදි තාන්යා ද වූවාය. හැමදාම උදේට බේකරියට යාබද මැහුම් වැඩපළේ දොරෙහි සිදුරකින් නිල්වන් පියකරු දෙනෙත් සහිත කුඩා රෝස පැහැති මුහුණක් එබිකම් කර බලයි. ඇගේ සුරතල් කටහඬ සීනුවක් සේ නාද දෙයි.
 
 ‘‘සිරකාර කොල්ලනේ! ක්‍රෙන්ඩෙල් කීපයක් දෙනවද!’’
 
 මේ විසිහයදෙනා ගැහැනුන් ගැන නොයෙක් අමන කතා කුණුහරුප කතා කීවද තාන්යා ගැන කිසිම විටක නරකක් කතා කරන්නේ නෑ. ඇය ඉදිරියේ කිසිම පහත් පෙළේ විහිළුවක් හෝ කිරීමට ඉදිරිපත් නොවේ. තාන්යා යනු අහසේ සිට බිම වැටෙන තරුවක් මෙනි. ඒ කුඩා රූමත් තරුණිය මේ රළු මිනිසුන් 26 දෙනාගේ ජීවිත පීඩාව මඳකින් හෝ දිය කර හරී. මේ සියලූ දෙනාම ඇයට එකසේ ආලය කරයි.
 
  ‘අප කිසිවකුට ආලය කළ යුතුම විය. අපි එය සොයාගෙන එයට ආලය කළෙමු. අපි විසිහය දෙනාම එකසිතින් ආලය කළෙමු. එය අපට අතිශයින් ශුද්ධ වස්තුවක් වූයේය. එයට විරුද්ධව නැඟී සිටින ඕනෑම කෙනකු අපේ හතුරෙකු ලෙස අපි සැලකීමු. සැබැවින්ම යහපත් දෙයකට අප ආලය නොකළා විය හැකිය. එහෙත් අපි විසිහය දෙනා විසින් අගනා වස්තුවක් ලෙස සැලකූ දෙය අනෙක් අය විසින් ද ශුද්ධ වූ දෙයක් ලෙස සැලකිය යුතු යැයි සිතීමු.
 
 මේ අතර අලූත් බනිස් බක්කරේ කෙනෙක් මොවුන් හමුවට එයි. මොහු හිටපු සෙබළෙකි. කඩවසම් අයකු ද වූ ඔහුගේ දෙකොපුල් රන් පැහැති ය. සෞඛ්‍ය සම්පන්න ය. ලොකු ඇස් ඇති ඔහු කරුණාවන්ත ලෙස සිනාසෙයි. නමුත් මොහු අනංගයෙකි, ස්තී‍්‍ර ලෝලියෙකි. ඔහු මේ විසි හයදෙනාට ගැහැනුන් දැලේ දමා ගන්නේ කෙසේදැයි කියා දෙයි.
 
 කකුල් පපුව හැමදෙයක්ම ශක්තිමත්ව තියෙන්නට ඕනෑ. ඒ විතරක් නෙවෙයි, මිනිහෙක් වුණාම හොඳට අඳින්නට ඕන. මා දිහා බලනවා. ගෑනුු මගේ ඇඟට නිකම්ම ගොඩවෙනවා. මම උන්ගේ පස්සේ යන්නෙවත් උන් කුලප්පු කරන්නෙවත් නැහැ. උන් එකවරටම පස් දෙනා බැගින් මගේ බෙල්ලේ එල්ලෙනවා.
 
 නොයෙක් විට මේ හිටපු සෙබළා පැමිණ ගැහැනුන් සමඟ යහළු වූ හැටි ඔවුන් රැුවටූ අයුරු තලූ මරමින් විස්තර කරයි. බිම්ගෙයි සිරවී සිටින මේ විසිහය දෙනාට මේ කතා සමහරවිට පුදුමය එලවයි. මහ බක්කරේ කනස්සල්ලෙන් පවසන්නේ මේ මිනිහා තාන්යා නරක් නොකළොත් ඒ ඇති කියාය. මන්ද මොවුනගේ දෙවඟන ඇය ය. ඇය මේ අනංගයාට බිලිවනු දැකීමට කිසිවකු කැමැති නැත. තාන්යා මේ සෙබළා ‘‘බකුසු ඇස් ඇති වහු පැටියකු’’ ලෙස විහිළුවට ලක් කිරීම බේකරි කම්කරුවන්ගේ සැනසුමට හේතුවකි. එක් දිනක් මත්පැන් බී වෙරි වූ සෙබළා මොවුන් අතරට පැමිණ ලිද්කා හා ග්රූෂ්කා යන ගැහැනුු දෙදෙනා තමා බෙදා ගන්නට නොහැකිව කලහ කරගත් අයුරු මහ උජාරුවෙන් කියයි. බංකුව මත වාඩිවී වහසි බසින් සිනහසෙයි. එහෙත් අනෙක් සියලූදෙනාම නිහඬය.
 
  ‘‘දෙදෙනෙක් මා නිසා ගහගත්තා. ලිද්කා, සහ ග්රූෂ්කා... උන් එකිනෙකා පොරකා ගත් හැටි දැක්කද? හා හා ! එකියක් අනිත් එකියගේ කොණ්ඩෙන් අල්ලාගෙන බිම පෙරළාගෙන තඩිබෑවා. හා හා හා ! උන් මුහුණු හූරා ගත්තා. ඇඳුම් ඉරා ගත්තා. හැබෑ සෙල්ලමක්! මේ ගැහැනුන්ට හැබෑවටම ගහගන්න බැරි මොකද? උන් මොකද එකිනෙකාව හූරා ගන්නේ ආ?
 
 මේ කතා අසා සිටින මහ බක්කරේට කේන්ති යයි. ඔහු සෙබළාට අභියෝගයක් භාර දෙයි. හැමදාම කෙහෙල්ගස් උගුලන නිසා නුග ගහක් උගුල්ලා පෙන්වන ලෙස කියයි. මේ නුග ගහ කවරෙක්ද? තාන්යා ය. සෙසු ගැහැනුන් මෙන්ම තාන්යා මේ ස්තී‍්‍ර ලෝලියාට හසු නොවනු ඇතැයි මේ විසිහය දෙනාම විශ්වාස කරති. ඔවුනගේ එකම ප‍්‍රාර්ථනය ඇය මොහුගේ පාශයට බිලිි නොවනු ඇතැයි යන්නය. මේ අභියෝගය නිසා සෙබළා කලබලයට පත්වෙයි. ගැහැනුන් දූෂණය කිරීමට ඇති හැකියාව නිග‍්‍රහයට ලක් කළේ යැයි සිතයි. අමනාප වූ සෙබළා බක්කරය, අසලට වී නහයෙන් අඬන්නට වෙයි.
 
 maxim2‘‘නැහැ, නුඹ ඒ කවුදැයි කියපන්’’

 
 ‘‘කියන්ටද?’’ බක්කරයා හිටි හැටියේම හැරී ප‍්‍රශ්න කළේය.
 
 ‘‘ඉතින්’’.
 
 ‘‘තාන්යාව දන්නවද?’’
 
 ‘‘ඉතින්’’
 
 ‘‘ඔන්න. පුළුවන් නම් අල්ලගනින්...’’
 
 ‘‘මමද?’’
 
 ‘‘නුඹ තමා!’’
 
 ‘ඒකිවද? ඒක මට බොහොම ලේසියි!’’
 
 ‘‘බලමුකො!’’
 
 ‘‘බලන්ට පුළුවනි! හා හා!’’
 
 ‘‘ඈ නුඹට....’’
 
 ‘‘මාසෙකින් යට කරගන්නවා!’’
 
 ‘‘නුඹ හැබෑ කයිවාරු කාරයෙක්!’’
 
 ‘‘සුමාන දෙකයි. තාන්යා කවුද කියලා මම නුඹලාට පෙන්වන්නම්! හරි බඩුවක් නොවැ!’’
 
 ‘‘ඉතින් පලයන් යන්ට, බාධා කරන්න එපා!’’
 
 ‘‘සුමාන දෙකයි. වැඬේ කරලා පෙන්වන්නම්! අනේ බාං..’’
 
 ‘‘පලයන් යන්ට!’’
 
 අපේ බක්කරයා සැණෙකින් ඉමහත් කෝපයට පත්වී ඉස්කෝප්පය වනන්නට විය. පුදුමයට පත් සෙබළා පසුබැස, අප දෙස බලා, නිහඬව සිට, හෙමින් ‘‘හොඳා බලමුකො!’’ යැයි පවසා, පිටවී ගියේය.
 
 දැන් මේ පිරිස දවස තිස්සේම කතා කරන්නේ තාන්යා ගැනය. ඇය මොහුට බිළි වෙයිද? මොවුනගේ හදවතින්ම කියන්නේ ඒ තරුණිය ඒ අනංගයාව ප‍්‍රතික්‍ෂේප කරනු ඇති බවයි. අපේ ප‍්‍රතිමාව ශක්තිමත් බවත් ඒ ගැටුමෙන් ඇය ජයගනු ඇති බවත් බේකරි වැසියෝ උදක්ම විශ්වාස කරති. ඒ නිසාම තාන්යා ගැන සිතන්නේ අලූත් කුතුහලයකිනි.
 
 මේ දිනවල සෙබළා නොකඩවා ම තාන්යා පිටුපස යන බවක් දැනගන්නට ලැබෙයි. නමුත් ඇය සෑම දිනකම උදේ ක්‍රෙන්ඩෙල් ලබාගැනීමට පැමිණි විට විසි හය දෙනා ඇගෙන් සෙබළා ගැන නොවිමසීමට වග බලාගත්හ. එහෙත් එක් දිනයකදී සෙබළා පැමිණ ප‍්‍රකාශ කරන්නේ කවරෙක්ද?
 
 ඉතින් දවසක මහත්වරුනේ, සෙබළකුගේ හපන්කම් පෙන්වනවාට නුඹලා කැමැතිද? ඔහු උඩඟු ලෙස සිනාපාමින් අපෙන් ප‍්‍රශ්න කළේය. ‘‘නුඹලා බේකරි වත්තේ වැට ළඟට ඇවිත් ලෑලි පතුරු අස්සෙන් බලපල්ලා ..... තේරුණාද?’’
 
 මේ සියලූදෙනා ලෑලි සිදුරු අස්සෙන් බලා සිටින විට තාන්යා දොර ඇරගෙන බිම් ගෙයට ඇතුල් වන ආකාරයත් එයින් පසු සෙබළා සිවුරු හඬලමින් එයට ඇතුළු වන අයුරුත් දකී. එය මොවුන් කිසිසේත් අපේක්‍ෂා නොකළ දෙයකි. තමන් ඇදහූ දේවතාවියගේ ප‍්‍රතිමාව දියවී කෑලි කෑලිවලට කැඞී විනාශ වනු පෙනේ. බක්කරේලා භීතියට පත්වී සිිටිති. තමන් ඉතා ගෞරව කළ තාරකාව දූෂණය වී ඇත. ඊර්ෂ්‍යාව කෝපය කලකිරීමෙන් මේ කම්කරුවෝ කම්පනය වෙති. ඒ නිසාම මොවුන්ට සන්සුන්ව සිටීමට නොහැකි වෙයි. පේ‍්‍රම ආලිංගන අහවර වී තාන්යා යළි බිම් ගෙයින් එළියට පැමිණ ආපසු යන විට මේ සියලූදෙනාම ඇය වෙත කඩා පනී. සිවුරු හඬලමින් කෑකෝ ගසමින් බියජනක ලෙස හඬනඟයි. ඇය වටකරගෙන නොසරුප් බසින් බැණ වැදී අපහාස කරති. මේ නිසා තාන්යාගේ මුහුණ සුදුමැලි වෙයි. දෙතොල් වෙවුලයි. මේ උපුටනය බලන්න.
 
 ඇය අපේ ආත්මය සොරාගත් බැවින් අපි ඇය වටකරගෙන ඇගෙන් පළිගනිමු. ඇය අයිතිව තිබුණේ අපිටය. අපි අපගේ සුහද හැඟීම් සියල්ල ඒවා හිඟන්නෙකුගේ ආදායම මෙන් ඉතා සුළු වුවද විසි හය දෙනකුගේ හැඟීම් ඇය වෙනුවෙන් පුද කළෙමු. ඇය එකියක පමණකි. ඇය කළ පවට සරිලන දඬුවමක් දීමට පවා අපට බැරිය! අපි ඇයට කොතරම් අපහාස කළෙමුද? ඈ අප දෙස බිය මුසු නෙත්වලින් බලමින් වෙවුලමින් නිහඬව සිටියාය.
 
 මේ අපහාස නිහඬව ඉවසා සිටි තාන්යා එක්වරම කෑගසයි. ඇය කියන වදන්වලින් මේ විසිහය දෙනාගේම ආත්ම දියවී යයි. ඔවුහු නිග‍්‍රහයට ලක්වෙති. තමන් ඉතා ආදර ගෞරව කළ සුකුමාර තරුණිය මේ විසිහයදෙනාව හඳුන්වන්නේ කෙසේද? ‘‘අනේ තොපි අවාසනාවන්ත හිරකාරයෝ ලෙසිනි. එය ඔවුන්ට දරාගත නොහැකිය. ඔවුහු අවඥාවට ලක්වී ඇත. එය ඛේදයකි. ඇත්තෙන්ම මෙය ඒ මහා ලේඛකයාගේ පෞද්ගලික අත්දැකීමක් වන බව පැහැදිලිය. එයින් පාඨකයන් ද කම්පනයට පත් වෙයි. මේ කෙටි කතාවේ අවසානය මෙසේ සටහන් වෙයි.
 
 ඈ අපේ කවයෙන් පිටතට ගොස්, අප දෙසට හැරී හඬනඟා ආඩම්බරයෙන් හා අවඥාවෙන් යුතුව මෙසේ පැවසුවාය.
 
 ‘අනේ තොපි කැත ඌරෝ... නීචයෝ’
 
 ඈ සෘජුව, අලංකාර ලෙස සහ ආඩම්බර ලෙස ඉවත්ව ගියාය.
 
 අපි බේකරි වත්තේ මඩ ගොඬේ වැස්සට තෙමි තෙමි සිටියෙමු. අපට ඉහළින් ඇඳිරි අහසය, එහි හිරු නොවීය.
 
 අනතුරුව, අපි නිහඬව අපේ ගල්වළ තුළට ගමන් කළෙමු. හැමදාම මෙන් හිරු කවුළු තුළින් අප දෙසට එබී නොබැලීය. එදා සිට තාන්යා ද අප බැලීමට නොපැමිණියාය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles