Divaina - දුම්බර වනපෙතේ කතාව දුක්‌බරය රජයේ තේ වතු වෙන්දේසියේ.....

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n1 1රාජ්‍ය තේ වතු විවිධ (වැවිලි නොවන) ව්‍යාපෘතීන් සඳහා කල්බදු දීමට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ගෙන ඇති තීන්දුව හේතුවෙන් නකල්ස්‌ ලෝක උරුම වනාන්තරය දැඩි අනතුරකට ලක්‌ව පවතී. ඒ නකල්ස්‌ ස්‌වාරක්‍ෂක කලාපයේ පිහිටි සංවේදී ඉඩම් මෙම බදු දීම් සඳහා අන්තර්ගත වන නිසාය. මෙසේ ස්‌වාරක්‍ෂක කලාපයට අයත් තේ වතු සහ තවත් පෞද්ගලිකව භුක්‌ති විඳින ස්‌වාරක්‍ෂක කලාපය තුළ පිහිටි ඉඩ කඩම්, ගොඩනැඟිලි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන නකල්ස්‌ සංරක්‍ෂිත වනාන්තරයේ සීමා මායිම් පුළුල් (ස්‌ථාවර) කළ යුතු බවට හඬ නැඟෙන්නේ කලක පටන්ය. එහෙත් එම දේපළ හඳුනාගෙන තක්‌සේරු කර ඇති නමුත් මේවායින් තවමත් පවරාගෙන ඇත්තේ අතලොස්‌සක්‌ පමණි.

n1 2ලෝක සංරක්‍ෂණ සංගමය මගින් නකල්ස්‌ වනාන්තරය සංරක්‍ෂිත වනාන්තරයක්‌ බවට පත්කිරීම සඳහා ජෛවවිද්‍යාත්මක අධ්‍යයන නිමාකර යෝජනා කරන ලද්දේ අඩි 3000 ට ඉහළ කලාපය සංරක්‍ෂිත වනාන්තරය ලෙස නම් කළ යුතු බවටය. ඒ අඩි 3000 ක පටන්ම මෙම වනාන්තරයේ අද්විතීය වටිනාකම් හඳුනාගෙන තිබූ නිසාය.

එහෙත්, ඒ සඳහා විරෝධතා පළ වුයේ විශේෂයෙන්ම රාජ්‍ය වැවිලි අංශයෙනි. එනම් රාජ්‍ය වැවිලි සමාගම් සතු බොහෝ වැදගත් හා වටිනා තේ ඉඩම් (වතු) අඩි 3000-3500 අතර කලාපයේ පිහිටා තිබු නිසාය. රාජ්‍ය වැවිලි සංස්‌ථාව සතු මැදවත්ත නොහොත් මිඩ්ලන්ඩ් වත්ත, අලකොළේවත්ත, කැළෑ බොක්‌කවත්ත, කොටගඟ වත්ත, රංගල හෙයර් පාර්ක්‌ වත්ත වැනි වතු ඒ සඳහා නිදසුන්ය. මෙම වතු එකල හොඳින් කළමනාකරණය වු අතර, ශ්‍රී ලංකාවේ තේ ආර්ථිකයට ලබාදුන්නේ අමිල සේවාවක්‌ හා වටිනාකමකි. එහෙත්, කාලයත් සමඟ මෙම වතුවල කළමනාකරණය දරුණු ලෙස බිඳ වැටුණු අතර, රජය මෙම තේ වතු ගොඩගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක්‌ දියත් නොකළේය. මෙනිසාම බොහෝ තේ වතු පාඩු ලබන තත්ත්වයට පත්ව ඇත. නොහොත් තේ වතු පාඩු ලබන තත්ත්වයට පත්කර ඇත. තේ වගා නඩත්තු නොකිරීම, තේ වගාව ගොඩගන්නට රජයට විධිමත් වැඩපිළිවෙළක්‌ නැතිකම යනාදිය ඊට නිදසුන් සේ ගත හැකිය. ඒ ඔස්‌සේ මෙම වතු ඉඩම් කුණු කොල්ලයට විකුණා දැමීම ඇතැම් රාජ්‍ය බලධාරීන්ගේ අපේක්‍ෂාව සහ උත්සාහයයි.

n3 3කෙසේ හෝ පාඩු ලබන දුම්බර රජයේ තේ වතු (මෙයින් බොහෝමයක්‌ එනම් 99% ක්‌ පමණම අයත් වන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්‌ථාව යටතටය.) අනාරක්‍ෂිත තත්ත්වයට පත් වු අතර, වතු නඩත්තුව සඳහා රාජ්‍ය මුදල් නොයෙදීම හේතුවෙන් පසුගිය කාලයේ සේවකයින් සඳහා පඩිනඩි ගෙවන ලද්දේත්, සේවක අර්ථ සාධක අරමුදල් හා භාරකාර අරමුදල් යනාදී සේවක වරප්‍රසාද, ගෙවීම සඳහාත් එක්‌ එක්‌ වතුවල දැව ශාක කපා වෙන්දේසි කරන්නට රාජ්‍ය වැවිලි සමාගම්වලට සිදුවිය. එය කෙතරම් බරපතල තත්ත්වයක්‌දයත් 2017-10-18 දින කම්කරු අමාත්‍යාංශය මගින් නිකුත් කළ වාර්තාවකට අනුව රජයේ වැවිලි සමාගම් තුනේ (තේ) අර්ථසාධක හිඟය රුපියල් බිලියන 1700 කි. නකල්ස්‌ අවට ඉඩම් හිමි රාජ්‍ය වැවිලි සංස්‌ථාවේ එම හිඟය රුපියල් මිලියන 636 ක්‌ විය.

මෙසේ දැව ශාක කපා ගැනීමේ පටන් රාජ්‍ය තේ වතුවල හරිහැටි නඩත්තුවක්‌ නැතිකම හා පාංශු සංරක්‍ෂණය බිඳ වැටීම පැහැදිලිවම එම ප්‍රදේශවල එනම් දුම්බර කඳුකරයේ පැවැත්මට මහත්ම තර්ජනයක්‌ බවට පත්විය. දුම්බර (නකල්ස්‌) ලෝක උරුම වනාන්තරයේ පාදම අනිකක්‌ නොව, රාජ්‍ය වැවිලි සතු තේ වගාවෙන් නිර්මිත වූ මේ භූමියයි. එහෙයින් මෙම තේවතුවල අස්‌ථාවර බව පැහැදිලිවම නකල්ස්‌ කඳුකරයේ පැවැත්මට තර්ජනයකි. එබැවින් කළ යුතුව ඇත්තේ මෙසේ පාඩු ලබන තේ වතු හරිහැටි තේ වගාවෙන්ම කළමනාකරණය කළ නොහැකි නම් දුම්බර (නකල්ස්‌) වනාන්තරයටම වන වැදීම සඳහා එම ඉඩම් පවරා දීමය. මන්ද, මෙසේ හෙළි පෙහෙළි වී අතීතයේදී තේ වතු බවට පත්ව ඇත්තේ දුම්බර (නකල්ස්‌) වනාන්තරයටම අයත් භූමිය වන නිසාය.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ශ්‍රී ලංකාවේ අද්විතීය කඳුකර වනාන්තර ප්‍රදේශ තේ වගාව සඳහා දරුණු ලෙස හෙළි පෙහෙළි කරන ලද අතර ඉන් වැනසී ගිය වනාන්තර ප්‍රමාණය අක්‌කර සිය දහස්‌ ගණනකි. මධ්‍යම කඳුකරයේ වනාන්තර නොසලකා ඊට උතුරින් පිහිටි අතිශය සංවේදී හා සංකීර්ණ කඳු සහිත දුම්බර කඳුකරය සැලකූ කළ එහිද මෙසේ අක්‌කර දහස්‌ ගණනක වනාන්තර හෙළි පෙහෙළි කර තේ වගාව ව්‍යාප්ත කර ඇත. මෙම ඉඩම් අතිශය බෑවුම් සහිත, සංවේදී භූමියක්‌ වන අතර වටිනා ජල මූලාශ පවතින ප්‍රදේශයකි. දුම්බර (නකල්ස්‌) වනාන්තරයට අයත් තුන්හිස්‌ගල නොහොත් කළුපහන කඳුවැටියෙන් ප්‍රධාන ගංගා තුනක්‌ ආරම්භ වේ. කළු, හීං, හුළු යන ගංගා ත්‍රිත්වය මෙසේ සෘජුවම ගලාවිත් මහවැලි නදියට එකතු වන්නේ අරීය ජලවහන රටාවක්‌ පෙන්නුම් කරමිනි. හුළු ගංගාව සෘජුවම වික්‌ටෝරියා ජලාශයට ගලාඑන ගමනේදී ඊට ඉහළින් හුළුගඟ (පන්විල) ප්‍රදේශයේදී අගනා දිය ඇලි දෙකක්‌ ද නිර්මාණය කරන්නේ සම්පුර්ණයෙන්ම තේ වතු යායක්‌ මැදින් ගලා එමිනි. අද කල්බදු ක්‍රමයට පෞද්ගලිකරණයට සූදානම් වන අලකොළේ හා කැළෑබොක්‌කට ඉතා නුදුරින් මෙසේ හුළු ගඟ තේ වතු මැදින් ගලාවිත් වික්‌ටෝරියාවට එකතු වේ.

හීං ගඟ හසලක ප්‍රදේශයේදීත්, කළු ගඟ වත්මන් මොරගහකන්ද හා කළුගළු ජලාශ නිර්මාණය කරමින් මනම්පිටිය ප්‍රදේශයෙනුත් මහවැලිය හා එක්‌ වේ. මෙම ගංගා ත්‍රිත්වයද ඇතුලත්ව දුම්බර කඳුකර වනාන්තරය සිපගෙන අරීයව ගලායන ජලධාරා මගින් මහවැලි නදියේ ජලධාරිතාවෙන් 33% ක්‌ පමණම ලබා දෙයිs.

එසේම, අද කල් බදු වෙන්දේසියට දමා ඇති ඉඩම් පිහිටි ප්‍රදේශයේ නකල්ස්‌ කඳුකර වනාන්තරයේ උසින් වැඩිම (අඩි 6000 ට වැඩි) කඳු ශිඛර දෙක වන ගොම්බානීය හා නකල්ස්‌ කන්ද අයත් වන ප්‍රධාන කඳුවැටිය ඊසාන දිග හා නිරිත දිග මෝසමට සෘජු හා ලම්භකව පිහිටා තිබීම ශ්‍රී ලංකාවට වර්ෂාව උපද්දවන ප්‍රධාන හේතු සාධකය වේ. විශේෂයෙන්ම නිරිත දිග මෝසම් වර්ෂාව මෙසේ ගොම්බානීය කඳු ශිඛරය ප්‍රමුඛ ප්‍රධාන බාධක කඳුවැටියේ හැපීමෙන් නිරිත දිග කලාපයට වැසී කඩා හැලෙන අතර එම ආශ්චර්යය ජනක සිදුවීම රිවස්‌ටර්ස්‌ කඳු මුදුනට දැකගන්නට ලැබීමද විශේෂත්වයකි. (මේ පිළිබඳව විශේෂ ලිපියක්‌ ඉදිරියේදී පළ කෙරෙනු ඇත.) එබැවින් ගොම්බානීයට නුදුරු අලකොලේවත්ත, කැළෑ බොක්‌කවත්ත ගෝමරේ යනාදිය අතීතයේදීත් හෙළි පෙහෙළි නොකළ යුතුව තිබූ වනාන්තර බව අපගේ හැඟêමයි. අද ඒවා තේ වතු බවට පත් වී ඇති නිසා ඒවා ඉහළ කළමනාකාරීත්වයකින් පවත්වාගෙන යැම මෙරට විද්‍යාඥයින්ගේ දේශපාලන බලධාරීන්ගේ හා රාජ්‍ය වැවිලි කරුවන්ගේ වගකීම විය යුතුය. විශේෂයෙන්ම නිරිත දිග මෝසමේ මුහුණත හා එම වැසි පතනය වන ඉහළම කඳුකර ප්‍රදේශය වන අලකොළේ, කැළෑබොක්‌ක, ගෝමරේ, රංගල, කොටගඟ, තංගප්පුව, හෙයාර්පාර්ක්‌ ප්‍රදේශය අධි ආරක්‍ෂිත පාංශු සංරක්‍ෂණ කලාපයක්‌ ලෙස නම් කර දැඩිව සංරක්‍ෂණය කළ යුතුව තිබියදී මෙසේ පෞද්ගලික අංශයට (කල් බදු ක්‍රමයට) විකුණා දැමීමට රජය තීන්දු කර ඇත්තේ මෙවන් වටිනාකම් පිළිබඳව කිසිදු දැනුම් තේරුම් නැති අඳ බාල පිරිසක්‌ මාර්ගයෙනි. නැතහොත් රටේ මේ සංවේදී හා දරුණු ලෙස සංරක්‍ෂණය කළ යුතු දෑ පිළිබඳව අවබෝධයක්‌ නොමැතිවය.

එසේ හෙයින් දුම්බර කඳුකර වනාන්තරය යනු අද දවසේ සංරක්‍ෂණයෙන් මෙපිට කිසිදු සංවර්ධන කාර්යයක්‌ නොකළ යුතු භූමි ප්‍රදේශයකි.

මෙරට ගණ වනාන්තර ප්‍රමාණය සියයට 20 කටත් (20%) වඩා අඩු වී ඇති මෙවන් මොහොතක හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්‍ෂා කරන පරිදි 37% කින් වනාන්තර වැස්‌ම වැඩි කරන්නේ නම් පළමුව එය පටන් ගත යුතු ප්‍රදේශය ලෙස අප දකින්නේ දුම්බර වනාන්තරයේ මෙම පාවුළු වනාන්තර ප්‍රදේශය හෝ පාඩු ලබන තේ වතු පළමුව වනවගාවට නතුකර වනාන්තර බවට පත් කිරීමය.

එසේම මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රකට පරිසර ක්‍රියාකරුවකු වන ගාමිණී ජයතිස්‌ස මහතා පවසන පරිදි මොරගහකන්ද හා කළු ගඟ යෝජනා ක්‍රම සඳහා කපා ඉවත් කළ ගණ වනාන්තර අක්‌කර 17000 ක්‌ පමණ සඳහා හිලව් වනාන්තර වැවීම සඳහා ද පළමුව භාවිත කළ යුතු ඉඩම් ඇත්තේ නකල්ස්‌ සංරක්‍ෂණ කලාපයේය. විශේෂයෙන්ම මම වනාන්තරයේ නිරිත දිග මුහුණත නිරිත දිග මෝසමේ මර්මස්‌ථානය බැවින් සැබැවින්ම වනාන්තර වැවිය යුත්තේද ස්‌වභාවික වනාන්තර බවට පත්වීමට ඉඩදිය යුත්තේද විශේෂයෙන්ම නිරිත දිග බෑවුමය. එසේ බලන කළ මාතලේ හා මහනුවර දිස්‌ත්‍රික්‌කයන්ට අයත් මැදවත්ත, කැළෑබොක්‌ක, අලකොලේ, රංගල, කොට ගඟ, තංගප්පුව, හෙයාර්පාර්ක්‌ ඩීන්ස්‌ටන්, ආදී නිරිත දිග රේඛාවේ පිහිටි ඉඩම් සියයට සියයක්‌ම වනාන්තර බවට පත්කර සංරක්‍ෂණය කර පවත්වාගෙන යැම අනාගතයට සිදු කරන දැවැන්ත ආයෝජනයකි. එය මොරගහකන්ද, කළුගඟ සංවර්ධන යෝජනා ක්‍රම සිදු කළාටත් වඩා දැවැන්ත සේවාවක්‌ සහ වටිනාකමකි.

එසේ තිබියදී අඳ බාලයන් සේ එක්‌ එක්‌ අයගේ හිතූ මනාපේ රජයේ සංවේදී ඉඩම් සඳහා ව්‍යාපෘති මාර්ගෝපදේශන සෑදීමටත් එම මාර්ගෝපදේශන සඳහා ව්‍යාපෘති වාර්තා ගෙන්වා ගැනීමටත් කිසිවකුටත් සුදුසු කාරණයක්‌ නොවේ. පවතින නීති රීති අණ පණත් උල්ලංඝණය කරමින් මෙසේ රාජ්‍ය වැවිලි සඳහා ව්‍යාපෘති යෝජනා කැඳවීම නීති විරෝධී කටයුත්තකි. මන්ද පාංශු සංරක්‍ෂණ පනත, පරිසර පනත, වන ආඥාපනත හා ඉඩම් ප්‍රතිසංස්‌කරණ නීතිය වැනි අණපනත් මගින් මෙම බෑවුම්, සංවේදී ඉඩම් නීතිමය වශයෙන් ආරක්‍ෂා කර ඇති නිසාය.

කෙසේ හෝ මෙසේ නකල්ස්‌ වනාන්තරයේ සංවේදී කලාපයේ තේ ඉඩම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ විවිධ ව්‍යාපෘති සඳහා ලබාදීමට තීන්දු කිරීමෙන් නකල්ස්‌ වටා අක්‌කර 21,000 ක්‌ පමණ අනාරක්‍ෂිත වනු ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. දැයේ හදවත බදු මෙම ජල පෝෂක වනාන්තරය මේ හේතුවෙන් අරාජිත වන බැවින් පරිසරවේදීන්ගේ විවිධ එකමුතු අද මේ සඳහා විරෝධතාව ප්‍රකාශ කරති. පසුගියදා කොළඹදී "සුරකිමු ශ්‍රී ලංකා" සංවිධානය විරෝධතා පෙළපාලියක්‌ සහ රැළියක්‌ පවත්වා රජයට කියා සිටියේ "දුම්බරට අත නොතබනු" කියාය.

එසේම මාතලේ පරිසර මිතුරෝ සංවිධානයද මීට එරෙහිව තම විරෝධතාව ප්‍රකාශ කරති. ඔවුන් පසුගියදා නකල්ස්‌ කලාපයේ හා මාතලේ ප්‍රදේශයේ විරෝධතා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ද දියත් කළ අතර, අදාළ ව්‍යාපෘති ප්‍රදේශවල නිරීක්‍ෂණ චාරිකාවකටද එක්‌වූහ. මේ සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ හා "ජීවයේ අයිතිය'' නියෝජනය කරමින් සමන්ත විද්‍යාරත්න, ආචාර්ය අසෝක රංවල ඇතුලු පරිසරවේදීන් මාධ්‍යවේදීන් හා භූ විද්‍යාඥයෝද සහභාගී වූහ.

මෙම කණ්‌ඩායම මැදවත්ත (මිඩ්ලන්ඩ්ස්‌) ප්‍රදේශයේ සහ වත්තේගම රත්වත්ත ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්‌ වූ අතර, එහිදී හඳුනාගනු ලැබුවේ එවන් සංවේදී ඉඩම්, දැනටමත් ව්‍යාපෘති සඳහා ලබා දී ඇති බවකි. මැදවත්ත ප්‍රදේශයේ වැව් පිහිටි සංවේදී ප්‍රදේශයක ඉඩම් එක්‌ සමාගමකට සහ රත්වත්ත වතුයායේ එම තේ කර්මාන්තශාලාවට ඉහළින් රෝස තිරිවානා හෑරීම සඳහා තවත් සමාගමකටද දැනටමත් ඉඩම් බදු දී ඇත.

මෙම නිරීක්‍ෂණ චාරිකාවට එක්‌ වු සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ නකල්ස්‌ ඉඩම් වෙන්දේසියෙන් මහා ඉඩම් කොල්ලයකට රජය කටයුතු කිරීම තහවුරු වන බවයි. රටට මහා සම්පතක්‌ බඳු ජලය ලබාදෙන ජල මුලාශ්‍ර ඉඩම් මෙසේ විනාශ කිරීමට ගෙන ඇති තීන්දුව වහා හකුලාගන්නා ලෙස ඔහු රජයට බලකර කියා සිටියේ මැදවත්ත තේ වතුයාය මැද සිට මාධ්‍ය අමතමිනි.

ජගත් කණහැරආරච්චි

 



පරිසර විනාශය කරන ආණ්‌ඩුවේ ගනුදෙනුව අපි මහපාරේදී බේරාගමු - සමන්ත විද්‍යාරත්න කැඳවුම්කරු, ජීවයේ අයිතිය සංවිධානය.

n1 3අද අපි දුම්බර කඳුකරයේ මැදවත්ත කටාරන්තැන්න වැව නිරීක්‍ෂණය කළා. අපි දැක්‌ක ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා සීත කාමරවල ඉඳන් පුරසාරම් දෙඩුව නකල්ස්‌ කඳුකරයේ එක බිම් අඟලක්‌වත් දුන්නේ නැහැ දෙන්නෙත් නැහැ කියලා. නමුත් අපි සතුව තියෙනවා අදාළ ගැසට්‌ නිවේදන, කැබිනට්‌ මණ්‌ඩල තීන්දු තීරණ, දැන් අපි ඉන්න භූමිය වන මැදවත්ත කටාරන්තැන්නේ අක්‌කර 35 ක්‌ වසර 35 කට එක අක්‌කරයක්‌ වසරකට රුපියල් 2850/- බැගින් කුණු කොල්ලෙට දීල ඉවරයි.

මෙතන විතරක්‌ නෙමේ තවත් විශාල පාරම්පරික කලාපයක ඉඩම් බහු ජාතික සමාගම්වලට දෙමින් තිබෙනවා. ඉතින් වත්මන් පරිසර ඇමැතිවරයාද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපි දැනුම් දෙනවා. බලයට ආවේ හිටපු ආණ්‌ඩු පරිසරය විනාශ කළා යහපාලන ආණ්‌ඩු එහෙම කරන්නෙ නැහැ කියලා. නමුත් අද වනවිට ඔප්පු වෙලා තියෙනවා ජනාධිපතිවරයා වග කියන අමාත්‍යාංශයට අයත් මේ වටිනා පරිසර පද්ධති පවා ගොදුරු කරගෙන තියෙනවා මේ ආණ්‌ඩුවේ බලගතු දේශපාලනඥයන් විසින්. අපි දකිනවා මෙම ඉඩම් ව්‍යාවසාය වෙනවා. ප්‍රාග්ධනය වෙනවා. නව රැකියා උත්පාදනය වෙනවා කියලා ආලවට්‌ටම් දාලා, වචන දාල මේ රටේ ජනතාව රවට්‌ටලා වටිනා පාරිසරික පද්ධතීන් විනාශ කරමින් තිබෙනවා.

මේ දුම්බර වනපෙත කඳුකර වැසි වනාන්තරයක්‌. වටිනා පාරිසරික කලාපයක්‌, මෙහි වටිනාකම ලෝකයම තේරුම් අරන් තියෙනවා. ඒ නිසා යුනෙස්‌කෝව විසින් බ්‍රසීලයේ දී පැවැති 34 වැනි සමුළුවේදී දුම්බර ලෝක උරුම වනාන්තරයක්‌ ලෙස නම් කරනු ලැබුවා. එහෙම නම් කළ ලෝක උරුම වනාන්තරයක තමයි මෙසේ දොළ පිදේනි දී තුන්ඈවරයි කියමින් විකුණමින් තිබෙන්නේ.

මේ වතු පාඩු ලබන්න ඉඩ හැරියා. ඉන් පස්‌සෙ ගස්‌ ටික වික්‌කා. දැන් රොඩ්ඩ බවට පත්කරනු ඉඩම් ටික විකුණන්න හදනවා. දැන් මේ ආණ්‌ඩුව හදන්නේ වනය රකින්න නොවේ. වනය පාවිච්චි කරල ධනය උපයා ගන්නයි. එහෙම කරන්න දෙන්න බැහැ. අද වනාන්තර රැක ගන්න වෙලා තියෙන්නෙ රජයෙන්. අද ස්‌වාරක්‍ෂක කලාපයට අත තියන අය හෙට නකල්ස්‌ රක්‍ෂිතයට අත තියෙනවා. ඒ හින්ද අපි කියනවා ලක්‍ෂමන් කිරිඇල්ලලාට, රනිල් වික්‍රමසිංහලාට, ජනාධිපති හා පරිසර ඇමැති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේකට කැබිනට්‌ පේපර් දැම්ම කබීර් හෂීම්ලට අපි කියන්න කැමතියි. මේව ඔයාලගේ බූදල් නෙමේ. ජනතාවට සතා සිව්පාවාට අයිති දේවල්. ඒ නිසා අපි අනතුරු හඟවනවා කැබිනට්‌ පේපර් පුච්චලා නළලේ අළු ගාගන්න. පරිසරයට අත තියන්න එන්න එපා. මේවා අනාගත ජනතාවගේ සතා සිව්පාවාගේ උරුමය. මේ පණිවිඩය පිළිගන්නේ නැතිනම් අපි රටේම පරිසර සංවිධානවලට ආරාධනය කරනවා. සිංහල, දමිළ, මුස්‌ලිම් වේවා විවිධ ආගමික, ජාතික පිරිස්‌වලට ආරාධනය කරනවා අපි එකතු වෙමු. අපේ ජීවයේ අයිතිය සුරක්‍ෂිත කරගන්න. "ජීවයේ අයිතිය" සංවිධානය හැටියට අපි ''මාතලේ පරිසර මිතුරෝ'' සංවිධානයත් එකතුවෙලා පරිසර ඇමතිවරු එක්‌ක මේ ගනුදෙනු බේරගන්න අපි මහ පාරෙදි හමුවෙන්න සූදානමින් ඉන්aනවා. වහාම පරිසර පද්ධති විනාශය වළක්‌වන්න. රජය පරිසරයේ ආරක්‍ෂකයා විය යුතුයි. පරිසරය වනසන්නා බවට පත්වන්නේ නම් රජය ගෙදර යෑවීම සඳහා මහජනතාව ඒකරාශි කරවීම අප සිදුකරනවා.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles