Divaina - මනෝ... මහන්සිද? විවේක අරං ආපහු එන්න...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

mano99
 
 අප දන්නා පරිදි දවසකට ඇත්තේ හෝරා විසි හතරකි. එහෙත් ජයලත් මනෝරත්නගේ දවසකට හෝරා කොතෙක් වේදැයි මට සිතා ගන්නට නොහැකිය. ඈත දුර බැහැර නගරයක, ගම් දනව්වක ගුරු තරුව හෝ අන්දරේලා, තල මල පිපිලා හෝ හඬ නිහඬ රංගනයකට,එසේත් නැත්නම් ටෙලි නාට්‍යයක චිත‍්‍රපටයක රූ ගත කිරීමකට සහභාගී වී පසු දා අලූයම නිවසට පැමිණියත් ඔහුට සුවබර නින්දකට ඉඩක් ලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. පසු දා උදෑසනින් ම යළිත් ඔහුගේ දවස ඇරැුඹේ. විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්යවරයාගේ භූමිකාව නිම කරනා මනෝට හවස් යාමයේ මිතුරකුගේ පොත පත දොරට වැඩුමක දේශනයකි. ඉන් අනතුරුව සහෝදර නාට්‍යකරුවකුගේ නාට්‍යයක ප‍්‍රථම දර්ශනයකි. ඉන් අනතුරුව සමීප මිතුරකුගේ නිවසෙහි පැවත්වෙන සංගීත සාදයකි. මිතුරකුගේ දරුවකුගේ විවාහ මංගල්‍යයයක්, උපන් දින සැමරීමක් වෙනුවෙන් පවැත්වෙන උත්සවයකි. මේ සියලූ තැන්හි මනෝ සිටී. ඒ සියලූ තැන්හී වීරයා වන්නේ මනෝය. නාට්‍ය පේ‍්‍රක්‍ෂකාගාරයක, විද්වත් සභාවක, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගණයා අතර හිතවතුන් මැද, ඔවුන්ගේ ¥ පුතුන් සමග මනෝ ජීවත් වූයේය. එබඳු දවස් කොපමණක් පිළිබඳ, කොපමණ මතක මා සතුව තිබේ දැයි මම ම නොදනිමි. එහෙත් එය සැබෑවකි.
 
 මනෝ තම දිවි සැරිය නිමා කළේ අදට සති දෙකකට පෙර ඉරිදා උදෑසනකය. ජනවාරි 12 වැනි දා අලූයම් කාලයේය. අද අපට මනෝගේ රුව නො පෙනේ. කටහඬ නො ඇසේ. ම විසින් ඉහත සඳහන් කළ එකදු තැනක දී හෝ දැන් අපට මනෝ හමු නොවේ. දවසේ පැය විසිහතර පැය හතළිස් අටක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් සේ සලකමින් තම මෙහෙවර ඉටුකරන කලාකරුවා, සිය ඇමතුමකින්, රැඟුමකින්, ගැයුමකින් සුවහසක් රසික ජනයාගේ මන කොඳ පුබුදු කළ තීර්ථ යාත‍්‍රිකයා, හඬ නිහඬ අතර ගත කළ වසර එකහමාරක පමණ කාල පරාසයක් පිළිබඳ සංක්ෂිප්ත අතීතාවර්ජනයකි මෙම සටහන. ආචාර්ය ජයලත් මනෝරත්න, රසිකයන්ගේ ආදරණීය මනෝගේ ජීවිතය, ඔහුගේ නාට්‍ය, සාහිත්‍ය, සිනමා කලා සම්ප‍්‍රදාය පිළිබඳ හෝ ඔහුගේ ජීවන තතු, පවුලේ තොරතුරු පිළිබඳ හෝ යළි යළිත් සිහිපත් කිරීමට මම අදහස් නොකරමී. පසුගිය සති දෙක තුළ ඔහු පිළිබඳ, ඔහුගේ ජීවිතය පිළිබඳ කතා නොකළ, නොලියවුණු, විකාශය නොකළ එකදු ගුවන් විදුලියක්, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක්, සමාජ මාධ්‍ය ජාලාවක් නොමැති තරම්ය. ඔහු එවැනි ප‍්‍රචාරයක්, ආවරණයක් ලැබීමට සෑම අතකින්ම සුදුස්සකු වූයේය.

පණ්ඩිත් අමරදේව හෝ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැන්නකුට හැර එවන් මාධ්‍ය ආවරණයක් ලද මෑත කාලයේ වියෝ වූ කලාකරුවකු පිළිබඳ මතකයක් මා සතුව නොමැත. එච්.ආර්.ජෝතිපාලගේ වියෝව, ආචාර්ය සරත් අමුණුගම විසින් එදා හැඳින් වූ ජනප‍්‍රිය සංස්කෘතික කුලූනක් බිඳ වැටීමක් වී නම් එහි ප‍්‍රබුද්ධ අනුවාදය ජයලත් මනෝරත්න සතු වී යැයි මට සිතුණි. ඔහු මිය ගිය ඉරිදා සිට බොරලැස්ගමුව සුසානභූමියේ දී පසළොස්වක බදාදා සැඳෑ යාමයේ චිතකයෙන් නැඟි දුම් රොටුව හිස් අහසට එකතු වූ මොහොත තෙක් ඔහුට බුහුමන් පුදන්නට, ඔහුට ආදරය ප‍්‍රකාශ කරන්නට දිවයිනේ නන් දෙසින් පැමිණි විවිධ තරාතිරම් හි ජනී ජනයා, ¥ දරුවන් , තරුණ තරුණියන්, සහෝදර කලාකරුවන්, බොරලැස්ගමුව අබේරත්න මාවත, රතනාරාම පාර අසල්වාසීන් ගේ ආදරය කෙතරම් විශාල වීද යන කාරණාව මට එසේ සිතන්නට මුල් වූ ප‍්‍රධාන සාධක වීය. සතියක් පුරා සියලූ ජන මාධ්‍ය ඔස්සේ මනෝ කවුරුන් දැයි ලොවම දැන ගත් මුත්, ඔහුගේ ජීවිතයේ අවසාන භාගය ඔහු කෙසේ ගත කළා දැයි දන්නෝ විරලය. එබැවින් ඒ කාල සමයේ මා දුටු, මා හා සමීප මිතුරන්ට හමු වූ මනෝ පිළිබඳ අතීතාවර්ජන අත්දැකීම් සටහනක් ලෙස මෙය ලියා තබන්නෙමි.
 
 mano2නිෂ්පාදක වෝල්ටර් අබේසුන්දර හා අධ්‍යක්ෂ සුසිරන් ද සිල්වාගේ ‘‘මිස් ජෙනී’’ චිත‍්‍රපටයේ රූ ගත කිරීම් නිමා කොට මිස් ජෙනී බවට පත් වූ මනෝගේ නිශ්චල ඡුායාරූප සිනමා පුවත්පත් හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නට පටන් ගත්තේ කවදා එම චිත‍්‍රපටය දකින්නට ලැබේ දෝයි යන කුතුහලය පේ‍්‍රක්ෂක මනසෙහි ජනිත කරවමිනි. 2018 නොවැම්බරයේ දී මනෝ තේජා ඉද්දමල්ගොඩගේ ‘‘ආශාවරී’’ චිත‍්‍රපටයේ රූගත කිරීම්වල යෙදී සිටියේ දියතලාවේ ය. එහි දී එක්වරම ඔහුට ඔහුගේ සිරුරින් විලවුන් සුවඳක් ආඝ‍්‍රාණය වන්නට පටන්ගත් පසු ඔහු රූ ගත කිරීම් නවතා කොළඹ පැමිණෙන්නේය. මනෝ ඇතුළු අපගේ නාට්‍ය හා මිත‍්‍ර සමාගමයෙහි බොහෝ සාමාජික සාමාජිකාවන්ගේ පවුලේ වෛද්‍යවරුන් සේ කාලයක් තිස්සේ ප‍්‍රතිකාර කරනු ලබන වෛද්‍ය ජගත් හා යුද හමුදා රෝහලෙහි බි‍්‍රගේඩියර්, වෛද්‍ය නිමල්කා ආරියරත්න ( තරුණ පොප් ගායක මිහිඳු ආරියරත්නගේ දෙමාපියන්* හමු වූ පසු රෝගය පිළිබඳ තතු වටහා ගන්නට නිමල්කාට කාලයක් අවශ්‍ය නොවිණ. ඈ විසින් මනෝ වහාම යොමු කරනු ලැබූයේ ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන් ගුණතිලක වෙතටය. ඔහු හමුවීමෙන් අනතුරුව මනෝට ශල්‍ය කර්මයක් කිරීම අවශ්‍ය වූ බැවින් ක්ෂණිකව ආසිරි සෙන්ට‍්‍රල් රෝහලේදී මනෝව ශල්‍ය කර්මයකට භාජනය කරනු ලැබීය. හෝරා හතරකට වඩා වැඩි කාලයක් ගත වූ සාර්ථක ශල්‍යකර්මයට වැයවූ සම්පූර්ණ වෛද්‍ය හා රෝහල් ගාස්තුව ගෙවන ලද්දේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන්, ජනාධිපති අරමුදල හා සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් බව කිව යුතුය. දැන් මනෝගේ ජීවිතයට සැනසුම් සුසුමක් එක් වී හමාරය. මනෝ කෙමෙන් සුවපත් වෙමින් සිටි අතර ඔහු අතින් ඉටු කරනට නොහැකි කටයුතු හා වගකීම් පිළිබඳ ඔහු කනස්සල්ලෙන් පසු වූ බව දනිමු. සිරුරට යන්තම් පණක් ලද සැණින් ඔහු ආශාවරී චිත‍්‍රපටයේ ඉතිරි රූ ගත කිරීම් අවසන් කොට අධ්‍යක්ෂවරයා ගේ බර සැහල්ලූ කළේය.
 
 මනෝ යළි පෙර පුරුදු මනෝ බවට පත්වෙමින් සිටී. කැනඩාවේ සිට පුත‍්‍ර සමාගම ෂරාෆ්නෝව් ගේ පුතු අජිත් ජිනදාස මෙරට ආ ඉසිඹුවක 80 කණ්ඩායම සමග මනෝ රාත‍්‍රි භෝජන සංග‍්‍රහයකට සහභාගී වී මිත‍්‍ර සමාගම සමග සතුට බෙදා ගත්තේය. ඔහුගේ අවසාන නිර්මාණය, ‘‘හඬ නිහඬ රැුඟුමකට’’, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන රංග භූමියේ දී සහභාගී වෙමින් ඔහුට ආදරය කළ රසික සමූහයා මුණ ගැසිණ. රසිකයෝ සුවපත් වූ මනෝ දැකගන්නට ඔහු හා කතාබහ කරන්නට රොක් වූහ. ජූනි 12 වැනි දා මනෝගේ උපන් දිනයයි. දෝහා කටාර්හි දී සුද්දෙක් ඔබ අමතයි දර්ශනයක් සංවිධාන කොට තිබුණේ කලකට පෙර වූවත්, මනෝගේ කාර්ය බහුලත්වය නිසා හා රෝගී තත්ත්වයන් නිසා කිහිප වතාවක් ම කල් දමා තිබිණ. මෙවර එම රංගනය කෙසේ හෝ කළ යුතුය යන අදිටනින් යුතුව වෛද්‍ය උපදෙස් ලබා ගෙන දෝහා කටාර් සුද්දෙක් ඔබ අමතයි දර්ශනයට සහභාගී වෙමින් තම උපන් දිනය ද එහි දී සැමරුවේය.

මිතුරන්ගේ ඉල්ලීමක් වෙනුවෙන් වූ පොරොන්දුවක් මනෝ අතින් බිඳෙන්නේ කලාතුරකිනි. ජර්මනියේ ප‍්‍රිස්බර්ග් හි වෙසෙන ඔහුගේ පාසල් මිතුරා, පොරමඩුල්ල මැදි විදුහලේ මිතුරා, අමරසිරි ගුණවර්ධන, කලාකරුවන්ගේ මිත‍්‍ර සමාගම ප‍්‍රිය කළ සහෘදයෙකි. ඔහුගේ සමීප මිතුරකු වූ ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ වියෝවින් පසු ඈත දුෂ්කර ගම්මානයක පාසලක් සඳහා ඔහුගේ ධන පරිත්‍යාගයෙන් පතී නමින් පාසල් ගොඩනැඟිල්ලක් තනවා තිබිණ. එහි විවෘත කිරීමේ උළෙලට මනෝගේ සහභාගීත්වය අවශ්‍ය වන බව කලින්ම මනෝට දන්වා තිබිණ. දෝහාකටාර් චාරිකාව නිම කොට පැමිණ අනෙක් අතට මනෝ මිතුරාගේ ඉල්ලීම ඉටු කිරීමට මරදන්කඩවලට එහා පදවිය ගම්මානයේ ධර්මසේන පතිරාජ නමින් ඉදි කළ පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීමට සහභාගී වී පසු දා අලූයම නිවසට පැමිණියේ සුපුරුදු සුවයෙන් නොවේ.
 
 ජූලි මාසයේ දී යළි රෝහල් ගතවන මනෝ පසුව මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගත්තේය. වරින්වර ඔහු ගේ මතකය අලූත් වේ. මිතුරන් හඳුනා ගනී. අතින් අල්ලා ගෙන සිටී. එහෙත් පෙරදා දුටු මනෝ අපට හමු නොවේ. ඔහු රෝහලේ සිට යළි නිවසට පැමිණෙන්නේ නිවසින් පිටව ගිය මනෝ ලෙස නොව එක්තැන්ව සිටීමට පුරුදු විය යුතුය යන සංඥාව රැගෙන පැමිණි රෝගී මනෝරත්න ලෙසය. ඉන් පසු කිසි දින මනෝ සයනයෙන් නැඟිට්ටේ නැත. බිරිඳ ජයන්ති, දියණි ඉන්දීවරී උත්පලා, බෑනණුවන් වූ ශිවංක, ඥාති මිත‍්‍රාදීන්ගේ සුවදුක් විමසුමට ලක්වෙමින් නොඅඩුව අවශ්‍ය ඖෂධ හා ආයුර්වේද ප‍්‍රතිකාර ලබමින්, ඒ හැමටම වඩා වටිනා ආදරය ද ලබමින් මනෝ ජීවිතය හා පොර බැදුවේය. මෙල්බර්න්හි වෙසෙන පුතු භානුක, ලේලිය හිරණ්‍යා හා තිදෙනාම මිණිබිරියෝ මනෝ අසලම වූහ. භානුකගේ දියණියන් අතරින් කුඩාම දියණි සීයා සමග දැවටෙමින් ඔහු හා ඇයට හුරු ඉංග‍්‍රීසි බසින් සීයා අමතමින් ඔහුගෙන් ප‍්‍රශ්න අසමින් සිටිනු මම කිහිප වතාවක්ම දුටුවෙමී. ඔවුන් පෙරළා මෙල්බර්න් කරා ගියේ සැප්තැම්බරයේ දීය. එතෙක් ඉඳ හිට වදනක් හෝ දෙකක් දෙඩූ, ඔහු බලන්නට පැමිණි මිතුරකු හඳුනාගන්නට හැකි වූ මනෝ ඔක්තෝබර් අග සිට නිසලව නිහඬව වැතිරී සිටින රූපකාය පමණක් බවට පත්වීය.

මෙල්බර්න්හි වෙසෙන මනෝගේ මිත‍්‍ර සමාගමය, ජයශ‍්‍රී හා දීපාලි, මිලංකා, මංජිත චන්ද්‍රජිත්, රාජා රාජපක්ෂ, අතුල සමරසේකර, විලාඞ් අල්විස්, ශ්‍යාමන් ජයසිංහ, කුමාර් හා සිරිමා එදිරිවීර, විජේ, රේණුකා, යසෝදරා, කුසුම්සිරි හා එහි වෙසෙන මනෝට ආදරය කරන, පේරාදෙණිය සරසවියේ ආදි විද්‍යාර්ථීන් ඇතුළු රසිකයන් විසින් මනෝ නමින් මනෝගේ ගීත සන්ධ්‍යාවක්, 2019 අගෝස්තු 30 වැනි දා මනෝරම්‍ය ගීත සන්ධ්‍යාව නමින් පවත්වා ඉන් ලද අරමුදල් මගේ පෞද්ගලික බැංකු ගිණුම හරහා මනෝට ලැබෙන්නට සලස්වමින් තම මිතුරු කලාකරුවාට අනුග‍්‍රහය දැක්වූ බව මතකය. මනෝ දැක ගන්නට ඔහු කොහි සිටින්නේ ද කියා දැන ගැනීමට මිතුරෝ රසිකයෝ උත්සාහ කළහ. ඉඳ හිට මනෝ බලන්නට යෑමට පුරුදුව සිටි මම ඒ ගමන් අත් හිටවූයේ ඔහු දැකීමෙන් පසු සිත පිරෙන දුක ශෝකය වාවා ගන්නට නොහැකි නිසාමය. කතාබහ කළ දිනවල අතින් අල්ලා වචනයක් දෙකක් පවසන්නට උත්සාහ ගත් මනෝ වෙනුවට, දෑස් නොහරින, මුව ගොළු වූ මනෝ කෙනකු දකින්නට, එසේ දැකීමෙන් පසු දැනෙන වේදනාව විඳ දරා ගැනීමට අපොහොසත් බැවින් ම ඔහු දැකුමෙන් ඈත් වී සිටියෙමි.
 
 මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රට මනෝ බලන්නට අවශ්‍ය වූයේය. ජයන්තිට කතා කොට ඔහුටත් පුතු සචිත‍්‍රටත් මනෝ දැක ගන්නට ඉඩ සලසා දුනිමි. රෝගීව එක්තැන් වූ මනෝ, වරක හෝ දැක බලා ගන්නැයි සුනිල් ආරියරත්න හා නන්දා මාලනීට බොහෝ වර කීව ද ඔවුන් දෙදෙනාට ඊට ඉඩ නොලැබිණ. පසුව එක් සවසක මනෝ දැකීමෙන් පසු කාමරයෙන් එළියට පැමිණ සුනිල් දැඩි ලෙස කම්පාවට පත්ව හැඬූ බව ජයන්ති මා සමග කීවාය. පසු දිනෙක සුනිල් මගෙන් විමසූයේ මනෝ එලෙස ජීවත්වීමේ තේරුම මොකක් ද බුද්ධි කියායි. උත්ප‍්‍රාසය වන්නේ ඔවුන් දෙදෙනා මනෝ දකින්නට යද්දී මනෝගේ සුවදුක් විමසා නිවසින් එළියට ආ මිතුරා වූයේ සුමින්ද සිරිසේන වීමය. පෙරදා ජීවිතය සමග පොර බැ¥ සුමින්ද සුවපත් වෙමින් සිටිනා කල, ඔහු බලන්නට මනෝ ප‍්‍රමුඛ අප කණ්ඩායම සති අන්තයක ගම්පහ ගිය ගමන මට සිහි වීය. එදා සුමින්ද මනෝ ප‍්‍රමුඛ අප සැම දැක කතා බහ කරමින් ගී ගයමින් සතුටු වූයේය. මෙදා මනෝට සුමින්ද හෝ අප කිසිවෙක් නොපෙනේ. කතාබහක් නැත. මනෝ මෙබඳු ජීවිතයක් කෙලෙස ගත කරන්නේදැයි අදහා ගත නොහැකිය. ජීවිතය යනු එය දැයි නොදනිමි. නිහඬව නිසලව සිටිනා මුත් මනෝගේ රූපකාය හෝ දකින්නට රිසි මිත‍්‍ර සමාගමයෙහි කිසිදු අඩුවක් නොවීය. ජයන්ති සෑම අවස්ථාවකම ,ඔහුට ප‍්‍රතිකාර නොකරන සැඳෑ කාලයේ දී දොරගුලූ විවර කොට මනෝ දැක ගන්නට රසිකයනට ඉඩ සලසා දුන්නාය. ඔක්තෝබර් අග කාලයේ සිට මනෝ නොවේ නෙතක් විවර කොට ඔවුන් දෙස බැලූයේ. මුව විවර කොට වදනක් දෙඩූයේ. හද ගැස්ම පමණක් ඉතිරිව තිබූ මනෝගේ රූප කාය දැකීම සිතට දුක් වේදනාවක් මිස සතුටක් ගෙන නොආවේය. මේ මාස කිහිපයෙහි ඇතැම් සමාජ මාධ්‍ය ජාලා හා මුහුණු පොත මිතුරන් විසින් මනෝට නිවන් සුව ප‍්‍රාර්ථනා කිරීමට ද උනන්දුවක් දක්වා තිබිණ. ඒවාට කොතෙක් පිළිතුරු ලීව ද ඔවුන් උත්සාහය අත් හැර තිබුණේ නැත. ඒ පිරිස් ඉන් කුමන සතුටක් ලැබුවාදැයි නොදනිමි.මා අවසන් වරට මනෝ දුටුවේ 2019 දෙසැම්බර් 22වැනි දාය. මනෝගේ නිවස යාබද රතනාරාම විහාරයේ ඉරුදින දහම් පාසලේ තෑගි බෙදා දීමේ උත්සවයට දෙසුමක් සඳහා ගිය පසුවය. මනෝගේ නිවසට ගොඩ වැදී කාමරයට එබී ඔහු මුහුණ බලා පිටතට පැමිණියේ එහි රැුඳී සිටීමෙන් සිතට දැනෙන වේදනාව විඳින්නට ඇති නොකැමත්ත නිසාය. එහෙත් නිරතුරුවම මනෝගේ දියණි උත්පලා , (ගුංගී* ගෙන් හෝ බිරිඳ ජයන්තිගෙන් මනෝගේ සුවදුක් විමසීමේ පුරුද්ද අත් නොහළෙමි.
 
 2020 ජනවාරි 11 වැනි දා අප සමග හොල්සිම් ආයතනයේ සේවය කළ ලිලන්ත සුබසිංහ සගයාගේ දියණියගේ විවාහ මංගල සාදය තලවතුගොඩ ග‍්‍රෑන්ඞ් මොනාක් හි පැවතිණි. මනෝ පිළිබඳ මතකය අවදි වූයේ එදින රාත‍්‍රියේ එහිදී හමු වූ මිතුරන් දෙදෙනකුගේ කතාබහ නිසාය. වෘත්තීකයන්ගේ සංගමයේ ධඡු් සරත් ගමගේ හා ජයන්ත ගාල්ලහේවා මා සමග කතාබහේ දී මනෝට දැන් කෙසේදැයි විමසූහ. වෙනසක් නෑ, ඔහේ ඉන්නවා , මගේ පිළිතුර විය. ඔවුන් දෙදෙනම පසුගිය වසරක මගේ පොත් දොරට වැඩුමක දී මනෝ කළ කතාව යූ නළයෙන් (ඹ ඔමඉැ* නරඹා තිබිණ. එය අපූරු විස්මිත දෙසුමක් යැයි ඔවුහු කීහ. මා පිළිබඳ, මගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ පවුලේ තොරතුරු පිළිබඳ මනෝ කෙසේ තොරතුරු සොයා ගත්තේදැයි ඔවුහු විමතියට පත්ව සිටියහ. ඒ මතකය සමග මා නිවසට පැමිණියේ 11 වැනි දා රාත‍්‍රී 11 ට පමණය.
 
 මැදියම් රැුයේ මගේ ජංගමයා හඬන්නට පටන් ගත්තේය. පිළිතුරු දීමට පෙර ඇමතුම විසන්ධි වූ මුත් කතා කළේ සෝමපාල පතිරගේ මිතුරා බව දැන ගතිමි. ඔහු මනෝගේ නාට්‍ය කණ්ඩායමේ සංවිධායක, නළුවා , අප මිතුරා වූයේය. ඔහු මේ මැදියම් රැුයේ මා අමතන්නේ කුමන පණිවුඩයක් දීමට දැයි දෙවරක් සිතන්නට මට අවශ්‍ය නොවූ මුත් මම පෙරළා ඔහු ඇමතු වෙමි. ‘ බුද්ධි දැන් ටිකකට කලින් මනෝ අය්යා නැති වුණාලූ ‘ ඔහු කීවේ එපමණයි . ඒ පුවත එතරම් කලින් ලැබේවි යැයි සිතුණේ නැත. 12 වැනි ඉරිදා අලූයම එකයි තිහට පමණ මනෝ සදහටම අප හැර දමා ගිය පුවත බෑනණුවන් වන ශිවංක සනාථ කළ පසු මොහොතකට හදවත නැවතුණු සෙයක් දැනුණ ද, මා පළමුව කළේ මනෝ සැබැවින්ම දිවි සැරිය නිමා කළ බව මුහුණු පොත පෝස්ටුවක් මගින් දැනුම් දීමය. මෙල්බර්න්හි වෙසෙන මනෝ හා අපගේ සන් මිත‍්‍ර මනෝ දැකගන්නට නොලැබීමෙන් දුකට පත්ව සිටි ජයශ‍්‍රී චන්ද්‍රජිත් වෙත දුරකතන ඇමතුමක් ගත්තෙමි. ඔහු නොපෙණුන මුත් ඔහුගේ හැඬුම මට ඇසිණ. මොහොතක් අප දෙදෙනා අතර කතාබහක් නොවිණ. ‘එක අතකට හොඳයි මචං මනෝ තවත් දුක් විඳ විඳ ඒ විදියට ඉන්නවට වැඩිය.

‘මා කියන්නට සිතා සිටි වචන ජයශ‍්‍රීගේ මුවින් නික්මිණ. ‘එහෙම නම් උඹල වැඩ ටික කරපල්ලා, දැන් කට්ටිය එයි මනෝට අයිතිවාසිකම් කියන්න..‘ ඒ ඔහුගේ වචනයි. ඉන්පසු සුනිල් ආරියරත්න ඇමතූ මුත් පිළිතුරක් නොවිණ. රූ ගත කිරීම් සඳහා හම්බන්තොට යන බව මා හා පැවසූ බව මතක් විණ. මනෝ හා අප දෙදෙනාගේම මිත‍්‍ර කේ.බී. හේරත් නින්දෙන් අවදි කරවා පුවත සැල කළෙමි. පසුවදා උදෑසනම 80 කණ්ඩායමේ සාමාජිකයකු වූ ද, සොක‍්‍රටීස් නව නිෂ්පාදක හා උක්දඬු ගින්න නාට්‍යය නිෂ්පාදනය කළ මිතුරා, නිමල් ඒකනායක සමග පෙරවරුවේම අබේරත්න මාවතට ගියෙමු. එතෙක් මනෝ සිටි කාමරය දැන් හිස්ය. කතා නැති, දෑස් නොහරින හෝ මනෝ කෙනකු එහි නොවේ. සියල්ල පාලූය. හිස්ය. මහා දුකකින් හදවත් පිරී තිබෙනු දැනේ. භානුක පුතු ඉරිදා රාත‍්‍රියේම පැමිණෙන බැවින් අවමංගල කටයුතු 15 වැනි බදාදාට නියම කොට තිබුණි.

සවස 5 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ දී කටයුතු කරන බව දැන ගතිමු. මනෝ වැනි මහා පුරුෂයකු පෙට්ටිය පිටින් ගෑස් පෝරණුවට දමනු වෙනුවට ගෞරවාන්විතව ආදාහන කටයුතු සිදු කළ යුතුය යනු මගේත් නිමල්ගේත් අදහස විය. අප දෙදෙනා පවුලේ අයට ඒ බව දැනුම් දුන්නා පමණක් නොව චිතකය සඳහා වන වියදම අප විසින් දරණු ලබන බවද කීවෙමු. කැනඩාවේ වෙසෙන අජිත් ජිනදාස හා චන්ද්‍රරත්න බණ්ඩාර ඇතුළු මනෝට ආදරය කරන මිතුරන් ඊට උදව් කිරීමට ඉදිරිපත් වූහ. සෝමසිරි අද්දරපතිරණ, මහාචාර්ය විමල් රන්කඩුව, එච්.ඞී පේ‍්‍රමසිරි, පේ‍්‍රම් දිසානායක, නිමල් හා මා එක් වී පිරිවැයෙන් විශාල ප‍්‍රතිශතයක් සඳහා දායක වූවෙමු. රථවාහන හැසිරවීමට, නිවසට එන පිරිසට 15 වැනි දා තෙක් ආහාර සැපයීමට කටයුතු සම්පාදනය කිරීම වැදගත් බව හඳුනාගත්තෙමු. 12 වැනි දා සිට 15 වැනි දා රාත‍්‍රිය තෙක් රතනාරාම පාරේ සියලූම අසල්වැසි නිවැසියන්ගේ නිවෙස් හි ගේට්ටු වෙලාවක් කලාවක් නොබලා විවෘතව තිබුණේ මනෝ ට ඔවුන් තුළ වූ ආදරය නිසාය. 12 වැනි දා සිට 15 වැනිදා තෙක් ඇතැම් රැුයෙක නිවැසියන් නින්දෙන් අවදි කරවා තම වාහන එළියට ගන්නට පවා සිදු වූව ද ඔවුනගේ මනුස්සකම නින්දට වඩා වටිනා බව පෙන්නුම් කළ බව දුටිමි. රැුය දවාල නොබලමින්. දිවයිනේ නෙක දෙසින්, නෙක වයස් මට්ටම්, විවිධ වෘත්තීන්වලට අයත් දෙනෝ දාහක් දෙනා ඔවුන් ආදරය කළ රසවතා ගේ මුහුණ දකින්නට එක් රොක් වූයේ සැබෑ කලාකරුවා මිනිසුන්ගේ හදවත්හි සැමදා ජීවත්වන නියාමය සනාථ කරමිනි.

මනෝගේ බිරිඳ ජයන්තිගේ ඉල්ලීම වූයේ මනෝගේ කැමත්ත පරිදි සියලූ කටයුතු චාම්ව හා නිවසෙහි, ගමෙහි සිදු කිරීමට උපකාර කරන ලෙසය. මනෝට රාජ්‍ය ගෞරව නොලැබුණේ කිමද වැනි ප‍්‍රශ්න ඇතැම් පිරිස් විසින් නඟා තිබුණ ද, එවැන්නක් පිළිබඳ ප‍්‍රශ්නයක් පවුලේ හෝ මනෝගේ සමීප මිතුරු සමාගමයට නොවුණේ සියල්ල මනෝ පවසා තිබූ ලෙස ඔහුගේ කැමැත්ත පරිදි ඉටුවන බැවිනි. අවමඟුල් උත්සවයේ එක් පැවිදි කතාවක් හා එක් ගිහි කතාවක් පමණක් විය යුතුය යන්න හා ගිහි කතාව මහාචාර්ය සුනිල් ආරියරත්න හෝ ජැක්සන් ඇන්තනි විසින් කළ යුතුය යන්න ඒකමතික තීරණය වීය. සුනිල් ආරියරත්න ඔහුගේ නවතම චිත‍්‍රපටයේ රූ ගත කිරීම් අතර හම්බන්තොට සිරවී සිටියේ දැඩි සොවිනි. ඔහුට මනෝගේ දේහයට ගෞරව දක්වන්නට හෝ ඉඩක් සොයා ගත නොහී දැඩි දුකකින් හා කම්පාවකින් සිටි බව මම දනිමි. මනෝ පිළිබඳ රූපවාහිනී නාළිකා සියල්ලම, පුවත්පත් සියල්ලම, සමාජ මාධ්‍ය ජාලා සෑම එකක්ම නිසි ගෞරව ලබා දුන් ආකාරය විශිෂ්ටය.
 
 දැන් සියල්ල නිහඬය. ගුරුතරුව බැස ගොසිනි. පේ‍්‍රමයෙහි අරුත පහදා දෙන්නට උද්දාල බමුණු එනු නොපෙනේ. ජීවන බරින් පෙළෙමින් සිටින මිනිසුන් ගේ ජීවිතවලට සැහල්ලූ සරල විනෝදය රැුගෙන ආ අන්දරේ කොහි වේ දැයි නොදනිමි. තම
 
 වැසියන්ගේ මා පියන් ඔහු හා ඔහුගේ දේවිය බව පැවසූ වෙසතුරු නිරිඳු ද අද දකින්නට නොමැත. එහෙත් ජයලත් මනෝරත්න නම් වූ පටිසෝතගාමී තීර්ථ යාත‍්‍රිකයා කොහේ හෝ සිට අප දෙස බලා සිටිනු අපට පෙනේ. අපට දැනේ. 15 වැනි ඉරිදා සැඳෑ යාමයේ බොරලැස්ගමුව සුසානභූමියේ සුදුපාට චිතකය මුදුණින් කළු දුම් ගොබයක් සේ හිස් අහසට එක් වූයේ දැවී ගිය ඔබගේ නිසල සිරුර දැවෙන කල්හි නඟුණු දුමක් මිස අප හදවත්හි සදාකාලිකව තැන්පත් කොට ඇති ඔබගේ ගුණ සුවඳ නොවේ.
 
 මනෝ ඔබ විශිෂ්ටය. අතුල්‍යයය. ජීවමානය.
 
 බුද්ධදාස ගලප්පත්ති


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles