Divaina - ගායනා කළ ගීත ගණන තුන්සීයකටත් වැඩියි.... ගීත 40ක් 50 ක් ගොඩක් ජනප‍්‍රියයි...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

chandana222
* මගේ ‘මා මේඛලාව’ ගසල් ආරේ ගීතයක්

ඔහු එක් රැයකින් ජනප‍්‍රිය වූ ගායකයකු නොවේ. නමුත් ”පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්” ගීතයේ පටන් මේ වෙනකොට ඔහු නොහඳුනන්නෙක් නොමැත. බාල, තරුණ, මහලූ, දුප්පත්, පොහොසත් කිසිදු භේදයක් ඔහුගේ රසික පිරිවරෙහි නොමැත. ප‍්‍රයිවට් බස් රථවල, ත‍්‍රි රෝද රථවල, නිවෙස්වල මෙන්ම සුඛෝපභෝගී ඉහළ පැලැන්තියේ වාහන තුළද, ප‍්‍රසංග වේදිකාවේද ඔහුගේ හඬ, ඔහුගේ ගීත අනිවාර්ය සාධකයකි. අද, දිවයින මීවිත සුන්දර 90 කතාබහ ඔහු සම`ගයි. ඔහු චන්දන ලියනාරච්චි.......

ඔබ අලූත් ගීතයක් සහ වීඩියෝ එකක් කළා නේද?

මෑත කාලේ ගීත හුඟක් කළා. අලූත් ගී පද රචකයින් ගේ ගීත තමයි හුඟක්. ජගත් රත්නායක සංගීතවේදියා ගේ නිර්මාණයක් කළා ”මා මේඛලා” නමින්. මේ ගීතය නව ආරක සංගීතය මුසුවූ නිර්මාණයක්. ටිකක් ගසල් ගීතයක් වගේ. වේග රිද්ම නොවන (මන්දගාමී* ගීතයක් වුණත් තනුව ලස්සනයි. පද ෂෙහාන් ගලහිටියාව. මගේරූප රචනා ගොඩක් නෑ. නාලිකාවලින් හරි වෙනත් කෙනෙක් හරි කළ රූප රචනා සීමිත ප‍්‍රමාණයක් තමයි තියෙන්නේ. නමුත් මේ ගීතය මගේ ප‍්‍රතිපාදන සහිතව මමම මහන්සිවෙලා කරපු වීඩියෝ එකක්. ඒක අලූත් අත්දැකීමක්. තව සතියකින් වගේ ”මා මේඛලා” නිකුත් කරන්නයි අදහස.

ඔබ අලූත් නිර්මාණකරුවන් සම`ග නිර්මාණ ගණනාවක් කළා නේද?

දර්ශන වික‍්‍රමතුංග සංගීතවේදියාගේ ගීත ගණනාවක් මෑත කාලයේ ගායනා කළා. මගේ ශෛලිය සහ සුභාවිත ගීත කලාව වෙනුවෙන් ඔහු කරන නිර්මාණ ඉහළ දායකත්වයක් කියලා මං විශ්වාස කරනවා. මේ කාලයේ තරුණ සංගීතවේදියෙක් විදිහට ඔහු යම්කිසි මෙහෙවරක් කරමින් සංගීත කලාව තුළ ඉදිරියක් නිර්මාණය කරන සහ අමාරු ගමනක් යන සංගීත වේදියෙක්. හොඳ නිර්මාණ කරමින් හෙමින් ගමනක් යන කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහුගේ හොඳ නිර්මාණ ගණනාවක්ම ගායනා කරන්න මට පහුගිය කාලයේ අවස්ථාව ලැබුණා. ඒ අලූත් ගීත කිහිපයක්ම ඉදිරියේදී එළිදක්වන්න නියමිතව තිබෙනවා. නමුත් නිර්මාණ ජනගත කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා කලාකරුවන්ට. අලූත් නිර්මාණ නොකරනවා නෙමෙයි කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ගීත අන්තර්ජාලයට එකතු කරනවා. ඒත් සියලූ රසිකයන්ට අන්තර්ජාලය ඔස්සේ නිර්මාණ ළඟා වන්නේ නැහැ. අනිත් අයට මේ ගීත අහන්න දකින්න ලැබෙන්නේ නැහැ.

වැරැද්ද මාධ්‍ය ආයතනවලද?

මම මාධ්‍යවලට දොස් කියනවා නෙමෙයි. අද වෙන්කල් හැම මාධ්‍යකින්ම මගේ ගීත ප‍්‍රචාරය වෙනවා. නමුත් අලූත් නිර්මාණවලට ලැබෙන ඉඩ ටිකක් මදි කියලා හිතෙනවා. මං කියන්නේ පොදු කාරණාවක් ගැන. මාධ්‍යවලින් මට තවමත් ලැබෙන ඒ සහයෝගය, මම ස්තුති පූර්වකව සිහිපත් කරනවා. අනික රසිකයන්ගෙන් ලැබෙන ආදරයත් සිහිපත් කරන්නම ඕන. ඉස්සර ඇල්බම් එකක් නිකුත් කළාම සමහරවිට අපි ගිහිං නුදුන්නත් මාධ්‍ය තුළින් ඒවා ප‍්‍රචාරය වුණා. අනික සී ඞී හෝ කැසට් පටයකින් ආදායමකුත් ලැබෙනවා. ඒ හැමදේටම අමතරව රසිකයෙක් අපේ ගීත ඇල්බමයක් මිලදී ගත්තා කියලා කියන්නේ ඒ ගීත සියල්ලම අහනවා. සමහරවිට මාධ්‍යවලින් ප‍්‍රචාරය නොකරන ගීතත් රසිකයන් අතරට යනවා. මුල් යුගයේ සමහර ගීත ගැන අදටත් රසිකයන් කතා කරන වෙලාවල් තියෙනවා. ඒ සමහර ගීත මාධ්‍යවලින් එතරම් ප‍්‍රචාරය වූ ගීතත් නෙමෙයි. ඉතිං ඒ වාසිය තියෙනවා ඇල්බම් එකක් කළාම. අනික ගීත දහසයක් කළාම ඔක්කොම නැතත් ගීත පහක් හයක් හෝ ජනප‍්‍රිය වීමේ ඉඩක් තියෙනවා. එකක් දෙකක් කළාම මේ තියෙන තරඟකාරීත්වයත් එක්ක ජනගත වීම සහ ජනප‍්‍රිය වීම ලෙහෙසි නැහැ. අලූත් ගීතයක් ජනප‍්‍රිය කරගැනීම ජනගතකර ගැනීම අද කාලේ හරිම අමාරු දෙයක් හැටියටයි මං සලකන්නේ.

චන්දන ලියනාරච්චිගේ ගීත එකතුව මේ වෙද්දී කොයිතරම් පොහොසත්ද?

මගේ ගීත තුන්සියයකට වඩා ඇති කියලා හිතනවා මෑත කාලයේ ගායන කරපු ගීතත් එක්ක. ඉන් හතලිහක් පනහක් විතර ඇති වඩාත්ම ජනප‍්‍රිය වූ ගීත.

කවදාහරි වෙන රැුකියාවක් කරලා තියෙනවද?

මෙහෙමයි ගායකයෙක් වෙනවමයි කියලා ලොකු බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ. තරුණ සේවා සභාවේ සංගීතය ඉගෙනගත්තා. ඒ සංගීතයට තිබුණු ආසාව සහ ආදරය නිසා. පුදුම උනන්දුවකින් කැපවීමකින් ඒ විෂය කළා. ඒ කාලේ බලාපොරොත්තු වුණේ සංගීත ගුරුවරයෙක් වෙන්න. ඒ දවස්වලම නං බෙල්වුඞ් සෞන්දර්ය නිකේතනයේ බාහිර උපදේශකවරයෙක් වශයෙන් ටික කාලයක් කටයුතු කළා. පස්සේ ප‍්‍රසංග වැඩිවුණාම කාලය කළමනාකරණය කරගන්න එතනිනුත් ඉවත්වෙන්න සිදුවුණා. ඊට පස්සේ දිගටම මේ පැත්තට යොමුවුණා. වෙන දෙයක් ගැන හිතුවෙත් නෑ. හිතන්න වුණෙත් නෑ. අනික මං කලාකාරයෙක් විදිහට ටිකක් නිදහස ප‍්‍රිය කරන කෙනෙක්. ඉතිං ඒකත් එක්ක ව්‍යාපාර වගේ දේවලූත් පටන් අරං නිදහස නැති කරගන්න මං කැමති වුණේ නෑ. ලැබුණු නිර්මාණත් එක්ක සංගීත ගමන ටික ටික නිර්මාණය වුණා. බොහොම හෙමින් ගමනක් ආවේ. ගායකයෙක් හැටියට හොඳ ගමනක් එන්න පුළුවන් වුණා කියලා අද මං නිහතමානීව සතුටු වෙනවා සහ එහෙම එන්න පුළුවන් වුණා කියල හිතනවා.

ඔබ ක්ෂේත‍්‍රයට ආව කාලය මතකද?

ඒ යුගයේ මට කලින් ජනප‍්‍රිය වුණා ප‍්‍රින්ස් උදයප‍්‍රියන්ත. මට ඔහුගේ ගමන දැක්කම අදහාගන්න බැරුව ගියා. මොකද පුදුමාකාර ජන ප‍්‍රසාදයක් ලැබුණ ඔහුට. ඊට පසුව තමයි මම ජාතික තරුණ සේවා සභාවෙන් මාව ක්ෂේත‍්‍රයට යොමුවුණේ. තරඟකාරීත්වය කියන එක ඒ කාලෙත් තිබුණ. කැසට්, සී ඞී නිකුත් කරපු කාලෙනේ. කොහොමහරි ජනප‍්‍රිය වෙන්නම ඕන කියලා හිතා ගෙන නෙමෙයි මං ගීත ටික කළේ. ජනප‍්‍රියත්වය ටික ටික තමයි නිර්මාණය වුණේ. මුලින්ම රූපවාහිනී මාධ්‍යයෙන් ගීතයක් ප‍්‍රචාරය කරගන්න සෑහෙන උත්සහයක් දැරුවා. එක වැඩසටහනකට ගීතය ගායනා කරලා ප‍්‍රචාරය වෙන දවස බොහොම බලාපොරොත්තුවකින් ආසාවකින් තමයි බලාගෙන හිටියේ. ඒක මගේ ජීවිතේ අමතක නොවන සටහනක් වුණා ගායන ශිල්පියෙක් හැටියට. ඒ දිහා බලාගෙන පුදුම සතුටක් වින්දේ. සිත පරව ගියා ස්වාධීන රූපවාහිනියේ මියැසි විසිතුරේ ප‍්‍රචාරය වුණා. රන් තාරුකා පීදිලා රැුයේ රූපවාහිනියේ මනෝහාරී එකට ගායනා කළා. ඒ මගේ ගීතයක් රූපවාහිනී නාලිකාවක ප‍්‍රචාරය වූ පළමු අවස්ථාව.

පළමු කැසට් එක, පළමු ප‍්‍රසංගය මතකද?

”සිහින කුමාරියේ” 1994 පළවෙනි කැසට් එක. ඉන් පස්සේ ගීතවලට ජනප‍්‍රසාදය, ජනප‍්‍රියත්වය ලැබුණා. රසිකයන්ගේ ඉල්ලූම ලැබුණා. රසිකත්වය නිර්මාණය වෙන්න ගත්තා. පළවැනි විදෙස් සංචාරය ඩුබායි ගියේ 98 විතර. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා තමයි මට ඒ සංචරයට අවස්ථාව හදලා දුන්නේ. අපේ තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨයෙක් ඔහු. මගේ පළවෙනි ප‍්‍රසංගය වත්තල මාබෝල ප‍්‍රදේශයේ කානිවල් එකක්. ෂා කියලා ඒ කාලේ ජනප‍්‍රිය බෑන්ඞ් එකක් තමයි සංගීතය සැපයුවේ. ඒ බෑන්ඞ් එකේ හිටපු අය දැන් ප‍්‍රසිද්ධ සංගීතවේදීන්. මට මතක හැටියට පුංචි මුදලක් හම්බවුණෙ රු.1500 වගේ. මං කතෝලිකයෙක් හැටියට ඉස්සෙල්ලම මුදලක් අයින් කළා දෙවියන්ට. ඒ කියන්නේ පල්ලියට පඬුරු වෙන්කළා. ඉතුරු සල්ලිවලින් මොකද කළේ කියලා හරියටම මතක නෑ. හැබැයි ගෙදරට අම්මටයි, තාත්තටයි මොනවහරි තෑග්ගක් ගෙනියන්න ඇති. මොකද මං ඒ වගේ දේවල් තමයි කළේ කීයක් හරි හම්බුණාම.

ඒ කාලේ රසික ආදරය?

රසික ආදරය ඒ කාලේ කිව්වේ ලිපිවලින්. ඊටත් එහා ගිය ආදර ලිපිත් ලැබුණා. සුවඳ තියා, කවි සීපද, පමා වැඩි, පේ‍්‍රමය ලොව වැනි ගීත ජනප‍්‍රිය වීමත් එක්ක හරියට ලියුම් ආවා. සමහරවෙලාවට මට බලන්න වෙන්නෙත් නෑ. එහෙම වෙලාවට මගේ අක්කලා බලලා ඒවාට උත්තර ලියනවා. ඒ කාලෙ මාව හොයාගෙන ගෙදරට රසිකාවියන් ආව වෙලාවලූත් තියෙනවා. ඒ වෙලාවට වැඩිහිටියෝ මැදිහත්වෙලා තේරුම් කරලා ආපහු යවනවා ඉතිං. ගීත නිසා ලැබුණු රසික ආදරය එහෙමයි. ඒ කාලේ මගේ පෙම්වතිය හිටියා. ඒ දවස්වල අපි එතරම් පරිණත නැහැ. අත්දැකීම් නැහැ. ඉතිං පොඩි පොඩි ගැටලූ මත ගැටුම් මතුවුණ වෙලාවලූත් තිබ්බා රසික ආදරය නිසා. ඉතිං කතා බහ කරලා විසඳගෙන ජීවිතේ ඉස්සරහට ආවා, ඒවා ලොකු ප‍්‍රශ්න කරගන්නේ නැතුව. රසික ආදරය ඔවුන්ගේ අදහස් උදහස් කලාකාරයෝ විදිහට අපට අවශ්‍යයිනේ.

ගෙදර අයගේ ආදරය ගැනත් කියමු නේද?

මගේ ආදරණීය බිරිඳ නදීශිකා ශ‍්‍රීදේවි. ඇය නර්තනය හදාරපු කෙනෙක්. රැුකියාවක් කරන්නේ නැහැ. විවාහ උත්සවයකදී හඳුනාගෙන, හිතවත්කමක්

ගොඩනැ`ගිලා, පස්සේ ආදර කතාවක් බවට පත්වුණා අපේ දැන ඇඳුනුම්කම. ඉයන් චන්දීව් අපේ පුතාට අවුරුදු හතයි. එයා දැන් දෙක වසරේ. ගායනයට වාදනයට උත්සහ කරනවා. උත්සවවලදී එහෙම මාත් එක්ක ගීත ගායනා කරනවා මං ගයද්දී. සංගීතය කරන්න අවස්ථාව හදලා දෙනවා. එයා කැමති අංශයකින් ඉදිරියට යාවි ඉතිං. මගේ තාත්තා අවුරුදු 9 ට කලින් අපෙන් සමුගත්තා. අම්මා අපිත් එක්ක ආදරෙන් ඉන්නවා. මට සහෝදරියෝ හයදෙනෙක් ඉන්නවා. සහෝදරයෝ දෙන්නයි. ඒත් එක අයියා කෙනෙක් දැන් අපි අතර නැහැ. මගේ පොඩි අක්කා කන්‍යා සොහොයුරියක්. අපේ පවුලේ කවුරුවත් සංගීතයට සම්බන්ධ නැහැ. හැබැයි කීපදෙනෙකුට ගායන හැකියාව තියෙනවා. ලොකු අයියා ලොකු සහයෝගයක් දුන්නා. අක්කලත් එහෙමයි. පවුලෙන් ලොකු සහයෝගයක් ශක්තියක් ලැබුණා මගේ සංගීත ජීවිතයට. ඒක ආශිර්වාදයක් වුණා.

මුලින්ම ගීතයක් ගායනා කළ දවස මතකද ජීවිතේ?

මුලින්ම තුනේ පන්තියේදී තමයි ගීතයක් ගායනා කළේ. පංති භාර ගුරුතුමිය තමයි හැකියාව තියෙනවා කියලා අඳුරගෙන

අවස්ථාවක් දුන්නේ පාසලේ තෑගී බෙදා දීමේ උත්සවයට ගීයක් ගයන්න. ඒ දියකැටමුල්ල ශ‍්‍රීපති විද්‍යාලයේදී. ඒ අපේ ගමේ ඉස්කෝලේ. ඊට ඉන්පස්සේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගන්නකොට හයේ පංතියේ ඉඳන්ම සංගීතය විෂයක් විදිහට හැදෑරුවා. ඕලෙවල්වලින් පස්සේ සංගීතය නතර කරලා කෘෂි විද්‍යාව කළා උසස්පෙළට. සංගීතය තරම් ඒ මුකුත් හිත ගත්තේ නෑ. ඒ නිසා උසස්පෙළින් පස්සේ සංගීතයටම යොමු වුණා.

මේ අවුරුද්දේ මොකද කරන්න හිතං ඉන්නේ?

මං ක්ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 25ක් විතර වෙන නිසා මගේම කියලා ප‍්‍රසංගයක් කරන්න කාලයක් තිස්සේ හීනයක් තියෙනවා. මගේ පවුලේ ලොකු උනන්දු කිරීමකුත් තියෙනවා ඒ සම්බන්ධයෙන්. පහුගිය කාලේ මගේ ගීත අටක් නැවත ගායනා කළා. නව සංගීතය එක්ක. සිත පරව ගියා, සිහින අසපුවේ, පොල් රුප්පාවේ ඇතුළු තවත් ගීත කිහිපයක් කරන්න හිතා ගෙන ඉන්නවා. තවිම මං චිත‍්‍රපට ගීත ගායනා කරලා නැහැ. ටෙලි නාට්‍ය සඳහා ගීත ගායනා කරලා තියෙනවා. අනික හොඳ යයි හිතෙන නිර්මාණ එකතුවක් තියෙනවා මගේ ළඟ. ඉතිං මෙතෙක් මගේ ගමනට ආශිර්වාදයක් වුණු රසිකයන් වෙනුවෙන් ඒ ගීත එකතුව එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. අපේ රට, රසිකයන්, ක්ෂේත‍්‍රය වෙනුවෙන් ඉදිරියේදීත් හොඳ නිර්මාණ කරන්නයි මගේ බලාපොරොත්තුව.

සුන්දර 90 ගැන මොකද හිතෙන්නේ?

හොඳ යුගයක්. සුභාවිත ගීත කලාව තවදුරටත් නිර්මාණය කරපු යුගයක් සහ දක්ෂතා තියෙන කලාකරුවන් ක්ෂේත‍්‍රයට ප‍්‍රවිශ්ට වුණු සහ ක්ෂේත‍්‍රය වෙනුවෙන් නිර්මාණය වුණු යුගයක් හැටියට තමයි මම දකින්නේ. හැමෝගෙන්ම හොඳ නිර්මාණ සහ හොඳ හඬවල් බිහිවුණු යුගයක්. ඒ කාලෙත් ක්ෂේත‍්‍රයට එන එක ජනප‍්‍රිය වීම අභියෝගයක්. අමාරුකම් තිබුණා. නිතර මුණනොගැහුණත්, ඒ අයගේ හිතවත්කම් සහෝදරකම් එහෙමමයි. ඒ කාලේ හැමෝම හොඳ යාලූවෝ. 90 ආව අය ගෙන් මගේ ළඟම යාළුවා වුණේ දොලමුල්ල. ක්ෂේත‍්‍රයේ එදත් අදත් කවදත් හොඳම යාළුවා ඉන්ද්‍රජිත් දොලමුල්ල. 90 දශකය හොඳ සුන්දර යුගයක් විදිහටයි මා දකින්නේ.

යුගන්ති යශෝධරා


විශේෂාංග

sikuru

සිනමා කලා

samini250

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles