Divaina - ඉගෙනුම පැත්තක දමා ගව ගාලක් සේ පිස්සු නටන නුගේගොඩ බාලිකාවක රඟ.....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

ගයාන් සමරසිංහ
 
balika2මේ නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලකි. බාලිකා විදුහලකි. බෞද්ධ පාසලකි. පෙර විසූ රජ බිසවකගේ නම එම විදුහලට යොදා තිබේ. ප‍්‍රසිද්ධ කාන්තා චරිත ගණනාවක් එම විදුහලින් රටට දායාද කර තිබේ. මෙරට පාසල් අතරින් ප‍්‍රමුඛ ස්ථානයක් ගත් එම පාසලේ වර්තමාන තත්ත්වයනම් ඉතා ශෝචනීය වේ. ඒ කලක සිට එම විදුහල් පරිපාලනයේ පවතින දුර්වලතාවන් නිසාය. එයට ප‍්‍රධාන වශයෙන් වගකිව යුත්තේ එම විදුහලේ වර්තමාන විදුහල්පතිනියයි. පහතින් පෙළ ගැසෙන්නේ එම විදුහලේ සිදු වූ අක‍්‍රමිකතා කිහිපයක්ය.
 
 මෙම විදුහල්පතිනියගේ අත්තනෝමතික ක‍්‍රියාවලින් එක් කරුණක් වන්නේ පාසල් අතරමැද කාලය තුළදී අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති චක‍්‍රලේඛනය පවා උල්ලංඝනය කරමින් ළමයි ඇතුළත් කර ගැනීමයි. එයට උදාහරණ කිහිපයක් තිබේ. ගුරුවරයකු හෝ ගුරුවරියකු තමා සේවය කරන පාසලට අතරමැද කාලයකදී තම දරුවකු ඇතුළත් කර ගැනීමට නම් එම ගුරුවරයා හෝ ගුරුවරිය අවුරුදු තුනක කාලයක් එම විදුහලේ අනිවාර්යෙන්ම සේවය කර තිබිය යුතුය. එහෙත් මෙම විදුහලේ අවුරුදු තුනක සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති ගුරුවරු සිවු දෙනකුගේ ළමයි මෙම විදුහල්පතිනිය ඇතුළත් කර ගෙන තිබේ. ඒ නීතිය පසෙක දමා තම හිතවත්කම මතයි.
 
 තවද මෙම පාසලේ අවුරුදු තුනක සේවා කාලය සම්පූර්ණ කළ ගුරුවරු කිහිපදෙනෙක් තම ළමයි ඇතුළත් කර ගැනීමට කලක සිට බලා සිටී. එහෙත් සුදුසුකම් සපුරා ඇති එම ළමයි මෙම විදුහල්පතිනිය ඇතුළත් කර ගැනීමට පියවර නොගන්නේ කුමක් නිසාද යන්න දන්නේ ඇයම පමණි. එලෙසම ළමයි ඇතුළත් කර ගැනීමේදී තවත් අක‍්‍රමිකතා රැසක් සිදුවී ඇති බව වාර්තා වේ.
 
 ළමුන් ඇතුළත් කර ගැනීම එලෙස වෙද්දී පාසලේ ගුරුවරුන්ට තනතුරු දීමේදී මෙම විදුහල්පතිනිය කි‍්‍රයාකර ඇත්තේ හිතවත්කම මුල් කරගෙන බව සමහර ගුරුවරු පවා චෝදනා එල්ල කරති. සුදුසුකම් ඇති ගුරුවරුන් අංශ ප‍්‍රධානීන් සහ ශ්‍රේණි ප‍්‍රධානීන් ලෙස පත් නොකර තමන්ගේ මතයට ගරු කරන සුදුසුකම් අඩු අතලොස්සක් එම තනතුරුවලට පත්කරගෙන තිබේ. එලෙසම පාසලේ උත්සව සහ කමිටුවලට ගුරුවරුන් පත් කිරීමේදීද ඇය ක‍්‍රියා කර ඇත්තේ පෙර පරිදිමය.
 
 සුදුසුකම් නැතත් ඇයට පක්ෂපාති, ඇයගේ අත්තනෝමතික කි‍්‍රයාවලට උඩගෙඩි දෙන ගුරුවරුන්ට මෙම විදුහලේ ඇත්තේ හොඳ පිළිගැනීමකි. එහි මූලිකත්වය ගන්නේ ගුරුවරයෙකි. මෙම ගුරුවරයාට නිසි සුදුසුකම් නොමැති වුවත් විදුහල්පතිනියගේ අනුදැනුම මත පාසලේ සියලූම කටයුතුවලදි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ මොහු විසින්ය. ලෝක ළමා දිනය නිමිත්තෙන් පාසල තුළ උත්සවයක් සංවිධානය කර තිබුණි. ඒ විදුහල්පතිනියගේ මූලිකත්වයෙන්ය. මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ ඉහත සඳහන් ගුරුවරයා විසින්ය.
 
 සැම ගුරුවරයකුගෙන්ම රුපියල් දාහක මුදලක් එකතුකර ගනිමින් අදාළ දිනයේ උත්සවය පැවැත්වුණි. උත්සවය සැවොම බලාපොරොත්තු වූ අයුරින් පැවැත්වීමට සංවිධායක මණ්ඩලයට නොහැකි විය. මෙහිදී සිදුවූයේ පාසලේ බහුතරයක් සිසුවියන්ගේ සිත් රිදවීම පමණි. එය සිදු වූයේ මෙසේය. එම උත්සවයට සහභාගි කරවා ගත්තේ සෑම පන්තියකම පළමු ස්ථානයේ සිට පස්වන ස්ථානය හිමිකරගත් සිසුවියන් පමණයි. අනෙක් සිසුවියන් දුක්මුසුව බලා සිටියදී එම උත්සවයේ සියලූ වරප‍්‍රසාද භූක්ති වින්දේ එයට සහභාගි වූ සිසුවියන් පමණයි. එතැනින් නොනැවතුණ සංවිධායක මඬුල්ල ඉන්පසු සිදු කළේ දිවා කාලයේ ශිෂ්‍ය නායිකාවන්ට පමණක් දිවා ආහාරය ලබාදී අනෙක් සිසුවියන්ට අයිස්කී‍්‍රම් පමණක් ලබාදීමයි. ඔවුන් ළමා දිනය දා සුළුතරයක් එලෙස සනසා බහුතරයක් දුකට පත් කළේ එලෙසින්ය.
 
එම විදුහලට මෙම වසර සඳහා උසස් පෙළ අංශයට සිසුන් ඇතුළත් කර ගැනීමේදී කෙළින්ම මුදල් ඉල්ලා සිටියේය. එලෙස ලබාදීමට පොරොන්දු වූ මුදල ලකුණු ලබාදුන් ලේඛනයේ වෙනම සටහන් කර ගත්තේය. මෙලෙස නීති විරෝධී මුදල් එකතු කළේ විදුහල්පතිනියට හිතවත් නියෝජ්‍ය විදුහල්පතිනියයි. කලක් ගත වෙද්දී මෙම වංචාකාරි ක‍්‍රියාව පිළිබඳව විගණක අංශයෙන් විගණනයක් සිදු කළේය. ඒ පසුගිය ජුනි සහ ජුලි මාසයන් තුළදීය. විගණනය සිදුවන අවස්ථාවේ එම ලිපිලේඛන තැන්පත් කර තිබූ කබඞ් එක යම් කිසි පිරිසක් විසින් විවෘත කර එහි තිබූ සියලූ ලිපි ලේඛන සොරා ගෙන තිබුණි.
 
 දන්නා තොරතුරුවලට අනුව එම කබඞ් එක කඩා ඇත්තේ විදුහල්පතිනියගේ අනු දැනුම යටතේ ඇයට හිතවත් පිරිසකි. දන්නා පරිදි එය සිදුවී ඇත්තේ මෙසේය. විදුහල්පතිනියට හිතවත් ලිපිකාරිණියක් යතුරුකපන්නෙක් විදුහලට ගෙන්වාගෙන මෙම කබඞ් එක විවෘත කරගෙන තිබේ. එයට නියෝජ්‍ය විදුහල්පතිනියන් දෙදෙනකු සහ වාණිජ අංශයේ ගුරුවරියක සම්බන්ධ වී ඇත. මෙම සොරකම සිදුකර ඇති අවස්ථාවේ එම ස්ථානයේ තිබූ සීසීටීවී කැමරාව රෙදිකඩකින් වසා තිබුණි. එය එලෙස රෙදි කඩකින් වසා ඇත්තේ විදුහලේ සේවකයකු විසින්ය. තවද පුදුමය දනවන කරුණ වන්නේ මෙය සිදුවූ අවස්ථාවේ විදුහල්පතිනිය කෙටි නිවාඩුවක් දමා නිල නිවසේ සිටීමයි. පසුව මෙම සිද්ධිය පාසලේ ප‍්‍රසිද්ධ රහසක් බවට පත්විය. ඉන්පසු මෙම සිද්ධිය පිළිබඳව අදාළ අංශ දැනුවත් කළත් මේ වනතුරුත් කිසිදු පරීක්ෂණයක් සිදුකර නැත.
 
 මෙම විදුහල්පතිනියට එල්ලවන තවත් චෝදනාවක් වනුයේ ළමුන්ට අඩු පහසුකම් සපයා තමන්ගේ සුඛ විවරණය සඳහා වැඩිපුර මුදල් වියදම් කර ගන්නා බවයි. එය පාසල් වාර විභාග ප‍්‍රශ්න පත‍්‍රයේ සිට දැක ගත හැකිය. එලෙස ඇය ළමුන්ගේ වැඩ කටයුතු සඳහා අඩු සැලකිල්ලක් දැක්වුවද තමන්ගේ වැඩ කටයුතු සඳහා වැඩි සැලකිල්ලක් දක්වයි. එයට එක් උදාහරණයක් වනුයේ පාසලේ අවශ්‍යතාවක් යැයි පෙන්වමින් වෑන් රථයක් මිලදී ගැනීමයි. අවසානයේ එලෙස මිලදී ගත් වාහනය ඇයගේ සුව පහසුව සඳහාම පමණක් භාවිත කරයි. පාසලේ සිසුවියන්ගේ ක‍්‍රීඩා කටයුතු, සංගම් කටයුතු ආදිය සඳහා යන්නේ මුදල් ගෙවා කුලී රථවලින්ය. තවද කිසිම බියක් සැකක් නොමැතිව පාසලේ සේවිකාවන් තිදෙනෙක් ඇයගේ නිවසේ වැඩ කටයුතු සඳහා යොදාගෙන තිබේ. එම සේවිකාවන්ට විදුහල්පතිනියගේ රෙදි සේදීමේ සිට සියලූම ඕනා එපාකම් කිරීමට සිදුවේ. එම නිසා පාසලේ වැඩ කටයුත්තක් සිදුකර ගැනීමට සේවකයකු සොයා ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් වේ.
 
 තමන්ට පක්ෂපාතිත්වයක් නොදක්වන ගුරුවරුන්ටද ඇය දක්වන්නේ කුඩම්මාගේ සැලකිලිය. අතවශ්‍ය නිවාඩුවක් ගැනීමේදී පවා එය බලා ගත හැකිය. එයට එක් උදාහරණයක් වන්නේ පාසලේ උගන්වන භික්ෂුණින් වහන්සේ නමක් තමාට හිමි නිවාඩු ඉතිරිව තිබියදී හදිසි නිවාඩුවක් ලබා ගත්තාය. පසුදිනම විදුහල්පතනිය භික්ෂුණින් වහන්සේගෙන් එම හදිසි නිවාඩුව ලබා ගැනීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස දන්වා සිටියාය. තවද මෙම විදුහල්පතිනිය පාසලේ බෞද්ධ වැඩසටහන් කිහිපයක්ම හිතාමතා කප්පාදු කළ බවට චෝදනා එල්ල වේ.
 
 පාසලේ සිසුවියන්ට සහ ගුරුවැන්ට ප‍්‍රමාණවත් තරම් වැසිකිළි පද්ධතියක් නොමැත. සමහර අවස්ථාවලදී සිසුවියන්ට වැසිකිළි යෑමේදි පෝළිම් ගැසී බලා සිටීමට සිදුවේ. වැසි සමයේදි සමහර වැසිකිළි පාවිච්චි කිරීමටද නොහැකිය. සිසුවියන්ට සහ ගුරුවරුන්ට එසේ වුවත් විදුහල්පතිනියට එසේ නොවේ. ඇය තම නිල කාමරය අසල ඇති වැසිකිළියද වායුසමනය කරගෙන තිබේ. තවද සමහර පන්ති කාමර වල සිසුවියන්ට අවශ්‍ය ලෙස ඩෙස් පුටුද නොමැත. මෙතරම් අඩු පාඩු තිබියදීත් විදුහල්පතිනිය ඒ කිසිවක් ගණන් නොගෙන සුර සැප විඳින්නේ මන්ද යන්න සැමටම ප‍්‍රහේළිකාවකි.
 
 ගුරුවරුන්ට ලබාදී ඇති විවේකාගාරය හරක් මඩුවක් වැනිය. අඩි විස්සයි විස්සක පමණ කෑල්ලක් තුළ ඉදිකර ඇති මෙම විවේකාගාරයේ ගුරුවරු 60 ක් පමණ විවේකී කාලයේදි රැඳී සිටින්නේ ඉතා අපහසුවෙන්ය. තවද පාසල තුළදි ගුරුවරුන්ට පාඩම් සකස්කර ගැනීමට සුදුසු ස්ථානයක් නොමැත. එම නිසා සමහර ගුරුවරුන්ට මෙය මානසික වදයකි.
 
 මැතිවරණයක් පවතින සමයක ඇය විදුහලේ ඇමැතිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්වීමට සූදානම් කළේය. ඒ ප‍්‍රාථමික අංශයේය. එම අංශය භාරව සිටින සහකාර විදුහල්පතිනිය මුලින්ම එය දැන සිටියේවත් නැත. එය දැනගත් පසු එම විදුහල්පතිනිය එයට තදින්ම විරුද්ධ වූවාය. ඒ මැතිවරණ සමයක එවැනි උත්සව පැවැත්වීම නීති විරෝධී නිසාය. එම නිසා උත්සවය නැවතුණි. එම උත්සවයට විරුද්ධ වීම නිසා ඇයට දැන් මරණ තර්ජන පවා එල්ල වේ.
 
 පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විගණනයට ලක් කිරීම අනිවාර්ය කාරණයකි. එහෙත් වසර දෙකකින් පමණ එය නිසි ලෙස විගණනය කර නොමැති බවට බොහෝ අය චෝදනා එල්ල කරති. එහෙත් විදුහල්පතිනිය ඒ වෙනුවෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැත.
 
 මෙවැනි දූෂණ සහ අක‍්‍රමිකතා රැසක් මෙම විදුහල්පතිනියගේ නම ඉදිරියේ සටහන්ව තිබියදීත් අදාළ නිලධාරීන් කිසිදු කි‍්‍රයා මාර්ගයක් නොගන්නේ ඇයට ඇති දේශපාලන හයිය නිසාද යන්න සැමටම ප‍්‍රහේළිකාවකි. අදාළ බලධාරියනි දකුණු ආසියාවේ ලොකුම කාන්තා විදුහල වන මෙය වළපල්ලට යෑමට නොදී බේරා ගැනීමට කටයුතු කරන්න. එසේ නොවුණහොත් නොබෝ කාලයකදීම මෙම විදුහල හරක් මඩුවක් බවට පත්වනු ඇත.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles