Divaina - ඥානසාර හිමියන්ට කෝටි 200ක අල්ලසක්... විශේෂ හෙළිදරව්වක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

gnasara

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර

මා උන්වහන්සේ මුණ ගැසෙන විට (08 වැනිදා) නඩු කටයුත්තක් අවසන්ව විහාරස්ථානයට වැඩියා පමණි. උන්වහන්සේගෙන් විඩාබර ගතියක් දිස් නොවූ අතර සම්මුඛ සාකච්ඡාව සඳහා බොහෝ කැමැත්තෙන් ඉදිරිපත් වූහ.පහතින් පෙළගැසෙන්නේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමඟ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ කළ සාකච්ඡාවයි.


ප‍්‍රශ්නය - තවත් නඩුවක් දාගත්තා නේද අපේ හාමුදුරුවනේ?

පිළිතුර - නඩුවක් නම් දාගත්තේ නැහැ. අපට ඉබේ නඩු වැටෙන කාලයක් මේක. විහාරස්ථානයක හාමුදුරුනමකගේ ආදාහනයකටවත් අපට යන්න බැරි කාලයක් උදා වෙලා.

ප‍්‍රශ්නය - අද ඔබවහන්සේව අභියාචනාධිකරණයට කැඳවා තිබුණා. මොකක්ද එයට හේතුව වී තිබුණේ?

පිළිතුර - මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හාමුදුරුවන් වහන්සේගේ ආදාහනයේදී අධිකරණයට අපහාස කළා යැයි දෙමළ ජාතික සන්ධානයෙන් අපට නඩුවක් දමා තිබුණා. ඒ සඳහා පෙනී සිටින්නයි අද අභියාචනාධිකරණයට වැඩම කළේ.

ප‍්‍රශ්නය - මොකක්ද එහිදී සිදුවුණේ?

පිළිතුර - අපි අධිකරණයට ගරු කරලා නඩු නිමිත්ත සඳහා පෙනී සිටියා. නඩුව ලබන වසරේ පෙබරවාරි 17 වැනිදා තෙක් කල් ගියා. එදාට චෝදනා ගොනුකරනවා කියලයි සඳහන් වුණේ. අපි වරදක් කරලා නැහැ. ඒ නිසා නඩුව සඳහා පෙනී සිටිනවා. අපි ජනතාවට කියන්නේ මේ පිළිබඳව සබුද්ධිකව බලා සිටින ලෙසයි.

ප‍්‍රශ්නය - මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ සිදුවීම ඔබවහන්සේ දකින්නේ කෙසේද?

පිළිතුර - ගුරුකන්දේ සිදුවීම ගැන ඉතාම සිහිබුද්ධියෙන් සහ නිරීක්‍ෂණාත්මකව අපි බලන්න ඕන. ඔය කියන කෝවිල් ප‍්‍රශ්නය ගුරුකන්ද විහාරයේ තිබෙනවාද? අපට මේ ප‍්‍රශ්නයට හරි උත්තරය ලියන්න පුළුවන් වෙන්නේ ප‍්‍රශ්නය හරියට හඳුනාගත්තොත් පමණයි.

මෙම ගුරුකන්ද විහාරස්ථානයේ ප‍්‍රශ්නය සාතිශය දෙමළ ජනතාවගේ හෝ ඒ අවට ගම්වැසි හින්දු දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයක් නෙමෙයි. මෙතැන තිබෙන්නේ ක‍්‍රිස්තියානි ඉවැන්ජලිකල් පිරිසක් පිටුපස සිටිමින් ගොඩනඟන ප‍්‍රශ්නයක්. මේ පන්සල පටන් ගන්නේ වසර 2007 දීයි. අපවත් වූ නායක හිමියන් එතැනට වැඩම කරන්නේ 2012 වසරේදීයි. මේ විහාරස්ථානයේ අඩි හය හතක පොඩි දේවාලයක් හදලා තිබෙනවා. අපවත් වූ අපේ කොළඹ හාමුදුරුවෝ කුඹුක් ගහක් යට තිබූ අඩි එකහමාරක් පමණ දිග පුල්ලෙයාර් අප්පා පිළිමයක් ඒ වෙත ගෙන එනවා. ඒ තියපු පිළිමේ මුල්කර ගෙන තමයි විග්නේශ්වරන්, ටී.එන්.ඒ. පිරිස් එකතු වෙලා මේ ප‍්‍රශ්නය ඇති කර තිබෙන්නේ.

ඇත්තටම දෙමළ සන්ධානයට අවශ්‍ය වෙලා තියෙන්නේ ගුරුකන්ද විහාරස්ථානය අවට සහ උතුරේ සිටින සිංහල ජනතාව වැලිඔය දක්වා පලවා හරින්නයි. මෙම ප‍්‍රශ්නය බෙදුම්වාදයේ අණසකට යටවූ කුලීකාරයන් විසින් සිදුකරන ප‍්‍රශ්නයක් විනා වෙන ප‍්‍රශ්නයක් නෙමෙයි. දෙමළ හින්දු මිනිස්සු මේ සටන තුළ නැහැ. මේ වන විට උතුරේ දෙමළ ජනතාව සියයට හැටක් පමණ ක‍්‍රිස්තියානි මුලධර්මවාදයට යටත් කර තිබෙනවා.

ප‍්‍රශ්නය - ඔබවහන්සේට එල්ල වී ඇති චෝදනාව වන්නේ අධිකරණයට අපහාස කිරීමයි. ඇත්තටම ඔබවහන්සේ අධිකරණ නියෝග නොතකා කටයුතු කර තිබෙනවාද?

පිළිතුර - නැහැ. අධිකරණ නියෝගයක් ගැන අපට අවබෝධයක් තිබුණේ නැහැ. අපි එහි වැඩ කළේ අපවත් වූ අපේ හාමුදුරුවන්ට අවසන් ගෞරව කරන්නයි. උන්වහන්සේ අවස්ථා දහයකදී පහළොවකදී අසනීප තත්ත්වයන් මධ්‍යයේ අපිව බලන්න ඇවිත් තිබෙනවා. එවන් හාමුදුරුනමක් අපවත් වූ පසු එහි යෑමට කාගෙන්වත් අවසර ගන්න අපට ඕන නැහැ. අපවත් වූ අපේ හිමිනමගේ ආදාහන කටයුතු කළේ් පන්සලේ දායක සභාවයි. ඒ සඳහා කොළඹ සිට වැඩම කළ අපිත් එකතු වුණා. ඉන් එහා කිසිවක් එහි සිදුවුණේ නැහැ. මම හිතන්නේ මම මට හැකි දේ කළා යන්නයි. යුතුකම් හා කැපකිරීම් කියන දේවල් ඉටුකරද්දී මට මෙහෙම වේවි.

ප‍්‍රශ්නය - මේ ප‍්‍රශ්නය නොහිතපු තරම් ඔඩුදුවලා නොවේද?

පිළිතුර - ඇත්තටම ඔව්. මෙය සෑහෙන ඔඩුදුවල තිබෙන්නේ. මේ තත්ත්වයට ප‍්‍රශ්නය දිග්ගැස්සී තිබෙන්නේ ආණ්ඩුවේ දුර්වලකම් නිසයි. මේ රට මුළුමනින් ම බුද්ධ භූමියක් නොවෙයිද? අපි එහෙම හිතලා වෙන අයගේ දේහයන් මෙහි මිහිදන් කරන්න එපා කියල තිබෙනවාද? අපේ හොඳකම අන්තවාදීන් වැරදියට තේරුම් අරන් ඉන්නවා. මට අරක වේවි, මට හිරේ යන්න වේවි කියලා හිත හිතා ඉන්න බැහැ. මම නීතියට හෝ අධිකරණයට අපහාස කර නැහැ.

ප‍්‍රශ්නය - මේ ඔබවහන්සේට එරෙහිව කීවෙනි නඩුවද?

පිළිතුර - මේ දාහතරවෙනි නඩුව. මම හිතන්නේ එකම තැනකින් තමයි මේ නඩු සේරම මෙහෙයවන්නේ කියලයි. මම සාධාරණය බලාපොරොත්තු වෙන්නේ ජනතා අධිකරණය තුළිනුයි. ඊට එහා බලාපොරොත්තුවක් මට නැහැ. ජීවත්වීම කියන්නේ මේ හැම දේටම මුහුණදීමයි.

ප‍්‍රශ්නය - නඩුවලටත් ලොකු වියදමක් යනවා ඇති නේද?

ප‍්‍රශ්නය - හිරෙන් නිදහස් වෙලා ආපු දවසේ සිට මේ වන තෙක් ධර්ම දේශනා දෙසීයක් පමණ කරලා ඇති. ගිහියෙක් දරු පවුලක් රකින්න හැමදාම රැකියාවට යනවා වගේ භික්‍ෂුවක් ලෙස මට විකිණෙන්න, රස්සාවක් කරන්න බැහැ. මට කාගෙන්වත් ඉල්ලන්නත් බැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඉල්ලීම ඇඬීමක් කියලයි. මගේ රස්සාව බණ කියන එක. එහිදී ලැබෙන පිරිකරකින් තමයි සියල්ල නඩත්තු කරන්නේ. අපේ මේ සිංහල ජාතිය වෙනුවෙන් මොන තරම් කැප කිරීමක් කරනවද? නමුත් මට තිබෙන කනගාටුව අද වෙනකන් ප‍්‍රධාන යැයි සම්මත එක සිංහල වෙළෙඳ සංගමයක් අපිට කතා කරලා රුපියල් 500 ක් දීලා නැහැ. නමුත් කුඩා කුඩා වෙළෙඳ සංගම් අපට විසි තිස්දාහ දීලා තිබෙනවා. අමාරු තැන්වලදී දුප්පත් මිනිස්සු උදව් කරනවා. මේ වෙලාවේ තීරණාත්මකයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුනක් තිබෙනවා. පහළ උසාවිවල නඩුවලදී හුඟාක් නීතිඥ මහත්වරුන් අපෙන් අයකිරීමක් කරන්නේ නැහැ. මනෝහාර සිල්වා මහත්තයා මං වෙනුවෙන් පෙනී සිටින කිසිදු නඩුවකට එක රුපියලක දෙයක් ගත්තේ නැහැ. එහෙම කරලත් ඒ මහත්තයාව එළියට ඇවිත් මට තාම මුණගැහෙන්න යන්නත් බැරි වුණා. එතුමාට මගේ ගෞරවය පුද කරන්න ඕනෑ. ඒ වගේම ස්වෙඡාවෙන් අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතිඥ මහත්වරුන්ට අපේ ගෞරවය පිරිනමනවා.

ප‍්‍රශ්නය - ඥානසාර හාමුදුරුවෝ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වේ යැයි බොහෝ දෙනකු බලාගෙන සිටියා. ඔබවහන්සේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවුණේ ඇයි?

පිළිතුර - වැදගත් වන්නේ මගේ ජයග‍්‍රහණය නෙමෙයි. දිනන්න ඕන රට මිසක මම නෙමෙයි. මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා බොහෝ පිරිසක් ඉල්ලීමක් කළා. ඔබ විශ්වාස නොකරන ඉහළ පිරිස් පවා ඒ ඉල්ලීම කළා. කිසිම දේශපාලනඥයකු සතුව නැති විශාල සමාජ ප‍්‍රාග්ධනයක් භික්‍ෂුවක් ලෙස අප සතුව තිබෙනවා. නමුත් මේ සංකීර්ණ වෙලාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද නැද්ද යන්න බරපතළ ලෙස සිතන්න වුණා. තිස්පස්දෙනෙක් පමණ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා තිබෙනවා. දෙයියනේ මේ බෙදෙන්නේ මොන ඡන්ද ද? මිනිස්සුන්ට මේ මොනවද වෙලා තිබෙන්නේ. මෙහෙම දුර්වල කරන්න හදන්නේ ඇයි කියලා තේරුම් ගන්න ඕන නැද්ද? සුළු ජන කොටස් නියෝජනය කරන මන්ත‍්‍රීවරු දහදොළොස් දෙනෙක් රටක, ජාතියක අනාගතයක් සමඟ සෙල්ලම් කරනවා නොවේද? සුළු ජනතාව මේ තත්ත්වයට පළි නැහැ. නමුත් එවුන්ගේ ඡන්දයෙන් බලයට එන දේශපාලනඥයෝ රටේ අනාගතය සෙල්ලමට ගෙන තිබෙනවා. මෙවැනි තත්ත්වයකදී මම මගේ ගොඩ හදා ගන්නවත්, මට දිනන්නවත් ඕන නැහැ. දැන් දිනන්න ඕන රට. ජාතිය, ආර්ථිකය හා සමගියයි. අපිට මොන තරම් නින්දා, අපහාස, චෝදනා කළත් අපි රටට අහිතකර දෙයක් කරන්නේ නැහැ.

ප‍්‍රශ්නය - දේශපාලන ගේ්ම් එකක් ගහනවා යැයි ඔබවහන්සේට අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල වුණා.

පිළිතුර - වහාබ්වාදය ගැන අපි කතා කළා. විල්පත්තුව ගැන අපි මුළුමනින් ම කතා කළා. නැගෙනහිර විශ්වවිද්‍යාලයට මුල්ගල් තියනකොටම අපි එහි සත්‍ය කිව්වා. හලාල් ප‍්‍රශ්නය කිව්වා. මේවා හෙළිකරනකොට අපි නෝර්වේ කුමන්ත‍්‍රණකාරයෝ කිව්වා. මහින්ද රාජපක්‍ෂගේ ඡන්ද කඩනවා කිව්වා. මේක පිටුපස චම්පික ඉන්නවා කිව්වා. බොරු බේගල් ලොකුවට සද්දයට කිව්වා. ඒවා පිළිගන්න වහල්ලූත් මේ රටේ ඉන්නවා. ඇත්ත ප‍්‍රශ්නය විසඳාගන්න තිබූ අවස්ථා ඒ තුළින් නැති වුණා. ඇත්ත ප‍්‍රශ්නය කතා කරන අපි ජාතිවාදියෝ, ආගම්වාදියෝ, කොන්ත‍්‍රාත්කාරයෝ, ඞීල් කාරයෝ වුණා. මේ ජාතික කර්තව්‍යයට නායකත්වය දෙන මට දේශපාලන පක්‍ෂවලට කඬේ යන මුළු හෙළුවම එළියේ දාගෙන ඉන්න අය චෝදනා කරනවා. අපි වැඩ කරන්නේ කොහොමද? කන්නෙ බොන්නේ කොහොමද කියලා අපි ළඟ ඉන්න අයයි උඩ ඉන්න දෙවියොයි දන්නවා.

ප‍්‍රශ්නය - හාමුදුරුවන්ටත් වෙලා තිබෙන්නේ මඟ සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක් තමයි.

පිළිතුර හහ්...... හහ්.... ඔව්. එකත් හරි තමයි. මම ඡන්දේ ඉල්ලූවා නම් කියයි ඔන්න ඡන්දෙ කඩන්න ආවා. නෝර්වේ කුමන්ත‍්‍රණයේ ඊළඟ අදියර ආවා කියල. ආණ්ඩුවට සහාය දුන්නා නම් කියයි හොඳ සල්ලි කුට්ටියක් කඩාගෙන ආණ්ඩුවට සහාය දෙනවා කියලා. මාව හිරෙන් නිදහස් කරන කොටත් ජනාධිපතිවරණයේ ඡන්ද කඩන්න එළියට ගන්නවා කියලා කථාවක් හැදුවනේ. අපි මොනවා කළත් චෝදනා විතරයි.

ප‍්‍රශ්නය - ඔබ වහන්සේ සල්ලි කුට්ටි කථාවක් කිව්ව නිසා තව දෙයක් අහන්න මතක් වුණා. ඔබවහන්සේට ඡන්දයට ඉල්ලන්න කියලා, ලොකු ඞීල් එකක් ආවා නේද? කෝටි ගාණක් දෙන්න හැදුව කතාව ඇත්තක්ද?

පිළිතුර - ඔව්. කෝටි තිහෙන් තමයි කථාව පටන් ගත්තේ. ඒක සෑහෙන ලොකු ගානක් වෙනකම් ඉස්සරහට ගියා.

ප‍්‍රශ්නය - කීයක් වෙනකම ගියාද?

පිළිතුර - කෝටි දෙසීයක් වෙනකම් ගියා.

ප‍්‍රශ්නය - කවුද මේ ඞීල් එක ගෙනාවේ.

පිළිතුර - එය මේ වෙලාවේ කියන එක හරි නැහැ. ඡන්දයක් තියෙන වෙලාවක් මේක. මෙහෙම දෙයක් කියන්න ඕනෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තිස් ගණනක් ඉදිරිපත් වෙලා තිබියදී සිංහලයෙක් නම් තේරුම් ගත යුත්තේ කාගේ ඡන්දද මේ කඩන්නේ කියලයි. වඩා වැරදි කර ඇති පිරිසකට බලයට එන්න අවස්ථාව මගේ අපේක්‍ෂකකම හරහා ලැබෙනවා නම් එය ඓතිහාසික වරදක් වෙනවා. ඒ වරද මට කරන්න බැහැ.

ප‍්‍රශ්නය - ඉස්ලාම් අන්තවාදය ගැන ඔබවහන්සේ නිරන්තරයෙන් අදහස් දක්වමින් සිටි ස්වාමීන් වහන්සේ නමක්. නමුත් දැන් ඒ ගැන කථාවක් නැති තරම්.

පිළිතුර - ඉස්ලාම් අන්තවාදය ගැන අපි කොතරම් කතා කර ඇද්ද. නමුත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සිදු කරන ප‍්‍රධාන කිසිදු රැස්වීමකට අපිව කැඳවා නැහැ. මේ මුස්ලිම් ප‍්‍රශ්නය අපි සඟවා තබා කරන්න ඕන නැහැ. අපි ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. අපේ ඓතිහාසික කාර්යභාරය අප අවසන් කර නැහැ. ජනතාවට තියෙන්නේ තම තම නැණ පමණින් කටයුතු කරන ලෙසයි.

ප‍්‍රශ්නය - ජනාධිපතිවරණයේදී ඔබවහන්සේගේ සහාය හිමිවන්නේ කාටද?

පිළිතුර - මෙයාට දෙන්න මෙයාට දෙන්න එපා කියලා මට සෘජුව කියන්න බැහැ. හැබැයි අපි රට හමුවේ ඇති අනතුර ගැන කතා කරලා තිබෙනවා. මිනිස්සුනට ඒවා මතකයට එන්න ඕනෑ. මගේ නිහඬ බව තුළම, අනේ මේ හාමුදුරුවෝ මේ ගැන කථා කළා නේද කියලා මතකයට ආවොත් කාටද ඡන්දය දෙන්න ඕන කියලා මිනිස්සු තීරණය කරාවි. රටේ ජාතික ආරක්‍ෂාව අංක එකට වැටෙනවා.

වහාබ්වාදී, සලෆිවාදය, ඉහ්වාන් මුස්ලිම් ජමාතේ ඉස්ලාම්, තව්හිද් ජමාත් වැනිි දරණු විෂ සහිත මතවාදී පාර්ශ්ව නියෝජනය කරන දේශපාලන පාර්ශ්ව කුමන පැත්තේ ඉන්නවාද කියා ජනතාව බලන්න ඕන. සහරාන්ගේ ප‍්‍රහාරයේ හරය ජනතාව ගන්න ඕන. ඔහු පහර දී ඇත්තේ මේ රටේ හදවතටයි. මේ අන්තවාදය පෝෂණය කිරීමට ආධාර අනුබල දුන්නේ කවරහුද? දේශපාලනය රැකවරණය දුන්නේ කවරහුද යන්න බැලිය යුතුයි. ඔවුන් යම් පාර්ශ්වයන් සමග මෙවර මැතිවරණයේදී කඳවුරු බැඳ තිබෙනවා දැයි බැලිය යුතුයි. ඒ කඳවුරට ඡන්දය දීමේදී දෙවතාවක් හිතලා බලන්න.

යුද්ධය අවසන් වූ පසු 2015 වෙනකම් එක බෝම්බයක් පිපිරුණේ නැහැ. හිටපු ආරක්‍ෂක ලේකම් අන්තවාදී සංවිධාන ගැන ඇහැගහගෙන හැටියා. අපි ඒ ගැන දැනුම් දුන් පසු ඒ සම්බන්ධයෙන් අපට කිව්වේ යුද්ධය අවසන් වුණා පමණයි අපේ හාමුදුරුවනේ අපිට පොඞ්ඩක් හුස්ම ගන්න ඉඩ දෙන්න කියලයි’’ ඔහු මේ ප‍්‍රශ්න ගැන හොඳින් බැලූවා.

ප‍්‍රශ්නය - ඔබවහන්සේ නොකියා කියන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය දෙන්න කියලද?

පිළිතුර - තම තම නැණ පමණින් එය දැන ගත යුතුයි. අපේ නිහඬතාව ඇතුළේ තිබෙන්නේ කුමක්ද යන්න ජනතාව තේරුම් ගන්න ඕනෑ. බෙදුම්වාදය ඇත්තේ කොහේද? ආරක්‍ෂාව තියනකොට හිනාවෙන අය ඉන්නේ කොහේද කියලා හොයලා බලන්න. සුළුතරයකගේ බලහත්කාරයෙන් රට මුදා ගත යුතුයි.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles