Divaina - අමිහිරි යටගියාවක මිහිරි මතක සටහන් මත ඉදිවූ... ලේ කඳුළු හෝටලය සුභාෂ්..! ටැක්සියක් පදවා හෝටලයක් තැනූ මිනිසකුගේ කතාව...

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

hotel2

* ඉන්දියානු ජාතික සටනේ වීරයෙක්ගේ නමින් නම්වුණු යාපනයේ තියෙන ලොකුම හෝටලය...

 

සංගරන් හරිහරන්

 

 

යාපනයේ ”සුභාෂ් හෝටලය” කියල කිව්වම කව්ද නොදන්නෙ... යුද්ද කාලෙ සුභාෂ් හෝටලය තරම් විවිධ හැලහැප්පීම් වලටත් කතාබහටත් ලක්වූ තවත් පුද්ගලික නිශ්චල දේපළක් යාපනයේ තවත් නැතුව ඇති... ඒකට හේතු ගණනාවක්ම තිබුණා...

එකක් තමයි සුභාෂ් හෝටලයේ පිහිටීම. යාපනය නගරයේ වික්ටෝරියා පාරේ සුභාෂ් හෝටලය කියලා කිව්වම තියෙන්නේ මහ ඉස්පිරිතාලෙට අල්ලපු වැටේ. කෝච්චි ස්ටේෂමට පේන තෙක් මායිමේ. බස් නැවතුම්පළ ඇසෙන තෙක් මායිමේ... යාපනය කොටුවට හූවක දුර... ඒක කොච්චර පහසු තැනක් ද කියලා දැන් ඔබට හිතෙනවා ඇති....

subasdd1

අනිත් කාරණාව තමයි ඉස්සර විදේශීය අමුත්තෙකුට වුණත් සංචාරකයෙකුට වුණත් කැත නැතුව නතර වෙන්න, කන්න බොන්න යාපනේ තිබුණු එකම තැන....

ඒක හින්දා මුළු මහත් ලෝකෙම අවධානය ලංකාව දෙසට යොමු වෙලා තිබෙන යුද සමයේ මොන ජගතා යාපනයට ගියත් ගොඩ වුණේ එතනට...කෑම බීම ගත්තා. නතර වුණා. පුවත්පත් සාකච්ඡුා පැවැත්තුවා... විශේෂ සාකච්ඡුා පැවැත්වුණා. විවිධ හමුවීම් කෙ

රුණා... එහෙම බලන කොට මෙතන මොනවද නොවුණෙ කියලත් දැන් අපිට හිතෙනවා...

යුද සමයෙන් පසු එළඹි සාම සමයේ යාපනයට අලූත් අලූත් ලොකු ලොකු හෝටල් ආවා තමයි.. ඒත් සුභාෂ් හෝටලයේ වටිනාකම තාමත් වෙනස් වෙලා නෑ...

පහුගිය සතියේ දිනක මමත් යාපනයේ ගිය වෙලාවේ නතර වුණේ මේ සුභාෂ් හෝටලයේ... ඉස්සරට වඩා දැන් ඒක හුඟක් වෙනස් හෝටලයක්. වෙනස් කිව්වේ දියුණුයි... එහි හිමිකරු සංගරන් හරිහරන්. මට ඉතාමත් හිතවත් ව්‍යාපාරිකයකු වන ක‍්‍රිෂ්ණන් ජයකුමාර් මහත්මයාගේ ඥාතියෙක් බැවින් හරිහරන්ව හඳුනගෙන ඔහු සමඟ කතා බහ කරන්න මටත් ඉඩකඩක් ලැබුණා... බලාගෙන ගියාම ඔහු පුදුමාකාර අත්දැකීම් සම්භාරයක් ඇති හරිම විවෘත සුන්දර මනුස්සයෙක්...ඒ වගේම ඔහුගේ කතාවත් හරිම සුන්දර එකක්...

හරිහරන් මහත්තයාගේ වැඩිහිටියෝ, ඒ කිව්වේ අප්පාගේ පරම්පරාව ඇවිල්ල තියෙන්නේ කේරලයෙන්. ඉස්සර කාලේ කේරලයෙන් ලංකාවට මලයාලම් ජනතාව ආවේ අපේ උන්දැලට රා මදින්න උගන්වන්න කියලත් කතාවක් තියෙනවනේ.. කොහොමින් කොහොම හරි මේ කට්ටිය ලංකාවේ කළුතර - වාද්දුව පැත්තට එනකොට හරිහරන් මහත්තයගෙ තාත්ත
ට වයස අවුරුදු 14 ක් විතර ඇතිලූ. එයාගේ නම තමයි අයියප්පන් සංගරන්.

කොහොම හරි කළුතර වාද්දුව අතර ගමක හැදී වැඩුණු අයියප්පන් සංගරන් ගැටයා කාලේ ඒ පැත්තේ තිබුණු බස් කොම්පැනියක වැඩට ගියා. ඒකට කිව්වේ ‘‘ස්වර්ණපාලි බස් කම්පැනිය’’ කියලයි. ටිකෙන් ටික වැඩ ඉගෙන ගෙන ඉගෙන ගෙන රියැදුරෙක් වෙලා කාලයක් වැඩ කරලා ඉතුරු පහදු කරගත්ත මුදලින් ඔහු මෝටර් රථයක් ගන්න තරම් වාසනාවන්තයෙක් වුණා. ඔහුට හොඳ ඉලක්කයක් තිබුණා. කවුරු හරි මග පෙන්වන්නත් ඇති. ඒ අනුව මෝටර් රථයත් අරගෙන ඔහු කෙළින්ම ගියේ යාපනයට...

අලූත්ම ‘‘ඔස්ටින් ඒ ෆෝටි’’ වර්ගයේ රථයක් අරගෙන යාපනය ටවුමට පැමිණි මේ අලූත් තරුණ ටැක්සි රියදුරාට නගරයේ අයගෙනුත් හොඳ ප‍්‍රතිචාරයක් ලැබෙන්න ඇති. මොකද ඒ දිනවල කුලී කාර් හෙවත් ටැක්සි රථ යාපනය ටවුමෙ තිබුණෙම නැති තරම්. සංගරන් පියවරින් පියවර තමන්ගේ අලූත් ජීවිතේ පටන් ගත්තෙ අන්න එහෙම පුංචි තැනකින්...

සංගරන් යාපනයට ගිහිල්
ලා තිබුණේ දෙවන ලෝක යුද්ධයෙන් මුළු මහත් ලෝකයම කැළඹිලා තිබුණු සමයක. යුද්ධයේ අනිසි ප‍්‍රතිවිපාක ලංකාවේ යාපනය නගරයටත් දැනෙමින් තිබුණා. ඉන්ධන හිඟය, ආහාර හිඟය, බේත් හේත් හිඟය, ඒ වගේ දේවල් වලින් ජනතාව පීඩා වින්දා. ඒත් සංගරන් ජීවිතය ඇරියෙ නැහැ. ඔහු අප‍්‍රමාණ ලෙස මහන්සි වෙලා වැඩ කළා. දෙවන ලෝක යුද්ධය අවසන් වන කොට සංගරන් ඒ වැඩ කිරීමේ ප‍්‍රතිඵල භුක්ති විඳින්න පටන් ගත්තා. දුක් මහන්සිවෙලා හම්බ කරල ඉතුරු කර ගත්ත ධනයෙන් ඔහු යාපනය නගරයේ බස් නැවතුම්පළ ඉදිරියේ කඩයක් මිලට ගත්තා. ඒ වන විට කේරලයෙන් පැමිණි ලක්ෂ්මී අම්මාල් නම් තරුණියක් සමඟ සංගරන් විවාහ වෙලායි හිටියේ. දෙන්නා එකතුවෙලා යාපනය නගර මධ්‍යයේ තෝසේ, වඬේ, ඉඳිආප්ප, පිට්ටු ආදි ඉන්දියන් ක‍්‍රමයට පිසූ ආහර විකුණමින් පුංචියට ”සුභාෂ් කැෆේ” කියන හෝටලය පටන් ගන්න ඇත්තේ එහෙමයි... හරිහරන් ඒ ගැන මතකය අවදි කළේ බොහොම සතුටින්..

”අපේ තාත්තා දියුණු වෙන්න හරිම කැමති කෙනෙක්... ඒ වෙනුවෙන් එයා ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. නිදිවරාගෙන කැපවීමෙන් සුභාෂ් කැෆේ දියුණු කරපු තාත්තට පුළුවන් වුණා ටික කාලෙකින් එය මහා හෝටලයක් බවට පත් කරන්න.. තාත්තා පොඞ්ඩක්වත් නිකං ඉන්න කැමැති කෙනෙක් නෙමෙයි. අම්මත් එහෙමයි. ඔහොම වැඩ කරලා එයාලා දෙපැත්තෙ තියෙන කඩ දෙකත් මිලයට ගත්තා. අපේ තාත්තා තමයි යාපනයට අයිස්ක‍්‍රීම් හඳුන්වලා දුන්නේ ‘‘සුභාෂ් අයිස්ක‍්‍රීම්’’ කියලා... ඔය ”රියෝ” වගේ අයිස් ක‍්‍රීම් ජාති පටන් ගත්තේ ඊට ගොඩක් පස්සේ. අනිත් පැත්තෙ කඬේ ”සුභාෂ් බේකරි” කියලා බේකරියක් දැම්මා.. ඇස් වහක් කටවහක් නෑ... මේ තුනෙන්ම තාත්තා හොඳට මුදල් හරි හම්බ කළා”

එතකොට කවුද සුභාෂ් කියලා කියන්නේ...? මම අන්න එහෙම ඇහුවා...

”නෑ නෑ... සුභාෂ් කියලා කියන්නේ අපි කවුරුවත් නෙවි. ඔයගොල්ල කියවලා ඇති ඉන්දියානු ජාතික සටනේ ජාතික වීරයෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මහත්මා ගාන්ධි. එයා අවිහිංසාවෙන් සටන් කළේ... අනිත් කෙනාට පුද්ගලික හමුදාවන් පවා තිබුණා. එයා ජර්මනියට ගිහිල්ලා හිට්ලර් හම්බ වෙලා එයාගෙන් පවා උදව් ගත්තා. ජපානයට ගිහිල්ලා එහේ හිටපු අධිරාජයා හම්බ වුණා... දේශපේ‍්‍රමියෙක් විදියට එයා සටන් කළේ අවි ආයුධ වලින්. ඒ තමයි සුභාෂ් චන්ද්‍රබෝස්. අපේ තාත්තා එයාගෙ දර්ශනය ඉහ මුදුනින් පිළි ගත්තා. ඒක නිසා තමයි සුභාෂ් කියන නම අපේ ව්‍යාපාර වලට යොදන්න තාත්තා කල්පනා කළේ...”

ඉන්දියානු ජාතික සටනේ වීරයෙක්ගේ නමින් අපේ රටේ යාපනයේ තියෙන ලොකුම හෝටල් ව්‍යාපාරය නම් වුණේ අන්න එහෙමයි... හරිහරන්ගේ තාත්තා සංගරන් එතනින් සෑහීමකට පත් වුණේ නැහැ... ඒ දිනවල යාපනයේ තිබුණ ලොකුම අඩුපාඩුවක් තමයි පිටතින් වැදගත් කෙනෙක් ආවම නතර වෙන්න සුදුසු හෝටලයක් නැතිකම... ඉහළ මට්ටමේ තානායමක් වගේ... සංගරන්ගෙ ඉලක්කය වුණේ අන්න ඒක. වැඩි කල් ගියේ නැහැ. යාපනය නගරයේම තිබෙන මහ ඉස්පිරිතාලෙට අල්ලපු පාරේ, ඒ කිව්වේ වික්ටෝරියා මාවතේ ඉඩමක් මිලයට අරන් සංගරන් කාමර අටකින් යුතු සුවපහසු පුංචි හෝටලයක් හැදුවා... 1970 ඒ වන විට සුභාෂ් හෝටලය නමින් ඒ හෝටලය විවෘත කරල ඉවරයි. හැත්තෑව දශකය තුළ ලංකාවේ දියුණුවෙන් දියුණුවට පත් වෙච්ච සංචාරක කර්මාන්තයත් එක්ක සුභාෂ් හෝටලයත් වැඩිදියුණු වෙන්න ඇති...

hotel3”අපේ තාත්තගේ ව්‍යාපාරික ඥානය ඉතාම ඉහළයි. එයා අත ගහපු දෙයක් වැරදුනේ නෑ. ඒ කාලේ යාපනය තිබුණු හොඳම හෝටලේ අපේ. සංචාරකයෝ ඉන්දියාවේ රාජ්‍ය අමුත්තො කලාකාරයො ආණ්ඩුවේ නිලධාරීන් ප‍්‍රභූන් අපේ හෝටලයේ ඇවිල්ල නතර වුණා. ඒත් එක්කම හෝටලයත් දියුණු වුණා. තාත්තා ටිකෙන් ටික කාමර ගාන වැඩි කර කර හෝටලය ඉදිරියට අරන් උඩට උඩට හැදුවා. අවසානයේ සුභාෂ් හෝටලය කාමර 30 කින් යුතු සුපිරි නවාතැනක් බවට පත් වුණා. මමයි අයියයි මල්ලියි තාත්තට මේවා වැඩි දියුණු කරන්න උදව් උපකාර කළා...අපි ඔක්කොගෙම මහන්සියේ ප‍්‍රතිඵල තමයි ඉතින් ඒ”

හරිහරන් බොහොම ආඩම්බරයෙන් අතීතය මෙනෙහි කළත් 80 දශකයේ මැද භාගය වන විට යාපනයට ටිකෙන් ටික ඇතිවෙන්න පටන් ගත්ත කුරිරු යුද්ධයේ කැත කළු පාට දුමාරය සුභාෂ් හෝටලයටත් බලපාන්න පටන් ගත්තා. යාපනයේ නැගී එන තරුණ පරපුර එරෙහි වුණේ ආණ්ඩුවට විතරක් නෙවෙයි, සාම්ප‍්‍රදායික දෙමළ දේශපාලන තන්ත‍්‍රයටත් ඔවුන් විරුද්ධව නැගී සිටින්න පටන් ගත්තා. සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීමට එය බෙහෙවින් බලපෑවා.

”83 කලූ ජූලියෙන් පස්සේ යාපනයේ දිගටම කලබල තමයි. හැබැයි අපේ සුභාෂ් හෝටලය කාර්යබහුල තැනක් වුණා. ඒ මොකද යාපනයේ තියෙන ප‍්‍රශ්න විසඳන්න, සමථයකට පත් කරන්න, ඒ ගැන සාකච්ඡුා කරන්න, ඒව ගැන හොයලා බලන්න හා ඒවාට උදව් කරන්න ආපු හැම කෙනාම ආවේ සුභාෂ් හෝටලයට. ”

ඒ කියන්නේ ඒ කාලෙත් හෝටලයට පාඩුවක් නෑ?

”ඒ දවස් වල මේ හෝටලයේ හොඳම කාමරයක් රුපියල් 200 ට තමයි අපි දුන්නේ. කෑම බීම නැතුව. දැන් ඒ සී ඩබල් කාමරයක් රුපියල් 5000 ක් විතර වෙනවනේ. පාඩුවක් වුණා කියලා කියන්න බෑ. ඒත් ඉතින් දියුණුවක් වුණේ නෑ. හැමදෙයක්ම විනාශ වුණ එක තමයි වුණේ... යුද්ධය විසින් හැම දෙයක්ම නැති නාස්ති කළානේ...

1987-88 කාලේ ඉන්දියන් සාම සාධක හමුදාව යාපනේට ආවා. එයාලයි ඉහළ නිලධාරීන් නතර වුණේත් මෙහේ. ඒ වගේම රතු කුරුස හමුදාවේ අයත් මෙහෙ තමයි හිටියේ. ඉතින් ව්‍යාපාර ලාභයි කියලා කියන්න බෑ...”

මේ හැල හැප්පීම් සියල්ල මැද සුභාෂ් හෝටලය ද පැවතුනා. 1990 වෙනකොට ඉන්දියන් හමුදාව පිට වෙලා ගියා. ඊට පස්සේ කොටි සංවිධානය ඇවිල්ලා මුළු යාපනයම පහසුවෙන් අත්පත් කර ගත්තා. හරිහරන්ගෙ අයියත් මල්ලිත් ව්‍යාපාර හැර දමා ලංකාවෙන් පිටව ගියත් අම්මයි තාත්තයි එක්ක හරිහරන් දිගටම හෝටලය බලා ගත්තා.

1995 දී රිවිරැුස මෙහෙයුම ක‍්‍රියාත්මක වෙලා මුළු යාපනයම හමුදාව අල්ලා ගන්නා තුරුම සුභාෂ් හෝටලය ක‍්‍රියාත්මක වුණත් කරදර හිරිහැර අඩුවක් නොතිබුණු බවයි හරිහරන් කියන්නේ... ඒත් සුභාෂ් හෝටලයට අමුත්තන් ආවා. ඉන්දීය නියෝජිතයෝ ඒජන්තවරු දෙස් විදෙස් මාධ්‍යවේදීන් යුද විශ්ලේෂකයන් හා දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡුා ගොඩනගන්නට ආ අතර මැදියන් හෝටලයේ ගැවසුනා. ඒත් 1995 දී මුල්වරට මේ සියල්ල අතහැරලා හරිහරන්ලාට අනාථ කඳවුරකටත් යන්න සිද්ධ වුණා.

”කොටි සංවිධානය හමුදාව ඇවිත් ගෑස් ගහලා යාපනයම විනාස කරනවායි කියලා බොරු කියලා සිවිල් ජනතාව යාපනයෙන් ඉවත් කළා. අපටත් චාවාකච්චේරි පැත්තෙ තෙන්මාරච්චි කඳවුරට යන්න වුණා. අම්මයි තාත්තයි මායි මාස දෙකක් එතන ඉඳලා කොළඹට ආවා... තාත්තයි අම්මයි හදාපු මාලිගා ඔක්කොම අත ඇරලා ජීවිතේ බේරගෙන ඉන්දියාවට ගියා. මම විතරක් වත්තල මගේ බිරිඳගෙ ගෙදර නතර වුණා. එතන ඉඳලා ඉතින් අවුරුදු 19 ක් යුද්ධය ඉවර වෙන තුරුම අපි යාපනයේ ගියේ නෑ. අපේ හෝටලයේ තමයි 51 වෙනි බල සේනා මූලස්ථානය පැවතුනේ. යුද්ධය ඉවර වුණාට පස්සේ 2011 ආණ්ඩුව අපට යළිත් හෝටලය භාර දුන්නා. මට මේ මුළු හෝටලයම නවීකරණය කරලා හදා ගන්න අවුරුදු දෙකක් ගත වුණා. 2013 තමයි විවෘත කළේ...

ඊට පස්සේ යළිත් තත්ත්වය හොඳ වුණා. හෝටලයට සංචාරකයො හා අමුත්තෝ එන්න පටන් ගත්තා. යාපනයට පාරවල් හැදුනට පස්සේ කෝච්චි පාර වැටුනට පස්සේ දේශීය විදේශීය සංචාරක කර්මාන්තය හුඟක් දියුණු වුණ නිසා අපට හොඳයි. ඒත් අපි කවුරුවත් නොහිතපු විදියට පසුගිය අපේ‍්‍රල් මාසයේ පාස්කු ඉරිදා සිද්ධියත් එක්ක මුළු හෝටල් ක්ෂේත‍්‍රයම කඩාගෙන වැටුනා.”

හරිහරන්ගෙ ඒ සුභාෂ් වික‍්‍රමාන්විත කතාන්දරය එතනින් ඉවර නෑ... ඔහු ඒ වික‍්‍රමාන්විතය ඇතුළාන්තයේ මුහුණ දුන් අත්දැකීම් කීපයක් ගැනත් මෙන්න මෙහෙම කිව්වා...

”සමහරු අපෙන් අහනවා එල්ටීටීඊ කාලේ අපිට කරදර තිබුණේ නැද්ද කියලා. අපිට කරදරම තමයි තිබුණේ. යුද්දෙ ඉවර වෙනකන් කවුරුවත් හොඳක් කළේ නෑ. අපේ හෝටලය තරම් යුද්දෙන් බැට කාපු වෙනත් හෝටලයක් නැතුව ඇති. යුද්දෙත් එක්ක අපිත් දිවා රැයේ දුක්වින්දා.

එක පාරක් එල්ටීටීඊ එකත් ආණ්ඩුවත් අතරේ සාකච්ඡුාවක් ඇතිවුණා මේ හෝටලයේ. එල්ටීටීඊ එක අල්ල ගත්ත හමුදා නිලධාරීන් අනූ දෙනෙක් බේරගන්න. ඒ නිලධාරීන්ගේ පවුල්වල අයත් ඇවිල්ලා මාස තුනක් තිස්සේ මේ හෝටලයේ නවාතැන් ගෙන හිටියා. සාකච්ඡුා අසාර්ථක වුණා. පවුල්වල අය යන්න ගියා. නිලධාරීන් 90 දෙනා කොටි අරගෙන ගියා. මොනා කළාද දන්නේ නෑ.

ඒ වගේ යම් යම් කාරණා පිළිබඳව යම් යම් සාකච්ඡුා ගණනාවක් මේක ඇතුළෙ තිබුණ බව මට මතකයි... ඒත් ඒ කිසිම දේකින් අපට හොඳක් වෙලා නෑ. අපේ තාත්තලා කේරලේ ඉඳලා පුංචි කාලේ ඇවිල්ලා දුක් විඳලා මහන්සිවෙලා ? දවල් නැතුව නිදි වරලා කොයි තරම් දේපළක් හම්බ කළාද. මම කවදාවත් දැකලා නැහැ තාත්ත නිකන් ඉන්න වෙලාවක්. අපේ තාත්තා විතරක් නෙවෙයි... යාපනයෙ මිනිස්සු හැම කෙනෙක්ම මහන්සි වෙලයි සල්ලි හොයන්නෙ. ඒත් ඒ හුඟක් දෙනකුට අපේ තාත්තලට වගේ අන්තිමේ සියල්ල අහිමි වුණා...

මට අන්තිමේ මේ හෝටලය වත් ලැබුණේ මම මේවා අත්හැරලා නොගිය නිසයි. කැපවීමෙන් බලා ගත්ත නිසයි...

දැන් යාපනයේ සාමාන්‍ය ජනතාව සතුටින් ඉන්නවා. කවුරුවත් උදව් කරල නෙවෙයි. ඒගොල්ලො වැඩ කරලා මහන්සි වෙලායි සතුටින් ඉන්නේ. දේශපාලනඥයෝ විතරයි නොසතුටින් ඉන්නේ.

කෝච්චි පාර වැටිච්ච එක මිනිස්සුන්ට ලොකු පහසුවක්. අද මිනිස්සුන්ට කෝච්චියෙන් කොළඹ යන්න එන්න රුපියල් 300 ටත් ටිකට් තියනවා... එතැන් ඉඳලා රු.1700 දක්වා කෝච්චියේ සැප පහසුකම් තියනවා... කලබල මුකුත් නැත්නම් සාමයෙන් රට තියෙනවා නම් මේවට වඩා තැනක් මේ ලෝකෙ කොහෙවත් නෑ මහත්තයෝ..

බුලිත ප‍්‍රදීප් කුමාර


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles