Divaina - විජයග‍්‍රහණයට පෙර සිංහලේ යුද ඉතිහාසය විමසා බලමු

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

vijaya499
දේශපාලනයේ වරදින් දශක තුනක් තරම් කල් දිග්ගැසුණු ඊළාම් විරෝධී යුද්ධයේදී රණවිරුවන් විසිනවදහසක් තරම් සංඛ්‍යාවකට රට දැය සමය වෙනුවෙන් දිවි පුදන්නට සිදු වූ අතර දාහතරදහසක් තරම් පිරිසක් සදාකාලික ආබාධිතයෝ බවට පත් වූහ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කරන්නට දැරූ ප‍්‍රයත්නයට එරෙහිව ඉන්දියානු ගුවන් හමුදාව මගින් පරිප්පු හෙළන තත්ත්වයට පත් වූයේ ඊළඟ පියවර බෝ්ම්බ හෙළීම යයි අනතුරු හඟවන්නාක් මෙනි. ඉන්දියානු තර්ජනය හමුවේ පළාත් සභා ක‍්‍රමයකට යන්නට සිදු වුවද, ජනාධිපති බලතල මගින් ලංකාවේ ඒකීය භාවය පවත්වාගත හැකි විය. අවසානයේ ඊළාම්වාදී බලවේගය පරදා ජයගත හැකි වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වයත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සැලසුම්කරණයත් සරත් ෆොන්සේකා මහතාගේ යුදමය මෙහෙයුම්කරණයත් මගිනි. යුද්ධයේ තීරණාත්මක අවස්ථාවකදී එංගලන්තයේ විදේශ ලේකම් (අමාත්‍ය* මිලී බෑන් හා ප‍්‍රංශ විදේශාමාත්‍ය කෲස්නර් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවන්නට පැමිණ යුද්ධය නවත්වන්නැයි ඉල්ලා සිටියද, ඔවුන්ගේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ මහින්ද ජනාධිපතිතුමා යුද්ධය විජයග‍්‍රාහී ලෙස අවසන් කිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දීමෙන් ලෝක ත‍්‍රස්තවාදයේ ප‍්‍රබලම නායකයා ලෙස බටහිර බලවතුන්ගේ පිළිගැනීමට ලක්ව සිටි මිනීමරු ප‍්‍රභාකරන්ගේ මෘත ශරීරය ලක්වැසි ජනතාවට මෙන්ම ලොවටම දැක ගත හැකි විය. එසේ වුවත් තමන්ගේ ත‍්‍රස්ත ඒජන්තවරයකු බවට පත් වූ ප‍්‍රභාකරන්ගේ මරණය නිසා නව උපක‍්‍රම මගින් බෙදුම්වාදය බලගැන්වීමට නව යටත්විජිතවාදීහු ක‍්‍රියාත්මක වී සිටිති.

බටහිර බලවතුන්ගේ ආශිර්වාදය ලැබූ ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි ත‍්‍රස්තවාදීන් කෙතරම් බලවත් යයි කීවද ඔවුනට කිිසි දිනක කිලිනොච්චියෙන් පහළට එන්නට නොහැකි විය. ප‍්‍රභාකරන් කිලිනොච්චියේ කඳවුරු බැඳගෙන සිටියදී මේ ලිපිය ලියන මම වව්නියාවේ බෝධි දක්‍ෂිණාරාමයේ දේශනයක් කරමින් ස්ථිරසාර ස්වරයෙන් කියා සිටියේ හමුදා බලය මෙන්ම දේශපේ‍්‍රමී ජන බලය ද ශක්තිමත්ව පවතින වවුනියාවට එන්නට කොටි ත‍්‍රස්තවාදීන්ට නොහැකි වන බවයි. වව්නියාව නියෝජ්‍ය පොලිස්පති ජයවීර මහත්මාගේ ඉල්ලීම අනුව වව්නියාවේ බෝධි දක්‍ෂිණාරාමයේ කළ දේශනය පොලිසියට ගැලපෙන අයුරින් වව්නියා පොලිස් මධ්‍යස්ථානයේදි ද සිදු කරන්නට මට හැකි විය. බටහිර රටවල ආශිර්වාදය ලබන ප‍්‍රභාකරන්ට කිසි දිනක වව්නියාව යටත් කර ගන්නට නොහැකි බව කියන අතරම මා පෙන්වා දුන්නේ රට මැද මහියංගණයේ පවා බළකොටු තනන්නට තරම් ප‍්‍රබල වූ එළාරයන් ප‍්‍රමුඛ පරසතුරු බලය පරදා ජය ගන්නට අවුරුදු පහකට අඩු යුද ක‍්‍රියාමාර්ගයක් ගෙන ගිය දුටුගැමුණු රජතුමාට හැකි බවයි. එළාරගේ හමුදාවන් ගෙන් මහියංගණය බේරා ගන්නට කළ සටනේදී දස දහසක් තරම් රණවිරු තරුණයන්ට ජීවිත අහිමි වූ බව දුටු දුටුගැමුණු රජතුමා බෙහෙවින් කම්පාවට පත් වුවත් අධිෂ්ඨාන සහගතව සටන මෙහෙයවමින් ජය ගන්නට එතුමන්ට හැකි විය. මහියංගණය ජය ගෙන මහවැලි ගඟින් එතෙරවත්ම හමු වූ එළාරගේ අම්භතිත්‍ථයේ බලකොටුව අල්ලා ගන්නට කළ මාස හතරක් දිග්ගැසුණු සටනේදී හයදහසක් තරම් දේශපේ‍්‍රමී තරුණ රණවිරුවන්ට දිවි පුදන්නට සිදු වුවද එතැන් පටන් වසර හතරක් තුළ එළාරගේ බලකොටු විසිඅටක් බිඳ සතුරු සේනා පලවා හරිමින් විජිතපුර මහබලකොටුව දක්වා ඉදිරියට යන්නට ගැමුණු රජතුමා ප‍්‍රමුඛ දේශපේ‍්‍රමී ජාතිමාමක රණවිරුවන්ට හැකි විය. එළාරගේ විජිතපුර මහ බලකොටුව බිඳ ජය ගන්නට මාස කීපයක් ගත වුවද, දුටුගැමුණු රජතුමාගේ ජයග‍්‍රහණය ගැන බිය වූ එළාර දෙමළ දේශයේ සිට තම බෑණනුවන් වූ භල්ලූකට සංදේශයක් යැව්වේ තමා අතිශය දුෂ්කර තත්ත්වයකට මුහුණ පා සිටින හෙයින් ප‍්‍රබල සේනාවක් රැුගෙන එන ලෙස ඉල්ලමිනි. එළාරගේ ඉල්ලීමට අනුව භල්ලූකයන් හැටපන්දහසක සේනාවක් රැුගෙන විත් මන්නාරමින් ගොඩබසින විට එළාර පැරදී මියගොස් අනුරාධපුර අගනුවර දුටුගැමුණු රජතුමා යටතට පත්වී තිබිණි.

අනුරාධපුරය ජයගෙන විජයග‍්‍රාහීව සිටි ගැමුණු රජතුමාගේ සේනාව භල්ලූක සමග ආ හැටපන්දහසක මහා සේනාව ද මුළුමනින් ම විනාශකර සිංහලේ ජය තහවුරු කරන්නට සමත් විය. කඩුවට කඩුව, හෙල්ලට හෙල්ල වශයෙන් කළ සටනේදී නිසැකවම සිංහල රණවිරුවන් හතළිස්දහසකටවත් දිව පුදන්නට සිදු වන්නට ඇති බව නිසැක වේ. ‘‘මාගේ මේ ව්‍යායාමය රජසැප පිණිස නොව උතුම් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා වේ.’’ යැයි ප‍්‍රකාශ කරමින් දේශපේ‍්‍රමී ජාති හිතෛශී ශාසන මාමක සේනාවක් මෙහෙයවා පරසතුරු බලසෙන් පරදවා රට එක්සේසත් කළ ගැමුණු රජතුමා තමා වෙනුවෙන් හෝ තම එකම පුතු සාලිය කුමරු වෙනුවෙන් මාලිගා ඉදිනොකර මිරිසවැටි දාගැබ, ලෝවාමහාපාය හා ලෝක පූජිත රුවන්වැලිමහා සෑය කරවූ බව ඉතිහාසගත වී තිබේ. ගෞතම බුදු හිමියන්ගේ ශාරීරික ධාතුවලින් වැඩිම ප‍්‍රමාණයක් නිධන් කර තැනූ රුවන්මැලි මහා සෑය කඩා බිඳ දමන්නට ප‍්‍රයත්න දැරූ සෑම පරසතුරු ආක‍්‍රමණික බලවේගයකටම රන්වැලි මහ සෑයේ ධාතු ගර්භයට ළංවන්නට පෙර පරාජය වන්නට සිදු වී ඇත. දුටුගැමුණු රජතුමාගෙන් පසු බලයට පත්

ගැමුණු සොහොයුරු සද්ධාතිස්ස රජතුමාගේ බාල පුතණුවන් වූ වළගම්බා රජ සමය ඇරඹීමත් සමඟම ලංකාව ආක‍්‍රමණය කළ පුලහත්ත. භාගිය, පිලයමාර, පණියමාර හා තිරිතර යන පස්මහ දෙමළ ආක‍්‍රමණිකයන් පරදවා ජය ගනු වස් වනගතව සැඟ වී සංවිධානය වෙමින් වසර දාහතරක් දිග්ගැස්සුණු දුෂ්කර යුද්ධයක යෙදෙන්නට දේශපේ‍්‍රමීන්ට සිදුවිය. ඒ මහා යුධ ජයග‍්‍රහණයේ සංකේතය වූයේ ලොව ලොකුම දාගැබ වූ අභයගිරිය මහා චෛත්‍යයයි. අභයගිරි දාගැබ වටා ප‍්‍රදේශයේ පිහිටුවන ලද පිරිවෙන් දොළහේ පන්දහසක් භික්‍ෂුන් වහන්සේලා අධ්‍යාපනයේ යෙදී සිටි බව ද එම පිරිවෙනක දෙවසරක් ඉගෙන ගත් චීන ජාතික පාහියන් හිමියන් විසින් ලියන ලද ලෝක ප‍්‍රකට දේශාටන වාර්තාවේ සඳහන් වේ.

දුටුගැමුණු රජතුමාගේ මෙන්ම වළගම්බා රජුගේ ද ප‍්‍රධාන අරමුණ වූයේ තමන්ට රැකවරණ දුන් කුපික්කල මහාතිස්ස හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ අපේක්‍ෂාව වූ බුදුසසුන සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමයි. එය ජාතියේ අසහාය වීරයා වූ දුටුගැමුණු රජුගේ පටන් සිංහලේ රාජ්‍ය ප‍්‍රතිපත්තියේ පදනම බවට පත් වී තිබේ.

වළගම්බාවගෙන් පසු බලයට පත් වූ ඔහුගේ මුණුපුරා වූ වංකනාසිකතිස්ස රජු දවස ලංකාව ආක‍්‍රමණය කළ කරිකාලන් ප‍්‍රමුඛ පරසතුරු හමුදාවෝ සිංහල රජු පරදවා ජය ගත්තද, දේශපේ‍්‍රමී සිංහලයන්ගේ වර්ධනය වන විරෝධය නිසා රට යටත් කර පාලනය කළ නොහැකි බැවින් රටේ වස්තුව කොල්ලකාගෙන ගියහ. වංකනාසික තිස්ස රජ පුත් ගජබා රජතුමා නීලමහා යෝධයා ප‍්‍රමුඛ සේනාව සමඟ දෙමළ දේශයට ගොස් කරිකාලන් පරදවා ලංකාවෙන් වහලූන් ලෙස ගෙන ගිය තරුණයන් දොළොස්දහසට අමතරව දෙමළ තරුණයන් දොළොස්දහසක් සමග ලංකාවෙන් පැහැර ගෙන ගිය රන් පිළිම, ධාතු කරඬු හා මුතු මැණික් ආදී වස්තුවත් සිංහල රටට කළ වරදට වන්දි වශයෙන් දෙමළ දේශයේ පූජනීය වූ පත්තිනි සළඹත් ලංකාවට ගෙන ආ බව ඉතිහාස ගත වී තිබේ. ලංකාවෙන් අග කායවාගු (ගජබාහු* නම් යක්‍ෂ රජෙක් (සිංහල* දෙමළ දේශයේ පූජනීය වූ පත්තිනි සළඹ ලංකාවට ගෙන ගිය බව සීලප්පදිකාරම් නම් වූ සොලී රටේ ප‍්‍රකට දෙමළ ග‍්‍රන්ථයේ සඳහන් වී තිබේ.

ගජබාවන්ගේ ජයග‍්‍රහණයෙන් දෙසිය වසකට පසු දාඨය, පීඨය, පාරින්ද, බුද්දපාරින්ද ආදීන් ප‍්‍රමුඛ සයමහා දෙමළ ආක‍්‍රමණික හමුදා මිත‍්‍රසේන රජු මරා රජරට යටත් කරගත්ත ද ළමා ධාතුසේන කුමාරයාට රැුකවරණය දී ශිල්ප ශාස්ත‍්‍ර උගන්වා අර්තතන්ත‍්‍ර, රාජ්‍ය තන්ත‍්‍ර, යුද්ධ තන්ත‍්‍ර ආදී පංච තන්ත‍්‍ර ප‍්‍රගුණ කරවා දහසකට වැඩි කලක් තිස්සේ රහසේ ගමින් ගමට යමින් විමුක්ති සේනා සංවිධානය කිරීමට මුල් වූයේ දික්සඳ සෙනෙවියා පිරිවෙන්පති ජාතියේ මහා ලේඛක මහාවංශ කත_ෘ මහානාම හිමියන් බව ඓතිහාසික සත්‍යයකි. පරසතුරන් පරදා රට බේරා ගන්නට දහසකට වැඩි කලක් දිග්ගැසුණු දුෂ්කර යුද්ධයක යෙදුණු ධාතුසේන රජුගේ නායකත්වයෙන් සිදුවූ සටනේදී දුටුගැමුණු හා වළගම්බා රජුන්ගේ කාලවලදී මෙන් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට රට දැය සමය වෙනුවෙන් දිවි පුදන්නට සිදුවිය. යුද්ධය ජයගෙන කලා, බලලූ වැව් ප‍්‍රමුඛ වැව් පද්ධතියක් කරවූ ධාතුසේන රජතුමන් විසින් කරවන ලද යෝධ ඇළ (ජයගඟ* ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව මගින් ප‍්‍රකාශයට පත් කර ඇත. ධාතුසේන රජතුමාගේ පුත් කාශ්‍යප රජතුමා විසින් කරවන ලද සීගිරිය කලා භවනක් සේ ලෝක ප‍්‍රකට වී ඇත.

ධාතුසේන රජතුමාගෙන් දෙසිය වසකට පසු පළමුවැනි සේන රජු දවස රට ආක‍්‍රමණය කළ පරන්තක ප‍්‍රමුඛ පරසතුරු සේනාවෝ සේන රජුගේ හමුදාව පරදවා රටේ වස්තුව කොල්ල කාගෙන ගියේ විමුක්තිකාමී ජනතාවගේ විරෝධය මධ්‍යයේ රට පාලනය කළ නොහැකි බැවිනි. පළමුවැනි සේන රජුගේ පුත් දෙවැනි සේන රජු තමන්ගේම නම ඇති සේන නම් සෙනෙවියකු යටතේ දෙමළ දේශයට සේනා යවා ලංකාවෙන් ගෙන ගිය වස්තුවත්, ලංකාවට කළ වරදට වන්දි ගෙන එන්නටත් සමත් විය.

යළිත් සිය වසකට පසු තුන්වැනි මහින්ද රජු දවස ලංකාව ආක‍්‍රමණය කළ ශ‍්‍රී මාරශ‍්‍රී වල්ලභ ප‍්‍රමුඛ පරසතුරු සේනාව රටේ වස්තුව කොල්ලකාගෙන ගිය ද රට පාලනය කරන්නට උත්සාහ නොකළේ විමුක්තිකාමී ජනතාවගේ විරෝධය නිසාය. තුන්වැනි මහින්ද රජු පුත් හතරවැනි මහින්ද රජු විදුරඟ සෙනෙවිගේ නායකත්වයෙන් සේනා ශක්තිමත් කර දෙමළ දේශයට යවා ලංකාවෙන් ගෙනගිය ධාතු කරඬු හා රන් පිළිම ආදී පූජනීය වස්තුත් සිංහල දේශයට කළ වරදට වන්දිත් ගෙන එන්නට සමත් විය. දෙවන පෑතිස් රජු සොහොයුරු සූරතිස්ස රජු මරා රජරට යටත් කරගත් සේන, ගුත්තික ප‍්‍රමුඛ පරසතුරන්ට එරෙහිව විසි දෙවසරක් දිග්ගැසුණු විමුක්ති සටනක යෙදුණු අසේල රජතුමාගේ පටන් දප්පුල රජු දවස රට ආක‍්‍රමණය කරන්නට ආ තුන්වැනි කි‍්‍රෂ්ණ දක්වා වූ පරසතුරු ආක‍්‍රමණ අටකදී ලක්‍ෂ සංඛ්‍යාත දේශපේ‍්‍රමීන්ට දිවි පුදන්නට සිදු වුවද තුන්වැනි ක‍්‍රිෂ්ණාගේ හමුදාවට ලංකාවට ගොඩබසින්නට ඉඩ නොදී තම නාවික සේනා බලය මගින් සතුරු සේනා මුහුදේදීම විනාශ කරවන්නට දප්පුල රජතුමාට හැකි විය. එසේ වුවත් එයින් සිය වසකට පසු මුළු ඉන්දියාව තමන් යටතට ගෙන ඉන්දියන් සාගරය පුරා බලය පතුරුවන්නට සමත් වූ මුණ්මඩි චෝල මණ්ඩල අධිරාජ්‍ය බලය මගින් ලංකාවම යටත් කර පාලනය කරන්නට සොලීන්ට හැකි විය. සියවසකට කිට්ටු කාලයක් පැවැති සොලී ආධිපත්‍යය අවසන් කරන්නට හැකි වූයේ පරාජයන් හතරකින් පසුබට නොවී සොලී මූලස්ථානය බවට පත්ව තිබූ පොලොන්නරුව අල්ලා ගන්නට නායකත්වය දුන් කීර්ති කුමාරයා ප‍්‍රමුඛ දේශපේ‍්‍රමීන්ගේ ජීවිත පූජාවන් නිසාය.

ඉන්දියානු ඉතිහාසඥ නීලකණ්ඪ ශාස්ත‍්‍රිගේ පවා ඇගයීමට ලක් වූ කීර්ති කුමාරයාගේ ජයග‍්‍රහණය ඊළාම් විරෝධී යුද්ධයට ද මඟ පෙන්වන්නක් විය. බටහිර වෙරළ ඔස්සේ මන්නාරම දක්වාත්, නැගෙනහිර වෙරළ ඔස්සේ ත‍්‍රිකුණාමලය දක්වාත් සේනා යවා ප‍්‍රධාන සේනාව මහියංගනය ඔස්සේ මහවැලි ගං ඉවුර දිගේ තමන්ම මෙහෙයවූ කීර්ති කුමාරයාට ජය ගත හැකි විය. ඒ යුද ක‍්‍රියාමාර්ගය ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ ඊළාම්වාදින් පරාජය කිරීමට පවා මඟ පෙන්වන්නක් විය. ලක්‍ෂ ගණන් දේශපේ‍්‍රමී ජීවිත පූජාවන් මගින් රට බේරාගත් කීර්ති කුමාරයා විජයබාහු නමින් රජ වී වසර පනස් ගණනක් රට කරවුවත් ඔහුගෙන් පසු රාජ්‍ය උරුමක්කාරයන් අතර ඇති වූ අර්බුද නිසා රට කොටස්වලට බෙදී ගිය ද ළමා වියේදී යුද මගට එළඹුණු පැරකුම් කුමාරයා රට එක්සේසත් කර මහා පරාක‍්‍රමබාහු නමින් රජවී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කරන්න සමත්වීම ජාතියේ භාග්‍යයකි. අලූතින් ලොකු කුඩා වැව් එක්දාස් හාරසිය හැත්තෑ අටක් කරවා පැරණි වැව් තුන්දාස් හයසිය ගණනක් පිළිසකර කරවා ලැබුණු අතිරික්ත සහල් නිෂ්පාදනය මිතුරු රටවලට තෑගි කර දෙන්නට තරම් ලංකාව සමෘද්ධිමත් වූයේ මහ පැරකුම් රජුගේ සුවිශේෂ නායකත්වය නිසාය. පැරකුම්බා රජුගේ ලක්‍ෂ සංඛ්‍යාත සේනාවන් සොලීන්ට එරෙහිව ලංකාපුරගේ හා ලංකානාථගේ නායකත්වයෙන් දකුණු ඉන්දියාවේ රඳවා තිබූ නිසා උතුරු ඉන්දියාව තමන් යටතට ගත් මුස්ලිම් හමුදාවන් සාංචියෙන් පහළට එන්නට එඩිතර වූයේ නැත. එනිසාම උතුරු ඉන්දියාවේ නාලන්දා, වික‍්‍රමශීලා, ජගද්දලා, ඕදන්තපුරි ආදී විශ්ව බෞද්ධ අධ්‍යාපන ආයතන පොළොවට සමතලා කර ලක්‍ෂ ගණන් භික්‍ෂුන් වහන්සේ ඝාතනය කර කෝටි ගණන් බෞද්ධ පුස්කොළ පොත් ගිනිතබා සංඝරත්නයත්, ධර්මරත්නයත් උතුරු ඉන්දියාවෙන් අතුගා දැමූ මුස්ලිම් ආක‍්‍රමණිකයන් දකුණු ඉන්දියාවට නොපැමිණීමේ ප‍්‍රතිඵලය වූයේ සාංචියේ සිට මදුරාසිය දක්වා ප‍්‍රදේශයේ බුදු සමය ආරක්‍ෂා වීමයි. එනිසාම සොලී රටේ විසූ චෝලීය ධම්මපාල හිමියන් කුරුණෑගල යුගයේ ලංකාවට වැඩම කරවා පාලි ජාතක පොත සිංහලෙන් ලියවා ජාතක කථා මගින් ජාතිය අවදි කරන්නට හතරවැනි පැරකුම්බාවන්ට හැකි විය.

මහ පැරකුම්බාවන්ගෙන් පසු රජ වූ ලීලාවතී බිසව අසාර්ථක නායකත්වයක් විය. ඉන්පසු බලයට පත් වූ නිශ්ශංක මල්ල රජු තරමක් සාර්ථක නායකයෙක් වුවත් ඔහුගෙන් පසු රජ වූ කල්‍යාණවතී බිසවගේ අසාර්ථකභාවය නිසා විශාල සේනාවක් රැුගෙන ආ කාලිංගමාඝට පොලොන්නරුව ලේ විලක් බවට හරවා රජරට යටත් කරගත හැකි විය. එසේ වුවත් දඹදෙණියෙන් බිහි වූ විමුක්තිකාමී වීරයා වූ තුන්වැනි විජයබා රජු විමුක්ති සේනා පිරිවරාගෙන ගොස් කාලිංගමාඝ පරදා පොලොන්නරුව අල්ලා ගත්ත ද යාපනය දක්වා පසුබැස ගිය මාඝගේ කුරිරු සේනාවෝ වැව් ඇළවේලි බිඳ දමමින් කළ විනාශය නිසා පොලොන්නරු රාජධානිය සංවර්ධනය කිරීමේ දුෂ්කර බව නිසා තමන්ට හුරු පුරුදු සරුසාර දඹදෙණිය අගනුවර කර ගෙන රට කරවන්නට විය. විජයබාවන්ගේ පුතණුවන් වූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පැරකුම්බා යුගය ශිල්ප ශාස්ත‍්‍ර හා සාහිත්‍ය කලාදියෙන් උසස් අවධියක් බවට පත්විය. එසේ වුවත් දෙවැනි පැරකුම්බා පුත් තුන්වැනි පැරකුම්බාවන්ගේ අසාර්ථකභාවය තම වාසියට හරවා ගත් ආර්ය චක‍්‍රවර්ති ප‍්‍රමුඛ පරසතුරු හමුදාවෝ දඹදෙණි රාජධානිය යටත් කරගත් පසු යාපහුව පදනම් කරගෙන බලකොටු බැඳ පරසතුරන්ට එරෙහිව ප‍්‍රයත්නයක යෙදුණු බුවනෙකබා රජු ජාවකචන්‍ද්‍රභාණු ප‍්‍රමුඛ පරසතුරන් අතින් පරාජයට පත් වුවද, ඒ කිසිවකින් පසුබට නොවූ සිංහල විමුක්තිකාමීහු හතරවැනි පැරකුම්බාවන්ගේ නායකත්වයෙන් කුරුණෑගල අගනුවර කරගෙන නව රාජධානියක් ගොඩනැගූහ. චෝල දේශයෙන් වෝලීය ධම්මපාල හිමියන් ගෙන්වා පාලි ජාතක පොත සිංහලට පරිවර්තනය කරවා සිංහල රාජධානිය පුරා ජාතක කථා කියැවීම මගින් ජාතිය අවදි කර වූ හතරවැනි පැරකුම්බාවන් හතළිස් වසරක් සාර්ථකව රට කරවුවද ඔහුගෙන් පසු රජ වූ පස්වැනි පැරකුම්බා රජු දුර්වලයකු වූයෙන් මහා චීන හමුදාවක් ගෙනා චෙංගෝ සෙනෙවියා කුරුණෑගල රාජධානිය යටත් කර රජු සිරකරුවකු ලෙස චීනයට යවන්නට තරම් ප‍්‍රබල විය.

කුරුණෑගල රාජධානිය බිඳ වැටීමෙන් පසුබට නොවූ සිංහල විමුක්තිකාමීහු වඩා සුරක්‍ෂිත ප‍්‍රදේශයක පිහිටි ගම්පල අගනුවර කරගත් හතරවැනි බුවනෙකබා රජු සමග එක්වූහ. ගම්පල යුගයේ ගඩලාදෙණිය, ඇම්බැක්කේ හා දෙගල්දොරුව වැනි මහා විහාර බිහිවීම මහනුවර රාජධානිය බිහිවීමට පවා හේතු වී යයි කිව යුතු වේ. වීර අලකේශ්වර පරදවා කෝට්ටේ රජ වූ හයවැනි ශ‍්‍රී පැරකුම්බා රජුගේ බුද්ධිමත් ක‍්‍රියාමාර්ගය නිසා රට එක්සේසත් කළ හැකි වුවද සාහිත්‍ය කලාදියෙන් බැබළුණු අවුරුදු පනස් ගණනක ශ‍්‍රී පැරකුම් යුගය අවසානයේ බිහි වූ රජවරු දුර්වලයන් වූයෙන් යළි රට උඩරට පහතරට වන්නිකරය හා යාපනය වශයෙන් බෙදෙන්නට විය. නමවැනි විජයබාහු රජු මරා කෝට්ටෙ රාජධානිය තුනට බෙදාගත් හතරවැනි බුවනෙකබා මායාදුන්නේ හා රයිගම් බණ්ඩාරගේ පිළිවෙත පෘතුගීසි බලය බස්නාහිර, දකුණේ හා උතුරේ ව්‍යාප්ත වීමට ආධාර විය. පුතුන් නොසිටි බුවනෙකබාහුගේ දියණියගේ පුතා රාජ උරුමක්කාරයා ලෙස නම් කරවන්නට තරම් බුවනෙකබාහුට ළංව සිටි පෘතුගීසිහු ලාබාල ධර්මපාල කුමරාට පෘතුගාලයේ ජෝන් රජුගේ ආධාර ලබා දෙන බව ප‍්‍රකාශ කරමින් ධර්මපාලයන් දොන් ජුවන් ධර්මපාල බවට පත් කරවා හත්වැනි බුවනෙකබාහු මරවා තමන්ට වුවමනා ලෙස කෝ්ට්ටේ රාජධානිය මෙහෙයවන්නට විය. දොන් ජුවන් ධර්මපාල බවට පත් වු ළාබාල ධර්මපාල රජු කතෝලික ආගම වැළඳ ගැනීම ගැන කළකිරුණු දේශපේ‍්‍රමී සිංහල බෞද්ධයෝ දෙවනගල රතනාලංකාර හිමියන්ගේ උපදේශකත්වයෙන් පෘතුගීසි සේනා විනාශ කරවූ කොනප්පු බණ්ඩාරයන් විමලධර්මසූරිය නමින් රජ වූ පසු එතුමන් වටා එක්වන්නට වූහ.

සීතාවක රාජසිංහ රජතුමාගේ අභාවයෙන් පසු සීතාවකත්, රයිගමත් ඇතුළු බස්නාහිර පළාතත්, දකුණත් උතුරත් තමන් යටතට ගන්නට පෘතුගීසීන්ට හැකි වුවද රටේ භූමියෙන් හතරෙන් තුන්ගුණයක් තරම් වූ ඌව වෙල්ලස්ස, මාතලේ වන්නි හත්පත්තුව හා වයඹ පළාතත් නැගෙනහිරත් යටත් කර ගන්නට පරංගි හමුදාවන්ට නොහැකි විය. ලෝක ප‍්‍රකට පෘතුගීසි සේනාපතීන් වූ දියෝගු ද මේලෝකැස්ට්‍රෝ හා ජෙනරාල් කුන්ස්තාන්තීනුදසා වැනි නායකයන් ඔවුන්ගේ කාලතුවක්කු සේනාංක සමග සමූලඝාතන පරාජයන්ට ලක්විය. විමලධර්මසූරිය රජුගේ සොහොයුරු සෙනරත් රජුගේ පුත‍්‍ර මහාස්ථානේ කුමාරයා දෙවැනි රාජසිංහ නමින් රජ වී රට කරවද්දී වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගන්නට රජු හමුවන්නට ගිය හල්ෆ්ට් ආණ්ඩුකාරයාට සිංහාසනාරූඪව සිටි රජු වෙත යන්නට සිදු වූයේ දණගසාගෙනය. උඩරට යටත් කර ගන්නට දැරූ ප‍්‍රයත්නයන් අසාර්ථක වූ පසු උපායශීලී ලෙස සාමකාමීව වෙළෙඳ කටයුතු කර ගැනීමේ ගිවිසුම්වලට එළඹුන ලන්දේසීන්ට ලංකාවේ මුහුදුකරය අහිමි වූවේ ඉංග‍්‍රීසීන්ගේ පැමිණීමත් සමඟය. ලන්දේසීන්ගේ තැන ගත් ඉංග‍්‍රීසීන්ට ද පළමු උඩරට ආක‍්‍රමණයේදී සමූලඝාතන පරාජයකට මුහුණ දෙන්නට සිදුවිය. පරාජිත පෙඞ්රික් නෝර්ත් වෙනුවට ලංකාවට පැමිණි මේට්ලන්ඞ් ආණ්ඩුකාරයා උඩරට රජු සමග සාමයෙන් කටයුතු කළ ද ඊළඟට ආ වංශාධිපති බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා කූටෝපායික සිවිල් නිලධාරියකු වූ ජෝන් ඩොයිලිගේ මාර්ගයෙන් තරුණ රජුත් නිලමෙලාත්, භික්‍ෂුන් වහන්සේත් බේද කරවා ඇහැලේපොලට රජකම පෙන්වා රවටා රදල නිලමෙලාගේ ආධාරයෙන් රජු අල්ලාගෙන රටම ග‍්‍රහණයට ගත්තද, ඇතිකරගත් ගිවිසුමේ පොරොන්දු කඩ කිරීමට එරෙහිව නැගී සිටි ඌව වෙල්ලස්ස ජනතාව පළමුවැනි විමුක්ති සටන දියත් කළහ. සටන මර්දනය කරන්නට ගිය කැප්පෙටිපොල මහ නිලමේ සිංහල විමුක්තිකාමීන්ට එක්වීමත් සමග සටන උඩරට පුරා පැතිරෙන බව දුටු බ‍්‍රවුන්රිග් එංගලන්තයට සංදේශයක් යැව්වේ පුංචි ලංකාවේදී පැරදුනොත් ඉන්දියාවත්, අප‍්‍රිකාවත් අහිමි වන බව කියා පාමිනි. ආධාර සේනා සමග බ‍්‍රවුන්රිග්ට එංගලන්තයෙන් ලැබුණු කුරිරු උපදේශය වූයේ වීබිසි, කුරහන්බිසි ඇතුළු ජනතා දේපළ ගිනිතබා කොස්, පොල්, ගස් කපා ලක්‍ෂ ගණන් ගවයන් මරා ගව සම්පත සිංහලයන්ට අහිමි කර අවියක් අතට ගත හැකි සිංහල පිරිමි ළමුන් පවා මරා දමන ලෙසය. උඩරට පුරා සාගින්න පැතිරී සිංහලේ ජනගහණයෙන් දහයෙන් පංගුවක් හෙවත් හැටපන්දහසක් මාස හයක් තුළ ඝාතනය කිරීමත් සමඟ කැරලිකාර නායකයන් අතර ද අර්බුද ඇති වූයෙන් සිංහලේ විමුක්ති සටන පරාජයෙන් කෙළවර විය. අසේල රජුගේ පටන් වීර පුරන්අප්පු දක්වා වූ විමුක්තිකාමී ඉතිහාසයට අපේ පරපුරේ ඇස් පනාපිට සිදු වූ ඊලාම් විරෝධී සටනේ පරිත්‍යාගයන්ගෙන් නව ජීවයක් ලැබී තිබේ. නව යටත් විජිතවාදී ලෝක බලවේගයක ආධාර ලැබූ කොටි ත‍්‍රස්තවාදය පරාජයෙන් කෙළවර වුවත් රට යළි බටහිර ගැතිභාවයට පත් වී ඇති හෙයින් රට, දැය, සමය වෙනුවෙන් ඉතිහාස යුග ගණනක් තිස්සේ දිවිපි¥ කෝටි සංඛ්‍යාත උතුම් මුතුන් මිත්තන්ගේ ආත්ම පූජාවේ උරුමය ඔස්සේ ඉදිරියට යන්නට අපේ යුගයේ සියලූ දේශපේ‍්‍රමීන් එකමුතු විය යුතුව තිබේ. ජාති, කුල, ගෝත‍්‍ර බේදවලින් තොරව සියලූ දේශපේ‍්‍රමී විමුක්තිකාමීන් එක හිතින් එකමුතු විය යුතුව තිබේ. දේශපේ‍්‍රමී විමුක්තිකාමී ජනතාවගේ ජයග‍්‍රහණය ඒකාන්තය.

පූජ්‍ය මාලේවන ධම්මවිජය හිමි
පෙර අනගාරික ධර්මසේකරතුමා

 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles