Divaina - ලංකාවේ භූමිකම්පා සිදු වූ හැටි...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

bumi499
 
පැරැණි ශී‍්‍ර ලංකා ඉතිහාසයේ සැඟවී ඇති භූමිකම්පා ගැන තොරතුරු කීපයක් මෙහි එයි. ලංකාව ඉන්දීය හා ඕස්ටේ‍්‍රලියානු භූ තැටිවලට මැදිව පිහිටා ඇත. එහෙත් මේ භූ තැටිය මැදින් පිපිරී අලූත් භූ තැටියක් අලූතින් නිර්මාණය වී ඇත. ඒ නිසා පෙරට වඩා ලංකාවට නුදුරෙන් බිහිව ඇති අලූත් භූ තැටි පැල්ම නිසා භූමිකම්පා අවදානම වැඩි වෙයි. ඒ හැර ලංකාවට කිලෝමීටර දොළහක් ඈත මුහුදේ සාගර පතුලේ බිඳීමක් ඇත. ඉන්දීය සාගර හරහා විහිදෙන කඳුවැටියක් ලංකාව අවට මුහුදු පතුලේ වෙයි. කඳුකරයේ අලූතින් ඉදිකර ඇති ජලාශ මෙන්ම කඳුකරයේ සිට මුහුදු වෙරළ දෙසට විහිදෙන භූ පැළුම් ලංකාවේ භූමි කම්පාවලට හේතු වෙයි. ඈත මුහුදේ සිදුවන රික්ටර් පරිමාණය ප‍්‍රබල භූමි කම්පාවලදී එහි අතුරු කම්පන ලංකාවේ ඇතිවිය හැක. උදාහරණයක් ලෙස 2004 දෙසැම්බර් 26 සුනාමියට තුඩුදුන් සමුද්‍ර භූමි කම්පාවේ අතුරු කම්පන ශී‍්‍ර ලංකාවේ ඇති විය. පසුගිය අවුරුදු 300 තුළ රික්ටර් පරිමාණය පහට අඩු සුළු භූමි කම්පා 57 ශී‍්‍ර ලංකාවේ වාර්තා වී ඇති බව මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ කියයි. ලංකා ඉතිහාසයේ සිදුවී ඇති භූමි කම්පා කීපයක් පිළිබඳ තොරතුරු පහත එයි.
 
 1. කඩයිම් විත්ති පොත් අනුව රාවණ රජු කල ලංකාවේ විශාල ප‍්‍රදේශයක් මුහුද ගොඩගලා විනාශ විය. රාවණ යනු කල්පිත රජෙකු බව සැලකෙයි. ඔහු ඓතිහාසික පුද්ගලයකු බව සිතන අය රාවණ කි‍්‍ර.පු. 1800 අවට සිටි බව කියති. රාවණ කල පුවත සත්‍ය නම් එය මුහුදේ ඇතිවූ ප‍්‍රබල භූ කම්පනයක් නිසා ලංකාවේ විශාල කෙටසක් මුහුදුබත් වී ඇත.
 
 2. රාජාවලිය - රාවණ රාජාවලිය - කඩයිම් හා විත්ති පොත් අනුව කැලණිතිස්ස රජු කල මුහුද ගොඩගැලීමක් ගැන කියයි. වංශකතා අනුව මෙයට හේතුව කැලණිතිස්ස රජු නිවැරැුදි රහත් හිමිනමක් උණු තෙල් කටාරමකලා පිළිස්සීමයි. (එතුමා උතුරන තෙල් කටාරමේ සිට කිවූ ගාථා ඇතුළත් පාලි - තේල - කටාන ගාථා අදත් ඇත. මේ ගාථා සියම් රටේ සෙල් ලිපියක ද කොටා ඇත.* මුහුද ගොඩගැලීම වැළැක්වීමට රජු තම දේවී දූ කුමරිය ඔරුවකලා මුහුදට බිලි කළ බව කියවෙයි. මුහුද ගොඩගැලීම බැලීමට රජු ඇතු පිටින් යන විට ඇතු සමඟම ගිලී මල අතර සැළලිහිණි සන්දේශයේ එම ස්ථානය ‘ඇතු බුන් වළ’ ලෙස හඳුන්වයි. මුහුදු රළ සමග ආ රළ හෝ මඩවළට රජු ඇතු සමගම මුහුදුබත් විය. අලංකාර අත්හැර දැමූ විට මේ කතාවේ හරය භූමිකම්පාවක් හෝ මුහුදු ගිනිකඳු විදාරණයක් නිසා මුහුද ගොඩගලා ලංකාවේ දූපත් හා විශාල කොටසක් මුහුදුබත් වූ බවයි.
 
 3. පාලි රසවාහිණී හා සිංහල සද්ධර්මාලංකාරය අනුව දුටුගැමුණු රජු කල (කි‍්‍ර.පු. 161-137* සූර්යග‍්‍රහණ - චන්ද්‍ර ග‍්‍රහණ - මේඝ ගර්ජනා, භූමිකම්පා - ලක්ෂණ මතුවී ඒ මහා සාගතයක පෙරනිමිති යැයි නක්ෂත‍්‍රකරුවන් රජුට දන්වන ලදුව දුටුගැමුණු රජු ගොයම් කරවන ලෙස අණබෙර ගසා රටවැසියන්ට දන්වා රජු ද කුඹුරු කළ බව රසවාහිණියේ මහලෙ වස්තුව කියයි. මේ අනුව දුටුගැමුණු රජු කල භූමිකම්පා සිදුවූයේ සාගතයක පෙරනිමිති ලෙසයි. මහාවංශය අනුව ගැමුණු රජු මළය රට සැඟ වී සිටියදී අක්ඛකායික (බුළු කෑ සාය* සාගතයට පෙර මේ භූමිකම්පා සිදුවිය.
 
 4. පෘතුගීසි යුගයේ දී කොළඹ අවට 1614 අපේ‍්‍රල් 14 ඒ වනතුරු ලංකාවේ සිදුවූ විශාලතම භූමිකම්පාව සිදුවූ බව පෘතුගීසි ලේඛනවල එයි. 1614 අපේ‍්‍රල් 14 සිදුවූ මේ භූමිකම්පාව රික්ටර් පරිමාණයෙන් 7 විය. ඉන් කොළඹ පෘතුගීසි බලකොටුව මුළුමනින් විනාශ විය. නිවාස 500 පමණ කැඞී 2,000 පමණ ජනයා මිය ගියහ. මේ ලංකාවේ වාර්තා වූ දරුණු ම භූමිකම්පාවකි.
 
 5. උඩරට දෙවන රාජසිංහ රජු කල (කි‍්‍ර.ව. 1636-1687* රජුගේ රාජ සභාවේ සිටි ප‍්‍රශස්ථ කවීන්ගේ ප‍්‍රශස්ථි කවි එකතුවක් වූ ‘පවන’ ග‍්‍රන්ථය කිරිඇල්ලේ ඤාණවිමල හිමි 1945 පළකර ඇත. පවන ප‍්‍රශස්ථ කාව්‍ය අග ලංකාවේ සිදුවූ ගංවතුර - භූමිකම්පා රජවරුන්ගේ මරණ ගැන කියවෙන කවි කීපයක් එයි. පවන 311 කවිය මෙසේය.
 
 ‘‘සක රජවරුසෙන් එක්වා දහස් සසිය සපිරෙනු තැන නවම් මස සොබනේ සපුරනු පොළොව ගුගුරුවා මේ හැම තැන භූමිකම්පා වුණේ තදි නේ’’
 
 මේ භූමිකම්පාව ශක 1600 හෙවත් කි‍්‍ර.ව. 1678 සිදුවී ඇත. එම භූමිකම්පාව ගැන ම පවත 318 කවිය මෙසේ කියයි.
 
 ‘‘සකවසිනෙක්දහස් සසියක නවම් ම සේ මෙකල භූමිකම්පා විය මහත් ලෙ සේ’’ 1678 පෙබරවාරි මස සිදුවූ මේ භූමිකම්පාව උඩරටට බලපෑවා විය හැක. (රොබට් නොක්ස්ගේ ‘‘උඩරට විස්තරය’’ අනුව 1664 දෙවැනි රාජසිංහ රජු කල හේලිගේ වල්ගා තරුව උඩරටට දිස්වීමෙන් රටේ මහත් කලබල කැරලි කෝලාහල මතුවිය. රජුට විරුද්ධව අඹන්වෙල රාළ ඇති කළ කැරැුල්ලේදී රජු හඟුරන්කෙත ගලඋඩ බලකොටුවට පලා ගියේය.
 
 6. මහනුවර අවට මහවත්ත ගමේ පිහිටි පැරැුණි වැව හා මහනුවර තිබූ පැරණි බෝගම්බර වැව විනාශ කළ දරුණු භූමිකමපාවක් ගැන උඩරට ජනප‍්‍රවාදවල කියවෙයි. ඒ පවත ප‍්‍රශස්ථි කාව්‍යය කියන 1678 පෙබරවාරි සිදුවූ භූමිකම්පාව ද නැතිනම් වෙනත් එකක් ද අපැහැදිලිය.
 
 7. 2004 දෙසැම්බර් 26 සුනාමිය ඇති කළ රික්ටර් 9.3 බලගතු මුහුදු භූමිකම්පාවේ ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවේ ප‍්‍රදේශ කීපයකට සුළු භූමිකම්පා ඇති විය.
 
 8. 2005 ජුලි 24 රාති‍්‍ර 9.00 අන්දමන් නිකොබාර්වල සිදුවූ රික්ටර් 7.2 භූමිකම්පාව සමඟ ලංකාවේ කම්පන සිදුවිය.
 
 
 වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්. කේ. ජයවර්ධන


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles