Divaina - ආදරය අහිමි වුණාම මුලින්ම පුරුදු වුණේ අරක්කු සිගරට්වලට ඊළඟට කුඩුවලට

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

adaraya

* මතින් දැය මුදාගැනීමේ කන්දකාඩුවේ හමුදා මෙහෙයුම - 05 
* කන්දකාඩු ආව නිසා දැන් අලූත් බලාපොරොත්තුවක් ඇතිවෙලා

තිස් වසරක යුද්ධයෙන් පසු සන්සුන්ව තිබෙන මේ බිමෙහි යලි, නැවුම්ව පූදින්නේ මත් මායාවෙන් තැලී පොඩිවුණු සිත්මල්ය. ඒ මහඟු කාර්යයට නායකත්වය දෙන්නේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශයයේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජනරාල් ජානක රත්නායකය. කන්දකාඩුව ප‍්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ සේනපුර තෘතියික සහ වෘත්තීය සාක්‍ෂරතා මධ්‍යස්ථානය තවත් එක් ‘‘පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්’’ ලෙස හඳුවන්නට නොහැක. එය ඉතා විධිමත් ලෙස අන්තරායකාර ඖෂධ නැතහොත් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහිවූ පිරිස් පුනරුත්ථාපනය කිරීමේ කි‍්‍රයාදාමයක් සහිත ක‍්‍රියාන්විතයකි. කන්දකාඩුවේදීත්, සේනපුරදීත් වසරක කාලයක් නැවත ‘‘ගොඩනැගෙන’’ තරුණ පිරිස් සමාජගත වන්නේ සිය ජීවිතවල වටිනාකම නොමඳව වටහා ගනිමිනි. එමතුද නොව සියලූ ජීවිතවලට අයත් වටිනාකම් අවබෝධ කරගනිමිනි. මේජර් ජනරාල් ජානක රත්නායකගේ ඉලක්කගත අරමුණ වන්නේද එයමය.

මතින් මිදී, පසන් සිනහවෙන් යුතුව නැවත මේ පොළොවෙහි වීරියෙන් නැගී සිටින්නට වෙර දරන යෞවන ජවය සමග ගනුදෙනු කිරීමේ මහඟු අවස්ථාව හිමිවන්නේ එවන් මොහොතකය. ඒ අත්දැකීම් සමාජ ව්‍යසනයන් හඳුනා ගැනීමේ අත් පොත්ය. යෞවනය වරදෙහි බැඳෙන අවස්ථා හඳුනා ගැනීමේ මෙවලම්ය. විනාශයට මඟ පාදන මංපෙත් වසා දැමීමේ ඉඩකඩය. එපමණක් නොව නොමඟ ගියවුන් සුමඟට ගැනීමේ සාරවත් අත්දැකීම්ය.

කන්දකාඩුවේදී, සේනපුරදී මුණගැසුණු බොහෝ දරුවන්ගේ කතන්දර රටට හෙළි කළ යුත්තේ එහෙයිනි. පුනරුත්ථාපනය යනු ‘‘වදහිංසනය’’ යැයි වැරදි කතාබහක් සමාජගතව තිබුණ ද, ‘‘වෙදකමට’’ වඩා ‘‘හෙදකම’’ කොතරම් ප‍්‍රායෝගික ද යන්න මෙබිමෙහිදී අත්දුටුවෙමි.

‘දුෂාන්’ කන්දකාඩුවට එන්නේ ද ‘මත’ නිසා ජීවිත අවදානමක් ගනිමිනි. ඔහු ඉස්පාසුවක් නැතුව මේ කියන්නේ අතීතයේ අත්විඳින්නට වූ ඒ පීඩාකාරී අත්දැකීම ගැනය.

”ඉස්කෝලේ ගිය කාලේ අපිට හුඟාක් දේවල් තේරුම් ගියේ වරදක් සිදුවුණාට පස්සේ. ගුරුවරු කොයිතරම් අවවාද කළත් හොඳ නරක කියා දුන්නත් ඔළුවට ගියේ කොයිතරම්නම් සුළු ප‍්‍රමාණයක්ද? අපට වුවමනා වුණේ විනෝදෙන් ජීවත් වෙන්න. සැහැල්ලූවෙන් පාවෙනවා වගේ ඔහේ ඉන්න...

ගෙදරින් දවල්ට කන්න හදලා දෙන බත් එක දහය වෙන්නත් කලින් කාලා, උගන්නන දෙයක් අහගෙන ඉඳලා අරමුණක් නැතුව ඉස්කෝලෙ කාලේ ගත කළාම අන්තිමට සිද්ද වෙන්නේ කන්දකාඩු එන්නම තමයි...” දුෂාන් කියාගෙන කියාගෙන ගියේ හිතට ආපු දේවල්.

දුෂාන් ක‍්‍රීඩාවට දක්ෂ ගණිතයට ඉංග‍්‍රීසිවලට බොහොම දක්ෂ ළමයෙක්. ඔහුට ඕනෑම ගණනක් මනෝමෙන් හදන්න පුළුවන්. පන්තියේ ළමයි දුෂාන්ව හැඳින්වුවෙ ගණන්කාරයා කියලා. එපමණක් නොවෙයි, ඉංග‍්‍රීසි දැනුමත් ගණන්වලට දෙවැනි නැහැ. ඕනෑම කතාවක් ඉංග‍්‍රීසියට හරවන්න දුෂාන්ට යන්නේ තත්පර කිහිපයක් පමණයි. දක්ෂතාව උපතින්ම රැුගෙන ආ දුෂාන් අපොස සාමාන්‍ය පෙළ අපොස උසස් පෙළ ඉහළින්ම සමත් වෙනවා. ඔහුට හිමිවන්නේ උසස් ප‍්‍රතිඵල.

”මම ඒ ලෙවල් කළේ ගණිතය විෂයන්ගෙන්. සී තුනක් මට ලැබුණා. අම්මා අක්කා හිතුවා අපි දිනුවා තමයි කියලා. මොකද මගේ ප‍්‍රතිඵල එක්ක මට අඳුරන හුඟක් දෙනෙක් මට විවිධ රැකියා සඳහා කතා කළා.

මගේ ඉස්කෝලේ කාලේ යාළු වුණ ගෑණු ළමයා හරි හොඳයි. හරිම ලස්සනයි. මගේ යාළුවෝ නිතරම කියනවා මාර ලස්සනයි මචං කෑල්ල නම් කියලා. ඇත්තටම මං අකැමැතියි එයාට කෑල්ල කියනවාටවත්. මගේ පුරුද්දක් තිබුණා ආදරේදි මම සංවේදි වැඩියි. මේ ළමයාව පරිස්සම් කරන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. තනියම කොහේවත් යන්න දුන්නේ නැහැ. මං ළඟදි වුණත් මම එයාව බලාගත්තේ මලක් වගේ. හරිම ආදරෙන් පරිස්සමට. ඉස්කෝලේ කාලෙන් පස්සේ, මම එයාගේ හෙවනැල්ල වගේ.

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැ කියලා කියමනක් තියෙනවා වගේ, පරිස්සමට හංගන දේ ඈලියාවට යනවා වගේ මගේ ආදරේ වැඩිකම එයාට කරදරයක් වුණා. මං පස්සෙන් ඇවිදින එක විස්තර අහන එක කෙටියෙන්ම කියනවා නම් තාත්තා කෙනෙක් වගේ හැමදේම හොයලා බලන එක එයාට කරදරයක් වුණා. මං වරින් වර එයාගේ පංතිවල ඉන්න පිරිමි ළමයි එයාට කතාකරනවාට අකැමැති වුණා. ඒ ගැන මං එයාට කිව්වා. මේ තත්ත්වය දිගින් දිගටම වෙද්දි එයාගේ නිදහස මං නැති කළා කියලා මාව දාලා යන්න ගියා. මේක මට දරාගන්නම බැරි වුණා.

ඒ වෙද්දි මං තාක්ෂණික ඉංජිනේරු පාඨමාලාවක් හදාරමින් හිටියේ. ඉංග‍්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවක් වගේම තවත් පාඨමාලා කිහිපයක් සඳහා යොමුවෙලා හිටියේ. ඒත් මගේ ආදරය අහිමි වීම කියන්නේ මගේ ජීවිතය අහිමි වුණා වගෙයි මට දැනුනේ. මොනම විදිහකින්වත් මට මගේ හිත හදා ගන්න බැරිවුණා.

මං ඔහේ පාරවල් ගාණේ ඇවිද්දා. යාළුවො හමුවෙලා හිත හදාගන්න බැලූවා. ඒ අය කිව්වේ මගේ වැරදි නිසා එයා දාලා ගිහින් කියලා. එතකොට මට තවත් දුක හිතුණා. මට මාවම එපා වුණා. බැලූවා බැලූවා මොන අතකින්වත් මගේ හිත හදාගන්න මට බැරිවුණා. ඒ වෙද්දි මං සිගරට් එකක්වත් බීලා තිබුණේ නැහැ. මොකද ඉස්කෝලේ කාලේ සිගරට් මත්පැන් විරෝධියෙක් තමයි මම.

මේ ගෑණු ළමයා අමතක කරන්න මට බැහැ.. දාලා ගිය බව ඉවසන්නත් බැහැ...දවසක් තනියම සිගරට් එකක් බිව්වා... වැඩක් නැහැ. ඒකට හිත හැදෙන්නේ නැහැ. බියර් එකක් බිව්වා. ඒත් වැඩක් නැහැ. හිතට නිදහසක් ඇත්තෙම නැහැ. අරක්කු බිව්වා ඇෙඟ් අපහසුව විතරයි හිතට දැනෙන වෙනසක් නැහැ.

මං ටවුන් එකේ පිට්ටනියේ කෙලවරක ඉඳගෙන කල්පනා කරනවා කොහොමද මේ ළමයා අමතක කරන්නේ කියලා. ආයේ යාළු වෙන්නේ නැහැ කියලත් ස්ථිරයි. මේ තරම් ආදරය කරලා මාව දාලා ගියා නම් මට ආයේ ඕනැත් නැහැ කියලත් හිතෙනව. ඉස්කෝලේ කාලේ මං කවපෙත්ත හෙල්ල විසිකරලා ඇති තරම් ජයග‍්‍රහණ ලබලා තිබුණේ. ඒ කාලේ මා එක්ක හෙල්ල විසිකරන්න පුහුණුව ලබපු මල්ලිලා කිහිප දෙනෙක් පිට්ටනියෙදි හමු වුණා. මට ඒ වෙලාවේ පෙනුණේ උන් බොහොම සැහැල්ලූවෙන් ඉන්නවා වාගේ. කතාකළා දවසක් දෙකක් තුන්වැනි දවසේ මාත් ඒ සෙට් එකේ කෙනෙක් වුණා.

කට්ටිය හවසට කුඩු ගහනවා. පස්හය දෙනෙක් ඉන්නවා සෙට්එකේ. එක එක්කෙනා වෙනස් දාහක දෙදාහක තුන්දාහක වගේ එක එක ගාණට ගහන අය තමයි හිටියේ. මමත් වැඬේට බැස්සා. මුලින් නම් මේ මොන කරදරයක්ද කියලාමයි හිතුණේ. ඒත් ඔළුව නෑ වගේ සේරම නැතිවෙලා යනවා වගේ දැනුණා. ඔළුවට නිකං පොල්ලකින් ගහලා වගේ. උදේට නැගිටින්න බැහැ. කන්න බැහැ. තේ බොන්න බැහැ. මහා අමාරුයි ඇඟට.

ටික දවසක් යද්දි වැඬේ සෑහෙන අවුලක් කියලා තේරුණා. අක්කා මා ගැන හොඳට දන්නවා. එයාට මගේ වෙනස තේරුණා. අම්මාත් දැනගත්තා මං පිස්සෙක් වගේ හැසිරෙනවා කියලා. දෙන්නා දෙසරයට මගෙන් හොඳින් ඇහුවා. මං ගණන් ගත්තේවත් නැහැ. අම්මා මාව දොස්තර කෙනෙක් ළඟට බලෙන්ම ඇදගෙන ගියා. දොස්තර මහත්තයා වැඬේ දැනගත්තා. අම්මාට කියන්න ඇති. දවසක් මං දැක්කා අක්කා මගේ ෆෝන් එක බලනවා. ඉන් පස්සේ දවස් දෙක තුනක් විතර මට බඩු ආවෙත් නැහැ. මං ගිහින් හොයලා බලද්දි අර මල්ලිලාට අක්කා නොසෑහෙන්න බැනලා.

ඒත් වැඩක් වුණේ නැහැ. මං බඩු හොයාගත්තා. අතේ සල්ලි නැතිවෙද්දි පිස්සු වගේ. කොහොමහරි අක්කා අපි සේරොම එක දවසක එක මොහොතක පොලිසියට අල්ලලා දීලා. අපිව අරං ගිහින් වැලිකඩට දැම්මා. උසාවි දවසේ අම්මා කිව්වා කන්දකාඩු දාන්න කියලා. මට කේන්තියි... ඒත් ඇඟට අමාරු නිසා රණ්ඩු කරන්නත් බැහැ. අම්මාගේ අක්කාගේ මූණවත් බලන්නේ නැතුව මම බන්ධනාගාර බස් එකේ නැගලා ගියේ..... කිසිම හැඟීමක් නැතුව.

කන්දකාඩුව ගැනත් අහලා තිබුණේ හොඳ දේවල් නෙවෙයි.. එතන ගොඩාක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා අහලා තිබුණා. කරන්න දෙයක් නැති නිසා ගියා.

ගිය මොහොතේ ඉඳන් පැනලා යන ක‍්‍රමයක් ගැන හිතුවා. උත්සාහත් කළා. ඒත් විදිහක් නැහැ. අපිට කලින් ආපු කණ්ඩායමේ එක්කෙනෙක් දවසක් පාන්දර පැනලා ගිහින්. මට හිතුණා එයා එක්ක යන්න තිබුණා නම් කියලා. කන්දකාඩුවේ සර්ලා කලබල වුණෙත් නැහැ එක්කෙනෙක් පැනලා ගියා කියලා.. මට ඒකත් පුදුමයක් වගේ. හවස් වෙද්දි මෙන්න අර පැනලා ගිය ළමයා කඳවුරේ ඉන්නවා. බලද්දි සර්ලා ගිහින් අල්ලගෙන ඇවිත්.

ඒ ළමයා විස්තර කියද්දි පැනලා යන එකත් එපා වුණා. මොකද මගදි කැලේ කොයි විදිහද කියලා එයා කිව්වා. මොනම විදිහකටවත් පැනලා යන්න බැරිලූ.

ඒ නිසා සිදුවන දෙයක් බලාගෙන හිටියා. අපිට පැළ හදන විදිහ කියලා දෙනකොට එපාම වෙලා හිටියේ. සර්ලා අපි ගැන වෙන වෙනම හොඳ අවධානයකින් ඉන්න බවක් තේරුණා. ඒ නිසා ඉවසාගෙනම හිටියා. කරන්නම දෙයක් නැහැ.

තව ටික දවසකින් අපේ ඇෙඟ් තියෙන ඉන්ද්‍රියන් වලට සිදුවෙලා තියෙන්නේ මොනවගේ හිරිහැරද ඒවා කොයිතරම් විනාශ වෙලාද කියලා රූප රාමුත් එක්කම පෙන්නලා කියලා දුන්නා. අන්න එදා තමයි මට ජීවිතේ

ගැන බයක් දැනුණේ. අපිට ආයේ ගොඩ ඒමක් නැහැ කියලා හිතුනා. මං හිතුවා මගේ ජීවිතයේ ආයේ කවදාවත් මට මගේ ගෙදරටවත් යන්න බැරිවෙයි මාව මෙහෙදිම මැරෙයි කියලා.

අපි කන්දකාඩුවේ එදා ඉඳලා ගෙවපු හැම දවසකම තිබුණේ ජීවිතය ගැන ලොකු බලාපොරොත්තුවක්. කොහොම හරි මම හිතුවා ආයේ අලූතින් ජීවත්වෙන්න ඕනෑ කියලා.

මගේ ඇඟට පණ නැතුව තිබුණ ගතිය ටිකෙන් ටික නැතිවෙලා යන බව මට දැනුණා. මං හිතුවා අර රූපරාමුවල තිබුණ තරම් මට අමාරුවක් නැතුව ඇති කියලා. ඔය අතරේ අම්මා අක්කා මාව බලන්න ආවා. අලූත් බලාපොරොත්තුවක් ඇති වුණා.

මගේ ජීවිතේ ආපහු හැරුණෙ කන්දකාඩුවේ සර්ලා නිසා. මම දැන් බලාගෙන ඉන්නේ සේනපුරට ගිහින් මොනවා හරි පුරුදු වෙලා අලූත් රස්සාවකට යනවා...”

දුෂාන්ට අලූත් බලාපොරොත්තුවක් ඇති වූයේ කලක් බලාපොරොත්තු රහිත ජීවිතයක් ගෙවූ නිසාය. තරුණ සිතක් වරදකට බැඳෙන මොහොත ඇසිපිය හෙලන මොහොතක්ද විය හැකිය. තම තමන්ගේ පවුල්වල සිටින තරුණයන්ගේ සුළු හෝ වෙනසක් ඇතිවේ නම් ඒ පිළිබඳ විමසිලිමත්ව සිටීම වැඩහිටි කාගේත් වගකීමක් වෙයි.

ඡුයාරූප - ෂෙල්ටන් පෝල්

සමන්තී වීරසේකර


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles