Divaina - හබරණ හුරුළු උයනේ අලූත් වන වගාව හොඳයි...!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

habarana499
 
 * ඒත් අසරණ සතුන් ගැන කිසිම සැලකිල්ලක් නැහැ...
 
 * මහා කැලේට උදව් කරනවා නම් කරුණා කරලා හැම පැත්තම බලන්න...
 
 * හුරුළු රක්‍ෂිතයේ වන වගාවත් එක්ක වන සතුන් ගම් වදී කියලා ප‍්‍රදේශවාසීහු බියෙන් සැලෙති...
 
 * වන සතුන් මාරුවෙන මංකඩවල් දිගටම...
 
 * අලි මිනිස් ගැටුම් දැඩිව පවතින ප‍්‍රදේශයක්...
 
 
 මිනිසුන්ගේ අමන ක‍්‍රියාකාරකම් හමුවේ ලෝකයේ වන ගහනය සීග‍්‍රයෙන් විනාශ වෙමින් තිබෙන බව සැබෑය. ලෝකයට හුස්ම සපයන ඇමසන් වනාන්තරයත් ගිනි ගෙන දැවෙන අයුරු පසුගිය දිනවල අපි දුටිමු. මුලූ මහත් ලෝකවාසීන්ට සියයට තිහකට ආසන්න ප‍්‍රමාණයකින් ඔක්සිජන් සපයන ඇමසන් වනාන්තර විනාශයේ වැරැුදිකරුවන් ද මිනිසුන්ය. ඇමසන් පමණක් නොව ලෝකයේ ඕනෑම රටක වනාන්තර විනාශය සියලූ සත්වයන්ට නරක අයුරින් බලපාන බව නිසැකය. එමෙන්ම ලෝකයේ විනාශයට ‘ඔක්සිජන්’ විදීමක් බවද සැබෑය. මේ වන විටත් ගෝලීය උණුසුම ඉහළ ගොස් දේශගුණික විපර්යාස ඇතිවීමේ ප‍්‍රවණතාව සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. මේ මොහොත වන විටත් දේශගුණික විපර්යාස හේතුවෙන් මුළු මහත් ලෝකවාසීන්ම විවිධකාරයෙන් පීඩා විඳිමින් සිටින බව රහසක් නොවේ.
 
 සෘතු උඩු යටිකුරු වී අපේ රටේ ද පායන කාලයට වැසි කඩා හැලී, වැස්ස කාලයට ගිනි පත්තු වන තරමට පායන අයුරු කාලයක සිට අත්දකින යථාර්ථයයි. ඒ වනාන්තර විනාශයේ කටුක ප‍්‍රතිඵලයකි. 1815 ට පෙර මෙරට සීයට හැත්තෑවක්, අසූවක් පැවති ඝන වන ගහනය මේ වන විට 18% ට 20% ප‍්‍රමාණයට අඩු වී ඇත. ඉඩම් කොල්ලකරුවන් විසින් අදටත් උතුර, නැෙඟනහිර වනාන්තර ප‍්‍රසිද්ධියේ විනාශ කරමින් සිටිය ද බලධාරීන් එය නොතේරෙන ගානට සිටින බව ද ඇත්ත කතාවකි. විල්පත්තු රක්‍ෂිතයේ අක්කර දෙදහස් පන්සීයක් පමණ විනාශ කර අලූතින් ගම්මාන ඉදිකළ කාපාලූ දේශපාලූවන්ට එරෙහිව රටේ නීතිය පවා නිරුත්තර විය. එවැනි කාලකණ්ණි පසුබිමක වන ගහනය වර්ධනය කිරීමේ රුක් රෝපණ වැඩසටහන් පින් වැඩෙන පුණ්‍යකර්මයකි. එහෙත් එම යහපත් වැඩසටහන් දියත් විය යුත්තේ කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් නොවන අයුරිනි.
 
 පසුගිය 12 වැනිදා හබරණ මොරකන්දට යාබදව පිහිටි හුරුළු රක්‍ෂිතයේ එවැනි යහපත් රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කෙරිණි. ‘වන රෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ලංකා බැංකුවේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන් දියත් කළ ‘හරිත අරණ’ වැඩසටහන පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක‍්‍රියාත්මක කරනු ලැබේ. එම වැඩසටහනේ පූර්ණ අනුග‍්‍රාහකත්වය දරුණු ලබන්නේ ලංකා බැංකුව විසිනි. ‘හරිත අරණ’ සමාරම්භක උත්සවයට ප‍්‍රධාන ආරධිත අමුත්තා ලෙස පැමිණි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සුබ මුහුර්තයෙන් පැළයක් සිටුවමින් වැඩසටහන ආරම්භ කෙරිණි. පසුව උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ ‘මේ රටේ ගත වූ වසර 50 - 60 ක අතීතය දෙස බලන විට වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් විනාශයට මුල් වී ඇත්තේ දේශපාලනඥයන් බවයි. පරිසරයට ආදරය කරන නායකයෙක් ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පරිසරයේ සුරක්‍ෂිතාවය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන බව සැබෑය. එහෙත් සුබ මුහුර්තයෙන් ආරම්භ කළ ‘හරිත අරණ’ රුක් රෝපණ වැඩසටහනේ ගැටලූවකට ඇති කාරණය නම් එම වැඩසටහන දියත් වී ඇත්තේ එකී භූමියේ සැරිසරන වන සතුන් ගැන සැලකිලිමත්වීමකින් තොරව වීමය. ඒ බව අපට කීවේ සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් පෙනී සිටින රන්දි පදනමේ නිර්මාතෘ ක‍්‍රිෂාන්ති පෙරේරාය. මේ ඇය අපට කියන කතාවය.
 
 ‘‘හරිත අරණ වැඩසටහන ක‍්‍රියාත්මක වෙන ආකාරය බලන්න හබරණ හුරුළු උයනට අපි ගියා. ගස් වගා කරන්න යෝජිත සබ් ජංගල් එකේ ලොකු ගස් ඉතිරි වෙන්න කැලෑ වඳුළු එළිපෙහෙළි කරලා තියෙන හැටි අපි දැක්කා. ‘වන සතුන් මාරුවන ස්ථානයකි ප‍්‍රවේශමෙන් රිය පදවන්න!’ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරු සහිත භූමියේ කැලෑ වඳුළු කපලා අලූතින් පැළ හිටුවන්න යනවා. එහෙම කැලේ කැපුවහම ඒ භූමියේ ජීවත් වෙන වන සතුන්ට මොකද වෙන්නේ... ඒ අහිංසක සතුන් කොහේ යන්නද... සබ් ජංගල් එක කියන්නේ සතුන් නිතරම
 
 ගැවසෙන භූමියක්. පැටව් එක්ක රංචු පිටින් ඇවිඳින්න, අව්ව තපින්න සතුන් ප‍්‍රිය කරන භූමියක්. ඒ වගේම කැලෑ වඳුළුවලට සතුන් හරිම ප‍්‍රියයි. හරිත අරණ වැඩසටහන ක‍්‍රියාත්මක වෙන ප‍්‍රදේශයේ නිතරම අලි ගැවසෙනවා. ඒ භූමිය එළිපෙහෙළි කළාම වන සතුන්ට මහා කැලේට කොටු වෙලා ඉන්න වෙනවා. ඒකට සතුන් කැමති නෑ. මහා කැලේ කියන්නේ සතුන්ගේ නිවහන. එළිමහන කියන්නේ සබ් ජංගල් එක. සතුන් වැඩිපුර ගැවසෙන්න ප‍්‍රිය කරන්නේ සබ් ජංගල් එකේ. ඒ බිම් තීරු එළිපෙහෙළි කරනකොට තමයි සතුන් ගම්මානවලට රිංගන්න පටන් ගන්නේ...’’
 
habarana3 ‘‘හුරුළු රක්‍ෂිතය ආසන්නයේ පැළ සිටුවන්න කැලෑව සුද්ධ කරනවට අසල්වාසී ගම්මානවල මිනිස්සුත් විරුද්ධයි. අපි ඒ ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ ඒ මිනිස්සු ඇවිත් අපිත් එක්ක කතා කළා. සබ් ජංගල් එක එළි කරනකොට අලි ගම්වදී කියලා ඒ මිනිස්සු හරිම බයෙන් ඉන්නේ. ඒ මිනිසුන්ගේ බය සාධාරණයි. සතුන් ජීවත් වෙන්නේ මතකයත් එක්ක. උන් ජීවත් වෙන පරිසරය වෙනස් වෙනකොට සත්තු වල්මත් වෙනවා. වියරු වැටෙනවා. ගම්මානවලට පැනලා වගා බිම් විනාශ කරලා මිනිස්සුන්ට ගහනවා. මරනවා. සතුන් ගම්වලට පැනලා කලබල කරනකොට මිනිස්සු උන්ව මරන්න උගුල් අටවනවා. වෙඩි තියනවා. මේ හුරුළු රක්‍ෂිතය ආශ‍්‍රිත ප‍්‍රදේශවලදී හක්ක පටස් දාලා අලි, ඌරෝ වෙනත් වන සතුන් විශාල වශයෙන් මරනවා. පහුගිය දවස්වල වස දීලා අලි හත්දෙනෙක් මරා දලා තිබුණෙත් හුරුළු රක්‍ෂිතය කිට්ටුව. මේ විදිහට කැලෑව සුද්ධ කරන්න ගියොත් අලි මිනිස් ගැටුම තවත් වර්ධනය වෙනවා. මිනිස්සුත් මැරෙනවා. සත්තුත් විනාශ වෙලා යනවා. මේ දෙගොල්ලොම අසරණයි. මේ දෙපාර්ශයව වෛරක්කාරයන් බවට පත් කරන්නේ මෙවැනි ව්‍යපෘති. ගහ කොළ වන සතුන් ගැන අවබෝධයකින් තොරව අත්මාර්ථකාමී විදිහට වැඩ කරන දේශපාලනඥයන්. විල්පත්තුවේ අක්කර ගානක් එළි කරලා ගම්මාන හැදුවා. ඒ රක්‍ෂිතවල හිටිය සතුන්ට මොනව වෙන්න ඇතිද? විල්පත්තුවේ ඉඩම් එළිකිරීම් ගැන හැමෝම කතා කරනවා. ඒත් ඉඩම් එළිකිරීමෙන් අසරණ වූ සතුන් ගැන කවුරුවත් කතා කරන්නේ නෑ...’’
 
 ‘‘හඬක් නැති සතුන්ට අසාධාරණයක් කරන්න දෙන්න බෑ. මේ වගේ යහපත් වැඩක් කරනකොට කිසිම පාර්ශ්වයකට අසාධාරණයක් වෙන්න බෑ. මේක ලොකු මුදලක් වියදම් කරන විශාල ව්‍යාපෘතියක්. පැළ අසූ දහසක් වගා කරන්න යෝජිත වෙලා තියෙනවා. එක පැළයක් රුපියල් එක්දාහස් තුන්සීයකට වැඩියි කියලා ආරංචියි. සිටුවන්න තියෙන පැළයක් අඟල් හයකට වඩා උස නෑ. ඒ පැළයක් අඩි පහළොවක් උස ගිහින් මහා ගහක් වෙන්න අවුරුදු හතරක් විතර කාලයක් යනවා කියනවා. නිතරම වන සතුන් ගැවසෙන ඒ වගේ භූමියක පැළ සිටුවලා ඒවා ආරක්‍ෂා කරගන්නත් ලොකු සටනක් කරන්න වෙනවා. ටිකක් ලොකු වෙනකම් පැළ ආරක්‍ෂා කරගන්න සතුන්ව ඒ භූමියෙන් පළවාහරින්නත් ඉඩ තිබෙනවා. එහෙම කළොත් ඒක විශාල පාපයක්. ඒ සතුන්ට කරන අසාධාරණයක්. සතුන් මැරුණට පස්සේ කතා කරලා වැඩක් නෑ. අපේ යුතුකම විය යුත්තේ සතුන්ට හානියක් වෙන්න කලින් පෙන්නා දීම. මම වනජීවී ඇමැතිවරයාට කතා කරලා ඒ ගැන ඇහුවා. ඇමතිතුමා දැනගෙන හිටියෙත් නෑ. ඊට පස්සේ මේ සිද්ධියේ අවදානම් තත්ත්වය එතුමාට පැහැදිළි කරලා දුන්නා. වනජීවී ඇමැතිවරයා මගේ කතාව පිළිගත්තා. වන සංරක්‍ෂණ දෙපාර්මේන්තුවට කතා කරලා මේ ප‍්‍රශ්නය ගැන කතා කළා...’’
 
 ‘‘වන සතුන් ගැන පර්යේෂණ කරන විද්වතුන් කිහිපදෙනෙක් එක්කත් මේ ගැන කතා කළා. ඒ අයගේ මතය වුණෙත් මේ ව්‍යාපෘතිය හරිම පරිස්සමින් කරන්න ඕන කියන එකයි. ඒ ප‍්‍රදේශයේ ජීවත් වන වන සතුන් හුරු වෙලා ඉන්නේ ඒ වන වඳුලූවලට. ඒ බිම සුද්ද කරලා අලූතින් වගා කරනකොට සතුන්ට අමුතුවෙන් ඒ පරිසරයට හුරු වෙන්න වෙනවා. ඒ නිසා මේ වගේ ව්‍යපෘති පටන් ගන්න කලින් හැම පාර්ශ්වයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනෑ. කැලෑව, වන සතුන් සොබාදහම අපිට දීලා තියෙන දායද. රටවැසියන් විදිහට මේ සම්පත් ආරක්‍ෂා කරගන්න අපිට පුළුවන් උපරිමය කරන්න ඕනෑ...’’
 
 ‘‘කැලෑව වැඩි කරන්න මේ වගේ වැඩසටහන් කරන්න ඕනෑ. ඒක කරන්න ඕනේ විල්පත්තුව වගේ මහා පරිමාණයෙන් කැලෑ විනාශ කරලා තියෙන ප‍්‍රදේශවල. රජයේ හිස් ඉඩම්වල. සතුන් බහුලව ගැවසෙන මෙවැනි බිම් තීරු තෝරාගැනීම මහා අපරාධයක්. මේ වගේ වැඩසටහන් දියත් කරනකොට කැලෑවේ ජීවත්වන වන සතුන්ගේ ජීවිත පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෑ. ඒ ප‍්‍රදේශවල ජීවත්වන මිනිසුන්ගේ හඬට ඇහුම්කන් දීලා සතුන් අපේ අසල්වැසියන් කියන සිතිවිලි පෙරදැරි කරගෙන පැහැදිළි අවබෝධයෙන් කළොත් තමයි ව්‍යාපෘතියට ඉහළ වටිනාකමක් එකතු කරගන්න පුළුවන්්. එහෙම නොකර බෝඞ් ගහලා කොච්චර සල්ලි වියදම් කළත් පලක් නෑ...’’ සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් පෙනී සිටින ක‍්‍රිෂාන්ති පෙරේරා, සතුන් අසල්වාසීන් ලෙස හඳුන්වයි. ඒ අසල්වාසීන් ජීවත් වන වන පියස විනාශ කිරීම, උන්ට හිංසා කිරීම බුදු දහමට අනුව ගෙවා නිම කළ නොහැකි පාපකර්මයකි.
 
 හුරුළු රක්‍ෂිතයේ ‘හරිත අරණ’ රුක් රෝපණ වැඩසටහනේ අනිසි ප‍්‍රතිවිපාක ගැන ක‍්‍රිෂාන්ති පෙරේරා එසේ කියන විට එම වැඩසටහන කරගෙන යන වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. සී. වේරගොඩ මහතාට ද අපි කතා කළෙමු. ‘හරිත අරණ’ රුක් රෝපණ වැඩසටහන දියත් කිරීමට හුරුළු රක්‍ෂිතය ආශ‍්‍රිත භූමියේ කැලෑ වදුලූ කැපීමක් සිදු කළේද? මෙවැනි ව්‍යපෘතියක් ක‍්‍රියාත්මක කිරීමේදී එම භූමියේ සැරිසරන වන සතුන් ගැන අවධානය යොමු කළේද? යන ප‍්‍රශ්නවලට පිළිතුරු
 
 ලබාගැනීමේ අදහසින් 0112866616 කාර්යාලයීය දුරකථනය ඔස්සේ මෙන්ම වේරගොඩ මහතාගේ ජංගම දුරකථනයට ද කිහිප අවස්ථාවක්ම අපි ඇමතුම් ලබා ගත්තෙමු. එහෙත් ඒ කිසිදු අවස්ථාවක ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය.
 
 ‘තුරු හිසත් දිය බිඳත් අප අතැර ගිය දිනෙක මරු කතර මැද අතරමං මුව කැළකි අප...’ මිනිසුන් මෙන්ම සතා සිව්පාවාද ජීවත් කරවන්නේ වනාන්තරය. ජාතික වනාන්තර ආවරණයට හෙක්ටයාර් 2,889 ක් එකතු කිරීම සහ ලංකා බැංකුවේ 80 වන සංවත්සරය සැමරීම සඳහා ක‍්‍රියාත්මක ‘හරිත අරණ’ වැඩසටහන යටතේ හුරුළු රක්‍ෂිතය ආශ‍්‍රිතය හෙක්ටයාර් සියයක ගස් වැවීම යහපත්ය. එහෙයින් වන ගහනය වර්ධනය කිරීමට රුක් රෝපණ වැඩසටහන් දියත් කිරීම මිනිසුන්ට සේම වන සතුන්ට සුබ ආරංචියකි. එහෙත් එම රුක් රෝපණ වැඩසටහන් නිසා සතුන්ගේ වාසභූමි විනාශ වී උන් නන්නත්තාර වන්නේ නම් එයින් ඇති පලක් නැත. පරිසරයට ජීවයක් ලැබෙන්නේ වන සතුන්ට අසාධාරණයක් නොවෙන ආකාරයට වන පියස ගොඩනැඟීමට කටයුතු කිරීම තුළින් පමණි.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles