Divaina - නිමා නොවෙන ‘සංක‍්‍රාන්ති සමයක’ හෙළිදරව්ව

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n9 2ගෙවී ගිය ශතක හතරක පහක කාලයක් තුළ බටහිර නූතනවාදය ක‍්‍රම ක‍්‍රමයෙන් ලොව වෙලා ගත්තේ විවිධ රටවල්වලට, ජාතීන්ට උරුම වූ සංස්කෘතීන් සභ්‍යත්වයන් යටපත් කරමිනි. මෙම ප‍්‍රවාහය මුළු ලොව ම ගිලගන්නා සැඩ පහරක් බවට පත් වූයේ  පසුගිය සියවසේ මැද භාගයේ පමණ සිට ය. මෙම ප‍්‍රවණතාවය නිසා නිර්මාණය වූ මහා මානුෂික ඛේදවාචකය නම් එතෙක් පැවති සාමුහිකතවය පදනම් කරගත් සභ්‍යත්වයන් බිඳ වැටී පුද්ගලිකභාවය ඉස්මතු වී මිනිසා සමාජයෙන් වියුක්ත වී විගලිත භාවය ට පත් වීම යි. අද නව යටත් විජිතවාදය තුළ පීඩා විඳින රටවල්වල මෙන් ම ඊනියා සංවර්ධිත රටවල ජීවත් වන්නන් ද මෙම විගලිත භාවය නිසා අසහනකාරී අතෘප්තිකර ජීවිත ගත කරමින් නිරන්තරව පීඩාවට පත් වෙයි. මෙවන් වූ පීඩාවෙන් මිදිය හැකි මඟක් පිළිබඳ ව අප තුළ බරපතල සැක සංකා පහළ වෙමින් පවතින සමයකය ගුණදාස අමරසේකර මහතා සිය නවතම නවකතාව වූ සංක‍්‍රාන්ති සමය එළි දක්වන්නේ. එය සහෘදයා තුළ නව බලාපොරොත්තු නංවන නිර්මාණයක් වන්නේ අමරසේකර මහතා අප පෙළන ව්‍යාධිය මෙන් ම ඉන් මිදිය හැකි මඟ ද එකම චිත‍්‍රයක සිතුවම් කර දැක් වීමට මෙම නිර්මාණය තුළින් සමත් වන බැවිනි.
 
 කොටස් තුනකින් යුතු වූ මෙම කෙටි නවකතාව ඉදිරිපත් කර ඇත්තේ සුජාතා, ඇගේ වැඩිමහල් සහෝදරිය හා සුජාතා ගේ සැමියා වූ රාජන් විසින් කරනු ලබන කථනයන් තුනක් ලෙසිනි.
 
 මෙහි මුල් කථනය ආරම්භ වන්නේ සිය මවගේ හා සහෝදරියගේ දැඩි විරෝධතාවය නොතකා නීති විද්‍යාලයේ දී මුණ ගැසෙන ද්‍රවිඩ ජාතික තරුණයකු වූ රාජන් සමඟ විවාහ වී ඇමෙරිකාවේ පදිංචියට යන සුජාතා එහිදී මුහුණ දෙන මානසික ආතතියට ප‍්‍රතිකාර ගැනීමට මනෝ වෛද්‍යවරියක මුණ ගැසෙන අවස්ථාවෙනි. ඇයට වඩා වසර දහයකින් පමණ වැඩිමහල් සොහොයුරියගේ සෙනෙහෙබර ආදරය හා රැකවරණය යටතේ හැදුනු වැඩුණු සුජාතා ගේ හිතුවක්කාර විවාහය කෙරෙහි සිය දයාබර සොහොයුරිය වෙතින් එල්ල වන දැඩි විරෝධය යටින් දිවෙන ආදරය සෙනෙහස හඳුනා ගැනීමට ඇය අසමත් වන්නී ය. තමා ඉපදුනු හැදුනු වැඩුණු සුපුරුදු පරිසරයෙන් ඉවත් කරනු ලැබූ ඇය ස්වභාවයෙන් ම කරුණාවන්ත පුද්ගලයෙකු වූ රාජන්ගේ ආදරය විඳ ගැනීමට අසමත් වෙනවා පමණක් නොව ඔහු හා ඔහුගේ මිතුරන් ත‍්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයින් යැ යි තීරණය කරයි. මෙසේ ක‍්‍රම ක‍්‍රමයෙන් විගලිත භාවයට පත්වෙන සුජාතා දරුවකු පිළිසිඳ නොගැනීම තමාට ලැබුණු දඬුවමක් ලෙස සලකා දැඩි පීඩාවට පත් වන්නී ය. මෙම පීඩාවෙන් මිදීමට වෛද්‍යවරිය ඇයට යෝජනා කරන්නේ අතීත අවලෝකනයක යෙදෙන ලෙසට ය. එහි දී සුජාතා සිය ළමා විය හා යොවුන් විය හා බැඳි අතීතය වෙත නිරායාසයෙන් ම යොමු වන අතර පසුකාලීන සිදුවීම් පිළිබඳ ව අවලෝකනයක යෙදීමට ඇයගේ ම ඇවත් සිත් ඇයට ඉඩ නො දේ. විශිෂ්ට ගණයේ කතාකරුවකු වන අමරසේකර මහතා සුජාතාගේ අතීත අවලෝකන අතරට එක් කරන මුල් වාක්‍ය ම සුජාතා පමණක් නොව අප සියලූ දෙන නූතනත්වය තුළ මුහුණ දෙන විගලිත භාවය හකුළා දක්වන්නෙකි.
 
 ‘මහ පාරට මුහුණ ලා සිටින අප නිරතුරු රැුස් වී පිළිසඳරෙ හි යෙදෙන ආලින්දයෙකින් යුත් ඒ කුඩා නිවස මට මැවී පෙනේ. දවසේ ප‍්‍රීතිමත් ම කාලය අප ගෙවන්නේ සැඳෑ කාලයේ එතැනට වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටින විට යි.’
 
 නූතනත්වය තුළ අපට අහිමි වී යන ප‍්‍රධාන ම දෙය නම් සාමූහික දිවි පෙවතේ පදනම වූ මෙවන් වූ සතුටු සාමීචිය යැ යි සිතමි.
 
 මා විසින් මුලින් ද සඳහන් කළ අයුරු මෙම නිර්මාණයෙහිි ඇති සුවිශේෂී ගුණය නම් අප පෙළන ව්‍යාධිය මෙන් ම ඊට දිය හැකි පිළිතුර ද වරින් වර මාරුවෙන් මාරුවට චිත‍්‍රණය කර දැක්වීම යි. මෙම නිර්මාණයෙ හි එන වඩාත් ම සංවේදී කොටස වන දෙවැනි කථනය ඉදිරිපත් n9 1කරන්නේ සුජාතා ගේ සොහොයුරිය යි. මේ කාලය තුළ සුජාතා ගැබ් ගැනීමත්, එම දරු ගැබ ඉවත් කිරීමට සිදු වීමත්, සුජාතාට පිළිකාවක් වැළඳීමත් ඇය මරණයට පත් වීමත් ඇතුළත් වෙයි. මෙහි දී පාඨකයාගේ අවධානයට යොමු වන්නේ මේ එකක් පස්සේ එකක් එන කරදර සමූහය ට සුජාතා මුහුණ දෙන ආකාරය යි. කලින් මෙන් දැඩි මානසික ආතතියකට පත් නොවී දැඩි සංයමයකින් යුතු ව මේ සියලූ කරදරවලට මුහුණ දීමට හැකි ශක්තිය සුජාතා ලබා ගත්තේ කෙසේ ද? ඒ පසුගිය කාලය තුළ සුජාතාට යළිත් වරක් පුද්ගලිකත්වය නොව සාමූහිකත්වය ඉස්මතු කරන තමාට උරුම වූ සිංහල බෞද්ධ සභ්‍යත්වය තුළ ජීවත් වීමට අවස්ථාව සැලසීම ද? මේ කාලය තුළ සුජාතා තම සොහොයුරිය හා මව සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට සමත් වෙන අතර ඇයගේ ජීවිතයේ දුෂ්කර කාලයේදී ඔවුන් සමඟ දුක සැප බෙදා ගැනීමට ද ඇයට අවස්ථාව සැලසේ. කාරුණික සැමියකු වූ රාජන්ගේ සැබෑ ස්වරූපය හැඳින ගන්නා ඇය ඔහුගේ නොමඳ ආදර කරුණා ලබමින් සතුටින් මිය යන්නී ය.
 
 දශක හයකට අධික කාලයක් තිස්සේ නිර්මාණය සාහිත්‍යයේ නියැලී සිටි අමරසේකර මහතා එතෙක් මෙතෙක් ඉදිරිපත් කරන ලද ඉතාමත් සංවේදී වූ ද හැඟුම්බර වූ ද විස්තරය අඩංගු වන්නේ ද මෙම දෙවැනි කථනය තුළ යැ යි මම සිතමි. මෙය හුදු අහම්භයක් යයි මම නොසිතමි. මෙරට උගත් මැද පන්තිය තම හැඟීම් සඟවා ගැනීමට ඉගෙන ගත්තේ ඉංග‍්‍රීසින් අනුකරණය කිරීමෙන් යැ යි සිතමි. සුජාතා තම ජීවිතය පුරා දුක් වින්දේ සිය හැඟීම් සඟවා ගැනීමට කරන ලද උත්සාහය නිසා ය. සිය හැඟීම් නො සඟවා එළි කරමින් ජීවිතය හදවතින් විඳ ගැනීමට ඉගෙන ගන්නා සුජාතා තම සොහොයුරිය හා සැමියා ගේ තුරුල්ලේ සතුටින් මිය යයි. මා මේ කියන දෙය වඩාත් හොඳින් තේරුම් ගැනීමට මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ විරාගය නවකතාවේ අවසන් පිටුවේ එන මෙම සටහන උදවු වේ යැ යි සිතමි.
 
 ‘මගේ ලෙඩ සුව නොවේ. එහෙත් කරුණාව, දයාව, ඇල්ම ආදී මිනිස් දහමින් නොතොර තැනක ජීවත් වීම නිසා මගේ කලකිරීම දුරු විය.’
 
 සුජාතාගේ කලකිරීම දුරු වී යන්නේ ද කරුණාව, ඇල්ම, දයාව යන මිනිස් ගුණාංග නැවත වරක් ඇගේ දිවියට ළඟා වීමත් සමඟ ය.
 
 මේ කාලය තුළ දී සුජාතා පමණක් නොව රාජන් ද බුදු දහම කරා යොමු වීම පාඨකයාගේ අවධානයට යොමු විය යුත්තකි. අද අප රටේ ද ශීඝ‍්‍රයෙන් පැතිර යන්නේ බටහිර බුදු දහම යි. ආත්මවාදී දෘෂ්ටියකින් බිහිවුණු බටහිර සභ්‍යත්වය උරුම කරගත් ඔවුහු බුදුදහම සලකන්නේ පුද්ගල විමුක්ති මාර්ගයක් ලෙසින් ය. ඇමෙරිකාවේ භාවනා මධ්‍යස්ථානයකින් බුදුදහම ඉගෙන ගන්නා සුජාතා ඇයට වැළඳෙන පිළිකා රෝගයට බෙහෙත් ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ බටහිර බුදු දහම මඟින් ඇගේ පුද්ගලිකත්වය ඉස්මතු කර තබන ලද බැවින් විය යුතු ය. මෙවන් වූ පුද්ගලිකත්වය ඉස්මතු වූ මානසිකත්වය සැබෑ උපේක්ෂාව නොව ‘ගේහිසිත උපේක්ෂාව’ මතු වීමට අනුබල දෙන්නකි. තම ජීවිතය පිළිබඳ තීරණ ගැනීම තමාගේ තනි අයිතියක් ය යන මිථ්‍යාවෙන් සුජාතා මිදෙන්නේ සිය ළබැඳි සොහොයුරිය ඇමෙරිකාවට පැමිණීමෙන් පසුව ඇයගේ සෙනෙහස විඳීමට පටන් ගත් පසුව ය.
 
 සුජාතා මියගොස් දින කිහිපයකට පසු ව රාජන් සුජාතා බෞද්ධ සාහිත්‍යයේ ඉන්නා තෙරණියක ලෙස තමන්ට හැෙඟ් යැ යි පවසයි. කේ. එන්. ජයතිලකගේ, වල්පොල රාහුල හිමිගේ බටහිර චින්තනයට නැඹුරු වූ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ තුළ බුදු දහමේ හරය සොයමින් සිටි රාජන් ඒ වන විටත් බුදු සමයේ සැබෑ හදවත හඳුනාගෙන සිටි බව ද සුජාතා තෙරණියකට සමාන කොට දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ. ථෙරි ගිථා තුළින් නිරූපණය වන්නේ විමුක්තිය උදෙසා ජීවිතයෙන් පලා යන චරිත නොව ජීවිතයට මුහුණ දීමෙන් විමුක්තිය උදා කර ගන්නා චරිතයන් ය.
 
 සංක‍්‍රාන්ති සමයේ අවසන් කථනය සුජාතාගේ සැමියා වූ රාජන්ගෙනි. සුජාතාගේ මරණයෙන් පසු ඔහුගේ මිතුරා වූ ධර්මන්ගේ ඉල්ලීම මත ඔහු යළිත් වරක් දේශපාලන සංවාදවලට සහභාග් වෙයි. දෙමළ ඩයස්පෝරාව මඟින් ක‍්‍රියාවට නැංවෙන බෙදුම්වාදයට විරුද්ධ විකල්ප මතවාදයන් මෙහි දී සාකච්ඡුාවට බඳුන් වෙයි. මෙහි දී රාජන් විසින් ද අනුදක්නා ලද සිංහල බෞද්ධ සභ්‍යත්වය වටා ගොඩනැගෙන සභ්‍යත්ව සහවාසය පිළිබඳ සංකල්පය බොහෝ දෙනෙකු විසින් අනුමත කෙරුණු නමුදු එය ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ඔවුනට නොමැත. මේ වන විට සුජාතාගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයා වන සේනක සමඟ ද දේශපාලන සංවාදයක් ගොඩ නංවාගෙන සිටින රාජන් සුජාතාගේ තුන් මාසේ දානමය පිංකම වෙනුවෙන් ලංකාවට එන්නේ සිය කිට්ටුම මිතුරා වන ධර්මන් ද සමඟිනි. දේශපාලන නවකතාකරුවකු වන ගුණදාස අමරසේකර මහතා සංක‍්‍රාන්ති සමය තුළ අප මුහුණ දෙන භයානක තත්ත්වය විස්තර කරන්නේ රාජන්ගේ ලංකා ගමන හා සම්බන්ධ කරමිනි. කොළඹ නගරය තුළ අහස උසට ගොඩනැගිලි ඉදිවෙමින් දුප්පත්කම පමණක් සංවර්ධනය කෙරෙන නව ලිබරල් ආර්ථික මොඩලය තවදුරටත් ක‍්‍රියාත්මක වෙමින් පවතිද්දී, සේනක විසින් පෙන්වා දෙන අයුරු විදෙස් මැදිහත්වීමක අන්තරාය එළිපත්තටම පැමිණ තිබෙන මොහොතක, රට බෙදා වෙන් කිරීමේ කුමන්ත‍්‍රණය නොකඩවා ක‍්‍රියාත්මක වන රටක සභ්‍යත්ව සහවාසය ගැන කතා කිරීම කොතරම් දුරට ප‍්‍රායෝගික දැ යි යන ගැටලූව පාත‍්‍ර වර්ගයා තුළ ද පාඨකයා තුළ ද ඇති කරමිනි සංක‍්‍රාන්ති සමය නිමාවට පත් කරන්නේ.
 
 මෙවන් වූ නවකතාවක් තුළට රටේ ඉතිහාසය හා සම්බන්ධ සත්‍ය සිදුවීම් ඇතුළත් වීම වැළැක්විය නොහැක. නිර්මාණකරුවා මෙම ඓතිහාසික සිද්ධීන් උපයෝගී කරගන්නේ එම සිද්ධීන් සිය නිර්මාණයෙ හි එන පාත‍්‍ර වර්ගයා කෙරෙහි බලපාන බැවිනි. ඉතිහාසය පිළිබඳව දැනුවත් පාඨකයා තුළ මෙම නවකතාවේ එන ඇතැම් කාල වකවානු පිළිබඳව ගැටලූ ඇති වීමට ඉඩ ඇත. එය ඔවුන්ගේ රස වින්දනයට බාධාවක් නොවිය යුත්තේ මෙය නිර්මාණ සාහිත්‍ය කෘතියක් මිස ඓතිහාසික ලියවිල්ලක් නොවන බැවිනි.
 
 ‘සංක‍්‍රාන්ති කාලය නැකත් ඇදුරන් විසින් හඳුන්වනු ලබන්නේ කිසිවකු යථාභූත ඥානයෙන් තොර ව විපරිත මනසකින් කටයුතු කිරීමට සලස්වන දුර්දාන්ත පලවිපාක ගෙනදෙන අවධියක් ලෙස ය.’
 
 නයෝමි ක්ලෙයින් නමැති ලේඛිකාව සුප‍්‍රසිද්ධ ‘ෂොක් ඩොක්ටි‍්‍රන්’ කෘතියේ සඳහන් කරන අයුරු අධිරාජ්‍යවාදීන් සිය අභිමතාර්ථයන් සපුරා ගැනීම සඳහා රටවල්වල මෙවන් වූ මනස විපරිත කරවන යුගයන් නිර්මාණය කරයි. අප මේ පසු කරන්නේ ද එවන් වූ අප සඳහා ම නිර්මාණය කර දෙන ලද සංක‍්‍රාන්ති සමයක ද? එය අප වෙනුවෙන් කවරෙකු විසින් හෝ නිර්මාණය කර දෙන ලද්දක් වුව ද අප විසින් ම තනා ගත්තක් වුව ද, ඉන් ගැලවීම සඳහා ඇති විසඳුම අප නැවතත් අපගේ සිංහල බෞද්ධ ජාතික චින්තනය පාදක කරගත් සභ්‍යත්වය සහවාසයක් නිර්මාණය කර ගැනීම ම බවය අමරසේකර මහතා යළිත් වරක් අපට පෙන්වා දෙන්නේ.
 
 අප අමරසේකර මහතා ඉදිරිපත් කරන සභ්‍යත්වය සහවාසය මත පදනම් වුණු විකල්පය පිළිගත්ත ද නොගත්ත ද තවදුරටත් මේ බටහිර ගැති නව ලිබරල් වාදය හා සහවාසයෙන් යා හැකි ගමනක් නැති බව නම් අපට තේරුම් යා යුතු ය. අද අප පසු කරමින් සිටින සංක‍්‍රාන්ති සමය තුළ අමරසේකර මහතාගේ පොත කොතෙක් දුරට පාඨක අවධානයට ලක් වේ දැ යි මා සිත සැක සංකා මතුවෙන්නේ අප අද මුහුණ දෙන ප‍්‍රශ්නවලට ඉතාමත් ඉක්මන් විසඳුම් අවශ්‍යව ඇති බැවිනි. ඒ සියල්ල අතරේ වුව ද අපට උරුම අපේ සභ්‍යත්වය වෙත යළි යොමු වීමට අපේ ම හදවතින් කෙරෙන ආමන්ත‍්‍රණයට අප සවන් යොමු කළ යුතු ම ය. අපට තවදුරටත් ඊට පිටු පා ජීවත් විය නො හැකි ය.
 
 මහාචාර්ය වසන්ත දේවසිරි
 පීඨාධිපති වෛද්‍ය පීඨය
 රුහුණ විශ්වවිද්‍යාලය.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles