Divaina - බැතිමතුන්ට මැණික් ගග එපා කරවන වගකිවයුත්තන්ගේ මජර වැඩ

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n3 3ඌව පළාතේ පිහිටි නමුණුකුල කන්දෙන් ආරම්භ වී වියළි කාෂ්ඨක ප‍්‍රදේශ රැුසක් ජලයෙන් තෙත් කරමින් හා වගා බිම් රැසක් සරුසාර කරමින් කිලෝ මීටර් 150 ක පමණ දුර ගෙවා ඓතිහාසික කතරගම පූජා භූමියද පසුකරමින් ඉතා පාරිශුද්ධත්වයෙන් යුතුව ගලා බසින මැණික් ගං කොමළිය මුහුදට ගලා බසින්නේ ශුද්ධ වූ ජලයක් ඇති පූජනීය වූ ගංගාවක් ලෙසයි.

ලංකාවේ පිහිටි ගංගා අතරින් පූජනීය වූ ගංගාවක් ලෙසත් හා ශුද්ධ වූ ජලයක් ඇති ගංගාවක් ලෙසත් වන්දනීයත්වයට ලක් වන එකම ගංගාව වන්නේද මැණික් ගංගාවය. එය හරියට ඉංදියාවේ හින්දු බැතිමතුන්ගේ පූජනීයත්වයට පත් ගංගානම් ගඟ ලෙසය. අනාදිමත් කාලයක සිට කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන් මැණික් ගගෙන් දිය නා පිරිසිදු වී කතරගම පුද බිම වන්දනාමාන කිරීමට පුරුදුව සිටියහ. එහෙත් අද වන විට එම තත්ත්වය දරුණු ලෙස වෙනස් වී තිබේ. ඊට වගකිවයුත්තෝද බොහෝය. එදා සුනිලවන් දිය පහරක් ලෙස ගලා ගිය මැණික් ගං කොමළිය තුළ අද දක්නට ඇත්තේ අසුන්දර දසුන් පෙළක් පමණි. එදා සුන්දර මෙන්ම පාරිශුද්ධ වූ ජලයක් ලෙසින් ගලාගිය මැණික් ගෙඟ් ජලය අද වන විට ඉතා අපිරිසිදු ජලය ඇති ගංගාවක් බවට පත්ව ඇත්තේද ඇතැම් බැතිමත්න්ගේ හා කතරගම මැණික් ගඟ අවට ජීවත් වන ඇතැම් පිරිස්ගේ විවිධ නරක පුරුදු හේතුවෙනි.

එදා පූජනීය වූ ගංගාවක් ලෙසින් සැලකූ මැණික් ගංගාව අද දරුණු මිනීමරු කිඹුලන්ගෙන් පිරී ගිය හා කැළි කසළ වලින් අපිරිසිදු වූ ගංගාවක් ලෙස බැතිමතුන්ගේද විශ්වාසය වී තිබේ. මේ හේතුව නිසාම අපද කතරගම පුද බිමට ගියේ මැණික් ගංකොමළියට අත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව පාඨක ඔබට කියන්නටය.

මැණික් ගංගාව අවට ඇවිද ගිය අපට දක්නට ලැබුනේ ඉතා අසුන්දර වූ දසුන් පෙළක් බව කනගාටුවෙන් නමුදු කිව යුතුය. සුන්දර මැණික් ගෙඟන් දිය නෑමට තියා මැණික් ගංගාවේ ඉවුරු දිගේ ඇවිද යෑමත් අපහසුය. මැණික් ගඟ ඉවුරු අවට තැන තැන දමා ඇති ප්ලාස්ටික් බෝතල් මදුරුවන්ගේ රජ දහනවල් බවට පත්ව තිබේ. එමෙන්ම විවිධ ස්ථානවලින් අපද්‍රව්‍ය

n3 2රැුසක්ම මැණික් ගංගාවට බැහැර කර තිබේ. වැසිකිළි වලින් පිටාර ගලන අපද්‍රව්‍ය මෙන්ම ඇතැම් නිවාඩු නිකේතන වලින් බැහැර කරන අප ජලයද ඉතා සුක්ෂම ලෙස මැණික් ගංගාවට මුදා හැරීමට කටයුතු කර තිබේ. එමෙන්ම විශාල ලෙස ගං ඉවුර දෙපස විවිධ පිරිස් මළ මුත‍්‍රා කිරීමටද යොදා ගෙන තිබේ. එදා සුදු වැලි තලාවකින් යුතුව ගලා බැස ගිය සුන්දර මැණික් ගංගාව අද වන විට කබොක් ගල් මතු වූ රළු පොලොවක් සහිතව පවතියි. එදා වන්දනාවේ පැමිණි බැතුමතුන්ට දිය නෑමට ඉතා ආරක්ෂිත වූ ගංගාවක් ලෙසින් පැවති මැණික් ගංගාව අද දිස් වන්නේ බැතුමතුන්ගේ මරු කපොල්ලක් ලෙසය. එදා කතරගම වන්දනාවේ පැමිණි බැතිමතුන් මැණික් ගංගාවට බැස දිය නා පිරිසිදු වී දෙවියන් වඳින්නට දේවාලයට ගියත් අද එය වෙනස් වී ගොස්ය. දැන් බැතිමතුන් කතරගමට එන්නේ නිවාඩු නිකේතනයක් වෙන්කරවා ගෙනමය. වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ මනසේ මැණික් ගංගාව පිළිබඳව මැවී ඇත්තේද භයානක චිත‍්‍රයකි. ඒ නිසාවෙන්ම දෙවියන් යදින්නට කතරගමට එන බැතිමතුන් කිරිදි ගෙඟන් දිය නානවා වෙනුවට නිවාඩු නිකේතනයට පැමිණි පසු එහි ඇති ස්වීම් පූල් එකෙන්ම නාවා පූජා වට්ටියද අතටම දී වාහනයෙන්ම දේවාලය අසලට රැුගෙන යෑමට හෝටල් හිමියන් හා නිවාඩු නිකේතන හිමියන් කටයුතු කර ඇත්තේය. එදා මෙන් නොව අද වන විට කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගෙන් බහුතරයක්ම පැරණි සම්ප‍්‍රදායන් වලට පයින් ගසා හොර පාරෙන් ගොස් දෙවියන් වැඳීමට පුරුදුව සිටියි. කතරගම අවට ඇති හෝටල් හිමියන් බොහොමයක් හා නිවාඩු නිකේතන හිමියන් බොහෝමයක් දෙනාද මුදල් ඉපයීමම පරමාර්ථය කරගෙන ඇති අතර සම්ප‍්‍රදාය හා සිරිත් විරිත්ද මුදල හමුවේ යටපත් වී ගොසිනි.

වර්ෂ 1821 දී දෙවරක්ම කතරගම වන්දනාවේ පැමිණි බව කියන ඉංග‍්‍රීසි ජාතික වෛද්‍යවරයෙකු වන ජෝන් ඬේව් මහතා පවසා ඇත්තේ තමන් කතරගම වන්දනාවේ පැමිණි බවත් ඒ පැමිණි අවස්ථා දෙකෙදීම කතරගම දෙවියන් වැඳීමට යෑමට තමන්ට මැණික් ගඟ තරණය කිරීමට සිදු වූ බවත්ය. එමෙන්ම වන්දනාවේ පැමිණෙන බැතුමතුන්ද විශාල වශයෙන් මැණික් ගෙඟන් දිය නා පිරිසුදු වී දේවාලයට ගිය බවත්, සුන්දර වූ මැණික් ගංගාව ඉතා සුනිලවන් දිය පහරකින් යුක්ත වූ බවත් හා ප‍්‍රදේශයේ ජනතාව ලබු කැට වල පුරවා රැුගෙන එන ජලය බීමට ලබාගත් බවත් ජෝන් ඬේව් මහතා සිය සටහන්වල දක්වා තිබේ. ඒ අනුව මැණික් ගංගාවේ එදා තිබූ තත්ත්වය ඉතිහාසයේද සාක්ෂි මනාවට පැහැදිලිය. එදා මැණික් ගෙඟන් බැතිමතුන් දිය නෑවා සේම සුදු වැලි තලාව මතින් ගමන් ගත් මෙම ජලය පානය කිරීමටද පුරුදුව සිටියහ. ඒ එදාය. එහෙත් අද එය වෙනස්ය. එදා පිරිසිදු ජල පහරක් ලෙසින් ගලා ගිය මැණික් ගංදිය අද දිස්වන්නේ බොර වූ ඉතා අපිරිසිදු දිය පහරක් ලෙසින්ය. එදා ගලාගෙන ගිය දිය පහර අද එක තැන පල්වෙමින් පවතියි. ගංගාව අද වැවක ස්වරූපයක් ගෙන තිබේ. අද මැණික් ගෙඟන් දිය නාන පිරිසට විවිධ දද කුෂ්ඨ රෝග ඇති වීමේ අවදානමක් ඇතිව තිබේ. ඒ තරමටම ජලය අපිරිසිදු වී තිබේ. ගඟ අයින දිගටම කැළි කසළ තැන්පත් වී පල් වී ගොස්ය. ඇතැම් ස්ථාන වලින් ගඟට බසින්නටද බැරි තරමට අපිරිසිදුය. මඩ සහිතය. ගංගාවට නගින්න බහින්න ඉදිකර තිබූ පඩි පෙළවල්ද අබලන් වී ගොසින්ය.

n3 4රජ දවස මෙන්ම ඉංග‍්‍රීසි ආණ්ඩු සමයේද මැණික් ගංගාව හා මැණික් ගං ඉවුර ආරක්ෂා කිරීමට වෙනම වූ වැඩ පිළිවෙළක් තිබූ බව සාක්ෂි ඕනෑ තරම්ය. වර්ෂ 1973 දී කතරගම ඇසළ කඳවුර බාරව සිටි බව කියන ඉංග‍්‍රීසි ජාතික තෝමස් ස්ටීල් විසින් මැණික් ගංගාව ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක්  අනුගමනය කර තිබේ. විශේෂයෙන්ම කතරගම පෙරහැර සමයේදී මැණික් ගඟ දෙපසට මුරකරුවන් යොදවා මැණික් ගංගාවට විශේෂිත ආරක්ෂාවක් සලසා තිබේ. වන්දනාවේ පැමිණෙන පිරිසට හෝ වෙනත් කිසිවකුටත් මැණික් ගඟ දෙපස මළ මුත‍්‍රා කිරීම තහනම් කර තිබේ. යම් අයෙකු ගඟ දෙපස මුත‍්‍රා කළහොත් ඔහුගෙන් රුපියල් 5 ක දඩයක්ද, මළ පහ කළ අයෙකු වුවහොත් ඔහුගෙන් රුපියල් 10 ක දඩයක්ද අය කිරීමට කතරගම ඇසළ කඳවුර බාරව සිටි ඉංග‍්‍රීසි ජාතික තෝමස් ස්ටීල් විසින් කටයුතු කර තිබේ. එමෙන්ම පෙරහැර සමයේදී දෙවියක්ට පැන් ලබා ගන්නා තොටුපළෙන් දිය නෑම තහනම් කර තිබේ. එපමණක් නොව පෙරහැර සමය ආරම්භ වීමට පෙර එවකට ඇසළ කඳවුර බාරව කටයුතු කළ පාලකයා විසින් ප‍්‍රදේශය පුරා අණබෙර කරුවන් යොදවා මැණික් ගෙඟ් දිය දින කිහිපයක් භාවිත නොකරන ලෙස දන්වා මැසි මදුරුවන් සඳහා තෙල් ගසා මැණික් ගංගාව මැසි මදුරු ඇතුළු කෘමි සතුන්ගෙන් හා විෂ බීජ රහිත කලාපයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.

පූජනීය වූ මැණික් ගංගාව ආරක්ෂා කිරීමට එවකට සිටි බලධාරීන් හා නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව ඉතිහාසය පුරාවටම ඕනෑ තරම් සාක්ෂි දැකිය හැකි වුවත් මෑත ඉතිහාසය තුළ මැණික් ගංගාව ආරක්ෂා කිරීමට වගකිවයුත්තෝ කටයුතු කර ඇති ආකාරය නම් ඉතා කනගාටුදායක බවයි බැතිමතුන් පවසන්නේ.

කතරගම එකමුතු වෙළඳ සංගමයේ සභාපති එච්. ආර්. කේ. සම්පත් ගයාන් මහතා මෙලෙස අදහස් දැක්විය.

ඉස්සර තිබුණු මැණික් ගඟයි වර්තමානයේ තියෙන මැණික් ගඟ දිහායි බැලූවම විශාල වෙනසක් දකින්න පුළුවන්කම තියෙනවා. කාලයත් සමග මැණික් ගඟ දෙපස ජනාවාස ඇති වීමත් සමග මැණික් ගෙඟ් තිබුණු පාරිශුද්ධත්වය නැති වෙලා තියෙනවා. ඉස්සර ඉඳන් තිබුණු චාරිත‍්‍රය තමයි කතරගම දෙවිහාමුදුරුවෝ වඳින්න එනකොට මැණික් ගෙඟන් නාලා කහ ගාලා පිරිසිදු වෙලා තමයි දේවාලයට ගියේ. නමුත් අද එන බැතිමතුන්ට ඒකට අවස්ථාවක් නෑ. එකක් තමයි ගඟ දෙපසම අපිරිසිදුයි. අනික් කාරණය තමයි කවුරු හරි බැතිමතෙක් ඇවිත් රෙදි ටික ගලවලා නාන්න මැණික් ගඟට බැහැලා නැවත ගොඩ එනකොට ඒ මනුස්සයාට දිය ඇඳුම විතරයි. ගෙඟන් ගොඩ ගලවපු රෙදි ටික හොරු අරගෙන ගිහින්. එහෙම වුණාම බැතිමතුන්ට දෙවියන් වඳින්න යන්න විදියක් නෑ. ඉතින් ඒ අයට දේවාලේ යනවා වෙනුවට යන්න වෙන්නේ පොලිසියට. ඔන්න මැණික් ගඟ ළඟ තත්ත්වය. මැණික් ගඟ අවට රාත‍්‍රියට තියෙන්නේ දැඩි කරුවලක. විශේෂයෙන්ම වැඩි වශයෙන් බැතිමතුන් ගැවසෙන තැන් වලවත් ලයිට් දමන්න ඕනේ අපරාධ අඩුවෙන්න නම්. පොදු වැසිකිළි පද්ධතිය බැලූවත් ඉතාමත් අපිරිසිදු මට්ටමක තමයි ඒවා තියෙන්නේ. අනික කතරගම කියන්නේ පැය විසිහතර පුරා බැතිමතුන් යන එන සිද්ධස්ථානයක්. ඒ වගේ තැනකට එන පිරිස වැඩි නිසා යන එන බැතිමතුන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් පැය විසිහතර පුරා තිබිය යුතුයි. එහෙම නැති වුණාම වන්දනාවේ එන පිරිස් සිය අවශ්‍යතාව සඳහා නිසි ස්ථානයක් නැතිනම් මැණික් ගඟ අයිනට හරි යනවා. ඒක වළක්වන්න බෑ. දැනට කතරගම තියෙන පොදු වැසිකිළිය බැලූවම ඒක ජනතාවට සේවයක් සපයනවා වෙනුවට ක‍්‍රියාත්මක වෙන්නේ මුදල්ම පැත්ත ගැන හිතලා විතරයි. මහජන සේවය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නෑ. ගොඩක් දවස් වලට මහජන වැසිකිළිය රාත‍්‍රි අට නවය වෙනකොට ඒක බලා ගන්න කෙනා වහලා දමලා යනවා. ආයිමත් උදේට තමයි ඒක විවෘත කරන්නේ. භක්තියෙන් දෙවියන් වඳින්න ආවට පුදබිම අවට සිදු වෙන දේවල් දැක්කම භක්තිය අතුරුදන් වෙලා යනවා. ලොකු කම්පාවක් ඇති වෙනවා මොනවද මේ වෙන්නේ කියලා. එදා පුරාණයේ ඉඳන් වුණේ ගෙඟන් මෙගොඩ ඉඳලා කිළි කුණු සෝදාගෙන පිරිසිදු වෙලා දෙවියන් වඳින්න යාමක්. දැන් ඒවා මුදල හමුවේ වෙනස් වෙලා තියෙනවා. අද මැණික් ගං ඉවුර දිගේ විවිධ අපචාර තමයි සිදු වෙන්නේ. ගෙඟ් කිඹුල්ලූ ඉන්නවා කියලා එන බැතිමතුන් බය කරලා තියෙන්නේ. පෙරහැර කාලෙට නම් වනජීවියෙන් ඇවිත් මෙහෙයුම් කරලා කිඹුල්ලූ අල්ලනවා. කිඹුල්ලූ ඉන්නවා කියලා හැමදාම හැම තිස්සේම නම් අනතුරු වෙලා නෑ. කිඹුල්ලූ ගැන නම් තරමක අනවශ්‍ය බියක් තමයි ගොඩ නැගිලා තියෙන්නේ. මේකට හෝටල් හිමියනුත් වගකියන්න ඕනේ එකපැත්තකින්. මොකද අනවශ්‍ය කිඹුල් බියක් බැතිමතුන් තුළ ගොඩ නැගුවම හෝටල්වල තියෙන ස්වීම්පුල් වලට ආදායමක් එනවා. කිඹුලන් ඉන්නවා නම් ඒකට නියමිත වැඩ පිළිවෙළක් දියත් විය යුතුයි. පෙරහැර කාලෙට විතරක් මෙහෙයුම් කරලා විතරක් මදි. ඒ වගේම දැන් මැණික් ගෙඟ් පැති බැමි බොහොමයක් කඩා වැටිලා.පොලිතින් ආදියත් ගඟ දෙපස දිනපතා එකතු වෙනවා. පෙරහැර සමයට නම් මේවා දිනපතා පිරිසිදු කිරීම් වෙනවා. නමුත් දැන් එහෙම වෙන්නේ නෑ. මේ සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක නොවුණොත් කතරගම අවට නගරය හා මැණික් ගඟ අවට බැතිමතුන් කෙසේවෙතත් ජාවාරම් කරුවන්ගේ පාරාදීසයක් නම් වෙනවා. ඒ නිසා මේ සඳහා වැඩපිළිවෙළක් සකස්විය යුතුයි. රැුස්වීම් වල කතා වුණාට මදි.

n3 1එච්. ඒ. ඉකෝකා මහත්මිය.

මැණික් ගෙඟ් කිඹුලන් ඉන්නවා. ඉස්සර නම් මේ ගෙඟ් කිඹුලන් හිටියේ නෑ. දැන් වැව් වලින් මැණික් ගඟට වතුර හරවලා තියෙනවා. ඉතින් වැව්වල ඉන්න කිඹුලන් මැණික් ගඟ දිගේ පහළට එනවා. නමුත් නිතරම නම් ඔය කියන විදියේ කිඹුල් බියක් නෑ. දැන් කිඹුලන් ගැන කියලා කියලා මිනිස්සු බය වෙලා තියෙන්නේ. දේවාලෙට එන බැතිමතුන් දැන් මැණික් ගඟට එන්නේ නැතිව වාහන වලින්ම දේවාලය ළඟට යනවා. ඉස්සර එහෙම නෙමෙයි තිබුණේ. කතරගම කවුරු ආවත් ඉස්සරවෙලාම ගියේ මැණික් ගඟට. ඒ

ගිහින් මුහුණ කට සෝදගෙන පිරිසිදු වෙලා තමයි දේවාලයට පයින් ගියේ. දැන් ඒක නැති නිසා වෙළඳාම් පවා කඩා වැටිලා තියෙන්නේ. ගඟ දෙපැත්තෙම ජරාව දැන් තියෙන්නේ. මේවා දිනපතා සුද්ද කිරීමේ වැඩපිළිවෙළක් නෑ. පෙරහැර කාලෙට විතරයි ඔක්කොම සුද්ද කරන්නේ හොයන්නේ බලන්නේ. දැන් ගිහින් බලන්නකෝ ගඟට බැතිමතුන්ට බහින් පඩිපෙළවත් හරියට තියේද කියලා.

හෙට්ටිආරච්චිගේ රාජා මහතා මෙසේ පැවසීය.

ඉස්සර මේ පාලම් නෑ. කතරගම වඳින්න ආවා නම් කවුරුත් මේ ගෙඟන් එගොඩ වෙලා තමයි යන්න තිබුණේ. දැන් වගේ වෙන වෙනම පාලම් දමලා යන්න තිබුණේ නෑ. කවුරුත් බොහොම භක්තියෙන් මැණික් ගඟට ගිහින් මුහුණ කට සෝදලා දේවාලෙට ගියා. දැන් එහෙම නෑ. දැන් ගෙඟන් බැහැලා යන්න ගියොත් එහෙම මඬේ එරිලා මැරේවි. ඉස්සර ඔය ගං පතුලේ තිබුණේ සුදු වැල්ල විතරයි. දැන් වැලි කැටයක්වත් නෑ. ගඟ පතුලේ තියෙන්නේ කබොක් ගල් විතරයි. වැව් වල වතුර දැන් මැණික් ගඟට හරවලා තියෙන නිසා කිඹුලන් ගඟට ඇවිත් තියෙනවා. කතරගම ප‍්‍රාදේශීය සභාව තමයි මම දන්න තරමින් වැඩිම ආදායමක් හොයන ප‍්‍රාදේශීය සභාවත්. නමුත් මේවා පූජා භූමි අවට නඩත්තුව නම් අන්තිමයි. නාන තොටුපළට විදුලි ආලෝකය නෑ. එළිවෙනකම් ඒ ස්ථාන කරුවලේ තමයි තියෙන්නේ. ඉතින් බැතිමතුන් කොහොමද මැණික් ගඟට බහින්නේ. ඒ නිසා බැතිමතුන් හෝටලයේ නැවතිලා හෝටලයෙන්ම නාගෙන කියාගෙන එනවා. මැණික් ගඟට බහින්නේ නෑ. ඉස්සර මැණික් ගඟ තිබුණේ. නමුත් දැන් තියෙන්නේ මැණික් වැව. ගඟ වැව කරලා තියෙන්නේ. වතුර ගලාගෙන යන්නේ නෑ. තැනින් තැන ඉවුරු කඩා වැටිලා වතුර ඒ ඒ ස්ථානවල කුණු රොඩු එක්ක පල් වෙලා පණුවෝ හැදිලා. මේවා වගකියුතු කාටවත් පේන්නේ නෑ. ලංකාවේ ඉන්න හැම මැති ඇමැති කෙනෙක්ම මේ තැනට එනවා. ජනපති අගමැතිලා පවා එනවා. මේ අය චොපර් වලින් උඩින් ඇවිත් දෙවියන් වැඳලා පුදලා යනවා. බැතිමතුන්ට තියෙන අපහසුතා මේ අයට පේන්නේ නෑ. මෙහෙම

ගියොත් මැණික් ගඟට අත්වෙන්නේ දැඩි අවසානාවන්ත ඉරණමක්. වහාම බලධාරීන් මේ ගැන සොයා බලා කඩිනම් විසඳුමක් ලබා දිය යුතුයි මේ ගැටළුවට. දිනපතා දහස් ගණනක් බැතිමතුන් කතරගමට එනවා. ඒ එන මිනිස්සුන්ට වන්දනාමාන කරගන්න නිසි අවස්ථාව තිබිය යුතුයි කියන එකයි මගේ මතය නම් වෙන්නේ යැයි පැවසීය.

කතරගම දේවාලයේ දෙවියන්ගේ පූජාව සඳහා ද අෂ්ඨඵල බෝධිය නෑවීම සඳහා සහ නානුමුරය සඳහා ද ජලය ලබා ගන්නා මැණික් ගෙඟනි. මැණික් ගඟ හා බැඳුණු මෙවැනි චාරිත‍්‍ර වාරිත‍්‍ර රැුසක්ද පවතින අතර මේ පූජනීය වූ ගංගාව අනාගත පරපුර සඳහාද රැුකදීම වගකිවයුතු බලධාරීන්ගේ පරම වගකීමක් බවයි බැතිමතුන්ගේ මතය වන්නේ. කතරගම මැණික් ගංගාව සිංහල සාහිත්‍ය පෝෂණයෙහිලා බොහෝ ලේඛකයන්ට උපස්ථම්භක වී තිබේ. සංදේශ කාව්‍ය 06 කම මැණික් ගඟ පිළිබඳව ඉතාම රසවත් වර්ණනා ඉදිරිපත් කර තිබේ. මෙම උත්තම වූ පාරිශුද්ධත්වයට පත් ගංගාවට අත්ව ඇති ඉරණම පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානයට යොමු වන තෙක්ම මිනිසුන්ගේ හා සත්ත්වයන්ගේ ගිම් පහස නිවමින්, ශුෂ්ක කලාප සරුසාර කරමින් පූජනීය වූ මැණික් ගංගාව බැතිමතුන්ගේ කිළි කුණු සෝදා පාරිශූද්ධත්වයට පත් කරමින් තවත් බොහෝ කාලයක් නිහඬවම දේව අඩවියේ ගලා බසිනු ඇත.

  සටහන හා සේයා රූ - මත්තල දිලීප් එන් ජයසේකර


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles