Divaina - ඇඟේ හයිය හිතේ සතුට මත් දුමත් එක්ක හුළඟේ ගියා... මගේ බිරිඳ නැති නම් මං අද මැරිලා....!

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

* සතියකට පාටි දෙකතුනක් වැරදුනේ නෑ...!
* බියර්, සිගරට්වලින් මම කොකේන්වලට හුරුවුණා
* දැන් ඒ කරුම ජීවිතෙන් අත්මිදිලා
* බිරිඳ නැත්නම් මට කන්දකාඩු එන්න වෙන්නෙත් නෑ...!
 
 මතින් දැය මුදාගැනීමේ කන්දකාඩුවේ  හමුදා මෙහෙයුම - 03
 
 සමන්තී වීරසේකර
 ඡායාරූප - ෂෙල්ටන් පෝල්
 

matha135ii

අන්තරායකාර ඖෂධ නැතහොත් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වූ පිරිස් පුනරුත්ථාපනය කිරීමේ ක‍්‍රියා දාමය පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශය යටතේ වන පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන්නේය. කන්දකාඩුව ප‍්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ සේනපුර තෘතියික සහ වෘත්තීය සාක්ෂරතා මධ්‍යස්ථානය යටතේ වසරක කාලයක් පුනරුත්ථාපනයවන තරුණ පිරිස් යළි සමාජ ගත කොට රටට දැයට ස්වකීය පවුලට වැඩදායි පුරවැසියෙක් බිහිකරලීම ඔහුගේ අරමුණද වන්නේය. වසරක පුහුණුව ලබන මෙම අභ්‍යාසලාභීන් සිය දුර්වලතා හඳුනා ගනිමින් තම තමන්ගේ ජීවිතවල වටිනාකම් හඳුනා ගනිමින් සිටින අවධියක ඔවුන් හා කතා කිරීමේ අවස්ථාව ලදිමි.
 
 ඔවුන්ගේ අත්දැකීම් අපට වැදගත් වන්නේ, මේ සමාජයේ සිදුවන ව්‍යසන හඳුනා ගැනීම පහසු වීමටය. තරුණ දරුවන් වරදෙහි බැඳෙන අවස්ථා හඳුනා ගැනීමටය. තරුණ ජීවිතයක වටිනාකම මැනැවින් වටහා ගැනීමටය. යමකු මෙවන් අකරතැබ්බයක පැටලී ඇත්නම් ඉන් මුදා ගැනීමට හෝ මිදීමටය. කෙටියෙන්ම කියතොත් කිසියම් නොමඟ යෑමක් සිදුව ඇත්නම් ඉන් මිදී හරිමඟ යායුතු බව ඒත්තු ගැන්වීමටය.

matha1අපි මේ කතාව පිණිස ඔහු සුරංජන ලෙස හඳුන්වමු. අසූහය වසරේ උපන් ඔහු ගේ පියා විදේශගතව රැුකියාවක නිරත වන්නේ ඔහු කුඩා කල සිටමය. නිවසට වී දරුමල්ලන්ගේ කටයුතු නොපිරිහෙළා ඉටුකරන ඔහුගේ මව දරුවන් වෙත නොමසුරුව ආදරය කරුණාව දයාව පාන්නීය. සහෝදරයකුගේ ත් සහෝදරියකගේ ත් සහෝදර සෙනෙහස ඇති පදමට ලැබූ සුරංජන පාසල් ජීවිතයටද ඇලූම් කළේ සෑම බාහිර ක‍්‍රියාකාරකමකටද සහභාගි වෙමිනි.
 
 ඔහු ගේ සරල ජීවිතයේ අනපේක්ෂිත හැරවුම් ලක්ෂය කොතැනකද? ඉන් ලද අත්දැකීම් අනුව අධිකරණ තීන්දුවකින් කන්දකාඩුව ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යෑමට තරම්ම ඔහු ලද අත්දැකීම් මොනවා දැයි අපි ඔහුගේ වචනින්ම අසමු.
 
 ” මට ගෙදරින් කිසිම අඩුපාඩුවක් වුණේ නැහැ.. ආදරය, මිල මුදල්, මඟ පෙන්වීම් මේ හැම දෙයක්ම මට ඇතිතරම් ලැබුණා. පාළුවක් කාන්සියක් හිත් තැවුලක් ඒ මොනවත් කිසිම අවස්ථාවක ලැබුණෙත් නැහැ. මම ගොඩාක් හොඳින් ඉගෙන ගත්තා. අ.පො.ස සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉහළින්ම සමත් වුණා. කී‍්‍රඩා රැුසකට සහභාගි වුණා. රගර් සෙල්ලම් කළා. පිහිනුම් වල යෙදුණා. ඒ හැම දෙයකින්ම සමස්ථ ලංකා ක‍්‍රිඩා තරගාවලියට සහභාගි වුණා. අනුශූරතාවයත් හිමි වුණා. පාසලේ පුදුම පිළිගැනීමක් මට තිබුණේ. විදුහල්පතිතුමා වගේම ගුරුවරු හැමෝම මාව හොදට අඳුනනවා. වෙනකක් තබා ගුරුවරු සෙසු අයට කියනවා මාව ආදර්ශයට ගන්න කියලා.. ඒ ඉස්කෝලේ කාලේ මතක් වෙනකොට මට හරි ආඩම්බරයක් දැනෙනවා. මට ලැබෙන්න තිබුණ සෑම උසස් අගැයීමක්ම මට ඉස්කෝලෙදි ලැබුණා. ප‍්‍රධාන ශිෂ්‍ය නායක , ප‍්‍රධාන ක‍්‍රීඩා නායක මේ හැම තනතුරක්ම මම ඉතා හොඳින් කළා. අද මම මේවගේ තැනක ඉන්නවා කියලා දන්නවා නම් එදා හිටපු ගුරුවරු පුදුම වෙයි. අඬා වැටෙයි.. ඒ තරම්ම මාව විශ්වාස කළා.

 

matha2
 ඉස්කෝලෙ කාලෙන් පස්සේ මට උවමනා වුණා වෙනස් රස්සාවක් කරන්න. මං හිතුවා මගේම ශක්තියෙන් මහන්සි වෙලා මම අමුතුම ලෝකයක් ගොඩනඟා ගන්නවා කියලා. ඒ ලෝකය හරිම ශක්තිමත් ලස්සන කාටවත් කරදරයක් නැති දෙමවුපියන්ට සහෝදරයන්ට සලකන්න පුළුවන් නැති බැරි අයට උදව් කරන්න පුළුවන් එකක් වෙන්න ඕනැ කියන විශ්වාසයත් මා තුළ තිබුණා.....”
 
 සුරංජන අහස දෙස බලා සිට හුස්මක් හෙළීය.. ඔහුට ඔහුගේ අතීතය චිත‍්‍රයක් සේ අහසේ ඇදී පෙනෙන්නට ඇත. කන්දකාඩු අහස නිල්කැටයක් සේය. පොළොව කාෂ්ටක කරන්නට මෙන් පායා තිබූ තද අව්ව සැනකින් නැතිව ගියේ ය. සුරංජන තාමත් අහස දෙස බලා සිටී.. මුව ගොළුය. අතීතය සිහිවීමත් සමග ඔහුට ඇත්තේ, පසුතැවීමක් ද ශෝකයක්ද කෝපයක්ද නොදැනේ. ඔහු ගේ දෑස් දිලිසෙනු පෙනණි. කඳුළක් රූරා වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී යළි හඬ අවදි කළේය...
 
 ” මම රටේ ප‍්‍රධාන පෙලේ ක‍්‍රීඩා සමාජ රැුසකට එකතු වෙලා සෙල්ලම් කළා. ජයග‍්‍රහණ ලැබුවා. පරාජයක් නොලැබෙන ගාණටම.
 
 ඒ අතරේ ජීවිත ආරක්‍ෂක පුහුණුව ලැබුවා. එම පුහුණුව මම ඉතාම වුවමනාවෙන් සහ කැපවීමෙන් ලැබුවා. මේ වෙද්දී මට හොඳ ගෑනු ළමයෙක් හමුවෙලා හිටියා.
 
ජීවිත ආරක්‍ෂණ පුහුණුව කියන්නේ පොතක පතක ලියලා කරන දෙයක් නෙවෙයිනේ. ප‍්‍රායෝගිකව මම ඒ කාර්යයේ නියැළෙන්න අවශ්‍ය වෙනවා. මුහුදේ ගහගෙන යන්න හදන අය පිහිනුම් තටාකවල ගිලෙන්න යන අය මං බේරාගන්න ඕනෑ. ඉතිං මේ කාර්යයේදී ගෑනු ළමයා මා එක්ක රණ්ඩු කරන්න ගත්තා. ඒ ආදරේ නිසා බව තේරුණත් හැමදාම මට ඒක දරාගන්න බැරිවුණා. මගේ වැඩට බාධා වෙන එක මට කරදරයක් වුණා. මම සිගරැුට් බොන්න පටන් ගත්තා. තරහා ගිය හැම අවස්ථාවකම මම සිගරැුට් බිව්වා. යාළුවො දොස් කිව්වා. ඒත් මම ඒ සිගරැුට් බීම අතහැරියේ නෑ. අන්තිමට මේ ගෑනු ළමයාගෙන් ඈත්වෙන්න වුවමනාවට මම රට ගියා. මගේ පුහුණුව මම හොඳින් සම්පූර්ණ කරලා තිබුණ නිසා මට හොඳ රැුකියාවල් ලැබුණා. හොඳට හම්බ කළා. මේ අතරේ මම ඉස්සර ඉඳන් මා ළඟින් ආශ‍්‍රය කරපු මගේ යාළුවෙක්ව මම නැවත ආදරය සමග ආශ‍්‍රය කළා. එයාව කසාද බැන්දා.
 
 ඒ වෙද්දි මම සිගරැුට් බොනවා, අරක්කු, බියර් වගේ දේවලූත් බොනවා. නමුත් බිරිඳ ලොකු උත්සාහයක් ගත්තා මගේ සිගරැුට් බීමත්, අරක්කු බීමත් නතර කරන්න. ඒ වුණාට ඵලක් වුණේ නෑ.
 
 අපිට පුතෙක් ලැබුණා. මම රැුකියාවේ උසස්වීම් ලැබුවා. ත‍්‍රාසජනක පිහිණුම් සහ ජීවිතාරක්‍ෂක ක‍්‍රම පිළිබඳ පුහුණුවක් ලැබුවා. ලක්‍ෂ දෙක ඉක්ම වූ වැටුප් ලබන රැුකියා හිමිවුණා. ආශ‍්‍රය කරන්න ලැබුණේ ඉහළ කියන පැළැන්තියේ උදවිය, විදේශිකයෝ, ව්‍යාපාරිකයෝ ඇතුළු ප‍්‍රභූ පැළැන්තියේ අය...”
 
 යළි සුරංජන දිගු හුස්මක් හෙළා මා දෙන බලා සිටියේ අදහස් ගොන්නක් මුව තුළින් පිටපනින්නට තෙරෙපෙන බව අඟවමිනි.
 
 ”මට වැරදුණේ එතැන. සතියකට අඩුම ලොකු පාටි දෙකක්වත් සෙට් වුණා. ඒවට නොගිහින්ම බෑ. යන්නම වෙනවා, මොකද සමාජයේ පිළිගැනීම හඳුනාගැනීම අදහස් හුවමාරුව තිබුණේ ඒ හරහා නිසා. මෙතැනදී මම කොකේන් බොන්න පුරුදු වුණා. මේ පාටිවල කොකේන් කියන්නේ සාමාන්‍ය දෙයක්. මම මුඟක් කොකේන්වලට හුරු වුණා.
 
 අන්තිමේදී පාටියේදී විතරක් නෙවෙයි, අනිත් දවස්වලත් මම කොකේන්වලට හුරුවුණා. නැතුව බැරි වුණා. කොකේන් ග‍්‍රෑම් එකක් රුපියල් දහඅට දාහක් වෙනවා. දැන් ඒ වෙද්දී මම සල්ලි ටික වියදම් කරලා කොකේන් ගහනවා.
 
 බිරිඳ මා ගැන හොයනවා. මම කෙට්ටුවෙලා ඇදිලා ගිහින්. මගේ තිබුණ ලස්සන පෙනුම හේදිලා ගිහින්. අම්මා අහනවා ප‍්‍රශ්නද කියලා, බිරිඳ හොයනවා මේ ඇයි කියලා. කාටවත් හොයා ගන්න බැරි වුණා.
 
 දැන් මගේ අතේ සල්ලි නෑ. පඩිය කොකේන්වලට ඉවර වෙනවා. සල්ලි මදි වුණාම හෙරොයින් ගහන්න පුරුදු වුණා. අන්තිමට බිරිඳ මේ ගැන හොයාගෙන තිබුණා. පවුලේ අයට කියලා හැමෝම සැලසුම් කරලා මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ඒ වෙද්දී මගේ ඇඟට හයියක් නෑ. ඉස්සර තිබුණ ශක්තිමත් බව නැත්තටම නැතිවෙලා ඔළුව උස්සලා කා දිහාවත් බලන්නවත් හිතුනෙ නෑ. අතපය වාරු නෑ. පොලිසියෙන් අල්ලගෙන ගියා නෙවෙයි ඇදගෙන ගියා වගේ ඇඟට පණක්වත් නැහැ. උසාවි දැම්මා, එතැනින් පුනරුත්ථාපනයට වැටුණා. මම මෙහෙ ආවෙත් කිසිම හැඟීමක් නැතුව. මොකද ඒ වෙද්දී මම හැඟීම් දැනීම් සිතිවිලි නැති නිකමෙක් ගාණටම වැටිලා...”
 
 සුරංජන දෑතින් මුහුණ වසාගෙන ඉකිබිඳී. පසුතැවිල්ල ඒ බොල් ඉකිබිඳුම අතරින් අප හදවත්වලට තට්ටු කරයි. ජීවිතය එහෙමයි ඔහු අපට කියා දෙයි.
 
 ”මගේ බිරිඳ නැති නම් මං අද මැරිලා. එයා මාව පුනරුත්ථාපනයට එවන්න කටයුතු කළ නිසා අද මම ආයෙත් මනුස්සයෙක් වෙලා. මෙහෙ මහත්තුරු දෙවිවරු වගේ. ජීවිතේ වටිනාකම කියාදෙද්දී උහුලගන්න බෑ. කරපු අපරාධ ගැන කෑ ගහලා අඬන්න හිතෙනවා. ඇඟට තිබුණ හයිය මත්දුමත් එක්කම හුළෙඟ් ගිහිං. ආපහු ඒ හයිය ගන්න අද මං ලොකු උත්සාහයක් ගන්නවා. කොහොමහරි ආපහු හොඳ මනුස්සයෙක් වෙනවා. පුතා වෙනුවෙන් හොඳ තාත්තා කෙනෙක් වෙනවා. බිරිඳට හොඳ ස්වාමියෙක් වෙනවා. අම්ම දැන් මාව දැක්කොත් පුදුම වෙයි. අම්මට මම දහසක් දුක් දුන්නා. ඒ පවට මට සමාව දෙන්න කියලා මං අම්මගෙන් අද ඉල්ලනවා. මගේ අම්ම හයිය හත්තිය ඇති පුතෙක් විදියට මාව සමාජයට යැව්වා. තාවකාලික සතුටක් වෙනුවෙන් මතට හුරුවෙලා මම ඒ හයිය නැතිකර ගත්තා. දැන් මම ඒ කරුම ජිවිතෙන් අත්මිදෙනවා. මට ඕනි ඒ නරුම ජීවිතය අමතක කරලා හොඳ මිනිහෙක් වෙන්න...”
 
 සුරංජනගේ වචනවල දැන් ඇත්තේ බලාපොරොත්තුවය. ජීවිතයේ කටුක බව සහ ඔහු බලහත්කාරයෙන් එක්කර ගත් පාපය දැන් විඳවමින් සිටින්නේ අකමැත්තෙනි. නමුත් තවත් වසරකින් ඔහු යළිත් හොඳ මිනිසකු ලෙස යළි උපදී. ඒ කන්දකාඩුවේ සහ සේනපුර නිලධාරීන්ට පිං සිදුවන්නටය.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles