Divaina - නඩු කන්දක් බවට පත්වූ ගුරුකන්දේ උරුමය.... ඉතිහාසයේ උරුමය වනසන අන්තවාදී කල්ක‍්‍රියාව

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

දිනසේන රතුගමගේ

 

guru135

මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් පවරා ඇති නඩු සංඛ්‍යාව කෙළවරක් නොමැත.


මේ නිසාම ගුරුකන්ද නඩු කන්දක් බවට පත්ව ඇතත් මේ වන තුරු එම විහාරස්ථානයේ අයිතිය පිළිබඳව කිසිම තීන්දුවක් ලැබී නොමැත.

මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය පිහිටා ඇත්තේ නායාරූ ප‍්‍රදේශයේය. වවුනියාවේ සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ ගමන් කොට නායාරූ ප‍්‍රදේශයට ගිය විට මේ ගුරුකන්ද රජමහා විහාරස්ථානය හමු වෙයි.

නමුත් ඒ ප‍්‍රදේශයේ දෙමළ ජනතාව මේ

ගම්මානය හඳුන්වන්නේ සෙම්මාලේ නීරාවිඅඩි ලෙසිනි. ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේම ගණදෙවි කෝවිලක් ඉදි වී ඇති අතර එය ඔවුන් හඳුන්වන්නේ සෙම්මාලෙයි නීරාවිඅඩි පිල්ලයාර් කෝවිල වශයෙනි.

මීට වසර කීපයකට පෙර සිට අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ මේ ගණදෙවි කෝවිලත් විහාරස්ථානයත් අතරය. ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ වැඩ වාසය කළ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියෝ අපවත් වන තුරුම මුලතිව් උසාවියේත් වවුනියාව මහාධිකරණයේත් නඩු කියන ලද්දේ මේ විහාරස්ථානයේ අයිතිය බෞද්ධාගමට අයත් පාර්ශ්වයට ලබා දෙන ලෙස ඉල්ලමිනි.

පිල්ලයාර් කෝවිලේ භාරකාර මණ්ඩලය කියා සිටින්නේ එය බෞද්ධයන්ට අයත් නොවන නිසා එහි අයිතිය ඔවුන්ට ලබා දෙන ලෙසය.

ගුරුකන්ද බෞද්ධ විහාරස්ථානයත් පිල්ලයාර් කෝවිලත් අතර අර්බුදකාරී තත්ත්වයක් පැවතුනද එය උත්සන්න වූයේ මේ වසරේ ජනවාරි 14 වැනිදාය. ඒ ජනවාරි 15 වැනිදාට යෙදී තිබුණු තෛපොංගල් උළෙල නිමිත්තෙන් පොංගල් උත්සවයක් පැවැත්වීමට මුලතිව් ජනතාව පිල්ලයාර් කෝවිලට ගිය අවස්ථාවේදීය.

එදා සිටම මේ ස්ථානයේ අයිතිය ඉල්ලමින් ගුරුකන්ද රජමහා විහාරයේ පිරිසත් ඊට යාබදව පිහිටි ගණදෙවි කෝවිලේ පිරිසත් මාරුවෙන් මාරුවට නඩු හයක්ම අධිකරණයේ ගොණු කොට තිබේ. මීට අමතරව ගැටුම් ඇතිකරගත් සෑම අවස්ථාවකදීම මුලතිව් පොලීසිය විසින් ගොණු කරන ලද තවත් නඩු කීපයක් ද වෙයි.

මුලතිව් මහෙස්ත‍්‍රාත්වරයා විසින් මේ නඩු සමථයකට පත් කිරීම සඳහා පුරාවිද්‍යා ආඥාපනතේ දෙමළ භාෂා පිටපතක් අධිකරණයට ලබා දෙන ලෙස නියෝග කොට මේ වන විට මාස ගණනක් ගත වී ගොසිනි. එම ආඥාපනත තවමත් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම නිසා නඩු තීන්දුව ලබා දීම කල් ගොස් තිබේ.

නමුත් මේ අතරවාරයේ ගුරුකන්ද රජමහා විහාරයේ දායකයින් යැයි කියා ගන්නා පිරිසකුත් ගණදෙවි කෝවිලේ අයිතිය ගැන තර්ක කරන්නා වූ පිරිසත් අතර නිතර නිතර ගැටුම් ඇතිවීම නිසා අධිකරණයේ ඇති නඩුවලට අමතරව මුලතිව් පොලීසිය මගින් ගොණු කොට ඇති නඩුද මුලතිව් අධිකරණයට විභාග කිරීමට සිදුව තිබේ.

මේ ගැටුම් සංඛ්‍යාව වැඩි වීමත් සමගම මුලතිව් දිස්ත‍්‍රික් මහෙස්ත‍්‍රාත් ලෙනින් කුමාර් මහතා විසින් දෙපාර්ශ්වය සඳහාම රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා ඇප බැඳුම්කරයකට අත්සන් තබා ගෙන ඇත. ඒ නඩුවේ ස්ථිර තීන්දුවක් ලබා දෙන තුරු හෝ ඉදිරි වසර දෙක තුළ දෙපාර්ශ්වය විසින්ම අරගල මතභේද ගැටුම් ඇති කර නොගෙන සහයෝගයෙන් හා සමාදානයෙන් යුතුව ජීවත් වන බවටයි.

නමුත් මේ බැඳුම්කරයේ සඳහන් කොන්දේසි උල්ලංඝණය වූ අවස්ථා එමටය. ඒ සෑම අවස්ථාවකදීම පොලීසිය ඊට සම්බන්ධ පාර්ශ්වයන් අධිකරණය හමුවට ඉදිරිපත් කළත් විනිසුරුවරයා කළේ ඔවුන්ට අවවාද කිරීම පමණකි. දෙපාර්ශ්වයම ආගමික කණ්ඩායම් බැවින් සාමදානයෙන් සිටින ලෙසට විනිසුරුවරයා අවවාද කරනු ලබයි.

ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ අයිතිව වෙනුවෙන් මෙතෙක් නඩු කී කොළඹ මේධාලංකාර හිමියෝ අපවත් වීමත් සමගම එම නඩු අක‍්‍රිය වී තිබේ. අවසන් වරට වවුනියාව මහාධිකරණයේ උන්වහන්සේ විසින් පනවන ලද නඩුවක්

විභාග වීමට නියමිතව තිබුණේ ඔක්තෝබර් මස 7 වැනිදාය. උන්වහන්සේ අපවත් වූ බව අධිකරණයට දැනුම් දීමෙන් පසුව එම නඩුව හමාර විය.

නමුත් එදිනම නීරාවිඅඩි පිල්ලයාර් කෝවිලේ පිරිස යළිත් වවුනියාව මහාධිකරණයේ නඩුවක් පවරමින් එම ස්ථානයේ අයිතිය ඔවුන්ට ලබා දෙන මෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සූදානම් කරමින් සිටිති.

මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරය බෞද්ධයින්ට අයත් නොමැති නිසා එහි අයිතිය නායාරූ නීරාවිඅඩි ගණදෙවි කෝවිල වෙත පවරන ලෙස ඔවුන් වවුනියාව මහාධිකරණයට ගොණු කරනු ලබන පෙත්සමේ සඳහන් කොට තිබේ.

මේ වෙනුවෙන් ඔවුන් වවුනියාව මහාධිකරණයට අයිතිවාසිකම් පිළිබඳව පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම් අතර ඔවුන් පසු ගිය සතියේදී එම කෝවිලේ අයිතිය ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් වවුනියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට තිබේ.

ඔවුන් කියා සිටින්නේ ගුරුකන්ද විහාරය බෞද්ධයන්ට අයත් බව ඔප්පු කිරීමට කිසිම ලියවිල්ලක් මේ දක්වා මුලතිව් හෝ වවුනියාව අධිකරණවලට ඉදිරිපත් කිරීමට ඒ පාර්ශ්වයට නොහැකි නිසා යළිත් මහජන කැළඹීමක් ඇති වීමට පෙර එම ස්ථානයේ අයිතිය නීරාවිඅඩි

ගණදෙවි කෝවිලේ පිරිසට ලබා දෙන ලෙසයි.

අධිකරණවලට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියාව දිස්ත‍්‍රික් කාර්යාලයට ද මේ පිරිස පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. ඒ පැමිණිල්ල මේ දිනවල විභාග වෙමින් පවතී.

එම පැමිණිල්ලේ සඳහන් වූයේ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නා හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයන්ට එපිටින් ගොස් මුලතිව් නායාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල සීමාවේ ආදාහනය කිරීමට එරෙහිව පරීක්ෂණ පවත්වන ලෙසය.

කෝවිලේ පාලක සභාව එහිදී පැමිණිලි කොට තිබුණේ අධිකරණ නියෝගයට එපිටින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා සිංහල ජනතාව නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල සීමාවේ නයාරු විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් හා පොලීසිය විසින් එහිදි නීතිය ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරදෙන ලෙසයි.

අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා අගෝස්තු 23 වැනිදා නියෝග කළේය.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නා හිමියන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහෙස්ත‍්‍රාත්වරයා අදාළ තීන්දුව ප‍්‍රකාශයට පත්කරනු ලැබීය.

ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදි කිරීමක් සිදුනොකරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශ්වය වෙත උපදෙස් දෙනු ලැබීය.

ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නා හිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදු නොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් මුලතිව් පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවූ අවස්ථාවේ අදාළ තීන්දුව මහෙස්ත‍්‍රාත්වරයා විසින් ප‍්‍රකාශයට පත් කළේය.

මහෙස්ත‍්‍රාත්වරයාගේ තීන්දුව ලැබෙන විට සංඝ සභාව විසින් දේහය විහාර සීමාවේ ආදාහන කිරීම සිදු කෙරිණ.

ඊට විරුද්ධව ප‍්‍රදේශයේ දෙමළ ජනතාව හා සිංහල ජනතාව අතර යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ද හට ගැණින. මේ වන විට මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය අවට පමණක් නොව මුළු මුලතිව් ප‍්‍රදේශය පුරාත් උතුරේ සෑම ස්ථානකදීත් ජාතිවාදය වැපිරෙමින් ආගම් වාදය හුවා දක්වමින් ඔඩු දුවන්නේ එදා ගුරුකන්දේ හිමියන්ගේ ආදාහනය දා මෘගයින් මෙන් හැසිරුණු පිරිසක් විසින් ව්‍යාප්ත කරන විෂබීජයි.

නයාරු ගුරුකන්ද විහාරාධිපති නා හිමියන්ගේ දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව දේහය අධිකරණ නියෝගයට එපිටින් ආදාහනය කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ විරෝධතා රැුසක් ද පසුගිය සමයේ පැවැත්විණ.

වව්නියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාල නිලධාරීන් පවසා ඇත්තේ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කොට ඇති බවත් එම පරීක්ෂණ තවමත් අවසන් නොමැති බවත්ය.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ හිටපු විහාරාධිපති හිමියෝ අපවත් වීමෙන් පසුව එම විහාරස්ථානයේ අභිනව විහාරාධිපති ධුරයට පත් කොට සිටින්නේ කලක් එම විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ කෙනෙකු ලෙස වැඩ වාසය කළ මිහිඳුපුර රතනදේවකිත්ති හිමියෝය.

උන්වහන්සේ පවසන්නේ ගුරුකන්ද විහාරස්ථානය කෙසේ හෝ රැුකගෙන එහි අයිතිය හා සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කරන බවයි.

”මුලින්ම මේ විහාරස්ථානය සම්බන්ධයෙන් මතු වී තිබෙන ආරවුල නීත්‍යානුකූලව විසඳා ගන්නට අවශ්‍ය වෙනවා. නායක හාමුදුරුවන් ඒ වෙනුවෙන් නඩු කිව්වා. අපේ ප‍්‍රබල දායක සභාවක් තියනවා. ඒ දායක සභාවේ මූලිකත්වයෙන් යළිත් අධිකරණ ක‍්‍රියාමාර්ගයකින් මේ ගුරුකන්ද විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන ් නීත්‍යානුකූල අවසරයක් ගන්නට අවශ්‍ය වෙනවා.

ඇත්ත වශයෙන්ම මේ ස්ථානය සම්බන්ධයෙන් නීති විරෝධී තත්ත්වයක් නැහැ. සිද්ධ වුණේ මුලතිව් පළාතේ හින්දු ජනතාවගෙන් කොටසක් ඒ ස්ථානය ඔවුන්ට අයිති බව කියමින් බලහත්කාරයෙන් ඒ කෝවිලේ කටයුතු කරමින් ඒකට අයිතිවාසිකම් කීමට පටන් ගැනීමයි.

මේ ගුරුකන්ද විහාරස්ථානයේ ඉතිහාසය ඉතාම ඈතට විහිදී යනවා. දළදාව ශ‍්‍රී ලංකාවට වැඩම කරවූ කාල වකවානුවේදී මුලින්ම ගොඩ බැස්සේ මේ ස්ථානයට බව වංශ කතාවල සඳහන් වෙනවා. ඒ කාලයේදී මේ ස්ථානය හඳුන්වා ඇත්තේ ලංකාතොට යනුවෙනුයි.

මේ කතාව සනාථ කෙරෙන සෙල් ලිපි තිබෙනවා. ඒ හැරුණාම මේ ස්ථානයේ ඉපැරණි නටබුන් විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. පැරණි දාගැබක් පිහිටා තිබෙනවා. තවත් මේ ස්ථානයේ තිබෙන පුරාවස්තු ගැන සලකලා බලන කොට මේ ගුරුකන්ද විහාරස්ථානය පිහිටි ස්ථානය ඉතාම දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන උරුමයක් ඇති ස්ථානයක් බව ඉතාම පැහැදිලියි.

නමුත් මේ නායාරූ නීරාවිඅඩි ප‍්‍රදේශයේ සිටින හින්දු ජනතාව ඒක පිළිගන්නේ නැහැ. ඔවුන් දෙමළ දේශපාලනඥයින්ගේ උසි ගැන්වීම මත මේ ස්ථානයට අයිතිවාසිකම් කියනවා.’’

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්ථානයේ අයිතිය හා එහි ඓතිහාසිකත්වය පිළිබඳව බොහෝ කරුණු ඉදිරිපත් කරයි.

මහාවංශය ඇතුළු බොහෝ ග‍්‍රන්ථවල මුලතිව් දිස්ත‍්‍රික්කයේ මෙම බෞද්ධ සිද්ධස්ථානය පිළිබඳව තොරතුරු සඳහන් වෙයි. වෙනත් විවිධ මූලාශ‍්‍ර ද ඒ බව සනාථ කරනු ලබයි.

මහාවංශයට අනුව අදින් සියවස් ගණනාවකට පෙර නාග ගෝත‍්‍රිකයන් වාසය කළ

නාගයින්ගේ ගංගාව අරුත ඇති නයින් ආරු නම් වී පසුව එම ප‍්‍රදේශය නායාරූ වී තිබේ.

නයාරු ප‍්‍රදේශයේ ගුරුකන්ද රජ මහ විහාරය වර්තමානයේ මෙම ප‍්‍රදේශයේ ඉතිරි වී ඇති එකම බෞද්ධ සිද්ධස්ථානයයි. පදවි ප‍්‍රදේශයේ ඇති සෙල් ලිපිය මෙම අතීත කතාව තහවුරු කරයි.

කිත්සිරි මෙවන් රජ දවස (ක‍්‍රි.පූ. 6 - 7 සියවසේදී* ඉන්දියාව, මියැන්මාරය ඔස්සේ ලංකා පටුන දක්වා වූ රහසිගත සහ කෙටිම මාර්ගයකින් ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ සඟවා ගෙන පැමිණි හේමමාලා - දන්ත දෙපළ පළමුව ගිමන් හැරි ස්ථානය මෙම ගුරුකන්ද මහ විහාරය යි.

දැනට මෙම ස්ථානයේ ශේෂව ඇති නටබුන් අනුව අතීතයේ දී චෛත්‍යයන් හතක් ඇතුළු සංඝාවාස සංකීර්ණයක් තිබෙන්නට ඇතැයි සැලකෙන මෙම පුද බිමෙහි අද ඉතිරිව ඇත්තේ එක් චෛත්‍යයක් පමණි.

1984 දී පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කළ ද යුද සමයේදී දෙමළ කොටි සංවිධානය විසින් මෙම ස්ථානය ඉතා දීර්ඝ කාලයක් ඔවුන්ගේ කඳවුරක් ලෙස භාවිතයට ගෙන ඇත.

උතුරු ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයෙන් මුදා ගැනීමෙන් අනතුරුව ගුරුකන්ද මහ විහාරයට වැඩම කළ කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන් වහන්සේ ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ විහාරස්ථානයට ජීවය දුන්හ.

උන් වහන්සේ එදා ජීවතුන් අතර සිටි කාලයේදී පැවසූ ආකාරයට එසේ පැමිණ විහාරස්ථානය නැවත ගොඩ නගා අවුරුදු 13 කි. වර්තමානයේ ගුරුකන්දේ පවුල් 96 ක් ජීවත් වෙති. ඉන් පවුල් 5 ක් සිංහල වන අතර ඉතිරිය දෙමළය.

ගුරුකන්ද රජ මහා විහාරයට විවිධ බලපෑම් එල්ල වන්නට පටන් ගැනීමත් සමගම දකුණේ පිරිස් මේ ස්ථානයට පැමිණීම වැඩි වී තිබේ. ඔවුන් සමග පැමිණි නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා දැන් මෙහි තත්ත්වය විස්තර කළේ මෙලෙසිනි.

”ගුරුකන්ද රජමහා විහාරස්ථානය ඉපැරණි පුදබිමක්. 1800 ගණන්වල ගත්ත වාර්තාවල වගේම 1901 වාර්තාවේත් සඳහන් වෙලා තියෙන්නේ මේ ස්ථානය බෞද්ධ පුදබිමක් විදිහටයි. 1968 ලබාගත් ගුවන් සිතියම්වලත් සඳහන් වෙලා තියෙන්නෙ මේ ස්ථානය බෞද්ධ පුදබිමක් බවයි. එවැනි පුදබිමකට, පුරාවිද්‍යා භූමියකට දෙමළ ඩයස්පෝරාවෙන් යැපෙන පිරිසක් ඇතුළු වෙලා කෝවිලක් හදන්න ගියා. මෙරට නීතියට අනුව පුරාවිද්‍යා භූමියකට බලහත්කාරයෙන් ඇතුළු වෙලා කැණීම් කිරීම බරපතළ වරදක්. ඒ වගේම ඒ පිරිසෙ හිටිය දෙමළ දේශපාලනඥයෙක් මේ විහාරස්ථානයේ වැඩ සිටින නායක හාමුදුරුවන්ට බැණ වදිමින් තර්ජනය කරලා තිබුණා. ඒකත් බරපතල වරදක්. ඒත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තිබුණේ සාමය කඩ කිරීමක් විදිහට. පුරාවිද්‍යා භූමිය කැණීම් කිරීම සම්බන්ධයෙන් කිසිම නඩුවක් නෑ. හාමුදුරුවන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් නඩුත් නෑ. අන්තිමේ පීඩාවට පත් හාමුදුරුවෝ විත්තිකාරයා වුණා. මේ ස්ථානයට ඇවිත් හාමුදුරුවන්ට බැණ වැදිලා තර්ජනය කළ පුද්ගලයා දැන් නඩුවෙනුත් නිදහස් වෙලා. දැන් ඒ නඩුවේම විත්තිකරුවො ඇවිත් කෝවිලේ දැන්වීම් පුවරු ගහලා ගිහින්. ආර්. ඞී. එකෙන් ඇවිත් ඒ බෝඞ් එකත් එක්ක පන්සලේ නාම පුවරුවත් ගලවලා. ආර්.ඞී.ඒ. එක පන්සලේ බෝඞ් එක ගලවලා කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම පුරාවිද්‍යා පනත උල්ලංඝනය කිරීමක්. මේ සියල්ල සිදු කරන්නේ උතුර, නැගෙනහිර භූමියෙන් බෞද්ධ උරුමය අතුගා දැමීමේ ප‍්‍රතිඵලයක් විදිහටයි.”

මේ සියලූ කතා දෙස බලන විට අප මුලින් සඳහන් කළා සේ ගුරුකන්ද මේ වන විට වලිකන්දක් හා නඩු කන්දක් වී හමාරය.ඒ කාට හෝ කොතැනක හෝ යම් අතපසුවීමක් හා වැරදීමක් සිදු වූ නිසාය.

මේ වැරැුද්ද නීත්‍යානූකූලව නිවැරදි කළ යුතු වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. ඔවුන් ඒ පිළිබඳව දක්වන අලසභාවය හා නිද්‍රාශීලීභාවය ඉතා ඉක්මනින් තුරන් කොට මුලතිව් ගුරුකන්ද පළාතේ වෙසෙන සිංහල මෙන්ම දෙමළ ජනයාට ද සාධාරණය ඉෂ්ට කළ යුතුය.

පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් විමසන සෑම අවස්ථාවකදීම ඔවුන් ඉඳුරාම ප‍්‍රකාශ කරන්නේ මුලතිව් නායාරූ ගුරුකන්ද රජ මහා විහාරස්ථානයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවයි. එම ස්ථානය ගැසට් කළ පුරාවිද්‍යා ස්ථානයක් බවට ද ඔවුන් තහවුරු කොට සිටියි. නමුත් විශාලම ප‍්‍රශ්නය වන්නේ මේ විහාරස්ථානය අරබයාත් එහි අයිතිය සම්බන්ධයෙනුත් එකිනෙකා මිනීමරා ගන්නා පසුබිමක් පවතිද්දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිහඬව සිටීමයි.

මීට මාස දෙකකට පමණ ඉහතදී දෙමළ දේශපාලනඥයින් ඇතුළුව විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ මහා පොංගල් උත්සවයක් පැවැත්වූහ. ලිපි එකසිය පණහක් බැඳ ඒ ස්ථානයේ කිරිබත් පිසිද්දි ඔවුන් ලිප් බැඳීම හා පොංගල් පැවැත්වීම සිදු කළේ පුරාවස්තු මැදය. ලිප් බැන්දේ ගුරුකන්ද විහාරයේ පුරාවස්තු මැදය. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ කිසිවක් සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක‍්‍රියා මාර්ගයක් නොගත්තේය.

ගුරුකන්ද විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳව දෙපාර්තමේන්තුව මේ තරම් ඉහළින් කතා කළත් එහි අයිතිය සම්බන්ධයෙන් නඩුවක් ගොණු කොට එහි අයිතිය සුරක්ෂිත කර ගැනීමට වසර දහතුනක කාලය ඇතුළත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකි වී නොමැත.

මේ රටේ පුරාවිද්‍යා ස්ථානවල දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යනු ලබන පුරාවිද්‍යා වැඩ බිම් තිබේ. කාර්යාල තිබේ. මේ දෙකෙන් එකක්වත් මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ පුරාවස්තු වෙනුවෙන් දෙපාර්තමේන්තුව විසින් සිදු කොට නොමැත. විහාරස්ථාන හා පන්සල් අයත් වන්නේ ඒවායෙහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට වූවත් එම භූමිවල අයත් හා පිහිටා ඇති පුරාවස්තු අයත් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය.

අඩුම තරමින් මුලතිව් ගුරුකන්දේ පුරාවස්තු ටික ආරක්ෂා කරගැනීමටවත් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් මුලතිව් ගුරුකන්ද රජ මහා විහාරය ද ආරක්ෂා වන්නේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles