Divaina - ගැහැනුන් පිරිමින් කරන භූතයා...

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 holman

චිත‍්‍රාන් මොරකන්දෙ ගමගේ 

රංගජීවගෙ පියාගේ අභාවයෙන් පසු නිවසේ ඇති වූ පාළු ස්වභාවය තවමත් පහව ගොස් නැත. එපමණක් නොව රංගජීවට කරදරවලින්ද කෙළවරක් නැත. දියණිය සහ බිරිඳ මෑතක සිට පෙළන්නට ගත් හිසරදයට වෛද්‍යවරුන් කිහිප දෙනකුගෙන්ම ප‍්‍රතිකාර ගත්තද ඉන් ඵලක් නොවිණ. දිනක් ආයුර්වේද වෛද්‍යවරයකු රංගජීවට කීවේ මෙය ඖෂධ මගින් සුව නොවන්නේ රෝගීන්ට යම් අමනුෂ්‍ය බැල්මක් වැටී ඇති නිසා විය හැකි බවය. එබැවින් මෙම අමනුෂ්‍ය බැල්ම මුලින්ම ඉවත් කොට ඉන්පසු ප‍්‍රතිකාර කළ යුතු බව මේ වෛද්‍යවරයා කීවේය. මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පවත්වාගෙන යන අමනුෂ්‍ය බැල්ම ඉවත් කිරීමේ එක් ස්ථානයක් ගැන වෛද්‍යවරයා රංගජීවට තොරතුරක් දුන්නේය. පසුවදාම එහි ගිය රංගජීව එම සතියේ සෙනසුරාදා රාත‍්‍රියේ මේ සඳහා අවශ්‍ය අමනුෂ්‍ය දෘෂ්ටි පිටු දැක්මේ කර්තව්‍ය කරන්නට යොදා ගත්තේය. අවශ්‍ය මුළු ගාස්තුව රුපියල් හැට පන්දාහකි. රුපියල් තිස්දාහක අත්තිකාරමක් දී රංගජීව එවේලේම දිනය වෙන් කර ගත්තේය. ”මහත්තයා මේ එන එන ඒවා ඔක්කොම මම භාරගන්නේ නෑ. මේවා පිළිවෙළට කරන්න එපාය. අනික අපි භාරගන්න වැඩක් කවදාවත් වැරදිලා නෑ. ඒ නම්බුවක් රකින්න එපැයි” කපු මහතා කීවේය.

මේ ගමනට පැමිණෙන ලෙස ඔහුගේ වැඩපළේ මිතුරකු වන ආනන්දටද කීවේය. සෙනසුරාදා හවස් යාමයේ ආනන්දත් රංගජීවත් බිරිඳ යමුනාත් දරු දෙදෙනාත් ආනන්දගේ මෝටර් රථයෙන් මිනුවන්ගොඩ යාතිකා මධ්‍යස්ථානය වෙත ගියහ. එහි යන විටත් කපුමහතා අවශ්‍ය කටයුතු සූදානම් කොට තිබිණ.

” මං බැලූවා ඒත් පරක්කු මොකද කියල” කපු මහතා කිව්වද ඔවුන් එතැනට ආවේ කපු මහතා කී වේලාවටත් පැය භාගයකට පෙරය.” එහෙනම් අපි ඉක්මනට ලෑස්ති වෙමු. අසනීප කාරයෝ දෙන්නා ඔය ගෙනාපු සුදු රෙදි අර කාමරයට ගිහිල්ලා ඇඳගන්න. ඒකෙ සින්ක් එකකුත් ඇති මුහුණ අතපය ටිකක් හෝදගන්න.” කපු මහතා කීය. රංගජීවගෙ බිරිඳ දෙස කපු මහතා හෙලන කෑදර බැල්ම දුටු ආනන්ද” කොට්න් කාරයා ටිකක් කුකුළෙක් වගේ උඹ කෝකටත් යමුනාගේ ළඟින්ම හිටපන්” යැයි කීවේය. ”පිස්සුද බං එයා එහෙම කෙනෙක් නෙමෙයි, මේව එහෙම කරන්න බෑ, දෙයියො අමනුෂ්‍යයො එක්ක කරන වැඩ” කපු මහතා දැන හැඳින එක් දිනයකට වඩා වැඩි නැති වුවත් ඉතා භක්තියෙන් රංගජීව කීවේය.

යමුනත් දියණියත් සූදානම් වී පැමිණෙන තෙක් කපුවා සහ ගෝලයෝ හඳුන්කූරු දල්වමින් ප‍්‍රදේශය සුවඳවත් කළ අතර මැටි පහන් කිහිපයක් දල්වා ස්ථානය ආලෝකවත් කළේය. එළියේ විලක්කු කීපයක් දල්වා බිම සිටුවා තිබිණි.

” හා දැන් ඔය බාල එක්කෙනා ඇවිත් මේ පුටුවෙන් වාඩි වෙන්න, අනික් කට්ටිය පැදුරෙන් වාඩිවෙලා වැඳගන්න”. රංගජීවත් යමුනාත් රංගජීවගේ අනෙක් දරුවාත් එසේ වැඳගත් අතර ආනන්ද පසෙකට වී සිටියේය. ” ඔය මහත්තයට වෙනම බුලත් දීලා කියන්න ඕනද”? කපුවා ආනන්දට සැර විය. ” මං මේගොල්ලන්ගෙ ඩ‍්‍රයිවර් මං මේකට සම්බන්ධ නෑ” ආනන්ද කීවේය. ”එහෙනම් එළියට ගිහින් ඉන්නවා” කපුවා ගුගුළේය. තමා ළඟින් ඉඳ ගන්නා ලෙස රංගජීව ආනන්දට අතින් සංඥා කළේය. ආනන්ද රංගජීව අසලින් පැදුරේ වාඩි විය.

වාඩිවී සිටින දියණියගේ හිසට අත තැබූ කපුමහතා ” දැන් මං මේ කියන ගාථා දෙක මං කිව්වම ඕගොල්ලොත් කියන්න” යැයි කියමින් සංස්කෘත ශ්ලෝක දෙකක් කීවේය. ඒ අතරේ ගෝලයෙක් උඩැක්කිය වාදනය කළේය. අනෙක් ගෝලයා දුම්මල තටුවක් ගෙන දියණියට දුම් අල්ලන්නට විය. ” දැන් ඔලූව කැක්කුම තියෙනවද”? කපුමහතා ඇසීය. ” යන්තම් තියෙනවා” දියණිය කීවාය. ඉන්පසු මන්තර කිවූ කපුමහතා ” දැන් මෙයාට කරදර කරන අමනුෂ්‍යයා මම මෙයාගේ ඇඟට ආරූඪ කරවනවා, කිසිකෙනෙක් බයවෙන්නෙපා” ඉන්පසු ගෝලයා බාල්දියක් ගෙන ආවේය. හැමෝගෙම ළඟට එය ගෙන ගිය කපු මහතා එයට අත දමා මෙහි ඇත්තේ මොනවාදැයි බලන ලෙස කීවේය. සියලූම දෙනා ප‍්‍රකාශ කළේ එහි කිසිවක් නොමැති බවයි. ආනන්ද එය වඩාත් හොඳින් පරික්ෂා කළේය. ” ළමයා මං මේ බාල්දියෙන් ඔයාට ආරූඪ බලය දෙනවා, මං මේක නාවනකොට හොඳට හුස්ම ගන්න”.එසේ කියූ කපුමහතා දියණිය නාවන්න මෙන් බාල්දිය සෙමෙන් ඇයගේ හිස මතට වක්කළේය. ”දැන් මේ ළමයා නැගිටින්න” දියණිය කපුවාගේ අණට කීකරු වූවාය. ” තවමත් ඔලූවෙ කැක්කුම තියෙනවද? ”තව ටිකක් තියෙනවා” දියණිය කීවේ ඉතා රළු පිරිමි කටහඬකිනි. නැවතත් හිස් බාල්දියක් ගෙන දියණිය නැහැ වූ කපුවා වේවැලක් අතට ගෙන දියණියට පහරදී ” තවත් මේ ආතුරයාට කරදර කරනවද”? යනුවෙන් ඇසීය. දියණිය ” නෑ නෑ ගහන්න එපා” යයි කීවේ රළු පිරිමි කටහඬකිනි. රංගජීව ආනන්දට ඇඟිල්ලෙන් ඇන්නේ ය. ආනන්ද ඔළුව වැනීය. ” එහෙනම් මේ ආතුරයට කරදර නොකර පලයන් අමනුෂ්‍යයා”යි කිවූ කපු මහතා අඩි හප්පමින් මන්තර කියන්නට විය. පැය භාගයක් පමණ මන්තර කියූ පසු දියණියගේ අත නූලක් බැඳ ” දැන් ඔළුව කැක්කුම සනීපයි නේද”? කියා ඇසුවේය. ”දැන් හොඳයි” දියණිය හැඬුම් ස්වරයෙන් ඇගේ පුරුදු කට හඬින් කීවාය. ” ඔන්න දැන් එයාට අමනුෂ්‍ය කරදර ඉවරයි, මගේ මන්තර බලය නිසා ආයෙ ඌ එන්නෙ නෑ, දැන් ඔය දරුව ගිහිං අර පැදුරෙන් වාඩිවෙන්න, ඊළඟට නංගී ඇවිල්ලා පුටුවෙ වාඩිවෙන්න”. කපුවා යමුනාට අඬ ගැසීය. යමුනා සම්බන්ධයෙන් ද එලෙසම කටයුතු කළ අතර ඇයද ඉතා රළු පිරිමි කටහඬකින් කතා කළාය. සියලූම වැඩ කටයුතු අවසානයේ රංගජීව ගෝලයන් දෙදෙනාට රුපියල් 2000 බැගින් දුන්නේ කරන ලද කටයුතු ගැන දැඩි විශ්වාසය හා සතුට නිසාය. කපු මහතාගේද ගනුදෙනු හමාරකොට කපු මහතාට රංගජීව, යමුනා හා දියණිය වැඳ සමු ගත්හ.

සියලූ දෙනා ආපසු එද්දී ”මේක නං උඹට පිළිගන්නම වෙනවා, ඔන්න භෞතිකවාදියා හිර වෙච්ච තැන, රංගජීව ආනන්ද දෙස බලමින් හිනාවෙමින් කීවේය. ”මොකද කතා නැත්තේ අදවත් පිළිගනිමු ඇහැට නොපෙනෙන බලවේග තියෙන බව” යළිත් රංගජීව කීවේය. ”ඇහැට නොපෙනෙන බලවේග ඕන තරම් තියෙනවා, ඔය ගුවන් විදුලි තරංග එයින් එකක් තමයි, හැබැයි මේ ගැන මට දැම්මම උඹට යමක් කියන්න බෑ සතියක් උඹ මට කල් දීපන්” ආනන්ද කීවේය. ” සතියක් නෙමෙයි උඹට මාසයක් හරි දෙන්නම්, මේ සැරේ උඹටත් පිළිගන්න වෙනවා” රංගජීව කීවේය. ”බලපන්කෝ යමුනට වේවැල ඉස්සුවා විතරයි ගහන්න එපෝ මං යනවෝ කියලා බෙරිහන් දීපු හැටි” ඇයි ආනන්ද කීවිට ”අනේ යන්න ඔයාලටත් ඔහොම තමයි වෙන්නේ අමනුස්සයෝ එලෙව්ව නං” යමුනා කීවාය.

පසුදින ඉරිදා දිනයක් වූයේ ආනන්ද තමාගේ පෞද්ගලික පුස්තකාලයේ පොත්පත් හා අන්තර්ජාලය පරීක්ෂා කරමින් සොයා බැලූවේ කෙනෙකුගේ කටහඬ වෙනස් කළ හැකි ක‍්‍රම ගැනයි. ඔහුට බලාපොරොත්තු තැබිය හැකි හෝඩුවාවක් ලැබිණ.

සඳුදා හවස් නිවාඩු දැමූ ආනන්ද කොළඹ බංගසාල වීදියට ගොස් වායු වර්ග දෙකක් ගෙනාවේය. රාත‍්‍රියේ නිවසේදී එය පරීක්ෂා කොට බැලූ ඔහුට තේරුණේ එක් වායුවකට කටහඬ ඉතා රළු කළ හැකි අතර අනිකෙන් රළු කටහඬක් ස්ත‍්‍රී කටහඬක් මෙන් මෘදු කළ හැකි බවයි.

පසුදා රංගජීව ආනන්දට කීවේ ”හරි පුදුම වැඬේ නේ බං, දැන් අර දෙන්නාගේ ඔළුවෙ කැක්කුම හොඳයිනෙ”. ”ඒ කියන්නෙ එහෙනං අමනුස්සයා එලෙව්වම ඒක හරි ගියා” ආනන්ද කීවේය. තමා සොයාගත් දේවල් කිසිවක් රංගජීවට කීමට අදහස් නොකෙරේ කෙසේ හෝ අසනීපය සුව වී ඇති හෙයිනි. එහෙත් සතියකට පමණ පසු දියණියගේ හා යමුනාගේ අසනීපය පෙරසේම ඇති බව රංගජීව ආනන්ද කීවේ දැඩි සංවේගයෙනි .”උඹ දුක් වෙන්න එපා බං මට හිතාගන්න පුළුවන් ඔය අසනීපෙ ගැන, කපුවගෙ වැඩෙන් ඕක සනීප වුණේ ඕක මානසිකව ඇති වෙච්ච එකක් නිසා, උඹේ තාත්තා නැති වෙච්ච ගැන යමුනටයි දුවටයි දරා ගන්න බැරිවෙච්ච එකේ ප‍්‍රතිඵලයක් තමයි ඕක. තාත්තා ඉන්න දවස් වල දරුවාගේ පස්සෙන්ම හිටියා, යමුනට කොච්චර උදව් කරනවද, ඒවා මතක් වෙනකොට දරාගන්න අමාරු වෙන එක අහන්න දෙයක් නෙමෙයි, ඒක තමයි ඔළුවෙ කැක්කුමක් වගේ ඇවිල්ල තියෙන්නෙ” ආනන්ද කීවේය.”ඉතින් මොකක්ද බං අපි මේකට කරන්නනෙ” ඉච්චාභංගත්වයට පත් රංගජීව ඇසුවේය. ”මේ සතියේ සිකුරාදා ඉස්කෝලේ නිවාඩු දෙනවනේ, අපි ඔක්කොම යමු අපේ මහ ගෙදර, එහෙ ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා, වත්ත අක්කර ගානක්, ළමයින්ට ඕන හැටියට සෙල්ලම් කරන්න පුළුවන්, එකතුවෙන්න පොඩි ළමයි ගොඩක් ගමේ ඉන්නවා, වැව තියෙනවා, යමුනට කතා කරන්න කට්ටිය ඉන්නවා, බැට්මින්ටන් ගහන්න වොලිබෝල් ගහන්න ඕන තරම් පහසුකම් වත්තෙම තියෙනවා කැරම් ගහන්න කාඞ් සෙල්ලම් කරන්න චෙස් අදින්න ඕන හැටියෙ පුළුවන්, එතකොට ඔය ඔක්කොම අමතක වෙලා යයි, උඹත් එහේ හිටපං මාසෙම” ආනන්ද දිගටම කියාගෙන ගියේය. ” එතකොට මගේ රස්සාව” රංගජීව ඇසීය. ” උඹට නිවාඩු ඉතුරුවෙලා තියෙනවනෙ විස්සක් විතර, ඒක ගනිං, මං ජීඑම්ට කියන්නම්, උඹේ සෙක්ෂන් එකේ වැඩ ටික මම බලාගන්නන් ”.

කතා කරගත් පරිදි රංගජීවගේ පවුලේ උදවිය ආනන්දගේ මහගෙදරට ගියහ. අතරමැද දිනකදී ආනන්දගේ කොළඹ ගෙදරට රංගජීව ගෙන්වාගෙන එදා කපුවා කළ රැවටීම ඔහුට පැහැදිලි කර දුන්නේය. මචං උඹගෙන් එදා අරූ රුපියල් හැට පන්දාහක් හදා ගත්තා නේ, අපි ගිහිල්ලා ඒක ඉල්ලමු, උඹ මේ නයිට් කරලා ඕටී කරල දහදුක් විඳලා හම්බ කරපු සල්ලිනෙ. දුන්නෙ නැත්නම් මං ඕකට හොඳ වැඩක් කරනව, මම මේ ගෑස් ටික ගෙනිහිල්ල ඕකව ගෑනියෙක් විදියට කතා කරවනවා, ආනන්ද කී ලෙසටම රංගජීවගේ මුදල යළි කපුවාගෙන් ලබා දුන්නේය.

සල්ෆර් හෙක්ස ෆ්ලූරෑවරයිඞ් යනු සාමාන්‍ය වාතය මෙන් හය ගුණයක් බරැති වායුවකි. එය මුදා හල විට ජලය මෙන් පහළට ගලා හැලේ. එහෙත් එය අවර්ණ වායුවක් නිසා ඇසට පෙනෙන්නේ නැත. අතින් ඇල්ලූ විට දැනෙන්නේ ද නැත. මේවා පෙනහලූ තුළට ගොස් එම වායුව පිට කරමින් කතා කරන විට ස්වර තන්තු අඩු සංඛ්‍යාතයකින් කම්පනය වීම නිසා කටහඬ ඉතා රළු වේ. මෙලෙසම හීලියම් වැනි බර අඩු වායුවක් ආඝ‍්‍රාණය කර කතා කළහොත් කටහඬ ඉතා මෘදු වේ. එවිට පිරිමි කටහඬ ගැහැනු කටහඬ මෙන් වේ. මෙම වායූන් දෙකෙන් කුමක් ආඝ‍්‍රාණය වුවද එයින් ශරීරයට අහිතකර වීමක්, කැස්සක් හෝ අසාත්මිකතාවක් ඇති නොවේ. එහෙත් වැඩි වෙලාවක් ආඝ‍්‍රාණය වුවහොත් ඉන් සාමාන්‍ය වාතය පෙනහළු තුළට යෑම අවහිර වන නිසා ක්ලාන්ත වීමත් ඇති විය හැක. සල්ෆර් හෙක්ස ෆ්ලූවරයිඞ් මැග්නීසියම් පෑහීමේදී හා අකුණු ආරක්ෂක පද්ධති සඳහා යොදා ගනී. පහළ වෝල්ටීයතාවකදී මෙම වායුව හරහා විදුලිය ගමන් නොකරන අතර ඉතා ඉහළ වෝල්ටීයතාවක් සඳහා ඉතා හොඳ සන්නායකයක් ලෙස ක‍්‍රියාකරයි. මේ ගති ලක්ෂණය සැලකිල්ලට ගෙන අකුණු වලදි එන ඉතා ඉහළ වෝල්ටීයතාවයන් භූගත කිරීමට මෙම වායු අඩංගු සෙරමික් කට්ටල භාවිතා වේ. හීලියම් වායුව බැලූන උඩ ඇරීම වැනි කටයුතු සඳහා යොදා ගනී.

මාසයක කාලයක් ඉතා විනෝදයෙන් ගතකළ රංගජීවගේ පවුලේ අයගේ හිස රුදාව සුව වී තිබිණ. ඔවුන් දැන් බලා සිටින්නේ ඊළඟ පාසල් නිවාඩුව එනතුරුය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles