Divaina - පන්තිය බෙදාගන්න බැරිව බදුල්ලේ ටියුෂන් ගුරුවරු දෙදෙනෙක් ගුටි කෙලියක... ළමයි ඉදිරියේ කුණුහරුපයෙනුත් කෑගහගෙන!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

tusion

ගයාන් සමරසිංහ

සිංගප්පුරු රජය දරුවන්ව පෞද්ගලික උපකාරක පංති සඳහා සහභාගි කරවීම අනවශ්‍ය දෙයක් ලෙස සඳහන් කර තිබියදීත් එරට දෙමාපියෝ තම දරුවන් පෞද්ගලික උපකාරක පංති සඳහා යොමු කරති. එය එරට සුලබ දසුනකි. එරටින් වාර්තා වන අන්දමට එරට ප‍්‍රාථමික සිසුන්ගෙන් 90 % ක් පමණ මෙලෙස පෞද්ගලික උපකාරක පංතිවලට සහභාගි වේ. ඒ සඳහා දෙමාපියන්ගෙන් වසරකට ඩොලර් මිලියන 680 ක් පමණ වැයවේ. සිංගප්පූරුවේ පළමුව පෞද්ගලික උපකාරක පංති ආරම්භ වූයේ පාසලේ උගන්වා අවසන් පාඩම් තේරුම් ගැනීමට අපහසු වූ සිසුන්ට පෞද්ගලික ගුරුවරයකු ලවා ඉගැන්වීමක් ලෙසයි. මුල් කාලයේදී එලෙස යොමු වූයේ මුදල් වියදම් කිරීමට හැකියාවක් තිබූ දෙමාපියන්ගේ දරුවන් පමණි. එහෙත් කලක් යද්දී සම්පූර්ණයෙන්ම එය වෙනස් විය. මුදල් ඇති නැති සියලූ දෙනාගේම දරුවන් පෞද්ගලික උපකාරක පංති යෑමට පටන් ගත්තේය. දැන් උපකාරක පංති මිලියන ගණනින් මුදල් උපයන ව්‍යාපාර බවට පත් වී තිබේ. එය දැන් හැඳින්වෙන්නේ සිංගප්පූරුවේ උපකාරක පංති උමතුව ලෙසින්ය.

පෞද්ගලික උපකාරක පංති උමතුව මෙසේ තිබියදී සමහර පෞද්ගලික උපකාරක පංති ගුරුවරු ද පිස්සු කෙළිති. එවැනි සිදුවීම් නිරන්තරයෙන්ම අපට අසන්නට දකින්නට ලැබේ. ශිෂ්‍යාවන් රවටා ගෙන රූම් ගාණේ රැගෙන යන, ශිෂ්‍යයන් සමග විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන, තමාගේ උපකාරක පංතියට නොපැමිණියොත් පාසලේදී පලි ගන්නා, තවත් නොයෙක් ආකාරයේ වැරදි සිදු කරන පෞද්ගලික උපකාරක පංති ගුරුවරු බොහෝ සිටිති. එයට අමතරව පෞද්ගලික උපකාරක පංති ගුරුවරු අතර ද ඇත්තේ විශාල තරගයකි. එම තරගය නිසා ගුටි බැට හුවමාරු කර ගත් පෞද්ගලික උපකාරක පංති ගුරුවරු ද සිටිති.

පසුගිය සතියේ පොදු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එවැනි විඞීයෝවක් සංසරණය විය. ඒ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් තවත් ගුරුවරයකුට ඉතා අමානුෂික ලෙස බණින අයුරුය. දන්නා තරමින් එම සත්‍ය සිද්ධිය මෙසේය.

එය එක්තරා නගරයක පෞද්ගලික උපකාරක පංති පවත්වන ආයතනයකි. එම ආයතනයට අලූතෙන් ජිව විද්‍යාව සදහා ගුරුවරයකු බඳවා ගත්තේය. ඒ තව ජීව විද්‍යා ගුරුවරයකු සිටියදීමය. පරණ ජීව විද්‍යා ගුරුවරයා එය දැන සිටියේ නැත. ඔහුට එය දැන ගන්නට ලැබුණේ දින කිහිපයකට පසුවයි. එය දැනගත් පසු ඔහුට විශාල කේන්තියක් ආවේය. ‘‘මට ඉහළින් කාටවත් මේකේ රජ කරන්න බැහැ. මම බලා ගන්නම් මොකද වෙන්නේ කියලා.’’ එලෙස සිතු ඔහු ඉක්මනින් ලක ලැහැස්ති වී එම උපකාරක පංති පවත්වන ආයතනය වෙත ගියේය.

අලූත් ජීව විද්‍යා ගුරුවරයා සිසු සිසුවියන් කිහිප දෙනෙකුට උගන්වමින් සිටියේය. පරණ ජීව විද්‍යා ගුරුවරයා එම ස්ථානයට පැමිණියේය. එලෙස පැමිණි ඔහු කිසි ගරු සරුවක් නොමැතිව උන්මත්තකයකු ලෙස හැසිරෙමින් නව ගුරුවරයාට සිසුන් ඉදිරියේ ඉතා අශෝබන ලෙස බැණ වැදුණේය. එක්වරම සිදුවූයේ කුමක්දැයි කියා සිතා ගැනීමට නොහැකි වූ සිසු සිසුවියන් අන්දුන් කුන්දුන් වී එදෙස බලා සිටියේය. විනාඩි කිහිපයක් පමණ බැණ වැදුණු එම ගුරුවරයා පසුව එතැනින් ඉවත් වූයේ ‘‘පසුව බලා ගමු යැයි’’ පවසමින්ය.

එම කලබල අස්සේ පංතිය අවසන් කළ අලූත් ජීව විද්‍යා ගුරුවරයා තම මෝටර් රථයට නැග නිවස බලා යෑමට පිටත් විය. එහෙත් ඔහුට එක්වරම යෑමට නොහැකි විය. කොහේදෝ සිටි පැමිණි පරණ ජීව විද්‍යා ගුරුවරයා ඔහුට යළි බැණ වැදුණේය. ඒ තමා ගුරුවරයකු යැයිවත් නොසිතමින් අමු මී හරකෙක් පරිද්දෙන්ය. ඔවුනොවුන් බැණ වැදුණේ මෙලෙසින්ය.

‘‘කෙමිස්ටි‍්‍ර ඉන්නේ එකයි නම්, ෆිසික්ස් ඉන්නේ එකයි නම්, කම්බයින් ඉන්නේ එකයි නම්, බයොලොජිවලට ඇයි දෙන්නෙක්. මම තමයි කාලෙක ඉඳන් මෙතන ඉන්නේ. මම උඹට කිව්වනේ පටන් ගන්නකොටම මෙතන කරන්න එපා කියලා. පලයන් යන්න ආයි මෙතනට එන්න එපා’’ පරණ ජීව විද්‍යා ගුරුවරයා එලෙස පැවසුවේය.

‘‘ඔයා පටන් ගන්නකොට මට කිව්වේ නැහැ. මම මෙතනට වැඳගෙන බලෙන් ආවේ නැහැ. පාල සර් එන්න කියපු නිසා ආවේ’’ අලූත් ජීව විද්‍යා ගුරුවරයා එලෙස පැවසුවේය.

එය ඇසීමෙන් පරණ ජීව විද්‍යා ගුරුවරයාට තවත් කේන්ති ගියේය. යළි ඔහු මෙලෙස පැවසුවේය.

‘‘ මම දැන් මෙහෙ පටන් අරන් අවුරුදු දහයක් වෙනවා. එතකොට උඹ කොහොමද මෙහෙට එන්නේ ( පත‍්‍රයේ පළ කළ නොහැකි අසැබි වදනකින් බැනවදී) උඹ මෙහෙන් පලයන් යන්න.’’

‘‘ ඇයි මම යන්නේ’’ ඒ සමගම එතැන සිටි තව පුද්ගලයෙක් අලූත් ජීව විද්‍යා ගුරුවරයාට වාහනය හරවාගෙන යන ලෙස පැවසුවේය. එහෙත් ඔහු එය ප‍්‍රතික්ෂේප කළේය. එ අනුව නැවත වරක් පරණ ජීව විද්‍යා ගුරුවරයා මෙලෙස බැණ වැදුණේය.

‘‘මම මෙහෙන් යන්නේ නැහැ උඹ යන්න ඕනේ. රෙකෝඞ් කරන්නේ මොනවද? මම බය නැහැ ඕවට ( පත‍්‍රයේ පළ කළ නොහැකි අසැබි වදනකින් බැනවදී) පෙන්න ගනින් ඕවා.’’

‘‘පහත් විදිහට කතා කරන්න එපා. ඔයා සර් කෙනෙක්නේ ඒ විදිහට හැසිරෙන්න. මෙතන ළමයි ඉන්නවා.’’

‘‘මට ඒවා වැඩක් නැහැ. උඹ ආයි මෙහෙ එන්න බැහැ. ඒක හොඳට මතක තියා ගනින්. දෙන්නෙකුට මෙහෙ බයොලොජි කරන්නත් බැහැ. ආයි උඹ ආවොත් තුනටිය කඩලා දානවා උඹගේ. ඒක මතක තියා ගනින් හොඳට.’’

‘‘එහෙම කොහොමද ඔයා තුනටිය කඩන්නේ. මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා.’’

‘‘කවුද යකෝ මෝඩයෙක් වගේ හැසිරෙන්නේ. මට එම්බී එකක් තියෙනවා එම්එස්සී එකක් තියෙනවා.’’

‘‘ඒක පේනවා හැසිරෙන ආකාරයෙන්.’’ අලූත් ජීව විද්‍යා ගුරුවරයා පැවසුවේය. ආරවුල නොනැවතුණි. වට පිටාව ගැනවත් නොසිතු ගුරුවරු දෙදෙනා පරුෂ වචනවලින් පවා බැණ ගත්තේ ගුරු වෘත්තියටත් නිගාදෙමින්ය. තත්ත්වය එන්න එන්නම දරුණු විය. දෙදෙනා අතින් පයින් ගහගන්නා මට්ටමටම පැමිණියේය. අවසානයේ එතැන සිටි පුද්ගලයෙක් සිද්ධිය යම් තාක් දුරට සමනය කළේය.

සිසු සිසුවියන් ඉදිරියේ රණ්ඩු සරුවල් වී මෙලෙස වනචාරි මිනිසුන් ලෙස හැසිරි තිබුණේ බදුල්ල ප‍්‍රදේශයේ එක්තරා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ජිව විද්‍යාව උගන්වන ගුරුවරන් දෙදෙනෙකි. මොවුන් මෙලෙස රණ්ඩු සරුවල් වී දඟලන්නේ සිසු සිසුවියන්ට ඉගැන්වීමට නොව තම මඩිය තර කරගැනීමට බව පැහැදිලිවම පෙනේ. උතුම් වූ ගුරු වෘත්තියටත් නිගා දෙන මෙවැනි අයට අනිවාර්යෙන්ම නීතියෙන් දඬුවම් පැමිණවිය යුතුය.

තවද රජයේ පාසල් පද්ධතියට අභියෝගයක් වෙමින් නිදහස් අධ්‍යාපනය පල රහිත කරමින් දවසින් දවස වැඩෙන උපකාරක පංති නිසි පරිදි පාලනය කිරීම සහ නීති පද්ධතියක් ගෙන ඒමේ අවශ්‍යතාව අද මතුව තිබේ. සමාජ, ආර්ථික, සංස්කෘතික ආදි අංශයන්ට අහිතකර ලෙස බලපාන උපකාරක පංති අධ්‍යාපනය මතුපිටින් පෙනෙන ප‍්‍රයෝජනයට වඩා යටින් දිවෙන ව්‍යසනය ඉතා විශාලය. එම නිසා වහාම මෙයට ක‍්‍රමවත් විසඳුමක් දිය යුතුය. එසේ නොවුණහොත් උපකාරක පංති උමතුව උමතුවක් ම වෙනු ඇත.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles