Divaina - ලීටර් 5ක් නොවෙයි ලීටර් 80ක් තියාගන්න පුළුවන්... ගෙදර ගුදමක් කරන අරක්කු නිදහස

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

baral

 

 

අසිත දර්ශණ 

අපේ රටේ සුරාබදු ආඥා පනතේ තිබූ තවත් වගන්තියක් වෙනස් වූ බව මේ වන විට ඔබ දැනුවත්ව ඇති බවට සැකයක් නෑ. එනම් මද්‍යසාර නිෂ්පාදකයෙකු හෝ බලපත‍්‍රලාභී වෙළෙන්දෙකු නොවන පුද්ගලයෙක් සතුව තබාගත හැකි විදේශීය මද්‍යසාර ප‍්‍රමාණය ලීටර් 7.5 ක් ලෙස පැවති නීතිය මේ වන විට වෙනස් කොට ඇති බවයි. ඒ අනුව 2019 සැප්තැම්බර් 27 සිට බලපැවැතේවෙන පරිදි මුදල් අමාත්‍යංශය මගින් සුරාබදු අනපනත් වෙනස්කොට ඇත. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මංගල සමරවීර මහතා විසින් සුරාබදු අණ පනත් හා නීති වෙනස් කළ පළමු අවස්ථාව මෙය නොවේ. ඒ මහතා එම ධුරයට පත් වූ අවස්ථාවේ සිටම මද්‍යසාර හා සිගරට් සම්බන්ධයෙන් අනුගමනය කළේ ලිහිල් ප‍්‍රතිපත්තියකි.

මීට මාස කිහිපයකට ඉහතදී චීනයෙන් සිගරට් ගෙන ඒමට බලපත් නිකුත් කිරීම පිළිබඳව රට තුළ බොහෝ කතාබහ ඇති වූ අතර විවිධ පාර්ශ්වයන්ගෙන් මතුව ආ විරෝධය හමුවේ යෝජනාව හකුලා ගැනීමට සිදුවිය. මෙම යෝජනාව තවමත් අය වැය යෝජනාවත් ලෙස ඇති අතර ඒ සඳහා රටේ මද්‍යසාර ව්‍යාපාරයේ යෙදෙන ප‍්‍රබල ව්‍යාපාරිකයෙක් අයැදුම්කර ඇති බවද දැනගැනීමට ලැබුණි. මද්‍යසාර සම්බන්ධයෙන් සිදුකරන ලද සුරාබදු නීති වෙනසකට සිදුකරන ලද්දේ එම ව්‍යාපාරිකයාට සිගරට් ගෙන්වීමට ඉඩ ලබා දීමට නොහැකි වූ බැවින් වෙනත් අයුරකින් හෝ සහයෝගයක් ලබාදීමට ද යන සැකය අපට ඇතිවේ.

ජනාධිපතිවරණයක් ඉතාමත් ආසන්නයේ තිබියදී මෙවැනි තීරණ සඳහා එළෙඔන්නේ දැන දැනම කිසියම් හෝ වාසි ලබාගැනීම සඳහායි. මේ වන විට සුරාබදු බලපත් නිකුත් කිරීම හා එම එක් බලපත‍්‍රයක් මගින් රු. කෝටියක පමණ නිල නොවන මුදලක් එක්සත් ජාතික පක්ෂය විසින් සිය අරමුදල තරකර ගැනීම සඳහා ලබාගන්නා බව විපක්ෂය විසින් චෝදනා කරමින් සිටී. සන්තකයේ තබා ගත හැකි මද්‍යසාර ප‍්‍රමාණය 10 ගුණයකින් වැඩි කිරීමෙන් මුදල් අමාත්‍යවාරයා කුමක් බලාපොරොත්තු වන්නේ දැයි පැහැදිලි නැත. පැහැදිලි එකම කාරණය නම් ඒ මහතා පවතින මද්‍යසාර භාවිතාවන් අවම කිරීමේ වැළැක්වීමේ නීති රෙගුලාසි කිසිවක් මායිම් නොකරන මද්‍යසාර සමාගම්වල අතකොලූවක් බවයි.

ලෝකයේ මද්‍යසාර භාවිතයන් අවම කිරීම සඳහා මනා ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වෙමින් තිබියදී හා අපේ රටේ ද මද්‍යසාර ප‍්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබිය දී එය තවමත් ක‍්‍රියාත්මක නොවීමේ අවකාශය උපයෝගි කරගනිමින් මෙවැනි අත්තනෝමතික තීරණ මගින් බියර් හා අරක්කු සමාගම් සඳහා වඩා වැඩි ලාභ අත්කරදීම සිදුවේ. මංගල ඇමැතිවරයා විසින් සිය පළමු අය වැය ඉදිරිපත් කිරීමේ දී බියර් කර්මාන්තය සඳහා සුවිශාල බදු පහසුකමක් සැපයීය. බියර් සඳහා පැවති සුරා බද්දෙන් 40% ක් පමණ අඩු කළ අතර එම තීරණයෙන් වසරකට පසුව පෙනෙන්නට තිබුණේ බියර් නිෂ්පාදනය දෙගුණ වී ඇති ආකාරයයි. එම බියර් බදු අඩු කිරීමේ මංගල අමාත්‍යවාරයාගේ තීරණයෙන් අනතුරුව එම වසරේ සුරාබදු ආදායමද සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුවී තිබිණි. මද්‍යසාර සමාගම්වලට බදු සහන ලබාදී පාඩුත් විඳින රජයක් ලොව වෙනත් තිබේදැයි කිව නොහැකියි.

පසුගිය වසර කිහිපය තුළ ආන්දෝලනාත්මක සුරාබදු නීති වෙනස් කිරීමට මංගල අමාත්‍යවාරයා දැවැන්ත උත්සාහයක් ගත් අතර එය වෙන් කිරීමේ එතරම් වුවමනාවක් එතුමාට ඇත්තේ කවර කාරණයක් නිසාදැයි කිව නොහැකියි. කාන්තාවන්ට මද්‍යසාර මිලදී ගැනීමට තිබූ අවහිරතාවයන් නැති කිරීමට ඔහු මෙම තනතුරට පැමිණි විගසම යෝජනා කළත් විවිධ බලවේගයන්ගේ පීඩනයෙන් එය නැවතී ගියේය. එසේ නොවන්නට මේ වනවිට බියර් සමාගම් ඉතා සූක්ෂම අයුරින් පවත්වන ප‍්‍රචාරණ ඉසව් තුළ කාන්තාවන් වෙළඳ භාණ්ඩයක් වී තරුණයන්ට හා දරුවන්ට බියර් භාවිතාව රසවත් එකක් බවට පත් කරනු ඇත. මෙම සියලූ අවස්ථාවන්ගෙන් අපට ඔප්පු වන්නේ මුදල් අමාත්‍යවරයා තම තනතුර භාවිත කරමින් මුට්ටිය දමා බැලීමක නිරත වන බවයි. කිසියම් ප‍්‍රතිවිරෝධයක් පැමිණියහොත් ඒවා හකුලාගනිමින් එසේ නොවන ඒවා පවත්වා ගනිමින් සූක්ෂමව කටයුතු කරයි. මද්‍යසාර හා සිගරට් කර්මාන්තයට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අපූරු බලල් අතක් හමුවී ඇති ආකාරය පෙනේ.

මද්‍යසාර හා සිගරට් සමාගම් හි සාවද්‍ය දත්ත හා තොරතුරු මෙතරම් විශ්වාසකොට කටයුතු කළ මුදල් අමාත්‍යවරයෙක් අපේ රටේ සිට නොමැත. මුදල් අමාත්‍යවරයෙකුව සිටි රවි කරුණානායක මහතාවත් මෙතරම් මද්‍යසාර හා සිගරට් සමාගම්වල පදයට නැටවුණේ නැති බව කිවහොත් ඔබ පුදුම වනු ඇති. නීත්‍යනුකූල නොවන මද්‍යසාර (කසිප්පු) භාවිතය පිළිබඳව ඉතිහාසය පුරාවටම බියර් හා අරක්කු සමාගම් වැරදි දත්තයන් හා තොරතුරු මුදල් අමාත්‍යවරුන්ට හා එම අමාත්‍යංශයට ලබාදීම සිදුකරන ලදී. එය කාලයක් පුරාවට සිදුවන සාමාන්‍ය සිද්ධියක්, මුදල් අමාත්‍යංශයත් එම ලණුව කෑම සිදුකරන්නේ අද ඊයේ සිට නොව, එය අනාදිමත් කාලයක සිට දැනදැනම කරන නොමග යෑමකි. මුදල් අමාත්‍යවරයාගෙන් මෑතකදී සිදුකරන ලද සුරාබදු ආඥාවන් වෙනස් කිරීම පිළිබඳව විමසුවහොත් එතුමා අනිවාර්යෙන්ම නීති විරෝධී මද්‍යසාර භාවිතාව අවම කිරීම සඳහා මෙම පියවරයන් ගන්නා බව කියනු නොවනුමානයි. එහෙත් විය යුත්තේ නීති විරෝධී නිෂ්පාදන නැවැත්වීම සඳහා නීතිය නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමයි. එසේ නීතිය ක‍්‍රියාත්මක කිරීම වෙනුවට මිනිසුන්ට බියර් හෝ අරක්කු පෙවීමට කටයුතු කිරීම සැබෑ වශයෙන්ම එම සමාගම්වල අවශ්‍යතාව ඉටු කිරීමකි.

අද වන විට සිදුවෙමින් පවතින්නේ එයයි. ඉදිරි දින කිහිපය තුළද තවත් දේ සිදුවිය හැකිය. දරුවන්ට, සමස්ත රටවැසියන්ට ඉතාමත් අහිතකර ආකාරයේ තීරණ හැකි ප‍්‍රමාණයක් හැකි අවස්ථාවේ සිදුකර කූට යටි අරමුණු සාක්ෂාත් කරගැනීමට මුදල් අමාත්‍යවාරයා කටයුතු නොකරනු ඇතැයි කියා අපට කිව නොහැකියි. මේ සියලූ දේ දෙස විමසිල්ලෙන් බලා බුද්ධියෙන් විමසීම මහජනයා ලෙස අපගේ කාර්යයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles