Divaina - ජොනි බට්ටා පුපුරලා කකුල කෑලි ගියා... අතේ තිබුණු බෝම්බ 28කුත් පිපුරුණා... ශ‍්‍රියාණි කසාද බැන්දේ මම අනතුරට පත් වුණාට පස්සෙයි...!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

dise
  දෑස්, දෑත් පාදයත් අහිමි රණවිරු රවීන්ද්‍ර රූපසිංහගේ කතාව
 
 * ශ‍්‍රියාණි නැති නම් මම මැරිලා
* අනතුරට පත් වෙලා දැන් අවුරුදු 21 යි, අපිට දරුවො තුන්දෙනෙක් ඉන්නවා...
* කොටි ත‍්‍රස්තයෝ බෝම්බ අටවලා ආබාධිත කරපු රූපේට දැන් අලිත් කරදර කරයි...
 
  කායදාන පාරමිතාව.. යුද බිමේ කතාන්දර - 02
 
dise3එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී යුද්ධය අපට ඉතිරි කළ අමිහිරි මතකයන් බොහෝය. අදටත් ඒ මතකයන් අපගේ සිත් පාරවන්නේය. ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවා හැරිය මිනිස් බෝම්බවලට ගොදුරුව ආබාධිත වූ මිනිසුන් හමුවන විට හදවත් කම්පනයට පත්වන්නේය. ඒ සාපලත් ත‍්‍රස්තවාදය විනාශ කිරීමට සටන් කොට අත්, පා අහිමි වූ දෙනෙත් අඳ වී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සමාජයේ දුක්විඳින අයුරු දකින විට අපට, අප ගැන දුක හිතෙන්නේය. ඒ විරුවන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින්නේ රට, ජාතියට නිදහස ලබාදීමට, ත‍්‍රස්තවාදය විනාශ කිරීමට ගොස්ය. එහෙයින් මේ රටේ සියලූ පුරවැසියන් ඔවුන්ට ණයගැතිය. ඒ වීරෝදාර රණවිරුවන්ගේ දුක, සැප සොයාබැලීම රටේ ජනතාවගේ යුතුකමකි. ‘කායදාන පාරමිතාව යුද බිමේ කතාන්දර’ ලිපි මාලාව පෙළගැස්වීමේ ප‍්‍රධාන අරමුණ ද ඒ මානුෂීය යුතුකම හැකි පමණින් ඉටු කිරීමය. මේ එම ලිපි මාලාවේ දෙවැනි කතාංගයයි...
 
 මෙවැනි ඉරණමක් නම් හතුරෙකුටවත් අත් නොවිය යුතුය... රෝද පුටුවට බර තබා සිටින රවීන්ද්‍ර රූපසිංහ ඉදිරියේදී මගේ යටි සිත එසේ කෙඳිරිණි. රූපසිංහගේ දෑස් දෙකම අන්ධය. දෑත් දෙකම වැළමිටට මඳක් පහළින් කපා දමා ඇත. එක් පාදයක් දණහිසට පහළින් කපා දමා ඇත. කෙනෙකුගේ හව්හරණක් නොමැතිව රූපේට පුළුවන් හුස්ම ගැනීම පමණි. අදටත් රූපේ ජීවත් වන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ නිසාය. ඇය නොසිටින්නට රූපේ මෙලොව හැර ගොස් බොහෝ කල් බව ඔහු කියන්නේය. සසර ගමනේ සෙවණැල්ලක් මෙන් රූපේ පසුපස සිටින යසෝදරාව මේ මොහොතේ ද ඔහු අසල සිටින්නීය. සුදු පැහැති වස්ත‍්‍රයෙන් හැඩ වී සිටින ඇය කාන්තියෙන් බැබළෙන්නීය.
 
 ‘‘ශ‍්‍රියා මාව කසාද බැන්දේ ආබාධිත වුණාට පස්සෙයි. කසාද බඳින්න මම කොච්චර අකැමැති වුණත් මෙයා මාව දාලා ගියේ නෑ. මගේ ආවතේව වැඩ කරගෙන හිටියා. එතකොට ශ‍්‍රියාට අවුරුදු දාහතයි. නෝනගේ ලස්සන ජීවිතය මගේ කාලකණ්ණි ජීවිතය වෙනුවෙන් කැප කළා...’’ රූපේ එසේ කියන විට ඇයගේ දෙනෙත් සිනාවෙන් නැහැවිණි. රූපෙගේ පුුංචි නිවසට ශ‍්‍රියා කාන්තාව වූ ‘ශ‍්‍රියාණි’ ඔහු අසලින් ඈත් වූයේ නිවස තුළින් ඇසුණු ඇරයුමටය.
 
 රවීන්ද්‍ර රූපසිංහගේ ගම් පළාත කහටගස්දිගිලිය, දෑකැතිපොතානය. ගොවි පවුලක වැඩිමහල් පුතණුවන් වූ ඔහු සාමාන්‍ය පෙළ
 විභාගයෙන් පසු හමුදාවට බැඳුණේ රස්සාව මූලික කොට ගෙනම නොවේ. කොටි කටේ මායිම් ගමක ජීවත් වූ ඔවුන්ට එල්.ටී.ටී.ඊ. ය විසින් සිදු කළ සැහැසිකම් තරුණ සිතට දරාගැනීමට නොහැකි වූ නිසාය. 1990 වර්ෂයේ ජූලි 20 වැනිදා රවීන්ද්‍ර රූපසිංහ ශ‍්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට බැඳිණි.
 
 ‘‘පුංචි සන්දියේ ඉඳලා මට හොඳට ඉගෙනගන්නත් පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ හයයි, සම්මාන දෙකක් ලබාගත්තා. දෙවැනි වතාවටත් සාමාන්‍ය පෙළ විභාගය කළා නම් උසස් පෙළටත් වාඩි වෙන්න තිබුණා. ඒත් මම දෙවැනි වතාවට විභාගය කළේ නෑ. හමුදාවට බැඳුණා. එතකොට මට වයස අවුරුදු දහඅටයි...’’ අපගේ කටහඬ ඇසෙන දිසාව හඳුනාගෙන රූපේගේ බිඳුණු හඬ අවදි කළේය. දීර්ඝ කතාවකට සූදානම් වෙමින් රෝද පුටුව අත පත ගාමින් තල්ලූ නොවෙන්න අගුල් ද ලා ගත්තේය.
 
 
dise2‘‘අපේ පවුලේ වැඩිමහල් දරුවා මමයි. මට බාල මල්ලිලා තුන්දෙනයි. ඒ තුන්දෙනත් හමුදාවට බැඳුණා. එක්කෙනෙක් යුද්ධයේදී නැති වුණා. ලොකු මල්ලි හමුදාවෙන් ඉවත් වුණා. බාලම මල්ලී තාම හමුදාවේ රාජකාරි කරනවා...’’ දරුවො හතරදෙනාම යුද බිමේ සටන් වදින විට මායිම් ගමේ කටු මැටි පුංචි පැළේ ඔවුන්ගේ දෙමවුපියන් මොන ගින්දරකින් පිච්චේන්නට ඇද්ද? තම දරුවෙක් මිනී පෙට්ටියක නිදාගෙන සිටිනවා දැකීම තරම් දුකක් මවුපියන්ට තවත් නැත. ඒ අසරණ මවුපියන්ට තරුණ පුතෙකුගේ වියෝ දුක පමණක් නොව දෑස් අන්ධ වී අත්, පා අහිමි වූ රූපසිංහ දෙස බලාගෙන මැරෙනකම් සිතින් හඬන්නට විය.
 
 ‘‘මම හමුදාවට බැඳෙනවට අම්මයි, තාත්තායි විරුද්ධ වුණේ නෑ. දෙමවුපියන්ගේ ආශිර්වාදය ඇතිව තමයි අපි හතරදෙනාම හමුදාවට බැඳුණේ. මම හමුදාවට බැඳුණේ යුද්දෙ දරුණුම කාලේ. හමුදාවට බැඳිච්ච කාලේ ඉඳලා උතුර, නැෙඟනහිර ප‍්‍රදේශවලම තමයි රාජකාරි කළේ. වවුනියාව, වැලිඔය තන්තිරිමලේ, විල්පත්තුව, පලාලිවල කාලයක්ම හිටියා. 1992 අවුරුද්දේ එල්.ටී.ටී.ඊ. ය ඇවිත් තන්තිරිමලේ කෑම්ප් එක වට කරලා ගහනකොට අපි හිටියේ ඒ කැම්ප් එක ඇතුළේ. ඒ සටනෙන් කෑම්ප් එකේ හිටිය විසිදෙනයි ඉතුරු වුණේ. අනිත් සේරම මැරුණා. ආයෙමත් 1995 අවුරුද්දේ තන්තිරිමලේදීම රාජකාරි මුර සේවයේ යෙදිලා ඉන්නකොට එල්.ටී.ටී.ඊ ය අපිට වට කරලා පහර දුන්නා. එතැනදීත් මමයි, තව දෙතුන්දෙනයි ඉතිරි වුණේ. අන්තිමටම මම රාජකාරි කළේ මන්නාරම කන්නඩි පරයානකුලම් ඉදිරි ආරක්‍ෂක වළල්ලේ. එතකොට මම ෆුල් කෝප‍්‍රල්. පරයානකුලම් ඉදිරි ආරක්‍ෂක වළල්ලේ කාලයක්ම ක‍්‍රියාන්විත රාජකාරියේ නිරතව හිටියා. 1998 ජනවාරි එකළොස් වැනිදා මම පුද්ගල නාශක බෝම්බ පෙට්ටියක් උස්සගෙන අපි හිටිය බංකරයෙන් ඉදිරියට ගියා. ටික දුරයි යන්න ලැබුණේ මගේ කකුළට තදට යමක් පෑගෙනවා දැනුණා. ඒ එක්කම උඩින් ගිහින් මීටර් දෙසීයක් විතර ඉදිරියෙන් වැටුණා. එල්.ටී.ටී.ඊ. ය වළ දාලා තිබුණු බට්ටෙක් පුපුරලා තිබුණේ. ඒ පිපිරීමත් එක්ක මගේ අතේ තිබුණු බෝම්බ පෙට්ටියේ තිබුණු බෝම්බ හතළිස් හතෙන් විසිඅටක්ම පුපුරලා තිබුණා...’’
 

 ‘‘මගේ මුළු ඇඟම හිරිවැටුණා. මොනවා වුණාද කියලා තේරුමක් නෑ. ඒත් සිහිකල්පනාව තිබුණා. අපි හිටියේ කැලේ ඇතුළටම වෙන්න. අපේ කොල්ලො මාව උස්සගෙන ඇවිත් සර්ගේ කැබ් එකට දානවත් මට මතකයි. කැබ් එකෙන් ගෙනත් චොපර් එකට දානවත් මතකයි. චොපර් එකට දැම්මට පස්සෙ පිටගැස්මට බෙහෙතක් විද්දා. එතැන ඉඳලා කිසිම දෙයක් මම දන්නෙ නෑ. සිහිය එනකොට මම හිටියේ කොළඹ ජාතික රෝහලේ. එතකොටත් මගේ අතපය හිරිවැටිලා. ඇස් බැඳලා. ළඟ හිටියේ මගේ මල්ලි කෙනෙක්. ඊට දවස් තුනකට විතර පස්සෙ දවසක මම බැන්ඬේජ් කරලා තිබුණු අත්දෙක උස්සලා එහාට මෙහාට කළා. එතකොට තමයි මට දැනුනේ අත් දෙක කොට බව. ඊට පස්සෙ ටිකක් දඟලලා කකුල් ඉස්සුවා එක කකුලයි සම්පූර්ණයෙන් ඉස්සුණේ. අනිත් කකුල කොටයක් විත්තිය මට දැනුණා. මගේ අතපයවලට මොකද කරලා තියෙන්නෙ කියලා මල්ලිගෙන් ඇහුවා. එයා මාව අල්ලගෙන හිටියා මිසක් කිසිම දෙයක් කතා කළේ නෑ. ඒත් එයා ඉකිගසමින් අඬන විත්තිය මට දැනුණා. එතකොටම ඩොක්ටර් කෙනෙක් මා ළඟට ඇවිත් ඔලූව අත ගාලා ‘හරි... හරි පුතා හිත හදා ගන්න. තව සති දෙක තුනක් යනකොට ඔයාගේ ඇස් දෙකට පෙනීම එයි...’ කියලා කිව්වා.
 
 ‘නෑ ඩොක්ටර් මට මැරෙන්න බෙහෙතක් විදින්න... මෙහෙම ජීවත් වෙලා මොකටද...’
 
‘‘නෑ පුතා ඇස්වලට පෙනීම ආවට පස්සෙ ඔයාට පුළුවන් අලූතින් ජීවිතය පටන් ගන්න. දැන් ඒවා ගැන හිතන්නෙ නැතිව අපි කියන විදිහට බෙහෙත් ටික කරගෙන ඉන්න කෝ...’’ කියලා ඩොක්ටර් මගේ ඔලූව අත ගාලා ගියා. ඒත් මට හිතුණේ ජීවිතය නැති කරගන්නමයි...’
 
 රවීන්ද්‍ර රූපසිංහගේ ජීවිතයට අවාසනාව තුරුලූ වෙනකොට ඔහුට වයස අවුරුදු විසිහයකි. ජීවිතයේ ජවසම්පන්නම කාලයයි. එහෙත් තරුණ රූපේට ජීවිතයේ හොඳම කාලයෙන් වැඩක් ගැනීමට නොහැකි විය. ඔහු සදාතනික ආබාධිතයෙක් විය. අනතුරෙන් පසු වේලූණු ඇස්වලට පෙනීම ලැබෙයි කියා වෛද්‍යවරු පැවසුව ද කොළඹ ජාතික රෝහලෙන් යුද හමුදා රෝහලට මාරු කර එතැනින් මාස හයකට පසු රූපසිංහ නිවසට එනතෙක් මේ ලෝකයේ එළිය දැකීමට නොහැකි විය. අදට ද රූපේට මෙලොව එළිය දැකීමට නොහැකිය. එහෙත් නපුරු වූ දෛවය රූපසිංහගේ ජීවිතය ඉදිරියට ගෙනයෑමට ආදරණීය අත්වාරුවක් ලබාදුන්නේය.
 
 ‘‘මම අනතුරට පත් වෙනකොට ශ‍්‍රියාණියි, මමයි හඳුනගෙන අවුරුදු දෙකයි. ශ‍්‍රියාණි වව්නියාවේ. එයාගේ ඥාති ගෙදරක වුවමනාවකට ගිහිල්ලා තමයි අපි දෙන්නා හිතවත් වුණේ. ඊට ටික දවසකට පස්සෙ මම ශ‍්‍රියාණිලාගේ ගෙදරට ගිහිල්ලා දෙමවුපියොත් එක්ක කතා කළා. ඒ අයත් මට කැමති වුණා. අපේ ගෙදරිනුත් කැමති වුණා. ශ‍්‍රියාණි උසස් පෙළ විභාගය ලියලා ඉවර වුණාට පස්සෙ කසාද බඳින්න තීරණය කරලා හිටියේ. එහෙම ඉන්නකොට තමයි මේ විපත වුණේ. ගෙදර අයත් එක්ක ශ‍්‍රියාණි මාව බලන්න කොළඹ ජාතික රෝහලට ඇවිත් නැවත ගෙදර ගිහින් තිබුණේ නෑ. අපේ අම්මත් එක්ක අපේ ගෙදර ගිහින් තිබුණා. එදා ඉඳලා ශ‍්‍රියාණි මා වෙනුවෙන් ජීවත් වුණා...’’ රූපේගේ අවාසනාවන්ත කතාව අසා සිට තෝන්තු වූ අපේ සිත්වලට පුංචි හෝ අස්වැසිල්ලක් ලැබුණේ රූපේ සහ ශ‍්‍රියා ගේ ආදරය දලූ ලා වැඩුණු හැටි කියැවෙන විටය. තේ සහ කැවිලි බන්දේසියක් රැගෙන අප අසලට පැමිණි ශ‍්‍රියාණි ද රූපේගේ කතාවට එකතු විය.
 
  ‘‘රවීන්ද්‍රව මේ විදිහට කසාද බඳිනවට අපේ ගෙදරින් අකැමැති වුණා. ඒත් මම හමුදාවේ කෙනෙකුට ආදරය කළේ මේ දේවල් බලාපොරොත්තුවෙන් තමයි. රවීන්ද්‍රට උපකාර අවශ්‍යම මොහොතේ මම එයා වෙනුවෙත් අධ්‍යාපන කටයුතු නතර කරලා එයාට උපස්ථාන කටයුතු කරන්න හිතාගත්තා. රවීන්ද්‍ර ඉස්පිරිතාලෙන් ගෙදර ඇවිත් මාසයක් විතර යනකොට කහටගස්දිගිලිය පොලිසියේ එතකොට හිටපු ඕ.අයි.සී. ප‍්‍රනාන්දු සර් ඇවිත් අපිව පොලිසියට එක්කරගෙන ගිහින් පොඩියට උත්සවයක් අරගෙන අපි දෙන්නව කසාද බැන්දුවා. 1998 අවුරුද්දේ ජුලි 01 වැනිදා ඒ දවස අද වගේ මට මතකයි...’’ ආත්මීය බැඳීමක සතුටින් ඉපදුණු සිනාවෙන් ශ‍්‍රියාණිගේ මුව මඬල විකසිත විය. ඇය වචන ගිලගෙන ආදරණීය ස්වාමීයා දෙස බලා සිටින්නීය.
 
  ‘‘ඉස්පිරිතාලෙන් ගෙදර ආපු දවසෙ ඉඳලා කවන්නෙ පොවන්නෙ නාවන්නෙ සියලූ ආවතේව කටයුතු කරන්නේ ශ‍්‍රියාණි. කිසිම දවසක මාව කරදරයක් කියලා හිතෙන විදිහට වචනයක්වත් එයාගේ කටින් පිට වෙලා නෑ. මට හරිම ආදරෙයි. අපි දෙන්නා කසාද බැඳලා අවුරුද්දක් විතර යනකොට 1999 මැයි මාසේ 03 වැනිදා ලොකු දුව ලැබුණා. දුව ලැබිලා අවුරුදු හතරක් විතර යනකොට ලොකු පුතා ලැබුණා. ඊට අවුරුදු හයකට විතර පස්සෙ තමයි පොඩි පුතා ලැබුණේ. දැන් දුවට වයස අවුරුදු විස්සයි. ලොකු පුතාට දහහතරයි. පොඩි පුතාට එකොළොහයි. දුව උසස් පෙළ විභාගය ලියලා විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණා. දැන් දුව ගෙදරට වෙලා ඉන්නවා. ලොකු පුතා නවය වසර පන්තියේ ඉගෙනගන්නවා. පොඩි පුතා හයවසර පන්තියේ ඉගෙනගන්නවා. මාවත් බලාගෙන ගෙදර දොරේ සේරම වැඩ පළ කරගෙන දරුවන්ට උගන්වන්න ශ‍්‍රියාණි විශාල යුද්ධයක් කරනවා...’’ රූපේ තම ආදරණීය බිරිඳගේ ගුණයහපත්කම වර්ණණා කරන විට ශි‍්‍රයාණිගේ හදවත සතුටින් ඉපිළෙන බව ඇගේ නීල නුවන්වලින් පෙනිණි. එහෙත් සිනාව අතරින් මතු වූ ඇයගේ වචන අපේ සිත් සසල කළේය.
 
 ‘‘දරුවො තුන්දෙනාම තවම ඉගෙනගන්න නිසා ලොකු වියදමක් යනවා. මේ මෑතක ගෙදර අලූත්වැඩියා වැඩවලට මහත්තයා බැංකු ලෝන් එකක් ගත්තා. ඒකටත් ලොකු ගාණක් පඩියෙන් කැපෙනවා. මහත්තයාගේ අසරණකම දැකලා කොබ්බෑකඩුව මැතිනිය ඇවිත් අපිට දීපු ත‍්‍රිරෝද රථයත් දැන් ගොඩක් අබලන්. ඒක අලූත්වැඩියා කරගන්නවත් සල්ලි ඉතිරි වෙන්නෙ නෑ. මහත්තයාගේ පඩි සල්ලි අරගෙන එහාට, මෙහාට වියදම් කළාට පස්සෙ ගෙදර අඩු පාඩු ටික ගන්නෙ බොහෝම පරිස්සමට. මේ ලැබෙන පඩිය තවත් අඩු වුණොත් අපි අන්ත අසරණ වෙනවා. අපිට වෙන කිසිම ආදායමක් නෑ. මේ ඉන්න ගේ කෑල්ල විතරයි අපිට කියලා තියෙන්නෙ. ඒකත් දැන් දිරාපත් වෙලා. හැන්දෑවට වත්තට පනින අලියෙක් ගැහුවොත් ගේ වැටෙන තරම්. ගමේ ගොඩක් ගෙවල් වටේට කරන්ට් වැටවල් ගහගෙන තියෙනවා. අපිට එහෙම දෙයක්වත් කරගන්න වත්කමක් නෑ....’’ ශ‍්‍රියාණිගේ මුව ගොළු විය. කිසිදු ආවරණයක් නොමැති වත්ත දෙසට ශ‍්‍රියාණිගේ දෙනෙත් පා විණි.
 
 අලි හිරිහැර කරන්නේ ද අන්ත අසරණ දුප්පත් මිනිසුන්ටමය. කහටගස්දිගිලිය දෑකැතිපොතාන ගම පමණක් නොව අසල්වැසි සියලූ ගම්වලට හැන්දෑවට අලි කඩා පනිති. ගමේ කෙනෙකුට ?කට ලෙඩක් දුකක් හැදුණොත් ඉස්පිරිතාලයට රැගෙන යෑමට නිවසින් පිටවීමම ජීවිත අවදානමකි. එහෙයින් ත‍්‍රිරෝද රථයක් තියෙන කෙනෙක්වත් ? පානේ ගමන් බිමන් යෑමට අකැමැති බව රූපේ අපට කීවේය. ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තයන්ගේ මර උගුල් පෑගී ආබාධිත වී අලි කරදර මැද ජීවත් වන රවීන්ද්‍ර රූපසිංහගේ දැන් වයස අවුරුදු හතළිස් අටකි. ඔහු ආබාධිත තත්ත්වයට පත් වී මේ වන විට අවුරුදු විසිඑකකි. ඔහුගේ බිරිඳ ශ‍්‍රීයාණි විජේරත්නට දැන් වයස අවුරුදු තිස්අටකි. අවංක ආදරයට වයස් පරතරය, සල්ලි බාග, ශරීර කූඩුවේ අඩුපාඩු වලංගු නොවේ. එහෙත් අපේ සමාජයේ ශ‍්‍රියාණිලා වැනි පේ‍්‍රමවන්තියන් සොයාගැනීම කලූ නික සොයනවාටත් වඩා අසීරුය. බොහෝ පේ‍්‍රමවන්තියන් ආදරය කරන්නේ හැඟීම්වලටය. පේ‍්‍රමවන්තයාගේ සල්ලි සහ දේපළවලටය. ඒ පේ‍්‍රමවන්තියන් සොයන්නේ අවලස්සන වසාගැනීමට විච්චූරණවලට යහමින් වියදම් කර සැපට ජීවත් විය හැකි ආදරවන්තයෙකි. එවැනි කාන්තාවන් ගැන මතක් කිරීමම ශ‍්‍රියාණිට කරන අසාධාරණයකි. එහෙයින් රූපසිංහ සහ ඔහුගේ ආදරණීය පවුල කෙරෙහි සංවේගයට පත් වන කවුරුන් හෝ සිටී නම් රූපසිංහට කතා කිරීමට 0718993659 ජංගම දුරකථන අංකය සටහන් තබා ඔවුන්ගේ නිවසින් පිටත්වීමට කඩිනම් වූයේ ඇඳිරි වැටෙන්නට මත්තෙන් දෑකැතිපොතාන අලි වැටෙන් එහාට පැනීමටය...
 
 තරංග රත්නවීර
 කැකිරාව - සුදත් ඒකනායක
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles