Divaina - සුනඛ සුරතලාගේ වියෝවෙන් සසර කලකිරී සසුන්ගත වූ පින්වත් දරුවෙක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka



pevidi
* ගගන අනුපම මේ වනවිට නිවිතිගල ගෝතම මග්ග
* පැවිද්දට පෙර දිවයින ඉරිදා සංග‍්‍රහයේ උදාර ළමා පිටුවේ දක්ෂ ලේඛකයෙක්


රුවන් ජයවර්ධන

pevidi2ගගන අනුපම සේනාරත්න මේ වනවිට කුඩා සාමනේර හිමි නමක්ය. 13 හැවිරිදි උන්වහන්සේ පැවිදි දිවියට පිවිසෙනු ලබන්නේ නිවිතිගල ගෝතම මග්ග යන නමින්ය. මේ වනවිට නිවිතිගල ජේතවනාරාම වන සෙනසුනෙහි වැඩවාසය කරන උන්වහන්සේ ගිහි ජීවිතය ගතකරනු ලබන්නේ කුඩා දරුවන් තුළ ස්වභාවයෙන්ම දකින්නට ලැබෙන කෙළිලොල් දඟකාරකම් සහිතවය. ඒ සඳහා අත්වැල් ඇල්ලීම පිණිස කුඩා ගගනට නංගියෙක් සහ මල්ලියෙක් වූ අතර ඊට අමතරව ඔවුන් තිදෙනාගේ තනි නොතනිය පිණිස ‘බොන්සෝ’ නමින් සුරතල් සුනඛයෙකු විය. ගගනගේ සියලූ දඟකාරකම් නිමාවට පත්වන්නේත් ඉන් අනතුරුව ගොරතර සසර පවතින නිසරු බව පිළිබඳ යථාව අවබෝධ කරගනු ලබන්නේත් තම සුරතලා වූ බොන්සෝගේ අකල් වියෝවත් සමගය. සිය සමීපතමයාගේ හදිසි වියෝවෙන් කම්පාවට පත්වන ගගන ඉන් අනතුරුව මහණ දම් පිරීම පිණිස සිය දෙමාපියන්ගෙන් නියත විවරණ පතන අතර එම සිදුවීම් මාලාව පෙළ ගැසෙන්නේ පහත සඳහන් ආකාරයටය.

සිය පුතනුවන් කෙරෙහි උපන් අපමණ භක්තියෙන් යුතුව ගගනගේ මෑණියන් විසින් සිය වැඩිමහල් පුතනුවන් ගිහිගෙය හැර ගිය ආකාරය පිළිබඳවත් ඒ සඳහා මූලික වූ සිදුවීම පිළිබඳවත් පළමුව විස්තර කරන්නට විය.

‘මම ගුරුවරියක්. මගේ මහත්තය ව්‍යාපාරිකයෙක්. අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නව. ගගන කියන්නේ මගේ ලොකු පුතා. මේ සිද්ධිය වෙනකොට එයාට අවුරුදු 13 යි. ඒ වෙද්දී අපි පදිංචි වෙලා හිටියේ නිවිතිගල පරාවත්ත කියන ප‍්‍රදේශයේ. අපි පරාවත්තට එන්න කලින් හිටියේ ප‍්‍රධාන මාර්ගයට තරමක් එපිටින් පිහිටි ප‍්‍රදේශයක. අපේ ගෙදර සුරතලේට හදපු බල්ලා බොන්සෝ. අපි පාර අයිනේ පදිංචියට එද්දී බොන්සෝව අපේ පරණ ගෙදර නතර කරල ආව. එහෙම කළේ එයාට පාර හුරු නැති නිසයි. වාහනයක හැපිල එයාට අනතුරක් වෙයි කියල තිබුණ බය හින්දයි. ඒත්... පුතාගෙන් බේරුමක් නැති උනා බොන්සොව අලූත් ගෙදරට ගේනකම්. අන්තිමට අපි එයාගේ ඉල්ලීමට එකඟ වෙලා ‘බොන්සොව’ අපේ අලූත් ගෙදරට ගෙනාව. මාස ගාණක් ඔහොම හිටිය. දවස් කීපයක් වාහනවල හැපෙන්න ගියා. මාස තුනක් විතර ගියාට පස්සේ දවසක් බොන්සොව වාහනයක හැපුන. එදා ඉඳල බොන්සොට ඇවිදින්න බැරිඋනා. අපි කට්ටිය පුළුවන් තරම් බොන්සොට ඇප උපස්ථාන කළත් දවසක් පාන්දර බලනකොට බොන්සො මිය ගිහින් තිබුණ. ඒ සිදුවීමෙන් ලොකු පුතා ලොකු කම්පනයට පත්වෙලා හිටිය. කෑවේ බීවේ නෑ. වෙලාවකට බොන්සොව මිහිදන් කළ වළ දිහා බලාගෙන අඬනව. ඒ වෙද්දී පුතා ඉගෙන ගත්තේ රත්නපුරේ ධර්මපාල විද්‍යාලයේ 9 ශ්‍රේණියේ. පස්සෙ අපි තීරණය කළා පුතාව එයාගේ ආච්චිලගේ ගෙදර ටික දවසක් නතර කරන්න. මොකද එයා ආච්චිට ගොඩක් ආදරෙයි... ඒත් අපි කිව්ව බොන්සෝ මැරුණම ඔච්චර ඔය අඬනව නම් කවදා හරි ආච්චි නැතිවුණ දවසක ඔයා කොහොම අඬාවි ද කියලත්. ඒත්.... පුතාගේ හිත හදන්න අපිට කොහෙත්ම පුළුවන් උනේ නැහැ....’

ඉන් අනතුරුව නැවත සිය පුතනුවන්ව තම නිවසට රැගෙන එන දෙමාපියන් ඔහුගේ බිඳුන සිත සුවපත් කිරීම පිණිස නොයෙක් ආකාරයෙන් මානසික ඔසු ලබාදෙන අතර ඒ සැම දෙයක්ම නිරර්ථක උත්සාහයන් බවට පත් වන්නේය. එයට විකල්පයක් ලෙස ගගන විසින් අවසානයේ යෝජනා කරන්නේ බොන්සොට පින් අනුමෝදනා කිරීම පිණිස නිවසෙහි ධර්ම දේශනයක් පත්වන ලෙසය. එම සිදුවීම මෙනෙහි කළ ගගනගේ මෑණියන් නැවතත් සිය හඬ අවදි කරන්නට වූවාය.

pevidi4‘....බොන්සෝ මියගියාට පස්සේ පුතා කවි පන්තියක් ලිව්වා ‘සමුගත් මිතුර’ කියල. ඒක දිවයින පත්තරේ උදාර ළමා පිටුවේ පළවුණා. පුතා 3 ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ ඉඳල කවි ලියනව. එයා කවියට බොහොම දක්ෂ දරුවෙක්. බොන්සෝ වෙනුවෙන් බණක් කියවමු කියල කිව්වම මමයි මහත්තයයි කිව්ව ඒවගේ දෙකට ස්වාමින් වහන්සේ කෙනෙක්ව ගෙදරට වඩම්මන්න බැහැ. අපිට පුළුවන් විදිහට බොන්සෝ වෙනුවෙන් පින් දහම් කරමු කියල. ඔය අතරේ අහම්බෙන් වගේ අපේ ගෙවල් ළඟ හිතවතකුගේ මාර්ගයෙන් ආරණ්‍යවාසී හිමිනමක් අපිට මුණ ගැහෙනව. උන්වහන්සේට මේ සිද්ධිය කිව්වට පස්සේ අපේ ගෙදරට වැඩම කරල බණක් දේශනා කරන්න උන්වහන්සේ විසින් කැමැත්ත පළ කරනව. ඒ පාර අහල පහල ගෙවල් දෙක තුනකටත් කියල පුතාට බණක් අහන්න අවස්ථාව හදල දුන්න. බණ අහන අතරතුරත් පුතා ස්වාමින් වහන්සේගෙන් ධර්ම ගැටලූ කීපයක් ගැන විමසුව. එක පාරක් ධර්මදේශනය නතර කරලා ස්වාමින්වහන්සේ පුතාගේ වයස ඇහුව. එතකොට පුතාට වයස අවුරුදු 13 යි. නිවන පිළිබඳ ඒ වෙද්දී ළමයෙකුට ලොකු අවබෝධයක් ඇතිවෙන්නෙ නැතත් පුතා නිවන පිළිබඳව ස්වාමින් වහන්සේගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කරන්න ගත්ත හින්ද තමයි උන්වහන්සේ පුතාගේ වයස විමසා සිටියෙ. කොහොම හරි ධර්ම දේශනය ඉවර උනා විතරයි පුතා ගිහින් ස්වාමින් වහන්සේගෙන් විමසුවා මහණ වෙන්න බැරිද කියල. ඒ පාර උන්වහසේ කිව්වා ඉගෙනගෙන ඉවරවෙලා ඒවා කරන්න පුළුවන්. දැනට පොත් පත්වල වැඩටික හොඳට කරන්න කියල...’

එතැන් සිට ගගනගේ සිත මහණදම් පිරීම පිණිස තදින් ඇදී යන අතර පාසල් අධ්‍යාපනය කටයුතු ආදියෙන් ක‍්‍රම ක‍්‍රමයෙන් ඈත්වී ඇත. අවසානයේදී සිය පුතනුවන්ගේ ඉල්ලීමට එකඟ වන ගගනගේ දෙමාපියන් සිය වැඩිමහල් පුතනුවන් සසුනට පූජා කිරීමට සිත එකඟ කර ගන්නා අතර එම අනුවේදනීය මොහොත උදා වී ඇත්තේ ඉකුත් වර්ෂයේ ජුලි මස 21 වෙනි දිනය. තම ප‍්‍රාණසම පුතනුවන් සසුනට පූජා කළ අන්දම මෙනෙහි කළ ගගනගේ මෑණියන් ...

‘එදා මහත්තයාගේ උපන්දිනය දවස. පුතා යන්න ලෑස්තිවෙලා මගේ ළඟට ඇවිත් කිව්වා අම්මේ... අම්ම දන්නවනේ මම අම්මට කොච්චර ආදරේද කියල. ඒත්...අදින් පස්සේ අම්ම මියගියත් මම අඬන්නේ නෑ. මේ ජීවිතේ හරයක් තේරුමක් නැති දෙයක් නිසයි මම ගිහිගෙය හැර යන්නේ කියල. ඇත්තටම පුතා කියන්නේ හරිම සංවේදී ළමයෙක්. ඒත්... එදා පුතාගේ ඇස් දෙකෙන් එක කඳුළක් වැටුණේ නෑ. එයා හොඳ අවබෝධයකින් තමයි එදා ඒ ගමන පිටත්වෙලා ගියේ. එයා ඒ කළේ දඟ කරපු හැටියට දැන් ඉන්නේ එයාම ද කියල අපිට දැන් හිතෙනව...’

එතැන් සිට මාස 06 ක් අනගාරික ජීවිතයක් ගත කරන ගගන අනුපම සේනාරත්න 2019.02.03 වැනි දින නිවිතිගල ගෝතම මග්ග නමින් පැවිද්ද ලබන අතර උන්වහන්සේගේ ආචාර්යවරයන් වහන්සේ බවට පත් වන්නේ හඳපාන්ගොඩ නිවාතාප හිමිපාණන් වහන්සේය. මේ වනවිට ඉංගිරිය ජේතවනාරාම වන සෙනසුනෙහි කෝටියක් සංවර සීලයෙන් යුතුව ධර්මයෙහි හැසිරෙන ගෝතම මග්ග කුඩා සාමනේරයන් වහන්සේ පිළිබඳ වත්මන් තොරතුරු කීපයක් ද පැවසීමට උන්වහන්සේගේ මෑණියන් මැලි නොවූවාය.

‘අපි හැම සෙනසුරාදා දවසකම ආරණ්‍ය සේනාසනයට යනව. ඒ ගියා කියල අපි කතා කළොත් මිස උන්වහන්සේ අපිත් එක්ක කතාවට එන්නේ නෑ. බැරි වෙලාවත් දවසක් නොගියොත් ඇයි අපි නාවේ කියල හොයල බලන්නෙත් නෑ. උන්වහන්සේ දහම් මාර්ගයේ ගමන් කරමින් ඉන්නව. අම්ම තාත්ත විදිහට අපි දැන් ඒ දිහා බලල සතුටු වෙනව. අනගාරික ජීවිතේ ඉන්න අතරේ දවසක් මගෙන් ඇහුව ඇයි අම්මේ මම විඳින දහම් සැප විඳින්න මල්ලිට ඉඩ නොදෙන්නේ... අම්ම විද්‍යාව ඉගැන්නුවට එතන තියෙන්නේ අවිද්‍යාවනේ... ඒ හින්ද මල්ලිටත් මම යන මාර්ගයේ ගමන් කරන්න ඉඩ දෙන්න කියල. දැන් පොඩි පුතාටත් අයිය ගිය මාර්ගයේ යන්න ඕනවෙලා තියෙනව. එයත් දැන් නිතරම කියනව එයාටත් අවුරුදු 14 ක් සම්පූර්ණ වුණහම මහණ වෙන්න ඕන කියල... අපි දන්නවා ඒ දරුවාගේ කැමත්තටත් අපිට පිටුපාන්න බැරිවෙයි කියල....’

pevidi3මවුපියන් යුවලක් ලෙස ගෝතම මග්ග හිමියන්ගේ දෙමාපියන් විසින් මේ වනවිට සිදුකර ඇත්තේද ඉදිරියේදී සිදුකිරීමට නියමිතව පවතින්නේ ද මහත්ඵල මහානිසංස දෙන පින්කමක්ය. ලෙහි හොවා වැඩූ දරුවන් ඔවුන්ගේ කැමැත්ත මත මහණ දම් පිරීමට නියත විවරණ පතන අතර ඒ සඳහා බාධාවක් නොවන අයුරින් කටයුතු කිරීමට එම දෙමාපියන් දෙපළ විසින් කටයුතු කරන්නේය. ඒ අනුව කුඩා ගෝතම මග්ග සාමනේර හිමියන්ගේ මලනුවන් ද නුදුරේ දිනක මහණ දම් පිරීමට ගිහිගෙය හැර යෑමට නියමිතය. ඔවුන් සසරේ පතා ආ පරිදි එවැනි නිගමනයන් ගන්නා අතර ගුරුවරියක් වන ඔවුන්ගේ මවත් ව්‍යාපාරිකයෙක් වන පියාත් ඊට බාධා නොකරන්නට තීරණය කරන්නේ ආගම දහම කෙරෙහි ඔවුන් තුළ පවතින අවබෝධය හේතුවෙන්ය. ඒ බව ඔවුන් හා කළ කතාබහෙන් මනාව පැහැදිලි විය. අපගේ කතාබහ නිමකිරීමට මත්තෙන් ගෝතම මග්ග හිමියන්ගේ මව තවත් එක් විශේෂ සිදුවීමක්ද මෙනෙහි කිරීමට අමතක නොකළාය.

‘මගේ පුතා පොඩි කාලේ ඉඳල කවියට, ලේඛනයට දක්ෂයි. සමස්ත ලංකා, ජාතික මට්ටමේ ජයග‍්‍රහණ පවා ලබල තියෙනව. ඒ සහතික සම්මාන තියෙනව. පුතා ‘දිවයින’ පත්තරේ උදාර ළමා පිටුවට යවපු නිර්මාණයක් දැකල දවසක් මාවිල අනෝමදස්සී හාමුදුරුවෝ එයාව හොයාගෙන ඉස්කෝලෙට ආව. ඒ ඇවිත් පුතාවත් එක්කරගෙන ‘දිවයින’ කන්තෝරුවට එක්ක ගිහින් පුතාව එතනට හඳුන්වාදීල ගොඩාක් උදවු කළා. ඒක එයාගේ නිර්මාණ දිවියට ලොකු ශක්තියක් වුණා. එදා ඉඳල මහණ වෙනකම් පුතා දිවයින පත්තරේ උදාර ළමා පිටුවට ගොඩාක් නිර්මාණ යොමු කරලා තියෙනව. ඒ හැම එකක්ම මගේ ළඟ පරිස්සමට තියෙනව. දැන් අපේ පොඩි හාමුදුරුවෝ කවියෙන් බණ කියනව, පින් අනුමෝදනා කරනව. දැන් අපිට කරන්න තියෙන්නේ ඒවා දැකල පහන් සිත් උපදවාගන්න එකයි. උන්වහන්සේට දහම් මාර්ගයේ තව තවත් ඉදිරියට යන්න ආශිර්වාද කරන එකයි විතරයි...’

උපබෝග පරිබෝග වස්තුන් පසුපස දුවන සමාජයට වෙනස්ම ආකාරයේ ආදර්ශයක් දෙමින් නිවිතිගල ගෝතම මග්ග හිමියන් සහ උන්වහන්සේගේ ආදරණීය දෙමාපියන් විසින් තෝරාගනු ලබන්නේ වෙනස්ම මාර්ගයකය. ඔවුන් දහම් මග යමින් එහි සැරිසරමින් යථාව අවබෝධ කර ගැනීමේ පාරමිතාව පිණිස මුළුමනින්ම පිවිස සිටින්නේ කිසිවෙකුගේ

පෙළඹවීම මත හෝ වෙනත් සමාජ සාධක පදනම් කර ගනිමින් නොව මේ දිගු සසර කෙටි කර ගැනීමට එකම මග බුදු දහම බව මැනවින් අවබෝධ කරගත් නිසාවෙන්ය...
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles