Divaina - කන්ද නාය යාවි යැයි සිතූ රසිකා ද යට කරගෙන කන්ද නාය ගිය හැටි...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

naaya
* මාබොටුවන කම්පා කළ ඛේදවාචකය

මාබොටුවන විතානගේ ලසන්ති රසිකා හතළිස් දෙහැවිරිදි වියේ පසුවූ තිදරු මවකි.. ඇගේ සැමියා නලින් වසන්තය. හේ හතළිස් පස්හැවිරිදි වියේ පසුවූයේය. නලින් හා රසිකා යුවළ දරු තිදෙනා සමග නාවල කොකාවල වඳුරඹ ප‍්‍රදේශයේ පදිංචිව සිටියහ. නලින් වසන්තට හරිහමන් රැකියාවක් නොතිබූ අතර හේ ත‍්‍රිරෝද රථ රියැදුරකු ලෙස සේවය කළේය. නලින් තම දරුපවුල ජීවත්කිරීම සඳහා දැඩි අරගලයක නිරතව සිටියේය. මෙකී යුවළ පදිංචිව සිටි නිවස පිහිටා තිබුණේ කඳුවැටියක පාමුලය. ඒ ආසන්නයේ තවත් නිවාස දෙකක් පිහිටා තිබුණේය. 2017 වර්ෂයේදි මෙකී කඳුවැටිය නාය යෑමට ලක්ව තිබුණි. ඒ නිසා මෙකී නිවාස වලින් ඉවත්වන ලෙස ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පැමිණ රසිකා ඇතුළු නිවැසියන්ට දැනුම් දුන්හ.

රසිකා ඇතුළු පවුලේ අයට මෙකී ස්ථානයෙන් ඉවත්වන ලෙස දැනුම් දි තිබුණි.. ආර්ථික දුෂ්කරතාවලින් මිරිකී සිටි රසිකා ඇතුළු පවුලේ අයට මොවුන් පදිංචිව සිටි නිවසින් ඉවත්වී යෑමට වෙනත් නිවසක් නොතිබුණි. ඒ නිසා මෙකී යුවළ දරු තිදෙනා සමග ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් මෙකී නිවසේ පදිංචිව සිටියහ. දැඩි වර්ෂාවක් පතිත වුවහොත් මෙකී කඳුවැටිය යළි නාය යෑමට ලක්වන බව රසිකා ඇතුළු පවුලේ අය දැන සිටියහ. නමුත් මේ අයට අනතුරුදායකව පැවති මෙකී නිවසේ පදිංචිවීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.

දහසකුත් වූ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් රසිකා ඇතුළු පවුලේ අය මෙකී නිවසේ පදිංචිව සිටියහ. ඒ වනවිට මොවුන්ට මෙකී නිවසින් ඉවත්වන ලෙස දැනුම් දී වසර දෙකක්ද ගතවී තිබුණි. දරුවන් සමග මේ නිවසේ ඉන්න එක එතරම් හොඳ නැහැ. අපි කොහොම හරි නිවසක් ඉදිකරගෙන යන්න බලමු රසිකා තම සැමියා වන නලින්ට කීවාය. යම් අනතුරක සේයාවක් රසිකාට ඉවෙන් මෙන් දැනී තිබුණි. ඒ අනුව දැඩි දුෂ්කරතා මැද මොවුන් ඉකුත් 05 වැනි දින නව නිවසකට අත්තිවාරම් දමනු ලැබීය.

මෙම ප‍්‍රදේශයට දින කිහිපයක් තිස්සේ මහවැසි ඇදහැලෙමින් පැවතුණි. මහවැසි ඇදහැලෙන වාරයක් පාසා රසිකාට කඳුවැටිය නාය යෑමට naayaaaලක්වේදෝ කියා බියක් ද ඇතිවූවාය. දිනය ඉකුත් 23 වැනිදාය .අලූත් දිනයක් උදාවී තිබුණි. අහස්කුසේ හිරු සැඟවී ගොස් තිබූ අතර අලූයම සිට මහවැසි ඇදහැලෙමින් පැවතුණි. රසිකාගේ සැමියා පුරුදු පරිදි පවුලේ බඩවියත සරිකරගැනීම සඳහා රැකියාවට ගොස් සිටියේය. එදින රසිකාගේ පුතෙකු උදරයේ ඇතිවූ ආබාධයක් නිසා අසනීප වී සිටියේය. මල්ලි පුතාගේ බඩ රිදෙන බව කියනවා අනේ පුතා එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරගෙන එන්න කෝ රසිකා නිශාන්ත මල්ලිට කීවාය. නිශාන්ත රසිකාගේ ඥාති සහෝදරයෙකි. ඔහු රසිකාගේ නිවස ආසන්නයේ පදිංචිව සිටියේය.

නිශාන්ත රසිකාගේ පුතුට බෙහෙත් ගෙන ඒම සඳහා පුතු සමග එදින උදෑසන නිවසින් පිටත්ව ගියේය. වෙලාව උදෑසන 11 ත් පසුවී තිබුණි. මල්ලි මොකද පරක්කු රසිකා නිශාන්තට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඇසුවාය. අක්කේ ළඟම එනවා නිශාන්ත පිළිතුරු දුන්නේය. නිශාන්ත මල්ලි රසිකාගේ පුතු නිවසට ඇරලවා පාපැදිය තම නිවසේ දමා ටික වේලාවකට පසු යළි රසිකාගේ නිවසට පැමිණියේය.

ඒ වනවිට දැඩි වර්ෂාවක් පතිත වෙමින් තිබුණි. රසිකා දරු තිදෙනා සමග නිවසට වී සිටියහ. කඳු වැටියෙන් මීට පෙර ගලා එමින් තිබූ ජල පහරවල්වලට අමතරව තවත් විශාල ජල කඳක් පහළට ගලා එමින් තිබෙන අයුරු නිශාන්ත දුටුවේය. ජලයත් සමග පස්ද පහළට රූරා වැටෙමින් තිබුණේය. රසිකා ද මෙය දුටුවාය. මේ නිවසේ තවදුරටත් ඉන්න එක එතරම් සුදුසු නැහැ නිශාන්ත රසිකාට කීවාය. දරුවනේ ඔයගොල්ලන්ගේ අවශ්‍යම බඩු භාණ්ඩ අරගෙන ඉක්මන්ට අල්ලපු ගෙදරට යන්න නිශාන්ත දරු තිදෙනාට කීවේය. රසිකාගේ ලොකු දුව තම බඩු භාණ්ඩ රැගෙන අසල නිවසට දිව ගියාය. අසල නිවසේ පදිංචි සිටියේ රසිකාගේ බාප්පා වන අයෙකි. හේ දිවවිත් රසිකාගේ පුතුන් දෙදෙනා ඔහුගේ නිවසට රැගෙන යනු ලැබීය.

රසිකාගේ දියණිය යළි නිවස දෙසට ගමන් කරමින් සිටියාය. ගතවූයේ නිමේෂයෙකි. නායයෑමට ලක්වූ කඳු වැටිය රසිකාගේ නිවස යටකරගෙන යන්නට වැඩිවෙලාවක් ගතවූයේ නැත.

දුව ආයෙම ගෙදර පැත්තට ආවා. මමත් ගේ ඇතුළෙ හිටියෙ. ඒ සමග පස් ඇවිල්ලා කුස්සියෙ ලෑලි වලට හේත්තු වුණා. බේකරියෙ ගෙදර කට්ටිය කෑ ගැහුවා ඉක්මණින් ගෙදරින් එළියට එන්න කියල. ඒ ගොල්ල දැකලා තියෙනවා ගෙදරට පස් එනවා ලොකු දුවා බේකරියෙ ගෙදරට දිව්වා. මමත් රසික අක්කාට ඉක්මණට එන්න කියලා ඉක්මනින් එළියට දිව්වා. මම යන ගමන් ආපසු හැරිල බලනකොට දැක්කා රසිකා අක්කා බිම වැටෙනවා. ඒ එක්කම ලොකු පුතා ගෙදර පැත්තට එන්න ආවා. බේකරියෙ ගෙදර කට්ටිය එයාව නතර කර ගත්තා. ඒ සමග පස් ඇවිත් ගේ තල්ලූ කරගෙන ගියා. බලන් හිටපු අය කීවා තව පොඞ්ඩෙන් ඔයත් යට වෙනව කියල. නාය ගියාට පස්සෙ ගේ පෙණුනෙත් නැහැ. ගේ බිමටම සමතලා වෙලා තිබුණා. ඒ අසල තවත් නිවසකට ද පස් ඇවිත් යටවෙලා තිබුණා. මම පුතාලා දෙන්නත් දුවත් රැගෙන පාරට ගිහින් එයාලා දෙන්නගෙ නෑ ගෙදරකට ඇරලූවා.. මම කෑගහගෙන අපේ ගෙදරට දිවගියා. සද්දෙට සෙනඟ පිරුණා. ඒ වෙනකොට පාරවල් ඔක්කොම යටවෙල. මිනිස්සුත් එක්ක එක්වෙලා සුන්බුන් අයින් කරන්න කටයුතු කළත් එය අසීරු කාර්යක් වුණා. බැකෝ යන්ත‍්‍ර තුනක්ම අරගෙන ආවා. ඉන් දෙකක්ම ඉස්සරහ කුඹුරෙ එරුණා. අනෙත් එක අමාරුවෙන් නාය ගිය ගේ අසලට ළඟා වුණා. ඉස්සෙල්ලම නාය ගිය අනෙක් ගෙදර අක්කා අරගත්තා. එයාගෙ කකුල් දෙක විතරයි යට වෙලා තිබුණෙ. එයාට සිහිය තිබුණා. මමත් එයත් එක්ක කතා කළා. ඊට පසු මිය ගිය අක්කා පස් වලට යටවී සිට සොයා ගත්තා. රසිකා අක්කා සොයා ගන්න කොට සීරීම් තිබ්බා. මූණ තැලිලා තිබුණා මුණින් අතට වැටී සිටියා 1990 ට හදිසි ගිලන් රථ සේවයට කථා කළත් එන්න බැරිවුණා පසුව ප‍්‍රාදේශීය සභාවේ කැබ් එකක දාලා දෙදෙනා රැගෙන ගියා ඒ බිහිසුණු සිද්ධිය විස්තර කරමින් නිශාන්ත ගුණසේකර කීවේය.

මියගිය අයගේ සැමියා වන තෙලිකඩ පල්ලියගුරුගේ නලින් වසන්ත (45) අප සමග කීවේ මෙවැනි කථාවකි.

2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 07 වැනිදා තමයි මේ කන්ද මුලින්ම නාය යෑමට ලක්වුණේ. අපට ඉවත් වෙන්න කීවා. නමුත් අපට යන්න තැනක් තිබුණේ නැහැ. නායයෑමට ලක්වෙලා වසර දෙකක් ගියාට පස්සේ තමයි ඒ කියන්නේ 2019 වර්ෂයේ මැයි මාසයේ විතර ඉඩමක් ගන්න ලක්ෂ 04 ක් රජයෙන් දුන්නා. හිතවත් අයකුගෙන් ලක්ෂ 08 කට තමයි ඉඩම ගත්තේ. නිවසේ අත්තිවාරම දමන්න ලක්ෂ තුනහමාරක් විතර ගියා. දැනට රජයෙන් ලැබිලා තියෙන්නේ ලක්ෂ දෙකයි. සණස මමත් නෝනාත් එකාබද්ධව ගිණුමක් ඇරලා ණයක් ඉල්ලූම් කරලා තිබුණා. දැන් ණයත් ගන්න විදියක් නැහැ නලින් කීවේය..

මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරීක්ෂණය අක්මීමන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පවත්වනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි පී. ඒ. කිරිඇල්ල මහතා විසින් සිදුකරනු ලැබීය. සාක්ෂි මෙහෙයවීම වඳුරඹ පොලිසියේ පො.සැ (8064) ප‍්‍රියන්ත විසින් සිදු කරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැල්කිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක වරයා පස්වලට යටවීමෙන් හුස්ම හිරවීම හේතුවෙන් මෙම මරණය වී ඇති බව තීන්දු කළේය. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ නිවාස රැසක් නාය යෑමට ලක්ව ඇත. මේ වනවිට අනතුරුවලට ලක්වීමෙන් හය දෙනකු තුවාල ලබා තිබේ. ඒ අතර අඟුළුගහ දඬුවන ප‍්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් නාය යෑම නිසා තුවාල ලැබූ අට හැවිරිදි කුඩා දැරියක් ද සිටින්නීය. මෙසේ තුවාල ලබා ඇත්තේ අඟුළුගහ දඬුවන පදිංචි ෂෙහාරා ඉඳුවරී නමැති අට හැවිරිදි දැරියකි.

මෙම දැරිය තම පියා සහෝදරයන් දෙදෙනාද සමග මෙම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇති අතර එකවරම ඇතිවූ පස් කන්ද නාය යෑම නිසා දැරිය නිවසේ කාමරයක් තුළ සිරව ඇත. පසුව ප‍්‍රදේශවාසීන් එක්ව නිවසේ බිත්තියක් කඩා දැරිය පිටතට ගෙන රෝහල් ගත කරනු ලැබීය. අයහපත් කාලගුණික තත්ත්වයෙන් වූ ජනතාවගේ ජන ජීවිතවලට එල්ල වූ බලපෑම සුළුපටු නැත.



ලලිත් චාමින්ද

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles