Divaina - පොදුජන පෙරමුණ හදන්න මැතිනිය අත්සන් කළේ රෝද පුටුවේ ඉඳන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

methini22
* පුටුවත්, බුලත්කොළයත් සන්ධාන ගොඩනැඟීමේදී දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ නිහාල් සහෝදරයා විශාල සේවයක් කළා

* නිදහස් පක්‍ෂයේ ලාංඡනයත් පාටත් වෙනස් කරන්න මුලින්ම යෝජනා කළේ එස්. ඞී. බණ්ඩාරනායක

methiniවර්තමාන දේශපාලනයටත් වඩා අතීත දේශපාලනය රසවත්ය, සන්සුන්ය. එයින් උගත හැකි දේ බොහෝය. මේ සටහන් තබන කතාව ද අතීත දේශපාලනයේ සැගවුණු බොහෝ තැන් සිහිපත් කරන්නකි. ඒ ගැන අපට කියන්නේ දේශවිමුක්ති ජනතා පක්‍ෂයේ ජගත් ලියනගේය.

ප‍්‍රශ්නය - ඔබ දේශපාලනයට ප‍්‍රවිශ්ට වූ ආකාරය මුලින්ම කියන්න පුළුවන්ද?

පිළිතුර - මම මුලින්ම දේශපාලනයට ආවේ 1983 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කොළඹ නගර සභාවට වනාතමුල්ලට තමයි මම මුලින්ම ඡන්දය ඉල්ලූවේ. එතකොට නිමල් සිරිපාල ද සිල්වා තමයි බොරැල්ල නිදහස් පක්‍ෂ සංවිධායක.

ප‍්‍රශ්නය - නිදහස් පක්‍ෂය වගේ ප‍්‍රබල පක්‍ෂයකින් දේශපාලන ජීවිතය අපේක්‍ෂකයකු ලෙස ආරම්භ කරන්න තරම් ඔබට හැකියාවක් ලැබුණේ කොහොමද?

පිළිතුර - මම අධ්‍යාපනය ලැබුවේ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ. පණ්ඩු බණ්ඩාරනායක මගේ සමකාලිනයෙක්. ඒ නිසා මම නිතරම එස්. ඞී. බණ්ඩාරනායක මහතාගේ දේශපාලන රැලිවලට පාසල් වියේ ඉඳන්ම සම්බන්ධ වුණා. එස්. ඞී. කියන්නේ මහත්මා දේශපාලනයේ ප‍්‍රතිමූර්තියක්. ඒ සම්බන්ධය හින්දම මට සිරිමා බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක, හෙක්ටර් කොබ්බෑකඩුව විතරක් නෙවෙයි මහින්ද රාජපක්‍ෂ මහත්තයත් අඳුරගන්න ලැබෙන්නේ සෑහෙන කාලෙකට ඉහත.
methini ප‍්‍රශ්නය - නිදහස් පක්‍ෂයේ හිටපු ඔබ හිටි අඩියේ දේශ විමුක්ති ජනතා පක්‍ෂයට බැඳෙන්නේ ඇයි?

පිළිතුර - එස්. ඞී. බණ්ඩාරනායක මහත්තයාගේ හොඳම යාළුවෝ තමයි දේශ විමුක්ති පක්‍ෂයේ නිර්මාතෘ නිහාල් පෙරේරා හා පොඩි අප්පුහාමි සහෝදරයා. මට පස්සෙ පොඩි අප්පුහාමි සහෝදරයා කතා කළා දේශ විමුක්ති ජනතා පක්‍ෂයෙන් තරග කරන්න ඒ 1985 විතර.

ප‍්‍රශ්නය - එතකොට ඔබ දේශවිමුක්ති ජනතා පක්‍ෂයෙනුත්, අයියා පොදු ජන එක්සත් පෙරමුණෙනුත් කොළඹ නගර සභාවට අනූව දශකයේ ඡන්දය ඉල්ලූවාද?

පිළිතුර - මගේ අයියා මිල්ටන් ලියනගේ. අයියා කොළඹ නගර සභාවේ විපක්‍ෂ නායක වුණා. මම ඉතාලියේ, ඇමෙරිකාවේ හා ජර්මනියේ මහල් නිවාස ගොඩනැඟීම සම්බන්ධ ව්‍යාපාරික කටයුතුත් අධ්‍යාපන කටයුතුත් නිසා විදේශගත වුණා.

ප‍්‍රශ්නය - දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ කොළඹ දිස්ත‍්‍රික් නායක ධුරය ඔබ වැනි පුද්ගලයකුට භාරදෙන්නට එහි නායකත්වය සාමූහිකව තීන්දුවකට ආවේ ඇයි? ඊටත් වඩා දේශපාලන පරිණතභාවයෙන් යුතු උගත් පුද්ගලයන් සිටින පක්‍ෂයක් ලෙස පක්‍ෂය මෙවැනි තීන්දුවක් ගන්නේ ඇයි?

පිළිතුර - දේශ විමුක්ති ජනතා පක්‍ෂය තම පදනම ගොඩනඟාගෙන තියෙන්නේ කෘෂි ආර්ථිකයක් ඇති ප‍්‍රදේශවලත්, මිනිරන් වැනි පතල් කර්මාන්ත ආශ‍්‍රිත ප‍්‍රදේශවලත්. මේ පක්‍ෂයේ ලකුණ ‘වී කරල. නිසා ඒක අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ පක්‍ෂයේ ඉන්නේ බහුතරයක් උගත් බුද්ධිමත් පිරිස්. ඒ අය න්‍යායාත්මක පක්‍ෂයේ ඉදිරි ගමනට සහභාගි වනවා මිසක් ප‍්‍රායෝගික දේශපාලනයට එන ප‍්‍රවණතාව සීමිතයි. ඒ නිසයි පක්‍ෂය මට කොළඹ දිස්ත‍්‍රික් නායක ධුරය වැනි බරපතළ වගකීමක් පැවරුවේ.

ප‍්‍රශ්නය - දේශ විමුක්ති පක්‍ෂයේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධ ස්ථාවරය කුමක්ද?

පිළිතුර - පක්‍ෂයේ ලේකම් නීතිඥ කලංසූරිය

මහතාගේ මෙහෙයවීමෙන් තමයි පක්‍ෂයේ සියලූ න්‍යායාත්මක සංවිධාන කටයුතු සංවිධානය කෙරෙන්නේ. නිහාල් පෙරේරා සහෝදරයාගේ මරණයත් සමඟ පක්‍ෂය යම් පසුබෑමකට ලක්වුණා. පොහොට්ටුව මූලිකත්වයෙන් ගොඩනැෙඟන අලූත් සන්ධානයේ දේශ විමුක්ති පක්‍ෂය අනිවාර්යයෙන් ප‍්‍රබලම කොටස්කරුවෙක්. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාගේ ජනාධිපතිවරණ ජය වෙනුවෙන් අපි ඇප කැප වෙලා වැඩකරනවා.

ප‍්‍රශ්නය - කොහොමත් දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ නිහාල් පෙරේරා ‘සන්ධාන. ගොඩනැඟීමේ පුළුල් මෙහෙවරක් ඉටුකළ පුද්ගලයෙක් නේද?

පිළිතුර - පොදුජන එක්සත් පෙරමුණ ගොඩනඟමින් නිහාල් පෙරේරා කරපු සේවය අද කාටත් අමතකයි. පොදු පෙරමුණට අත්සන් ගන්න එතුමා රොස්මිඞ් වලව්වේ රැයක් එළිවෙනකම් හිටියා, සිරිමාවෝ බණ්ඩාරනායක අන්තිමට පොදු පෙරමුණට අත්සන් කළේ රෝද පුටුවේ ඉඳන්. නිහාල් පෙරේරාගේ උගත්කමට මැතිනි කවදත් සැලකුවා. අනික පවුල් පසුබිම නිහාල් පෙරේරා කියන්නේ ටී. බී. සුබසිංහගේ බෑන විතරක් නෙවෙයි මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨයෙක්.

ප‍්‍රශ්නය - පොහොට්ටුත්, අත ලකුණත් වෙනස් කොට අලූත් පක්‍ෂ ලාංඡනයකින් සන්ධානයක් ගොඩනැඟිය යුතු බවට ඇති මතවාදය ප‍්‍රායෝගිකද?

පිළිතුර - නිදහස් පක්‍ෂයේ ලාංඡනය වෙනස් කරන්න සන්ධානයක් ගොඩනඟන්න යෝජනා ආවේ අද ඊයේ නොවෙයි. ඔය පුටුවයි, බුලත් කොළයයි තෝරගන්නත් ඉස්සෙල්ල නිදහස් පක්‍ෂ ලාංඡනය වෙනුවට පොදු ලාංඡනයක් යටතේ සන්ධානයක් හදන්න එස්. ඞී. බණ්ඩාරනායක මහත්තයා යෝජනා කළා.

ප‍්‍රශ්නය - ඔබ ඔය කියන වකවානුව මොකක්ද?

පිළිතුර - එස්. ඞී. බණ්ඩාරනායක මහත්තයාගේ දේශපානලන දිවියට වසර 50 ක් පිරුණාම දැවැන්ත

රැස්වීමක් සංවිධානය කළා මහජන පුස්තකාලයේ. ඒකට ආවේ එවකට ඉන්දීය මහකොමසාරිස් ඩික්සිත්. ඒ කාලේ දේශපේ‍්‍රමි භීෂණය පැවති කාලේ. එස්. ඞී. බණ්ඩාරනායක ඒ රැස්වීමේ යෝජනා කළා ප‍්‍රගතිශීලී තරුණ කොටස් නව සන්ධානයක් යටතේ එකතු කරගන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලකුණ විතරක් නොවෙයි පාටත් වෙනස් කළ යුතු බව. ඒ රැස්වීමේ අනුර බණ්ඩාරනායකත්, මහින්ද රාජපක්‍ෂත් හිටියා. යෝජනාවට කවුරුත් විරුද්ධ වුණේ නැහැ. ඔය කියන කාලේ අනුරත්, මහින්දත් විපක්‍ෂයේ සිටි පෙරළිකාරම තරුණ මන්ත‍්‍රීවරු දෙන්නා තමයි.

ප‍්‍රශ්නය - දැනට කොළඹ දිස්ත‍්‍රික් සංවිධාන කටයුතු පවතින්නේ කවර මට්ටමකද?

පිළිතුර - දැනට ප‍්‍රාදේශීය වශයෙන් කොටස් වෙන්කර සුදුසු පුද්ගලයන්ට සංවිධායක ධුර ලබාදෙනවා. අපේ එකම අරමුණ ගෝඨාභය ජනපති කිරීම. එතුමාගේ ඡන්ද ප‍්‍රතිශතය වැඩිකිරීම අපේ නව පොදු සන්ධානයේ ගන්නා තීරණ තීන්දු ක‍්‍රියාත්මක කිරීම අපේ කාර්යභාර්ය වෙනවා.

ප‍්‍රශ්නය - බොරැල්ල ප‍්‍රදේශය කේන්ද්‍ර වූ දේශපාලනයක නිරත වූ ඔබට කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක ධුරයක් වැනි කටයුත්තකට අවශ්‍ය අරමුදල් සැපයෙන්නේ කොහොමද?

පිළිතුර - අපි නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච උදවිය. අපේ රටට අපිත් සේවයක් කරන්න ඕන කියන උදාර පරමාර්ථය තියෙනවා. මට ව්‍යාපාරික වශයෙන් ස්ථාවරයක් තියෙනවා. ඒ නිසා පක්‍ෂ සංවිධාන කටයුතු සඳහා අරමුදල් සපයන්න කුඩු මුදලාලිලා, කොමිස් කාක්කෝ, ජාවාරම්කාරයන්ගේ සල්ලි අවශ්‍ය නැහැ. මේවට කාගෙන්වත් සල්ලි ඉල්ලගෙන යන්නේ නැහැ. අපි දේශපානලනය කරන්නේ අපේ සල්ලි වලින්.

ප‍්‍රශ්නය - ඊළඟ ජනාධිපති ධුරය නාමික ජනාධිපති ධුරයක් නිසා පක්‍ෂයක් ලෙස ඔබේ පක්‍ෂය ගෝඨාභයට කරන ආයෝජනයේ ජනතාවාදීව බලන විට ,

උපයෝගිතාවක් තියෙනවද?

පිළිතුර - ඇයි නැත්තේ මේ ජනාධිපතිවරණයේදී ගොඩනඟන සංවිධානයේ අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ. ඒ ජයග‍්‍රහණය තමයි ඊළඟ මහමැතිවරණය තුළින් ඒ සන්ධානයේ ජයග‍්‍රහණයට පාර කපන්නේ.

ප‍්‍රශ්නය - කොළඹ දිස්ති‍්‍රක්කය තුළ බොරැල්ල විශේෂ ප‍්‍රදේශයක් ලෙස ඔබ දකින්නේ ඇයි?

පිළිතුර - බොරැල්ල විශේෂ වන්නේ මේ තරම් රටේ වැදගත් ඡන්ද කොට්ඨාසයක් වන බොරැල්ලට වගකියන මන්තී‍්‍ර කෙනෙක් නැතිවීම නිසා. එම්. එච්. මොහොමඞ් නම් ඒ අතින් යූ ඇන්පී වුවත් විශාල සේවයක් කළා. මොහොමඞ් මහත්තයා බොරැල්ලේ අය එක බස් එකකට විසිදෙනෙක් විතර සීටීබී :ක්‍ඔඊ) එකට දැම්මා. ඒත් අද බොරැල්ල වගේම කොළඹ දිස්ති‍්‍රක්කයේ විශාල රැකියා හිඟයක් තියෙනවා. පිටින් ආපු අය කොළඹ රජයේ රැකියා පැහැරගෙන තියෙනවා.

ප‍්‍රශ්නය - කොළඹ උදවියට රැකියා වියුක්තියක් රාජ්‍ය අංශයෙන් ඇති වුණේ කොහොමද?

පිළිතුර - දැන් බලන්න කොළොන්නාවේ තෙල් සංස්ථාව. අදාළ ඇමැතිවරයා රැකියා දෙන්නේ තමන්ගේ ආසනේ අයට. අනුරුද්ධ රත්වත්තේගේ කාලේ තෙල් සංස්ථාවට දාපු නුවර සේවකයන්ට දාපුනුවර- කොළඹ බස් තාමත් එනවා. කොළොන්නාව තෙල් ටැංකියට යාබද ගෙදර තරුණයා රැකියාවක් නැතුව වේලෙනවා. තව බලන්න මහ රෝහල, ඔක්කොම සේවකයෝ කළුතර, බේරුවල පැත්තෙන් සේවකයෝ ගෙනැල්ල සෞඛ්‍ය ඇමැති තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්නවා. තව කොච්චර රැකියා තියෙන දැවැන්ත රාජ්‍ය ආයතන තියෙනවද, රජයේ මුද්‍රණාලය, ආයුර්වේදය වගේ. මේ හැම අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක්ම පුරවන්නේ අදාළ

ඇමැතිවරයාගේ ආසනයේ හිතවතුන්ගෙන්, කොළඹ විශේෂයෙන් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තියක් ඇති වන්න ප‍්‍රධාන හේතුවක් ඕක. මං කියන්නේ කොළඹ රාජ්‍ය ආයතනවල රැකියා දීමේදී කොළඹ පදිංචිකරුවන්ට අනිවාර්යයෙන්ම කෝටා එකක් වගේ නිශ්චිත රැකියා ප‍්‍රමාණයක් වෙන් කළයුතුමයි.

ප‍්‍රශ්නය - දැන් ආනන්ද, නාලන්ද, ඞී. ඇස්. වගේ ඉස්කෝල තියෙන කොළඹ ළමයින්ටත් ඔය අසාධාරණය වෙනවාද?

පිළිතුර - කොළඹ හොඳම ඉස්කෝල කිව්වට මේ ඉස්කෝල ගාව ළමයින්ට ඒ ඉස්කෝල නැහැ. දැන් බලන්න ආනන්දේ ඉස්කෝලේ බෙල්එක ඇහෙන ළඟ ඉන්න ළමයින්ට ආනන්දෙට ඇතුළු වෙන්න හම්බවෙන්නෙ නැහැ. එ ළමයින්ට හම්බවෙන්නේ වේලූවනේ, සීවලී වගේ ඉස්කෝල, ඒ අස්සේ ඇහැලියගොඩ ඉඳන් ආනන්දෙට, නාලන්දෙට, ඞීඑස් එකට ස්කූල් බස් එනවා. ඒක කොළඹ ළමයින්ට අසාධාණයක් නොවෙයිද?

ප‍්‍රශ්නය - ඉතින් ඔය රැකියා විරහිත කොළඹ පිරිස් මොකද කරන්නේ?

පිළිතුර -මුදල් ඇමැතිලා, ප‍්‍රවාහන ඇමැතිලා, සෞඛ්‍ය ඇමැතිලා කොයි ඇමැතිලත් කොළඹ තියෙන රාජ්‍ය ආයතන තමන්ගේ ආසනේ පාක්‍ෂිකයන්ට රස්සාවල් දෙනවා. රස්සා නැති කොළඹ කොල්ලො කෙල්ලො එක්කෝ දුරාචාරයන්ට යොමු වෙනවා නැත්නම් ඉතිං උඩ බලන් ඉන්න වෙන්නේ. මම නැවතත් කියන්නේ මේ කොළඹ රාජ්‍ය ආයතන රැකියාවලින් 25% ක්වත් කොළඹ අයට වෙන් කළ යුතුයි. ඕකේ ලොකු ඛේදවාචකය තමයි යාපනේ, අම්පාර, නුවර වගේ පැතිවල රජයේ රැකියාවලටත් ඇමැතිවරුන්ගේ ආයතනවල පාක්‍ෂිකයන් පත් කිරීම.

ප‍්‍රශ්නය - ඔබ දැන් දේශවිමුක්ති ජනතා පක්‍ෂය සංවිධායක ධුරයක් හෙබවුවත් පසුගිය පුංචි ඡන්දේදී නාමයෝජනා ලැබ තරග කළේ පොහොට්ටුවෙන් නේද?

පිළිතුර -කාන්තා නියෝජනය නිසා ඕලෙවල්වත් නැති කාන්තාවෝ නගර සභාවට ගියා. වැඩි ඡන්ද ගන්න අපට ඒකෙන් අසාධාණයක් වුණා. මම දැන් රාජපක්‍ෂලාට සමීපයි. පොහොට්ටුව ආරම්භයේදීම මම සංවිධායක වරයෙක්.

ප‍්‍රශ්නය - ඔබේ අයියා වන මිල්ටන් ලියනගේ විපක්‍ෂ නායක ධුරය දරපු කොළඹ නගර සභාව ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර - ඔය කොළඹ නගර සභාවේ මන්තී‍්‍රවරු 119 ක් ගන්න පුළුවන්. සුදුස්සෝ 20 ක් වත් නැහැ. මොවුන්ට අදාළ විෂය පථ සම්බන්ධයෙන් කිසිදු න්‍යායාත්මක අවබෝධයක් නැහැ. හැම රැස්වීමකදීම කෑගහගන්නවා. හූ කියා ගන්නවා. සභාවේදී මරා ගන්නවා. ඒත් කොමිටියේදී ‘කොමිෂන්. එක බෙදාගෙන සම්මත කරගන්නවා.

ප‍්‍රශ්නය - කොළඹ නගරයේ කුණු ප‍්‍රශ්නය ගැන ඔබේ අදහස?

පිළිතුර - කොළඹ නගර සභාවට කුණු ප‍්‍රශ්නයක් වුණාට ලෝකේ ‘කුණු. සලකන්නේ සම්පතක් විදියට කියල. කළමනාකරණේ දක්‍ෂයෝ තමයි ‘ලෙබනන්. ජාතිකයෝ. 1994 දී නෝර්වේ රජය කසළ ගැන රාජ්‍ය ප‍්‍රතිපත්තියක් හදන්න කණ්ඩලමේ වැඩමුළුවක් තිබ්බා. ඒකට රටපුරා දිසාපතිවරු ඇතුළු රජයේ නිලධාරීන් ආවා. එතැනදී මම යෝජනා කළා කුණු වර්ගීකරණයත්, කසළ බඳුන්වලට වර්ණගැන්වීමටත්. එතකොටත් මට ජර්මනියේදී ඉතාලියේදී, ඇමරිකාවේදී මේ ක‍්‍රම ගැන අත්දැකීම් තිබුණා. එදා ඇමැතිවරයා වුණේ මහින්ද විජේසේකර, නියෝජ්‍ය අමාත්‍යවරයා පණ්ඩු බණ්ඩාරායක. මම සහභාගි වුණේ අමාත්‍යාංශ මට්ටමෙන්.

ප‍්‍රශ්නය - එදා ඒ කසළ කළමනාකරණ ව්‍යාපෘතියට මොකද වුණේ?

පිළිතුර - කොළඹ නගරයේ මේ කුණු ව්‍යාපෘතියට මීරිගම විශාල භූමි ප‍්‍රමාණයක් වෙන්කරල තිබුණා. ලෝකේ කුණු විශේෂඥයන් වන ලෙබනන් රජය ඇවිත් ව්‍යාපෘති වාර්තාවක් පවා හදල ආයෝජනය කරන්න කැමැති වුණා. නෝර්විජියන් රජය රාජ්‍ය මට්ටමෙන් උදව් දෙන්න කැමැති වුණා. නමුත් ලංකාවේ දේශපාලකයෝ පගාව ඉල්ලපු නිසා. ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වුණේ නැහැ. ඒකේ අනිසි ප‍්‍රතිඵලය තමයි දැන් කුණු එකතු කරන පෞද්ගලික කොම්පැණිවල වයසක මිනිස්සුන්ට කෙලින් හිටගන්න බෑ. සේවකයන්ගේ කිසි ප‍්‍රමිතියක්නැහැ. කුඞ්ඩොත් දැන් කුණු අඳිනවා.

ප‍්‍රශ්නය - අවසන් වශයෙන් අපට කියන්න පුළුවන්ද දේශවිමුක්ති ජනතා පක්‍ෂයේ කොළඹ දිස්ති‍්‍රක් නායකයා ලෙස ඔබත් ඔබ පක්‍ෂයේත් අනාගත ඉලක්ක සපුරාගත හැකි වෙයිද?

පිළිතුර - පොහොට්ටුව ප‍්‍රමුඛව ගොඩනැෙඟන නව පෙරමුණේ න්‍යායාත්මක සංවිධාන කටයුතුවලදී අපේ පක්‍ෂයේ උගතුන් ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නවා. අපේක්‍ෂකයාට ඒ සංවිධානයේ ඉහළම වගකිවයුතු තනතුරු ලැබීමේ ප‍්‍රවණතාවත් වැඩියි. කොහොමත් දේශ විමුක්ති ජනතා පක්‍ෂය, බුලත් කොළයත්, පුටුවත් සන්ධාන බිහි කිරීමේ දැවැන්ත කි‍්‍රයාවලියක් ඉටුකරපු පක්‍ෂයක්. ඒනිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව ගන්නා තීන්දුව මේ රටේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් හිතල ගන්න වැදගත් ජාතික තීන්දුවක්. ඒ නිසා අපි ඒ අනාගත ජයග‍්‍රහණය උදෙසා දැන් ඉඳන්ම සැලසුම් සහගත ලෙස ඉලක්කය කරා ගමන් කිරීමේ ප‍්‍රගතිශීලි බලවේගයක් ගොඩනඟමින් සිටිනවා.


සංවාද සටහන - ආචාර්ය ප‍්‍රදීප් පෙරේරා
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles