Divaina - පෙම්වතා නිසා ආවේශ වුණු භූතයා....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

  • bhuthaya

 

* හිත ලෙඩ කරන බොරු භූතයෝ - 42

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ ව්‍යාධි ඒකකයේ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා (MBBS, MD Psychiatry- Counsultant Psychiatrist) සමඟ කෙරෙන සකච්ඡා මාලාවකින් සම්පාදනය කරන ලද ලිපි පෙළෙහි හතළිස් දෙවැන්න යි මේ.

     තමන් අසල සිටින තරුණිය වෙත ඉතා දයාර්ද බවෙක් පෑ මනෝ වෛද්‍යවරයා සිය කටහඬ අවදි කෙළේය. ඒ සියදිවි නසා ගන්නට තැත් කළ රෝගියකු බව ඔහු වෙත මේ තරුණිය යොමු කළ වාට්ටුවේ වෛද්‍යවරයා තබා ඇති සටහන දැකීමෙනි. හේ ඇය තම නිල කාමරයට කැඳවූයේ තරුණියගෙන් දිස්වන මානසික තත්ත්වය හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුවයි.

සියදිවි නසා ගන්නට තැත් කිරීමට තරම් හේතුභූත වූ කාරණාව සේ ඇය කලින් ප‍්‍රතිකාර ලද වාට්ටුවේ වෛද්‍යවරයා සටහන් යොදා ඇත්තේ මවත් පියාත් කෙරෙහි ඇති කරගත්තු කේන්තිය ඉවසා සිටින්නට තරම් නොහැකි ස්වභාවයකට පත්වීම බවයි. ඒත් ඉංජිනේරු විද්‍යාව හදාරන තරුණියක වන ඇය තම පණ නසා ගන්නට උත්සාහ ගන්නා ලද්දේ ඊට වඩා වෙනත් හේතු කාරණා නිසා වග මනෝ ව්‍යාධි පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වටහා ගත්තේය.

‘‘ඔය දරුවගෙ නම.... නිම්මි.... නිම්මි නේ ද? හොඳයි නිම්මි අම්මයි තාත්තයි එක්ක තරහ වුණේ ඇයි... එහෙම තරහ ගියා කියා තමන්ගෙ ජීවිතේ තමන් විහින්ම නැති කර ගන්න තරම් මොකක්ද ඔච්චර ලොකු තරහක් අම්ම තාත්තා එක්ක ඔය දරුවට තියෙන්නෙ?..

නිම්මි බිම බලා ගත්තා ය. ඈ විනාඩි දෙක තුනක් සිමෙන්ති පොළොවට යොමු කළ දෑස යළි ඔසවන ලද්දේ බොහොම වේදනාකාරී බවකින් යුත් වතිනි. ඒ මුහුණේ කලකිරීම, දුක, වේදනාව, සන්තාපය ආදී සියල්ල රැඳී ඇති අයුරු මනෝ වෛද්‍යවරයා දැක්කේ ය. ඔහු කළ විමසීමෙන් අනතුරුව ඈ යළි බිම බලාගෙන හඬන්නට වන්නීය. නිම්මි යළි හිස එසවූයේ වෛද්‍යවරයා ගේ කටහඬ වාතලයට මුසුවෙද්දී ය.

‘‘ඔය දරුව ඉංජිනේරු සිසුවියක් නේ. දැන් මං හිතන්නෙ දෙවැනි අවුරුද්ද වෙන්නෝනෑ. එහෙම නේ ද?.. යි බෝ හිතවත් බවෙක් ඈ වෙත පෙන්වූ හේ ‘‘මට කියන්නකො ඔයාට විශ්වවිද්‍යාලෙ මොනව හරි ප‍්‍රශ්න ගැටලූ තියෙනව ද කියා... අපට පුළුවන් දෙයක් කරන්න බැරිය එහෙම වුණොත්.. පවසා,

‘‘ඒ ඕනෑම දෙයක් කියන්න. මං විතරයි නේ දන්නෙ..... හේ යළි කී ය. එයින් ඇගේ හිතේ පවතින බියත්, සැකයත්, සංකාවත්, කලකිරීම ඇතුළු සියලූ ආකාරයේ දේවල් දුරුවන්නා වූ බවෙක් දැනෙන්ට විය.

‘‘අනේ ඩොක්ටර්... අම්මල මං ගණන් ගන්නෙ නෑ ළඟකදි ඉඳල. මං පෙනඩෝල් පැකට් දෙකක්ම බීවෙ අම්මල මට නොකියා අපේ අක්ක කෙනකුගෙ මඟුල් ගෙදරකට ගිහිපු බව දැනගත්තහම. මට ඒක වාවන්නෙ නැතිවුණා...

‘‘අනේ ඩොක්ටර් මං කියන්නම්.. මට තියෙන ගැටලූ ඔක්කෝම. හැබැයි අපේ අම්මලට නං දැන ගන්න තියන්න එපා...

‘‘ඒ ගැන මං ඔය ළමයට සහතික වෙන්නම්. ඔය දරුව කියන කිසිම දෙයක් වෙන කිසි කෙනකුට දැන ගන්න විදිහක් නැතැ යි කියා...

‘‘මේ ඔක්කෝටම හේතුව විදුර... විදුර... යනුවෙන් තම සිතේ පවතින දුක්කම්කටොලූ එකින් එක ඈ කියන්නට වන්නී ය.

‘‘අපි නමේ පන්තියට පාස් වෙද්දි විදුර ගමෙන් ගියා බදුල්ලට. මොකද එයාගෙ තාත්තා ස්ටේෂන් මාස්ටර් කෙනෙක් හින්ද ලැබිච්චි මාරුවට තමයි බදුල්ලෙ ගියේ. ඒ දක්වාම එයාගෙ තාත්තා හිටියෙ ගින්තොට දුම්රිය ස්ථානාධිපති හැටියට. ඊට කලින් හිටියෙ බූස්සෙ.

විදුර අපේ ගමෙන් ගියාට පස්සෙ මං හිටියෙ හරිම දුකෙන්. ඒ දුක දවසින් දවසම මට දුන්නෙ වේදනාවක්මයි. හැබැයි ඉතින් කාලයක් යනකොට මට විදුර ගැන තිබිච්ච හැඟීම් යටපත් වුණේ ඉබේම වගේ. මං වෙන ළමයෙක් ගැන නිකමටවත් හිතුවෙ නෑ. හොඳින් පොතේ පතේ වැඩ කරන්න ඉබේටම වගේ යොමු වුණා...

රැග් එක හින්දත්, බෝඩිමේ එක එක ප‍්‍රශ්න හින්දත්, විෂයානුබද්ධ පාඩම් හරි හැටි වටහා ගන්නට තිබුණු අපහසුවත්, අම්මල තාත්තලගෙන් දුරස්වී ඉඳීමෙනුත් මං පෙළුණු පීඩාවන් ඔක්කොම වගේ විදුර දැක්ක ගමන් තුනීවෙලා ගියා වගෙයි මට දැනුණෙ, විදුර මට වඩා අවුරුද්දක් සීනියර්. ඒ නිසාම මගේ ස්ටඞීස්වලට ඔහුගේ ලොකු අත්වැලක් ලැබුණා. ඒකෙනේ මං පෙරටත් වඩා වැඩියෙන් ඔහුගේ ආශ‍්‍රය පැතුවා. අපි දෙන්නා මොබයිල් දෙකෙන් නිතර නිතර කතා කරන්න පටන් ගත්තා. සමහර දවසක අපේ කතාව පැයක් හමාරකට වඩා දිගට ඇදිල ගියා. ඒ කතා බතා එක එක දේවල් ගැන. එක එක පැති ගැන තමයි කතා වුණේ. අපේ ස්ටුඩන්ට් යුනියන් එක ගැන ඔහු කතා කළේ බොහොම ලොකුවට. ඒත් සීනියර්ස්ලා රැග් කරපු විදිහ මතක් වෙන කොට මට යුනියන්කාරයො පේන්නෙ නයාට අඳුකොළ ගාණට බව මං කෙළින්ම එක දවසක් විදුරට කිව්වා. එතකොට එයා කළේ බක බක ගාලා හිනාවෙච්චි එක.

විදුරගෙ ඇසුර නිසා නිම්මිට ඈ පීඩාවට පත් කෙරුණු විවිධ කාරණා එකින් එක දියවී යන වගකි ඇයට හැඟුණේ. එනිසාම ඕ තව තවත් විදුරගෙ ඇසුර පතන්නට යොමුවුණු අයුරුද මේ තරුණිය වෛද්‍යවරයා හා කීවේ ඔහුගෙන් ඈ මේ දක්වා පෙළෙමින් හිඳින සියලූ අන්දමේ දුක්ඛදෝමනස්සයන් දූරිභූත විය හැකි යැයි හිතේ හටගත්තු කිසියම් ලොකු විශ්වාසයකිනි. වෙදැදුරාණන් තමන් දිහා නෙතු දල්වාගෙන ඉතා සාවධානව ඇහුම්කන් දෙන අයුරු ඈ සිතට ප‍්‍රීතියක් උපදවන්නට හේතුකාරණා විය. ඕ යළි කටහඬ අවදි කරයි.

‘‘ඔහොම කාලයක් ගියා. ඒත් ඔහු මට ආදරේ බවක්වත් මං ඔහුට ආදරේ කරන වගක්වත් කිසිම දවසක දෙන්නගෙන්ම පිටවුණේ නෑ..

‘‘බැරිම තැන දවසක් මං විදුරට ආදරේ කරන බව කීවේ සතුටෙන් පිරුණු මුහුණෙන්. ඒත් මගේ ඒ වචන එකක්වත් එයාට ඇහිච්චි වගක්වත් පෙනුණෙ නෑ. එයා පෙන්නුවෙත් නෑ. හැබැයි ඊට දවස් දෙක තුනකට පස්සෙ පටන් මං හමුවෙන එක විදුර මඟ හරින බවක් මට තේරුණා. දැනුණා. එයින් මං වින්දෙ පුදුමාකාර වේදනාවක්. මගේ හිත ගිනි ගත්තා වගේ තමයි නිතරම දැනෙන්නෙ. මට කිසිම දෙයක් කරන්නට හිත දෙන්නෙ නැතිව ගියා. බෝඩිමට ගිය විට එතැනත් අනෙක් ළමයින් එක්ක මං ප‍්‍රශ්න ඇති කර ගත්තා. ලෙක්චර්ස්වලට ඇහුම්කන් දුන්නත් මට ඒ අපේ සර්ලා කියන කිසිවක් තේරුම් ගන්න තරම් වටහා ගන්න තරම් හිත එකඟතාවක් නෑ. එහෙම වෙන්න ප‍්‍රබලම හේතුව වුණේ විදුර මා හමුවීම වුවමනාවෙන්ම මඟ හැරීමෙන් පස්සෙ මං ඒ ගැන අකිල ගෙන් විමසා දැන ගත්තු කාරණාවක් හින්දා.

අකිල හඳුනගත්තෙත් විදුරගෙන්. ඒ දෙන්නා විශ්වවිද්‍යාලෙට ඇතුළුවෙලා තියෙන්නෙ එකටම. දෙන්නම බදුල්ලෙන් තේරී ආපු දෙන්නෙක්. එහේදී ටියුෂන් ගිහින් තියෙන්නෙත් එකට. බදුල්ලෙදි විදුර ආශ‍්‍රය කරපු හොඳම යාළුවා අකිල බව දවසක් දා එයා මාත් එක්ක කීවා. ඒ හින්දම විදුර මගෙන් දුරස්වෙන්නෙ ඇයි කියල දවස් ගණනාවක් තිස්සෙ මං අකිලගෙන් ඇහුවා. අඬ අඬා ඇහුවෙ. එයා බැරිම තැන මගේ වේදනාව බලා ඉඳල කීව දෙයින් මං නොදැනුවත්වම වගේ උඩ ගිහින් බිම වැටුණා වගෙයි දැනුණෙ.

‘‘ඔය අතරෙ මාත් එක්ක කතා කරන්න පටන් ගත්තු අකිලත් මා මඟ හරින්න වුණා. එයින් මා සිතේ වැඩෙන්නට වුණේ කළකිරීමයි. දුකයි සංතාපයයි දරා ගන්න බැරි තරම්. මං නිතර නිතර අකිලට කතා කරන්න උත්සාහ ගත්තෙ මා සිත වැඩෙන්නට වුණු දුක වේදනාව තුනී කරගන්න කියලයි. ඒත් බොහොම වෙලාවකට එයත් එක්කො මොබයිල් පෝන් එකට ආන්සර් කරන්නෙ නෑ. වැදිල වැදිල නවතිනව. නැත්තං ස්වීච් ඕෆ් කරල... ඒකෙනුත් සිද්ධ වුණේ මගේ හිත දරා ගන්න බැරි තරමට පෑරෙන එක. මට තේරුණේ එයා එක්ක යාළුවෙලා ඉන්න ගෑනු ළමයා මාත් එක්ක කතාබහ කරන එක නවත්තන්න කියලා බව..

‘‘මේ වධවේදනා විඳීම දරා ගන්න බැරිව මට හිතුණා ජීවිතේ නැති කර ගන්න. මං බෝඩිමේ ඉඳන් ගෙදරට කතා කළා. ටෙලිපෝන් එක වැදුණාට මොකද කවුරුත්ම ඉස්සුවේ නෑ. සැකයක් ඇතිවෙලා තමයි මං ගෙදර ආවේ. ඒ ඇවිත් බලන කොට අම්මල ගිහින් මඟුල් ගෙදරක. මට ඒ ගැන හාන්කාවිසියක් ඇඟවූයේ නෑ. මට ඇති වෙච්චි හිතේ අමාරුව කොහොම කියන්නද. මං ඉස්තෝප්පුවට වෙලා හොඳටෝම ඇඬුවා. අඬල අඬල මං බැලූවෙ මයෙ දුක වේදනාව තුනී කර ගන්න. ඒත් ඒක යටපත් කරන් මගේ අත ගියේ බෑග් එකට. බෑග් එකේ තිබුණු පෙනඩෝල් කාඞ් දෙකේ තිබිච්චි ඔක්කෝම පෙනඩොල් මං බීවා. පහළොහක් විතර, විස්සක් විතර.

මං ජීවිතේ නැතිකර ගන්න හිතන් එහෙම බීවට මොකද මට ඒත් එක්කම ජීවිතාශාව හිතේ පෙරළි කරන්න පටන් ගත්තා. මං අල්ලපු ගෙදරට ඉක්මනට ගිහින් නැන්දට කීවා මං පෙනඩෝල් බීවා ය කියා ජීවිතේ නැති කරගන්න. බයට පත්වෙච්චි නැන්දා ත‍්‍රීවීලර් එකක් ගෙන්නන් මං ඉස්පිරිතාලෙට ඇතුළු කළේ පෙරේදා.....

මේ රෝගී සිසුවියගේ පසුබිම විපරම් කිරීමේදී පේන්නෙ ළමා කාලයේදීම ඈ විවිධ පීඩාවන්ට ලක්වෙලා ඇති බව. ළමා කාලයේ ඇති වෙච්චි ආදරය අහිමිවීමෙන් මානසික පීඩාවකට ලක්ව හුන් ඈ විශ්වවිද්‍යාලයේ දී සිතින් පෙම් කළ තරුණයා දැකීමෙන් යටපත්ව පැවති හැඟීම් යළි මෝදු වීමත්, නවක වධයෙන් මුහුණ පෑ පීඩාවත්, අධ්‍යාපන කටයුතු නිසා හටගත්තු පීඩනයත්, බෝඩිමේදි මුහුණ පෑ ගැටලූ නිසා හටගත්තු අපහසුතාවනුත්, හින්දා ඈ ලොකු මානසික පීඩාවකින් පෙළුණා.

ඒ සියල්ල යටපත් කරගන්න ඈ පිහිට පැතුවෙ ඈ හිතින් පෙම්කළ අර තරුණයා. ඔහු හා ආදරයක් ගොඩනඟා ගත හැකිවේය යන ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් ඈ තුළ පැවතියා. ඒ සියලූ බලාපොරොත්තු එක පාරට අහිමිවීමෙන් දැඩි මානසික සිත්තැවුලකට පත්වුණා. ඒ බලාපොරොත්තුව බිඳ වැටීමත් එක්ක මානසිකව තවත් පීඩනයකට ගොදුරු වුණා. ඒ ගොදුරුවීමෙන් ඇගේ මොළයේ ඇති යමක් දරා ගැනීමේ ශක්තිය ඇති කරනා විවිධ රසායනික ද්‍රව්‍යවල සංයුතියෙ අඩුපාඩු හේතුවෙනුත්,

ඇගේ පරම්පරාවෙහි පැවති විශාද රෝගී ජාන නිසාත් ඇයට විශාදය ඇතිවීමේ හැකියාවක් තිබුණු බව බොහොම පැහැදිලියි. මේ සිද්ධි සමූහයත් එක්ක විශාදය කියන මානසිකාබාධය මතුවුණා. එතැන් පටන් ඈ වෙතින් පළවුණේ විශාදය රෝග ලක්ෂණ. කෑම බීම එපාවීම, සතුට නැතිවීම, අකිල එක්ක පැවති හිතවත්කම පලූදු වීමෙන් තවත් පීඩාවකට ඈ ලක්වුණා. අවසානයේ දී කිසිවකුගේ උදව්වක් උපකාරයක් තමාට නැතැයි යන හැඟීම ඈ සිත් හි ප‍්‍රබලව නැෙඟන්න පටන් ගත්තා. තමා මේ ලෝකයේ තනිවී ඇතැයි යන හැඟීම ඉස්මතු වෙන්න පටන් ගත්තා. අනාගත බලාපොරොත්තු අපේක්ෂා කෙමෙන් කෙමෙන් අඩුවෙන්න වුණා. මේ සියල්ල විශාදය රෝගයේ පූර්ව ලක්ෂණ. ජීවිතය පිළිබඳ කළකිරීම උත්සන්න වූ අවස්ථාවේ හටගත්තු මානසික පීඩනය නිසා ඇය ජීවිතය නැති කරගන්නට උත්සාහ කළා. ඒ අවස්ථාවේ තමා ඇය රෝහල්ගත කෙරුණෙ.

ඇයට අවශ්‍ය වන්නා වූ ඖෂධ ප‍්‍රතිකාර කළා. අනිත් පැත්තෙන් ඇගේ අවම මට්ටමක පැවති ආත්ම විශ්වාසය වර්ධනයට අවශ්‍ය මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාර ලබා දුන්නා. සති තුනකින් විතර රෝගී සිසුවිය යථා තත්ත්වයට පත් කරන්නට මනෝ විද්‍යාත්මක ප‍්‍රතිකාරත් ඖෂධත් ලබාදී මාස හයක තරම් කාලයක් ඒ බෙහෙත් අඛණ්ඩව පාවිච්චි කරන්නට උපදෙස් දුන්නා. දැන් ඈ පෙර පරිදි ඉතා උනන්දුවෙන් තමන්ගෙ ඉංජිනේරු උපාධිය සපුරා ගන්නට වෙහෙස වන බව ඇගේම විස්තර කිරීම්වලින් අපට හැකිවුණා.
 
සුගතපාල මැන්දිස්


 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles