Divaina - තත් සිඳුණු වීණාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

thath2හැන්දෑ ඉරේ රස්නෙ අඩුවෙමින් තිබුණා. හරියට ඉර දියවෙලා වාගෙ. රතට රතේ බස්නාහිරින් මූදේ ගිලෙන්න සුදානම. වීටිං කළමනා අස්පස් කළා. දවල් තිස්සෙ වීණාවිගෙ සිංදුවට වීටිංගෙ වයලීනය වැයුනෙ හරි අපූරුවට. වීණාවි අතේ තිබ්බ පංතේරු වලල්ල” එලා තිබ්බ ඉටි උර කෑල්ලට තියලා එතුව. කිංකිණියා පුංචි එකී අත්පුඩි ගහලමද කොහෙද රිදෙන අත්ල දෑතින්ම පිරිමැද මැද හිටියෙ.

‘‘හා යන්ඩ බලමු.. වීටිං දවසෙ එකතු වෙච්ච කාසි වෙනම සිලි සිලි උරේට දාල ගැට ගැහුවා.

‘‘මේකත් පරිස්සමට තියා ගත්තනං.. වීණාවි ට දුන්නා. වීණාවි ඒක හැට්ටෙ අස්සෙ ගහතත්තා.

‘‘ට කන්න ගන්න කීයක්වත් අතට ගත්තේ නැහැ..

‘‘රුපියල් දහයක් තියා ගත්ත..

තුන්දෙනාම මළ ඉරේ පඬු පැහැය ඇගට වැටෙන වෙලාවෙ ඉට්ටේසමේ පහළින් තිබ්බ රේල් පෙට්ටියට ගෑටුවා. අවුරුදු කීපයක් ම වීටිං පවුලට හෙවන දෙන්නේ රේල් පෙට්ටිය. ඒකත් අබලං වෙලා තියෙන්නෙ වීටිංලගෙ ජීවිතේ වගේ. අඳුර වැටෙන්න කලියෙන් පයිසාල් නානගෙ කඩෙන් පානුයි පරිප්පුයි බෝතලේට තේ කහටයි අරගෙනම රේල් පෙට්ටියට සේන්දු වුණා.

thath1වීණාවි කුප්පි ලාම්පුව පත්තු කරලා කෙඳි ගිය කොස්සෙන් රේල් පෙට්ටිය අතුගාල පිරිසිදු කළා. පැදුරු කඩමාලූ එළල හරිබරි ගැස්සුවා. ඒ ඉඳගන්නයි” නිදියන්නයි. අඳුරත් එක්ක වීටිංගෙ පෙනුම හොඳටම දුරුවලයි. දාවල් වරුවේ හොඳට අව්ව තියෙන කොට ටිකක් පෙනුනට ?ට පෙනුම හොරයි.

‘‘ඒකැයි ආණ්ඩුවේ ඉස්පිරිතාලෙටවත් ගියොත් හොඳයි. මගෙ පෙනීම එන්ඩ එන්ඩම අඩු වෙනව. ඇඟටත් පණ නෑ... වීටිං වීණාවිට කිව්වා.

මාත් මේ කියන්නඩ හිටියෙ ඇගත් හොඳටෝම ඇදිල ගිහිං

පුංචි කිංකිණියා පානුයි පරිප්පුයි රහ කර කර කනවා. වීටිං කෑම අහවර කරලා බීඩියක් පත්තු කරගෙන පැදුරේ දිගෑදුනා. වීටිං බඩ රස්සාවට කළේ වීණාවිත් එක්ක වයලීනය වයමින් සිංදු කියන එක. වීණාවිගෙ හඬ ලතා මංගේෂ්කාර් පරාදයි. මිනිස්සු වටවෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. වීටිංගෙ වයලීනයත් පරාද නැතිව අපූරුවට සිංදුවට එක් වුණා. කිංකිණියා අප්පුඩි ගහමින් වටේ නටන්නෙ හරි උජාරුවෙන්. පුංචි එකීගෙ නැටුම මිනිස්සු හිනාවෙවී බලං ඉන්නවා. නැටුමත් එක්ක දික්වෙන බෙලෙක්කයට කාසි වැටෙන්නේ බලං ඉඳිද්දී. වීටිං ගෙ නම ඇත්තටම මාටින්. වීණාමාටින් කල් යනකොට ඉබේටම වීටිං උණා ඉට්ටේසං කෑල්ලෙ පදිංචි අනෙක් උන් වීටිං කියලා මාටින්ට කතා කළා.

‘‘වීටිං අයියා................

‘‘කවුද..

‘‘මං චාලි..

‘‘මං මේ බැලූව කවුද කියලා චාලියනෙ යකෝ.. වීණාවී හිනාවෙලා කීව.

‘‘මොකෝ බං මේ ?” මෙහෙ ඉඳගනින්..

වීටිංගෙ ආරාධනාවට චාලියා රේල් පෙට්ටිය පහළ පඩියෙ ඉඳගත්තා.‘‘මං මේ වීටිං අයිය හම්බ වෙන්න හිටියෙ කාරණාවකට..

‘‘ඒ මොකෑ බං..

‘‘මමත් මේ ඩෝල්කිය ගහ ගහා බස්වල එල්ලිල සිංදු කියනවා. ඊට නාකද අපි කට්ටියම එකට එකතුවෙලා වැඬේ කොළාම. වැඩි ගානකුත් හොයාගන්න බැරි වෙන්නෙ නැහැ...

වීටිං මුකුත් කීවෙ නෑ.

‘‘අපිට සිංදුවට ඩෝල්කියක් තිබ්බොත් හොඳයි තමයි. චාලි මලයට සිංදු කියන්නත් ඇහැකිනෙ..

‘‘ඒක තමයි මං කීවේ වීණාවි අක්කෙ...

‘‘හ්ම් බලමුකො කල්පනා කරල. හෙට හවහට වරෙංකො...

චාලි ආපහු ගියේ සිකරැට් එකක් පත්තු කරගෙන දුං බෝල බෝල අරිමින්. සිකරැට් එකේ සුවඳ වීනාවිගේ නාස් දෙකෙන් ඇතුළටම ගියා.

‘‘චාලිය හොඳ එකා. ඩෝල්කියත් වැදෙනකොට සිංදුවෙ වටිනාකම වැඩියි. ඌ එක්ක යමු. හම්බු වෙන එකෙන් හතරෙන් කොටහක් දෙමු. ඌ කැමැති වෙයි. බස්වල රිංගුවට මිනිස්සු ඒ හැටි දෙන්නේ නෑ. අපි දවසට කීප පොළකම යන හින්ද අපිට මිනිස්සු ඉන්නව... වීණාවි කීවා. වීටිං නිස්සද්දව හිටිය.

ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට වීටිංල යන්නෙ කලාතුරකින්. එහෙමට ලෙඩක් නෑ. අව්ව” වැස්ස” කෑම” හැමෝටම හොඳටම පත්තියං. ඒත් ඇස් පෙනීම නැති වුනොත් හිඟාගෙනවත් කන්න ඇහැකියැ. දොස්තර මහත්තයත් එක එක ඒව ඇහුව.

‘‘කන්ඩ බඩගිනි එනවාද හොඳට..

‘‘හැමතිස්සෙම බඩගිනි මහත්තයො. ඒ මදිවට හැම තිස්සෙම දිය තිබාසෙ..

‘‘?ට කීපාරක් මුත‍්‍රා කරනවාද?..‘‘නින්දක් නෑ. හතර පස් සැරයක්..

‘‘මේ තුන්ඩුවත් අරගෙන 26 කාමරේට යන්න...

26 කාමරේ දොස්තර මහත්තය ඇස් බැලූව” මුත‍්‍රා බැලූව” ලේ බැලූව.

‘‘ඔහේට දියවැඩියාව තියෙනවා. ඇස් හොඳටම දුර්වලයි. මේ බෙහෙත් දිගට ගන්න ඕනෑ. මත්පැන්” දුම්පානය තහනම්. හොඳට ආහාර පාලනය කරගන්න ඕනෑ..

‘‘බේත් ටික හොඳට බොමු.. වීණාවි කීවා.

ඒත් මේ බඩ රස්සාව කරගත්තෙ නැත්තං හුලං බොන්නයැ.

ටිකෙන් ටිකම වීටිංගෙ ඇස් පෙනීම අඩු වුණා. චාලිත් ටිකෙන් ටිකම වීටිං

ගෙ කණ්ඩායමට එකතු වුණා. කණ්ඩායම හරි අපූරුවට ගැලපුණා. වීණාවි ලතා මංගේෂ්කරගෙ සිංදු කියන කොට චාලියගෙ ඩෝල්කිය අපූරුවට වැදුණේ වීටිංගෙ වයලින් හඬ යට කරගෙන. ඇස් පෙනීම දුර්වල උනත් වීටිංගෙ ඇඟිලි වයලීන තත් අතර හරියටම දිව ගියා. චාලිය කිව්වෙ මොහොමඞ් රාෆිගෙ සිංදු. චාලියය” වීණාවියි ඩුවල් කියන කොට ඩෝල්කියයි” වයලීනයයි හරි හරියට එකතු වුණා. කිංකිණිය ඉස්සරට වඩා හොඳට නැටුවා. ඒකි ඉට්ටේසම ළඟ තට්ටු ගෙදර ටී. වී. එකේ නැටුං බැලූවෙ රේල් පෙට්ටියට වෙලා. ඒවත් එක්ක කෙල්ල හරි හරියට නැටුවා. අපූරු නැට්ටුක්කාරි” පුංචි කිරිල්ලියක් වාගෙ.

වීටිං ගෙ ඇස් පෙනීම නැතුවම ගියා. වීණාවි එදා හොඳටම ඇඬුවා. පුංචි එකී වීටිංට කණවැල ඇල්ලූවා. වීටිංට එදා වයලීනයෙ එක් තතක් කැඩුණ වගේ දැනුණා. චාලිය ආපු එක හොඳයි කියල වීටිං ට හිතුණා. ඒ සමහර වෙලාවකට චාලිය වීණාවිට විහිළු තහළු කරල හිනාවෙනවා. වීටිං පේන්නෙ නැති වුණත් උං සංතෝසෙන් ඉන්න කොට පුංචි ඉරිසියාවක් ඇති වුණා. ඒත් මොකවත් කීවේ නෑ. ඌ ඉන්න එක ආරක්‍ෂාවට හොඳයිනෙ.

‘‘අප්පච්චි... අප්පච්චි නැගිටින්න...... පුංචි එකීගෙ කටහඬත් එක්ක වීටිං ඇඟමැලි කඩල කෙඳිරි ගගා නැගිට්ට. වීටිංගෙ ඇඟ තැලී පොඩි වෙච්ච ගාණට රිදෙනවා.

‘‘අප්පච්චි අම්ම නෑ......

‘‘කන්ඩ මොනව හරි ගේන්ඩ නානගෙ කඬේට යන්ඩ ඇති... වීටිං කීව.

තත්පර විනාඩි පැය ගෙවෙමින් පැවතුණා. ඉර අව්ව රේල් පෙට්ටියට වැඩියෙන් පායල වගේ. වීණාවි නෑ.

‘‘අප්පච්චි බඩගිනියි....

‘‘මේ සල්ලි අරගෙන නානගෙ කඩෙන් ආප්ප අරං වරෙං. එන ගමන් චාලි මාමට කතා කරපං...

කෙල්ල ආප්පත් අරං ආව

‘‘චාලි මාම නෑ තාත්තෙ..

‘‘ඒකත් එහෙමද?.. වීටිංගෙ පපුව හෝස් ගාල ගියා. වීටිං නිකමට වගේ හිතුව යමක් සිද්ධවෙලා. ‘‘මං පොට්ට වුනායින් පස්සෙ දැන් වැඩක් නෑනෙ. දියවැඩියා කාරයනෙ. මේ කෙල්ල ගැනවත් හිතන්ඩ එපායැ” කරුමෙ. වීටිංගෙ හිත ඇතුළෙං කැකෑරුණා. පුංචි එකී ළං කරගෙන තුරුලූ කරගත්තා.

‘‘පුතේ අම්ම ආයෙ එන එකක් නෑ. මයෙ පුතයි මායි ඉමු...

‘‘හ්ම්.. පුංචි එකීට තේරිලද නොතේරිලද මන්ද හ්ම් කීව. වීටිං ට වයලීනයෙ තවත් තතක් ගැලවිලා ගියා වාගෙ බරට දැනුණා. වයලීනය වැයුවට හඬ නෑ. වීටිංගෙ හෙවනැල්ල මැකුණ වාගෙ” අවුරුදු විස්සක දීගෙ. ඇතුළු හිත ඇතුළෙ කඳුළු කඩා හැළුණා.

වීටිංගෙ කණවැල අල්ලගෙන කිංකිණියා ඉස්සර වුණා. ඩෝල්කිය නැති වුනාට කිංකිණියගෙ ගැයුමයි නැටුමයි එක්ක වයලීනයේ හඬ වැළපෙමින් ගැලපුණා. හැමතැනම ගියේ නෑ. ඉස්පිරිතාලෙට හැරෙන හංදියේ නුග ගහ ළඟ කිංකිණියගෙ නැටුම් බලන්න මිනිස්සු එකතු වුණා. වීනාවිගෙ කටහඬ පරද්දන්න අපූරු කට හඬක් කිංකිණියාට පිහිටල තිබ්බ. උංගෙ අම්ම වාගෙම මංගේෂ්කාර්ගෙ සිංදුවලට ඒකි දස්සයි. අම්ම නැති එකීට වීටිංගෙ ආදරේ අඩු වුණේ නෑ. කෙල්ල ලොකුමේනි වුණේ බලාන ඉද්දි. ඒ රූපෙ දකින්න වීටිංට වාසනාව නෑ. ඒත් වඬේ කරත්තෙ සෝමෙ කිංකිණියගෙ ලස්සනට වහ වැටිල.

‘‘වීටිං මාමෙ මේන් මේ වඬේ ටිකයි තේ ටිකයි නංගිත් එක්ක බොන්න... සමහර දවසකට සෝමෙ වීටිං ළඟටම ගෙනත් දෙනවා.

‘‘නංගි මං යනවා. අප්පච්චිට තේ දෙන්න...

කෙල්ල මොකුත් කීවේ නෑ. ඒත් කට පුරා හිනා වුණා සෝමෙට හරි සතුටුයි.

‘හරි අපූරුයි වඬේ.. වීටිං වඬේ කෑල්ලක් හපමින් කීව. ‘‘ඔය සෝමෙ සෙබස්තියන්ගෙ පුතානෙ. සෙබස්තියන් ගෙ කං ඇහෙන්නෙ නෑ. කෝච්චියෙ හැප්පිලනෙ මැරුණෙ. වීටිං කිව්වේ කිංකිණියට ඇහෙන්න.

වීටිංට වීණාවි මතක් වුණා. උන්නෙ අම්මත් හිටිය නං කිංකිණියගෙ තනි නොතනියට හොඳයි. ඇස් නොපෙණුනත් කෙල්ල ගැන අනෙක් උන් කියන කතා වීටිංට ඇහෙනව.

‘‘වීටිං අයියෙ” කිංකිණියා හරිම සිරියාවන්තයි. උඹට බැරි වුණ දාට කෙල්ල සලකයි... බුලත්විට සුමනා කියන කොට වීටිංට හරි සතුටුයි.

වීටිංලගෙ ජීවිතෙත් උදේට පායන ඉර හවහට රතුවෙලා මූදෙ ගිලිල හැංගෙනව වගේ ඔහේ ගෙවුන.

එක දවසක් වීටිංගෙ අන්ධ නෙත්වලින් ලෝකෙ රතුපාට උනා දැක්ක.

‘‘ආ වීටිං අයියා...

‘‘හ්ම් සෙලෙස්තිනා..

‘‘ආ කිංකිණියා වඬේ සෝමයත් එක්ක පැනල ගිහිං..

වීටිංග මූණ බිමට නැඹුරු වුණ. කඳුළු පිටාර ගැලූව. වයලීනයේ අවසාන තතත් බිඳුන බව දැනුණා. හිතට ලොකු බරක්” ලෝකෙම හිස්වෙලා. කිංකිණියගෙ හඬ රේල් පෙට්ටියේ නෑ.

වීටිං වයලීනයත් අරං සුදු සැරයටියෙන් පාර හොයාගෙන ඉස්පිරිතාලෙ හංදියෙ නුග ගහ යටට ආවා. වෙනදා වගේ ගී හඬ ඩෝල්කි හඬ නෑ. නැටුම් නටාපු කිරිල්ලිත් නෑ. වයලීනයේ තත් සියල්ල සිඳිල. වීටිං ගොරෝසු හඬින් සිංදුවක් කියමින් වයලීනය වැයුවා. ඒත් ඒ ගොරෝසු හඬ අහන්න කවුරුවත් නතර වුණේ නෑ. වයලීනයේ හඬත් ගොළුවී තිබුණා.
 

නයනසිරි තිලකරත්න
විශ‍්‍රාමික පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ (වයඹ)


 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles