Divaina - සිවිල් සංවිධාන අතරමං වී සාධාරණ සමාජය සැගවීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

sathyagrha


පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අනුස්මරණය කරමින් පාර්ලිමේන්තුවට නුදුරින් ප‍්‍රතිෂ්ඨාපනය කළ සාධාරණ සමාජයක අපේක්ෂාව නම් වූ ස්මාරකය පසුගිය ජුනි 25 වැනිදා විවෘත කෙරුණේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙනි. ඒ සඳහා කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමැති පිරිසක්ද සහභාගිව සිටියහ. 2017 නොවැම්බර් මස 08 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම ස්මාරකයට මුල්ගල් තිබ්බද විවෘත කිරීම සඳහා ඔහුට ආරාධනා කර නොතිබිණි. මන්ද ඒ වන විට මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ කමිටුවට මෙන්ම සාධාරණ සමාජය ඇතුළු සිවිල් සංවිධානවලට ජනපතිවරයා වහ කදුරු මෙන් විය. විශේෂයෙන්ම 2018 ඔක්තෝබර් මාසයේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට ජනපතිවරයා කටයුතු කිරීම මේ සිවිල් නායකයින් සිහිනෙන් හෝ ප‍්‍රර්ථනා කළ දෙයක් නොවීය. නමුත් එය සිදු විය. එනිසාම සාධාරණ සමාජයට ලොකුම ද්‍රෝහියා වූයේ මහින්ද නොව මෛත‍්‍රීය. යහපාලනයේ සැබෑව දකින්නට එහි ගිනි කෙළි දකින්නට සෝභිත හිමියන්ට වාසනාව උදා වූයේ නැත. මන්ද යහපාලනය උදාවී මාස දහයක් ගතවන විට උන්වහන්සේ අපවත් විය. ඒ 2015 නොවැම්බර් 08 වැනිදාය. ඇත්තෙන්ම පොදු අපේක්ෂකයා සමාජ සාධාරණත්වය ඉටුකරන අයුරු දකින්නට නොහැකිවීම උන්වහන්සේගේ පැත්තෙන් වාසනාවකි. මන්ද එය සාධාරණ සමාජය දූෂණය කිරීමකි. රාජපක්ෂ විරෝධය වඩා හොඳින් සමාජ ගත කිරීමට හැකි වූයේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හරහාය. ඒ විධායකය අහෝසි කිරීම යන සටන් පාඨය ඔස්සේය. එදා කොටි මර්දනය කිරීමට එරෙහි බලවේගද මේ සිවුර පිටුපස සැඟවී සිටියහ. 2015 පසු ස්ථාවර රට අස්ථාවර වීම ගැන සෝභිත හිමියන්ද වග කිව යුතුය. එදා වෙනසකට රැවටුණු පිරිස අද හංසයාගේ බෙල්ල ඉල්ලති. ඇත්තෙන්ම රාජපක්ෂ රෙජීමයට එරෙහිව සාධාරණ සමාජය පිළිබඳ කතිකාව හොඳ සටන් පාඨයක් වුවද එය පොළොව මත ක‍්‍රියාත්මක කළ හැකිවේද යන්න ගැන සෝභිත හිමි කල්පනා කළාද යන්න ප‍්‍රශ්නයකි. දැන් සියල්ල සුළඟට ගසා ගෙන ගොස් ඇත. සෝභිත හිමි ඇතුළු සිවිල් සංවිධානවල බලවත් ඉල්ලීම මත සම්මත කළ
 
 19 වැනි සංශෝධනයෙන් ජනපතිගේ තටු කැපිනි. රට කරන්නට තිදෙනෙක් බිහි විය. කථානායකවරයාට ද කොමිෂන් සභා හරහා පොලිසියට අතපොවන්නටද හැකිවිය. එදා මහා උජාරුවට සම්මත කළ 19 ගැන වර්තමානයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසන්නේ කුමක්ද? මෙය වහා අහෝසි කළ යුතු බවය. කලක් ගතවී හෝ ඔහුට ප‍්‍රඥාව පහල වී ඇත. ජනපති ධුරයෙන් සමුගත්තද දේශපාලනයෙන් සමුනොගන්නා බව පසුගිය සතියේ පැවසුවේ කවර හේතුවට දැයි අපි නොදනිමු.
 
 පසුගිය ජුනි 25 වැනිදා සාධාරණ සමාජයක අපේක්ෂාව නම් වූ ස්මාරකය විවෘත කරමින් විශේෂ දේශනය පැවැත්වූයේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් කැඳවුම්කරු ලෙස කටයුතු කරන මහාචාර්ය සරත් විජේසූරිය මහතාය. එම දේශනය පවත්වමින් ඔහු මෙසේ ප‍්‍රකාශ කර සිටියේය.
 
 ‘‘2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව වත්මන් පාලකයන් දෙදෙනාටම යහපාලන ආණ්ඩුව ගොඩනඟන ලද මුල්ම අවස්ථාවේදී සෝභිත හිමියන් ‘දසවැදෑරුම් යෝජනාවලික්‘ ඉදිරිපත් කළා. එම යෝජනාවලිය” නායකයන් දෙදෙනාම උන්වහන්සේට දණ නමා බුහුමන් කොට ඒ භාර ගත්තා. එපමණයක් නොවෙයි. භාරගෙන එම යෝජනාවලිය නොපමාව යථාර්ථයක් බවට පත් කරන බවට තිරසර අන්දමින් ප‍්‍රතිඥා ලබා දුන්නා. එනමුත් එසේ ප‍්‍රතිඥා ලබාදී ඒ ප‍්‍රතිඥා ඉටු කිරීමට අධිෂ්ඨානශීලීව ඔවුන් කැප වුණේ නෑ. ඒ යෝජනාවලියෙන් සෝභිත හිමියන් අපේක්ෂා කළ සාධාරණ සමාජයෙහි තිබිය යුතු ගති ලක්ෂණ පැහැදිලි කර තිබෙනවා.” මේ දේශනය හරහා මහාචාර්යතුමා ප‍්‍රකාශ කර සිටියේ යහපාලනයෙන් ඉටුනොවුණු අපේක්ෂාවන් පිළිබඳවය. ඒ ගැන ඔහු ඉමහත් කම්පාවෙන් කතා කරන බව පෙනිණි‘ කෙසේ නමුත් මේ සිවිල් සංවිධානවල අපේක්ෂා මුදුන් පත්වූවා නම් ලංකා රාජ්‍ය ඉතුරුවන්නේ නැති බව පැහැදිලිය. විශේෂයෙන් මොවුන් අපේක්ෂා කළ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ලොප් වී කුඩු පට්ටම් වීම නම් ඉතා හොඳය. එය ඉදිරිපත් වූවා නම් 19 වැනි සංශෝධනයෙන් සිදු වූ හානියටත් වඩා විශාල විනාශයක් සිදුවන්නට ඉඩ තිබිණි‘ සෝභිත හිමි ඉදිරියට දමා පාර කැපුණේ අනාගමික රාජ්‍යයකටය.
 
 2015 දී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව මුලින්ම ප‍්‍රකාශ කර සිටියේද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසිනි. ඒ අනුව
 
 පසුගිය ජනපතිවරණ සමයේ ඔවුනට තිබුණු බලය පැහැදිලි වෙයි. නමුත් මෙවර ජනපතිවරණයේදී සාධාරණ සමාජය ඇතුළු පුරවැසි සංවිධානවලට සිදුව ඇත්තේ කුමක්ද? ඔවුන් අතරමංවීම නොවේද? මේ පිරිස එදා සිටම ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධ බව අමුතුවෙන් කිව යුතු නැත. මොවුන් කිසිම විටක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය පතන්නේද නැත. මොවුන් මහින්ද රාජපක්ෂ මහතාටත් වඩා එරෙහි වන්නේ ගෝඨාභයටය. පාස්කු දින සිදුවූ ප‍්‍රහාරයෙන් පසු දේශපාලන වුවමනාවන් උදෙසා ජාතික ආරක්ෂාව ඉස්මතු කරගෙන ගෝඨාභය මහතා ඉදිරියට ගෙන ඒමෙන් සිදුවන්නේ දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළපල්ලට යැවීම බව පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පසුගිය දිනක මාධ්‍ය හමුවේ පවසා තිබිණි‘ මොවුන්ට ජාතික ආරක්ෂාවට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැදගත්ය.
 
 ගෝඨාභයගේ පුරවැසිකම ගැන සොයන්නට උසාවි ගියෙත් මොවුන්ය.
 
 මේ සියලූ සිවිල් සංවිධානවල එකම තේරීම වූයේ කථානායක කරු ජයසූරිය මහතාය. තමා ජනපතිවරණයට ඉදිරිපත් වුවහොත් ‘‘ජාතික සමගිය ගොඩනැංවීමට” මුල් තැන ලබා දෙන බව කථානායකවරයා ප‍්‍රකාශ කර තිබිණි‘ එය මේ සිවිල් සංවිධානවල ප‍්‍රමුඛ සටන් පාඨයකි. නමුත් එජාප අපේක්ෂකත්වය ලැබුනේ සජිත් පේ‍්‍රමදාස මහතාටය. එජාපයේ ජනප‍්‍රියම නායකයාට අපේක්ෂකත්වය හිමිවිය. නමුත් මේ ගැන සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් නම් සතුටු නැත. කරුට උපදෙස් දෙන්නට යන අයුරින් සජිත්ට උපදෙස් අනුශාසනා දෙන්නට හැකිවන්නේ නැත. එජාප නායකයා පවා දෙන මේ සිවිල් සංවිධාන දුරස් කර තබා ඇත. ඔවුනට සිටි එකම ගැලවුම් කරු වූයේ කථානායකවරයාය. නමුත් දැන් ඔහු තරගයෙන් ඉවත්ව තිබේ. කෙසේ නමුත් කරුට වඩා රනිල් වික‍්‍රමසිංහ ජනප‍්‍රියය. මේ සිවිල් බලය ලොප් වී බිඳ වැටීම රටට යහපතකි. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව සිය ස්ථාවරය බව කථානායකවරයා මුල සිටම ප‍්‍රකාශ කළද සජිත් එවැන්නක් කියන්නේ නැත. එනිසා සාධාරණ සමාජ කණ්ඩායම සජිත්ට අකමැතිය. මීට සති දෙකකට පමණ පෙර සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ මහා ලේකම් පාලිත ලිහිණිය කුමාර බීබීසී සිංහල සේවයට මෙලෙස ප‍්‍රකාශ කර තිබිණි ”2015 ජනාධිපතිවරණය දිනුවේ සෝභිත හිමි ප‍්‍රමුඛ අපේ බලවේගය නිසා. එදා 62 ලක්ෂයේ ඡන්ද පදනම ශක්තිමත්ව තිබුණා. එදා අපි එක්ක හිටපු සියලූ පක්ෂ” පාට ලකුණු පරදා හංසයා ලකුණයි පෙරට ආවේ. අපි මෙතැනදී මැදිහත්වෙන්නේ පක්ෂ අර්බුදයකට වඩා අපි පිළිගන්න මහජන අරමුණු සමග ඉදිරියට යන එකම නායකයා කරූ ජයසූරිය නිසා. දැන් ජනාධිපතිවරණයෙන් පස්සේ තිබුණ ඡන්ද විමසීමේදී එක් වෙලා හිටපු අය වෙන් වෙලා තරග කරානේ. මොකද වුණේ? අපිට මෛත‍්‍රී ජනාධිපති එක්ක සන්ධාන ගතවෙලා තේරුමක් නෑ. එතන තිබෙන්නේ ඡන්ද ලක්ෂ 15 ක් විතර. සජිත් කවදාවත් කියල නෑ අපේ අරමුණු එක්ක සිටින බව. පක්ෂයට සජිත් හොඳ බලාපොරොත්තුවක් වෙයි. ඒත් අපිට වැඩක් නැහැ. අපේ අරමුණ කරු”මේ සිවිල් සංවිධාන සමග එක්ව සිටි වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා එජාප අපේක්ෂකයා අතහැර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා දිනවීම සඳහා එක්වන බව ප‍්‍රකාශ කර තිබේ. ඇත්තෙන්ම එතුමාගේ බරපතල අවශතාවයක් වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද ඉදිරිපත් කිරීමට නොහැකි විය. ඒ කනගාටුවත් ඔහු තුළ ඇති නිසා විධායකය අහෝසි කිරීම වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස හැර ගොස් ඇත. ‘හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගනිමු. මැයෙන් කාලයක් වීදි බැස උද්ඝෝෂණය කළ මෙම සිවිල් සංවිධාන ඉදිරියේදී තම අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක වැළඳ ගැනීම වැළක්විය නොහැක. එවිට දිගටම සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කරන්නටද මේ සිවිල් මහත්වරුන්ට හැකිවනු ඇත. ඒ උද්ඝෝෂණ දැකීම තානාපති කාර්යාල වලටත් සහනයක් වනු ඇත.
 
 
 
 චතුර පමුණුව
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles