Divaina - රජුගේ දිවි බේරූ තරුණයා රජු අණින්ම මැරුම් කයි... දෙවැනි රාජසිංහ රජු ගැන රොබට් නොක්ස් දක්වන කතා පුවතක්....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

rajuge1

             ඒ දෙවැනි රාජසිංහ රජු (ක‍්‍රි. ව. 1636- 1687) උඩරට රජ කරන අවදියයි. මෙකල මුහුදේ දී කැඩුණු ඉංග‍්‍රීසි නැවක් අලූත්වැඩියා කිරීමට ඉංග‍්‍රීසි නැව ත‍්‍රිකුණාමල වරායට පැමිණියේය. ඉංග‍්‍රීසි නැවියන් ඔත්තුකරුවන් බව සැක කළ රජු ඔවුන් අල්ලා උඩරට තැනින් තැන ගම්මානවල සිර කරවීය. දිගු කලක් සිරේ සිටි සමහරු හිරෙන් නිදහස්ව ලාංකික කාන්තාවන් පාවා ගෙන ලකාවේම පදිංචි වූහ. එහෙත් රොබට් නොක්ස් තම පියා සමඟ තැනින් තැන සිර කර සිටියදී පියා මියගියේය. අවුරුදු දහඅටක් උඩරට සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් ඉන්පසු උතුරට ගමන් කොට ලංකාවෙන් පලාගොස් එංගලන්තයට සේන්දු වී උඩරට රාජධානිය ගැන වටිනා ග‍්‍රන්ථයක් ලියා ඇත.

 
 රොබට් නොක්ස්ගේ ග‍්‍රන්ථයේ මුල් ඉංග‍්‍රීසි පිටපත් අද සොයා ගැනීම ඉතා අසීරුය. මුල් මුද්‍රණයේ පිටපතක වටිනාකම අද ඉතා විශාලය. පසු කල ඉංග‍්‍රීසි නිබන්ධ කතාවක් වූ ගලිවර්ගේ චාරිකා ග‍්‍රන්ථය ලිවීමට කර්තෘට මුල් වී ඇත්තේ රොබට් නොක්ස්ගේ උඩරට විස්තරයයි. ගුණසේන සමාගම පළ කළ ඬේවිඞ් කරුණාරත්න පරිවර්තනය කළ ‘එදා හෙළදිව’ රොබට් නොක්ස්ගේ ඉංග‍්‍රීසි ග‍්‍රන්ථයේ සිංහල අනුවාදයයි. දෙවැනි රාජසිංහ රජු ගැන ඉතා රසවත් තොරතුරු - සිද්ධි - ගති පැවතුම් - රොබට් නොක්ස් විස්තර කරයි. මෙහි දැක්වෙන්නේ දෙවැනි රාජසිංහ රජු ගැන රොබට් නොක්ස් දක්වන කතා පුවතකි.
 
 දෙවැනි රාජසිංහ රජු වැඩිපුර ජීවත් වූයේ නිළඹ නුවරයි. ඒ හේවාහැට කිට්ටුව පිහිටා ඇත. මහවැලි ගෙඟ් දිය නෑමට ගිය රජුට රටවැසියා තමාට සැබවින්ම ලෙන්ගතු දැයි සොයා බැලීමට රජු කල්පනා කළේය. (රජුන් බොහෝ විට තොරතුරු ලබා ගත්තේ ඒ ඒ ප‍්‍රදේශවල දිසාවේවරුන් හා රටේ මහතුන්ගෙන් රාජ සභාවේදීය. උඩරට දිසාවල් හා රටවල් විසි එකක් විය. ඒ ලබා ගන්නා තොරතුරු සැබෑ දැයි සොයා බැලීමට රජුම වෙස්වලාගෙන තනිව රටේ ඇවිදීම රජුගේ පුරුද්දක් විය.) මහවැලි ගෙඟ් දිය නාමින් සිටි රජු දිනක් ගඟදියේ ගිලෙන බව අඟවා තමා බේරා ගන්නා ලෙස කෑ ගසමින් උදව් ඉල්ලා සිටියේය. රජු දිය නෑ තොට අවට එතෙර මෙතෙර යෑමට ගංතොට අද්දර කීපදෙනෙක් නැවතී සිටියහ. රජු ගෙඟ් ගිලී යන බව පෙන්වමින් හිස ගංදියේ යට කරමින් නැවත තැනකින් හිස මතු කරමින් හඬ නඟා උදව් ඉල්ලා සිටින්නට විය.
 
 ‘‘වතුර පාර හරිම සැරයි. සැඩපහර දරුණුයි. පීනන්න අසීරුයි. සීතලට අපේ අත් පා ගල් ගැහිලා. පීනන්න හොඳටම අසීරුයි. අපව බේරාගන්න. අනේ බේරගන්න කවුරුත් නැද්ද?’’
 
 රජුගේ විලාප හඬ අසා ගංඉවුර හා ඒ අවට සිටි බොහෝ දෙනෙක් තොටුපළට පැමිණ නිකටට අත තබා ගෙන දුක් වන්නට වූහ. මැදිවියේ ගැහැණු ඉකිබිඳින්නට වූහ. ගතවූයේ සුළු මොහොතකි. හිස සිට දෙපතුළට මනාව වැඩුණු සිරුරක් ඇති තරුණයෙක් ගං ඉවුරට පැමිණ සෙනඟ පීරාගෙන ඉදිරියට පැමිණ දියේ ඇදී යන රජු දෙස බලා සිටීමට විය බොර පාර ගඟ දියේ යටින් පාවී යන රාජ රූපය දුටු තරුණයා මොහොතක ප‍්‍රමාදයක් නැතිව දියට බැස පීනා යෑමට විය.
 
 ගඟ දියේ යටින් පාවී යන රජු අල්ලා තම උරහිස මතට තබා ගත් තරුණයා රජු පිට මත තබා ගෙන ගඟ දිය පීරමින් සැඩ ගංදිය කළඹමින් ඉවුරට ඇදෙන්නට විය. ගෙඟ් සුදු වැලි තලාවේ රජු ඔසවා ඉන්ද වූ තරුණයා තමා කළ වීර ක‍්‍රියාව වෙනුවෙන් රජුගෙන් ලැබෙන තාන්න මාන්න බලාපොරොත්තුවෙන් රජුගේ පාමුළ වැඳ වැටී නමස්කාර කළේය. අවට පිරී සිටි පිරිස ඊළඟට සිදුවන්නේ කුමක් දැයි දැන ගැනීමට කුතුහලයෙන් වැල්ල වටා එක්රොක් වූහ.
 
 ‘‘තොපගේ ගම රට කොහිද?’’
 
 රජු තරුණයාගෙන් විමසුවේය.
 
 ‘‘දේවයන්වහන්ස, යටිනුවර.’’
 
 ‘‘මේ සෙනඟ ඉදිරිපිට තොප කළ වීර ක‍්‍රියාට රජ වාසල ප‍්‍රශංසාව හිමිවෙනවා. එහෙත්..... එහෙත්.. ගැටලූවක් ඇත. කිසිම බියක් සැකක් නැතිව රාජකීය ශ‍්‍රී දේහයට අත ගැසීමෙන් තොපකර ඇත්තේ බලවත් රාජ්‍ය ද්‍රෝහීකමකි. රාජකීය දේහයට අත තැබීම සපුරා තහනම් බව තොප දන්නවාද?’’ තරුණයාගේ ඇඟපත ඩහදියෙන් තෙත් විය.
 
 ‘‘අහෝ! දේවයන් වහන්ස, ඒ තරම් දුර දිග හිතුවේ නැත. කළ වරදට සමාවුව මැනවි.’’
 
 ‘‘කිසිම බියක් සැකක් නැතිව රාජකීය ශ‍්‍රී දේහයට අත තැබීමේ වරදට මොහුගේ හිස ගසා දමා මරව...’’
 
 රජු ගින්දර විහිදෙන ඇස් තරුණයා දෙසට යොමු කරමින් අණ කළේය. රජු සමඟ ගංඉවුරට පැමිණ සිටි රාජපුරුෂයෝ දෙදෙනෙක් සෙනඟ පීරාගෙන ඉදිරියට පැමිණියහ. තරුණයාගේ දෑත් පිටුපසට කර අල්ලා ගත් ඔහු ගෙඟ් සුදුවැල්ලේ කෙළවර තරුණයා දණ ගැස්සුවේය. එක් අයකුගේ කඩු පහරින් තරුණයාගේ ගෙල එක් කඩු පහරින්ම කඳෙන් වෙන් වී ගියේය. හිස සුන් කඳෙන් ගලා ගිය ලේ ධාරාවලින් සුදු ගංවැල්ල රතු පාට විය. සෙනඟ හිස් බිමට හරවා ගෙන රහසේ ඉකිබින්දාහ.

 වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ
 එස්. කේ. ජයවර්ධන
  


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles