Divaina - සිංහල ත‍්‍රිපිටකය නිරවුල්ද.... බුදුහාමුදුරුවෝ ඉන්දියා වේද.... සංවාදයට විවෘතයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

thripitaka1



මෙම සංවාදය සම්බන්ධව කරුණු ස්වල්පයක් දක්වන්නට පෙර දැක්විය යුතු කරුණක් ඇත. එනම් පෙර ලිපිවල කොත්මලේ ස්වාමීන් වහන්සේ විසින් මීවනපලානේ ස්වාමීන් වහන්සේව ශ‍්‍රමණ ප‍්‍රතිරූපකයා යනුවෙන් හඳුන්වා තිබීමයි. එක් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විසින් තවත් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට එසේ ආමන්ත‍්‍රණය කිරීම ඉතාම අශෝභනය. එහිදී ශ‍්‍රමණ ප‍්‍රතිරූපකයෙක් හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද, මීවනපලානේ ස්වාමීන්් වහන්සේගේ එම ලක්ෂණ තිබේද, ඒවා මොනවාද, යන්න සඳහන් කළයුතුව ඇත. මෙහිදී සඳහන් කළයුතු කරුණක් ඇත. භික්ෂුන් වහන්සේ නමක් නම් අනිවාර්යයෙන්ම බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි වී තිබිය යුතුය යන මතය අපට පිළිගත නොහැකි බවයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ භික්ෂුන් වහන්සේ රටේ රජතුමා ළඟ ලියාපදිංචිවූ බවක් කොහේවත් සඳහන්ව නැත. ලංකාවේ බුද්ධශාසනය රජයට හෝ බුද්ධශාසන අමාත්‍යාංශයට අයත්වූවක් නොවේ. මහනායක හාමුදුරුවරුන්ට අයත්වූවක්ද නොවේ. මීවනපලානේ ස්වාමීන් වහන්සේ කොයියම් ආකාරයකින් හෝ පැවිදි වී ඇත. තමන් උපැවිදි වුවහොත් හැර පැවිදි වූ කෙනෙකුගේ භික්ෂුත්වය රජයට හෝ වෙනත් කිසිවෙකුට හෝ අවලංගු කළ හැකි යයි නොසිතමි. කරුණු එසේ හෙයින් එම අපහාසාත්මක හැඳින්වීම රෝම ලන්දේසි නීතිය ඉදිරියේ කෙසේ වෙතත් සදාචාරය ඉදිරියේ අයහපත් වැඩකි.

කොත්මලේ ස්වාමීන් වහන්සේ විසින් තේරුම් ගතයුතු තවත් කරුණක් ඇත. එනම් උන්වහන්සේ විසින් ශ‍්‍රමණ ප‍්‍රතිරූපකයෙක් වශයෙන් හඳුන්වන මීවනපලානේ ස්වාමීන් වහන්සේ වෙත වැඳ නමස්කාර කරන දෙස් විදෙස් ලක්‍ෂසංඛ්‍යාත පිරිසක් ඇති බවය. ඔවුන් වැඩිදෙනෙක් උගත් බුද්ධිමත් උසස් රැකියාවල නියුතු අය බවය. ඔවුන් නිකරුනේ කාටවත් නොවඳින අය බවය. උන්වහන්සේ වෙන ඇඳුමකින් සැරසී ධර්ම දේශනා කළත් මිනිසුන් පැමිණ බණ අසන බවය. ටී. වී. චැනල් නැතත් ගුවන් විදුලි ධර්ම දේශනා නැතත් පෝය දිනයකදී කොපමණ පිරිසක් එහි රැස්ව බණ අසන්නේදැයි පැමිණ බලන්නේ නම් මැනවි.

හාමුදුරුවරුන්ගේ මහණකම ගැන අපට ප‍්‍රශ්නයක් නැත. මීවනපලානේ හාමුදුරුවන්ට මහණකම නැත්නම් උන්වහන්සේ බුද්ධ ධර්මයට අනුව විපාක විඳිනවා ඇත. හාමුදුරුවන්ගේ මහණකම ගැන හාමුදුරුවෝ බලාගන්නවා ඇත. අපට ඒවායින් ඇති වැඩක් නැත. අපට අවශ්‍ය බණය. සඳහන් කළයුතු තවත් කරුණක්වන්නේ බුද්ධ ධර්මයට අනුව සංඝ යනුවෙන් හඳුන්වන්නේ සිවුරු පොරවා සිටින අය පමණක් නොවන බවය. බුද්ධ ධර්මයට අනුව දරුවන් පිරිවරාගෙන රන් අබරණ පැළඳ ගිහිගෙයි සිටියමුත් සෝවාන් ඵලයට පත්ව සිටි විශාකාව සංඝයා වහන්සේය. දාරුචීරිය රහතන් වහන්සේ රහත්ඵලයට පත්වන විට සිට ඇත්තේ ගස්වල පොතුවලින් තැනූ ආවරණයක් ඇඳගෙනය. එබැවින් කොත්මලේ ස්වාමීන් වහන්සේට මතක් කළයුතුව ඇත්තේ ලෝකයට විහිළු සැපයීමෙන් වළකින ලෙසය.

කොත්මලේ ස්වාමීන් වහන්සේගේ දෙවන ලිපියේ කෘෂිකර්ම උපාධිධාරීහු පුරාවිද්‍යාව කථා කරති. විදුලි ඉංජිනේරුවෝ භාෂා ඉතිහාසය සහ ඉතිහාසය කථා කරති. ලොරි ඩ‍්‍රයිවර්ලා සෙල්ලිපි කියවති. යනුවෙන් අරුමපුදුම කරුණු දැක්වීමක් කර ඇත. ආයුර්වේදය ඉගෙනගත් අය ඉංග‍්‍රීසි බෙහෙත් දෙති. විවාහ සහතිකයක් නැති ගැහැණුන් දරුවන් වදති. ආදිය එහි සඳහන් කරන්නට අතපසු වන්නට ඇත.

මෙම ලිපියේ ප‍්‍රධාන අරමුණ බුද්ධ ධර්මය විකෘතිකිරීම සම්බන්ධව අදහස් දැක්වීම නොවේ. එය මෙවැනි ලිපියකින් පැහැදිලි කිරීමට නොහැකි තරම් විශාල මාතෘකාවක් බැවිනි. බුද්ධ ධර්මය විකෘති කිරීම ගැන ධර්ම කරුණු යන්තමින් මෙහි දැක්වීම එතරම් තේරුමක් නැති බැවිනි. ඒවා දක්වනවා නම් අර්ථ විස්තරාත්මකව දැක්විය යුතු බැවිනි. එහෙත් ඒ සම්බන්ධව සරල කරුණක් දෙකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමි.

thripitaka2අපට පොඩිකාලයේ උගන්වා ඇති අප සෑම දෙනාම එසේ වූවා යයි සිතාගෙන සිටින ගීත පවා නිර්මාණය කර ඇති චිත‍්‍ර ඇඳ ඇති මහබිනික්මන ගැන පාසල්වල උගන්වන්නේ සත්‍ය කරුණුද යන්න විමසා බලමු. වැඩිහිටියන් ගුරුවරුන් ස්වාමීන් වහන්සේ උගන්වන්නේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් පිටත්වුණේ හැමෝටම හොරෙන් රහසෙන් බවයි. අනෝමා ගං තීරයේදී කඩුවෙන් කෙස්කපා දෙවියන් දුන් සිවුරු ඇඳගත් බවයි .

නමුත් ති‍්‍රපිටකයේ අරිය පරියේෂණ සූත‍්‍රයේ එවැනි කිසිවක් සඳහන්ව නැත. එහි ඇත්තේ ‘මවුපියන් අකැමැත්තෙන් කඳුළු පිරි මුහුණින් හඬද්දීම කෙස් රවුළු කපා කහවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිදිවීමි’ යනුවෙනි මහා සච්චක සූත‍්‍රයේ සඳහන්ව ඇත්තේද එසේමය. එම සුළු කරුණු පවා වෙනස්කර තිබියදී මහ කරුණු ගැන කවර කතාද? පාලි ති‍්‍රපිටකය නිර්මලව ඇතත් සිංහල ති‍්‍රපිටකය නිරවුල්ව නැතිබවට බොහෝ උදාහරණ දැක්විය හැක. එක් උදාහරණයක් පහත දක්වමි.

වැදගත් සද්ධර්ම කරුණු රාශියක් සඳහන්ව ඇති මජ්ජිම නිකායේ මහාචත්තාරීසක සූත‍්‍රයේ කොටසක් සලකා බලමු.

එහි සඳහන් ‘සම්මාදිට්ඨිං චේ භවං ගරහති යේච මිච්ඡුාදිට්ඨි සමණබ‍්‍රාහ්මණා තේ භෝතෝ පුජ්ජා තේ භෝතෝ පාසංසා’ යන කොටසෙහි ඇත්ත තේරුම සම්මා දිට්ඨියට ගරහන අන්‍යවූ ශ‍්‍රමණ බ‍්‍රාහ්මණාදීන් මිත්‍යාදෘෂ්ටිකයන් බැවින් ඔවුන් පූජාවට හෝ ප‍්‍රශංසාවට නුසුදුසු බවයි.

එනමුත් සිංහල ති‍්‍රපිටකයේ එය දැක්වෙන්නේ ‘ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම් යම් මිසදුටුගත් මහණ බමුණු කෙනෙක් ඇද්ද ඔහු භවතුන් විසින් පිදිය යුත්තෝ වෙති’ යනුවෙනි.

ඒ අනුව සිංහල ති‍්‍රපිටකයේ ඇත්තේ කුමක්ද ‘සම්‍යක් දෘෂ්ටිය ගරහානම් ඔවුන් පිදිය යුත්තෝය. සම්‍යක් සංකල්ප ගරහානම් ඔවුන් පිදිය යුත්තෝය. සම්‍යක් විමුක්ති ගරහානම් ඔවුන් පිදිය යුත්තෝය.’ ආදී වශයෙනි. ඒවා බුද්ධ ධර්මයද මෙවැනි තැන් රාශියක් ඇත. මහ පිරිත්පොතේද මෙවැනි දේ ඇත. උදාහරණයක් ලෙස එහි ධම්මචක්ක පවත්තන සූත‍්‍රයේ තිපරිවට්ටං යන්නෙහි සිංහල පරිවර්තනය දක්වා ඇත්තේ ති‍්‍රපරිවෘත්තයක් ඇති යනුවෙනි. ගණිතය පාඩමක් යයි සිතුවාද දන්නේ නැත. මේවා ගැන සොයාබැලීමට කැමති ඕනෑම කෙනෙකුට එම සිංහල පොත් කියවා බැලිය හැක. මේවා ධර්මය වෙනස්කිරීම් නොවේද? ඒවා කර ඇත්තේ මීවනපලානේ ස්වාමීන්වහන්සේ, වලස්මුල්ලේ ස්වාමීන්වහන්සේ ආදීන් විසින්ද සමහර පිරිත් පොත්වල පිරිත්වලින් කරන්න පුළුවන් ගුරුකම් ලියල තියෙනව. ඒව බුද්ධ ධර්මය වෙනස් කිරීම් නොවෙයිද? බුදුහාමුදුරුවන්ගෙ කාලෙ පිරිත් පිංකම් තිබුණ බවක් ගැන විස්තර හොයල දෙන්න පුළුවන්ද?

අපිව තරහකර ගත්තොත් උඹලගෙ පාංශකූලෙටවත් අපි එන්නෙ නැහැ කියල ගමේ පන්සලේ හාමුදුරුවරු මිනිස්සු බය කරනවා. ගමම බය කරගෙන ඉන්නව. ඒව බුද්ධ ධර්මය වෙනස්කිරීම් නොවෙයිද? බුදුහාමුදුරුවන්ගෙ කාලෙ පාංශකූලෙ දීපු බවක් හොයල කියන්න පුළුවන්ද? සතර දෙසින් වඩින මහා සංඝයා වහන්සේට කියල පන්සල් පූජා කළාට ගමේ මිනිහෙකුට හාමුදුරුවන්ට නොකිය පිට පළාතක හාමුදුරුකෙනෙක් දානෙකට බණකට ගෙන්න ගන්න පුළුවන්ද? බැහැ. ඒව බුද්ධ ධර්මයද?

ඒව මොනව වුණත් අපේ රටේ මිනිස්සු සිවුරක් දැක්කත් වඳිනවා. ගරු කරනවා. ඒකට හේතුව මේ රට මේ තරමටවත් ආරක්ෂාවෙලා තියෙන්නෙ භික්ෂුන්වහන්සේ නිසා බව මිනිස්සු දන්න නිසයි. නිර්මල පාලි ති‍්‍රපිටකය මේ තරම් කාලයක් නොවිඳිනා දුක් විඳගෙන රැුකගෙන ආවෙ භික්ෂුන්වහන්සේ බව මිනිස්සු දන්න නිසයි. එහෙම නැතුව හාමුදුරුවො බණ දන්නවද කියන කාරණය හොයල නෙවෙයි. පන්සලේ හාමුදුරුවන්ට වැඩිය බණ දන්න මිනිස්සු අද හුඟක් ඉන්නව. ඉතින් බණ නොදන්න හාමුදුරුවරු නොදන්න බණ ගැන කථා කරන්න ගියොත් වෙන්නෙ තියන ගෞරවයත් නැතිකරගන්න එක විතරයි. ඔය එක එක විභාග පාස් වුණාට ඇත්ත බණ දන්නව කියල කියන්න පුළුවන්ද? ඇත්ත බණ දන්නව නම් මගඵල ලබනව. එහෙම නම් ඉතින් ඔය පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලෙ ආචාර්ය මහාචාර්යවරු යන්න ඕන අහසින්.

thripitaka3කාලයක් තිස්සෙ ඔක්කොම මිනිස්සු හෙළුවෙන් ඉන්න රටක කවුරුහරි කෙනෙක් ඇඳුමක් ඇන්දොත් අනෙක් මිනිස්සු කෑගහන්න පටන් ගන්නව අන්න බලන්න මොනතරම් ඕන නැති වැඩක්ද කළේ කියල. දැන් තියෙන්නෙත් ඒ වගේ තත්වයක් තමයි. කාලයක් තිස්සෙ වරද්දල බුද්ධ ධර්මය වෙනුවට තමන්ගෙ වාසියට බුද්ධාගම කියාගෙන ආපු හාමුදුරුවරු, වර්තමානයේ සමහර හාමුදුරුවරු නැවතත් ඇත්ත බුද්ධ ධර්මය මතුකර දේශනා කරනකොට කෑගහනව අන්න අන්න බුද්ධාගම විකෘති කරනවෝ කියල. මෙතන තියෙන්නෙ ප‍්‍රධාන වශයෙන් තමන්ගෙ පැවැත්ම නැතිවෙයිද කියන බය. දැන් පන්සල්වල ඉන්න වැඩිහරියක් බණ දන්නෙ නැති අහිංසක ගැමියො, බණ දන්නෙ නැති මුදලාලිල, බණ දන්නෙ නැති දේශපාලන අය, සල්ලිකාර මෝඩගෑනු, බොරු බුද්ධාගමේ හාමුදුරුවරු බයයි ඒ ටිකත් තමුන්ට නැතිවෙයිද කියල.

මීවනපලානේ ස්වාමීන් වහන්සේට සම්ප‍්‍රදායානුකූල හාමුදුරුවරු මෙච්චර විරුද්ධ වෙන්න හේතුව උන්වහන්සේ බුදුහාමුදුරුවන් වැඩවාසය කළේ ඉන්දියාවේ නොවේ ලංකාවේ කියන හින්දයි. හැබැයි ඒක මීවනපලානෙ හාමුදුරුවො විතරක් කියපු කතාවක් නොවෙයි. ඊට ඉස්සර වෙනත් සමහර අයත් ඒ මතය කියල තියනව. බුදුහාමුදුරුවන් වැඩවාසය කළේ ඉන්දියාවේ නොවෙයි ලංකාවේ යයි කියන කථාවේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. නමුත් මීවනපලානේ ස්වාමීන් වහන්සේද එහෙමම කියන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළේ හෙළදිවයිනේ බවයි. උපත ලැබුවේ ජම්බුද්වීපයේ බවයි. ලංකාපුරය යනු ජම්බුද්වීපයේ තිබුන එක් පුරයක් පමණක් බවයි. එම මතයන්ට විරුද්ධ වර්තමානයේ බොහෝ සම්ප‍්‍රදායික භික්ෂුන් වහන්සේලා කියන්නේ එය පට්ටපල් බොරුවක් බවය. ඔවුන් කියන්නේ බුදුහාමුදුරුවන් වැඩ වාසය කළේ ඉන්දියාවේ දඹදිව බවය.

අප විසින් මෙම ලිපිය ලියන්නට සිතුවේ බුදුහාමුදුරුවන් සිටියේ ඉන්දියාවේ යයි අපේ හාමුදුරුවරු කියන කථාව සම්බන්ධවද නිරවුල් කරගතයුතු බොහෝ කරුණු ඇති බව පෙන්වාදීම සඳහාය. ඒ කතාව සම්බන්ධවද නිරාකරණය කර ගතයුතු ප‍්‍රශ්න රාශියක් ඇතිබව දැක්වීම සඳහාය. ඉන් කීපයක් පහත සඳහන් කරමි.

1) විශුද්ධි මාර්ගය පොතේ 269 පිටුවේ දක්වා ඇත්තේ ඉන්දියාවට දඹදිව යයි කියන්නේ එහි තිබූ විශාල දඹගසක් නිසා බවය. එම දඹගස උසින් 50 යොදුන් සහ වටින් පහලොස් යොදුන් බවය. හිමාලය පර්වතය උසින් 500 යොදුන් බව එම පොතේම දක්වා ඇත. හිමාලය පර්වතය අඩි 29029ක් පමණ උස බව පොත්පත්වල දැක්වෙයි. ඒ අනුව යොදුනක් යනු අඩි 58ක ප‍්‍රමාණයකි. ඒ අනුව අර දඹගසේ වටප‍්‍රමාණය වටඅඩි 870කි. නොහොත් වටමීටර් 265කි. එවැනි ජම්බුගසක් ගැන ඉන්දියානු ඉතිහාසයේ සඳහන්ව නැත. එහෙම ගහක් තියනවා නම් අටපට්ටමේ නොපෙන්නා ඉන්නේ නැත. අනිත් කාරණය නම් ඉන්දියාව වැනි විශාල රටකට ගසක් තිබුණා කියා නමක් වැටෙන්නට හේතුවක් නැත. එසේනම් ඉන්දියාවට දඹදිව කීම නිවැරදිද?

2) අනෙක් කාරණය වන්නේ ඉන්දියාවට ජම්බුද්වීපය කියූ බවක් එහි කිසිම ඉතිහාස පොතක සඳහන්ව නැතිකමය. ඉන්දියාවට ජම්බුද්වීපය කියූ බවට කිසිදු පුරා විද්‍යාත්මක සාක්ෂියක් නැත්තේ ඇයි? ඉන්දියාවට ජම්බුද්වීපය කියන්නේ සිංහල අපි පමණක්ව ඇත්තේ ඇයි? ඒවා එහෙම වුණේ කොහොමද?

3) ඉන්දියාවෙ තියන හුඟක් බෞද්ධ පුරා විද්‍යා ස්ථාන ගඩොලින් හදපුව. එහෙම වෙලා තියෙන්නෙ කොහොමද? ඒව පසු කාලයෙ හදපුව වෙන්න බැරිද?

4) ඉන්දියාවෙ අදටවත් බුද්ධ ගෞරවයක් නැහැ. එම සිද්ධස්ථාන අවට කිසිම වන්දනීය බවක් නැහැ? ඉන්දියාවෙ මිනිස්සු ඒ සිද්ධස්ථාන ගැන කිසිම අවධානයක් නැහැ? එහෙම වුණේ කොහොමද? ඉන්දියාවෙ තියන හෝටල් රෙස්ටොරන්ට් වගේ ඒවට දාල තියෙන්නෙ හොටෙල් තථාගත හොටෙල් සිද්ධාර්ථ මායා රෙස්ටොරන්ට් වගේ නම් එහෙම වෙලා තියෙන්නෙ කොහොමද?

5) ලංකාවෙ හැම ගමකම වගේ පන්සලක් තියනව. හැම ගල්ලෙනකම වගේ කටාරම් කොටල සඟසතු කරල පූජා කරපු අයගෙ නම් සඳහන්ව තියනව. ශිලා ලිපි තියනව. මුළු රට පුරා හාමුදුරුවරු වැඩ වාසය කරපු බවට ඉතිහාසගත සාක්ෂි තියනව. ඉන්දියාවෙ මොනවද තියෙන්නෙ? ඔය මිනිස්සු ඇවිදින බුද්ධගයාව ලූම්බිණිය කුසිනාරාව වගේ තැන් ඇරුනම ඉන්දියාවෙ තියන වෙන පන්සල් මොනවද? ලංකාවෙ වගේ රටපුරා සිද්ධස්ථාන ඉන්දියාවෙ නැත්තෙ මොකද? එහෙම වුණේ කොහොමද?

6) ඉන්දියාවෙ පැරණි නටබුන් තියන සමහර තැන්වල නිරුවත් ගෑනු රූප තියනව. ඒ තියෙන්නෙ සලපන්ජිකා කියන නිරුවත් යක්ෂණියගේ රූප කියල සමහරු කියනව. ඉතින් ඒව බෞද්ධ සිද්ධස්ථානවල තියෙන්න පුළුවන්ද? නිරුවත් ගෑනු රූප හදයිද බෞද්ධ සිද්ධස්ථානවල?

7) බුද්ධගයාවෙ හැඬේ හින්දු කෝවිලක හැඬේ වුණේ කෙහොමද? හින්දු කෝවිලක හැඬේට හදයිද බෞද්ධ විහාරයක්?

8) ඉන්දියාවෙ අදටත් ඉන්දීය හාමුදුරුවරු අඩුයි. ඉන්දියාවෙ ඉන්න හාමුදුරුවරු වැඩිදෙනෙක් ලංකාවෙන් ගිය අය වෙනත් රටවල්වලින් ආපු අය එහෙම වෙලා තියෙන්නෙ ඇයි?

9) ඉන්දියාවෙ අදටත් බෞද්ධයො විශාල පිරිසක් නැහැ. ඉන්න අයත් වැඩිහරියක් අඩුකුලවල අය. අර පන්සල්වලින් දෙන ආධාර ගන්න ආපු දුප්පත් අය. එහෙම වෙලා තියෙන්නෙ කොහොමද?

10) ලූම්බිණියෙ තියන අශෝක කුලූන පිහිටවල තියෙන්නෙ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 235 කට විතර පස්සෙ. ඒ කියන්නෙ බුදුහාමුදුරුවො හිටපු කාලයෙන් පසු පරම්පරා තුනකට විතර පස්සෙ අශෝක කුලූනෙ තියන සෙල්ලිපියෙ ලියල තියෙන්නෙ ‘මෙහි පැමිණිවිට සයෝමුනි උපන් ස්ථානය මෙය බව අසන්නට ලැබුණ බැවින් මෙම ටැඹ පිහිටවමි’ කියලලූ. ඉතින් බුද්ධ පරිනිර්වාණයෙන් පසු පරම්පරා තුනක් යනවිට සිද්ධාර්ථ කියන නම ශාක්‍යමුනි කියන නම ඉන්දියාවට අමතක වුණේ කොහොමද?

11) බුදුහාමුදුරුවන්ගෙ නිය ධාතූන් වහන්සේ තියෙන වෙහෙරටයි නඛාවෙහෙර කියන්නෙ. ලංකාවෙ නඛා වෙහෙරවල් රාශියක් තියනව. එහෙම වෙලා තියෙන්නෙ කොහොමද?

12) තපස්සු භල්ලූක වෙළඳුන්ට දුන්න කේශධාතු නිදන් කර හදපු ගිරිහඩුසෑය තියෙන්නෙ ලංකාවෙ වුණේ කොහොමද?

13) මයුරපාද පරිවේනාධිපති ස්වාමීන්වහන්සේ විසින් ලියල තියන පූජාවලිය පොත ගැන හැමෝම වගේ දන්නව. ඒ පොත ලියල තියෙන්නෙ 1922 වගේ කාලෙ. ඒ පොතේ 108-109 පිටුවල තියනව සින්ධුදේශය කාශ්මීරය නේපාලය ආදී රටවල බුදුවරු උපදින්නේ නැත කියල. පූජාවලියෙ ලියල තියෙන්නෙ බොරුද?

14) රිටිගල වගේ තැන් ඉන්දියාවෙ නැහැ. දියුණු තාක්ෂණය තියන අද වගේ කාලෙකවත් රිටිගල වගේ තැනක් හදන්න ලෙහෙසි නැහැ. එහෙම තැන් ඉන්දියාවෙ නැත්තෙ මොකද?

15) බුදුහාමුදුරුවො ජීවත්ව ඉන්න කාලෙමයි කේශ ධාතු නිධන් කරල මහියංගන මහසෑය හදල තියෙන්නෙ. ඒත් ඉන්දියාවෙ ඒ කාලෙ හදපු එකම සෑයක්වත් නැත්තෙ මොකද?

16) එක දවසක් බුදුහාමුදුරුවො මේ වෙලාවෙ වැඩ ඉන්නෙ කොහෙද කියල ශක‍්‍ර දෙවියන් හොයල තියනව. එහෙම හොයල බලනකොට ශක‍්‍ර දෙවියන් දැනගෙන තියනව. මේ වෙලාවෙ බුදුහාමුදුරුවො ඉන්නෙ ඉන්ද්‍රසාල ගුහාවෙ කියල. ලංකාවෙ බඹරගල පන්සල් බිමේ තියන ගුහාවක ඉන්ද්‍රසාල ගුහාව කියන නම තියනව. 1891 දි එච්. සී. පී. බෙල් මහත්තය ඒ සෙල්ලිපිය කියවල පිටපත් කරල තියනව. අපේ හාමුදුරුවරු කියන විදිහට ඉන්දියාවෙ තියෙන්න ඕන ඉන්ද්‍රසාල ගුහාව ලංකාවෙ තියෙන්නෙ කොහොමද?

17) ඉන්දියාවෙ ඉතා පැරණි පොත් තියනව. ආයුර්වේද වෙදපොත් තියනව. ඒත් බෞද්ධ ඉතිහාසය ගැන ලියවිච්ච පොත් නැහැ. එහෙම වෙලා තියෙන්නෙ කොහොමද? එහෙම වෙලා තියෙන්නෙ ඉන්දියාවට බෞද්ධ ඉතිහාසයක් නැති හින්දවෙන්න බැරිද?

18) ති‍්‍රපිටකය අපේ රටේ ජාතික උරුමයක් කරපු එක ගැන ඉන්දියාවෙ විරුද්ධත්වයක් නැත්තෙ ති‍්‍රපිටකය ඉන්දියාවට අයිති නැති බව ඉන්දියාව දන්න හින්ද වෙන්න බැරිද?

19) බුද්ධගයාව හොයාගෙන තියෙන්නෙ ඉන්දියාවෙ කෙනෙක් නොවෙයි, සුද්දෙක්. ලූම්බිණිය හොයාගෙන තියෙන්නෙ ඉන්දියාවෙ කෙනෙක් නොවෙයි ජර්මන් ජාතිකයෙක්. බුද්ධගයාව හොයාගත්තට පස්සෙ ඒක බෞද්ධ විහාරයක් කරන්න මහන්සි වෙලා තියෙන්නෙ සිංහලයෙක්. බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියන ඉන්දියාවෙ ස්ථාන ගැන මොකද ඉන්දියාවට ඕනකමක් නැත්තෙ?

20) ප‍්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහත්මයා ඔහුගේ දඹදිව චාරිකා අත්පොතේ 89 පිටුවෙ සඳහන් කරල තියනව කි‍්‍ර. ව. 600 දී සසංක නම් රජු මහා බෝධිය කපා ඇද හෙලීය. සසංක විසින් මහා බෝධියට කළ අපරාධය අසා එහි පැමිණි චර්ම රජු කිරි දෙනුන් දහසකගේ කිරෙන් බෝධි මූලය නැහැවීය. එක් රැයකින්ම අඩි දහයක් උසට බෝධිය දලූ ලා වැඩින. මෙපරිද්දෙන්ම එදා සිට දහවන සියවස තෙක්ම බෝධිය විනාශ කිරීමට නොයෙකුත් බලවේග ඇතිවිය. අද ඇත්තේ 19 වන සියවසේ රෝපණය කරන ලද බෝධියකි. ඉතින් ඒ අනුව ඉන්දියාවෙ තියන ජයසිරිමහ බෝධියට දැනට ඇති උපරිම වයස අවුරුදු 119 ක් විතර නේද? ඉතින් ඒක එහෙම නම් ඔය මිනිස්සු ගිහින් වඳින්නෙ අර ඓතිහාසික ජයසිරි මහ බෝධීන් වහන්සේට නොවෙයි නේද? වැදගත් කමක් තියනව නම් තියෙන්නෙ ඒ බුද්ධගයා බිමේ විතරයි නේද? අනුරාධපුරයෙ වැඩ සිටින අපේ සිරිමහ බෝධීන් වහන්සේගෙ දැනට වයස අවුරුදු 2269 ක් විතර වෙනව නේද?

21) ඉස්සර ඉන්දියාව කියන්නෙ අද බංගලිදේසෙ. අද නේපාලෙ ආදී රටවල් ඔක්කොම එක්කනෙ. ඉතින් ඒ විදිහට බැලූවම බුද්ධගයාව තියෙන්නෙ ඉන්දියාවෙ මධ්‍ය දේශයෙ නොවෙයිනෙ, කොහොමද එහෙම වෙන්නෙ?

22) බුද්ධාගම පොත්වල කියන හැටියට බුදු හාමුදුරුවො ඉන්දියාවෙ ඉඳල එකපාරක් ලංකාවට වැඩම කරල තියෙන්නෙ මහවැලි ඟගේ ජල ප‍්‍රශ්නයක් විසඳන්න අනිත් සැරේ ඇවිල්ල තියෙන්නෙ ලංකාවෙ අය වටිනා පුටුවකට වෙච්ච රංඩුවක් බේරන්න. ඉන්දියාවෙ හිටපු බුදුහාමුදුරුවො මොකද මෙච්චර ලංකාවෙ ප‍්‍රශ්න විසඳන්න උනන්දු වෙලා තියෙන්නෙ.

23) අපිට උගන්වල තියෙන්්නෙ මිහිඳු හාමුදුරුවො අශෝක මහරජතුමාගේ පුතා කියලනෙ. නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සඳහන් කරන ඉතිහාසගත කරුණු අනුව මිහිඳු හාමුදුරුවො කියන්නෙ අශෝක මහරජතුමාගේ පුතෙක්ද, සහෝදරයෙක්ද කියල හරියටම කියන්න බැහැ කියලයි. එයට හේතුව සුමාත‍්‍රා දූපත ආශි‍්‍රතව ඉස්සර තිබුණ ස්වර්ණපුර රාජ්‍යයේ ඉතිහාසය ලියල තිබුණ ස්වර්ණපුර වංශය කියන පොතේ සඳහන් වෙන්නෙ මිහිඳු හාමුදුරුවො කියන්නෙ අශෝක මහරජතුමාගේ සහෝදරයෙක් කියල නිසයිලූ. මේ පොත දැන් හොයාගන්න නැතිවුනත් හම්බන්තොට මයිලගස්තොට කියන තැනින් ගෙනත් කොළඹ කෞතුකාගාරයෙ තියන සෙල්ලිපියක තියන ඒ පොතේ පිටු එතුමා කියව ගත් බව මේ සම්බන්ධව එතුමා ලියපු ලිපියක සඳහන් වෙනව එයින් තේරෙන්නෙ එම කරුණුවල පවා නිරවුල් භාවයක් නැතිබව නොවේද?

24) බුදු හාමුදුරුවො මහියංගනේදි යක්කුන්ව බය කරල එලෝල දැම්මලූ. තමන්ව මරන්න ආපු නාලාගිරි ඇතාවත් අලව් යකාවත් අංගුලිමාලවවත් දේවදත්තවත් බය නොකරපුු තර්ජනය නොකරපු මෛතී‍්‍ර කරපු අනුකම්පා කරපු මහා කාරුණික බුදුරජාණන් වහන්සෙ යක්කු බය කරල එලෝල දානව වගේ මේ කට්ටඩි කරන තුට්ටුදෙකේ බාල වැඩ කරයිද? බුද්ධ ධර්මයට අනුව යක්කු කියන්නෙත් සංසාරෙ ඉන්න සත්වයො.

25) සිව් හෙළය කියන එකද හරි, ති‍්‍ර සිංහල කියන එකද හරි, ඔය ති‍්‍ර සිංහල කියන වචනය පහු කාලෙක හදාගත්ත එකක් වෙන්න බැරිද? සිව්හෙළය කියන වචනයෙන් සිංහල කියන වචනය හැදිල එනව. සිව් හෙළය කියන එකෙන් අදහස් වෙන්නෙ ඒ දවස්වල මේ රටේ හිටපු යක්ෂ නාග ගාන්ධර්ව කුම්භාණ්ඩ කියන ගෝත‍්‍රවල මිනිස්සු වෙන්න බැරිද?

ලබන සතියට
අනුරාධ විජේරත්න - ගම්පහ

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles