Divaina - කොටි ත‍්‍රස්තවාදය අතුගා දැමීමේ පළමු වෙඩිමුරය තිබ්බේ අපේ ටීම් එක - මේජර් ජෙනරාල් ජයම්පති තිලකරත්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

koti

 

* මාවිල්ආරුව ආසන්නයේ කැලේ දවස් දහයක් එක තැන හිටියා...
* ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා තමයි උදේ පාන්දර  ගහන්න ගමු කිව්වේ...
* තොප්පිගල කැලේට මුලින්ම ඇතුළු වුණෙත් අපේ බලඇණිය...
මානුෂීය මෙහෙයුමේදී, රාජ්‍ය නොවන සංවිධාන වැඩියෙන්ම උපකාර කළේ කොටින්...
* මාවිල්ආරු මුදාගැනීමේ  මෙහෙයුමේ කතාව

තරංග රත්නවීර


Koti2මානුෂීය මෙහෙයුමේ ආරම්භය මාවිල්ආරු සොරොව්ව ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමය. කොටි ත‍්‍රස්තවාදීන් මාවිල්ආරු සොරොව්ව නොවසන්න අදටත් කුරිරු යුද්ධය තිබෙන්නට ඉඩ තිබිණි. කෙසේ හෝ රට, ජාතියේ වාසනාවට මාවිල්ආරුවෙන් ඇරඹුණු මානුෂීය මෙහෙයුමෙන් මෙරට වෙළාගෙන තිබුණු යුද්ධය මියැදිණි. මෙරට ජනතාවට ගින්දර දුන් මිනීමරු ප‍්‍රභාකරන් ද නන්දිකඩාල් කලපු දියේම වැටී මැරිණි. ප‍්‍රභාකරන් මියැදී මේ වන විට වසර දහයකට වැඩිය. නැවතත් අපට මිනී මරු ප‍්‍රභාකරන් සහ මානුෂීය මෙහෙයුම මතකයට නැඟුණේ මාවිල්ආරු සොරොව්ව නිදහස් කරගැනීමේ සටනට නායකත්ව ලබා දුන් ජයම්පති තිලකරත්න මහතා මුණගැසීමත් සමඟය.
 
 1986 වර්ෂයේ ජනවාරි 17 වැනිදා කැඩෙට් නිලධාරියකු ලෙස හමුදා සේවයට එකතු වූ ජයම්පති මහතා රාජකාරි ජීවිතයෙන් වැඩි කාලයක් ක‍්‍රියාන්විත රාජකාරිවල නිරත වී සිටි රණවිරුවෙකි. ක‍්‍රියාන්විත රාජකාරියේ නිරත වී සිටි අවස්ථාවක නොසිතූ විරු ක්ලේමෝ බෝම්බයකට ගොදුරු වී ජීවිතය බේරී ඇත්තේ ද පූරුවේ පිනකටය. එම බෝම්බ අනතුරින් හිස, බෙල්ල පසාරු කරගෙන ගිය ගිනියම් යකඩ බෝල සැත්කමකින් ඉවත් කර ඔහු මරණයෙන් ගලවා ගත්තද දකුණු අතේ ඇඟිලි අදට ද ක‍්‍රියාකාරිත්වය අඩුය. එහෙත් ඔහු වැඩිපුර කතා කිරීමට කැමැති වූයේ තිදෙනකුට මරු කැඳවමින් තම ශරීර කූඩුව තුවාල කළ බෝම්බ අනතුර ගැන නොවේ. මාවිල්ආරු සොරොව්ව
 
 මුදාගැනීමේ සටන ගැනය. එවකට අටවැනි ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරිවරයා ලෙස මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට නායකත්වය ලබාදුන් ජයම්පති තිලකරත්න මහතා පසුගිය ජූලි 31 වැනිදා මේජර් ජනරාල්වරයෙක් ලෙස හමුදා සේවයෙන් විශ‍්‍රාම ජීවිතයට ඇතුළු විය. මේ වන විට මාලඹේ නිසල පරිසරයක සොඳුරු කැදැල්ලක ජීවත් වන ජයම්පති මහතා පසුගිය දිනක සැඳෑ සමයක අපට මුණගැසිණි. ළෙන්ගතු ආගන්තුක සත්කාර මැද ජයම්පති මහතා මානුෂීය මෙහෙයුමේ ආරම්භය ආඩම්බරයෙන් මෙසේ ආවර්ජනය කළේය. දැන් අපි ඔහු කියන මානුෂීය කතාව අසා සිටිමු.
 
 ‘‘කොටි ත‍්‍රස්තවාදී මාවිල්ආරු සොරොව්ව වසා දැමුවේ 2006 වර්ෂයේ ජූලි 20 වැනිදා. සොරොව්ව නිදහස් කිරීමට එල්.ටී.ටී.ඊ. ය රජයෙන් ඉල්ලීම් කිහිපයක් ඉල්ලා හිටියා. ඒත් කොටින්ගේ ඉල්ලීම්වලට රටේ නායකත්වය, ආරක්‍ෂක ලේකම් සහ හමුදා නායකත්වය හිස නැමුවේ නෑ. කොටින්ට ගහලම සොරොව්ව නිදහස් කරගන්න ඕන කියලා තීරණයේ සියලූ නායකයන් හිටියා. හමුදාවේ අපේ අරමුණ වෙලා තිබුණෙත් ගහලා
 
 ගන්නමයි. ඒත් අපි ඒ වෙනකොට මානුෂීය මෙහෙයුමට සූදානමින් හිටියේ නෑ. කොටි බලය හමුවේ මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමත් ලේසි පහසු කටයුත්තක් නොවන බවත් අපි තේරුම් ගෙන හිටියා. නැගෙනහිර එල්.ටී.ටී.ඊ. බලය සම්පූර්ණයෙන්ම යොදලා තිබුණේ මාවිල්ආරු සොරොව්ව පිහිටි ප‍්‍රදේශයට. අඩි පහළොවෙන්, පහළොවට කාණු කපලා ශක්තිමත් බංකර් ගහලා තිබුණා. බර අවි ස්ථානගත කරලා, අඩියෙන් අඩියට වගේ පුපුරන ද්‍රව්‍ය වළලලා අධි ආරක්‍ෂිත කලාපයක් ගානට රැකවල් යොදලා තිබුණා. එල්.ටී.ටී.ඊ. යේ ඉලක්කය වුණේ වෙන වතාවන්වල වගේ එවරත් ඉල්ලීම් දිනාගැනීමටම තමයි...’’


 

mavilaru2

 ‘‘එතකොට මම රාජකාරි කළේ වැලිකන්දේ අටවැනි ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරිවරයා විදිහට. ජූලි 28 වැනිදා වැලිකන්දේ ඉඳලා මම කන්තලේ ප‍්‍රදේශයට ආවා. ඊට පස්සෙ මාව ටූ ටූ ටූ බි‍්‍රගේඞ් එකට අනුයුක්ත කරලා මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමේ මෙහෙයුම භාර අණදෙන නිලධාරිවරයා විදිහට පත් කළා. එතකොට ටූ ටූ ටූ බි‍්‍රගේඞ් එක භාරව හිටියේ කර්නල් විජේසිංහ. මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට මුලින්ම අපි සටනට ගියේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අතිරේක භට පිරිසක් විදිහට. කොටි ත‍්‍රස්තවාදීන්ගේ දැඩි ප‍්‍රහාර හමුවේ කොමාන්ඩෝ එක පසු බැස්සා. ඒත් මගේ හිත කිව්වේම කොයි මොහොතක හෝ මට මේ සටනට මූණ දෙන්න වෙනවා කියලයි. ඒ නිසා අපේ බලඇණිය පසු බැහැලා මාවිල්ආරුව ආසන්නයේ කැලෑවේ නතර වුණා. එතකොට යුද හමුදාපති සරත් ෆොන්සේකා සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ගනිමින් හිටියේ. වැඩ බැලූවේ ජනරල් මල්ලවාරච්චි. එතුමා අපි හිටිය තැනට ඇවිත් සොරොව්ව මුදාගන්නෙ කොහොමද කියලා මගෙන් ඇහුවා. එතකොටත් අපිට කිසිම ප්ලෑන් එකක් තිබුණේ නෑ...’’
 
 ‘‘මාත් එක්ක නිලධාරීන් සහ භට පිරිස සේරම හාරසීය ගාණක් හිටියා. දවස් දාහයක් කැලේ ඇතුළේ එකම තැන හිටියා. මට උපදෙස් දෙන්න බි‍්‍රගේඩියර් ජනරල් ප‍්‍රසන්න සිල්වා පත් කරලා තිබුණා. බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා තමයි කිව්වේ ආගෝස්තු 10 වැනිදා පාන්දර ගහන්න පටන් ගමු කියලා. මට අද වගේ මතකයි, ප‍්‍රථම ප‍්‍රහාරය එල්ල කළේ පාන්දර 4.58 ට. මගේ බලඇණියේ හාරසිය ගාණක් හිටියට අපි සටනට යෙදෙව්වේ කණ්ඩායම් දෙකයි. ඒ කණ්ඩායම් දෙක මෙහෙයුවේ කැප්ටන් දිසානායකයි. කැප්ටන් ගොඩවිතානයි. අපි ඒ වගේ වේලාවක පහර දෙන්න ගනී කියලා එල්.ටී.ටී.ඊ. ය හිතුවේම නෑ...’’
 
‘‘අපේ සහායට කල්ආරුව දෙසින් විශේෂ කාර්ය බළකායේ භට පිරිසකුත් ගහගෙන මාවිල්ආරුව දෙසට ගමන් කළා. එල්.ටී.ටී.ඊ. යත් උපරිම ශක්තිය යොදාගෙන පහර දුන්නා. ආටිලරි ගැහුවා. බර අවි උපරිම පාවිච්චි කළා. ඒත් පැය කිහිපයක් යනකොට අපි පළමුවැනි ඇනිකට් එක මුදාගත්තා. ඒ වෙනකොට අපේ අටදෙනෙක් මිය ගිහින් තිබුණා. තිස් ගානක් තුවාල වෙලා හිටියා. තවත් ඇනිකට් එකක් මුදාගන්න තිබුණා. ඒක මඩ සොරොව්ව. ඒ සොරොව්වෙන් එහාට සම්පූර්ණ එල්.ටී.ටී.ඊ. පාලනයක් තිබුණේ. එදා දවස තුළදීම මුදාගත් ඇනිකට් එක ප‍්‍රදේශයේ බලය තහවුරු කර ගත්තා. ඒ සමඟ තුවාල වෙච්ච භට පිරිස වෙනුවට මේජර් තල්වත්ත එක්ක විසිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් අපිට එකතු වුණා. ඒ කණ්ඩායමේ උපකාර ඇතිව අනිත් ඇනිකට් එකත් මුදාගත්තා. එතැනින් නතර වුණෙත් නෑ. 2006 ආගෝස්තු 10 වැනිදා පාන්දර 4.58 ට ගහන්න ගත්ත එක කොටි ත‍්‍රස්තවාදීන් ඉවර වෙනකම්ම ගැහුවා. කොටි ත‍්‍රස්තවාදය අතුගා දැමීමේ පළමු වෙඩි මුරය තිබ්බේ අපි...’’ සොරොව්ව ඇරියා හා සමානව ගලාගෙන යන කතාවට මට බාධා කිරීමට සිතුණේ අවසාන වචන කිහිපය පවසන විට ජයම්පති මහතාගේ තළෙලූ මුහුණේ ලේ නහර ඉලිප්පී ප‍්‍රීතිය දෝරෙ ගලා යන අයුරු දුටු විටය.
 

මිනිසුන් ඝාතනය කර සතුටුවීමට තරම් අපේ හමුදා විරුවන් කෲර නැත. එහෙත් වසර තිහකට වැඩි කාලයක් මේ රට ලේ විලක් බවට පත් කළ කොටි ත‍්‍රස්තවාදය නිමා කිරීමේ පළමු වෙඩි මුරය පත්තු කිරීමට ලැබීම තරම් තවත් ආඩම්බරයක් නැත. එමෙන්ම සති කිහිපයක් මාවිල්ආරු සොරොව්ව වසා තැබීමෙන් පිපාසයෙන් මියැදෙන්නට සිටි තෝපූර්, පහළ තෝපූර්, ඇල්ල කන්තලේ සහ කල්ආරු ඇතුළු සිංහල ගම්මාන අටක පමණ මිනිසුන්ට දිය පොදක් ලබාදීමට හැකිවීම මහා පුණ්‍යකර්මයකි. මේ මොහොතේ ජයම්පති මහතාගේ වත මඬලින් උද්දීපනය වන්නේ ඒ මහා පුණ්‍යකර්මයට දායකවීමේ සතුටය. සිනාව අතරින් ජයම්පති නැවතත් කතා කළාය.
 
 ‘‘ඒ වෙනකොට නැගෙනහිර කොටි බලය සම්පූර්ණයෙන්ම යොදවලා තිබුණේ වසා දමා තිබූ මාවිල්ආරු සොරොව්ව දෙසට. රැකවලේ සිටි එල්.ටී.ටී.ඊ. උපරිමයෙන් සන්නද්ධවයි හිටියේ. ඒත් අපි හොඳට කාලය අරගෙන, විමර්ශනය කරලා සැලසුමකට අනුව පහරදීම සිදු කළා. අපේ පහරදීම එල්.ටී.ටී.ඊ.ය ට හිතාගන්නවත් බැරි වුණා. ඒ නිසා තමයි, දවසක් ඇතුළත ශක්තිමත් බංකර් බිඳලා අමුණ නිදහස් කරගන්න පුළුවන් වුණේ. නැවත සැලසුම්සහගතව නිදහස් කර ගත් අමුණ වටේට බලය තහවුරු කරගෙන දවස් හතරකට විතර පස්සෙ මඩ සොරොව්ව නිදහස් කරගැනීමේ සටන ආරම්භ කළා. ඒ අවස්ථාවෙත් පහර දෙන්න පටන් ගත්ත වේලාවේ ඉඳලා නොකඩවාම ගැහුවා. අපේ පහරදීම එල්.ටී.ටී.ඊ.යට හිතාගන්නවත් බැරි වුණා. කොටි පසු බැස්ස නෙමෙයි, අවි ආයුධ දාලා දුවලා තිබුණා. මාවිල්ආරු නිදහස් කරගැනීමේ සටනේදී එල්.ටී.ටී.ඊ.යට විශාල හානියක් වුණා. ඒ වගේම එල්.ටී.ටී.ඊ.යට නොසිතු විදිහට එල්ල වූ පහරදීම හමුවේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය බින්දුවටම වැටුණා. ඒ සියලූ වාසි ප‍්‍රයෝජනයට අරගෙන එල්.ටී.ටී.ඊ.ය කඳවුරු බඳින සෑම තැනකටම අපි පහර දුන්නා...’’
 
 ‘‘එල්.ටී.ටී.ඊ.ය පසු බැහැලා ගියාට පස්සෙ අපි පහළ තෝපුර් ප‍්‍රදේශවල කරපු සෝදිසි කිරීම්වලදී අවි ආයුධ විශාල තොගයක් හොයාගත්තා. ඒ ගම්වල සමහර ගෙවල් ඇතුළේ සිමෙන්ති පොළව හාරලා ප්ලාස්ටික් ටැංකි යට කරලා අවි, ආයුධ ඒ ටැංකි ඇතුළට දාලා කොන්ක‍්‍රීට් කරලා පරණ විදිහටම සිමෙන්ති දාලා තිබුණා. ගෙවල් සෝදිසි කරද්දී පොළොවේ බොල් ශබ්දයට තමයි අපි බැලූවේ. ඒ ටැංකිවල තිබුණු අවි ආයුධවල ග‍්‍රීස් තවරලා, පරිස්සමට ඉටි කොළවල ඔතලා තිබුණා. ඒ වගේම ගිනි අවියේ අංකය, ඒ අවිය අයිති කෙනාගේ නම ගහලා ඉතාම සූක්‍ෂ්මව තැන්පත් කරලා තිබුණා. ඒ විදිහට සඟවලා තිබුණු මෝටාර්, ආර්.පී.ජී, රේඩියෝ සෙට් ඇතුළු විශාල අවි ප‍්‍රමාණයක් සොයාගත්තා. ඒ අවි සඟවලා තිබුණේ නැවත ප‍්‍රයෝජනයට ගැනීමටම තමයි. එච්චර අවි ආයුධ තියාගෙන එල්.ටී.ටී.ඊ. යේ පසුබැසීම ගැන අපිට පුදුමත් හිතුණා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. යේ පසුබැසීමත් එක්ක අපේ කොල්ලන්ට විශාල ශක්තියක් ලැබුණා...’’
 
 ‘‘මාවිල්ආරු සොරොව්ව නිදහස් කරගත්තට පස්සෙ අපේ කොල්ලො එක හඬින් කියා හිටියේ ‘කොටින්ව ඉවරයක් කරලාම දාමු’ කියලා. රටේ නායකත්වයත්, හමුදා නායකත්වයත් ඒ අදහසේම හිටියා. මාවිල්ආරුවෙන් පටන්ගත්ත මානුෂීය මෙහෙයුම මුහුද අයින දිගට ඉහළට ගහගෙන ආවා. කොටි පසු බහින්න, බහින්න අපේ කොල්ලන්ට මොරාල් අප් වුණා. මානුෂීය මෙහෙයුමේදී තුවාල වෙච්ච කොල්ලොත් හොඳ වෙච්ච ගමන් ගෙවල්වලට ගියේ නෑ. නැවත ක‍්‍රියාන්විත රාජකාරියට ආවා. මම ඉතාම වගකීමෙන් කියනවා. මානුෂීය මෙහෙයුමේදී ක‍්‍රියාන්විත රාජකාරිවල හිටපු කිසිම කෙනෙක් සේවය අතහැර ගියේ නෑ. මානුෂීය මෙහෙයුම ඉදිරියට කරගෙන යෑමට ඒක විශාල ශක්තියක් වුණා...’’
 
 ‘‘මඩකලපුව දෙසින් ඉදිරියට ගහගෙන ගිහින් මුලින්ම තොප්පිගලට ඇතුළු වුණෙත් අපේ බලඇණිය. ඒ වෙනකොට හතර වටෙන්ම ගහගෙන ආපු අනෙකුත් පාබල භට කණ්ඩායම් තොප්පිගලට කිට්ටු කරලා හිටියේ. පාබල බලඇණිවලට කොමාන්ඩෝ රෙජිමේන්තුවෙනුත් විශාල ශක්තියක් ලබා දුන්නා. තොප්පිගල සටනේදී අපේ කොල්ලො ගොඩක් නැති වුණා. ඒ වගේම මුදාගැනීමට වැඩි කාලයක් ගත වුණා. කඳු සහිත කැලෑ ප‍්‍රදේශයක් නිසා තැන්නෙ අපි යනකොට කඳුවල හිටපු කොටි හොඳට නිරීක්‍ෂණය කරලා අපිට පහර දුන්නා. තනිකරම ගැහුවේ බර අවිවලින්. ඒත් සටන මෙහෙය වූ 23 සේනාංකාධිපති දයාරත්නායකත් ජනරල් චාගි ගාල්ලගේ කිසිම කලබලයක් නැතිව හොඳට කාලය අරගෙන සැලසුම් සහගතව සටන ඉදිරියට කරගෙන ගියා. ඉහළ නිලධාරීන්ගෙන් කිසිම බලපෑමක් ආවෙත් නෑ. අවශ්‍ය ශක්තිය උපරිමයෙන් ලබා දුන්නා. තොප්පිගලත් නරකමුල්ල, කුණ්චනාමලේ කඳු පන්ති මුදාගන්න තමයි වැඩි කාලයක් ගත වුණේ. හානිය අවම කරගෙන ඉතාම පරිස්සමට මුදාගන්න අපිත් පරිස්සම් වුණා...’’
 

‘‘නරකමුල්ල, කුණ්චනාමලේ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරු තිබුණු ප‍්‍රදේශ. කුණ්චනාමලේ මහ රහතුන් වහන්සේලා වැඩසිටි ලෙන් කුටි සහිත ඉපැරැණි බොදු බිමක්. ඒ ලෙන් කුටිවල ඉඳලා තිබුණේ කොටි නායකයන්. ඒ සමහරක් කුටි ඒසී කරලා තිබුණේ. අලූතින් ඉඳිකරපු ගොඩනැඟිල්ලක අංගසම්පූර්ණ ජිම් එකක් තිබුණා. ඒ වගේම තොප්පිගල කැලේ අති සුඛෝපභෝගී රෝහල් දෙකක් තිබුණා. ඒ රෝහල්වල ශල්‍යාගාරවල තිබුණු පහසුකම් අපේ පෞද්ගලික රෝහලක ශල්‍යාගාරයකවත් නෑ. එතරම්ම දියුණු තාක්‍ෂණය භාවිත කරලා තිබුණා. ඒ බිල්ඩින් උඩට පේන්නෙ නෑ. සේරම කැලෙන්ම වහලා. ඒ වගේම තොප්පිගල කැලෑ ඇතුළේ පහත් බිම්වල විශාල කුඹුරු යායවල් අස්වද්දලා තිබුණා. එලවළු, පළතුරු වතු තිබුණා. ඒ ෆාම්වල සෑම එළවළුවක්, පළතුරු වර්ගයක්ම තිබුණා. මාලති බේස් කොටි කඳවුරේ බංකර්වලට ගහලා තිබුණේ වී මිටි. ඒත් එල්.ටී.ටී.ඊ. ය පසු බැහැලා යනකොට පුළුවන් තරම් කඳවුරු, වගා බිම්, යුද උපකරණ, වාහන විනාශ කර දාලා තිබුණා. විවිධ වාහන, යතුරුපැදි විශාල  තොගයක් එක තැනක බ්ලාස්ට් කරලා තිබුණා. විශාල මල්ටි බැරලයක් වළලලා තිබුණා. මිසයිලයක් හොයාගත්තා. අවි, ආයුධ තොග පිටින් හොයාගත්තා...’’
 

 ‘‘වැටෙන්න, වැටෙන්න කොටින්ට පහරදීගෙන නැගෙනහිර කොටි බලමුළු බිඳිනකොට එල්.ටී.ටී.ඊ.යට වඩා රත් වුණේ රාජ්‍ය නොවන සංවිධාන. ඒ සංවිධාන මැදිහත් වෙලා යුද්ධය නතර කරන්න රජයට විවිධ බලපෑම් කළා. ඒත් අපේ නායකයන් කනකටවත් ගත්තේ නෑ. යුද මෙහෙයුම් යන අතරෙත් රාජ්‍ය නොවන සංවිධාන එල්.ටී.ටී.ඊ. බල ප‍්‍රදේශවලට ගියා ආවා. සෝදිසි මෙහෙයුම්වලදී, රාජ්‍ය නොවන සංවිධාන ලබා දීපු තාවකාලික සනීපාරක්‍ෂක වැසිකිළි, බෙහෙත්, කෑම බීම තොග පිටින් අපිට හමු වුණා. ඒ, ඒ සංවිධානවල නම් ගහලා බඩු දීලා තිබුණේ. මානුෂීය මෙහෙයුමේදී රාජ්‍ය නොවන සංවිධාන වැඩියෙන්ම උදව් උපකාර කළේ එල්.ටී.ටී.ඊ. යට. යුද්ධයට මැදිවෙච්ච සිවිල් වැසියන් ගැනවත්, අපි ගැනවත් වැඩි සැලකිල්ලක් දැක්කුවේ නෑ. යුද්ධයේදී ඒ හැම කෙණහිලිකමක්ම අපිට ශක්තියක් වුණා. රටේ නායකයන්, හමුදා නායකයන්, බුද්ධි අංශ නිලධාරීන්, සෙබළු සියලූ දෙනා එකම අරමුණක ඉඳගෙන සටන ඉදිරියට කරගෙන ගියා. නැගෙනහිර සම්පූර්ණයෙන් මුදාගත්තට පස්සෙ තොප්පිගල බලසේනාධිපති ලෙස මාව පත් කළා. උතුරේ සටන යන අතරේ නැගෙනහිර බලය සුරක්‍ෂිතව පවත්වාගෙන යෑමට අපිට විශාල වැඩ කොටසක් කරන්න වුණා. අපිට නිදහස ලැබුණේ සම්පූර්ණයෙන්ම කොටි ත‍්‍රස්තවාදය ඉවර වුණාට පස්සෙ තමයි...’’
 
 1987 වර්ෂයේ වඩමාරච්චි සටනේ සිට ක‍්‍රියාන්විත රාජකාරිවල මෙන්ම කාලයක් කොළඹ තෙල් පිරිපහාදුව භාර නිලධාරිවරයා ලෙස ද කටයුතු කළ ජයම්පති තිලකරත්න මහතා අදටත් වැඩ කළ හැකි ජවසම්පන්න හැඩි දැඩි පුද්ගලයෙක් බව පෙනේ. එමෙන්ම තිස්වසරක යුද්ධයක් නිමා කිරීමට සටන් වැදුණු මේ මිනිසුන් එඩි බලයෙන් සහ බුද්ධියෙන් ඉතා උසස් බව සැබෑය. එහෙයින් තවදුරටත් රටේ ආරක්‍ෂාවට සහ සංවර්ධන ක‍්‍රියාවලියට මේ මිනිසුන්ගෙන් ලබාගත හැකි සේවය සුළු පටු නැත. බුද්ධිමත් නායකයන් ඒ ගැන සිතාබැලිය යුතුමය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles