Divaina - අංක හයේ විප්ලවවාදියා නික්ම යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

N7 gajadeeraචන්ද්‍රසිරි ගජධීරලා කෘෂෙප් හා බ්‍රෙෂ්නෙව්ගේ සෝවියට් කොමියුනිස්ට් පරම්පරාවේ අවසාන පුරුක්ය. මීට දශක කිහිපයකට ඉහත ලෝකයම වසා ගත් ඒ රතු කමිසකරුවන්ගේ ජාත්‍යන්තර ජාලය වේගයෙන් දියවෙමින් පවතී. ධනවාදී හෝ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරුවලට අභියෝග කිරීමට නැවතත් ස්ටාලින් පන්නයේ සමාජවාදීන් සොයා යන යුගයකට අප එළැඹ ඇත්තෙමු.දේශපාලන අරමුණු උදෙසා දුප්පත් රාජ්‍යයන්ට අත දිග හැර ආධාර කළ සෝවියට් කොමියුනිස්ට් ක‍්‍රමය බිඳ වැටී ආර්ථික අරමුණු වෙනුවෙන් ණය ලබාදෙන චීන කොමියුනිස්ට් ක‍්‍රමය ඉතිරි වී ඇත.

දක්ෂිණ ලංකාවෙන් බිහිවූ කීර්තිමත් කොමියුනිස්ට් නායකයකු වූ ගජධීර සහෝදරයා ද නිහඬවම නික්ම ගොස් ඇත. වාමාංශික පාතාක යෝධයන් වූ දොස්තර වික‍්‍රමසිංහ, ඊලියන් නානායක්කාර හා බී. වයි. තුඩාවේ වැනි දැවැන්තයන්ගෙන් හිස්වූ මාතර කොමියුනිස්ට් රාජ්‍යයේ අවසාන රජු ගජධීර යි. ඔහුගෙන් පසුව ඊට අනුප‍්‍රාප්තිකයකු නොමැත.

මාතර අපේක්ෂක ලැයිස්තුවේ  ගජධීරයන්ට හැමදාම ලැබුණේ අංක 6යි. එකී අංකය හැමදාම ඔහුට වාසනාව ගෙනදෙන ලදි. නමුත් 6 වැනිදා සැන්දෑවේ ඔහු යන්නට  ගියේය. ඒ දකුණේ දේශපාලනයේ පිරවිය නොහැකි හිඩැසක් ඇති කරමිනි. මිනිසුන් මිය යන්නේ එක් වරක් වුවද ඔහුට මරණය හුරු පුරුදු තැනකි. 1986 වර්ෂයේ දිනක කලවාන මහජන මන්ත‍්‍රීවරයා වූ සරත් මුත්තෙට්ටුවේගම මහතා ගමන් ගත් රථය ඇඹිලිපිටියේදී හදිසි අනතුරකට ලක්විය. එයින් මුත්තෙට්ටුවේගම මහතා එතැනම මරණයට පත්විය. එදින ඒ වාහනයේ ගජධීර සහෝදරයා ද  ගමන් කර තිබුණි. මාරාන්තික තුවාල සහිතව සිහිසුන්ව සිටි ඔහුගේ ජීවිතය බේරා ගත්තේ ප‍්‍රතිකාර සඳහා රුසියාවට රැගෙන යෑමෙනි.

උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ලෙස 1987දී ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරන ලදී. බලය විමධ්‍යගත කිරීමට හා ඒ අනුව හඳුන්වා දුන් පළාත් සභා ක‍්‍රමයට ගජධීරලා ගේ කොමියුනිස්ට් පක්ෂයද ඇතුළත් පැරණි වම පක්ෂපාතීත්වය දක්වන ලදී. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට එරෙහි වූ අතර ජනතා විමුක්ති පෙරමුණ අවි අමෝරා ගත්තේය. කොමියුනිස්ට්, සමසමාජ ඇතුළු පැරණි වමේ පක්ෂ එක් පෙරමුණකට ගොනු වෙමින් තිබුණි. එහි නායකයා වූයේ විජය කුමාරණතුංගය. පසුව ඔහු ඇතුළු වාමාංශික නායකයෝ රැුසක් දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුවට බිලිවිය. මාතර පරමුල්ලේ පිහිටි ගජධීරගේ නිවස ද කැරළිකරුවන්ගේ ප‍්‍රහාරයට ලක්විය. එයින් ගජධීරගේ අනුගාමිකයන් කිහිප දෙනෙකුම මිය ගියහ. නමුත් එදින ද ඔහුගේ ජීවිතය රැුකී තිබුණි.

පසු කලෙක ගජධීර ඇමතිවරයා ගමන් කළ නිල රථය මාතරදී ගංගාවකට පෙරළුණි. එදින ද වාහනයේ ගමන් කළ ආරක්‍ෂකයකු මියගිය අතර ඇමතිවරයා නිරුපද්‍රිතව සිටියේය. 2009 තිස් වසරක ත‍්‍රස්තවාදය අවසන් වීමට ආසන්නව පැවතුණි. ඒ කාලයේම අකුරැුස්සේ ගොඩපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදී බෝම්බයක් පුපුරා ගියේය. ගජධීර ඇමතිවරයාගේ පිටුපසින් පුපුරා ගිය එම බෝම්බයෙන් ගජධීරගේ දේශපාලන දිවියේ ගමන් සගයන් රැුසක්ම ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වූ තිලක් විජේසේකර පවා ඝාතනය විය. ගජධීර එදිනද අනූනවයෙන් බේරී ගියේ සීරීමක්වත් නැතිවය.

චන්ද්‍රසිරි ගජධීර සහෝදරයා එසේ ලෙයින් කඳුලෙන් පෝෂණය වී එයින්ම වානේ පන්නරය ලැබූවකි විය. තවද ඔහු ස්වයං හික්මීමකින් හෙබි ප‍්‍රතිපත්ති ගරුක දේශපාලනඥයකු විය. ඔහු දේශපාලනය ආරම්භ කළේම කොමියුනිස්ට්වරයෙකු ලෙසයි. ඒ විද්‍යෝදය සරසවියේ ශිෂ්‍ය සංගම් නායකයකු ලෙසයි. එකල විද්‍යෝදය සරසවියේ බලය හිමිව තිබුණේ කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංගම් වලටයි. මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වූයේ කොමියුනිස්ට්වාදියකු වූ මහින්ද විජේසේකරය. නමුත් 1970 දී ජනතා විමුක්ති පෙරමුණ ඔහුව දැලේ දමා ගත්තේය. ඔවුන් ඒ තුළින්ම විද්‍යෝදයේ බලය අත්පත් කර ගන්නා ලදි. නමුත් කොමියුනිස්ට්වාදී ජාතික ශිෂ්‍ය

සංගමයේ නායකයන් වූ ගජධීර හා එස්. බී. දිසානායක විසින් ගෙන යන ලද අඛණ්ඩ අරගලය හේතුවෙන් එහි බලය නැවත අත්පත් කර ගැනීමට හැකිවිය.

ගජධීර පසුකලෙක ගුරුවරයකු ලෙස තම වෘත්තීය දිවිය ආරම්භ කළේය. නමුත් අසූව මහා වැඩ වර්ජනය හේතුවෙන් ඔහුට රැුකියාව අහිමි විය. ”අඩියක් පෙරට, අඩි දෙකක් පසුපසට, නැවත වේගයෙන් ඉදිරියට” ලෙනින් බෝල්ෂෙවික් පක්ෂය මෙහෙයවූයේ එලෙසය. ගජධීරලා කිසි ලෙසකින්වත් අධෛර්යවත් කිරීමට කිසිවෙකුට නොහැකි විය. ඔහු නීති විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලබා පසුව නීතිඥයකු බවට පත්විය. ඔහු එලෙසින් නැවතත් ප‍්‍රතිවාදීන්ට ඇණයක් වන ලෙසට නැගී සිටියේ ෆීනික්ස් පක්ෂියා මෙනි.

1988 පළමු පළාත් සභා මැතිවරණයෙන්  ගජධීර ජයගත්තේය. ඒ කොමියුනිස්ට් පක්ෂය ද ඇතුළත් එක්සත් සමාජවාදී පෙරමුණ හරහාය. විජය ඝාතනයෙන් පසුව ගජධීරලා ඔසී අබේගුණසේකරගේ ජනාධිපතිවරණ වේදිකාවේ සිට ගත්තේය. වාමාංශික නායකයන් වූ දේවබණ්ඩාර සේනාරත්න, පොහද්දර මුල්ලේ හේමාලෝක හිමි, එල්. ඩබ්. පණ්ඩිත වැන්නන් වැනි විශාල පිරිසක් ඝාතනය විය. ආණ්ඩුව හා ජවිපෙ යන දෙපාර්ශවයේම භීෂණයට මැදිව ගජධීරලා දකුණේ කොමියුනිස්ට් පක්ෂය රැුකගෙන ක‍්‍රියාකාරී දේශපාලනයේ නිරත විය.

1993 දී ජනපති පේ‍්‍රමදාස ඝාතනය වූ අතර ඞී. බී. විජේතුංග මහතා ජනාධිපතිවරයා ලෙස පත්විය. ඒ කාලයේම පැවති පළාත් සභා මැතිවරණයන් ද බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ජයගත්තේය. නමුත් දකුණු පළාත් සභා මැතිවරණයේදී තත්ත්වය මදක් වෙනස් විය. ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂයට ආසනයක් වැඩිවිය. ආණ්ඩුව මන්ත‍්‍රීවරුන් මුදලට ගැනීමට පෙළඹුණි. කුප‍්‍රකට ”ප‍්‍රැන්සිස්කුකරණය” වශයෙන් අදත් හැඳින්වෙන්නේ එම දේශපාලන ක‍්‍රියාවලියයි. විපක්ෂයේ රාජාලියා පක්ෂයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට පත්වූ විමල් ප‍්‍රැන්සිස්කු මන්ත‍්‍රීවරයා පැහැරගෙන ගොස්, සඟවා ගෙන පොදු පෙරමුණේ ජයග‍්‍රහණය ආපසු හැරවීමට එජාප ආණ්ඩුව කටයුතු කළේය.

ආණ්ඩුකාර බකීර් මාකර් මහ ඇමති ධුරයට ඇරයුම් කළේ ජයග‍්‍රහණය කළ පොදු පෙරමුණේ අමරසිරි දොඩංගොඩට නොව එජාපයේ එම්. එස්. අමරසිරිටයි. පළාත් සභා කාර්යාලය අගුලූ ලා ආණ්ඩුකාරවරයා මාතලේ පොල්වත්තක සැඟව සිටියේය.

ගජධීර ද නැවතත් පළාත් සභා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර තිබුණි. තීරණාත්මක පළාත් සභා දිනයේදී හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ ද පළාත් සභා පරිශ‍්‍රයට ඇතුළු විය. පොලිස් බාධක නොතකා මහින්ද, ගජධීර ඇතුළු පිරිස කෙසේ හෝ පළාත් සභාවේ දොර විවෘත කරගත්හ. ඒ දොරට එල්ල කරන ලද පාපහරකිනි. එය මෙරට දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කිරීමට සමත් වූ දේශපාලන පා පහරක් බව දන්නෝ දනිති. වසර 17ක් අඛණ්ඩව බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ පාලනය අවසන් කිරීමට මුල්වූයේ ගජධීරලාගේ ඒ නිර්භීත මැදිහත්වීමයි. එදින ගාල්ල නගරයේ ඇතිවූ කලබලවලින් මිනිස් ජීවිත දෙකක්ද අහිමි විය.

මේ තත්ත්වය හමුවේ පළාත් සභාව විසුරුවා හැරීමට ආණ්ඩුවට සිදුවිය. 1994 දී නැවත වරක් දකුණු පළාත් සභා මැතිවරණය පවත්වන ලදි. එයින් පොදුජන එක්සත් පෙරමුණ විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගත්තේය. නමුත් කුමක්දෝ හේතුවක් නිසා එවර ගජධීර පරාජය විය. නමුත් රැුල්ල නම් දිගටම කැරකුණි. මහා මැතිවරණයට දින නියම විය. පළාත් සභාවෙන් පරාජය වූ

ගජධීර මහා මැතිවරණයට තරඟ කළේය. එයින් ඔහු විශිෂ්ට ලෙස ජයගත්තේය. චන්ද්‍රිකා කුමාරතුංග අගමැතිනිය විය. නොබෝ දිනකින්ම ඇය ජනාධිපතිවරිය විය. ඉතිහාසය වෙනස් විය.

වමේ සන්ධානවල ඇති ආවේනික ලක්ෂණයක් වන අන්තර් ප‍්‍රතිවිරෝධතාවයන් ඒ මැතිවරණයේ ද තදින්ම දක්නට ලැබුණි. මාතර යනු අතීතයේ සිටම රතු බළකොටුවකි. කොටින්ම කිවහොත් එය දේශපාලන වශයෙන් සෝවියට් දේශයේ කුඩා ප‍්‍රාන්තයක් මෙනි. ඒ අව් අස්සේම එකී රතු බළකොටුව නිල් පාට කිරීමටත් සූක්ෂම ක‍්‍රියාවලියක් දියත් වූ බව නොකියා බැරිය. ගජධීරලා ඇතුළෙනුත් පිටතිනුත් එල්ල වූ මේ සියලූ බාධක හමුවේ ඉන්ද්‍රකීලයක් සේ නැගී සිටියේය.

චන්ද්‍රිකා ආණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයට හිමිවූ ඇමතිධුරය හිමිවූයේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තේරී පත්වූ ඉන්දික ගුණවර්ධනටයි. ගජධීරට පළාත් සභා හා සමුපකාර නියෝජ්‍ය ඇමතිධුරයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. කෙසේ නමුත් කොමියුනිස්ට් පක්ෂයේ වැඩිම ඡුන්ද පදනමක් තිබූ දේශපාලනඥයා වූයේ ගජධීරයි. මෙරට කොමියුනිස්ට් බළකොටුව වූ මාතරට නිසි ගෞරවය ලබා නොදීමෙන් කොමියුනිස්ට් නායකයන් කරගන්නා ලද ඓතිහාසික වැරැුද්ද කිසිදිනෙක නිවැරදි කළ නොහැකි බවද කිව යුතුය.

අනූව දශකයේ ආරම්භයට පෙරම යෝධ සෝවියට් රතු අධිරාජ්‍යය කඩාගෙන වැටුණි. ලිතුවේනියාව, ලැට්වියාව ආදී බෝල්ටික් රාජ්‍ය ස්වාධීනත්වය ප‍්‍රකාශ කළහ. දක්ෂිණාංශිකයකු වූ බොරිස් යෙට්සින් රුසියාවේ බලය අල්ලා ගන්නා ලදි. මොස්කව් හි රතු චතුරශ‍්‍රයේ අභිමානයෙන් නැගී සිටි ලෙනින්ගේ දැවැන්ත ප‍්‍රතිමා කඩා දැමුණි. ලෝක  ගෝලයෙන් අඩක් පමණ වසා ගෙන තිබූ අභිමානවත් සෝවියට් දේශය කොටස් 15කට කැඞී ගියේය.

නැගෙනහිර හා බටහිර ලෝකය අතර බෙදාගෙන තිබූ ජර්මනිය බර්ලින් තාප්පය කඩාගෙන එක් විය. මාෂල් ටිටෝ විසින් එක්සේසත් කරන ලද යුගෝස්ලෝවියාව රාජ්‍ය 7කට කැඞී  ගියේය. බොස්නියානු, සර්බියානු හා කොසෝවෝ ආදී ජනකොටස් අතර  ගැටුම්වලින් දෙවන ලෝක යුද්ධයට පසුව යුරෝපයේ ඇතිවූ විනාශකාරීම යුධ තත්ත්වය ඇතිවිය. 140,000ක් මිනිස් ජීවිත විනාශ වූවා පමණක් නොව මිලියන 4 කට වැඩි ජනතාවක් අවතැන් වූහ. කියුබාව දැවැන්ත ඇමෙරිකානු සතුරා අසල හුදකලා විය. ඇෆ්ගනිස්තානයේ ප‍්‍රතාපවත් කොමියුනිස්ට් නායකයා වූ නජිබුල්ලා බලයෙන් පහව ගොස් එරට ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ තෝතැන්නක් බවට පත්විය. ලෝක දේශපාලන සිතියමේ රතු පැහැය මුළුමනින්ම වාගේ සේදී ගියේය. චීනය පමණක් ලෝකයේ කොමියුනිස්ට්වාදීන්ට යම් අස්වැසිල්ලක් ගෙන දෙමින් අභියෝග මැද නොසැලී සිටියා වුවද තුන්වන ලෝකයේ රටවල ප‍්‍රගතිශීලී සමාජතලය ආමන්ත‍්‍රණය කිරීමට ඔවුන්ට නොහැකි විය.

මේ සියලූ බිඳවැටීම් මැද තනිවූ ගජධීරලා කොමියුනිස්ට් පක්ෂය හැරදමා පලා නොගියේය. අත්දැකීම් බහුල, විප්ලවවාදී ජීව ගුණයෙන් හෙබි දැවැන්තයකු වුවද ගජධීර සහෝදරයා තම දීර්ඝ දේශපාලන ඉනිම ගොඩ නැගුවේ ඉතාම සංයමයෙන් යුතුවය. ආවාට ගියාට වාචාල කතා කියා ජනතාව ගොනාට ඇන්දවීමක් ඔහුගෙන් කිසි දිනෙක දකින්නට නොලැබුණි. පටු ජාතිවාදය ඔහු විසින් තරයේ ප‍්‍රතික්ෂේප කරන ලදි. අහිමි වීම්, නොසළකා හැරීම් හමුවේ වුවද ඔහු පටු ලාභාපේක්ෂාවන් උදෙසා ප‍්‍රතිපත්ති පාවා දුන්නේද නැත. ඒ නිසාම තම දේශපාලන සතුරන්ගේ පවා ගෞරවය ඔහුට හිමිවිය.

කොමියුනිස්ට්වරයෙකු ලෙස තම ගමන ආරම්භ කළ චන්ද්‍රසිරි ගජධීර සහෝදරයා අද තම වෙහෙසකර නමුත් තෘප්තිමත් ගමන නිමා කළේය. ඒ කොමියුනිස්ට්වරයෙකු ලෙසමය. ලෙයින්, කඳුලින්, ඩහදියෙන් පන්නරය ලබා ප‍්‍රතිපත්ති ගරුකව දේශපාලන පොරපිටියේ රැුඳී සිටි මේ කීර්තිමත් සමාජ හිතවාදියා නික්ම යෑමෙන් පසු මාතර දිස්ත‍්‍රික්කයට ඇතිවන දේශපාලන රික්තය සුළුපටු නැති බවද අවසාන වශයෙන් කිව යුතුය.

ශානක ලියනගම
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles