Divaina - අධිවේගයේ ඉතිරි කොන්ක‍්‍රීට් - කැලයට, ඇළට, දොළට මුදාහැරලා පරිසරය විනාශයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

N6 wild 2- දක්ෂිණ අධිවේගි  මාර්ගයේ අදියර 04 කොටසේ ඉදිකිරීම් වලට ගෙනත් ඉතිරිවන කොන්ක‍්‍රීට් පරිසරයට  මුදා හැරලා. ජනතාව චෝදනා කරයි.
 
 - කොන්ක‍්‍රීට් තෝරාගත් ස්ථානයකට විතරක් තාවකාලිකව දමා තිබෙනවා. චයිනා හාබර් සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කියයි.
 
 - ”මා නොවන සියල්ල පරිසරය” යැයි ඇල්බට් අයින්ස්ටයින් කියා තිබේ. 1990 දී සම්මත කර ගත් බි‍්‍රතාන්‍ය පරිසර ආරක්ෂණ පනතේ පෙන්වා දෙන්නේ වාතය, ජලය, ගස් කොලන් සහ භූමියට අදාළ යමක් වේද ඒ සියල්ලම පරිසරය වන බවයි. එපමණක් නොව 1980 දී සම්මත කර ගත් අංක 47 දරන ජාතික පරිසර පනතට අනුව පොළොව, පස, වතුර, වායුගෝලය, කාලගුණය, ශබ්දය, රස හා ගඳ සුවඳට සම්බන්ධ අවකාශයත්, සෑම වර්ගයකම සත්ව සහ ශාකවලට සම්බන්ධ සියලූ ජෛවී සාධකත්” පරිසරය වශයෙන් විග‍්‍රහ කර තිබේ.
 
 මේ අයුරින් කොතරම් අනපනත් නීති රීති පරිසරයට අදාළව පැවතියක් ඒවා අද වන විට ක‍්‍රියාත්මක වන්නේ කොතරම් දුරකටදද යන්න සිතා බැලිය යුතුව තිබේ. මිනිසා විසින්ම පරිසරය විනාශ කරමින් පවතියි. පරිසරය රැුකීමට නම් අනපනත් වලට එහා ගිය මිනිස් සිත් සංවර්ධනයක් විය යුතු බවයි බොහෝ උගතුන් පවසන්නේ. අංක 47 දරණ 1980 ජාතික පරිසර පනතේ දැක්වෙන පරිදි, ”¥ෂණය යනු, මහජන සෞඛ්‍යයට, ආරක්ෂාවට හෝ සුබ සිද්ධියටත්, සතුන්ට, කුරුල්ලන්ට, ජලජ ජීවීන්ට, වන ජීවීන්ට හෝ ඕනෑම ආකාරයක ශාකයකට උපද්‍රවකාරී ආකාරයෙන් හෝ විභවාත්මක උපද්‍රවකාරී ආකාරයෙන් යමක් කිරීම හෝ අපද්‍රව්‍ය විමෝචනය කිරීම හෝ තැන්පත් කිරීමාදියෙන් පරිසරයේ ඕනෑම කොටසක ද්‍රව්‍යමය, තාපමය, රසායනිකමය, ජෛවමය හෝ විකිරණශීලී ස්වභාව තත්ත්වයන් සෘජු ආකාරයෙන් හෝ වක‍්‍රාකාරයෙන් විපර්යාසයකට ලක්කෙරෙන ඕනෑම තත්වයක්” පරිසර විනාශයන් ලෙස විග‍්‍රහ කර තිබේ. මේ සියල්ලටම අමතරව පරිසරය සම්බන්ධයෙන් වූ වෙනමම නීති රීතිද පද්ධතියක්ද පවතී.
 
 සියල්ලම එලෙස තිබියදීත් ඉවක් බවක් නොමැතිව සිදුවෙන පරිසර හානියට
 
N6 wild 3 වගකිවයුත්තෝ කවුරුන්දැයි තවදුරටත් විමසා බැලිය යුතුව තිබේ. බොහෝ උගතුන්ගේ මතය නම් පරිසර විනාශයට වැට බැඳිය යුත්තේ පුද්ගලයෙකු ඔහුගේ ළදරු කාලයේ සිටම බවය. පරිසරයේ ඇති වටිනකම හා පරිසර විනාශයේ ඇති දුර්විපාක මුල සිටම පුද්ගලයා තුළට කාවද්දන්නේ නම් ඔහු හෝ ඇය පරිසර විනාශයේ නියමුවන් නොවනු ඇත.
 
 මේ කුමන නීති රීති තිබුණත් විවිධ ලාභ ප‍්‍රයෝජන හමුවේ පුද්ගලයා පරිසරයට සිදුකරමින් පවතින හානිය සුළුපටු නොමැතිය. ඒ නිසා ශ‍්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය කිරීමට හා ස්වභාවික සම්පත් කළමනාකරණයට අවශ්‍ය පසුබිම ගොඩනැගීම අද වන විට කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.
 
 රටක් සංවර්ධනය විය යුතුය. එහෙත් සංවර්ධනයේ මුවාවෙන් සංවර්ධන කාර්යයට එහා ගිය පරිසර හානියක් සිදුකරන්නේ නම් හෝ සිදු වන්නේ නම් ඒ සිදු වෙන සංවර්ධයෙන් කිසිදු පලක් නොවනු ඇත. පරිසරය විනාශ කිරීමේ භයානක ප‍්‍රතිපල අද වන විට ලෝකයාට සේම ලංකාවේ අපටද අත්විඳීමට සිදුව තිබේ. අද වන විට සංවර්ධනයේ අරුණලූ පෙන්වමින් ඇතැම් පිරිස් ස්වභාවික ගස්කොලන් කපා විනාශ කර දමන්නේ කිසිදු හිතක් පපුවක් නැති අයුරිනි.
 
 මාතර සිට මත්තල දක්වා ඉදිකෙරෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ අදියර 04 කොටසෙහිද සිදුවෙන පරිසර හානියක් සම්බන්ධයෙන් එම ප‍්‍රදේශයේ ජනතාව
 
 පසුගිය දින අපට තොරතුරක් දුන්නේය. ඒ අනුව අපද ඒ ප‍්‍රදේශයට කැලෑ මාර්ගයක් ඔස්සේ ළඟා වීය. එහිදී අපට දැක ගත හැකි වූයේ අධිවේගි මාර්ගයේ අදියර හතර කොටසෙහි ඉදිකිරීම් සඳහා යොදාගෙන ඉතිරිවන කොන්ක‍්‍රීට් පරිසරයට මුදා හැර ඇති අයුරුය. පොලොව මතුපිටට කොන්ක‍්‍රීට් බැහැර කිරීම නිසා ගලා ගිය කොන්ක‍්‍රීට් හරියට මහවැලි ගංගාව මෙන් දිස් විය. කවුරුන් කුමන අයුරින් මේ කටයුත්ත සාධාරණීකරණය කිරීමට උත්සාහ කළද අක්කර භාගයකට වැඩි ප‍්‍රදේශයක් පුරා කොන්ක‍්‍රීට් බැහැර කර ඇත්තේ පරිසර නීති රිතී සියල්ලටම පයින් ගසා බව නම් ඉතා පැහැදිලිය.
 
 මේ සම්බන්ධයෙන් අප දක්ෂිණ අධිවේගි මාර්ගයේ අදියර හතර කොටසෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන චයිනා හාබර් සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ චාවෝ මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවසීය.
 
 N6 wildසංවර්ධනයක් කෙරෙනකොට ඕවා ඔහොම තමයි. අපිට මේ සංවර්ධන කටයුතු සඳහා අක්කර 50 ක භූමි භාගයක් ලැබිලා තියෙනවා. ඒ අක්කර 50 ක කොටස අපිට දීලා තියෙන්නේ අපට මේ වගේ බැහැර කිරීම් කරන්න හා ඉදිකිරීම් කරන්න. අනික තමයි අපි මේ බැහැර කරන කොන්ක‍්‍රීට් සියල්ලම මේ වැඩ පල අවසානයේ සියල්ලම නැවත එකතු කරලා වෙනමම විනාශ කිරීමට රැුගෙන යනවා. මේ ස්ථානයේ මේ කොන්ක‍්‍රීට් බැහැර කරලා තියෙන්නේ තාවකාලිකවයි. එහෙම නැතිව හැමදාම මේ පිටතට බැහැර කරපු කොන්ක‍්‍රීට් තියෙන්න අරින්නේ නෑ. අනික මේවා මාධ්‍යයේ පෙන්වන්න තරම් දේවල් නෙමෙයි යැයිද පැවසීය.
 
 චීන සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වරයා කියන පරිදි මේ කොන්ක‍්‍රීට් පරිසරයට මුදා හැර ඇත්තේ තාවකාලිකවය. එහි සංචාරය කළ අපිට දැක ගත හැකි වූයේ අවුරුදු 03 කට ආසන්න කාලයත් තිස්සේ බැහැර කරන ලද කොන්ක‍්‍රීට් මෙහි ඇති බවයි. ඒ බව අධිවේගයේ සේවය කළ අයෙකුද අපට තවදුරටත් තහවුරු කළේය.
 
 අධිවේගි මාර්ගයේ සේවයේ නියුතු කම්කරුවෙකු අපත් සමග පැවසුවේ මෙහෙම කතාවකි.
 
 මේවා මහා ජාතික අපරාධයක්. මමත් මේ චීන සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේම තමයි වැඩ කරන්නේ. මට මේවාට කතා කරන්න අයිතියක් නැ. මන් මේවාට විරුද්ධව කතා කළොත් මාව හෙට රස්සාවෙන් දොට්ට දමනවා. නමුත් ඇත්ත කතාව නම් අදියර 04 කොටසේ විතරක් මේ වෙනකොට සිදුකරලා තියෙන පරිසර විනාශය ඉතා විශාලයි. මේ විදියට කොන්ක‍්‍රීට් පරිසරයට මුදා හරින්න පුළුවන්ද කියලා අපිට නම් තේරෙන්නේ නෑ. මේ කැලේ ඇවිදලා බලන්නකෝ කොන්ක‍්‍රීට් දමපු හැටි. අපි කියන්නේ මේක අපේ රට. මේ අය මේ පාර හදලා ඉවර වෙලා සල්ලි ටිකත් අරගෙන යන්න යාවි. හැබැයි මේවගෙන් දුක් විඳින්න වෙන්නේ මේ රටේ ඉන්න අපිටමයි. ගිහින් බලන්නකෝ මේ කොන්ක‍්‍රීට් දමපු ඒරියා එකේ එක ගහක් කොලක් පැළයක් හැදෙන්න පුළුවන්ද කියලා. බැලූ බැලූ පැත්තේ කොන්ක‍්‍රීට් ගංගාවල් තමයි තියෙන්නේ. මේවා බලන්න එන නිලධාරීන් මේවා දන්නේ නෑ. මේවා බලන්න එන නිලධාරීන් කොන්ක‍්‍රීට් අංගනය තියෙන තැනට ගියාට ඒ තැන්වල චීන්නු
 
 ගානට වැඩ ටික කරලා තියෙනවා. ඉතින් මේවා බලන්න එන අය හොඳින් පරිසරයට හානියක් නැතිව මේවා කරගෙන යනවා කියල අනුමැතිය දෙනවා. නමුත් චීන්නු සල්ලි හොයන්න මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරනවා. ලාංකික පුරවැසියෙකු ලෙස මන් කියන්නේ මොන පදනමක් යටතේ වුණත් මේ විදියට එළිමහනේ කැලෑ තුළට කොන්ක‍්‍රීට් බැහැර කරන එක අනුමත කරන්න බැහැ කියලයි.
 
 දක්ෂිණ අධිවේගි මාර්ගයේ අදියර 04 කොටසේ ඉදිකිරීම් සිදුකරන චයිනා හාබර් සමාගම ඉදිකිරීම් කටයුතු වලදී විවිධ කටයුතු සඳහා ලබාගෙන ඇති මෙම අක්කර 50 කොටස මීට පෙර මේ ප‍්‍රදේශවල ජීවත් වූ ජනතාව හේන් ගොවිතැන් සිදුකළ ප‍්‍රදේශයි. ඉදිකිරීම් අවසානයේ මේ කැලෑ මතට මුදා හැර ඇති කොන්ක‍්‍රීට් ඉවත් කර සුද්ධ කරන බවට චයිනා හාබර් සමාගමේ නියෝජිතයන් පැවසුවත් වසර ගණනාවක් තිස්සේ පොලොව මත කොන්ක‍්‍රීට් තිබීමෙන් පරිසරයට හා පසේ ඇති සරුබාවයට සිදුවන හානිය නොවැළැක්විය හැකි බව අපි සිහිපත් කළ යුතුය.
 
 අන්දරවැව පදිංචි ආර්. විජේසිරි මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය.
 
 අපි ඒ කාලේ ඉඳන්ම කළේ හේන්
 
 ගොවිතැන. ඒ හේන් ගොවිතැන් කළ කැලේ අද අපිට නැති වෙලා තියෙනවා සංවර්ධන කටයුතු නිසා. ඒ නිසා අපිත් ඉතින් දැන් හේන් ගොවිතැනට සමුදිලා ඇවිත් මේ අධිවේගි මාර්ගයේ කම්කරුවන් ලෙස කටයුතු කරනවා. දවසේ පඩියට තමයි අපි මේ වැඩ කරන්නේ. මේ පාරේ වැඩ කරන අපිට පේනවා මේ අය පරිසරයට කරන හානි පිළිබඳව. අපි මොනවා කිව්වත් වැඩක් නෑ. ඒ අය නිලධාරීන් හැමෝම අල්ලගෙන තමයි මේ වැඩ කරන්නේ. අපිට මේවාට විරුද්ධව කතා කරන්න බැහැ. එහෙම වුණොත් වෙන්නේ රස්සාව නැති වෙන එක. අදියර හතර කොටසේ කොන්ක‍්‍රීට් ප්ලාන්ට් එක තියෙන තැනට පිටු පසසේ තියෙන කැලය තුළට තමයි චීන්නු ඉතිරිවන කොන්ක‍්‍රීට් බැහැර කරන්නේ. කොන්ක‍්‍රීට් ප්ලාන්ට් එකට පිටු පැත්තේ තියෙන කැලේ බැලූ බැලූ අත කොන්ක‍්‍රීට් ගංගාවල් වගෙයි. අපි ඒ කාලේ මේ කැලේ තමයි හේන් කළෙත්. දැන් අවුරුදු දෙකක තුනක වගේ ඉඳලා මේ අය මේ තැනට ඉතිරිවන කොන්ක‍්‍රීට් බැහැර කරලා තියෙනවා. මේ චීන්නු නම් කියන්නේ මේවා ඔක්කොම නැවත ඉවත් කරනවා කියලයි. එහෙම අවුරුදු ගාණක් කොන්ක‍්‍රීට් බිම තිබිලා අයින් කළා කියලා සිදුවෙන පරිසර හානිය නම් වළක්වන්න බෑ. මේ පොලොවේ මේ දමලා තියෙන කොන්ක‍්‍රීට් අයින් කලාට කාලයක් යනකම් මේ බිමේ ගස් කොලන් හැදෙන්නේ නැ. පසේ සරු භාවය ඇති වෙන්නෙත් නැ. අපි ගොයියෝ හැටියට අපිට තේරෙනවා ඒක. නමුත් දැන් ඉතින් තියෙන්නේ දියුණු ලෝකයක් නේ. ඒ අය නම් මේවට එක එක විසඳුම් කියාවි. ඒ මොක කිව්වත් මට කියන්න තියෙන්නේ මේ විදියට කොන්ක‍්‍රීට් පරිසරයට මුදා හැරීම නම් කිසිසේත් අනුමත කරන්න බැහැ කියන එකයි. මේ වැඩ වලට හවුල් වෙන්නේ අපේ මිනිස්සුමයි. චීන්නු අපේ ඇතැම් අය අල්ලගෙන ඒ අයට සල්ලි දීලා තමයි මේවා කරන්නේ. මේවා මේ හයිවේ එක බලන්න එන ලොකු මහත්වරු දන්නේ නෑ. ඒ අයට මේවා පෙන්වන්නෙත් නැ. මාධ්‍ය මගින් මේක හෙළි වුණාට පස්සේ දැන් මේ අය කලබල වෙලා තියෙනවා.
 
 මත්තල පදිංචි ගාමන් පරාක‍්‍රම මහතා.
 
 මේක නම් මහා ජාතික අපරාධයක්. මේ අය කියන්නේ මේ අයට මහවැලියෙන් දුන්නු ඉඩම්වලයි මේ තාවකාලිකව මේවා බැහැර කරන්නේ කියලා. මහවැලියට අයිති ඉඩම්වල මෙහෙම කොන්ක‍්‍රීට් දැම්මම පරිසරය ¥ෂණය වෙන්නේ නෑ වගෙයි මේ චීන සමාගමේ වැඩ කරන අය කතා කරන්නේ. ගහක් කොළක් හැදෙන්න තියෙන පරිසරය මේ විදියට විනාශ කරලා දමන එක කොතරම් දුරට සාධාරණද කියලා හිතලා බලන්න වෙලා තියෙනවා. මේ ඉතිරිවන කොන්ක‍්‍රීට් බැහැර කිරීමේ නිසි ක‍්‍රමවේදයක් තියෙනවා. නමුත් ඒ ක‍්‍රමවේදයට නෙමෙයි මේ අය මේ කොන්ක‍්‍රීට් බැහැර කරන්නේ. චීන්නු මේ වැඬේ ඉවර වෙලා රටින් යාවි යන්න. මේ ප‍්‍රදේශයේ ජීවත් වෙන අය තමයි මේවගෙන් වන්දි ගෙවන්නේ. කොන්ක‍්‍රීට් මේ විදියට පරිසරයට දැම්මම ගහක් කොළක් හැදෙන්නේ නෑ. සතෙකුට කන්න තැනක් තියා ඉන්න හිටින්නවත් බෑ කොන්ක‍්‍රීට් වනාන්තරයක. ඒ නිසා වගකිවයුතු බලධාරීන් මේ සම්බන්ධයෙන් කඩිනමින් ක‍්‍රියාත්මක වෙලා මේ සිදුකරන පරිසර හානි පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න කියලයි අපි ඉල්ලන්නේ.
 
 එච්. කේ. අනුලාවතී මහත්මිය
 
 මම මේ අධිවේගි මාර්ගයේම අදියර 04 කොටසේ කම්කරු රැුකියාවක් කරන්නේ. පසුගිය දවසේ අපිට දැනගන්න ලැබුනා මේ කැලේට චීන්නු කොක්ක‍්‍රීට් දමලා කියලා. අපිත් ගියා බලන්න. ඇත්තටම මහා පරිසර හානියක් තමයි කරලා තියෙන්නේ. ඒ චීන සමාගමේ නියෝජිතයෝ නම් කියන්නේ අපට පවරලා දීලා තියෙන ඉඩම් කොටසෙයි මෙහෙම කරන්නේ කියලා. මොන ඉඩමේ මොන කැලේ මේ විදියට කොන්ක‍්‍රීට් දැම්මත් ඒක අපිට තේරෙන විදියට නම් කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. මේ කොන්ක‍්‍රීට් විධිමත් විදියට බැහැර කිරීම මින් ඉදිරියටවත් සිදුකළ යුතුයි. එහෙම නොවන්නට සිදුවෙන පරිසර හානිය අධිකයි.
 
 මේ සම්බන්ධයෙන් අප චයිනා හාබර් සමාගමේ පරිසර කළමනාකරු සමීර මිරිහාන මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවසීය.
 
 කොන්ක‍්‍රීට් ප්ලාන්ට් එක හා ඒ අවට අක්කර 50 ක භූමියක් අපි මහවැලියෙන් කුලී පදනම මත ලබාගෙන තියෙනවා. ඒ භූමිය තුළ තමයි අපි මේ ඉවතලන කොන්ක‍්‍රීට් දැනට බැහැර කරලා තියෙන්නේ. දැනට අවුරුදු 03ක වගේ ඉඳන් මේ ඉතිරිවන කොන්ක‍්‍රීට් අපි මේ ස්ථානයේ දමා තියෙනවා. එලෙස එකතු වෙන කොන්ක‍්‍රීට් මීට පෙර එක් අවස්ථාවකදි අපි ඉවත් කරලා වෙනම මුදාහැරීමට කටයුතු කළා. මේ ව්‍යාපෘතිය ඉවර වුණාම මේ බිමට දමා තිබෙන කොන්ක‍්‍රීට් නැවත එකතු කරලා ඒවා වෙනම නියමිත ස්ථානයකට මුදා හැරීමට කටයුතු කරනවා. අනික තමයි මේ වගේ සංවර්ධනයක් වෙනකොට මේ වගේ දේවල් වෙනවා. එක එක තැන්වලට මේ කොන්ක‍්‍රීට් දමන්න බැරි නිසා තමයි මේ අක්කර 50 ක භූමි භාගය තුළ තෝරාගත්ත කොටසකට මේ විදියට කොන්ක‍්‍රීට් බැහැර කිරීම සිදුකරන්නේ. අනික මේ කැලේට නෙමේ මේවා දමන්නේ. අපි කුලී පදනම මත ලබාගෙන තියෙන කොටසටයි මේ කොන්ක‍්‍රීට් බැහැර කිරන්නේ. ඒ කොටස ඉස්සර මිනිස්සු හේන් ගොවිතැන් කරපු ප‍්‍රදේශයක්. අනික මේ ඉඩම් කොටස අපි අරගෙන තියෙන්නේ ගස් කොළන් වවන්න නෙමේ. මේ අධිවේගයේ අදියර 04 කොටස ඉදිකිරීමේදී ඉදිකිරීම් කරන සමාගමේ අවශ්‍යතාවන් සඳහායි. අපි මේ වෙනකොට කොන්ක‍්‍රීට් බැහැර කරපු ඒරියා එක අක්කර භාගයක් වගේ පුංචි කොටසකුයි.
 
 දක්ෂිණ අධිවේගයේ අදියර 04 කොටසේ ඉදිකිරීම් සිදුකරන චීන සමාගමේ නියෝජිතයන් නම් ඉතා සැහැල්ලූවෙන් හා ඔවුන්ගේ ක‍්‍රියාව ඉතා සාධාරණ එකක් බවට කරුණු ගෙනහැර දක්වමින් පැවසුවත් සිදුව ඇත්තේ පරිසර හානියක් බව ඉතා පැහැදිලිය. චීන සමාගමේ නියෝජිතයන්ට මේ බව නොතේරීම පුදුමයට කරුණකි. ඉවතලන කොන්ක‍්‍රීට් බැහැර කිරීමේ නිසි ක‍්‍රමවේද තිබියදී මේ විදියට පිරිසරය වනසමින් සිදුකරන ක‍්‍රියාව කොයි ආකාරයකින්වත් සාධාරණීකරණය කළ නොහැතිය. මේ ක‍්‍රියාව පිළිබඳව මාධ්‍ය
 
 මගින් අනාවරණය වීමත් සමග මේ වන විට අදාළ කොන්ත‍්‍රාත් සමාගමේ නිලධාරීන්ද ඊට ප‍්‍රතිචාර දක්වමින් සිටින්නේ අරුම පුදුම විදියටය. පරිසරයට මුදාහැර ඇති මෙම කොන්ක‍්‍රීට් ඉවත් කරනවා වෙනුවට අදාළ කොන්ත‍්‍රාත්කාර සමාගමේ ඇතැම් පිරිස් මාධ්‍ය අනාවරණයට දොස් නගමින් යන්නේ ඔවුන් සිදු කර ඇති ක‍්‍රියාව සාධාරණීකරණය කරමිණි.
 
 මේ අයුරින් සිදුවෙන පරිසර හානියන් දෙස බැලූ කල අපට වැටහෙන්නේ ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය හා පරිසර කළමනාකරණය හා පරිසර සංරක්ෂණය පිළිබඳ මහජනතාව සවිඥානිකව සවිබල ගැන්වීම, පරිසර සංරක්ෂණ කටයුතු කළමනාකරණයට අවශ්‍ය මෙවලම් සහ විධාන සඳහා ඒකීය ආයතනික පද්ධතියක් ස්ථාපිත කිරීම අදට උචිත ක‍්‍රියාවක් බවය.
 
 සටහන හා සේයා රූ -  මත්තල දිලිප් එන්. ජයසේකර


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles