Divaina - කාට වුණත් ශ‍්‍රිලණිපය නැතුව ආණ්ඩු පිහිටුවන්න මැතිවරණ ජයගන්න බැහැ-ලසන්ත අලගියවන්න

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 lasantha
 
 * මම එජාපයට යන්නෙත් නැහැ, පොහොට්ටුවට යන්නෙත් නැහැ.
 
 * මහ ගෙදර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ඒම අනිත් අයගේ යුතුකම, එහෙම නැතුව මහගෙදර නැති කරන්න බැහැ.
 
 
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂ ලෙස අනාගතයේ එකතු නොවන බවත් පොදු අරමුණක් වෙනුවෙන් මැතිවරණවලදී එක්ව තරග කිරීම පමණක් සිදුවන බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහතා පවසයි. ශ‍්‍රීලනිප ගම්පහ දිස්ත‍්‍රික් නායකයා ද වන ඔහු රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට කරුණු දැක්වූයේ මෙසේය.
 
 
 අද වන විට රටම නැවතිලා, රටේ මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ?
 
 නිදහසෙන් පස්සේ වසර හැත්තෑවක් රට පාලනය කරද්දී ලබා ගත ජයග‍්‍රහණ වගේම කරන්න බැරි වුණු ගොඩක් දේවල් තිබෙනවා. ඒ ගැන දේශපාලන අධිකාරිය හා නිලධාරී තන්ත‍්‍රය වගකීම බාරගත යුතුයි. වර්තමාන දේශපාලන අස්ථාවරභාවය මුල්කරගෙන රටේ සමස්ත ජනතාවට දේශපාලනය ගැන කලකිරීමක් ඇතිවී තිබෙන බව අප නිහතමානීව පිළිගත යුතුයි.
 
 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ නේද මේ තත්ත්වය?
 
 ඒකම පමණක් නෙවෙයි, එයත් එක ප‍්‍රධාන හේතුවක්. 78 ව්‍යවස්ථාවෙන් කාලයක් අපේ රට පාලනය වුණේ විධයක ජනාධිපතිවරයෙක් අතින්. ඒත් දැන් ජනාධිපති, අගමැති හා කථානායක කියන තනතුරු තුනම රටේ පාලන තන්ත‍්‍රයට බලපෑම් කළ හැකි තත්ත්වයක් ඇතිවෙලා.
 
 මෙය සංකල්පයක් ලෙස හොඳ වුවත් එය ප‍්‍රයෝගිකව ක‍්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලූ ඇතිවෙලා. ඒ වගේම ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකක නායකයන් ජනාධිපති තනතුර හා අගමැති තනතුර නියෝජනය කිරීමත් මේ තත්ත්වයට බලපා තිබෙනවා.
 
 කොහොම වුණත් මේ විදිහට රට ඉදිරියට යන්නේ බැහැ. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවා පවසා තිබෙනවා. ශ‍්‍රීලනිපය ඊට එකඟද?
 
 ව්‍යවස්ථා සංශෝධනයක් ඇති විය යුතුයි. ශ‍්‍රීලනිපයට මේ සම්බන්ධව වෙනස් වන ප‍්‍රතිපත්තියක් නැහැ. මෑතකදී ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයට ශ‍්‍රීලනිප යෝජනා ලිඛිතව ලබා දුන්නා. ව්‍යවස්ථාවේ වෙනස් කළ යුතු දේ අඩුපාඩුකම් අපි ලිඛිතව ලබාදී තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අපි එහි අනුමත කර තිබෙනවා. යම් සංශෝධනයක් කරනවා නම් මැතිවරණ ක‍්‍රමය සහ ආණ්ඩුකාරවරුන් පත් කිරීම වැනි දේ ඊට සමගාමීව සිදු කළ යුතුයි. එහෙම නැතිව විධායක ජනාධිපති ක‍්‍රමය විතරක් සංශෝධනය කරන්න බැහැ.
 
 මේ වන විට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු රැසක් පොදුජන පෙරමුණට ගිහින් තියෙනවා. තව පිරිසක් එජාපයට යන්න හදන බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ ආකාරයට ගියොත් ශ‍්‍රීලනිපය දිය වෙයිද?
 
 අපේ පක්ෂයේ ඕන තරම් පිරිස් පක්ෂය හැරදා ගොස් තිබෙනවා. ඒත් පක්ෂය තවමත් එලෙසම තිබෙනවා. මීට වඩා අභියෝගවලට මේ පක්ෂය මුහුණ දී තිබෙනවා. අපේ පක්ෂය හා අනෙකුත් පක්ෂ අතර ප‍්‍රධානතම වෙනස එයයි. පුද්ගලයන්ට පක්ෂයේ පැවැත්මට බලපෑමක් කරන්න බැහැ.
 
 මේ රට වැඩිම කාලයක් පාලනය කළේ ශ‍්‍රීලනිපය. සේවක අර්ථ සාධක අරමුදල රාජ්‍ය බැංකු වගේ බොහෝ දේ රටට ලබා දුන්නේ ශ‍්‍රීලනිපය. ඒ වගේම පළාත් සභා, පළාත් පාලන ආයතන වැඩිම කාලයක් පාලනය කළේ අපි. එම නිසා කවුරුත් හිතුවට ඒ අය ගියාට පක්ෂය වැටෙයි කියලා එහෙම වෙන්නේ නැහැ.
 
 ඔබ ඔහොම කිව්වට පසුගිය කාලයේ පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිපය විශාල පසුබෑමක් ලැබුවා නේද?
 
 පක්ෂයක ජයග‍්‍රහණයට සියලූ දෙනා එක්විය යුතුයි. හැබැයි මේක සදාකාලික පාඩුවක් නොවෙයි. මන්ත‍්‍රීවරු අටට පහල බැහැපු ශ‍්‍රීලනිපය 1994 දී බලය ලබා ගත්තා. මේ වන විට අවුරුදු විසිපහක් අප බලයේ ඉන්නවා. කාට වුණත් අප නැතුව අදටත් ආණ්ඩු පිහිටුවන්න මැතිවරණ ජයගන්න බැහැ.
 
 ශ‍්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡුා සාර්ථකද?
 
 සාකච්ඡුා සුබවාදීයි. අපි වැඩ කරන්නේ මූලික වශයෙන් රට ගැන හිතල, දෙවනුව පක්ෂය හා අපේ නායකයා ගැන අපි පෙනී සිටිනවා. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම, ඇමැති මණ්ඩලය සීමා කිරීම, වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කිරීම, රටට පොදු නීතියක් ගෙන ඒම, ජාතික ප‍්‍රතිපත්ති සෑම ක්ෂේත‍්‍රයකටම ගෙන ඒම, ඒ සඳහා ක‍්‍රියාකාරී සැලසුම් ඇති කිරීම, ලෝක ප‍්‍රවණතා අනුව රට ඉදිරියට ගෙන යාම, රාජ්‍ය ආදායම, ණය බර, මත්ද්‍රව්‍ය උවදුර ආදී බොහෝ දේ ගැන සාකච්ඡුා කළා. එම සාකච්ඡුා සාර්ථකයි.
 
 ඉදිරි මැතිවරණ, ඇමැති ධුර බෙදා ගැනීම ගැන සාකච්ඡුා කළාද?
 
 මැතිවරණවලට තරග කරන ආකාරය ගැන යම් යම් සාකච්ඡුා කළා. ඒත් ඇමැති ධුර ගැන සාකච්ඡුා කළේ නැහැ.
 
 ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රීලනිප නායක මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තරග කරනවද?
 
 ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණයක් ගත්තා එතුමා ජනාධිපතිවරණයට තරග කළ යුතු බව. අප ඒ තීරණය එතුමාට දැනුම් දුන්නා. ඒ තීන්දුව ගත යුත්තේ ඔහු විසින්. අපේ ඉල්ලීම ජනාධිපතිවරයා තරග කළ යුතු බවයි. කොහොම වුණත් ඔහුගේ නායකත්වයෙන් ඉදිරියටත් ඔහු ශ‍්‍රීලනිපයට නායකත්වය දෙනවා. ඔහු මත්ද්‍රව්‍ය විරෝධී සටනට නායකත්වය දිගටම දෙනවා. ඔහු දිගටම සක‍්‍රීය දේශපාලනයේ දිගටම යෙදෙනවා.
 
 මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තරග නොකරන්නේ නම් පක්ෂයේ වෙනත් කෙනෙක් තරග කරන බව ඇතැමුන් කියනවා?
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි තීරණයක් ගෙන නැහැ.
 
 ශ‍්‍රීලනිපය හා පොදු ජන පෙරමුණ නැවත එක්වෙන්නේ නැද්ද?
 
 පැහැදිලිවම මේක ඉදිරියටත් පක්ෂ දෙකක්.
 
 අප සියලූ දෙනාගේ අම්මා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය. අම්මට සිසේරියන් සැත්කමක් කරලා පොහොට්ටුව බිහි වුණේ.
 
 මහ ගෙදර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ඒම අනිත් අයගේ යුතුකම, එහෙම නැතුව මහගෙදර නැති කරන්න බැහැ.
 
 ජනාධිපතිවරණය කල් යයිද? නව ව්‍යවස්ථාව කථානායකවරයා අත්සන් කළ දිනයේ සිට ද ධුර කාලය ආරම්භ වෙන්නේ?
 
 මේ ගැන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිය යුතුයි. ඒ ගැන ඉඩක් තිබෙනවා. පක්ෂය ලෙස අප එතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒත් ඒ ගැන ජනාධිපතිවරයාගේ තීරණය තවම දන්නේ නැහැ.
 
 ඉදිරියේදී මුලින්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවට මත පළවෙනවා?
 
 ඒක තීරණය කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් මේ
 
 ගැන ඕනෑම අවස්ථාවක තීන්දුව
 
 ගන්න පුළුවන්. ඒත් ජනාධිපතිවරයාට ඒකට බලයක් නැහැ. අලූත් ක‍්‍රමය යටතේ මැතිවරණ නීතිය හැදිලා තියෙන්නේ. ඒ අනුව සීමා නීර්ණ කොමිසමේ වාර්තාව ගැන තමයි ප‍්‍රශ්නය. ඒ ගැන විසඳන්න මාස දෙකයි නීතියෙන් කල් දීලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන අර්ථ දැක්වීමක් කරන්න අධිකරණයට පුළුවන්.
 
 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය තමයි ඔබව දේශපාලනයට ගෙනාවේ. ඇයගේ අනාගත කාර්ය භාරය කුමක්ද?
 
 අද මම මෙතන ඉන්නේ එතුමිය නිසා. මට අතදුන්නේ ශක්තිය දුන්නේ මග පෙන්වූයේ එතුමිය. ඇය අපේ පක්ෂයේ අදටත් අනුශාසකවරිය. මේක බණ්ඩාරනායකවරුන් බිහි කරපු පක්ෂය. ඇයගේ අදහස් ඇයට පළ කරන්න පුළුවන්. ඒ අයිතිය ඇයට තිබෙනවා. ඇය අත්තනගල්ල ආසනයේ සංවිධායකවරිය වගේම පක්ෂයේ අනුශාසක විදිහට ඉදිරියටත් සක‍්‍රීය දේශපාලනයේ ඉන්නවා.
 
 ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන තිබෙනවා. ඔවුන් ගැන
 
 ගන්නා තීරණය මොකක්ද?
 
 ඒ සඳහා පියවර ගත යුතු වුවත් අවස්ථාව හා කාලය අනුව
 
 ප‍්‍රායෝගිකව කරන්න අපහසුයි. ඒත් ජාතික ලැයිස්තුවෙන් ආපු අය එහෙම යන එක ගැන ඒ කටයුත්තේ සදාචාරකම ගැන රටේ ජනතාව තීරණය කළ යුතුයි.
 
 එස්.බී. දිසානායක ඇමැතිවරයා කියලා තිබුණා ඔබ චම්පික රණවක හරහා එජාපයට යනවා කියලා?
 
 මම එජාපයට යන්නෙත් නැහැ, පොහොට්ටුවට යන්නෙත් නැහැ.
 
 අද මෙහෙන් එහෙට යන අය
 
 ගැන සැලකිලිමත් වෙන්න කියලා මම ඉල්ලනවා. ඔය එස්.බී. දිසානායක මහතා තමයි පොහොට්ටුවේ අයට වැඩි පුරම විවිධ දේ කිව්වේ. ඔය සමහරු එජාප ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරු, සමහරුන්ට අරලියගහ මන්දිරයේ කාර්යාල තිබුණා, ආර්ථික කමිටුවල හිටපු අය.
 
 අද මේ අය පව් සමා කරගන්න හදනවා. ඒ සඳහා මේ අය ශ‍්‍රීලනිපයට බණිනවා. උපාධි, නීතිඥකම් තිබුණට මේ අය ඉතාම දුර්වලයි. රටේ ජනතාව මේ අය
 
 ගැන අවධානය යොමු කළ යුතුයි. දෙදහස වසරේ අපි පිහිටු වූ ආණ්ඩුව වැට්ටුවේ ඔය එස්. බී. දිසානායක හා ජී.එල්. පීරිස්.
 
 ප‍්‍රතිපලය වුණේ ශ‍්‍රීලනිප සාමාජිකයන් හාර දහසක්
 
 බන්ධනාගාර ගත කළ, හැට දෙනෙක් මැරුවා. දහස් ගාණක් දේශපාලන පලිගැනීම්වලට ලක් වුණා. අවුරුදු දාහතක් විපක්ෂයේ ඉඳල ගත්ත ආණ්ඩුව පෙරළුවේ ඔය අය. එහෙම අය තමයි අද අපට චෝදනා කරන්නේ. එම නිසා මේ අය ගෙන් පරෙස්සම් වන ලෙස පොහොට්ටුවේ නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
 
 
 සාකච්ඡුා කළේ - ජනිත සෙනෙවිරත්න 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles