Divaina - රිටිගල කන්දෙන් එන සුනිල දිය කොමලියට අනුරපුරයේදී ඇයි මේ අතවර?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 

ritigala
 
 * මෙහෙම ගියොත් ‘සහල් නැළිය’ට යන්නේ අපජලය
 
 * සහල් නැලියට පණ දෙන්න පහළ මල්වතු ඔය ජලාශය ඉදිකිරීම ඇරඹේ
 
 * තන්තිරිමලේ සංචාරක පුරවරයක්”
 
 * අලූතින් අක්කර 2000 ක් යල මහ වගාවට
 
 * අනුරපුරයෙන් පිටවෙන මල්වතු ඔය වතුරේ විෂ ලවණ සහ හානිදායී බැක්ටීරියා
 
 * රජරට සරසවි සිසුන්ගෙන් මල්වතු ඔය සුරැකීමේ සංසදයක්
 

 
 සනත් එම්. බණ්ඩාර
 
 
”අපි ගැන අපේම සමහර අය ඇස්තමේන්තු කරන්නේ බොහොම බාල විදියට. පෙර රජ දවසේ කල වැඩ ගැන සමහරුන්ට කිසිම අගයක් හෝ විශ්වාසයක් නෑ. අද තිබෙන තාක්ෂණයෙන් තමයි ඒවා මනින්නේ. ලොකු ගල් තහඩු එකතු කරලා ගොඩනැගිල්ලක් හැදුව කිව්වොත් අහනවා දොඹකර නැතුව එදා කොහොමද ගල් ඉස්සුවේ කියල.”
 
 මා විසින් පසුගිය සතියකදී දිවයින ඉරිදා සංග‍්‍රහයට ලියූ පිදුරංගල වැසිදිය නෙලන යාන්ත‍්‍රණය කියවා උද්දාමයට පත්, ඒ පැත්තේම වෙසෙන සරසවි සිසුවෙක් මාගේ විද්‍යුත් තැපැල් ලිපිනයට එලෙසින් පටන්ගෙන තවත් බොහෝ දේ ලියා තිබිණ. රසදිය වාෂ්පය ඉන්ධනයක් වශයෙන් යොදවමින් රාවණා රජු භාවිතා කළ දඬුමොනරය ගැනද ඔහු ලියා තිබුණේ, කටුනායක අවට වෙසෙන්නකු උදේ හවා දකින ගුවන්යානාවක් ගැන ලියනවාටත් වඩා අපූරුවටය. ඇතැමුන් මිථ්‍යා මත ලෙස බැහැරකිරීම නිසා වසර 5000 කටත් වඩා පැරණි මේ තොරතුරුවලට නිසි පිළිගැනීමක් අදටත් සමාජගත වී නොමැත. සුද්දාගේ බලපුළුවන්කාරකම්වලට, දෙකට තුනට නැමී ගොදුරුවීමට තරම් උදාසීනත්වයක් අප සතු වූ බැවින්, ඔවුහු අප පසුකර වේගයෙන් ඉදිරියට ගිය බව සැබෑවකි. මේ නිසාම යමක් කළ හැක්කේ බටහිර ජාතීන්ට යයිද, අපගේ හැකියාවන් ශ්‍රේණිගත කළයුත්තේ ඔවුන්ගේ හැකියාවන් සම්මතයේ තබා බවද අදහන සමාජයකින් පෝෂණය ලබන වටපිටාවකදී අප අතර උපදින මෙවැනි සරසවි සිසු පැටවුන් රටටම සම්පතක් බව නම් ආඩම්බරයෙන් සටහන් කළ යුතුවේ. සරසවි සිසුන් පිරිසක් එකතුව මෑතකදී ආරම්භ කළ පරිසර හිතවාදී ක‍්‍රියාවක් ගැන ද පසුගියදා අසන්නට ලැබුණේ වාරි ශිෂ්ටාචාරයේ හදවත බඳු වූ රජරට ප‍්‍රදේශයෙන්ම ය. සරසවි ඇදුරෙකුගේ අනුශාසකත්වය යටතේ රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය තුළ පසුගිය වසරේදී ”මල්වතු ඔය සුරැකීමේ සංසදය” යනුවෙන් සංවිධානයක් බිහිවී තිබේ. ඇදුරා අනුශාසකත්වය දැරුවද, මෙම සංසදයේ සියලූ නිලතල හොබවන්නේ සරසවි සිසුන් විසින්ය. උපාධි පාඨමාලා සම්පූර්ණ කර සරසවියෙන් පිටවෙත්දී ඔවුහු තම කනිෂ්ඨ සිසුන්ට කර්තව්‍යය භාර කරති. මල්වතු ඔය වනාහි රිටිගල කඳුවැටිය පාදක කරගෙන ඇරඹී, විශාල ජලස්කන්ධයක් දරාගෙන අනුරාධපුරය හරහා ගලාබසින දිගින් කිලෝමීටර 164 ක් වන ගංගාවකි. අනුරාධපුර නගරයට පානීය ජලය සපයන නුවර වැව පෝෂණය වන්නේ ද මල්වතු ඔයෙන් වන අතර ලංකාවේ බහු වාර්ෂික ගංගාවන්හි දිග අනුව බැලූ කල මෙය දෙවැනි වන්නේ මහවැලි නදියට පමණය.
 
 තමාට හිමි අයිතිවාසිකම් දඩයම් කරගැනීම උදෙසා සතියකට කීප වරක් අගනුවරට පැමිණ, දවසට දෙතුන් වරක් කඳුළු වායුව ද කලවම් කර එවන කැලණි ගෙඟ් වතුරෙන් තෙතබරිතව ජලයට සාප කරන කැම්පස් ළමයි, මල්වතු ඔය සුරකින්නට සංසද අටවා ගැනීමේ සිද්ධිය ඇතැම් විට අදහා ගැන්මටත් අමාරු තරම්ය. කෘෂිකර්ම පීඨයේ සිසුන්ගේ හදවතට වඩාත් තදින් මල්වතු ඔයේ කතාව දැනී ඇති බවක් පෙනේ. මල්වතු ඔයේ මල්පෙති ඔවුන්ගේ දෑස ඉදිරියේම දැනටමත් මිලින වෙලාය. ඔවුන් සටනට බැස ඇත්තේ ඒ පෙති ටික බිම වැටෙන්නට නොදෙන්නටය. කොළඹ ඇවිත් කෑ ගැසුවාට එය තඹයකටවත් මායිම් නොකොට, වතුරපාරක් අල්ලා කඳුළු ගලන්නට දුමක් ගසා දරුවන්ව පලවා හරින බලධරයින්, තමා උපන් බිම තවත් එකෙකුට උපදින්නට හා ජීවත් වෙන්නට සුදුසු තැනක් ලෙස පවත්වා ගන්නට මේ දරුවන් දරන උත්සාහයටවත් ජාතියේ අනාගතය වෙනුවෙන් සවන් දිය යුතුය. ඔවුන් පෙන්වන රතු එළිය තේරුම් ගත යුතුය. මේ ළමයින්ට අනාවැකි කිව හැකිය. ඒ තමා උගත් දෑ සමග අද පවතින තත්ත්වය සංසන්දනය කර අනාගතය දැකීමෙනි. මීට අමතරව ඔවුනට ඔත්තු සැපයිය හැකිය. එසේ කරන්නේ තම උගත් මනසට වැටහෙන යථාර්ථය ක‍්‍රියාත්මක කිරීමට බලයක් හෝ ශක්තියක් නොමැති වූ තැන, බලවතුන්ගේ හා ශක්තිවන්තයින්ගේ ක‍්‍රියාකාරී මැදිහත්වීම අපේක්ෂාවෙනි. කොළඹ ගොසින් තෙත ඇඳුම් ද වේලාගෙන ඇස් පොඩි කරමින් ගෙදර එනවාසේ, ගල් පාලම පසුකර, මල්වතු ඔයෙනුත් එගොඩ වී හිස් අතින්ම ගෙදර යන්නට සිදු වුවහොත් නම්, එය බරපතල ඛේදවාචකයක් වනු ඇතැයි අප අවධාරණය කරන්නෙමු. මන්දයත් ඔවුන් දල්වා ඇති රතු එළිය ඒ තරමටම දීප්තිමත් බැවිනි.
 
ritigala2අපගේ ශිෂ්ටාචාරයේ ආරම්භකයා වශයෙන් වැඩිදෙනා හඳුනන්නේ වසර 2500 කට පමණ පෙර තම්බපන්නියෙන් මෙරටට ගොඩබැසි විජය රජුය. උතුරු ඉන්දියාවේ කුසිනාරා නුවරදී ගෞතම බුදුරජුන්ගේ පරිනිර්වාණය සිදුවෙන දිනයේදී මෙරටට පා තැබූ විජය ඇතුළු 700 ක් පමණ වූ ඔහුගේ සහචර පිරිස තම මුල් ජනාවාස පිහිටුවාගෙන ඇත්තේ ද මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ බව ඉතිහාස කතා පෙන්වාදෙයි. මොනවා නොතිබුණත් ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක් වන ජලය ඇති තැනක නතරවීමට පෙළඹීම අමුතු සිදුවීමක්ද නොවන අතර අදටත් මල්වතු ඔය වනාහී අනුරාධපුරය හරහා ගලා බසිනා එකම ගංගාව බැවින් පළාතේ මිනිස් ක‍්‍රියාකාරකම් බොහොමයක් එම ජල ප‍්‍රභවය සමගම බැඳී පවතී. සරසවි සිසුන් පිරිසකට අනුශාසකත්වය සපයමින් මේ දිය දහර රැකගන්නට ඉදිරිපත් වී ඇති රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තුසිත අමරසේකර මහතා පවසන ආකාරයට, අවිධිමත් මිනිස් ක‍්‍රියාකාරකම් රැසක් හමුවේ ඉතා සෝචනීය අනාගතයක් කරා මල්වතු ඔය ගලා බසිමින් සිටී. රැකගැනීමේ උනන්දුව විද්වත් සිත් තුළ අවදිව මොරදෙන්නේ තවදුරටත් ඇහැ කණ පියාගෙන ඉන්නට බැරි තැනය.
 
 ”ස්වභාවික පරිසර පද්ධතිවල විනාශය දැන් සරල මාතෘකාවක් බවට පත්වෙලා. ඒ තරමටම දිය ගොඩ දෙකම දූෂණයට පාත‍්‍ර වෙනවා. මෙය මල්වතු ඔයටත් පොදු ධර්මතාවයක්. මෙම දූෂණය නිසා ජලයේ ස්වභාවය වෙනස් වෙනවා. තවත් දුරදිග ගියොත් එම ජලය මිනිස් පරිභෝජනයටත් කෘෂිකර්මයටත් ගන්න අමාරු වේවි. ඒ වගේම ජලජ ජීවීන්ටත් මේ දූෂිත ජලයේ ජීවත්වීම අපහසු වේවි. මේ සියලූ විපර්යාස සිද්ධ වෙන්නේ රිටිගල ආසන්නයෙන් ඇරඹෙන ගංගාව අනුරාධපුරය දක්වා නිරුපද්‍රිතව ඇවිත් නගරය පසුකරත්දී වීම තමයි ලොකුම කනගාටුව. ඒ කියන්නේ මිනිස් ක‍්‍රියාකාරකම් තමයි ගෙඟ් දූෂණයට ප‍්‍රාථමික හේතුව.”
 
 ආචාර්ය අමරසේකර විස්තරය පටන් ගත්තේ අනුරපුර නගරවාසීන්ට මල්වතු ඔයේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම පවරමිනි.
 
 පරිසර දූෂණය ගැන කතා කරන විට ගොවි ජනතාව විසින් සිදු කරන අවිධිමත් ක‍්‍රියාකාරකම් හරහා සිදුවන හානියට ද අඩුවෙන් ලංසු තබන්නට බැරිය. පාංශු සංරක්ෂණ පනතක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ බලාත්මකව පවතිද්දී, කඳුකරයේ බෑවුම් සහිත ඉඩම්වල වසරකට තුන් හතර වරක් පස පෙරළමින් කරන අර්තාපල් වැනි බෝග වගා හරහා පහලට සෝදා හරින සරු පස ගැන ඔවුන් කිසිදු තැකීමක් නොකරයි. පනතක් කඩදාසියක අච්චු ගසා බලය දී තිබුණාට පිරිස් බලය යනාදී ප‍්‍රායෝගික සම්පත්වලින් සන්නද්ධව නැති නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් තනිවම මොවුන් අල්ලා දඬුකඳේ ගසන්නට හැකියාවක් නැත. යකඩ මල්ලටත් ඒ ආකාරයට ගුල්ලන් විදින්නේ නම්, හාල් මල්ල ලෙහා බලන්නටවත් අවශ්‍ය නොවේ. එහෙත් සරසවි සිසුන් කණ්ඩායමකගේ සහභාගිත්වය ඇතිව 2014 වසරේදී ඇරඹි මෙම ගවේෂණය තුළදී ඔවුහු කෘෂිකාර්මික ප‍්‍රදේශ හරහා එන ජලය ද පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන ඇත්තේ ගොවිතැනේ සිදුවිය යුතු කාලීන සුසර කිරීම්වලට ද අවැසි තොරතුරු මෙම අධ්‍යයනයන් හරහා ජනනය විය හැකි බැවිනි. මල්වතු ඔයේ ප‍්‍රධාන ශාඛාවක් වන මාමිනියා ඔයෙන් සාම්පල ලබාගැනීම මීට නිදසුනකි. මාමිනියා ඔය කෘෂිකාර්මික ප‍්‍රදේශ හරහා ගලා බසින්නක් වේ. මල්වතු ඔයේ ස්ථාන අටකින් සති දෙකකට වතාවක් ජල සාම්පලය බැගින් ලබාගැනීමට ඔවුන් කටයුතු කර ඇති අතර නගර මධ්‍යයේ ඇති කුඩා වැව් කීපයක වාන් හරහා පිටවී, නගරයේ එකතුවෙන කැළි කසළ ද්‍රව්‍යයත් දියකරගෙන, මල්වතු ඔය සමග මුසුවෙන ඇළ මාර්ග තුනකින්ද සාම්පල එකතු කරගෙන ඇත. සාම්පල ගන්නා ස්ථාන තෝරාගැනීමේදී ඔවුන් සැලකිලිමත් වී ඇත්තේ නගරයට ජලය ඇතුල්වෙන සහ පිටවෙන ස්ථාන නියෝජනය වන පරිදි තැන් තෝරා ගැනීමටයි. ඒ හරහා නාගරික ජීවන රටාව ඔස්සේ යම් ජල දූෂණයක් සිදුවේදැයි අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වූවා සේ පෙනේ.
 
 ”සෙට්ටිකුලම් කප්පච්චි ප‍්‍රදේශයේ මල්වතු ඔය හරස් කරලා පහල මල්වතු ඔය ජලාශය නොහොත් ‘තන්තිරිමලේ ජලාශය’ කියල අලූත් ජලාශයක් හදන්න පසුගියදා වැඩ ආරම්භ කෙරුවා. මෙය ලංකාවේ තුන්වෙනියට ලොකුම ජලාශය වේවි කියල කියනවා. හදන්නේ තන්තිරිමලේ ප‍්‍රදේශයේ. ඒ කියන්නේ ලංකාවේ තිබෙන දැඩි නියං තත්ත්වයක් සහිත ප‍්‍රදේශයක්. ඔවුන්ගේ පානීය හා කෘෂිකාර්මික ජල ප‍්‍රශ්න මේ යෝජිත ජලාශය හරහා විසඳාගන්න පුළුවන්. ඒ වගේම මෙම ජලාශය හැදුනහම මන්නාරමේ යෝධ වැවට වතුර සපයනවා වගේම මන්නාරම දිස්ත‍්‍රික්කයේ අලූත් කුඹුරු අක්කර දෙදහසකට යල මහ දෙකන්නයේම වගා කිරීමටත් ජලය ලබා දෙන්න හැකි බවක් කියවෙනවා. හැබැයි පොඩි ගැටලූවක් තිබෙනවා.
 
 අමරසේකර විද්වතාණන් මඳ විරාමයකය. ”ඔලිඳ ඇටෙත් ඇති ඇස කණවෙන්න” යනුවෙන් මා අසා ඇති ඉඟිවැකියක් මතකයට නැගේ. ඉන් කියවෙන්නේ ලොකු විනාශයක් වෙන්නට සුළු දෙයක් වුවත් ප‍්‍රමාණවත් විය හැකි බවයි. ආචාර්ය අමරසේකර පවසන්නේ ද එවැන්නකි.
 
 ”මේ ජල දූෂණය අද කෙනෙක් බොහොම සුළුවට සලකන්න පුළුවන්. ඒත් යෝජිත ව්‍යාපෘතිය අවසාන කළ පසු අනුරාධපුරයෙන් මල්වතු ඔයට මුදාහරින්නේ අපිරිසිදු ඒ වගේම බීමටවත්, කෘෂිකර්මයටවත් යොදාගන්නට නොහැකි වතුරක් නම්, අපේක්ෂිත ප‍්‍රතිපල කිසිවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අනුරාධපුර නගරයට පිරිසිදුවෙන් ඇතුල්වෙන මල්වතු ඔය අපිරිසිදු නොකර නගරයෙන් පිටතට මුදා හැරීම අපි කාගේත් වගකීමක්. ඒ නිසා තමයි මේ සංසදය පිහිටු වූයේත්, දැනට ක‍්‍රියාත්මක වන්නේත්.”
 
 යෝජිත තන්තිරිමලේ ජලාශ ව්‍යාපෘතිය සඳහා පසුගිය සතියේදී මුල්ගල තැබිණ. අක්කර අඩි 170,000 ක් විශාල ජලාශය ඉදිකිරීම 2022 දී අවසන් කෙරේ. මුළු වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 12 කි. ජලාශයට යටවෙන ගම්මාන තන්තිරිමලේදී නැවත ඉදිකෙරෙන අතර, විල්පත්තු වනජීවී කලාපයටත් තර්ජනයක් ඇති නොවන අයුරින් පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක‍්‍රියාත්මක වේ. තන්තිරිමලේ නගරය සංචාරක පුරවරයක් ලෙස නගා සිටුවීමට ද මේ හරහා සැලසුම් කර ඇති අතර, මිරිදිය ධීවර ගම්මාන හා කර්මාන්තශාලා ද තන්තිරිමලේට පැමිණීමට නියමිතය. රටේ ආහාර නිෂ්පාදනයට ව්‍යාපෘතිය මගින් ලබන දායකත්වය ද සුළුපටු එකක් නොවේ. තන්තිරිමලේ ප‍්‍රදේශයේ කුඩා වැව් 20 කට ද මේ හරහා ජල සැපයුම සිදුකරයි. විශාලත්වය අතින් දසවෙනි ස්ථානයට පැමිණෙන වර්ග කිලෝ මීටර 11.14 ක වපසරියක් වසා පැතිරී ඇති මන්නාරමේ යෝධ වැවට ද මේ හරහා ජලය සපයා එය ද පෝෂණය කිරීම තවත් බලාපොරොත්තුවකි. ඒ හරහා පෙර රජ දවසේ පැවති ‘සහල් නැලිය’ යළි පණගැන්වීම ද රටට ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් වන බවට කිසිදු විවාදයක් නැත. වැඬේ නම් අපූරුය. එහෙත් කිරියෙන් කාලා පැණියෙන් අත සෝදන්නට නම් අනුරපුරය පසුකරන මල්වතු නදියටත් ආරක්ෂාව සැලසිය යුතුවේ. ඒ ගැන සැලකිලිමත් නොවී කටයුතු ඉදිරියට සිදුකෙරෙන්නේ නම් මන්නාරමට බෙදන්නට වෙන්නේ ගොවිතැනට පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතයටවත් ගැලපෙන්නේ නැති වතුරකි. මේ බව සනාථ කෙරෙන පර්යේෂණ තොරතුරු රැසක් අප විද්වත් කණ්ඩායම සතුව තිබෙන බව පැහැදිලිය.
 
 සරල උදාහරණ කීපයක් ගතහොත් ඉන් ප‍්‍රධාන එකක් වන්නේ අනුරපුරයෙන් පිටවෙන ජලයේ අන්තර්ගත හානිකර බැක්ටීරියා ගහනයයි. නගරයේ අපද්‍රව්‍ය එකතු කරගෙන ගොස් මල්වතු ඔය මුණගැසෙන ඇළමාර්ග තුනෙහිම මෙම බැක්ටීරියා බහුලව අන්තර්ගත වන බව අනාවරණය වී තිබේ. ස්වභාවික වනාන්තරය හරහා ගලා එන ජලයේ මෙවැනි ව්‍යාධිජනක බැක්ටීරියා හමු නොවෙත්දී, එහි බහුලතාවයක් නගරය හරහා ගලන ජලයේ තිබීමෙන් තහවුරු වන්නේ නගරය තුළින් මළද්‍රව්‍ය බැහැර කිරීමේ දුර්වලතා ඇති බවය.
 
 නගරය පසුකරන විට ජලයේ සිදුවෙන රසායනික සංයුතිය ද මෙම දුර්වලතා සනාථ කිරීමට හොඳ අත්වැලක් සපයාදෙයි. ජලයේ ඇති නයිට‍්‍රජන්, පොස්පරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් හා මැග්නීසියම් අන්තර්ගතය ද ඔවුන් ජල සාම්පල ඇසුරින් පරීක්ෂා කර තිබේ. පෙර ලිපිවල පවා අප බහුල ලෙස ගෙනහැර පෑවේ අනවශ්‍ය ලෙස ගොවිබිම්වලට යොදන කාබනික හා අකාබනික පොහොර නිසා ජල මූලාශ‍්‍රයන්ට හානි සිදුවෙන ආකාරයයි. එහෙත් කෘෂිකාර්මික ප‍්‍රදේශ හරහා දිගු දුරක් ගලා ගියත්, විවිධ තැන්වලදී ලබාගත් සාම්පලවල ඉහත දැක්වූ රසායනයන්හි කැපී පෙනෙන ලොකු වෙනසක් දක්නට නොලැබුණත්, නගරයට ඇතුල්වෙන හා පිටවෙන ස්ථාන දෙකෙන් ගත් සාම්පලවල අන්තර්ගතය අහසට පොළොව මෙන්ය. කිලෝමීටර් 40 ක් පමණ දුරක් ඔස්සේ කෘෂිකාර්මික ප‍්‍රදේශ හරහා ගඟ ගලා යත්දී නයිට‍්‍රජන් අන්තර්ගතය දෙගුණයක් පමණ වැඩිවෙන අතර එහි වගකීම නම් පොහොර සහනාධාරයේ පිහිටෙන් ඕනෑ එපා දෙතැනටම අත දිගහැර යූරියා හලන ගොවියා භාරගත යුතුය. මෙම දෙගුණය උසුලාගෙන නගරයට ඇතුල්වෙන ගං කොමලිය කිලෝමීටර් 4 ක පමණ කෙටි දුරක් පසුකර නගරයෙන් පිටවෙත්දී නයිට‍්‍රජන් අන්තර්ගතය තවත් තුන් ගුණයක් කරගන්නේ නම්, එම පාපය නම් ගොවියාගේ කරමත පැටවීම සාධාරණ නැත. ඊට වගකිව යුත්තේ නාගරිකයාය. ගොවිතැන නොකළත් නාගරිකයාගේ විවිධ කාර්මික ක‍්‍රියාකාරකම් හරහා මේ ද්‍රව්‍යයන් ජල මූලාශ‍්‍රයන්ට එකතු වෙනවා ඇත. ඉහත දැක්වූ හැම මූල ද්‍රව්‍යයකම පාහේ මීට ආසන්න තත්ත්වයක් ඇති බව විද්වත් සමීක්ෂණය හරහා වාර්තා වී තිබේ. තවත් වැදගත් හෙළිදරව්වක් කළ යුතුව ඇත. නගරය පසුකර එන ඇළ මාර්ග තුනකින් ජල සාම්පල ගෙන පරීක්ෂා කළ බව අප කලින් පැවසුවෙමු. එයිනුත් රසායන ද්‍රව්‍යයන්ගේ සාපේක්ෂව ඉහළ සාන්ද්‍රණ අන්තර්ගත වන්නේ අනුරාධපුර මහ රෝහල පිටුපස පිහිටා ඇති පොන්නාරම්කුලම් වැවේ සිට ජලය රැගෙන එන ඇළෙන් ලබාගත් ජල සාම්පලයන් ගෙනි. ගොවිබිම් හරහා එත්දී වතුරේ නයිට‍්‍රජන්, පොස්පරස් ආදිය සුළුවෙන් හෝ වැඩිවීම වෙනුවෙන් ගොවියා උත්තර බැඳිය යුතු වුවත්, රෝහල පසුකර එන ජලයේ තොග වශයෙන් සිදුවෙන මෙම වැඩිවීම වෙනුවෙන් නම්, ලෙඩ ඇඳේ කෙඳිරිගාන රෝගියාගෙන් නිදහසට කරුණු විමසිය යුතු නැත.
 
ritigala3”අපගේ සරසවි සිසුන් විවිධ ක‍්‍රියාකාරකම් හරහා මහජනතාව දැනුවත් කරමින් මල්වතු ඔය තවදුරටත් දුෂණය වීමෙන් ආරක්ෂා කිරීම කරනවා. ඔවුන් පාගමන් සංවිධානය කරනවා. පාසල් ළමුන් දැනුවත් කරනවා. පත‍්‍රිකා, වීඩියෝ ආදිය නිපදවනවා. ඔවුනට අවශ්‍ය වන්නේ බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු කිරීමට වගේම, පෞද්ගලිකව මහජනතාව තුළ දැනුවත්භාවය ඇතිකරලා මේ හානිය මෙතනින්වත් නවතා දැමීමටයි.”
 
 ආචාර්ය අමරසේකරයාණන් සංවාදය නිමා කරමින් පවසා සිටී. සිදුහත් කුමරුන් මෙලොව ඉපදීමට පෙර පස්මහ බැලූම් බැලූ පුවතක් අප අසා තිබේ. වෙන එකක් තබා තමන් ඉපදිය යුත්තේ කුමක කුලයක දැයි පවා එතුමාණන් සොයා බැලූවාලූ. ඒ තම වචනය මිනිසුන් හට ප‍්‍රකාශ කිරීමේ සමාජ අයිතිය පහසුවෙන් ලබා ගැනීම වෙනුවෙනි. මහත් ධනස්කන්ධයක් වැයකර වසර තුන හතරක් ඇතුළත නිම කරන්නට යන යෝධ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ද බලධාරීන් විසින් බැලූම් කීයක් හෙළුවාදැයි අප නොදනිමු. එහෙත් සරසවි ප‍්‍රජාව දුටු දේ නම් බලධාරීන් මෙතෙක් දැක නැත. කැම්පස් ළමයින් ගිය පාගමන් හෝ බෙදා හැරි අත්පත‍්‍රිකා ඔවුන් දැක නැත. දැනටත් මිලින වී ඇති මල්පෙති, අනුරපුර නගරයෙන් පිටවී සහල් නැලිය දෙසට ගලනා අපිරිසිදු මල්වතු ඔයට වැටෙන්නට පෙර, වගකිවයුත්තන් අවදි වන්නේ නම් රිටිගල දිය කොමලිය කෙතරම් සතුටු වේද? 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles