Divaina - මට පුතාගේ මරණය ගැන සැකයි... පොලීසිය පැමිණිල්ල බාරගන්නෙත් නෑ

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

 ”මගේ දරුවගේ මරණය සැකයි කිව්වත් පොලිසිය පැමිණිල්ල බාරගන්නේ නෑ. හදිසි මරණ පරීක්ෂකත් අපේ කීම ඇහුවේ නෑ. මගේ දරුවාගේ මිනී මරුවා හොයා දෙන්න. කියන්න තියෙන හැමෝටම කිව්වා. කාගේ හෝ සල්ලි බලේ නිසා අපිට සාධාරණයක් වෙන්නේ නෑ. අපිට දැන් තියෙන්නේ මාධ්‍යයේ පිහිට විතරයි.’ කතරගම දෙටගමුවේ පදිංචි දෙමාපිය යුවලක් හැඬූ කඳුළින් ඉල්ලයි.
 
 ”මගේ පුතා එල්ලිලා මැරුණා කිව්වට මට ඒක පිළිගන්න බෑ. මගේ පුතාට මැරෙන්න තරම් හේතුවක් තිබුණේ නෑ. මට මගේ පුතාගේ මරණය සැකයි. මගේ පුතාගේ මරණය සැකයි කියලා පොලිසියට කිව්වට ඒ අය මගේ පැමිණිල්ල බාරගන්නෙත් නෑ යැයි කතරගම, දෙටගමුව, දෙවන පියවර, අංක 82 නිවසේ පදිංචි සිව් දරු මවක වන එන්. සරෝජනී මහත්මිය හැඬූ කඳුළින් යුතුව පැවසුවාය.
  n44 3
 මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ මියගිය සිය දරුවාගේ ඡුායාරූපයක් බදාගෙන හැඬූ කඳුළින් යුතුව සරෝජනී මහත්මිය වැඩිදුරටත් අපත් සමග මෙලෙස පැවසුවාය.
 
 මට දුවලා දෙන්නයි පුතාලා දෙන්නයි ඉන්නේ. මේ නැති වුනේ තුන්වෙනි දරුවයි. දුවලා දෙන්නා විවාහ වෙලා වෙනම ජීවත් වෙනවා. පුතාලා දෙන්නා අවිවාහකයි. ඒ දෙන්නා අපිත් එක්ක ගෙදරමයි හිටියේ. මියගිය දරුවා කතරගම ජනාධිපති විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබුවා. පසුව පුතා කොළඹ ප‍්‍රදේශයේ වාහන ෆිනෑන්ස් ආයතනයක රැුකියාවකට ගියා. ඒ ගිහින් අවුරුදු 09ක් විතර ඒ ආයතනයේ බොස්ගේ රියදුරු ලෙස තමයි කටයුතු කළේ. දරුවා නිවාඩුවට ගෙදර ආවත් දවසකට දෙකකට වඩා ඉන්නේ නෑ. එහෙම හිටියොත් බොස් ඇවිත් දරුවා එක්කගෙන යනවා.

එහෙම හිටිය දරුවා එකසැරේම පසුගිය අපේ‍්‍රල් මස 21 වන දින බෝඩිමේ එල්ලිලා මැරිලා කියලා අපිට දැනගන්න ලැබුණා. මගේ මහත්තයා එතනට ගිහින් බලද්දි මහත්තයා ඒ වෙලාවෙත් පොලිසියට කියලා තියෙනවා මේ මරණය මට සැකයි කියලා. දරුවා කිසිදු ප‍්‍රශ්නයකින් හිටියෙත් නෑ. අඩුම තරමේ ගෑණු ළමයෙක් එක්කවත් යාළුවෙලා හිටියේ නෑ. පුතා හැමදේම අපිත් එක්ක කියනවා. දරුවට සියදිවි හානි කරන්නන කියලා කිසිම හේතුවක් තිබුණේ නෑ. කකුලේ තුවාලයක් වුණත් මාසයක් විතර ඒකේ කැක්කුම කියන පුතාට එල්ලිලා මැරෙන්න පුළුවන් කමක් නෑ. මං ඒ දරුවගේ අම්මා. මං මගේ දරුවෝ ගැන හොඳට දන්නවා. මං කට කැඩෙනකම් පොලීසියට කිව්වා මගේ දරුවගේ මරණය මට සැකයි කියලා. ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. නමුත් පොලිසිය මගේ පැමිණිල්ල බාර අරගෙන ඒ ගැන විමර්ෂණය කළේ නෑ. ඒ වෙනුවට දරුවගේ මරණය සැක නැති එකක්ලූ. නිකන් මිනිස්සු ගැන සැක කරන්න එපා කියලා පොලීසිය කිව්වා. මං ඒ වෙලාවෙත් පොලීසියට කිව්වා මං මේ ආවේ දේශනයක් අහන්න නෙමෙයි මගේ දරුවට සාධාරණයක් බලාපොරොත්තුවෙන් කියලා. නමුත් පොලිසිය මගේ පැමිණිල්ල බාර ගත්තේ නෑ. මට මගේ දරුවට වුණ අසාධාරණයට සාධාරණයක් ඉටු කරන්න බැරි වුණා. බැරිම තැන තමයි මාධ්‍යයේ පිහිට පතන්න වුණේ යැයි සරෝජනී මහත්මිය හැඬූ කඳුළින් යුතුව පැවසුවාය.
 
 කතරගම, දෙටගමුව, දෙවන පියවර, අංක 82 නිවසේ පදිංචිව සිටි ඕවිටිගමුව පතිරණගේ සුදත් ප‍්‍රියංකර සිව්  දෙනෙකුගෙන් යුතු පවුලේ තුන්වැනියාය. 29 වැනි වියේ පසු වූ සුදත් අවිවාහකයෙකි. කතරගම ජනාධිපති විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන සුදත් කොළඹ ප‍්‍රදේශයේ පුද්ගලික වාහන ෆිනෑන්ස් කොම්පැණියක රැුකියාවකට ගියේ සිය හිතවතෙකුගේ දැනහැඳින ගැනීමක ප‍්‍රතිපලයක් ලෙසය. රැුකියාවට ගිය මුල් කාලයේදී සුදත් පෑලියගොඩ පිහිටි කාර්යාලයේ සේවය කළ අතර ඔහු ඉතා කෙටි කලක් තුළදීම ආයතන ප‍්‍රධානියාගේ හිත දිනාගැනීමට ද සමත් විය. පිළිවෙළටත් ඉතා දක්ෂ ලෙසක් සේවය කිරීම හේතුවෙන් වැඩි කලක් යන්නට මත්තෙන් ආයතන ප‍්‍රධානියාගේ පුද්ගලික රියදුරු බවට පත්වීමට සුදත් සමත් විය. එතැන් පටන් වසර 09කට ආසන්න කාලයක් සුදත් අදාළ පුද්ගලික ආයතතනයේ සේවය කරනු ලැබීය. සුදත් n44 2නිවාඩුවකට ගෙදර ආවත් දවසකට දෙකකට වඩා හිටියේ නැත. එලෙස හිටියත් බොස් ඇවිත් සුදත් එක්කගෙන ගියේය. ඒ තරමටම බොස්ට ද සුදත් නැතුව බැරි වීය. රැකියාවේ නිරතව සිටින කාලය තුළදී සුදත් නැවතී සිටියේ අදාළ පුද්ගලික ආයතනයට අයත් බත්තරමුල්ල තලංගම පොලිස් බල ප‍්‍රදේශයට අයත් නොම්මර 220/01, පන්නිපිටිය පාර, තලවතුගොඩ ලිපිනයේ නිවසකය. එම නිවසේ සුදත් හා තවත් අයෙකුද නැවතී සිටියේය. දෙදෙනාම එකම ආයතනයේ සේවය කළ අයයි. සුදත් සමග බෝඩිමේ සිටි අනෙක් පුද්ගලයා වූයේ රවිය. සුදත්ගේ මරණය පිළිබඳව මුලින්ම දුටු බව කියන්නේ ද රවීය.
 
 මියගිය සුදත්ගේ පියා වන ඕ.පී. සුනිල් මහතා පුතාගේ මේ අභිරහස් මරණය පිළිබඳව අපත් සමග මෙලෙස විස්තර කළේය.
 
 පසුගිය අපේ‍්‍රල් මස 20 වන දින පුතාගේ බොස්ගේ ගෙදර රාත‍්‍රි පාටියක් තිබිලා තියෙනවා. පුතත් පුතාගේ බෝඩිමේ හිටිය රවි කියන කෙනත් මේ පාටියට ගිහින් තියෙනවා. කොහොම හරි රාත‍්‍රි 11.30ට විතර පුතා බෝඩිමට යනවා කියලා ගිහින් තියෙනවා. බෝඩිමට ගිය පුතා නැවත පාටියට ආවේ නැති නිසා පුතාගේ බෝඩිමේ හිටිය යාළුවා රාත‍්‍රි 12ට විතර පුතාට කෝල් කරලා තියෙනවා. ඒ වෙලාවේ පුතා කිව්වලූ ටිකකින් එන්නම් කියලා. කොහොම හරි පුතා නැවත පාටියට එන්න පරක්කු වෙච්ච නිසා රවී නැවත 12.20ට විතර කෝල් කරලා පුතාට කියලා තියෙනවා සුදත් මාත් දැන් බෝඩිමට එන ගමන්. ඔයාට කෑම එකක් ගේන්න ද කියලා අහලා තියෙනවා. බෝඩිමයි පාටිය තිබුණ තැනයි අතරේ ලොකු දුරක් තිබිලා නෑ. පයින් එනවා නම් විනාඩි 10ක වගේ දුරක් තිබිලා තියෙන්නේ. කොහොම හරි 12.35 විතර වෙනකොට පුතාගේ යාළුවා බෝඩිමට ගිහින් තියෙනවා. ඒ යනකොට රවී කියන කෙනා බෝඩිමේ ජනේලයෙන් දැක්කලූ පුතා එල්ලිලා ඉන්නවා. රවි පුතාට 12.20ට කෝල් කරනකොටත් පුතා ෆෝන් එකට කතා කරලා තියෙනවා. රවි 12.35ට විතර බෝඩිමට යනකොට පුතා මැරිලා ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ විනාඩි 15ක් වගේ කාලයක් ඇතුළත තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. රවි බෝඩිම ඇතුළට ගිහින් පුතාව උස්සන්න හැදුවත් බර නිසා බැරි වුණාලූ. පසුව රවී එළියට ගිහින් කෑ කෝ ගහලා අවට අයගෙන් උදව් ඉල්ලලා. නමුත් කවුරුවත් ආවේ නැතිලූ. පස්සේ රවි බොස්ට කතා කරලා විස්තරේ කිව්වලූ. එතකොට මේ සිද්ධිය වෙන්නේ 21 වෙනිදා ට එළිවෙන පාන්දර. කොහොම හරි අපිට පණිවිඩයත් එන්නේ 21 වැනිදා පාන්දර 2.30ට විතර. බොස් අපිට කෝල් කරලා මේ ගැන කිව්වේ නෑ. බොස් ගමේ වෙන කෙනෙකුට තමයි කතා කරලා මේ ගැන කියලා තියෙන්නේ. ගමේ කෙනෙක් පාන්දර 2.30ට විතර අපේ ගෙදරට ඇවිත් කිව්වා පුතා ඇක්සිඩන්ට් වෙලා කියලා. අපි ඒ වෙලාවේ ඉඳලා පුතාගේ ෆෝන් එකට කෝල් ගත්තා. ඒක රින්ස් ගියාට කවුරුවත් ඒකට ආන්සර් කළේ නෑ. පස්සේ අපි කොළඹ ස්පිරිතාලවලටත් කෝල් කරලා බැලූවා. නමුත් එහෙම ලෙඩෙක් රෝහල්වලටත් ඇඞ්මිට් කරලා තිබුණේ නෑ. හරි විස්තරයක් දැනගන්න ක‍්‍රමයක් අපිට තිබුණේ නෑ. පස්සේ මං ගමේ කිප දෙනෙකුත් එක්ක වාහනයක් අරගෙන කොළඹ පුතා හිටිය බෝඩිමට ගියා. ඒ යනකොටත් මට තේරුණා පුතාට මොකක් හරි දෙයක් වෙලා කියලා. මං කොළඹට යනකොට වෙලාව 11.30 විතර වුණා. මං පුතාගේ බෝඩිමට යනකොටත් කට්ටිය ගොඩක් එතන හිටියා. මං කාමරේට එබිලා බලනකොටම මං දැක්කා මගේ රත්තරං පුතා කාමරේ ෆෑන් එකේ එල්ලිලා ඉන්නවා. පුතාගේ කකුල් දෙක බිම ගෑවෙමින් තිබුණා. කාමරේට ගිය මා මේක නම් එල්ලිලා මැරිලා වෙන්න බෑ. කවුරු හරි මගේ පුතා මරලා එල්ලලා කියාගෙනම බෝඩිමෙන් එළියට ආවා. නමුත් මගේ කීම ඒ වෙලාවේ කවුරුවත් පිළිගත්තේ නෑ.
 
 කොහොම හරි මං එතනට යනකොටත් හදිසි මරණ පරීක්ෂක නෝනා කෙනෙක් ඇවිත් පරීක්ෂණ කටයුතුත් සිදුකරලා ගිහින් තිබුණා. මං ගියාම තමයි පුතාගේ බෙල්ලේ තිබුණු ලණුව කපලා පුතා බිමට ගත්තේ. පුතා එල්ලිලා හිටිය විදිය දැක්කම ඕන කෙනෙකුට සැකයක් ඇති වෙනවා මේ විදියට එල්ලිලා මැරෙන්න පුළුවන්ද කියලා. පස්සේ පුතාගේ සිරුර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අරගෙන ගිහින් එහිදී පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකෙරුණා. ඒ වෙලාවේ තලංගම පොලීසියේ මහත්තයෙක් අපි හතර දෙනෙකුගෙන් කට උත්තර ගත්තා. ඒ වෙලාවේ මං පොලීසියට දුන් කට උත්තරේ කිව්වා මට මේ මරණය සැකයි කියලා. හදිසි මරණ පරීක්ෂක නෝනත් මගෙන් කට උත්තර ගනිද්දි මං කිව්වා මේ මරණය සැකයි කියලා. මරණ පරීක්ෂණය කළේ තලංගම දකුණ හදිසි මරණ පරික්ෂක ඒ.එල්.ඒ. පේ‍්‍රමලතා මහත්මියයි. ඒ 2019.04.21 වෙනි දින. පුදුමේ කියන්නේ හදිසි මරණ පරීක්ෂණය පැවැත් වූ මරණ පරීක්ෂක නෝනත් මගෙන් කටඋත්තර ගනිද්දි මං කිව්වා මගේ පුතාගේ මරණය මට සැකයි කියලා. මං පුතාගේ මරණය සැකයි කියද්දි මරණ පරීක්ෂක නෝනා ෆොටෝ ටිකක් මට පෙන්වා පෙන්වා එක දිගටම කියනවා මේක සැකයි කියන්න එපා කියලා. මේක පුතා කරගත්ත එකක් බව මේ පොටෝවලින් පැහැදිලි වෙනවය. ඒ නිසා මේක සැකයි කියලා කියන්න එපා කියලා මට මරණ පරීක්ෂක නෝනා පෙරැුත්ත කර කර කිව්වා.
 
 ඒ වගේම දරුවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළ වෛද්‍යවරයාටත් මං කිව්වා දරුවගේ මරණය මට සැකයි කියලා. නමුත් ඒ වෛද්‍යවරයාත් මට කිව්වේ දරුවා එල්ලිලා හිටිය කඹේ ගැටෙත් දරුවගේ අතින්ම දමාගත්ත එකක් කිව්වා. මේක සැක කරන්න දෙයක් නෑ කිව්වා. මේක දරුවා විසින්ම කරගත්ත දිවිනසා ගැනීමක් කිව්වා. නමුත් මං මේ හැම තැනකදීම එකහෙළාම කිව්වා මට මේ මරණය සැකයි කියලා. නමුත් වැඩක් වුණේ නෑ. මං කියන එක ඒ කවුරුවත් ඇහුවේ නෑ.
 
 පුතාගේ මරණ කටයුතු ඉවර වෙලා අපි නැවතත් පුතා වැඩ කළ තැන බොස්ට කතා කරලා කිව්වා අපිට පුතාගේ මරණය සැකයි කියලා. ඒ වෙලාවේ බොසුත් කිව්වා ඔව් මටත් මේ මරණය සැකයි කියලා. බොස්ම කිව්වා ඔයාලා කොළඹ ඇවිත් පොලීසියට ගිහින් පැමිණිල්ලක් දමන්න කියලා. පොලිසියට ඇවිත් කෝල් එකක් දෙන්නත් කිව්වා. මාත් පොලිසියට එන්නම් කියලා බොස් අපිටත් කිව්වා. කොහොම හරි මමයි බිරිඳයි කොළඹ ගිහින් තලංගම පොලීසියට ගියා පුතාගේ මරණය සැකයි කියලා පැමිණිල්ලක් දමන්න. පොලිසියට ගිහින් අපි බොස්ට කෝල් ගත්තා. නමුත් බොස් ෆෝන් එක ආන්සර් කළේ නෑ. පසුව අපි පොලීසියට ගිහින් පැමිණිල්ලක් දමන්න සූදානම් වෙනකොට පැමිණිල්ල ලියාගන්න හිටිය රාලහාමි අපිව ඕ.අයි.සී. මහත්තයා ළඟට දැම්මා. ඒ වෙලාවේ ඕ.අයි.සී මහත්තයා අපි ඉස්සරහාම පුතාගේ බොස්ට කෝල් එකක් අරගත්තා. කෝල් එකක් අරගෙන ඇහුවා මේ අර කට්ටිය ද ඇවිල්ලා ඉන්නේ කියලා. බොස් ඔව් කිව්වම අපිට පොඞ්ඩක් එළියට වෙලා ඉන්න කියලා ඕ.අයි.සී මහත්තයා එළියට ගියා. ඒ ගිය ඕ.අයි.සී මහත්තයා පැයකට විතර පස්සේ තමයි නැවත පොලිසියට ආවේ. ඒ එනකම් අපි පොලිසියට වෙලා වාඩි වෙලා හිටියා. ඒ ආව ඕ.අයි.සී මහත්තයා අපිට වාඩි වෙන්න කියලා අපි දෙන්නට උපදෙස් දුන්නා. මේක සැකයි කියන්න එපා කිව්වා. මේ වගේ මරණ ඕන තරම් වෙනවා කිව්වා. පුතා දිවි නසාගත්ත බව පේන්න තියෙද්දි අනුන්ට ඇඟිල්ල දික් කරන්න එපා කිව්වා. සැකයි කියන්න එපා කිව්වා. දරුවගේ මරණය සම්බන්ධයෙන් සැකයි කියලා පැමිණිල්ලක් දමන්න ගිය අපිට තලංගම ඕ.අයි.සී මහත්තයාගේ දේශනයක් අහලා හිස් අතින්ම එන්න වුණා.
 
 දැන් දරුවා නැති වෙලා මාස තුනකට ආසන්න කාලයක් ගතවෙලත් තවමත් පුතාගේ මරණ සහතිකය අපිට දීලා නෑ. වෙනත් පරීක්ෂණ වාර්තාවක් අපිට දීලා නෑ. අදටත් මං කියන්නේ මගේ පුතාගේ මරණය සැකයි කියලයි. පුතාගේ මරණය පිළිබඳව පරීක්ෂණ පවත්වන නිලධාරීනුත් අපිට සාධාරණයක් ඉටු කළේ නෑ. කියන්න තියෙන හැමෝටම කිව්වා. නමුත් මගේ පුතාගේ මරණයට සාධාරණයක් වුණේ නෑ. දරුවා හිටිය බෝඩිම අවට තියෙන ගෙවල්වල සීසීටීවී කැමරා තියෙනවා. පොලිසියට ඇයි බැරි වුණේ ඒ කැමරා පරීක්ෂාවකට ලක් කරන්න. අපි පොලීසියෙන් මේ ගැන ඇහුවම පොලීසිය කිව්වේ අහල පහල ගෙවල්වල එම වෙලාවේ කැමරා අක‍්‍රිය වෙලා තිබුණා කියලයි. මං වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලන්නේ මගේ පුතාගේ දේහය නැවත ගොඩ අරගෙන මහෙස්ත‍්‍රාත්වරයකුගේ නියෝග පරිදි නැවත පරීක්ෂණයක් කරලා පුතාගේ මරණය සම්බන්ධයෙන් සියලූ තොරතුරු හෙළි කරලා අපරාධකරුවන්ට දඬුවම් පමුණුවන්න කියලා යැයි සුනිල් මහතා පැවසුවේ ඔහුගේ දෙනෙතින් රූරා වැටුණු කඳුළු බිඳු කිහිපය සරම් පොටින් පිසදමමිණි.
 
 බලාපොරොත්තු ගොන්නක් හිතේ තබාගෙන
 
 රැුකියාවකට කොළඹ ගිය 29 හැවිරිදි වියේ පසු වූ සුදත් ප‍්‍රියංකර මියගොස් දැන් මාස තුනකට ආසන්නය. මව පියා හා සහෝදර සහෝදරියන් තවමත් හැඬූ කඳුළිනි. මියගිය සුදත්ගේ පියා පෙදරේරුවෙකි. සුදත්ගේ මව තවමත් මියගිය සිය පුතාගේ ඡුායාරූපයක් අතේ තබාගෙන නිවසට යන එන සියලූ දෙනාට සිය පුතාට අත් වූ අවාසනාවන්ත ඉරණම පිළිබඳව පවසන්නේ නිවසට යන එන අයගේ ද නෙතග කඳුළක් එක්කරමිණි. මියගිය සුදත්ගේ දේහය ද නිවස අසලම තැන්පත් කිරීමට කටයුතු කර ඇත්තේ පුතා නිවසින් දුරක තබන්නට දෙමාපියන්ගේ ඇති අකැමැත්ත නිසාත් හා පුතා මියගිය බව පිළිගැනිමට ඇති අකැමැත්තත් නිසාවෙන්මය. නිවැසියන් මේ වන විට සුදත්ගේ තුන්මාසේ දානයට සූදානම් වෙමින් සිටිති. මියගිය සුදත්ගේ මරණය සම්බන්ධයෙන් තවමත් නිසි පරීක්ෂණ වාර්තාවක් සුදත්ගේ මවට හා පියාට ලබා දීම ප‍්‍රමාද කරමින් සිටී. එමෙන්ම හදිසි මරණ පරික්ෂකවරිය ද මරණය සැකයි කියද්දි ඒ පිළිබඳව අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය පිළිබඳවද සැළකිල්ලකට නොගෙන කටයුතු කිරීම ද දැඩි සැකයකට හේතුවක් බවත් මියගිය සුදත්ගේ පියා පැවසීය. මේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව සාධාරණ පරීක්ෂණයක් සිදුකර යම් අපරාධයක් සිදුව ඇති නම් ඊට සම්බන්ධ අයට දඬුවම් පැමිණි විය යුතුය.
 
 සටහන හා සේයා රූ -  මත්තල දිලිප් එන්. ජයසේකර


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles