Divaina - ලොවටම අමතක වුණු ”වෘක දරුවෝ”

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

n2 1යුද්ධයෙන් අම්මා මිය ගියාය. එරිකාට ඒ වන විට වයස අවුරුදු එකොලහකි.
 
 අම්මා මිය ගොස් වැඩි දවසක් යන්නට කලියෙන් බිහිසුණුම අවාසනාව ද ඔවුන් හඹා ආවේය.
 
 ”රුසියන් රතු හමුදාව එනවා.. පුළුවන් තරම් ඉක්මනට පැනලා යන්න... කොනිග්ස්බර්ග්වලට දැනටමත් ඇවිල්ලලූ...”
 
 ඒ ආරංචිය ආ දවස හරියටම එරිකාට මතක නැත. එහෙත් එය 1946 අවුරුද්දේ අපේ‍්‍රල් මාසයේ දවසකි. මුළු ගමේම මිනිස්සු අතට අහුවුණු දේවල් රැගෙන පණ බේරාගන්නට පලා යන්නට වූහ. ගමේ පමණක් නොව මුළු නැගෙනහිර ප්රෝසියාවේම මිනිස්සු තම ගම්බිම් අත්හැර පලායන්නට පටන්ගෙන තිබිණ.
 
 රුසියානු රතු හමුදාව ඉවක් බවක් නොමැතිව හසුවන තරමක් ජර්මානු සිවිල් වැසියන් ඝාතනය කළහ. රතු හමුදාව අතට පත්වන්නන්ගේ ඉරණම බිහිසුණු විය. අනෙක් අතට ජර්මානු හමුුදාවන්ද තමන්ගේ සතුරු ජාතීන්ගේ සිවිල් වැසියන්ටත් සැලකුවේ රතු හමුදාවට වඩා මානුෂීය ආකාරයකින් නම් නොවේ. දෙපාර්ශවයම හරි හරියට අනෙක් පාර්ශවයේ මිනිසුන්ට සැහැසිකම් කළහ.
 
 ඉතින් එරිකා ස්මෙටොනස් ද පුංචි මල්ලීගේ අතින් අල්ලාගෙන තාත්තාගේ පසුපසින් යන්නට වූවාය. පාරට වන් කල ඇය දුටුවේ දහස් ගණනක් මිනිසුන් කෑ කෝ ගසමින් තෙරපෙමින් ඉදිරියට ඇදෙන අයුරුය. ඒ සෙනග අතරේ තෙරපෙමින් ටික දුරක් යන විට ඇයටත් මල්ලීටත් තාත්තාව මගහැරී ගියේය. තාත්තා සොයන්නට උත්සාහ කළ මුත් එයින් පලක් වූයේ නැත. එරිකාත් මල්ලීත් මිනිසුන්ගේ තෙරපීම නිසාම ඉස්සරහට තල්ලූ වූහ. දැන් ඇයට ඉතිරිව ඇත්තේ මල්ලී පමණකි. මල්ලීගේ අතින් තදින් අල්ලාගත් ඇය ජීවිතය සොයා පලා යන මිනිසුන් සමග ඉදිරියට ඇදුණාය.
 
 හදිසියේම අහස් යානාවක හඬ ඇසී මිනිිසුන් එකිනෙකා පෙරළාගෙන දුවන්නට වූහ. ඒ වන විටත් රුසියානුවන් අහස් යානාවලින් පැමිණ බෝම්බ දමන බවට වේගයෙන් කතා පැතිරගොස් තිිබිණ. ඒ කලබැගෑනිය අස්සේ එරිකාට මල්ලීව ද මග හැරුණි. හඬමින් බොහෝ වේලා මල්ලීව සෙවූ නමුදු ඇයට ඔහු හමුවුණේ නැත.
 
 ඒ වෙනුවට ඇයට මුණ ගැසුණේ ඇයට වඩා වැඩිමල් පිරිමි ළමයෙකි. මාස ගණනක් තිස්සේ ඔවුන් එකට ඉදිරියට ඇවිද ගියහ. විටෙක
 
 බඩගින්නෙන් හාමත් වෙමින්, තවත් විටෙක අතට අසුවන මොනවා හෝ කමින්, අධික සීතලෙන් වෙවුලමින්, නිරාවරණ දෙපයින් ඔවුහු ඉදිරියට ඇවිද ගියහ. අවසානයේ ඔවුන් ඇවිදින් තිබුණේ ලිතුවේනියාවටය. ලිතුවේනියාව තුළ ඉබාගාතේ ඇවිදිමින් යන ඔවුන්ට මහලූ යුවලක් සිටින නිවසක් මුණ ගැසිණ. ඒ නිවසේ උන් යුවල එරිකාව දරුකමට හදා ගන්නට බාරගත්හ. එහෙත් ඇගේ මිතුරාට ඒ වාසනාව නැති විය. දෙන්නෙක් හදාගන්න බෑ.. යැයි ඔවුන් කී නිසා ඒ මිතුරාට නැවතත් ඉබා ගාතේ යන්නට සිදුවිය.
 
 n2 2එරිකා ස්මෙටොනස් ද ඇගේ මිතුරා ද ”වෘක දරුවන්” ('Wolfskinder') දෙදෙනෙකි. වෘක දරුවන් යනු දෙවන ලෝක යුද සමයේ, ප්රෝසියාව තුළදී අතරමං වුණු ජර්මානු දරුවන්ය. මෙසේ අතරමං වී වෘක දරුවන් බවට පත්වුණු දරුවන් ගණන නිශ්චිතවම සඳහන් නැතත්, එය අවම වශයෙන් 25,000 ක් වත් වෙන්නට ඇතැයි පැවසෙයි. රුසියානු ආක‍්‍රමණය අතරතුර ජර්මානුවන් පලා යද්දී ඔවුන්ගෙන් මගහැරී ගිය කුඩා දරුවන් විසිපන්දහසකට අධික සංඛ්‍යාවක් අසරණව, ලිතුවේනියාව, පෝලන්තය වැනි බෝල්ටික් මුුහුදු සීමාවේ ඇති රටවල කැලෑ තුළ ඉබාගාතේ ඇවිදිමින් දිවි ගෙවූහ. අත්පත් කරගත් ප‍්‍රදේශවල පදිිංචියට ආ රුසියානුවන්ට මේ ”ෆැසිස්ට්වාදී ළමයින්” සමග කතා කිරීම පවා රුසියානු පාලනයෙන් තහනම් වී තිබිණ.
 
 කැලෑ ගාණේ ඉබාගාතේ ඇවිදින මේ දරුවන්ට බොහෝ අය කීවේ ලිතුවේනියාව දෙසට යන්නට යැයි කියාය. අඩු තරමේ එහිදී කන්නට දෙයක් හෝ ලැබෙනු ඇත. ලිතුවේනියාවේදී ඔවුන්ව හඳුන්වන ලද්දේ  Vokietukai" හෙවත් පුුංචි ජර්මානුවෝ යනුවෙනි. ඉතින් මේ පුංචි ජර්මානුවන්ට වාසනාවක් තිබුණේ නම් ලිතුවේනියානු  ගම්මානවලදී, අනුකම්පා සහගත ගම් වැසියන් විසින් ඔවුන්ගේ දොරකොඩවල්වල සුප් බාල්දියක් තබා තිබුණි. එහෙත් හිත්පිත් නැති ගම්වැසියන් මේ දරුවන් එතැයි ඔවුන්ගේ බල්ලන්ව ලිහා දැමූ අවාසනාවන්ත අවස්ථාවන් ද විරල නොවූයේය.
 
 වයසින් අඩු දරුවන්ව ලිතුවේනියානු පවුල් විසින් හදාගන්නට ගත් අවස්ථා ද තිබිණ. එහෙත් ඒ අවස්ථාව වයසින් වැඩි දරුවන්ට හිමිවූයේ නැත. නිවසක, පවුලක සරණක් නොලැබුණු දරුවන් ජීවිතය ගැට ගසා ගත්තේ වනාන්තර තුළ ඉබාගාතේ ඇවිදිමින්, එහෙන් මෙහෙන් අහුලාගන්නා දෙයකින් යන්තමට කුස පුරවාගනිමිනි. මිනිසුන්ගෙන් මේ දරුවන්ට කරුණාවක් නොලැබුණද, අසරණ අනාථ දරුවන්ව මරා නොදමන්නට තරම් වනාන්තරයේ උන් වෘකයින් කරුණාවන්ත වී තිබිණ. වෘකයින් මැද ජීවත් වූ නිසාම මේ දරුවන්ට ”වෘක දරුවන්” ලෙසින් නම් පටබැඳිණ.
 
 ලිතුවේනියානු නිවෙස්වල පිළිසරණ ලැබුණු දරුවන්ට ද බොහෝ විට ඒවා ස්ථිර නිවාසයන් වූයේ නැත. ඒ වන විට වයස අවුරුදු දහයක දැරියක් වූ මේරියන් බියුට්ලර්ව ලිතුවේනියානු ගොවියෙකු විසින් බාරගත්තේ සීතකාලයේදීි ඔහුගේ දරුවන් බලාගන්නටත් වැඩපල කරවා ගන්නටත්ය. සීත කාලය නිමාවුණු වහාම ඒ දැරියට සිදු වුණේත් නැවතත් වනාන්තරයේම පිහිිට සොයා යන්නටය.
 
 ඒ ගොවි පවුල ළඟ ගෙවූ මාස කීපය තුළදී කතා කරන්නට නම් ලිතුවේනියානු භාෂාව ඉගෙන ගන්නට මේරියන් බියුට්ලර්ට සිදුවිය. ඒ ජර්මන් බස කතා කිරීම පවා ඒ වන විට දඬුවම් ලැබිය යුතු වරදක්ව තිබුණු බැවිනි. ජර්මානු බස කතා කිරීම ”වෘක දරුවන්” වූ ඔවුන්ගේ ජීවිතවලටත්, ඔවුන්ව හදාගන්නට ගත් පවුල්වලටත් තර්ජනයක් විය හැකිව තිබිණ. ජර්මන් භාෂාව මෙන්ම ජර්මානු නම් ද ඒ තරම්ම අවදානම් විය. ඒ නිසාම මේරියන් බියුට්ලර්ට තමන්ගේ භාෂාව මෙන්ම තමන්ගේ ජර්මානු නම ද අහිමි විය. ඇයට ”නිජොලී” වෙන්නට සිදුවිය.
 
 තමන්ගේ නිවෙස්වලින් එද්දි රැුගෙන ආ පවුලේ පින්තූරයක් දෙකක්, පවුලේ කෙනෙකුගේ අත්අකුරින් ලියවුණු ලිියුමක්, එසේත් නැතිනම් ඥාතියෙකුගේ ලිපිනයක් ඉඳහිටක මේ වෘක දරුවන් අත තිබිණ. ඔවුන්ව හදාගන්නට ගත් පවුල්වල අය රුසියානු පාලනයේ දඬුවම්වලට බියෙන් ඒවා ද විනාශ කර දැමූහ. හිසට වහලක් ලබා ගැනීමේ මිල ලෙසින් මේ අසරණ දරුවන්ට තම අනන්‍යතාවයෙන් වන්දි ගෙවන්නට සිදුවිය.
 
 වෘක දරුවන්ට ලිතුවේනියාවේදී ගෙවන්නට වූ ජීවිතය දුෂ්කර වූ බව හැබෑය. එහෙත් පා ගමනින් ගොස් බෝල්ටික් සීමාවෙන් එතෙර වූ පසුව ගෙවන්නට වූ ජීවිතයට වඩා ලිතුවේනියාවේදී ගෙවූ දුෂ්කර ජීවිතයත් සිය ගුණයකින් යහපත් විය. බෝල්ටික් සීමාවන් තරණය කළ පසුව මේ අනාථ දරුවන්ව යැවුණේ හමුදා පරිපාලනය යටතේ පවතින සෝවියට් අනාථ නිවාසවලටය. වෘක දරුවන්ගේ ඉරණම ගැන අධ්‍යයනයක් කළ ඉතිිහාසඥ රූත් ලිසරොවිට්ස්ට අනුව නම් 1947 දී ජර්මානු දරුවන් 4,700 ක් නතර වූයේ මේ බිහිසුණු අනාථ නිවාසවලය. තවත් කලක් ගත වෙද්දී ඔවුන්ගෙන් බහුතරයක්ම පසුකාලීනව ජර්මානු ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජය බවට පත් වුණු සෝවියට් පාලන කලාපයට යවනු ලැබිණ. ඔවුන්ව එහි යවන ලද්දේ බඩු ප‍්‍රවාහනය සදහා වෙන්වුණු දුම්රිය මගිනි. බඩු ගෙන යන්නට තැනූ රළු නිමාවකින් යුතු ඒ් දුම්රිය මැඳුරු තුළ ඔවුන්ට නිදාගන්නට සිදු වූයේ පිදුරු මිටක්වත් නොඇතිරූ නිරාවරණ බිම මතය. දවස් හතරක් තිස්සේ එක දිගට ආ ඒ දුෂ්කර ගමනින් දරුවන් කොතරම් හෙම්බත්ව උන්නේද යත්, නැගෙනහිර ජර්මනියට එන විට ඔවුන් සිටියේ මලමිණී ගාණටය. ඔවුන්ව කැමති පවුල්වලට හදාගන්නට දුන් අතර, එසේ දරුකමට හදාගන්නට බාර නොගත් දරුවන්ව යළිත් අනාථ නිවාසවලට යවන ලදී.
 
 සෑහෙන කාලයක් තිස්සේ එරට දේශපාලකයින් කිසිවෙකු මේ ”වෘක දරුවන්” ගේ ප‍්‍රශ්නය ගැන කිසිදු සැලකීීමක් දැක්වූයේ නැත. 1990 අවුරුද්දේදී ලිතුවේනියාවට නිදහස ලැබුණු පසු, ඒවන විට වැඩිහිටියන් බවට පත්ව උන් වෘක දරුවෝ ලිතුවේනියානු පුරවැසිභාවය ලබා ගත්හ. උපතින් ජර්මානු පුරවැසියන් වුවත්, ජර්මානු පුරවැසිභාවය ලැබීම හෝ ජර්මානු හැඳුනුම්පතක්, ජර්මානු ගමන්බලපත‍්‍රයක් ලබා ගැනීම ඔවුන්ට කළ නොහැකි දෙයක් විය.
 
 එරිකා ස්මෙටොනස්ට ඇගෙන් මගහැරුණු අනාථ මිතුරා නැවත හමු වූයේ 1946 අවුරුද්දේදීය. එහෙත් ඇයට ඇගේ පුංචි මල්ලීව නැවතත් මුණ ගැසුණේ එයින් අවුරුදු හතලිහකට පසුව, නිදහස ලැබූ ලිතුවේනියාවට ආ විටදීය. එහෙත් කලකට ඉහත මගහැරී ගිය තමන්ගේ ආදරණීයයන් නැවත සොයා ගන්නට එරිකාට තිබුණු වාසනාව අනෙක් බොහෝ වෘක දරුවන්ට තිබුණේ නැත. එමෙන්ම තමන්ගේ මව්බස යළි කතා කරන්නට, තමන් කුඩා කලදී ජීවත්වුණු ගම් බිම්වලට යන්නට ඔවුන්ට තිබුණු සිහිනය ද ඉටු නොවන සිහිනයක්ම බවට පත් විය. වැඩිහිටියන්ගේ යුද්ධයක අහිංසක වින්දිතයන් වූ මේ ”වෘක දරුවන්ට” තමන්ගේ ආදරණීයන්, උපන් රට, මව් බස පමණක් නොව අනන්‍යතාවය පවා සදහටම අහිමි වී ගියේය.
 
 නිම්මි මුදිතා හේරත්


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles