Divaina - හල් ගස ළඟ හිස නැති අවතාරය...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


halgasa
 
 කලවාන - රණසිංහආරච්චි
 
නමින් ඔහු ලොකු මහත්තයා වුවත් කුඩා කල සිටම අපි ඔහුව ඇමතුවේ ලොකු මාමා ලෙසය. අඩසිය වසකට පමණ පෙර ජීවත්වූ ඔහු පදිංචිව සිටියේ වර්තමාන කලවාන මතුගම - මාර්ගයේ අහස් බෝක්කුවත් සමන් දේවාලයත් අතරින් වූ ඉහළ උස් බිමකය. එවකට මෙම ප‍්‍රදේශය ජන ශූන්‍ය වනගත බිමකි. කලවානත් මතුගමත් යාකරමින් ගිරි ශිඛර, වන දුර්ග, ජල දුර්ග හරහා පාරක් කපා තිබුණේ ඉංග‍්‍රීසීන් විසිනි. පාර දෙපස රූස්ස ගස්වලින් යුක්තව තිබුණු අතර ගස්වල උස් මුදුන් එකිනෙකට යාවීමෙන් දුෂ්කර ගමන් මාර්ගය දක්නට ලැබුණේ උමඟක ස්වරූපයෙනි.
 
 ලොකු මාමා ජව සම්පන්න පුරුෂයෙක් වූ අතර තනිකඩ දිවියක් සතුටින් ගෙවූ අයෙකි. ඔහුගේ නිවස උස් භූමියක් තුළ වරිච්චි මැටි ගසා කාමර දෙකකින් යුත් ගැමි නිවසකි. තමන් ඉදිරිපස වපසරිය මයියොක්කා අල බතලවලින් සරුකරගත් හේ මහ පොළොවට බරක් නොවී ජීවත් විය. වත්තේ කෙළවර තිබූ කිතුල් ගසේ මල් කපා ලබා ගන්නා කිතුල් රා ඔහුට දිව්‍ය ඖෂධයක් විය.
 
 කාලය කෙමෙන් ගෙවී යද්දී ටික ටික වයෝවෘද්ධ භාවයට යන කල කිසිදා නොවූ තනියක් ඔහුට දැනෙන්නට විය. ඉඳ හිට වාත අමාරුත් සෙම් අමාරුත් ඇතිවීම නිසා මඳ බියකුත් සිත තුළ ජනිත විය. ඔහුගේ එකම සොයුරා පදිංචිව සිටියේ ද ගල්ඔය ජනපදයේය.
 
 සොහොයුරාත් බිරිඳත් දෙදෙනා ගල්ඔය ජනපදයේ ලත් ඉඩම් කැබැල්ලක හේන් ගොවිතැන් කර කටුක දිවි පෙවෙතක් ගෙවූහ. උදෑසන සිට ගිනි අව්වේ කැකෑරෙමින් ගෙවන දිවියට සමුදී ලොකු මාමාගේ ඉඩම අසල පදිංචියට එන්නට මේ අය කැමැත්තෙන් සිටියහ. ලිපි හුවමාරුව දුර්වලව තිබුණත් හිතවතකු අත යවන ලද පණිවිඩයක් ලැබීමෙන් පසු ගල්ඔය දෙදෙනාද පෙරළා පැමිණියහ.
 
 මොවුන්ගේ පැමිණීම ලොකු මාමාට දැඩි සතුටට හේතු විය. ඉහේ මලක් පිපිණා වැන්න. සොහොයුරා මල්හාමි වූ අතර සොහොයුරාගෙ බිරිඳ යසෝහාමි වූවාය. සොහොයුරු දෙපළගේ දිරියෙන් මල්හාමි යුවළට ද ඉඩම් තීරුවේම නිවසක් සැකසිණි. ඔවුන්ටද වගාවට අවශ්‍ය තරම් ඉඩකඩ තිබුණු අතර මේ පවුල් දෙක සතුටින් දිවි ගෙවූහ. අවාසනාවකට මෙන් යසෝහාමි වඳ කාන්තාවක් වූවාය. ඔවුන්ගෙන් දරු සෙනෙහස පලාගොස් තිබිණි.
 
 කාලය ක‍්‍රමයෙන් ගෙවී ගියේය. යසෝහාමි උස මහත දිරිය කාන්තාවකි. ඉවුම් පිහුම් වලට මෙන්ම වත්ත පිටියේ වැඩටද හපනියකි. කැලේ ගස්වල පල බරවන කාලය උදාවිය. සවස් භාගයක බල කරවල සමඟ මයියොක්කා කමින් සිටින අතර ලොකු මාමා හල්ගසක් පිළිබඳ තොරතුරක් කියන්නට විය. ‘මලයෝ ඔය පල්ලෙහා මහ පාර අද්දර වංගුවෙක මහ හල් ගසක් තියෙනවා. අනික් ගස්වල වගෙ නොවෙයි. මේකෙ ගෙඩි හරි විශාලයි. තිත්තත් අඩුයි. දැන් තමයි හල් ගෙඩි වැටෙන දවස් කියා පැන් උගුරක් බීවේය. යසෝහාමි හොඳටම අසා සිටියාය. එහෙනම් ලොකු අයිියේ මම හෙට දවල් ගොහින් හල් අහුලගෙන එන්නම් පස්සෙ අපිට බැරියැ හල් පිට්ටුවක් හදල කන්න කියා කීවාය.
 
 ඊළඟ දිනය උදාවිය. හිරුරැස් හතරවට පතිතව තිබුණි. කැත්තක්,ගෝනියක් සොයාගත් යසෝහාමි මහ දවල් පාර අද්දර වැලමිටි වංගුවෙ හල් ගස වෙත පියමං කළාය.
 
 කියන්න වචන නැහැ. පොල් ගෙඩි වාගෙ හල් ගෙඩි ගහමුල වැටිලා සීසීකඩ විසිරිලා. ඇයට සතුට නිම්හිම් නැත. කිසිවෙක් පෙනෙන්නට නැත. ඇය ඇති තරම් හල් ගෙඩි අහුලා ගෝනියට දමා ගත්තාය. අමු හල් ගෙඩි බර බව ඇය දනී. තමාට ඔසවා ගන්නට තරම් හල්ගෙඩි ගෝනියට දමා ගැටගසා චීත්තයද මඳක් ඉහළට ලෙන ඉණවට දවටා හල් ගෝනිය ඔසවන්නට සූදානම් වූවා පමණි. එක්වරම මතුවූ හිස නැති කඳින් පහළ පමණක් ඇති කෙනෙක් හල් ගෝනිය පැත්තකින් ඔසවන්නට හදයි. මේ අමුතුම කවන්ධය දුටු යසෝහාමි මරහඬ තලන්නට විය. මේ නම් අද්භූත අමනුෂ්‍යයෙක් බව ඇයට පසක් විය. දිවිය පුරා මෙවැන්නෙක් නුදුටු ඈ වෙව්ලමින්, භීතියෙන් තැතිගෙන දිව යන්නට සූදානම් විය. කවන්ධය අතුරුදන් වෙලාය. ගතවූයේ නිමේෂයකි.
 
 බරටම පැණි, හකුරු පා පැදියක පටවාගත් හති දමමින් වැලමිටි වංගුව සමීපයට එන මිනිසෙක් ඇයට එක්වරම මුරිච්චි විය. ඒත් හොල්මනක්දැයි ඇයට සිතුණි. නැත. ඒ සතියකට වරක් දෙකක් මේ පාරේ ගමන් කරන හකුරු මුදලාලිය. ඇය සියලූ විස්තරය එනම් හදිසියේ තමා දැඩි ලෙස බියට පත් කළ කවන්ධ අවතාරය ගැන විස්තර කීවාය. පැණි හකුරු වෙළෙන්දාද මුව අයාගෙන නෙත් විදහාගෙන මේ අද්භූත සිදුවීමට සවන් දී යළි කිසි දිනක මේ පාරේ ගමන් නොකිරීමට සිතා ගත්තේය.
 
 වෙළෙන්දා දැකීමෙන් මඳ අස්වැසිල්ලක් ලැබූ යසෝහාමි නිවසට ගොස් අයිය මලෝ දෙදෙනාට සියල්ල විස්තර කළහ. කෙසේ වුවද ඇයට සිදුවූ මේ යක්ෂ භීතිය තුරන් කිරීමට බොහෝ ශාන්තිකර්ම කරන්නට සිදුවූ බව අරංචි විය.
 
 ඉන් කලකට පසු ලොකු මාමා හදිසියේ මට හමු විය. මේ කවන්ධ අවතාර සිද්ධිය පිළිබඳව විමසූ විට ඔහු කීවේ ඕක ඇත්තක්. ඉස්සර බොහෝ අවස්ථාවල බොහෝ දෙනෙක් ඔය කවන්ධ යකා දැකලා බය වෙලා තියෙනවා. ඕකෙ අතීත කථාවක් තියෙනවා. කියන්නත් බය වගෙයි. 1970 දශකයේ මේ රටේ කැරැල්ලක් වුණානෙ. ඒ කාලයෙ මහත්තයො හරි බයයි. රටේ මහා භීෂණ කාලයක් තිබුණනෙ. අපි දවල්ටත් දොරවල් වහගෙන ඉන්නෙ. ?ට එක එක ශබ්ද. එක එක හඬ. දවසක් උදේ කාලයෙ මම ඔය හල් ගහ ළඟ වැලමිටි වංගුව ළඟින් ඇවිද ගියා. යනකොටම එතැන හිස නැති මළකඳක් තිබුණා. දැක්ක ගමන් මම උඩ විසිවුණා. එකම එක පාරයි බැලූවෙ. මතක් වෙනකොට දැනුත් වෙව්ලනව. ඒ ගමන්ම ගෙදර ගියා. කාටවත් කිව්වෙ නෑ. තවත් දවස් දෙකකින් බය එහෙම ටිකක් අඩු කරගෙන හිතට හයිය අරගෙන කවන්ධය තිබුණු තැනට ගියා. එතැන පිච්චී ගිය ටයර් කෑලි ටිකකුයි දඟර කම්බි රවුම් ටිකක් තියනව දක්කා. එදත් ඊට වඩා බයවෙලා ගෙදර ගියා කාටවත් කිව්වෙ නැහැ.
 
 මහත්තයො ඊට පස්සෙ තමයි ඔය වංගුවෙ ඔළුව නැති යක්ෂ අවතාරයක් ඇවිදින්න පටන් ගත්තෙ. ඒ දවස්වල නම් හල් ගහයට ඔය හොල්මන වරදින්නෙ නෑ. කිව්වට මොකද මෙච්චර හිත හයිය මමත් බයවෙලා තියෙනවා යැයි ලොකු මාමා දිගු සුසුමක් හැර කීවේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles