Divaina - ස්මාර්ට් පාසලකින් ගොන් පාට් දරුවන් බිහි නොවීමට නම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

 


smart
උපාලි ද සේරම්

 

අසූවේ දශකයේ අපි පාසල් යන විට අපේ දෙමාපියන් පාසලට පැමිණියේ අප පාසලට ඇතුළත් කිරීම සඳහා පමණි. ඉන්පසු පැමිණියා නම් ඒ පැමිණියේ විදුහල්පතිවරයාගේ දැනුම් දීමකටය. එම දැනුම් දීම අප කළ වරදක් සම්බන්ධව හෝ අපගේ දක්ෂතාවක් ඇගයීමට සඳහාය.

වර්තමානයේ අපගේ දරුවන් පාසලට ඇතුළත් කළ දා පටන් දරුවාට වඩා වැඩි වාර ගණනක් දෙමාපියන්ට පාසලට යෑමට සිදුව ඇත.

පන්ති කවයට මාසයකට වරක් හෝ මාස තුනකට වරක් යා යුතුය. පාසල ආරම්භ කරන විට පන්ති කාමර තීන්ත ගෑමට යා යුතුය. පාසලේ පවත්වන උත්සව සංවිධානය සඳහා යා යුතුය. පාසල් සංවර්ධන සමිති රැස්වීම් සඳහා සහභාගි විය යුතුය. ඒ අතර පාසලේ ශිෂ්‍ය නායක තනතුරකට දරුවා අයැදුම් කර ඇත්නම් එය දරුවාට ලබා ගැනීම සඳහා ගුරුවරුන් හමුවී සංතෝෂම් ලබාදීමට යන දෙමාපියෝ ද සිටිති.

දැන් දැන් සෑම පාසලකම වාගේ වාර්ෂික කි‍්‍රකට් තරග පැවැත්වේ. එවැනි කි‍්‍රකට් තරගයකට තම දරුවා සහභාගි කරවා ගැනීමට කණ්ඩායමට ඇතුළත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ද දෙමාපියන්ට නිතර පාසලට යෑමට සිදු වේ.

ජනපි‍්‍රය පාසලක නම් තම දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට යන්නේ ආදි ශිෂ්‍ය පදනමින් නම් දරුවා ඉපදුනදා සිට පාසලේ පළමු පන්තියට ඇතුළත් කර ගන්නා දිනය දක්වා නිතර පාසල් යා යුතුය.

මේ අතර තවත් දෙමාපියන් පිරිසකට පාසලට නොපැමිණ සිටීමට බැරි රෝගයක් වැළඳී තිබේ. ඔවුහු දරුවා පාසලට ඇතුළත් කළදා පටන් දිනපතා පාසලට පැමිණෙති.

ඒ අතර පංති නායක කම ලබා ගැනීමට තූර්ය වාදක කණ්ඩායමේ නායකත්වය ගැනීමට ආදි මෙකී නොකී බොහෝ අවශ්‍යතා සඳහා පාසලට පැමිණෙති.

වර්තමානයේ පාසල් අතර පවතින ජනපි‍්‍රය තරගය නිසා මෙලෙස දෙමාපියන් නිතර පාසලට නොපැමිණියහොත් එම පාසල පවත්වාගෙන යෑමට නොහැකිය.

ඒ නිසා මේ වනවිට ජනපි‍්‍රය පාසල් රැසක් පවත්වාගෙන යන්නේ දෙමාපියන්ගේ සහයෝගය මතය. ඔවුන් පාසලට උදවු උපකාර නොකළහොත් පාසලේ ජනපි‍්‍රයත්වය පවත්වාගෙන යා නොහැකිය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති පාසල් දරුවකුගෙන් ලබා ගන්නා වාර්ෂික පහසුකම් ගාස්තු මුදල පාන් ගෙඩි දෙකක් ගැනීමට වත් ප‍්‍රමාණවත් මදිය.

ඒ නිසා සංවර්ධන සමිති ගාස්තු, ආරක්ෂක ගාස්තු, විදුලිය ගාස්තු, ලිපි ද්‍රව්‍ය ගාස්තු ලෙසින් පාසලේ නඩත්තුව සඳහා අවශ්‍ය සියලූ කටයුතු වෙනුවෙන් මුදල් අයකරනු ලැබේ. ඒ අනුව ජනපි‍්‍රය පාසලක පහසුකම් ගාස්තු ලෙස රුපියල් හය දහසක් පමණ ගෙවීමට සිදු වේ.

එදා අප පහසුකම් ගාස්තු ලෙස වසරටම ගෙවූයේ රුපියල් සියයකට අඩු මුදලකි. එම මුදලින් සිදු කළේ පන්ති කාමර නඩත්තු කිරීම පමණකි. එනම් මේස, පුටු සහ කළු ලෑල්ලය.

විදුලි පංකා, විදුලි පහන්, ජනෙල් රෙදි, රූපවාහිනී යන්ත‍්‍ර පන්ති කාමරයට තිබුණේ නැත.

පාසලට මහ විශාල ගේට්ටුවක් ඉදි කළේ නැත. අඩි හය හත උසට තාප්ප බැන්දේ නැත. පාසලේ බිම ගල් අතුරා හැඩ වැඩ කළේ නැත. විදුහල්පති නිල කාමරය වායුසමනය කර තිබුණේ නැත. එහි කුඩා ශීතකරණයක් ද තිබුණේ නැත.
පාසලට වෙනම බස් රථයක් මිලදී ගත්තේ ද නැත.

පාසලේ විවිධ ප‍්‍රසංග පැවැත්වූයේ ප‍්‍රධාන ශාලාවේ මිස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ හෝ නෙළුම් පොකුණ රඟහලේදී නොවේ.

දැන් මෙය කියවන විට වත්මන් දරු පරපුරේ අප වැනි දෙමාපියන් ආඩාපාලි කීමට පුළුවන. මේ මොන විකාරද පවසන්නේ.... එදාට වඩා අද ලෝකය කෙතරම් දියුණු දැයි කියා චෝදනා කරනු ඇත.

සත්‍යයකි. එදාට වඩා අද සමාජය දියුණුය. එම දියුණුවට වර්තමානයේ පවසන්නේ ‘ස්මාර්ට්. කියාය. ඒ නිසා මෙම ‘ස්මාර්ට්. දියුණුව පාසලට ගොස් ඇත. එහි වරදක් නැත.

නමුත් අවාසනාව වී ඇත්තේ බොහෝ පාසල්හි මෙම ස්මාර්ට් දියුණුව වැඩිපුර ඇත්තේ අධ්‍යාපනය සඳහා නොව බාහිර ඔපය වෙනුවෙනි.

දෙමාපියන් දහදුක් විඳ දරුවන් පාසලට එවන්නේ හොඳ අධ්‍යාපනයක් ලබාදීමටය. නමුත් අද බොහෝ පාසල්හි විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ අවධානය යොමු වී ඇත්තේ පාසලේ බාහිර ඔපය වෙනුවෙනි. පන්ති කාමරයට විදුලි පංකා මිලදී ගැනීමට, ජනෙල් තිර රෙදි දැමීමට, පාසලේ ප‍්‍රධාන ගේට්ටුව විශාල කිරීමට, පාසල් කී‍්‍රඩාගාරය නවීකරණය කිරීමට, ප‍්‍රසංග පැවැත්වීමට සහ ඒවා පටිගත කර රූපවාහිනිය ඔස්සේ විකාශය කර ගැනීමටය. මේවා සඳහා මුදල් වැය කරමින් තම දරුවන් විභාගයෙන් සමත් කර ගැනීම සඳහා ටියුෂන් පන්ති යැවීමට ද මුදල් වැය කිරීමට වර්තමානයේ බොහෝ දෙමාපියන්ට සිදුව ඇත.

මේ සියල්ල කරන අතර දෙමාපියන් පාසලේ රැස්වීම් සඳහා පැමිණීමේදී විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ දැඩි නීති රීතිවලට ද යටත් විය යුතුය. මවුවරුන් පාසලට එන විට සාරිය ඇඳිය යුතු යැයි කියා තිබූ නීතිය වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා චක‍්‍රලේඛයක් මගින් අහෝසි කර සුදුසු ඇඳුමකින් සැරසී එන ලෙස දැනුම් දී තිබුණ ද තවමත් ඇතැම් පාසල්හි එම චක‍්‍රලේඛය කි‍්‍රයාත්මක නොවේ.

රැකියාවට යන අතර පාසලේ රැස්වීමට ද පැමිණීමට දෙමාපියන්ට සිදුව ඇත. පන්ති රැස්වීම හෝ පාසල් රැස්වීම පටන්ගන්නේ පෙරවරු 8.30 ටය. එය දහවල් 12.00 පමණ දක්වා දිගු වේ.

එය අවසන් වූ පසු දෙමාපියන් රැකියාවට යා යුතුය.

දෙමාපියන් අදාළ රැස්වීමට නොපැමිණියහොත් පසු දින දරුවාට චෝදනා පත‍්‍රයකට මුහුණ දීමට සිදු වේ.

ඇතැම් දිනවල පාසලට පෙරවරු 7.00 ට පැමිණෙන ලෙස පවසා පෙරවරු 8.00 - 9.00 පමණ වනතුරු රැඳී සිටීමට දෙමාපියන්ට සිදු වේ. එවිට එම පාසල්හි ආචාර්ය මණ්ඩලය පවසන්නේ විදුහල්පතිවරයා හදිසි වැඩක බවය.

විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය රැකියාවට පැමිණ සිටිති. නමුත් තවම දෙමාපියන් රැකියාවට ගොස් නොමැත. එය බොහෝ විදුහල්පතිවරු සහ ආචාර්ය මණ්ඩලය තැකීමකට ලක් කරන්නේ නැත.

ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන්ට කැප වෙන්න බැරි ද කියා මෙවැනි අවස්ථාවලදී විමසිය හැකිය.

දෙමාපියන්ගේ වගකීම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා පහසුකම් සැපයීමය. ගුරුවරුන්ගේ වගකීම දරුවනට අධ්‍යාපනය ලබාදීමය.

නමුත් අද ඇතැම් ගුරුවරුන් අවධානය යොමු කරන්නේ විෂයයන් සියල්ලටම දක්ෂ දරුවන්ට ඉගැන්වීම මිස ඇතැම් විෂයනට දුර්වල ළමුන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒ සඳහා උදවු කිරීම නොවේ.

තමාගේ පන්තියේ දක්ෂයන් කී දෙනෙක් සිටිනවා දැයි කියා අවධානය යොමු කරනු මෙන්ම දුර්වලයන් කී දෙනෙක් සිටිනවා දැයි කියා ද විමසා බැලිය යුතුය.

බොහෝ දරුවන් දුර්වල ගණිතයටය. නගරයේ දුරස් වූ විට ඉංගී‍්‍රසි සඳහා දුර්වල දරුවන් ද බොහෝ සිටිති.

මෙම දරුවන් අතර කී‍්‍රඩාවට දක්ෂ, සංගීතයට දක්ෂ, නර්තනයට දක්ෂ, කථිකත්වයට දක්ෂ, අත්කම්වලට දක්ෂයන් සිටිය හැකිය. ඔවුන් හඳුනාගෙන ඒ ඔස්සේ යෑමට දරුවන් යොමු කරවීමට දෙමාපියන්ට උපදෙස් දෙන ගුරුවරු සිටින්නේ වර්තමානයේ ඉතා සුළු පිරිසකි.

වර්තමාන අධ්‍යාපන ක‍්‍රමය අනුව ගුරුවරුන්ට දරුවන්ට ඉගැන්වීමට වඩා තම රාජකාරි ගැන වාර්තා සකස් කර කලාප කාර්යාලයට ලබා දීමට කාලය වෙන් කළ යුතුව ඇත.

විදුහල්පතිවරුනට ද පාසලේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලීමට වඩා පාසලේ විනය රැක ගැනීමට සහ පාසලේ කීර්තිය නැංවීමට වෙහෙස දැරීමට සිදු වේ.

මෙහිදී පාසලේ ආදි ශිෂ්‍ය සංගම්වලින් එල්ල වන බලපෑම්වලට විදුහල්පතිවරයාට මුහුණ දීමට සිදුව ඇත.

ඇතැම් විදුහල්පතිවරුන් පාසලේ අධ්‍යාපනය නැංවීමට වැඩි අවධානයක් යොමු කරන විට ආදි ශිෂ්‍යයන්ට අවශ්‍ය වී ඇත්තේ පාසලේ බාහිර කීර්තිය නැංවීමටය. කි‍්‍රකට් තරග, රගර් තරග, පාපන්දු තරග ජය ගෙන පාසලේ කීර්තිය නංවන්නට එම ආදි ශිෂ්‍ය සංගම්වලට අවශ්‍යය. එවිට ඔවුහු විදුහල්පතිවරයා ඉවත් කර තමුනට අවනත අයෙකු පත් කර ගන්නට උත්සාහ කරති.

හැඳි නොගාපු හොද්දේ රසයක් නැති සේම වරදකදී වේවැල් පහර නොදී හදන දරුවාගේ ද විනයක් නැතැයි කියා පවසයි. ඒ නිසා බොහෝ ගුරුවරු දරුවාට දඬුවම් කරන්නේ වැරදි හදා ගෙන හොඳ දරුවකු ලෙස පාසලින් සමාජයට එක් කිරීමට මිස තරහකින් නොවේ. නමුත් ඊට එරෙහිව මානව හිමිකම් යන දෙමාපියෝ ද සිටිති.

එවැනි දෙමාපියන්ගේ හයිකාරකම්වලට මුහුණ දෙමින් ද දරුවන්ට ශිල්ප ලබා දෙන්නට වර්තමානයේ බොහෝ ගුරුවරුන්ට සිදුව ඇත.

ඒ අතර ගුරු වෘත්තියට පැමිණ සිටින තරුණ ගුරුවරුනට යොවුන් වියේ පසු වන පාසල් දරුවන්ගේ හැඟීම් දැනීම් සහ මානසික මට්ටම් පිළිබඳ එතරම් අවබෝධයක් නැත.

යොවුන් වියටත් ළමා වියටත් නැති සංක‍්‍රාන්ති සමයක සිටින පාසල් දරුවන් වනුයේ අ. පො. ස. සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන දරුවන්ය. වැඩිවියට පත්ව සිටින මෙම දරුවන්ගේ හැඟීම් දැනීම් අධිවේගීය. ඒ නිසා මෙම දරුවන් අතර ජංගම දුරකථන, සුවඳ විලවුන් ගැවසේ. විරුද්ධ පාර්ශ්වය කෙරෙහි ආකර්ශනය ඇති වීම වැඩි වේ.

මෙය අවබෝධ කරගෙන ඔවුන් සමඟ කටයුතු කිරීමට උපාධිධාරී නවක ගුරුවරුන් බොහෝ දෙනාට දැනුමක් නැත.

ඒ නිසා මෙම දරුවන් සහ එම තරුණ ගුරුවරුන් අතර නිතර ගැටුම් ඇති වේ. එම ගැටුම් දෙමාපියන් අතරට රැගෙන ගිය විට

ගැටලූව සංකීර්ණත්වයට පත් වේ. එහි අවසානය සිය දිවි හානි කර ගැනීම්වලින් කෙලවර විය හැකිය. එවැනි අවස්ථා වර්තමානයේ බොහෝ වාර්තා වී ඇත.

එවිට හැෙඟන්නේ අපි ස්මාර්ට් ෆෝන් පාවිච්චි කළ ද තවම අපි මනසින් ස්මාර්ට් වී නැතැයි කියාය.

ඒ නිසා පාසල් ස්මාර්ට් කරන විට විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ දෙමාපියන් ද ස්මාර්ට් විය යුතුය. එසේ නොවුණහොත් එම පාසලින් සමාජය බලාපොරොත්තු වන ස්මාර්ට් දරුවකු බිහි වන්නේ නැත. බිහි වන්නේ ගොන් පාට් දරුවන්ය. එවැනි දරුවන් සමාජයට බරකි.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles