Divaina - අවුරුදු විසිඅටේ කෙල්ල මිල කළ නොහැකි ගෙවුඩය හොරකම් කළ හැටි...!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 menik
  * බර කිලෝ 10යි...!
 * වැල්ලවායේ ප‍්‍රදීප්ගේ මැණික නිධානයකින් ගත්ත එකක්දැයි සැකයක්...
* තිබුණේ මහරගම මැණික් ව්‍යාපාරිකයෙක් ළ`ග...
 
නැවතත් මැණික් හොරකමක් ගැන වාර්තා වේ. පුංචි පහේ හොරකමක් නොව, රුපියල් කෝටි දහයක හොරකමකි. මැණිකේ බර කිලෝ අටකි. සුරූපි තරුණියක් ඇතුළුව තරුණයන් කිහිපදෙනෙක් විසින් සැලසුම් සහගතව සිදු කරන ලද එම හොරකම වාර්තා වන්නේ මහරගම ප‍්‍රදේශයෙනි. සිද්ධිය පෙළගැසෙන්නේ මෙසේය.
 
 වැල්ලවාය ප‍්‍රදේශයේ ජීවත් වන ප‍්‍රදීප් යන පුද්ගලයාට මැණික් ගල් ලැබී ඇත. ගෙවුඩ වර්ගයේ මැණික් ගලක් කියමින් ප‍්‍රදීප් එම ගල විකිණීමට මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් ළඟටම ගියේය. ඒ සෑම ව්‍යාපාරිකයෙක්ම ප‍්‍රදීප්ගේ මැණික පරීක්‍ෂා කර බලා එහි වටිනාකමක් නැති බව පවසා ඇත. ඒ අල්ලපනල්ලේ ළඟින් ඇසුරු කරන තරුණියකට ද ප‍්‍රදීප් මැණිකේ විස්තරය කීවේය. ඇය ඌරුබොක්ක ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක් වන කැතීය. අවුරුදු විසිඅටක රූමත් තරුණියක් වූ කැති විවිධ ප‍්‍රදේශවල විවිධ පුද්ගලයන් ඇසුරු කරන්නීය.
 
 ‘මම අඳුරන මහරගම මැණික් ව්‍යාපාරිකයෙක් ඉන්නවා. අපි එයාට කියලා බලමු...’ මැණිකෙ වරුණ ප‍්‍රදීප්ගේ කටින් ගිලිහෙන සුනංගුවට කෑතිගේ මතකයට මහරගම මැණික් ව්‍යාපාරිකයෙක් ආවාය. ඔහු මහරගම ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකි. රෙදි ව්‍යාපාරයට සහ මැණික් ව්‍යාපාරයට ප‍්‍රසිද්ධ පුද්ගලයෙකි. ඌරුබොක්කේ කැතී මහරගම ව්‍යාපාරිකයා හඳුනන්නේ 2011 අවුරුද්දේ සිටය. ඒ ඇය මහරගම කොමිනිකේෂන් එකක රැකියාව කරන සන්දියේ සිටය. කැතී මහරගම කොමිනිකේෂන් එකේ රැකියාවට පැමිණ ඇත්තේ 2011 අවුරුද්දේය. ඊටත් පෙර සිට මහරගම මැණික් ව්‍යාපාරිකයා විද්‍යුත් පණිවිඩ යැවීමට සහ මුද්‍රණ කටයුතු සිදු කරගැනීමට එම කොමිනිකේෂන් එකට නිතර ආ ගිය කෙනෙකි.
 
 මිනිසුන් ආකර්ෂණය කරන රූබර පෙනුමක් සහිත කැතී කොමිනිකේෂන් එකේ රැකියාවට පැමිණි දිනවල සිට මහරගම ව්‍යාපාරිකයා තම මුද්‍රණ කටයුතු සහ විද්‍යුත් පණිවිඩ යැවීමට තෝරාගත්තේ කැතීවය. ඇය ද සිනා මුසු ලද බොළඳ කතාවත් සමඟ යුහුසුළුව ක‍්‍රියාත්මක වෙමින් එම ව්‍යාපාරිකයාට අවශ්‍ය රාජකාරිය කඩිනමින් ඉටු කර දුන්නාය. දෙදෙනා අතර එසේ වැඩුණු රාජකාරී බැඳීම කාලයත් සමඟ සමීප හිතවත්කමක් දක්වා දුර දිග ගියහ. කැතී රැකියාව කළ කොමිනිකේෂන් එකෙන් ඉවත් වුවද මහරගම ව්‍යාපාරිකයා සමඟ ගොඩනැඟුණු හිතවත්කම නොබිඳිණි. වැල්ලවායේ ප‍්‍රදීප් මැණික ගැන කියූ සැණින් කැතී මහරගම ව්‍යාපාරිකයාට කතා කර ගනුදෙනුව ගැන සැල කර සිටියාය.
 
 ‘ගල හොඳ නම් මහරගම අපේ ගෙදරට එන්න කියන්න... අපි බලලා ගමු. ඔයත් එන්න...’ මහරගම ව්‍යාපාරිකයා දුරකතන ඇමැතුම විසන්ධි කළේ කැතීගේ පමණක් නොව ප‍්‍රදීප්ගේ ද සිතට බලාපොරොත්තු පොදියක් එකතු කරමිනි. ඊට පහුවැනිදා හිමිදිරියේම ප‍්‍රදීප් මැණිකත් රැගෙන මහරගම මැණික් ව්‍යාපාරිකයාගේ ගෙදරට පැමිණියේ දහසක් බලාපොරොත්තු දල්වාගෙනය. සුහද පිළිගැනීමකින් පසු මැණික් ව්‍යාපරිකයා ප‍්‍රදීප් රැගෙන ආ මැණික අතට ගෙන පරීක්‍ෂා කර බැලූවේය.
 
 ‘මේ ඔර්ජිනල් ගලක් නෙමෙයි, වක්කරපු ගලක්. මේකෙ කිසිම වටිනාකමක් නෑ...’ මහරගම කෝටිපති ව්‍යාපාරිකයා කට කොණකින් හිනාවක් ද මතු කළේය.
 
 ‘නෑ... නෑ... මේක ඔර්ජිනල් ගලක්. ඕන නම් අපි චෙක් කරලා බලමු...’ මැණික ගැන සුල මුල හොඳින් දන්න වැල්ලවායේ ප‍්‍රදීප් ගල ‘කන්ඩෙම්’ කරනවාට අකැමැති විය.
 
 ‘හරි එහෙනම් අපි ගල චෙක් කරලා බලමු...‘ කියා මැණික් පිළිබඳ විශේෂඥයකු ගෙන්වා පරීක්‍ෂා කිරීමට මහරගම මැණික් ව්‍යාපාරිකයා පසුබට නොවිනි. මහරම ව්‍යාපාරිකයාගේ දැනුවත් කිරීම මත පැමිණි මැණික් පිළිබඳ විශේෂඥයා ද හොඳින් ගල පරීක්‍ෂා කර බලා පවසා සිටියේ වටිනාකමක් නැති බවය. ප‍්‍රදීප්ගේ සියලූ බලාපොරොත්තු බොඳ වී ගියේය. කැතීගේ සුදු මුහුණු පාළු මූසල සොහොන් බිමක් ගානට පත් විය.
 
 ‘‘අපි කියන දේ ඔයාලට විශ්වාසයක් නෑ. ඔහොම ඉන්න මා ළඟ තියෙන නියම ගෙවුඩක් පෙන්වන්න...’ කියලා මහරගම ව්‍යාපාරිකයා විශාල නිවස තුළට ගොස් දෝතින්ම ගලක් ගෙනැවිත් මේසය මතින් තැබුවේය. ප‍්‍රදීප් සහ කැතී වරින් වර එම මැණික් ගල දෝතට ගෙන මුහුණට ළං කර බැලූහ.
 
 ‘මේ වගේ මැණිකක් තියෙනවා නම් අපේ සේරම ප‍්‍රශ්න ඉවරයි. සිටු දුවක් වගේ ඉන්න පුළුවන්...’ කැතී මහ දවල් සිහින දකින්නීය. ප‍්‍රදීප්ගේ සිතේ ඇඳුනේ ද එවැනිම සිතුවිලි දහරාවකි.
 
 ‘‘මේ ගලත් දැන් බයර්ලා කීපදෙනෙක්ම ඇවිත් බලලා ගියා ඒත් මගේ ගාණට තාම සෙට් වුණේ නෑ. කෝටි දහයෙන් අඩුවට දෙන්නෙ නෑ. මේක නියම පාට ගෙවුඩ. මේ වගේ ලොකු ගල් ලේසීයෙන් හොයාගන්න බෑ. මම මේක ගත්තේ ඕපනායක කෙනෙක්ගෙන්. විකුණන්න ලෝබයි. ඒත් තියාගෙන ඉඳලා වැඩක් නෑ. ගාණකට සෙට් වුණොත් දෙනවා...’’ කතාබහා කිරීමෙන් ගොඩනැඟුණු විශ්වාසයට සහ කැතී කෙරෙහි තිබූ දැඩි විශ්වාසයට මහරගම මැණික් ව්‍යාපාරිකයා ඔහු සන්තකයේ තිබෙන වටිනා මැණික ගැන එසේ වර්ණාවක් කළේය. ඒ වචන ප‍්‍රදීප්ගේ සහ කැතීගේ සිත්වල හටගෙන තිබුණු සිතුවිලිවලට පොහොර දැමීමක්ම විය. කැතී සහ ප‍්‍රදීප් නිවසින් පිටත් වී ගිය ද ඔවුන්ගේ මනස හොල්මන් කළේ මහරගම ව්‍යාපාරිකයාගේ පෙන් වූ විශාල මැණික ගැනය. අවසානයේ කැතී සහ ප‍්‍රදීප් මහරගම මැණික් ව්‍යාපාරිකයා පෙන්වූ වටිනා ගෙවුඩය හොරකම් කිරීමට කතිකා කෙරූහ. සැලසුම් සකස් කළහ.
 
 ‘‘පුළුවන් තරම් ගල කන්ඩම් කරලා පොඩි ගාණකට අපි ගල ගමු. මම වැඬේ කතා කරන්නම්. මට හොඳට සලකන්න ඕනෑ...’‘ කැතී නැවත මහරගම ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ගෙන ප‍්‍රදීප්ගේ මැණික් ගල සොච්චමට මිලදී ගැනීමට කතා කළාය.
 
 ‘‘ඔයාට බය නැද්ද ඔච්චර වටිනා මැණික් ගලක් ගෙදර තියාගෙන ඉන්න. කවුරුවත් නැති වෙලාවට ගෙදරට හොරු පැනල අරගෙන ගියොත් කාට කියන්නද...’’ කැතී වහෙන්හොරෝවෙන්් වටිනා මැණික ආරක්‍ෂා කරන ආකාරය ගැන විපරම් කර බැලූවාය.
 
 ‘මම කොහේ ගියත් මැණික් ගලත් අරගෙන යනවා. කාර් එකේ ඩ‍්‍රයිවින් සීට් එක යට තමයි තියාගෙන ඉන්නෙ. මැණික හොරකම් කරන්න මාව මරන්න ඕනෑ...’’ අති දක්‍ෂ ව්‍යාපාරිකයකු වුවද, කැතීගේ හැට මායම්වලට ඔහු රැවටිණි. නිවසේදී සහ මෝටර් රථයේ මැණික සඟවාගෙන සිටින තැන නොසඟවා ඔහු කෑතීට පැවසුවාය. එම තොරතුරු ඔස්සේ ක‍්‍රියාත්මක වූ ප‍්‍රදීප් සහ කැතී මැණික සොරකම් කිරීමට දිනය වේලාව සැලසුම් කළහ.
 
 මහරගමට පැමිණි කැතී මැණික් ව්‍යාපාරිකයා හමු වී ප‍්‍රදීප්ගේ මැණික සොච්චමකට මිලට ගැනීමට කතාබහ කළාය. මැණික් ව්‍යාපාරිකයා ද කැතීගේ කතාව විශ්වාස කළේය. ඒ අනුව මහරගම ගෙට්ස් හවුස් එකක නමක් කියමින් එතැනට පැමිණෙන ලෙසට ප‍්‍රදීප්ට කැතී දැනුම් දුන්නාය. ප‍්‍රදීප්ට කියපු වේලාවටත් පෙර කැතී සහ මැණික් ව්‍යාපාරිකයා ගෙට්ස්හවුස් එකට ගියහ. ඒ මොහොතේම ප‍්‍රදීප් ද තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ ගෙට්ස් හවුස් එකට ආහ. එහෙත් ගෙට්ස්හවුස් එක තුළට ගියේ කැතී, මැණික් ව්‍යාපාරිකයා සහ ප‍්‍රදීප් පමණි. ප‍්‍රදීප්ගේ හිතවතුන් දෙදෙනා එළියේ නතර විය. මැණික් ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන් බැස යන විට කැතී දොර ලොක් නොවන ලෙසට වසා තැබුවාය.
 
 කැතී සහ ප‍්‍රදීප්ලා ගෙට්ස් හවුස් එකේ කාමරයක් කුලියට ගෙන මැණික් ගනුදෙනුව සිදු කරන අතරේ එළියේ සිටි ප‍්‍රදීප්ගේ හිතවතුන් දෙදෙනා මැණික් ව්‍යාපාරිකයාගේ මෝටර් රථයේ ඩ‍්‍රයිවින් සීට් එක යට තිබූ මැණික් ගලත් සොරාගෙන ගියහ. සැලසුමට අනුව අඩු ගාණට ගල දෙන්න බෑ කියා ප‍්‍රදීප් ද ගෙට්ස් හවුස් එකෙන් පිට වී ගියේය.
 
 මැණික් ව්‍යාපාරිකයා සහ කැතී නැවත කාර් එකට පැමිණ දොර විවෘත කරන විට දොර ලොක් නොවී තිබීම ගැන මැණික් ව්‍යාපාරිකයාට සැකයක් මතු විය. එසැණින් ක‍්‍රියාත්මක වූ ව්‍යාපාරිකයා ඩ‍්‍රයිවින් සීට් එක ඔසව මැණික තිබේදැයි විපරම් කර බැලූවේය. මැණික නැත. ව්‍යාපාරිකයාට හීන් දාඩිය වැටිණි. මෝටර් රථය පණ ගැන්වූ ව්‍යාපාරිකයා කැතීව ද නංනවාගෙන ප‍්‍රදීප්ලා සොයා අවට පාරවල් පීරුවේය. එහෙත් ඔවුන් ගිය ඉසව්වක් ගැන කිසිදු හෝඩුවාවක් නොලැබිණි. පසුව මැණික් ව්‍යාපාරිකයා කැතී සමඟ බොරලැස්ගමුව පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළේය. එසැණින් ක‍්‍රියාත්මක වූ බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රියංකර සිල්වා විසින් සිද්ධිය පරීක්‍ෂණය කිරීම සඳහා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මුදිත දල්පදාදු මහතාගේ මෙහෙයවීම මත විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කළේය.
 
 පොලිස් පරීක්‍ෂක මුදිත දල්පදාදු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම ප‍්‍රථමයෙන් ගෙට්ස් හවුස් එකේ සීසීටීවී කැමරා පරීක්‍ෂා කරනු ලැබිණි. මැණික් ගල සොරකම් කරන ආකාරය හරි අපූරුවට එම සීසීටීවී කැමරාවල පටිගත වී තිබිණි. අනතුරුව පොලිසිය විසින් කැතීව ප‍්‍රශ්න කරන්නට විය.
 
 ඇයගෙන් ප‍්‍රදීප්ගේ දුරකථන අංකය ලබාගෙන ප‍්‍රදීප්ගේ දුරකථනයට ඇමතුමක් ද ගෙන බැලූවේය. ඒ මොහොතේ දුරකථනය විසන්ධි වී තිබිණි. වැඩිදුරටත් කැතීව ප‍්‍රශ්න කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ. කැතීට කිසිවක් සඟවා සිටීමට නොහැකි විය. කැතී සියල්ල පොලිස් නිලධාරීන් ඉදිරියේ හෙළි කළාය.
 
 පාපොච්චාරණයට අනුව මැණික සොරකම් කිරීමට සැලසුම් කර ඇත්තේ ඇය සමඟ ප‍්‍රදීප්ය. සහායට රුවන් ඇතුළු තවත් පුද්ගලයෙක් සම්බන්ධ කරගෙන ඇත. ප‍්‍රදීප් ඇතුළු අනෙක් දෙදෙනා මහරගමට පැමිණ ඇත්තේ රුවන්ගේ මෝටර් රථයේය. ඒ සොරකම සිදු කිරීමට පෙර දින සවසය. ඔවුන් රෑ පහන් කර ඇත්තේ මහරමග තවත් හෝටලයකය. අනතුරුව එම හෝටලයට ගොස් සීසීටීවී කැමරා පරීක්‍ෂා කර පොලිස් නිලධාරීන්ට රුවන්ගේ මෝටර් රථයේ අංකය සොයාගැනීමට හැකි විය. වාහනේ අංකය ඔස්සේ පරීක්‍ෂණ කරගෙන ගිය පොලිස් නිලධාරීන්ට වැඩි තොරතුරක් සොයාගැනීමට නොහැකි විය. කැතී කියන විදිහට රුවන් බෙල්ලන්විල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. එහෙත් කැතී රුවන්ගේ නිවස තිබෙන ඉසව්ව දැන නොසිටියාය. එහෙත් පොලිස් නිලධාරීහු සූක්‍ෂම ලෙස පරීක්‍ෂණ සිදු කරමින් රුවන්ගේ නිවස සොයාගත්හ. රුවන්ගේ නිවසට පොලිසිය යන විට එහි සිටියේ දරු දෙදෙනා සහ රුවන්ගේ බිරිඳ පමණි. පොලිසිය විසින් රුවන්ගේ බිරිඳව ප‍්‍රශ්න කරගෙන යන අතරේ ප‍්‍රදීප්ගෙන් මැණික් ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ආවේය.
 
 ‘‘අපි ගල හොරකම් කළා. ඒත් දැන් අපිට ඒක ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. අපි ඔයාට ගල දෙන්නම්. අපි කාටවත් ප‍්‍රශ්න ඇති කරන්න එපා...’’ මැණික් ව්‍යපාරිකයාට ප‍්‍රදීප් එසේ කීවේය. ඒ මොහොතේ මැණික් ව්‍යාපාරිකයා සිටියේ පොලිසිය සමඟය. අනතුරුව පොලිසිය කියන විදිහට මැණික් ව්‍යාපාරිකයා ප‍්‍රදීප්ට දුරකථන ඇමතුමක් ගෙන ගල රැගෙන රත්මලානේ මැලිබන් හන්දියට පැමිණෙන ලෙසට දැනුම් දුන්නේය. මැණික් ව්‍යාපාරිකයාගේ කතාව විශ්වාස කළ ප‍්‍රදීප් මැණික් ගලත් රැගෙන මැලිබන් හන්දියට ආවේය. ප‍්‍රදීප්ට ගැලවීමක් නැති විය. වෙස්වලාගෙන රැකගෙන සිටි පොලිස් නිලධාරීන් ප‍්‍රදීප්ව අත්අඩංගුවට ගත්හ. ප‍්‍රදීප්ගෙන් ප‍්‍රශ්න කර ලබාගත් තොරතුරු ඔස්සේ ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු එදිනම රුවන් සහ මෝටර් රථය ද අත්අඩංගුට ගත්හ.
 
 එම මැණික් සොරකම සිදු වූයේ පසුගිය මස 30 වැනිදාය. මේ මස 01 වැනිදා වන විට මැණික සමඟ සොරකමට සම්බන්ධ සියලූදෙනා අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිසිය සමත් විය. එම පරීක්‍ෂණ කටයුතු සිදු කළ පොලිස් නිලධාරීන්ට ස්තූති කළ යුතුය. දැන් එම සොරකම සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කෙරෙමින් තිබේ. ප‍්‍රදීප් සන්තකයේ තිබෙන මැණික් ගල ද නිධානයකින් ලබාගත් ගලක් බවට පොලිසියට සැක පහළ වී ඇත. ඒ ගැන වැඩිදුරටත් පරීක්‍ෂණ කරගෙන යන බව ද වාර්තා විය.
 
 මහරගම මැණික් ව්‍යාපාරිකයාගේ පෙර පිනකට මැණික නැවත ලැබිණි. එහෙත් අම්මා තාත්තා හෝ විකුණා මුදල් ඉපැයීමට පෙරේතකම් කරන මිනිසුන් සහිත සමාජයකදී වටිනා මැණික් ගලක් පෙන්වමින් වර්ණනා කිරීම අනුවණකමකි. මහරගම මැණික් ව්‍යාපාරිකයාට පමණක් නොව මේ සිද්ධිය සමාජයටම පාඩමකි.
 
 
 තරංග රත්නවීර
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles