Divaina - ෂාෆි දොස්තර හා ෆේස්බුක් අබැටිල්ලන්ගේ දිවයින විරෝධය; රත්තනදෙණියේ මේධානන්ද හිමි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 shaafi
 
 
ප‍්‍රශ්න ගොඩක් එක්ක ඉතාම අසීරු දින කිහිපයක් ගෙවා දමමින් සිටින මොහොතකත් දිවයින වෙනුවෙන් මේ සටහන තබන්නේ අපටත් මේ පුවත්පත සමග ආත්මීය බැඳීමක් තිබෙන නිසා පමණක්ම නොවේ. මේ කතාව මේ රටේ සෑම පුරවැසියෙක්ම යුද ජයග‍්‍රහණය තරමටම මතක තබාගත යුතු නිසාය. දිවයින පුවත්පත ආරම්භ වන්නේ අදින් තිස්හත් වසරකට පෙර ය. ඉන් වසරකට පසුව ”දිවයිනට” මෙන්ම රටටම මුහුණ දෙන්නට සිදු වූයේ බිහිසුණු අඳුරු අවිනිශ්චිත කාල පරිච්ෙඡ්දයකටයි. ඉන් වසර 30ක් ම මේ රට ඒ බියකරු ඉරණමේ ගිලූණේය. දිවයින යනු ඒ ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ජාතිකත්ව මතවාදය පෝෂණය කළ පුවත්පතයි. ඇත්ත වශයෙන්ම බෙදුම්වාදයට එරෙහිව කළ දිවයිනේ න්‍යායික මැදිහත්වීම නොවෙන්නට මේ වනවිට ප‍්‍රභාකරන් උතුරේ ස්වයංපාලනයද පිහිටුවා අදවනවිට එහි රාජ්‍ය විචාරීමටද ඉඩ තිබිණ. එහෙත් මව්බිමේ දේශසීමා දෙකඩ වීමට ගිය ඒ නපුරු ඉරණම වෙනස් කරනු ලැබුවේ දිවයිනයි. දෙමළ ඊළම වෙනුවෙන් පැවති දශක තුනක ත‍්‍රස්තවාදය අතුගා දැමීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් දිවයිනට තරම් සතුටු විය හැකි ඉතිහාසයක් ඇති මෙරට වෙනත් කිසිම පුවත්පතක් නැත. රට දැය සමය වෙනුවෙන් දිවයිනෙන් වූ මේ විශේෂ මැදිහත්වීම නිසාම මෙරට අන් කිසිම පුවත්පතකට නොඇලවූ ජාතිවාදී ලේබලයක් එන්ජි ඕ සාම කඩ වෙළෙන්දන් විසින් දිවයින පුවත්පතට අලවනු ලදි. එහෙත් ත‍්‍රස්තවාදයෙන් බැටකන මෙරට බහුතර ජනයාගේ හෘද සාක්ෂ්‍ය හැර යුද්ධය ජීවන මාර්ගයක් කරගත් ඩොලර් කාක්කන්ගේ ලේබලය දිවයිනට කිසිදාක වැදගත් නොවීය. දිවයින මේ ඊනියා සංහිඳියා සාම වෙළඳාම්කරුවන්ගේ න්‍යායපත‍්‍රය ගැන හොඳින් දැන සිටියා පමණක් නොව ඇතැම් දිනවල කතුවැකිය වෙන් කළේද මේ ද්‍රෝහීන් හෙළිදරව් කිරීමටය. යුද සමයේ උතුරට කියාදිය යුතු සංහිඳියාව වෙනුවට දකුණට පමණක් සාම කඩ දමා යහමින් සාම වෙළඳාම කරගෙන ගිය මේ සාම තෙල් කාරයන්ගේ බඩරස්සාවටද කෙළවුණේ දිවයින ඔවුන්ගේ විමුක්ති නායකයා ප‍්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ මරණය දක්වා කැඳවාගෙන ගිය නිසාය. ඩොලර් උල්පත් පාදාගෙන සිටි පිරිසක් අද සාමය නිසා අවතැන් වී සිටින කෝපය පිට කරන්නේ දිවයිනට පහර ගසමිනි. දිවයින තහනම් කරන්නැයි රජයට දෙස් දෙවොල් තබමිනි.
 
 ඔවුන් මේ සඳහා තුරුම්පුව ලෙස ගත්තේ කුරුණෑගල සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නම් මුස්ලිම් වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් මගින් කාන්තාවන් 4000 ක් පමණ වඳභාවයට පත්කර තිබෙන බවට පළවූ ප‍්‍රවෘත්තියක් පදනම් කරගෙනයි. ආණ්ඩුවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පවා ආණ්ඩුවේ පෙළැඹවීමට මුලින් පැවසුවේ එම දොස්තර පිළිබඳ පැමිණිලක් ලැබී නැති බව සහ පොලිසිය ඔහු පිළිබඳ පරීක්ෂණයක් ආරම්භකර නැති බවයි. වෙනදා ආණ්ඩුවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ප‍්‍රකාශ ගණන් නොගන්නා මේ අය එම ප‍්‍රකාශය පමණක් විශ්වාස කොට දිවයින වර්ජනය කරන්නැයි අවි අමෝරා ගත්තේය. බොරු වාර්තාවක් යැයි පහර දුන්නේය. භාෂණයේ ලේඛනයේ නිදහස ඉල්ලන ඈයන්ම දිවයින තහනම් කරන්නැයි ඉල්ලා සිටියේය. දිවයින යම් මූලාශ‍්‍රයක් මත වාර්තා කළ ප‍්‍රවෘත්තියක් මේ අය බොරුවක් කියන්නේ කුමන සොයා බැලීමක් අනුවද? කුමන පරීක්ෂණයක් අනුවද? ඔවුන් දිවයින විරෝධය ගොඩ නැගුවේ මාධ්‍ය ප‍්‍රකාශකගේ කීමට නම් සමහරු සඟවා තිබෙන ආයුධ පෙන්වීමට රැගෙන යන කතාවල සිට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියන අනෙක් හැම දේමත් පිළිගන්නේද? දැන් මේ නරින්ගේ දත කට පූට්ටු වී ඇත්තේ සැත්කමට භාජන වූ මව්වරුන් 700 කට අධික ප‍්‍රමාණයක් මාධ්‍ය ඉදිරියට පැමිණ තමන්ට වී ඇති අවාසනාවන්ත ඉරණම ප‍්‍රකාශ කළ නිසාය.
 
 මොවුන්ගේ තක්කඩිකමේ ප‍්‍රමාණය අවබෝධකර ගැනීමට එක් නිදසුනක් මෙයින්ම සපයා ගත හැකියි. වාමවාදී වෙස්මුහුණු දාගෙන පීඩිතයා වෙනුවෙන් පෙනී ඉන්නේ යැයි පවසන මොවුන් දැන් පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන් ද? ඒ අර සැත්කමෙන් පසු වඳභාවයට පත්වූ හය හත් සියයකට අධික මවුවරුන් වෙනුවෙන් නොව ඔවුන්ගේ පීඩකයා වූ මොහොමඞ් සාෆි දොස්තර වෙනුවෙනි. ජාතිවාදය කියා සිංහල බෞද්ධ හාල්මැස්සාට පහර දෙන අතරේ තෝරු මෝරුන් සේ වැඩෙමින් සැබෑම ජාතිවාදය වපුරන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මොවුන් වචනයක් කියා තිබේද? දිවයිනට පහර දීමට පෙරමුණ ගත් මේ තක්කඩි තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදයට පහර ගැසුවේ කවදාද ?
 
 කුරුණෑගල තව්හිද් ජමාත් දොස්තර ගැන දිවයින අනාවරණය කළ පුවත බොරුවක් නොවෙන බව දැනට 700 කට අධික මව්වරුන් පිරිසක් ඉදිරිපත් වීමෙන් පෙනෙයි. එහෙත් ලැබෙන ව්‍යාජ තොරතුරක් මත වැරදි ප‍්‍රවෘත්තියක් පුවත්පතක පළවුවොත් ඒවා නිවැරදි කිරීම්, සමාව ගැනීම්, කනගාටුව ප‍්‍රකාශ කිරීම් ඕනෑම පුවත්පතක දැකිය හැකි පොදු දෙයක්. එන්ජී ඕ සුරතලූන්ගේ පරමාදර්ශ පුවත්පත් වන කළු සුදු පත්තරවලත් පසුව කරන නිවැරදි කිරීම් දැකිය හැකියි. එනිසා යටකී ප‍්‍රවෘත්තිය බොරුවක් වුණත් වෙනත් පුවත්පතකට නැති වෛරී විවේචනයක් මේ එන්ජී ඕ බැලයන්ට දිවයින කෙරෙහි ඇත්තේ ඒ තුළ වෙනත් දේශපාලනයක් ඇති නිසයි. දකුණේ රාජ්‍යයට අභියෝග කළ ඔවුන්ගේ විමුක්තිකාමී වීරයාගේ ම්ලේච්ඡුත්වය නන්දිකඩාල් කලපුවේ ගිල්වා දැමීමට පොළවේ මතවාදය හැදූ පුවත්පතට සහ සිංහල කොටි ලේබලයෙන් මේ ද්‍රෝහීන්ගේ නිරුවත රටට හෙළිකළ පුවත්පතට එරෙහිව අදටත් ඔවුන් තුළ ඇති වෛරය මුදාහරින බව අපි දනිමු. දිවයින විරෝධය යට ඇති දේශපාලනය එයයි. ප‍්‍රභාකරන් වෙනුවෙන් ද පෙනී සිටි මොවුන් ජාතියට විනකටින තව්හිද් ජමාත් දොස්තර කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම අපට පුදුමයක් ද නොවේ.
 
 එහෙත් සමාජ ජාල අවකාශ ඔස්සේ දිවයින විරෝධය ගෙන යන අබැටිල්ලන්ට කීමට ඇත්තේ මීට වඩා බල පුළුවන්කාරයන්ද දිවයිනට තර්ජනය කළ අතීතයකත් දිවයින නොසැලූන බවය. එජාප භීමසමයේ එක් ජනාධිපතිවරයෙක් පැවසුවේ දිවයින කාර්යාලය පිහිනුම් තටාකයක් කරන බවය. එහෙත් බලය රටට ජාතියට අවැඩ පිණිස යෙදවූ පාලකයන් හා ඔවුන්ගේ නිලධාරීන් නම් දිවයිනෙන් නා ගත්තේය. දිවයින කවදත් ජාතියක ඇස් ඇරවිය යුතු ප‍්‍රවෘත්ති පළ කළේ අලෙවි උපායක් වශයෙන් නොව රට ජාතියේ පැවැත්ම අරභයා දිවයින සිය හෘද සාක්ෂ්‍යයෙන්ම දෙවුර මත පටවාගත් සමාජ ශීලයක් ආරක්ෂා කිරීමට බැඳී ඇති නිසාය. දිවයිනේ කිසිවෙක් නිදහස් මාධ්‍ය ව්‍යාපාර නාමයෙන් ඩොලර් යදින්නන් බවටද පත් නොවීය. එනිසාම දිවයිනේ මාධ්‍යවේදීන් රාජ්‍යයේ කුමන මර්දනයකට ලක් වුවද භාෂණයේ ප‍්‍රකාශනයේ නිදහස ඉල්ලන විශ්ව සාධාරණවාදී එන්ජී ඕ මහත්වරුන්ටද ඒවා ප‍්‍රශ්න නොවීය. දිවයින මාධ්‍ය සගයන් මේ යහපාලන ආණ්ඩුව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දීමට ගොස් ඇත්තේ රට වෙනුවෙන් ලියා මිස කළු සුදු පත්තරවලට ලියන්නෝ මෙන් පිට රටක වීසා ලබා ගැනීමට රටට හතුරු ලිපි ලියා නොවේ.
 
 කිසිම පුවත්පතකට නැති ඉතිහාසයක් සහිත යුගයක් නිර්මාණය කළ දිවයින මෑත යුගයේ පෙරට සාපේක්ෂව චින්තනය මොටවූ පුවත්පතක් බවට පත්ව තිබෙන බවද නොකියා බැරිය. අතීතයේ දිවයින චින්තනය මුවහත් කළ බාහිර ලේඛකයන්ද විශාල ප‍්‍රමාණයක් සිටියේය. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා ඉන් ප‍්‍රධානය. දිවයින නැවතත් ඔවුන් ලවා ලිපි ලියවාගෙන සැඟවුණු කැඩපත සොයා ගතයුතු කාලය නැවත උදාවී තිබෙන බව පවත්නා සමාජ දේශපාලන පසුබිම හැම අතින්ම දෙස් දෙන්නේය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles